~දෙව්දූ~29 කොටස
~~~දෙව්දූ~~~
29 කොටස
ගෙදර ඇවිත් දවස් ගානක් යනකන් තේමිය අයියා නැති කාන්සිය මට තදින්ම දැනුනා .. හැමදාම උදේ දකින සුදු මුහුණ දකින්න නැතිව හිතට කිසිම සතුටකුත් නැහැ වගේ ….
‘දේව් ගමනක් යන්න ලැහැස්ති වෙන්න …’ අම්මි කාමරේට එබුනේ මම කාමරයට වෙලා තනියම කල්පනා කර කර ඉද්දි ..
‘හරි අම්මි මම ලැහැස්ති වෙලා එන්නම් ..’ කොහෙද යන්නේ කියලාවත් අහන්නේ නැතිව මම ඩෙනිම් කලිසමට උඩින් ටීෂර්ට් එකක් දාගත්තා
මම මිදුලට බහිද්දී අම්මි ගරාජ් එකේ තිබ්බ කාර් එක එලියට අරන් මම එනකන් බලාගෙන ඉන්නවා ..
‘ඔය මොකක්ද ඇදන් ඉන්නේ … සුදු පාට ඇදුමක් දාගෙන එන්න .. ’ මාව දැක්ක ගමන් අම්මි කාර් එකේ ඇතුලේ ඉදලාම කෑගහන්න තියාගත්තා …. නපුරු කලට වට් ටු ඩූ කියලා ආපහු කාමරේට ගිය මම සුදු පාට දිග ගවුමක් ඇදගෙන ආවා …
‘එන්න දරුවෝ ඉක්මනට …’
මම දුවලා ගිහින් කාර් එකේ ඉස්සරහා දොර ඇරලා වාඩිවෙද්දී අම්මි කාර් එක මෙයින් රෝඩ් එකට දැම්මා ..
‘තාත්ති උදේම කොහෙද ගියේ අම්මි …’ අද උදේ ඉදලා තාත්ති පේන්න හිටියේ නැති නිසයි මම එහෙම ඇහුවේ
‘අද මිනිස්ටර් එනවාලු මිටින් එකකට .. උදේම ලැහැස්ති වෙලා ඒකට දිවුවේ ..’
තාත්ති බිස්නස් නිසා මේ දවස් වල හොදටම බිසි වෙලා නිසා ගෙදර දොරේ කටයුතු වගේම අපේ දේවලුත් හොයලා බලලා කරන්න උනේ අම්මිට … මොන තරම් වැඩ තිබ්බත් එයා තාත්තිට මොකුත්ම කියන්නේ නැතිව පුළු පුළුවන් විදිහට හැම දෙයක්ම කරා ..
‘හ්ම්ම්ම් …. අම්මි අපි කොහෙද යන්නේ …’
කාර් එක ටවුන් එක පහුකරලා යද්දී මම ඇහුවේ යන්නේ කොහෙද කියලා දැනගෙන හිටියේ නැති නිසා …
‘අර ඔයාගේ කේන්දරේ බැලුව කපු මහත්තයා කිවුවා ඔයාට යන්තරයක් දාන්න කියලා …. අද යන්නේ ඒකට ….තාත්තිත් එන්න හිටියේ එයාට හදිස්සියේ මිටින් එකක් වැටුනා නේ ..’
