~~දෙව්දූ ~~~~30 කොටස

~~~~දෙව්දූ ~~~~~~
30 කොටස
ඊට පස්සේ මම ඇගිලි ගැන ගැන හිටියේ වසන්තා ඇන්ටිලා අපේ ගෙදර එන දවස එනකන් …. තේමිය අයියා ආවම කියන්න ගොඩක් දේවල් මට තිබුනා … ඉතින් මට තිබුනේ පුදුමාකාර නොඉවසිල්ලක් ..
‘හැම වෙලේම පාරට එබී එබී බලන්නේ කවුරු එනකන්ද මේ ළමයා …’
අම්මිට මගේ වෙනස තේරිලා තිබුනා …
‘මම මේ බැලුවේ තාත්ති තාම නැත්තේ මොකද කියලා ..’ තේමිය අයියලා එන මග බල බල හිටපු මාව අම්මිට ඇහැ ගැටෙද්දී මම කටට ආව බොරුවක් කියලා දැම්මා
‘තාත්ති ටිකක් පරක්කු වෙයි අද ගෙදර එන්න .. මේ ගේ ඇතුලට ඇවිත් පොඩ්ඩක් අස්පස් කරලා දාන්න ළමයෝ ..’
කිරි දානෙට කැවිලි පෙවෙලි හදන්න ඇවිත් හිටිය මැදිවියේ අම්මලා එක්ක එකතු වෙලා අම්මි කැවිලි පෙවිලි හදනවා මුළු ගෙදරම කැවිලි සුවදින් පිරිලා … අම්මිත් එක්ක හොර වැඩ බැහැ කියලා දැනන් හිටිය මම ගේ ඇතුලට ගිහින් කොස්ස අතට ගත්තා ..
අද තේමිය අයියලා එනවා කිව්ව දවස මෙයාලා මොකද මෙච්චරම පරක්කු අස්පස් කරන අතරෙත් මම ජනේලෙන් එබී එබී බැලුවේ ගේට්ටුව ලගින් එයාලා මතුවෙයි කියන බලාපොරොත්තුවෙන් . … හවස් වෙද්දී මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු එක එක කඩාගෙන වැටෙන්න ගත්තා ….අද එයලා එන්නේ නැතිවෙයිද .. මගේ හිත පුරාම පැතිරිලා ගියා මුස්පේන්තු හැගීමක් …. ඒ හැගීම හිත වහගෙන පැතිරෙද්දී කොස්ස පැත්තකින් තියලා මම ෆෝන් එක ලගට ඇවිදගෙන ගියා ….. තේමිය අයියලාගේ ෆෝන් එක රින්ග්ස් ගියාට කවුරුත්ම ආන්සර් කරන පාටක් නැහැ … එක දිගට පස් හය පාරක් විතර කෝල්ස් අරන් අන්තිමට මම උත්සාහය අත්හැරලා දැම්මා …
ගෙදර අස් කරලා ඉවර වෙලා අම්මිට පුංචි පුංචි උදව් කර කර මම එයා ලගටම වෙලා හිටියා .. හරිම ශ්‍රද්ධාවෙන් තමා දානේ වැඩ කරන ගැහැණු කෑම වර්ග හදන්නේ ….
