~~~~ දෙව්දූ ~~~~~ 02


02 කොටස
කොන්වට් එකේ මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවන්ගෙන් හිමායා විතරයි පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා තිබ්බේ …. කොහොම හරි කැම්පස් යන්න කලින් දවසේ මම හිමායාට කෝල් එකක් ගත්තා …
‘ දේව් මම උබ කන්ටැක් කරගන්න විදිහක් නැතිව හිටියේ … ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා …’ මගේ කටහඩ අදුර ගත්ත ගමන් කෙල්ල කියවන්න පටන් ගත්තා .
‘අනේ සොරි බන් මම චුට්ටක් බිසී උනා අලුත් තැනක් නේ … උබ නවතින්න තැනක් හොයා ගත්තාද ..’
‘ආ ..ඔව් මට හොස්ටල් හම්බ වුනා .. කොහොමද උබේ බෝඩිම හොදද ..’
‘මේක බෝඩිමක් නෙවෙයි බන් මගේම ගෙදර වගේ ….. ගෙදර ඉන්නවා වගේ දැනෙන්නේ ..’
ඇත්තටම වසන්තා ඇන්ටි මට සැලකුවේ එයාගේම දුවෙකුට වගේ
‘උබේ ලක් එක නේ … ‘’
‘හ්ම්ම්ම් ඔව් බන් …..මේ ඒක නෙවේ හෙට අපි මොනවාද ඇදගෙන යන්නේ .. ‘’
‘මගේ යාලුවෙක් ගේ අක්කා කෙනෙක් කිව්වා පුළුවන් තරම් චාම් විදිහට ඇදගෙන යන්න කියලා .. පොෂ් එකට ගියොත් රැග් වැඩිලු ..’
‘ …. මේ ඒක නෙවේ අපි හෙට මිට් වෙලාම කතා කරමු ..’ හිමායා එක්ක ගොඩක් වෙලා විස්තර කතා කර කර ඉදලා මම ෆෝන් එක තිබ්බේ එහෙම කියලා ..
තනි පාට පසුබිමේ මල් ඉහිරුණු ගවුම් තුනක් මෙහෙ එන්න ඉස්සර වෙලා අම්මි මට මහලා දුන්නේ මේ ගැන දැනගෙන වෙන්න ඕන … ඒ ගවුම් මහද්දී මම එයාට හිනාවුනේ මම කවදාවත් ඔය ගවුම් අදින්නේ නැහැ කියලා .. ඒ වෙලාවේ එයා මොකුත්ම කියන්නේ නැතිව මහලා ඉවර වෙලා ගවුම් ටික මගේ ඇදුම් බෑග් එකේ දැම්මා මට මතකයි … දැන් ඉතින් ඕවා අදින්න තමා වෙන්නේ …මොකද ඩෙනිමක් ඇදගෙන ගිහිල්ලා රැග් වෙනවට වඩා එහෙම කරන එක හොදයි නේ …

******
උදේම ඇහැරලා බාත් රූම් එකට රිංගලා වොෂ් එකක් දාගෙන එහෙම අම්මි මහලා දුන්න රෝස පාට ලොකු මල් වැටුණු විළුබ වෙනකන් දිග ගවුම ඇදගෙන කොණ්ඩ කරලක් ගොතා ගත්තාට පස්සේ මම නිකන් ගොඩේ කෙල්ලක් වගේ තමා පෙනුනේ …. මාව මේ විදිහට කොන්වන්ට් එකේ යාළුවො එහෙම දැක්කා නම් වසලා හමාරයි ….මටම හිනා යනවා මම හිටපු විකාර විදිහ දැකලා …

‘අනේ දේව්ගේ ලස්සන ගමේ කෙල්ලක් වගේ චාම් ලස්සනක් ..’
වසන්තා ඇන්ටි හරි ආශාවෙන් මගේ දිහා බලාගෙන ඉන්න විදිහ දැකලා ලැජ්ජා හිතුන පාර මම බිම බලාගත්තා ..
‘ දුව එන්න ආන්ටි අද කිරිබත් උයලා ….. ’
සුමිත් අංකල් ඔෆිස් යන්න ලැහැස්ති වෙලා කෑම මේසේ වාඩි වෙලා බලන් ඉන්නවා ….
කිරිබත් හදලා කට්ට සම්බල් තව මාළු ඇබුල් තියලුත් හදලා කෑම කාමරේම සුවදයි …සුවදට කටට කෙලත් උනනවා …. මගේ අතින් අල්ලාගෙන කෑම මේසෙට එක්ක ගිහින් පුටුවක් ඇදලා වාඩිකරවලා කිරිබත් කෑලි දෙකක් පිගානට දාලා වසන්තා ඇන්ටි මට කවන්න ගත්තා ….. එයත් හරියටම අපේ අම්මි වගේ …
‘දේව් අද අංකල් එක්ක යන්න …එයා ඔයාව කැම්පස් එක ලගින් ඇරලයි … ’
කාලා ඉවර වුනාට පස්සේ වසන්තා ඇන්ටි එහෙම කිව්වා …තනියම යනවාට වඩා ඒක හොද නිසා මම එක පයින් ඒකට කැමති උනා .. අපි දෙන්නා මෙයින් රෝඩ් එක දිගේ පයින්ම ඇවිදගෙන ගියා ….. හරියටම ගාර්ඩ්න් එක ඉස්සරහා ගලහ හන්දියේ දකුණු අත පැත්තේ පේරදෙණිය විශ්ව විද්‍යාලය කියලා භාෂා තුනෙන්ම ගහලා තිබ්බ පුවරුව දැක්කාම මගේ හිත කවදාවත් නැති විදිහට ගැහෙන්න ගත්තා .. මේක තමා මගේ එකම සිහිනය …. අද ඉදලා ඒ දැක්ක හීනෙ එළි වෙනවා කියලා හිතන එකම සතුටක් …
මාව කැම්පස් එක ලගටම ගෙනත් ඇරලලා සුමිත් අංකල් යන්න ගියාට පස්සේ මම හෙමින් හෙමින් කැම්පස් එක ඇතුලට ඇවිදගෙන ගියා
අලුතින් එන ළමයි පිළිගන්න වගේ ලොකු අයියලා අක්කලා ගේට්ටුව දිහා ඇසුත් ලොකු කරන බලන් ඉන්නවා …මම බිම බලාගෙනම ඇතුලට ඇවිදගෙන ගියා … හිත නිකන් ගැහෙන්නේ

‘ඒයි …’ මගේ පිටිපස්සෙන් ඇහුන ගොරෝසු කටහඩ ඇහුනේ නැහැ වගේ මම ඉස්සරහට ඇවිදගෙන ගියා …
‘නවතින්න කිව්වම නවතින්න දන්නේ නැද්ද ආ …’

තව ටික වෙලාවකින් මගේ ඉස්සරහා හිටියේ …උස මහත යෝධයෙක් වගේ කොල්ලෙක් … කොල්ලා ම කට කොනට හිනාවක් අරගෙන මගේ මුහුණේ ඉදලා කකුලට යනකන් බැලුවා …

‘හ්ම්ම්ම් හ්ම්ම්ම් යනවා දැන් අර හෝල් එක ලගට එතන ඉන්නේ අලුතින් ආපු ළමයි ….. ‘’
මම බිම බලාගෙන ගැහි ගැහි හිටියේ කැම්පස් එකට ආපු ගමන් මේ කොල්ලා මාව රැග් කරන්න යනවා වත්ද කියලා …. මගේ වෙලාව හොද කමට ඒ කොල්ලා එහෙම කිව්වම තමා හිතට ෆිට් එකක් ආවේ …. මම ඔළුව උස්සලා මෑන්ස් දිහා බලලා අහිංසක තාලේට හිනාවෙලා එයා පෙන්නුව පැත්තට හෙමින් හෙමින් ගෑටුවා …. එක එක පාට ඇදුම් ඇදගත්ත මගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ දාහක් විතර එතන පිරිලා ඉන්නවා … හැම ළමයෙක්ගේම වගේ මුහුණු වල බයක් පැතිරිලා තිබ්බා … මම අහලා තිබ්බ විදිහට පේරා කැම්පස් එකේ රැග් එක තරම් වෙන එක කැම්පස් එකකවත් රැග් එක දරුණු නැහැ … කට්ටියම බයෙන් ඇත්තේ ඒක මතක් වෙලා වෙන්න ඇති ..

ළමයි ගොඩ අස්සේ මම හිමායා ඉන්නවාද කියලා හෙව්වා … කෙල්ල පේන්න හිටියේ නැති නිසා මම ලග හිටිය ගැහැනු ළමයෙක් ලගට කිට්ටු උනා ..එයත් මම වගේම දිග ගවුමක් ඇදලා කොන්ඩේ උඩට කරලා පෝනිටෙල් එකක් බැදගෙන හිටියේ …. ඒ තරම් ලස්සන නැති උනත් ඒ වටකුරු මුහුණ
ලස්සන උනේ එයාගේ හිනාව නිසා …
‘අපි මෙතන ඉන්නේ ඇයි….’
මම දන්නේ නැති නිසා ඒ ළමයාගෙන් ඇහුවා ….
‘අලුත් ළමයිට දේශනයක් තියෙනවාලු අද …’
එයා හිනාවෙලා තමා උත්තර දුන්නේ … මමත් පැත්තකට වෙලා ඔහේ බලාගෙන හිටියා දේශනය පටන්ගන්නකන් .. අලුත් ළමයි කල්ලි ගැහිලා කතා බහ කර කර ඉන්නවා … මම ආයෙම අර ළමයා එක්ක කතා කරන්න කියලා හිතලා එයා දිහා බැලුවා … කෙල්ල ගල් ගිල්ලා වගේ කටත් තද කරන බලන් ඉන්නවා
‘ඔයා කොහෙද ඉදලද ආවේ ..’ මම ආයෙම කෙල්ලගෙන් ඇහුවා
‘මම නුවරම තමා ….’ කෙල්ල ආඩම්බරෙන් තමා හෙම කිව්වේ ..
‘මගේ නම දෙව්දූ .. මම නම් ආවේ කොළඹ ඉදලා ….. බෝඩ් වෙලා තමා මම කැම්පස් එන්නේ ..’
එයා අහන්නත් කලින් මම කියාගෙන කියාගෙන යද්දී එයාට බකස් ගාලා හිනා ගියා ….මොකද මම එයා අහන්නත් කලින් මගේ විස්තර කියාගෙන කියාගෙන ගියානේ ….
‘ මම අමාලි ….අමාලි වනිගසේකර … ’ හිනාව මුහුණේ තියාගෙන ම එයා තමන්ව අදුන්වලා දුන්නා
අමාලි එක්ක විස්තර කතා කර කර ඉද්දි අපිට හෝල් එක ඇතුලට එන්න කිව්වා …. ළමයි කට්ටිය පේළියට ගිහින් හෝල් එක ඇතුලේ වාඩිවෙද්දී මාත් අමාලි එක්ක ගිහින් පිටිපස්සෙම පුටුවක වාඩිවුනා … හෝල් එක ඉස්සරහාම ඉදගෙන හිටියේ මහාචාර්ය වරු වෙන්න ඇති … ඉස්සරලාම කතා කරන්න පටන් ගත්තේ විශ්ව විද්‍යාලයේ කුලපති තුමා … එතුමා අපිව පිලිඅරගෙන වැල් වටාරමක් වගේ දේශනාවක් තියද්දි ළමයි කටත් ඇරන් අහගෙන ඉන්නවා … උපාධි ගැනයි අරවයි මේවායි …. මට නින්ද යන්නත් ආවා ලග හිටිය අමාලි මගේ අතින් අල්ලලා දෙතුන් සැරයක් කෙනිත්තුවේ නැති නම් ෂුවර් එකටම කැම්පස් ආව දවසෙම දේව් බැනුම් අහනවා ….
ඊට පස්සේ තිබ්බේ වෙල්කම් පාර්ටි එක …. කැවුම් කිරිබත් හදලා අලුත් ළමයි කට්ටියටම කන්න දීලා එහෙම අපිව හරිම ආදරෙන් තමා අයියලා අක්කලා පිළිගත්තේ …
‘දැන් ජේෂ්ඨඋත්තම ලහිරු විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ඇති … ’ අයියා කෙනෙක් එහෙම කිව්වාට පස්සේ … උස කෙට්ටු අයියා කෙනෙක් ඇවිත් ඉස්සරහා හිටගත්තා …
‘ අද ඉදලා හන්තාන කන්ද පාමුල අන්දර කඩේට සියලුම දෙනා සාදරයෙන් පිලිගන්නවා … අද ඉදලා හැමෝම එක වගේ මේක ඇතුලේ ඉන්න ඕන … හෙටින් ඇරබෙන අලුත් ජීවිතයෙන් සුභදායි අනාගතයකට මග පෑදේවා කියා හැමදෙනාට ම මම සුභාශිංසනය කරනවා … ‘’ ලහිරු අයියා කතාව ඉවර වුනාට පස්සේ ඉස්සරවෙලාම කතා කරපු අයියා ආයෙම ඉස්සරහට ආවා …
‘විශේෂ නිවේදනයයි …. හෙට එද්දී හැම කොල්ලාම කලිසමට යටකරලා ෂර්ට් ඇදගෙන පොල්ගස් ලකුණ තියෙන සෙරෙප්පු දාගෙන එන්න ඕන ..තව කෙල්ලෝ චිත්ත ගවුම් ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන පොල්ගස් ලකුණ සෙරෙප්පු දෙකක් දාගෙන හත වෙද්දී එන්න ඕන ..’
හෙට දවසේ ඇදන් එන්න ඕන ඇදුමත් කියලා තමා එයාලා අපිට යන්න අවසර දුන්නේ …
විශ්ව විද්‍යාලේ ගතකරපු පළවෙනි දවසෙම මට හොද යාලුවෙක් හම්බ වුනා …දහස් ගණන් ළමයි අතරේ හිමායා හොයන එක බොරුවක් නිසා මම ඒකට මහන්සි නොවීම අමාලි එක්ක කැම්පස් එකෙන් එලියට ආවා ..අමාලිගේ අක්කා ඉගෙන ගන්නෙත් මොරටු කැම්පස් එකේ නිසා එයා අමාලිට කැම්පස් එකේ රැග් සීසන් එක ගැන කියලා දීලා තිබුනා …. එයා මම නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා ….. මම අමාලිගෙන් වෙන්වෙලා ගියේ පහුවදා උදේම හම්බ වෙන්න කතා කරගෙන ….
*******
පහුවදා උදේ හය හමාර වෙද්දී මම ගලහ හන්දියට යද්දී අමාලි ඇවිල්ලා මම එනකන් බලාගෙන ඉන්නවා … මම දිගම දිග කහපාට චීත්ත ගවුමක් ඇදලා කොන්ඩේ කරල් දෙකට ගොතාගෙන ආවේ …. මම වගේම අමාලිත් ඇවිල්ලා හිටියේ ලා නිල් පාට දිග ගවුමක් ඇදගෙන කොන්ඩ කරල් දෙකක් බැදගෙන සෙරෙප්පු කුට්ටමකුත් දාගෙන ….

‘ගුඩ් මෝර්නින් දේව් ….ඔයා නම් කහ කිරිල්ලියක් වගේ …’
‘ගුඩ් මෝර්නින් ….ඔයා නිල් මානෙල් මලක් වගේ …’ මම එයා කිව්වා කතාවට උත්තර දුන්නේ හිනාවකින් මුහුණ පුරවාගෙන …අලුත් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම නිකන් මේ දැන් වන්නියෙන් ඉම්පෝර්ට් කරපු අය වගේ …මට හිනායන්න ආවත් මම කට තද කරගෙන හිනාව නවත්ත ගත්තා
අමාලි මගේ අතකින් අල්ලාගෙන ඉස්සර උනා ..

‘කෝ උබලා දෙන්නා මෙහෙ වරෙව් …’
එක පාරටම ඇහුන ගොරෝසු පිරිමි කටහඩක් නිසා අපි දෙන්නාම හැරිලා බැලුවා … කොල්ලෝ ගොඩක් කන්න වගේ අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා ….

‘තොපිට කිව්වේ ඔතන හිටගෙන ඉන්න නෙවෙයි ….. ඉක්මනට වරෙව් …. ‘’
අපිට කතා කරේ එතන හිටිය උසම කොල්ලා ….පොරගේ මුහුණ නිකන් කැවුමක් වගේ ….. අපි දෙන්නත් ඉතින් ගැහි ගැහි කොල්ලෝ ටික ලගට ගියා … කොච්චර ෆිට් එකක් තිබ්බත් හිත නිකන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ ගැහෙනවා ….
‘දැන් කියපියව් උබලා දෙන්නාගේ විස්තර …ඉස්සරලා උබ කියපන් …. ’
‘අයියේ මම ..’
‘නවත්තපිය ….අයියේ නෙවෙයි …. #&&& … ජේෂ්ට උත්තමයා කියලා කතා කරපිය ..’ එතන හිටිය අනිත් කොල්ලා හොද පද දෙකක් කියලා තමා මට කතා කලේ ….කවදාවත් කවුරුත් මට ඔහොම කතා කරලා නැති නිසා මට මහා අමුත්තක් තමා දැනුනේ …
අපි දෙන්නා කොහොම හරි අපේ විස්තර ටික කියලා දැම්මා …
‘තෝ ගිහින් කඩන් වරෙන් තුත්තිරි මල් පොකුරක් … තව විනාඩි දහයකින් මෙතන ඉන්න ඕන … ‘’
ඒ කොල්ලා මට කිව්වාම මම උඩ ගිහින් බිම වැටුනා …හොද වෙලාවට මම තුත්තිරි මල් දැකලා තිබ්බා අපේ මිදුලේ මල් පාත්තියේ … කොහොම හරි ටික වෙලාවකින් මට තුත්තිරි මල් හොයාගන්න පුළුවන් උනා විනාඩි දහය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ..

‘මෙන්න ජේෂ්ඨ උත්තමයා මම මල් ගෙනාවා ….’ මං මල් පොකුර ගිහින් ජේස්ට උත්තමයා අතට දුන්නා ….

‘මෙහෙ වර …..’ මම දුන්න මල් පොකුර දිහා බලාගෙනම ජේෂ්ඨ උත්තමයා එතනින් තනියම ගිය කොල්ලෙකුට ලගට කතා කරා …
‘මට නෙවෙයි මේ බැචා දිහා ආදරෙන් බලලා …ඔය මල් පොකුර දීලා ….මම ඔයාට ආදරෙයි කියලා කියපන් ..’

කිරිඅප්පට බල්ලෝ පැනපි කීවාලු …මම කාටවත් මේ වෙනකන් ආදරෙයි කියලා නැහැ විහිළුවටවත් …. එහෙම තියෙද්දී මම විහිළුවට හරි කොල්ලෙක්ට ආදරෙයි කියලා කියන්නේ කොහොමද .

‘කෝ කෝ ඉතින් ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නේ නැතිව …. කියපිය …’ මම තක්බීර් වෙලා වගේ ඉද්දි ඉස්සරලට වැඩිය සැරට අර ජේෂ්ඨ උත්තමයා කිව්වේ … තවත් වෙලා මෙහෙම හිටියොත් ඉස්සරලා ඇහුවාට වඩා ශුද්ද සිංහල ටිකක් මට අහන්න වෙන බව දන්න නිසා මම අර කොල්ලා දිහා බැලුවා … පොර ගොඩක් අහිංසක පාටයි ….එයත් මම වගේම බය වෙලා ..මම එයා දිහාවට මල් පොකුර දික් කරාම එයා ඒක අතට ගත්තා …
‘මම ඔයාට ආදරෙයි …’ මම ඔහේ කියලා දැම්මා …
‘ඔහොම නෙවෙයි ආදරෙන් කියපන් ….’ ජේෂ්ඨ උත්තමයා ආයෙම මගේ දිහා බලලා මහා හයියෙන් කෑ ගැහුව පාර අර කොල්ලාගේ අතින් මල් පොකුර බිමට වැටුනා ..
‘අහුලපිය …ඔය මල් පොකුර …#&&&&## ..’ අර ළමයා ගොඩක් බයාදු විදිහට මල් පොකුර අරන් මගේ අතට දුන්නා ….
‘මම ඔයාට ආදරෙයි ..’
මම ටිකක් ඇදලා පැදලා එහෙම කියලා ආපහු බැචාට මල් පොකුර දීලා අමාරුවෙන් හිනාවුනා ….. ‘ආ දැන් ….. උබ මේකිගේ අතින් අල්ලගෙන කෙල්ලට කැම්පස් එක පෙන්නපන් …’
ජේෂ්ඨ උත්තමයෝ ටික අපි දෙන්නාට යන්න අවසර දුන්නාම …. අර කොල්ලා මගේ අතින් අල්ලාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා ….අමාලිත් අපේ පස්සේ වැටුනා ….
‘උබ කොහෙද යන්නේ මෙහෙ වර ..’

අමාලිට අපිත් එක්ක ඉස්සරහට යන්න හම්බ වුනේ නැහැ ජේෂ්ඨ උත්තමයෝ ටික කෙල්ලට අඩගැහුවා .
මතු සම්බන්ධයි …..] 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *