~~දෙව්දූ ~48 කොටස

~~~~දෙව්දූ ~~~
48 කොටස
හන්තාන කදු පංතිවලට උඩින් ඉර බැහැගෙන යද්දී විකුම් අයියාගේ කාර් එක ගලහා පාර දිගේ පල්ලම් බහින්න ගත්තා …. හිතට දැනුනු අදුරු හැගීම් මාව රිද්දන්නේ කවදාවත් නැති තරම් දරුණු විදිහට …. මගේ හිත කොහේදෝ ඈතක අතරමන් වෙලා තිබ්බේ ….තේමිය අයියා ගැන නොහිතා ඉන්නවා කියලා හිතුනට ඒ අසරණ ඇස් දෙක මගේ ඇස් ඉස්සරහා මැවී මැවී පේනවා … විකුම් අයියා සැරින් සැරේ මගේ දිහා බැලුවේ මාව කතාවකට අල්ලගන්න උනත් එයා ඒ අදහස හිතින් අයින් කරගන්න ඇත්තේ මගේ මුඩ් එක අවුට් කියලා දැනුන නිසා වෙන්න ඕන …
එකපාරටම කොන්ද දිගේ ආපු වේදනාවක් යටි බඩ වෙනකන් පැතිරිලා යද්දී මම යටි තොල හපාගෙන වේදනාව විද ගත්තා …
‘දේව් … බඩ රිදෙනවාද … ‘’ මගේ මුහුණේ තිබ්බ වේදනාව විකුම් අයියා දකිනකන්ම මම එයාට මගේ වේදනාව ගැන කියන්න ගියේ නැහැ …
‘හ්ම්ම්ම් ඔව් …. හරි යයි …. තව ටිකකින් …වෙනදත් ඔය විදිහට රිදෙනවා නේ ..’
‘දේව් අපි අද නුවර ඉදලා යමුද …බබා හම්බවෙන්නද දන්නේ නැහැ ඔය බඩ රිදෙන්නේ ’ පේරාදෙණිය ගාර්ඩ්න් එක ඉස්සරහා කාර් එක නැවැත්තුව විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ උත්තරයක් ඉල්ලන්න වගේ ..
‘එච්චර ගානක් නැහැ … අනික මම ඩොකියුමන්ට් මොනවත් ගෙනාවෙත් නැහැ ..’
‘ඒ ගැන බයවෙන්න එපා …මම එන්න කලින් බබාගේ බඩු ටිකයි ෆයිල් එකයි ඔක්කොම කාර් එක ඇතුලට දැම්මා …’
විකුම් අයියා හැමදෙයක්ම පිළිවෙලට කරලා …මට එයා ගැන ලොකු සතුටක් දැනුනේ ….
‘තව දවස් තියෙනවා නේ අයියා …බයවෙන්න දෙයක් නැහැ අපි කොළඹ යමු …’ ,මම එහෙම කිව්වා උනත් කොන්ද දිහාවේ ඉදලා යටි බඩ වෙනකන් පැතිරිලා යන වේදනාව සැරින් සැරේ වැඩි වැඩියෙන් දැනෙන්න ගද්දි මටත් නොදැනි මගේ කටින් කෙදිරිල්ලක් පිටවුනා … කොළඹ පැත්තට යන්න හරවගත්ත කාර් එක නවත්තලා විකුම් අයියා මගේ දිහා බැලුවේ විමසිල්ලෙන් ..
‘අමාරුයිද …’ මම කොන්දට අතක් තියාගෙන ඔළුව වැනුවේ වේදනාව නිසා ඇස් දෙක කදුළු වලින් පිරිලා ඉතිරිලා යද්දීමයි
‘අපි හොස්පිට්ල් එකට යමු …’ විකුම් අයියා නුවර පැත්තට හරවා ගත්ත කාර් එක පේරාදෙණිය හොස්පිටල් එක ලගට යන්න විනාඩි දහයකට වඩා යන්න නැතිව ඇති … දැනුන වේදනාව නිසා මට වට පිටාවේ වෙන දේවල් දැනුනේ නැති තරම් ..
‘ මේ අම්මා පිවී එකක් කරන්න දාන්න ….’
‘ හරි ඩොක්ට…..’ ඊට පස්සේ මට දැනුනේ වේදනාව විතරමයි
‘නර්ස් මෙයාව තියටර් එකට ගන්න බබා ඩිලිවරි වෙන්න ලගයි ..’