‘අම්මි ඕවා බොරු වැඩ ….මම විශ්වාස කරන්නේ නැහැ … ’ ඕනෑවට එපාවට වගේ මම එහෙම කිවුවාම ඇස් කොනින් මගේ දිහා බලපු අම්මි මට රැවුවා
‘එහෙම කියන්න එපා දූ යන්තර මන්තර වලත් බලයක් තියෙනවා ..’ අමනාපෙන් වගේ මගේ දිහා බලලා අම්මි එහෙම කියද්දී මම මුහුණින් නොපෙන්වා හිත යටින් හිනාවුනා …නවීන යුගයේ මිත්‍යා විශ්වාස වල එල්ලිලා ඉන්න ඒ අය ගැන මගේ හිතට ආවේ දුකක් කලකිරීමක්
‘මේ දරුවාට ගොඩක් අපල තියනවානේ … හ්ම්ම්ම් …හ්ම්ම්ම්ම් …’ වේලාපත්කඩ අතට අරන් එහාට මෙහාට හරව හරව ගණන් වාගයක් හැදුව ගුරුන්නාන්සේ නළල රැලි කරගෙන උගුරේ රැල් බුරුල් කරා
‘මොකක්ද ගුරුන්නාන්සේ අපි දැන් කරන්නේ …’ අම්මි ගොඩක් බය වෙලා කටහඩත් හොදටම වෙව්ලනවා
‘ඉදිරි අවුරුදු පහකුත් මාස නවයක කාලයක් මේ දරුවාට බොහොම දුක් ගැහැට විදින්න සිද්ද වෙනවා … ආදරය නිසා බොහොම හිත් රිදවා ගැනීම් පවා සිද්ද වෙන්න පුළුවන් .. තමන්ම හිතලා පරිස්සම් වුනොත් මේ හැමදෙයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් …’
‘ගුරුන්නාන්සේ මේකට පිලියමක් නැද්ද ..’ අම්මි ගේ ඇස් වල කදුළු පිරිලා …
‘අපි යන්තරයක් දාලා ආරක්ෂාවක් කරමු …. ඊට අමතරව මේ දරුවා වෙනුවෙන් බෝධි පුජා වගේ පිංකන් කරන්න පුළුවන් තරම් …’
ගුරුන්නාන්සේ එහෙම කියලා සුරයක් අතට අරන් මොන මොනවාදෝ මන්තර ගොඩක් කියලා ජප කරන්න පටන් ගත්තා ..
‘මේ යන්තරේ කොයිම වෙලේවත් ගලවන්න එපා .. ’ කළු නුලක දාපු සුරය බෙල්ලේ එල්ලන ගමන් ගුරුන්නාන්සේ උපදෙස් ගොඩක් දුන්නා
‘එහෙනම් ගුරුන්නාන්සේ අපි ගිහින් එන්නම් …ගොඩක් පින් කරපු උදව් වලට ..’ අම්මි ගුරුන්නාන්සේට පඩුරු තියලා මාත් එක්ක එළියට බැස්සා
කොළඹ ටවුන් එකට ඇවිත් සුපර් මාර්කට් එක ලග කාර් එක නවත්තනකන් අම්මි බර කල්පනාවක හිටියේ … අඩන්න ලංවෙලා වගේ තිබ්බ එයාගේ ඇස් වලින් කදුළු පනියි කියලා මම මොකුත්ම අහන්න ගියේ නැහැ …..
‘රාධා මාර්කට් ආවාද ..’ බඩු ගොඩකුත් අරන් කාර් පාර්ක් එකට යද්දී අපි ඉස්සරහට ආවේ විකුම්ගේ අම්මා
‘ඔව් දුලි …මේ දූ එක්ක බඩු ගන්න ආවා …. ඔයා කොහෙද මේ ..’
‘මාත් මේ බඩු වාගයක් ගන්න ආවේ ….කොහොමද දූ කවද්ද ආවේ …’ අම්මිට උත්තර දෙන ගමන්ම විකුම්ගේ අම්මා මගේ දිහා බලලා ආදරෙන් හිනාවුනා
‘හොදයි ඇන්ටි … මම පෙරේදා ආවේ ..’
‘දු ඇවිල්ලා කියලා අපේ එක්කෙනා දන්නවා නම් ….. දුවගෙන එයි බලන්න ..’
‘කෝල් එකක් දෙන්නවත් බැරි වුනා දුලි …. කිරි දානේ නිසා ගොඩක් වැඩ ගොඩ ගැහිලා …. හස්බන්ඩ් මේ දවස් වල වැඩ ගොඩක ඉන්න නිසා හැමදෙයක්ම තනියම කරන්න එපැයි …’
‘ඒකට මොකද වෙන්නේ රාධා … අපි ලගදීම හම්බවෙමුකෝ ..’
ටිකක් වෙලා අපිත් එක්ක කතා කර කර හිටිය විකුම්ගේ අම්මා යන්න ගියේ තවත් පැය භාගයක් විතර අපිත් එක්ක කතා කරකර ඉදලා
******
‘අක්කි ඔයාට එදා විකුම් අයියා මොනාද එවලා තිබ්බේ …’ නංගි හාර හාර අහනවා මගේ පස්සෙම වැටිලා ….