‘මේ පුංචි නෝනා වෙනුවෙන්ද කිරි අම්මාවරුන්ට දානේ දෙන්නේ නෝනා ..’ එතන හිටිය අවුරුදු පනහක් විතර වයස කරුණාවන්ත මුහුණක් තිබ්බ අම්මා කෙනෙක් මගේ දිහා බලලා අම්මිගෙන් ඇහුවා
‘ඔව් මෙයා තමා මගේ ලොකු දූ ….මම සෝමා අම්මාට කිව්වේ ….අපි මැරී කරලා ගොඩක් කල් බබාලා හිටියේ නැහැ … නොගිය දේවාලයක් පල්ලියක් නැතිව ඇති මෙයාගේ තාත්තයි මමයි …අන්තිමට අපි දෙන්නා පත්තිනි දේවාලෙට ගිහින් භාරයක් වුනා … ඊට මාසෙකට පස්සේ තමා මේ දුව මගේ බඩට ආවේ …මේක දේව හාස්කමක් වගේ …. අපි දුව බඩට ආවාම කිරි අම්මාවරුන්ට දානයක් දුන්නා …කිසි කරදරයක් නැතිව බබාව හම්බ වෙන්න කියලා .. ඇත්තටම ආශ්චර්යක් වගේ මට දුව ලැබෙද්දී කිසිම කරදරයක් වුනේ නැහැ රෝස මලක් වගේ නිරෝගී දරුවෙක් මගේ අතට දුන්නාම මට ලෝකෙම ලැබුනා වගේ … අපේ දුව දෙවියෝ අපිට දුන්න තෑග්ගක් වගේ ….ඊට පස්සේ දුවත් අරන් ගිහින් අපි පත්තිනි මෑණියන්ට භාරයක් වුනා මගේ දරුවා අවුරුදු විසි එක කරදරයක් නැතිව පහු කරාම එදාට දානයක් දෙනවා කියලා හෙටට මගේ කෙල්ලට අවුරුදු විසි එකක් …. මේ ඒ භාරේ තමා ඉෂ්ට කරන්න යන්නේ ..’

අම්මි ගොඩක් හැගීම්බර විදිහට කියාගෙන යද්දී එයාගේ ඇහැක කදුලක් දිලිසුනා ..එයාට මතක් වෙන්න ඇති දරුවෙක් නැතිව දුක් විදපු දවස් …. අම්මි පරණ දේවල් හිත හිත හිත රිද්ද ගන්නවාට මම කැමති නැහැ …. හැමෝම ඊට පස්සේ හරිම නිහඩව තමා වැඩ කලේ ..

‘මොනවාද ඇන්ටි කිරි අම්මලාට අපි දෙන්න ඕන අනිත් දේවල් …’ ඒ නිහඩ කම බිදින්න ඕන නිසා මම සෝමා අම්මා දිහා බැලුවේ …..
‘අපි දරුවෝ කිරි අම්මා දානයකදී දෙන්න ඕන කෑම වර්ග කීපයක් තියෙනවා ..කැකුළු හාල් කිලෝ හතක කිරිබත් , කැකුළු හාල් කිලෝ දෙකක කිරියා ,තව කැවුම් කැකුළු හාල් කිලෝ දෙකකින් හදන්න ඕන ..එතනින් පස්සේ කෙසෙල් ගෙඩි පනහක් ම්ම්ම් … කිතුල් හකුරු පඩුරු බුලත් විට හත ගානේ දෙන්න ඕන … ‘’
සෝමා අම්මා පිළිවෙලට කියාගෙන යද්දී මම අහගෙන හිටියේ හරිම ආශාවෙන් අපේ සංස්කෘතියේ තියෙන සමහර ඇදහිලි පුජා ක්‍රම අහගෙන ඉන්න ආශා හිතෙන තරම් රසවත් දේවල් …මම හරිම ආශායි ඒ දේවල් දැන කියා ගන්න

‘ දේව් බලන්න කව්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ’
ගෙදර බෙල් එක කවුරු නමුත් කඩන්න තමා හදන්නේ …මෙච්චරම දොර ඇරලා තියෙද්දී ආව කෙනාට මොලයක් නැතිද මන්දා … ගෙදර මිනිස්සු ඉන්නවා කියලා හිතන්න …මම හිතින් බැන බැනම දොර දිහාවට ඇවිදගෙන ගියා ..කවුරු නමුත් බෙල් කරන එක නවත්තන පාටක් නැහැ ….