‘දරුවා එන්න ලගයි අම්මා පොඩ්ඩක් උදව් කරන්න අපිට … ’ හතර පැත්තෙන්ම ඇහුන කටහඩවල් එක එක දේවල් කියද්දී මම රොබෝ කෙනෙක් වගේ ඒ කියන හැම දෙයකටම ප්‍රතිචාර දැක්වුවා …. තවත් මිනිත්තු කීපයකට පස්සේ මට දැනුනේ සැහැල්ලුවක් …
‘මෙන්න ඔයාට ලස්සන පුතෙක් හම්බවෙලා …’ තවත් විනාඩි ගානකින් නර්ස් කෙනෙක් මගේ ලගට අරන් ආවේ මම මෙච්චර දවස් වෛර කරපු ඒ ජීවියා කියන එක මට ඒ වෙලාවේ අමතක වෙලා ගියා … රෝසම රෝස පාට පුංචි ජීවියා මගේ අතට ඇවිත් අඩන්න ගත්තේ අම්මි අම්මි කියනවා වගේ . මංවත් දන්නේ නැති වෙලාවක මගේ පපුව ශීතල වෙලා ගියේ ඒ පුංචි දරුවා ගැන හිතට දැනුනු ආදරේ නිසා …
‘අම්මා බබාට කිරි දෙන්න …’
බ්ල්ව්ස් එකේ බොත්තම් දෙකක් ගලවලා මම දරුවා පපුවට ලංකරගත්තා …..නුහුරු දෙයක් උනත් ඒ පුංචි තොල් වලින් කිරි උරලා එයාගේ බඩ පුරවගන්න පුරුදු වෙන්න එයාට වැඩි වෙලාවක් නැහැ …. ඇට මස් ලේ නහර පසාරු කරගෙන යම් දෙයක් මගේ ශරීරය පුරාම පැතිරිලා ගියා …ඔව් ඒ අනන්ත මව් සෙනෙහසයි …. හැම වේදනාවක්ම .. හැම දුකක්ම මගේ හිතින් ඈතට ගිහින් මම සතුටින් හිනාවුනා ..අද ඉදලා දේව් …පුංචි පුතෙක්ගේ අම්මි කෙනෙක් ….
තවත් පැය දෙකකට පස්සේ මාවයි බබාවයි වෝඩ් එකට දැම්මා … මම බලාගෙන හිටියේ අපේ පුංචි පුතා බලන්න විකුම් අයියා එනකන් …..
දවල් ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවේ විකුම් අයියා මාව බලන්න ආවේ ලොකු රෝස මල් පොකුරකුත් අතින් අරන් ..
‘සුභ පැතුම් පුතුගේ අම්මි …’ විකුම් අයියා කිරිකැටියා නිදාගෙන හිටපු තොටිල්ලට එබුනා …
‘පුතු පැටියාගේ තාත්තිටත් මගෙන් සුභ පැතුම් ..’
‘බලන්න මෙයා හිනෙන් හිනාවෙනවා …’ විකුම් අයියා කවදාවත් නැති තරම් සතුටින් හිටියේ
‘ එයා සුරංගනාවියෝ එක්ක කතා කරනවා වෙන්න ඇති ‘’
‘මට පුතුව වඩා ගන්න ඕන පුතුගේ අම්මි …’ තොටිල්ලේ හිටිය පුතු පැටියා අතට ගත්ත මම විකුම් අයියා දිහා බැලුවා
‘වඩාගන්න මෙන්න මේ විදිහට …’
‘මට බයයි දේව් ..’
‘මාත් බයෙන් හිටියේ ඒත් දැන් නම් ආස හිතෙනවා …’ මම එහෙම කිව්වම විකුම් අයියා පුජා වට්ටියක් අතට ගන්නවා වගේ පුංචි පුතු පැටියාව අතට ගත්තා
‘හරි ලස්සනයි දේව් …..දන්නවාද මට ගොඩක් සතුටුයි …ඔයා මට මේ දුන්නේ ජිවිතේ ලැබුණු ලොකුම තෑග්ග . …. ඔයාට පින් දේව් ….’
විකුම් අයියාගේ ඇස් වලින් කදුළු පිටට පනින්න ඇත්තේ හිතට දැනුනු සතුට වැඩිකමට වෙන්න ඕන … දේව් ඔයාගේ තාත්තිත් දවසක ඔයාව මේ විදිහට අතට ගන්න ඇති …මේ තරම්ම ආදරෙන් ඔයාව තුරුළු කරගන්න ඇති .. මගේ හිත මට එහෙම කියද්දී මමවත් දන්නේ නැතිව මගේ ඇස් වලට කදුළු ඉනුවා ..

*******
අහස් නිම්නාද පුතු විකුම් අයියාගේ වගේම මගේ ජීවිතේටත් අරන් ආවේ නොනිමි සතුටක් කිවොත් වැරදි නැහැ .. තේමිය අයියා ගැන උනත් හිතලා වෛර කරන්න මට ඕන උනේ නැහැ … එයා අන්තිම සැරේට දකිද්දී මට දැනුනේ එයා ගොඩක් විදවනවා කියන එකයි .. ඉතින් තවත් එයාට වෛර කරන්න මට ඕන උනේ නැහැ …. තේමිය අයියා හිටිය අතීතයේ හැමදෙයක්ම මම හිතින් මකලා දැම්මත් ….දවසින් දවස ලොකු වෙන පුංචි පුතුගේ ඇස් මට තේමිය අයියාව අමතක කරන්න බැරි මතකයක් කළා ..