‘නංගා ඔයාට ඕනේ නැති කෙන්ගෙඩියක් නැහැනේ .. යන්නකෝ මෙතැනින්’
මිදුලේ මල් පාත්ති වලට වතුර දාන ගමන් මම එහෙම කිවුවේ කන්කරච්චලේ ඉවසන්නම බැරිව ..
‘ අක්කි මේ අර ඔයාගේ බෝඩිමේ අයියා ඔයාගෙන් යාලුවෙන්න ඇහුවාද … ’ මම කිසි උත්තරයක් දෙන්නේ නැතිව මගේ පාඩුවේ මල් පැල වලට වතුර දැම්මේ එතකොටවත් මෙයාගේ කියවිල්ල ඉවර වෙයි කියලා
‘අක්කි එයා ඔයාගේ කැම්පස් එකේමද …’
‘අක්කි ඔයා එයාට කැමතිද ..’
එක ප්‍රශ්නෙකින් නවතින්නේ නැතිව නංගි පෙළක් අහනවා….
‘අනේ අක්කි ඔයා කියන්නේ නැහැ නේ මට මොකුත්ම .. ‘’ මම උත්තර නොදී ඉද්දි නංගි ඇවිත් මගේ අතේ තිබ්බ හෝස් එක උදුරලා අරන් වතුර පාර මගේ දිහාවට ඇල්ලුවා …
‘දෙනවා ඔන්න ඕක මෙහෙට … මාව හොදටම තෙමෙනවා ’ එයා අතින් හෝස් එක උදුරගන්න ට්‍රයි කරද්දී උනේ තවත් මාව තෙමෙන එක විතරයි …
‘අක්කයි නංගියි දෙන්නා සෙල්ලම් කරනවාද …’
විකුම් අයියයි එයාගේ අම්මයි අපි ලගට එනකන් මමවත් නංගිවත් දැක්කේ නැහැ …
‘නැහැ ඇන්ටි මේ නංගි මාව තෙමුවා හොදටම …’
දුලි ඇන්ටිට පස්සෙන් හිටගෙන හිටපු විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ ගල් ගැහිලා වගේ … ඒ ඇස් දෙකේ මොකක්දෝ ආකර්ශනයක් තියෙනවා එයා ලගට මාව ඇදලා ගන්න … ඒ හැගීම දිගේ ගොඩක් දුර යන්න මට බයක් දැනුනේ …
‘ඔයා හොදටම තෙමිලා ඉන්නේ ළමයෝ …යන්න ගිහින් කොන්ඩේ පිහදාගන්න … නැති නම් හෙම්බිරිස්සාව හැදෙයි ’
ඇන්ටි එහෙම කියද්දී තමා මට මතක් වුනේ මම හොදටම තෙමිලා ඉන්නේ කියලා …
‘ඇන්ටි එහෙනම් ගේ ඇතුලට ඇවිත් වාඩිවෙන්න ….නංගා අම්මිට කියන්න ඇන්ටිලා ඇවිත් කියලා ..’
එයාලාට ගේ ඇතුලට එන්න ආරාධනා කරපු මම කාමරේ ඇතුලට ගිහින් ලා රෝස පාට තුවායත් අරන් කන්නාඩිය ඉස්සරහට ගියා …. වතුර නිසා ඇගටම ඇලවුණු ගවුම නිසා මගේ ඇගේ හැඩේ ඉලිප්පිලා පේනවා .. දෙවියනේ මම මේ විදිහටද විකුම් ඉස්සරහා හිටගෙන හිටියේ ..හිතට ආපු ඒ හැගීම මුළු ඇගම ලැජ්ජාවෙන් රත්කරද්දී මම තෙත ගවුම ගලවලා වෙන ගවුමක් ඇදගත්තා ..
‘දේව් මෙහෙට එන්නකෝ දූ …’ අම්මි සාලේ ඉදලා කතා කරනවා මට
‘මේ එනවා අම්මි ..’
‘දූ මේ ඇන්ටිලාට කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්නකෝ ..’
මම කුස්සියට ගිහින් පැෂන් ෆෘට් දෙකක් හදාගෙන සාලෙට එද්දී කට්ටියම බර කතාවක . …විකුම් අයියා පැෂන් වීදුරුව අතට ගත්තේ ලස්සන හිනාවකින් මුහුණ සරසාගෙනමයි…
‘ඊයේ ගෙදර ගිහින් දූ ඇවිල්ලා කිවුව වෙලේ ඉදලා මෙයා වද දෙනවා මෙහෙ එමු කියලා .. ‘ පැෂන් එක තොල ගාන ගමන් විකුම් අයියා දිහා බලාගෙන දුලි ඇන්ටි එහෙම කියද්දී විකුම් බිම බලාගෙන හිනාවෙනවා
‘අනේ අම්මා ඕවා කියන්න එපා ..’ ව්කුම් අයියා කුටු කුටු ගානවා
‘ දේව් බලන්න එනකන් මට වදදීලා … දැන් මේ ළමයා එක්ක කතා කරන්නේ නැතිව මාත් එක්ක කුටු කුටු ගාන්නේ මොකද …… දෙන්නා කතා කර කර ඉන්න … රාධා අපි යමු කුස්සිය පැත්තට .’
ඇන්ටි අම්මිවත් ඇදගෙන කුස්සිය පැත්තට යද්දී නංගිත් ඒ පස්සෙන් ගියේ මගේ දිහා බලලා ඇහැකුත් ගහගෙන
‘නංගි…දේව් …’
මම එයාගේ බැල්ම මග ඇරලා ජනේලෙන්ඈත බලාගෙන හිටියේ ….
‘ගල් ගැහිලා වගේ ඉන්නේ නැතිව ඔතැනින් වාඩිවෙනවාද ….’ එයා එහෙම කියද්දී මම මොකුත්ම කියන්නේ නැතිව එයා ඉස්සරහා තිබ්බ පුටුවේ වාඩිවුනා
‘දේව් .. මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද ..’ ගොඩක් වෙලාවක් යනකන් මම කතා කරයි කියලා බලාගෙන හිටිය විකුම් අයියා අන්තිමේට එහෙම ඇහුවා
‘අකැමැත්තක් නැහැ ..’ කැමැත්තකුත් නැහැ කියන්න ඕන වුනත් මම ඒ ටික නොකියා හිටියේ ගෙදරට ආපු හතුරෙකුගේවත් හිත රිද්දන්න හොද නැති නිසා
‘එහෙනම් කියන්න මම උමායා නංගි අතේ එවුව ගිෆ්ට් එක හම්බවුනාද ..’
මම උත්තරයක් නොදීම ඔළුව හෙල්ලුවා
‘ඔයා ඒකට කැමති නැද්ද …’
එයා එහෙම අහද්දී මම මොකුත් කියන්නේ නැතිව කාමරේට දුවලා ගිහින් බෑග් එක අස්සේ තිබ්බ පාර්සල් එකත් අරන් සාලෙට ආවා …
‘මට මේක ගන්න බෑ අයියා ..’ මම පාර්සල් එක එයාගේ ඉස්සරහා තිබ්බ ටේබල් එක උඩ තිබ්බා ….ලස්සන හිනාවකින් පිරිලා තිබ්බ ඒ මුහුණේ හිනාව මැකිලා යන්න එච්චර වෙලා ගියේ නැහැ
‘ඇයි මේ …’ එයා මගේ ඇස් අස්සේ උත්තර හොයනවා
‘තාත්ති කියලා තියෙනවා ….. පිට අය දෙන තෑගී ගන්න එපා කියලා ..’ මම එයාගේ මුහුණ මග ඇරලා අහක බැලුවා
‘මම පිට කෙනෙක්ද ආ ….’ එයා මගේ මුහුණට එබුනේ මට මග අරින්න ඉඩ තියන්නේ නැතිව
‘මට ඔයා තාම පිට කෙනෙක් ..’
‘ඒ වුනාට කවදා හරි ඔයා මගේ වෙනවා …’
‘එහෙම උන දවසට මම ඔයා දෙන තෑගී ගන්නම් ..’ මම කිසිම හිතක් පපුවක් නැති කෙල්ලක් වගේ එයාට උත්තර දුන්නේ ….
‘දේව් ..මට ඇත්තම කියන්න ..ඔයාගේ හිතේ මන් ගැන කිසිම දෙයක් නැද්ද …කියන්න මට …ඔයා මට කැමතියි නේ ’ එයා මගේ මුහුණ දිහා බලාගෙන හිටියේ මගේ මුහුණේ තියෙන හැම ඉරියව්වක්ම කියවන්න වගේ … මම එයාට කැමති නැහැ කියලා කියනවාද නැද්ද කියන දෙගිඩියාවෙන් ටික වෙලාවක් කල්පනා කළා ….
‘මෙහ්…මෙහ් ..මම ….ඔයාට ..’ මම වචන ගැට ගහන්න ට්‍රයි කළා …
‘හලෝ …..විකුම් පුතා …’ මගේ කතාව සම්පුර්ණ කරන්න යද්දීම තමා තාත්ති ගෙට ගොඩවුනේ
‘අංකල් ….’
‘දැන්ද පුතා ආවේ …’
‘දැන් ටිකක් වෙලා අන්කල් ..’ තාත්ති විකුම් අයියා එක්ක කතාවට වැටෙද්දී මම කුස්සිය පැත්තට ගියා … මට කියන්න ගිය දේ සම්පුර්න කරගන්න බැරිවුණ වුන එක ගැන කනගාටුවක් ඇතිවුනේ …
****
ගෙදර ඇවිත් සතියක් වෙන්න ආවත් තේමිය අයියාගෙන් කෝල් එකක් නැහැ දෙතුන් පාරක් එයාලාගේ ගෙදරට කෝල් කරත් ඒ හැම කෝල් එකක්ම ආන්සර් කලේ වසන්තා ඇන්ටි …
‘හෙලෝ …’ නිකමට වගේ එදා හවස ගෙදර කවුරුත්ම නැති වෙලාවක් බලලා මම තේමිය අයියලාගේ ගෙදර නම්බර් එක ඩයල් කළා
‘හෙලෝ …’ එහා පැත්තෙන් ආවේ තේමිය අයියාගේ කටහඩ ….පෙරුම් පුරලා පුරලා තේමිය අයියාගේ කටහඩ ඇහුනාම මගේ හිතට ආවේ පුදුම සතුටක්
‘හෙලෝ අයියා ….’
‘දේව් ..’ ඒ කටහඩ මගේ කන්වලට දැනුනේ මේ ලෝකේ මිහිරිම හඩ විදිහට
‘මාව මතක් වුනේ නැද්ද ඔයාට …’
‘අමතක වෙන්න ඔයාව මගේ හුස්ම නවතින්න වෙයි ..’
‘කට ….කට …මගේ පිස්සු කොල්ලා …. ඇයි කෝල් කරේ නැත්තේ ’
‘ඔයාට ගෙදරින් ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනා ..’
‘අයියා ඔයා මන් ගැන ගොඩක් හිතනවා නේද ..’
‘සමහර වෙලාවට මම මටත් වඩා ඔයා ගැන හිතන්නේ ..’
‘එනවා නේද මාව බලන්න … ’
‘එනවා …එනවා ..නෑවිත් බැහැ නේ …මාස දෙකක් ඔයාව බලන්නේ නැතිව ඉන්නේ කොහොමද ‘’
‘ඉක්මනට එන්න ප්ලීස් ..’
‘ඔන්න …අපේ අම්මලා නම් කිරි දානෙට දවස් දෙකකට කලින් එන්න ලැහැස්ති වෙනවා …’
‘ඔයත් එනවා නේ ..’
‘බලමුකෝ ….’
‘මොනවා බලන්නද …එදාට එන්න ඕන ඔයා ..’
‘හරි මැඩම් තරහා ගන්න එපා වැඩිය … මම එන්නම් එදාට …මටත් ඔයාව බලන්න ඕන ..’
තේමිය අයියා ෆෝන් එක තිබ්බේ ගොඩක් වෙලා මාත් එක්ක කියව කියවා ඉදලා …. අපිට අපි නොදැක ඉන්න බැරි බව අපි දෙන්නම දැනගෙන හිටියා .. දැන් ඉතින් එයා එනකන් මග බලාගෙන ඉන්න එක තමා මට කරන්න තියෙන්නේ ….එයාට කියන්න කොච්චර දේවල් මට තියෙනවාද ..
මතු සම්බන්ධයි