‘මේ එනෝ ඔය බෙල් එක කඩන්න එපා …’ මම දොර ලගට ගියේ එහෙම කියාගෙනමයි… බෙල් එක ලගා හිටගෙන හිටියේ සදෙව් මල්ලි …. මුහුණින් එකයි හිනාව කොල්ලගේ
‘ආ …මේ පොඩ් මෑන් නේ …මම බැලුවේ කව්ද අපේ දොර කඩන්න යන්නේ කියලා .. කෝ ඇන්ටිලා ..’
මම කවුරුත් පෙන්න හිටියේ නැති නිසා වට පිට බැලුවා
‘එයාලා එන්න බැහැ කිව්වානේ … ඔන්න මම තනියම ආවා ..’ සදෙව් මල්ලි එහෙම කියද්දී මට හිතාගන්න බැරිවුනා එයා කියන්නේ ඇත්තද බොරුද කියලා
‘අපෝ මෙයා එකපාරම හුළං ගිය බැලුමක් වගේ උනානේ ..බය වෙන්න එපා … අනන් අර කැබ් එක ලග ගෙනාපු බඩු බාගන්නවා ….හි .. හි මම ඔයාව බය කරන්න කලින්ම ආවා ..’
‘අනේ ඔයා නම් හරිම නරක ළමයෙක් මල්ලි …’ මම අමනාපෙන් අහක බලාගත්තා
‘ මොකද මේ පොඩි පුතා ආව ගමන් අක්කා එක්ක එල්ලෙන්න තියාගත්තේ ….’ ඇන්ටි අන්කල් වගේම තේමිය අයියත් ලගට ආවේ හිනාවේවීමයි ….මම හොරෙන් තේමිය අයියා දිහා බලන ගමන් ඉස්සරහට ගිහින් ඇන්ටි අතේ තිබ්බ බෑග් එක මගේ අතට ගත්තා ….
‘මම හිතුවේ පරක්කු වෙද්දී එන්නේ නැතිවෙයි කියලා …..’
‘අපි ආව ට්‍රේන් එක කඩුගන්නාවේදී කැඩුනා …. පස්සේ බස් එකක තමා ආවේ ’ හැමෝගෙම මුහුණුවල විඩාවක් තිබ්බේ ….
‘ගොඩක් මහන්සි ඇති නේ … වාඩිවෙලාම ඉන්නකෝ .. මම අම්මිට කතා කරන්නම් ..’
කට්ටියට වාඩිවෙන්න කියලා මම කුස්සියට දුවගෙන ගියේ අම්මිට එයාලා ආපු බව කියන්න …
‘අම්මි අර කට්ටිය ඇවිත් ..’ කර කර හිටිය වැඩේ නතර කරලා අම්මි මගේ දිහා බැලුවේ පුදුමෙන්
‘මොන කට්ටියද ළමයෝ …’
‘තේමිය අයියලා ’ …එකපාරම මම එහෙම කිව්වම අම්මි සැකෙන් වගේ මගේ දිහා බැලුවේ … වසන්තා ඇන්ටිගේ පුතාගේ නම තේමිය කියලා අම්මි දැනගෙන හිටියේ නැහැනේ
‘තේමිය කියන්නේ කව්ද ..’
‘ අර අර වසන්තා ඇන්ටිගේ පුතානේ අම්මි …ඒ කට්ටියම ඇවිල්ලා ..’
‘ඉතින් ඔයා ඔච්චර උඩ පනින්න ඕනද …. ’ අම්මි නොසතුටෙන් වගේ මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා සාලේ දිහාවට ගියේ ගෙදරට ආපු අමුත්තෝ පිළිගන්න …
‘දේව් මේ ඇන්ටිලාට කාමරේ පෙන්නන්න කෝ …’ තව ටික වෙලාවකට පස්සේ අම්මි කතා කරනකන් මම කුස්සියයෙන් එළියට නොගියේ අම්මි නිකමට හරි සැක හිතයි කියලා …
‘මේ එනවා අම්මි ..’ මම කියන පමාවට එයාලා හිටිය තැනට දුවගෙන ගිහිල්ලා ඉවරයි …
‘ එන්න ඇන්ටි …එන්න අංකල් ….’
මම කට්ටිය එක්ක ගියේ විසිටර් රූම් එකට
‘… ඔයාලා චෙන්ජ් කරගන්න …මම තේ හදාගෙන ටක් ගාලා එන්නම් …’ මම කාමරේ පෙන්නලා ආපහු හැරිලා යන්න ලැහැස්ති වුනේ
ඇන්ටි අංකල් සදෙව් මල්ලි කාමරේ ඇතුලට යද්දී දොර ලග ඉතිරි වුනේ තේමිය අයියයි මායි විතරයි …. සතියකට විතර පස්සේ තේමිය අයියාගේ මුහුණ හරියටම දැක්කේ දැන් …ගෙදර ඉදලා මෙයා තවත් සුදු වෙලාද කොහෙද ..දැන්නම් හිතෙන්නෙම ලගට ගිහිල්ලා කිස් එකක් දීලා යන්න ඕන කියලා ….
‘මොකද අමුතු විදිහට බලන්නේ …’ එයා ගොඩක් හෙමින් එහෙම ඇහුවේ
‘කිස් එකක් දෙන්න හිතෙනවා …’ මම ඇස් නටව නටවා එහෙම කිවුවාම එයා මගේ අතකින් අල්ලා ගත්තා …
‘ඉතින් දෙන්නකෝ …’ එයාට ගානක්වත් නැහැ කවුරු හරි දකී කියලා ..
‘මේ කවුරු හරි එයි මම යනවා …’ මම එයාගෙන් අත ගලවා ගත්තේ බොහොම අමාරුවෙන්
‘එතකොට කිස් එක ..’
‘ඒක පස්සේ ….දෙන්නම් …’ මම එයාගෙන් මිදිලා කුස්සිය පැත්තට දුවන්න ගත්තා
‘මොකද බුරිච්ච් යේ … උඩ බලාගෙන දුවන්නේ … මේ …බලනවා ..මේ බලනවා …. මල් වාස් එකත් කැඩුනා ‘
මම දුවලා ආපු පාර නතර වුනේ නංගීගේ ඇගේ හැප්පිලා එයා අතේ තිබ්බ අලුත්ම මල් වාස් එක හතරට පහට කැඩිලා බිම පුරාම ….
‘බොරුවට බෙරිහන් දෙන්න එපා …. අම්මිට ඇහුනොත් මට බැනුම් අහන්න වෙයි …මගේ සුකිරි බෝලේ නේ ’
‘හරි හරි සමාව දෙන්නම් .. හැබැයි මට ඔයාගේ අර ටෙඩි බෙයාර් ඕන ….’ තාත්ති ගෙනත් දුන්න ලස්සන ටෙඩි බෙයාර් නංගි එක්ක ෆයිට් කරලා බොහොම අමාරුවෙන් තමා මම අරගත්තේ …. අමාරුවෙන් හරි මම ආශා කරපු ටෙඩි බෙයාර් දෙන්න කැමති වෙලා බොහොම අමාරුවෙන් තමා නංගිව ශේප් කරගත්තේ …. අම්මි මේක දැනගත්තොත් හිතයි එකපාරට මම පිස්සු කෙලින්නේ ඇයි කියලා …නිකන් මොකටද ඉතින් ප්‍රශ්න දාගන්නේ
හවස අම්මිලා කැවුම් හදද්දී …. තේමිය අයියා සුමිත් අංකල් එක්ක පහන් පැල හදන්න භාරගත්තා .. සැරින් සැරේ ගිහින් එහෙන් මෙහෙන් ඔළුව දැම්මාට මම එතන වැඩිපුර හිටියේ නැත්තේ අම්මිට සැක හිතෙයි කියලා ….
එදා රෑ කට්ටියටම නින්දක් නැහැ බරටම වැඩ කරනවා ..අහල පහල ගෙවල් වලින් ආපු කිපදෙනෙක්ම උදව්වට හිටිය නිසා අපිට වැඩි කරදරයක් නැතිව වැඩ ටික පිළිවෙලට කරන්න හම්බ වුනා .. කුස්සිය පැත්තේ කට්ටිය කිරියා හදද්දී …මායි නංගියි එකතු වෙලා ගේ හෝදන්න ගත්තා ….ටික වෙලාවකින් සදෙව් මල්ලිත් ඇදගෙන එතෙන්ට ආපු තේමිය අයියා අපිත් එක්ක එකතු වුනා ….
‘පුදුම රස්නයක් තියෙන්නේ නේද නංගි …..’
‘ඔව් නුවරට වගේ නෙවෙයි මෙහෙට හැමදාම ඔහොම තමා රෑ දවල් වෙනසක් නැහැ පුදුම රස්නයක් තියෙන්නේ ’
තේමිය අයියා නංගිව කතාවට අල්ලාගෙන … තේමිය අයියා එක්ක එයා කතා කරේ බොහොම උනන්දුවෙන් …
‘නෑනාව දැලේ දාගන්නද හදන්නේ ආ… ’ නංගි එහාට මෙහාට වෙනකන් බලාගෙන ඉදලා මම තේමිය අයියාට ලංවුනා
‘ඇයි හොද නැද්ද …. දැන් ඉදලා නෑනාව ශේප් කරගත්තාම ලේසියි නේ ..’ එයා දගකාර විදිහට මගේ දිහා බලාගෙන හිටියේ
‘අක්කි අම්මි කිව්වා මේ පැදුරු දාලා සුදු සාරියක් එලන්න කියලා .’..නංගි පැදුරු ගොඩක් උස්සගෙන ඇවිල්ලා සාලේ මැදට දැම්මා ..
සාලේ මැද පිළිවෙලට පැදුරු දාලා …. සුදු සාරි අතුරලා ඉවර වෙද්දී රෑ දොළහටත් ලගයි ..
‘මට නිදිමතයි අක්කි මම යනවා ….’ ඈනුමක් ඇර ඇර නංගි කාමරේට යන්න ගියේ නිදිමත උච්චම වෙලා … සදෙව් මල්ලිත් නිදිමතයි කියලා යන්න ගියාට පස්සේ සාලේ ඉතිරි වුනේ මායි තේමිය අයියයි විතරයි ..
‘මට මහන්සි අප්පා වැඩ කරලා … ’ මම පුටුවක් ඇදලා අරන් වාඩි වෙද්දී තේමිය අයියත් මගේ ලගින්ම වාඩිවුනා .. මුළු ගෙදරම නිශ්ශබ්දයි .. කට්ටියම මහන්සි නිසයි උදේ පාන්දර ඇහැරෙන්න තියෙන නිසයි නින්දට ගිහිල්ලා වගේ

‘ ඔයාට පාළු දැනුනේ නැතිද මම දකින්නේ නැතිව …’ මම සාලේ දාලා තිබ්බ නයිට් බල්බ් එකේ ඩ්ම් එළියෙන් පේන තේමිය අයියාගේ මුහුණ දිහා බැලුවා … ඒ මුහුණේ ඒ වේලාවේ තිබ්බේ මන් ගැන ආදරේ විතරමයි ..
‘ගොඩක් රත්තරන් ගොඩක් පාලුයි ඔයා නැතිව ..වෙලාවකට හිතුනා ඔයාව හොයාගෙන දුවගෙන එන්න ඕන කියලා ..’ එයා එහෙම කියලා බරට හුස්මක් පිට කළා ….
‘මටත් ඔයා නැතිව පිස්සු වගේ අයියා …පුදුම අමාරුවෙන් මේ දවස් ටික ගෙව්වේ …’ මම එයාගේ ආදරේ පිරුණු ඇස් පතුලටම එබිලා බැලුවා
‘මෙහෙට එන්න චුට්ටක් ..’ එයා ඔළුවෙන් මට ලගට කතා කරද්දී මම එයාගේ මුහුණ ගෑවෙන නොගෑවෙන තරමට ලංවුනා ….
‘දැන් ඇස් දෙක පියාගන්න ’මම මොකුත්ම හිතන්නේ නැතිව එයාගේ වචන වලට කීකරු වුනා විතරමයි …අවට සිද්ද වෙන කිසිම දෙයක් මට ඇහුනේ නැති තරම් … එයාගේ උණුසුම් හුස්ම මගේ මුහුණේ වදිනවා …වුන දෙයක් වුනාවේ කියලා විතරමයි මට හිතුනේ ..අම්මි තාත්ති නෑදෑයෝ ඔක්කොමලා මට අමතක වෙලා ගිහින් තිබ්බේ ….
‘සුභම සුභ උපන්දිනයක් මගේ පැටියෝ ….. මගේ ලගින් හැමදාම ආදරෙන් ඉන්න …මේ තරම් ලංවෙලා …’
මගේ කනට ලංවෙලා එයා කොදුරද්දී මගේ ඇහැට කදුලක් ආවා ඒ ආදරේ දරාගන්න බැරිව …කවදාවත් දුකට සතුටට ඇඩුවේ නැති දේව්ගේ ඇස් වල අද කදුළු ඇයි …… ආදරේ දරාගන්න බැරි වුනාම කදුළු එනවා කියලා අද තමා මට දැනුනේ …කොහොම හරි මම තමා ලෝකේ වාසනාවන්තම පෙම්වතිය .. මේ වගේ ආදරණිය කොල්ලෙක් මට ලැබුනේ මගේ පිනට වෙන්න ඇති …
‘ ඉතින් මේ අඩන්නේ ඇයි බබා …’ මගේ කදුළු දැකලා එයා කලබල වෙලා
‘මට සතුට දරාගන්න බැරිවුනා අයියා ..’ මම පියාගෙන හිටිය තෙත ඇස් හෙමින් ඇරලා එයා දිහා බැලුවා …
‘පිස්සි .. කෝ ඔය කදුළු පිහගන්න ..’ එයා සාක්කුවෙන් ලේන්සුව ඇදලා අරන් මගේ කම්මුලේ ඉතිරි වෙලා තබ්බා කදුළු පිහලා දැම්මා
‘ආදරෙයි අයියා මහා ගොඩක් ..’
‘මාත් ආදරෙයි ….කෝ ඔයාගේ අත දෙන්න …’ මගේ අතක් බලෙන්ම එයා ලගට ඇදලා ගත්ත තේමිය අයියා අතේ තිබ්බ පුංචි පෙට්ටියකින් මුද්දක් එලියට අරන් මගේ දබරගිල්ලට දැම්මා …
‘තැන්ක්ස් අයියා මම වෙනුවෙන් කරන දේවල් වලට …’
‘තැන්ක්ස් කරන්නේ පිට අයට ….මට ආදරේ විතරක් දෙන්න …. ’
‘බක පණ්ඩිතයා මගේ …’
‘දැන් ගිහින් හොද ළමයා වගේ දොයියන්න ..’
තේමිය අයියා බලෙන්ම වගේ මාව කාමරේට පිටත් කරලා යවනකන් මම එයාගේ ආදරේ විද විද එයා ලගට වෙලා හිටියේ ….

****
පහුවදා උදේ පාන්දර මම ඇහැරුනේ අම්මි කතා කරද්දී …
‘දේව් මුහුණ හෝදාගෙන සුදු ඇදුමක් ඇදගෙන එන්න …’
නිදිමරගාතේම මුහුණ අතපය හෝදාගෙන ඉවර වෙලා සුදු පාට දිග ගවුමක් ඇදලා සාලේ පැත්තට ගියා කට්ටියම ලැහැස්ති වෙලා හිටියේ කිරි අම්මාවරු පිළිගන්න … තේමිය අයියත් සුදුපාට කමිසෙකුයි කලිසමකුයි ඇදලා හිටියේ … මම ඒ ටික වෙලාවට එයා දිහා සිය සැරේකට වඩා බලන්න ඇති ..