‘අම්මි මගේ සපත්තු කොහෙද දැම්මේ ….’ විකුම් අයියාට මං නැතිවම බැහැ
‘ඔය ෂු රැක් එකේ ඇති ..’
‘ මම හෙව්වා නැහැ නේ …. පොඩ්ඩක් හොයලා දෙන්නකෝ … ‘’
‘ගෙදරට ආපු වෙලාවේ ඉදලා පුතු එක්ක සෙල්ලම් කරන සිහිය විතරයි නේ මෙයාට තියෙන්නේ ..ඉන්න මම හොයලා දෙන්නම් ..’
‘මේ තියෙන්නේ මොකක්ද …..’
‘මම දැක්කේ නැහැ අනේ ..’
මගේ අතින් සපත්තු දෙක ගත්ත තේමිය අයියා අහිංසක විදිහට හිනාවේවි සපත්තු දෙක දාන්න ගත්තා ….මට මතක් වුනේ තාත්තිව මෙච්චර කාලෙකට පස්සේ තාත්තිව හීනෙන් දැක්කේ ඊයේ රෑ ….. ඒ හීනේ එයා මගේ දිහා බලාගෙන හිටියෙත් කදුළු ඇස් වල පුරවාගෙන … හදිස්සියේම දැක්ක ඒ හීනෙ මගේ හිතට වදයක් වෙලා තිබ්බේ …ඇස් දෙකට කදුළු එබෙද්දි මම විකුම් අයියා දිහා බැලුවා …
‘විකුම් අයියා …. ‘’
‘හ්ම්ම්ම් ..’
‘මට තාත්තිව බලන්න ආසයි ..’
දවස් ගානක් හිතේ තිබ්බ ආසාව මම එයා ඉස්සරහා එළියට දාද්දි එයා මගේ දිහා බැලුවේ ලොකු දුකකින් ..
‘මොකද මේ අඩන්නේ ඉතින් අපි ගෙදර යමු ලගදීම ’
‘මම ඊයේ රෑ තාත්තිව හීනෙන් දැක්කා එයා අඩ අඩ මගේ දිහා බලාගෙන ඉදලා මොකුත් නොකියාම යන්න ගියා ..’
‘මම අද උමායා නංගිව හම්බවෙන්නම් …. එතකොට විස්තර ඔක්කොම දැනගන්න පුළුවන් නේ … දැන්වත් හිනාවෙන්න ඉතින් ….මම ඔයා අඩනවා දකින්න කැමති නැහැ ..’
මම හිනාවෙන්න ට්‍රයි කලත් තාත්තිගේ කදුළු මතක් වෙද්දී මට හිනාවෙන්න බැරිවුනා …
‘මේ බලන්න පුතු අම්මි බොරුවට අඩනවා ….. ’ ඇදේ හිටපු පුතු පැටියා අතට අරන් හුරතල් කරන්න ගත්ත විකුම් අයියා ඔෆිස් යන්න ඇදගත්ත ඇදුම පුතු පැටියා තෙමනකන් පුතුව හුරතල් කරන එක නැවැත්තුවේ නැහැ …
‘ බලන්නකෝ චණ්ඩි පුතු ඔයාව තෙමුවා නේද …. ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න මම ඉක්මනට ඇදුමක් අයන් කරලා දෙන්නම් ..’
පුතු පැටියා මගේ අතට දීලා විකුම් අයියා බාත් රූම් එක යද්දී එයාගේ ෆෝන් එක නවතින්නේ නැතිව රිංග් වෙන්න ගත්තා …
‘විකුම් අයියා කෝල් …’
‘පොඩ්ඩක් බලනවාද කවුද කියලා’ විකුම් අයියා බාත් රූම් එකේ ඉදලා එහෙම කියද්දී පුතුව ඇද උඩ තිබ්බ මම විකුම් අයියාගේ ෆෝන් එක අතට අරගත්තා
‘හෙලෝ …විකුම් අයියා …. තාත්තිට ගොඩක් අමාරුවෙලා ජෙනරාල් හොස්පිට්ල් ඇඩ්මිට් කරා …මට බයයි අයියා ගොඩක් …’
ෆෝන් එකේ එහා කෙලවරින් ඇවිත් මගේ කනේ තැම්පත් උනේ මගේ නංගි උමයාගේ කටහඩ
‘තාත්තිට මොකද …පොඩ්ඩි ….කියනවා මගේ තාත්තිට මොකද උනේ කියලා …’
‘අනේ අක්කි අපේ තාත්ති ….එයාට හාර්ට් ඇටැක් එකක් ආවා …. එයාව අයි සි යු දැම්මා …. ඉක්මනට එන්න …අක්කි ..’
පොඩ්ඩි එහෙම කියද්දී මට පෙනුනේ මුළු ලෝකෙම මගේ වටේ කැරකෙනවා වගේ … මගේ රත්තරන් තාත්තිට මොකුත්ම වෙන්න එපා … ඒ තප්පරේ මගේ හිත කිව්වේ එච්චරයි …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *