~දේව්දූ~27 කොටස
~~~දේව්දූ~~~
27 කොටස
‘දේව් … දේව් ..’
නිදිමත ඇස් බාගෙට ඇරලා මම දොර දිහා බැලුවා…. දොර ලග හිටගෙන වසන්තා ඇන්ටි මගේ දිහා බලාගෙන ඉන්නවා ..
‘ඇයි ඇන්ටි මේ උදේ පාන්දර මාව ඇහැරවන්නේ …අද නිවාඩු දවසක් නේ …’ මම නිදිමතේම එහෙම ඇහුවාම එයා ඇද ලගටම ඇවිල්ලා පොරෝගෙන හිටපු බෙඩ් ෂිට් එක ඇදලා අයින් කරා ..
‘නැගිටලා ගිහින් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා ..’
‘ ඉතින් කියන්නකෝ ඔච්චර අගේ කරන්නේ නැතිව ..’ මම නිදිමතේම නැගිටලා නයිටි එකට උඩින් හවුස්කෝට් එකත් දාගෙන සාලේ පැත්තට ගියා ..
‘දේව් ….. මගේ දුවේ …’ සාලේ සෝපා එකේ වාඩිවෙලා හිටිය අම්මි මාව දැකලා නැගිටලා මගේ ලගට ආවා ….
‘අම්මි මේ හදිස්සියේ …එනවා කියලා කිව්වේවත් නැහැ නේ ..’ මම අම්මිට තුරුළු වෙලා සෝපා එකේ වාඩිවෙලා ඉන්න නංගියි තාත්තියි දිහා බැලුවා .
‘අපි ඊයේ රෑ මෙහෙ එන්න තීරණය කලේ …’
අම්මි එහෙම කියද්දී මම එයාගෙන් මිදිලා තාත්ති ලගට දුවලා ගිහින් එයාට තුරුළු වුනා .
‘තාත්ති …මට ඔයාලාව ගොඩක් මතක් වුනා ..මම වීක් එන්ඩ් එකේ ගෙදර එන්න හිතාගෙන හිටියේ ..’
අපි කතා කර කර ඉද්දි වසන්තා ඇන්ටි තේ හදාගෙන ආවා …
‘වසන්තා මගේ කෙල්ලව බලාගන්න විදහට මටවත් බෑ කෙල්ල බලාගන්න ..’ අම්මි වසන්තා ඇන්ටිට එහෙම කියද්දී එයා හරිම අහිංසක විදිහට හිනාවුනේ
‘ඕක මොකක්ද රාධා ….මටත් දූලා නැති එකේ මගේ ලග මේ කෙල්ල ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද ..’
‘ වසන්තා .. අපි ආවේ ඔයාට ආරාධනයක් කරන්නත් එක්ක …’
මොකක්ද මේ එකපාරටම අම්මි කියන කතාව … මටවත් කියන්නේ නැතිව මාව කසාද බන්දන්න ලැහැස්ති වෙනවාවත්ද …හිත ගැහෙන වේගේ වැඩිවුණේ එකපාරම හිතට ආපු බයට වෙන්න ඇති ..
‘මොකක්ද අප්පේ ආරාධනේ …’
‘ අපේ දේව්ගේ කේන්දරේ බලන්න ගියා මේ ලගදි .. දේව්ට අවුරුදු විසි එක ලැබුවාට පස්සේ ලොකු අපලයක් තියෙනවා ලු … ජිවිතේ ගැන කලකිරෙන්න උනත් පුළුවන්ලු ….. ඒක නිසා දුව වෙනුවෙන් පුලුවන් තරම් පිං කරන්න කිවුවා .. අපි තීරණය කරා කිරි අම්මාවරුන්ට දානයක් දෙන්න ඕනේ කියලා .’
‘ඒක නම් ලොකු දෙයක් …. ’
‘ දුවගේ උපන්දිනේ දවසට දානේ ලැහැස්ති කරන්නේ …වසන්තා ගෙදර ඔක්කොම එක්ක එදාට අපේ ගෙදර එන්න ඕන …දවස් දෙකක් විතර ඉන්නත් බලාගෙන ..’
‘නෑවිත් කොහොමද දේව් වෙනුවෙන් කරන දෙයකට ‘’
‘අම්මා මගේ කමිසේ අයන් කරලා දෙනවාද ..’ තේමිය අයියා කාමරෙන් එලියට ආවේ ඒ වෙලාවේ …. එයා ඊයේ ගෙදර එනවා කියලා මම දැනගෙන හිටියේ නෑ .. කලබලෙන් එලියට ආපු තේමිය අයියා සාලේ හිටිය කට්ටිය දැකලා හිටිය තැනම නතර වුනා ….
‘ රාධා මේ මගේ ලොකු පුතා ඉන්නේ .. අද පාන්දර ගෙදර ඇවිත් කොහෙද මේ දුවන්න යන්නේ ඔයා ’ රාධා ඇන්ටි අපේ අම්මිලාට තේමිය අයියාව අදුන්වලා දෙන ගමන්ම එයාගෙන් ඇහුවා
‘අද යාළුවො එකතු වෙලා හොස්ටල් එකේ පාඩම් කරනවා අම්මා …’
එයා එහෙම කියලා අපේ අම්මිලා දිහා බැලුවේ කවදාවත් දැකලා තිබුනේ නැති නිසා වෙන්න ඇති
‘පුතා මේ ඉන්නේ දේව්ගේ අම්මයි තාත්තයි නංගියි ..’
අපේ ගෙදර අයට තේමිය අයියා අදුන්වලා දෙද්දී එයා අම්මයි තාත්තියි ලගට ඇවිත් ආචාර කරා …කිසිම ලොකු කමක් නැතිවම …
‘එදා අපි එද්දිත් පුතා ගෙදර හිටියේ නැහැ නේ … පුතත් ඉන්ජිනියර් ෆැකල්ටි කියලා අම්මා කිවුවා ..’
‘ඔව් අන්කල් මම තර්ඩ් ඉයර් එකේ ..’
ටික වෙලාවකින් අපේ ගෙදර අයත් එක්ක හිතවත් වෙන්න තේමිය අයියාට පුළුවන් උනා … තාත්තිගේ හිතටත් තේමිය අයියාව හොදටම අල්ලලා ගිහින් වගේ … දෙන්නා ගේ කතාබහ බිස්නස් වල ඉදලා පොලිටික්ස් වෙනකන් දුර ගිහින් …
‘අංකල් අපි පස්සේ හම්බ වෙමු එහෙනම් …’ තේමිය අයියා එහෙම කියලා යන්න ලැහැස්ති වුනේ ගෙදර ෆෝන් එකට යාළුවො දෙන්නෙක් තුන්දෙනෙක් සැරින් සැරේ කෝල් කරාට පස්සෙ
‘එහෙනම් පුතා අපේ ගෙදර එන්න ඕන ..අම්මලා එක්ක …’
තාත්ති තේමිය අයියා මිදුලට බහිනකොට සද්දෙට කිවුවා ….
‘අම්මි මම චේන්ජ් කරගෙන එන්නම් ..’ තේමිය අයියා යනකන් බලාගෙන හිටිය මම කාමරේ පැත්තට යද්දී නංගිත් මගේ පස්සෙන්ම ආවා
‘අක්කි …මෙන්න මේක මස්සිනා පොඩ්ඩ දෙන්න කිවුවා …’
කාමරේට ගිය ගමන් නංගි එයා අතේ මෙච්චර වෙලා තියාගෙන හිටපු බෑග් එක මට පාස් කරා
‘මොනවද මේ ..’
මගේ හිතට ආවේ කුතුහලයක් විකුම් මොනවාද මට මේ එවලා තියෙන්නේ ….. මේක ගත්තේ නැති නම් මෙයා මොනවා හරි හිතයි ….
‘ඔයාම බලාගන්න .’
‘එහෙනං ඕන්න ඔහේ තියනවා …මම පස්සේ බලන්නම් ..’ මම එහෙම කියලා බාත් රූම් එකට යද්දී නංගි අතේ තිබ්බ බෑග් එක මෙසේ උඩ තියනවා මම දැක්කා ..
මම නාගෙන එනකනුත් නංගි මගේ කාමරේට වෙලා ජනේලෙන් ඈත මල් පාත්ති දිහා බලාගෙන ඉන්නවා
‘හරි ලස්සනයි අක්කි ..’ නංගි මගේ දිහා කන්නාඩියෙන් බලාගෙන ඉන්නවා
‘දන්නවා මම ලස්සනයි කියලා ..’
‘ඔයා නෙවෙයි අර එළියේ තියෙන මල් පැල’
‘මමත් ඔය එළියේ තියෙන මලක් වගේ ලස්සනයි තමා …..’ මම එහෙම කියලා කන්නාඩියෙන් පේන නංගිට විරිත්තුවා
‘මේ අක්කි …අර අයියා මාර හැන්ඩියා නේ ..’ නංගි එකපාරම කිවුව දේ නිසා මම ගැස්සිලා ගිහින් එයා දිහා බැලුවා
‘මොන ..’
‘මේ ගෙදර ලොකු අයියා ..’
‘හ්ම්ම්ම් …’
‘මොකද ගොළුවුනේ .’
‘නිකන් ….’
‘අක්කි එයා ඔයා දිහා බලන්නේ අමුතු විදිහට …ඕනෑම මෝඩයෙක්ට ඒක තේරෙනවා … ‘’
‘පොඩ්ඩි කට…. කට ….. කාට හරි ඇහෙයි … ඔයා පොඩි කමට හරියට පැහිලා ..දැන් කියවනවා හොදටම වැඩි හරිද ..’
මම එයාගේ කටට අත තියලා එයා කියන්න ගිය කතාව නතර කළා …
‘අම්මිගේ කනේ එහෙම තියනවා නෙවෙයි ඔය කතා ..’ මම නංගිට සැරකලේ බැරි වෙලාවත් මෙයා කාටහරි ඔය දේවල් කියන්න ගියොත් සිද්ද වෙන දේ හිතාගන්න බැරිව …
‘අනේ මම කියන්නේ නැහැ අක්කි ….හැබයි ඔයා වැරදි දෙයක් කරලා තාත්ති ඉස්සරහට එන්න එහෙම එපා .. එයාට දරාගන්න බැරි වෙයි …. එයා ඔයාට ගොඩක් ආදරෙයි අක්කි .. ’
එයා හරිම බැරෑරුම් විදිහට එහෙම කියලා කාමරෙන් එලියට යද්දී මම ඇදේ වාඩිවෙලා එයා කිවුව දේවල් කල්පනා කරා …
ඒ හවස අම්මිලා යන්න ගියේ මගේ හිතේ සතුටත් අරන්මයි …නංගිගේ අර වචන කීපය මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා ගිහින් තිබ්බා .. මම විකුම් එවලා තිබ්බ පුංචි පාර්සල් එක ගලවන්නේ නැතිවම මගේ පොත් බෑග් එක අස්සේ දාගත්තා
****
ඊයේ රෑ පුරාම නිදි වරාගෙන මම කල්පනා කරේ මේ ප්රශ්නෙට විසදුම මොකක්ද කියලා …. පාන්දර වෙනකන් නිදිමරපු නිසා එදා ලෙක්චර් එකේදී මම නෝට් ලියුවේ නිදි කිර කිරමයි …
‘ඔන්න අද ප්රෝපෙසර් දිසානායක අද නැහැලු ….ඊලග ලේක්චර් එක කැන්සල් …’ ක්ලාස් එකෙන් එලියට බහිද්දී තරිදු අරන් ආවේ හොද ආරංචියක් නිදිමතේ හිටිය නිසා ලෙක්චර් කට් කරන්න ඕන කියලා හිතුවා විතරමයි …
‘පොර නම් හිටියත් නැහැ වගේ නේ පොරගේ ලෙක්චර් එක වෙලාවට කොල්ලෝ ඔක්කොම නිදි …කෙල්ලෝ විතරයි නේ අහන් ඉන්නේ ..’ තරිදු කිව්ව කතාව නම් ඇත්ත
‘ ඔව් ඉතින් ඔයාලා නිදාගත්තාම ඔයාලාට නෝට් ලියලා දෙන්න අපි වගේ කෙල්ලෝ ඉන්නවා නේ ..’ හිමායා එහෙම කිවුවේ තරිදුට රවන ගමන්මයි …
‘තරහා ගන්න එපා බබෝ අපි යමු පොඩ්ඩක් ඇවිදින්න ..’ තරිදු හිමයාගේ අතින් අල්ලාගෙන අපිට ටටා බායි කියලා යද්දී සෙට් එකේ හිටිය අනිත් එවුනුත් එකා දෙන්නා එතනින් යන්න ගියා ඉතිරි වුනේ මම විතරයි ..
‘දේව් තනියම කොහෙද යන්නේ .. ‘’ මම ගෙදර යන්න කියලා ගේට්ටුව පැත්තට හැරෙද්දී යන්න හැරෙද්දීම තේමිය අයියා කොහේදෝ ඉදලා මගේ ලගට ආවා
‘ අද දිසානයන සර් නැහැ ලෙක්චර් එක කැන්සල් මම ගෙදර යන්න කියලා හිතුවේ …ඔයා කොහෙද යන්නේ මේ ..’
‘ලසියා කිවුවා ඔයා මේ පැත්තට ආවා දැක්කා කියලා මම බලන්න ආවේ ..’
‘ලෙක්චර් එකට යන්නේ නැහැ ද …’
‘අද ලෙක්චර් එක කට් කරනවා … අපි ටිකක් කතා කර කර ඉමු ..’
එයා එහම කියලා මගේ අතින් අල්ලාගෙන ලවර්ස් ලේන් එක පැත්තට යන්න හැරුනා ….ලවර්ස් ලේන් එකේ යන්න පුළුවන් කපල් වලට විතරයි ….පේරා කැම්පස් එකේ ආදරයවන්තයින්ගේ ක්ෂේම භුමිය තමා මේ ලවර් ලේන් එක ……
මම එයාගේ අතේ එල්ලිලා එයාට ගොඩක් ලගින් ඇවිදගෙන ගියේ ..ගස් මුල් වල ඉදගෙන ආදරෙන් වේලිලා ඉන්න කපල් වලින් නම් අඩුවක් තිබ්බෙම නැති තරම් ……
‘මෙතනින් වාඩිවෙමු ….’ මහවැලි ගග ලගම ලොකු ගහක් ලග වාඩිවෙලා එයා මට අත දුන්නා .. මම එයා ලගින්ම වාඩිවෙලා එයාගේ උරහිසේ ඔළුව තියාගෙන ඇස් දෙක පියාගත්තා ..
‘ඔයා මොකක් හරි ප්රශ්නෙකද ඉන්නේ දේව් .. මොකද අද මේ කතා පෙට්ටිය වැහිලා .’ විනාඩි ගානක් යනකන් කතාවක් නැතිව හිටිය මගෙන් එයා එහෙම අහද්දී මම හෙමින් ඇස් ඇරලා එයා දිහා බැලුවා
‘ඇයි මේ ඇස් දෙකත් රතුවෙලා …’ එයා අත් දෙකින්ම මගේ මුහුණ එයා දිහාවට හරවාගත්තා
‘ඊයේ රෑ නින්ද ගියේ නැහැ අයියා …’ මම එහෙම කිව්වේ එයාව මග අරින්න මහවැලි ගගේ රැලි අතරේ ඇස් දෙක නතර කරගෙන
‘දේව් මට ඔයාගේ පුංචි වෙනසක් උනත් අදුරගන්න පුළුවන් ….මට මොකුත් හංගන්න එපා …ඕනෑම ප්රශ්නෙකට විසදුමක් තියෙනවා …ඒ නිසා ප්රශ්නයක් තියේ නම් කතා කරලා විසදගමු ..’
මේ හැම දෙයක්ම එයාට කියලා එන දේකට මුහුණ දෙන්න දේව් මගේ හිත මට එහෙම කිවුවා
‘අයියා ….ඔයා හැමදාම මගේ ලග ඉන්නවා නේද …හැම ප්රශ්නයකදීම මාව තනි කරන්නේ නැතිව …’
‘සත්තයි කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ ..’ අර නොහික්මුණු කොල්ලා මගේ ලගදි ගොඩක් හැගීම්බර වෙලා
එකපාරටම මහා හඩින් අකුණක් ගැහුවා .. මම බයටම එයා ලගට පැනලා ඒ පපුවේ මුහුණ හංගා ගත්තා ..
‘මොකද මේ බයවෙලා …..වැස්සක් එන්න යන්නේ …කුඩේ ගන්න ළමයෝ …’
මොර ගෙඩි සයිස් එකට වැහි බින්දු වැටෙන්න ගත්තේ හිතුවේවත් නැති වෙලාවක … මම අතේ තිබ්බ බෑග් එක අස්සට අත දාලා කුඩේ හොයද්දි විකුම් එවලා තිබ්බ බෑග් එක තේමිය අයියාගේ ඔඩොක්කුව උඩට වැටුනා …
‘මේ මොකක්ද ..’ තේමිය අයියා බෑග් එක අතට ගත්තාම මාව රත්වෙලා ගියා හරියට හොරකන් කරලා ගත්ත දෙයක් අහුවෙන්න යන්න වෙනවා වගේ හැගීමක් තමා මට ඇතිවුනේ .. දෙවියනේ දැන් මොනවා වෙයිද … තේමිය අයියා මගේ මුහුණ දිහා ප්රශ්නාර්ථයකින් බලාගෙන ඉදලා මගෙන් උත්තරයක් නැති වුනාම … පාර්සල් එක ලිහන්න ගද්දි මම ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව බලාගෙන හිටියා … ෆ්රොම් විකුම් ටු දෙව්දු පෙට්ටිය උඩින් ඉංග්රීසි අකුරු වලින් එහෙම ගහලා තිබුනා … පුංචි පෙට්ටිය ඇතුලේ අලුත්ම මොබයිල් ෆෝන් එකක් ….
‘ කව්ද විකුම් කියන්නේ … ඌ මොකටද තමුසෙට මේ වගේ ගිෆ්ට් එකක් අරන් දෙන්නේ …’ තේමිය අයියාගේ මුහුණ කළුවෙලා විරූපී වෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ .. මේ වෙලාවේ ඇත්ත කියන්න ගියොත් එයා මාව විශ්වාස කරන එකක් නැහැ … එයාගේ කටහඩත් හොදටම නපුරු වෙලා සැකෙන් වගේ මගේ දිහා බලාගෙන හිටියේ
‘ඒ අපේ කසින් කෙනෙක් …අම්මිලා අතේ ඔය ගිෆ්ට් එක එවලා තිබ්බේ …පස්සේ බලන්නම් කියලා බෑග් එකට දාගත්තාට බලන්න බැරිවුනා ’ මම කටට ආව බොරුවක් කියලා දැම්මා ..
‘මේ අහන්න දේව් ….ඔයා පිට එකාලාගෙන් තෑගී ගන්න එපා … මම ආස නැහැ ඒකට … මතක තියාගන්න …මේක වහාම රිටන් කරන්න ..’ එයා ස්ථිර හඩින් එහෙම කියලා බොක්ස් එක මගේ බෑග් එකට එබුවා
‘ මම එයාට මේක ආපහු දෙන්නම් අයියා ….’
මම ගග දිහාම බලාගෙන හිටියේ මගේ ඇස් දෙකේ තිබ්බ කලකිරීම එයාට පෙනෙයි කියලා හිතලා …පුංචි දෙයකට මෙච්චර කලබල වෙන එයා විකුම් ගෙයි මගෙයි ඇත්ත දැනගත්ත දවසට කොයි විදිහට හැසිරෙයිදද කියන එක මගේ හිතට ඇති කලේ බයක් … ප්රශ්නේ කතා කරලා විසදගමු කිව්වත් එයා මන් ගැන වැරදියට හිතන එකනම් සහතිකයි ..
මතු සමබන්ධයි