‘ මිස්ටර් වික්‍රමසිංහ කම් කම් …. අපි හිතුවේ එන්නේ නැති වෙයි කියලා … කොහොමද පුතා ..’
මිදුලට වෙලා හිටිය තාත්ති කතා කරනවා ඇහුනාම … මම කළුවරේම එලිය දිහාව බැලුවා ..තව ටික වෙලාවකින් ඉස්සරහා දොරෙන් අපේ ගේ ඇතුලට ආවේ විකුම්ලා .. තේමිය අයියා ඉස්සරහා එයා දිහා බලන්න බැරි නිසා මම බිම බලාගෙන හිටියේ .
‘කිරි අම්මලා එනවා ..’ මගේ හොද වෙලාට තාත්ති එහෙම කිව්වාම කට්ටියම ඒ පැත්ත බැලුවා..
දොරකඩ තියලා තිබ්බ කහ වතුරෙන් කකුල් හෝදාගෙන කිරිඅම්මාවරු හත්දෙනා පෙළට ගෙට ගොඩ වෙලා සුදු පාට ඇතිරිලි වල වාඩිවෙලා .. පත්තිනි හෑල්ල එහෙම කියලා දානේ වලදලා ඉවර වෙලා ගෙදර අයට සෙත් පතලා ආශ්‍ර්වාද කරලා දාන වැඩ ටික ඉවර වෙනකන් ඊට පස්සේ මට මොකුත්ම හිතන්න බැරි තරම් කාර්ය බහුල වුනා …

‘හැපී බර්ත් ඩේ දේව් …’ කට්ටිය වාඩිවෙලා කතා බහ කර කර ඉන්න අතරේ මගේ ලගට ඇවිත් වාඩිවුණ විකුම් මට විශ් කරද්දී මම වටපිට බැලුවේ තේමිය අයියා අහල පහල ඉන්නවද කියලා බලන්න … විකුම් එදා දීපු ගිෆ්ට් එක දැකලා කලබල වුන තේමිය අයියා මෙහෙම කතා කර කර ඉන්නවා දැක්කොත් මොනවා කරයිද …වැරදිලාවත් එයා දැනගත්තොත් මාව විකුම්ට බන්දන්න තීරණය කරලා ඉන්නේ කියලා
‘තැන්ක්ස් …..’ මම උවමනාවට එපාවට වගේ එහෙම කිවුවේ ..එයාට ඇතිවෙලා මෙතනින් යයි කියලා හිතලා
‘දේව් ….ඔයා මම දෙන තෑගී ගන්න කැමති නැහැ කියලා දන්නවා ….ප්ලීස් මේ තෑග්ග ගන්න …මම ගොඩක් ආශාවෙන් තේරුවේ … ‘’
ලස්සන රැපින් පේපර් එකකින් ඔතපු පුංචි පෙට්ටියක් මගේ අතට දීලා එයා එහෙම කිව්වේ බොහොම බැගෑපත් විදිහට ….කොල්ලෙක් මේ තරම් අසරණ විදිහට කරන ඉල්ලීමක් අහක දාන්න බැරි නිසා මම එයා දුන්න තෑග්ග අතට අරන් වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ තේමිය අයියා දකියි කියලා හිතට ආව බය නිසා …
‘මාව මග අරින්න එපා දේව් ප්ලීස් …’ මම යන්න අඩියක් ඉස්සරහට තියද්දි එයා කිව්ව විදිහට මට ඉබේම එයා දිහා බැලුනා ….ඒ මුහුණේ තිබ්බේ පුදුමාකාර අසරණ කමක් … ඒ හැගීම දකිද්දී මගේ හිත ගැස්සිලා ගියත් හිතට ෆිට් එක අරන් මම එතනින් යන්න ගියා ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *