මා නොවේ ඈ නුඹේ 22 කොටස

කට්ටිය යද්දි උදම් ඇල්ල ලඟ හිටියත් හිමදි පේන්න හිටියෙ නෑ. විහංසාගෙ ඇස් නම් හෙව්වෙ ම හිමදිව.

“ලොකු අයියා කෝ ඔයාගෙ කුමාරිකාව.” සහස්‍රා උදම්ගෙ ලඟටම ගිහින් ඇහුවෙ කේන්තියෙන් මූණ රතු කරන්.

අනුරාධයි මියුරංගයි විහංසා එක්ක ඇල්ල ලඟටම ගියා. විහංසා වතුර අඩු හරියේ ගල් පොත්තක් උඩ ඉඳගත්තේ හිමදි ඉන්න තැනක් බලන ගමන්මයි. මියුරංග නම් ඇල්ලට බැස්සා සීතල නොබලාම.

උදම්ගෙ ඇස් තිබුනෙ විහංසා තනියම ගල් පොත්ත උඩ ඉඳගෙන ඉන්න දිහා. සහස්‍රා උදම් බලාගෙන ඉන්න දිහාව බලලා… උදම්ගෙ අතින් ඇගේ පැත්තට හරවගෙන…..

“ලොකු අයියා…. කෝ ඔයාගෙ කුමාරිකාව. දැන් අපිවත් දාලා එයාව කැන්දගෙන ආවා නේද?” සහස්‍රාට තවත් කේන්තියි.

“අන්න එයා බෝයි ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න ගියා.” උදම් කිව්වෙ ගානකට නැතුව.

“මොකක්?”

“ඇයි?” උදම් මුකුත් නොවුන ගානට ඇහුවා.

“ඇයි අහන්නෙ මෝඩයෙක් වගේ. අපි කොච්චර බය උනාද දන්නවද? පව් වැඩ කරන්න එපා ලොකු අයියා.” සහස්‍රා බැනලා එන්න හදද්දි උදම් ඇගේ අතින් අල්ලලා නැවැත්තුවා.

“ඇයි?” සහස්‍රා තරහෙන් ඇහුවා.

“මොකද්ද පව් වැඩේ?”

“අපිව බය කරපු එක. ඔයාගෙ හීන කුමාරි එයා කිව්ව එක.” සහස්‍රා කිව්වා.

“මට ඇත්ත කියන්න බඩී. දෝණිගෙ හීන කුමාරයා ගැන කතාව සුද්දගෙ බොරුවක් නේද?” උදම් ඇහුවෙ වේදනාවෙන්.

“සමී කියන්නෙ බොරු කියන කෙල්ලෙක් නෙමෙයි ලොකු අයියා.” සහස්‍රා තාමත් කේන්තියෙන්.

“එහෙනම් මොකද්ද මේකෙ තේරුම? හීන කුමාරයෙක් ඉන්නවලු. ඒ උනාට මට දැනෙනවා එයා මට ආදරෙයි කියලා.” උදම් අසරණව කියද්දි සහස්‍රාට දුක හිතුනා.

“ලොකු අයියා මට මතක ඇති කාලෙක ඉඳන් සමී හිටියෙ මාත් එක්ක. එයා කවදාවත් කොල්ලෙක්ට බලාපොරොත්තු ඇති වෙන විදියට බලන්නෙවත් නැති කෙනෙක්. එයා හැමදාම ආදරේ කලේ ඒ හීන කුමාරයට. එයා මුණ ගැහුනත් නැතත් හැමදාම ආදරෙයි කියලයි සමී හැමදාම කිව්වෙ. මම තරම් සමී ගැන දන්න වෙන කවුරුවත් නෑ ලොකු අයියා.” සහස්‍රා කියාගෙන ගියා.

“අනිත් එක සමී ඒ හීන වල ඉන්න කෙනාව හැබැහින් දකිනකල්ම කිසිම කෙනෙක් දිහා එයා දිහා බලන තරම් ආදරෙන් හැඟීමෙන් බලනවා මම දැකලා නෑ. එයාට පිස්සු හැදුනෙ හීන වල ඉන්න කෙනාව දැක්කට පස්සෙ. දැන් එයා අපේ කෙල්ලව….” සහස්‍රාට ඉතුරු ටික කියන්න නොදී උදම් සහස්‍රාගෙ කටට අත තියලා කට වැහුවා.

“බඩී… කවුද ඒ හීන කුමාරයා?” උදම් ඇහුවෙ එච්චරයි. ඒත් සහස්‍රා ඇසි පිය නොහෙලා උදම්ගෙ ඇස් දිහා බලන් හිටියා මිසක් වචනයක්වත් කිව්වෙ නෑ.

“ඔයාගෙ අයියට කියන්න බැරි දෙයක් තියෙනවද බඩී? මට කියන්න… මට කියන්න ඒ මම නේද?” උදම් ඇහුවෙ ඇස් වල කඳුලු පුරවගෙන. මෙච්චර කාලෙකට අයියගෙ ඇස් මේ තරම් හැඟීම්බරව දැක්කෙ නැති සහස්‍රාට ඒක දරාගන්න බැරි උනා. ඇය අඬ අඬම උදම්ව තුරුලු කරගත්තා.

“ඔයා සමීට ආදරෙයිද ලොකු අයියා?” සහස්‍රා ඇහුවෙ ඇයට හැමදාමත් විහංසා පිට කෙනෙක් නොවුන නිසා ඇයව තවත් අඬවන්න බැරි නිසා.

උදම් හිස වැනුවේ ඔව් කියන්න.

“සීරියස්ලි?” සහස්‍රා කෑගහලා ඇහුවා. මියුරංගත් බැලුවා සද්දෙට.

“හ්ම්ම්… ඔව් එයාව ඊයෙ දකින්නත් කලින් ඉඳන්ම.”

“මම ඒ කතාව දන්නවා.” සහස්‍රා කිව්වෙ ඇගේ හිතේ උදම් ගැන තිබුනු නොපහන් ගතිය ටිකෙන් ටික ඇරිලා යද්දි.

“සුද්දා කිව්වද?”

“හ්ම්ම්…”

“ඉතිං මම එදා ඉඳන්ම ඒ අහිංසක කෙල්ලට ආදරෙයි. හැබැයි මම දැනන් හිටියෙ නෑ එයාගෙ ඔය හීන කුමාරයාගෙ කතාව. අර ගොන් නයිදෙ බාගෙටනෙ කිව්වෙ. මට කේන්ති ගියා. ඇයි යකෝ වෙලාවකට ආදරෙන් බලනවා. මල්ලා කියනවා හීන කුමාරයෙක් ගැන තරහා නැද්ද. ඒ මදිවට ඌ ඒකව අඳුරනවත් කිව්වනෙ.” උදම් තරහෙන් කියද්දි සහස්‍රාට හයියෙන් හිනා ගියා.

“මොකද?” උදම් තරහෙන් ඇහුවෙ.

“මොකදත් අහනවා. ඉතිං සුදු අයියා හීන කුමාරයා ගැන දන්නවනෙ. ඒ ඔයා කියලත් දන්නවා. ඉතින් එයා කිව්වෙ ඔයා ගැනනෙ. මෝඩයා.” සහස්‍රා උදම්ගෙ හිසට ඇඟිල්ලකින් ඇනලා පස්සට තල්ලු කලා. උදම්ටත් ඒක තේරුනාම හිනා ගියා.

“ලොකු අයියා අර බලන්න ඉරිසියාවෙ පැලෙනවා.” සහස්‍රා ඇස් වලින් විහංසාව පෙන්නලා කිව්වා.

“ඉන්න ටිකක්.” උදම් සහස්‍රාට එතනම ඉන්න කියලා විහංසා ලඟට ගිහින් විහංසාගෙ ඇඟේ ගෑවි නොගෑවී ඉඳගත්තා.

“තරහද?” උදම් ඇහුවෙ ආදරේ පිරුණු හඬින්.

“නෑ ලොකු අයියේ.” විහංසා හෙමිහිට කිව්වා.

“ලොකු අයියා කියන්න දුක නැද්ද?”

“ඇයි දුක?” විහංසා ඇහුවා.

“මම ආදරෙයි දෝණි.” උදම් විහංසාගෙ කණට කරලා කිව්වා. විහංසාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා. ඒ එක්කම දුර ඉඳපු සහස්‍රා ලස්සනට ඒ අවස්ථාව ඡායාරූපගත කරගත්තා. මියුරංගත් දුරින් ඉඳන් බලන් හිටියෙ ඒ දිහා. තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් ලඟ ඉද්දි දැනෙන දුක වේදනාව ඕනාවටත් වඩා මියුරංගට අද දැනුනා. ඒත් ඉවසන් හිටියා අයියා විහංසා ලබන්න තරම් පිං කරලා තියෙනවා කියලා හිතලා.

“මියුරංග…” අනුරාධ කතා කලේ මියුරංග බලන් ඉන්න දිහා නොදැක.

“ඔව් කියපං.” මියුරංගයි අනුරාධයි දැන් හොඳ යාලුවො වෙලා.

“අර උඹලගෙ නංගිගෙ යාලුවට කොල්ලෙක් නැද්ද?” අනුරාධ එන්නෙ මොකාටද කියලා දැනුන නිසා මියුරංග හිතින් ප්ලෑන් කරා මොකද්ද කියන්නෙ කියලා.

“ඉන්නවා. අපේ කම්පණි එකේමයි. විහංසාගෙ සෙක්ෂන් හෙඩ්.” මියුරංග කියද්දි ඔහුටම හිනයි සෙක්ෂන් හෙඩ් මිස්ටර් වික්‍රමගේ මතක් වෙලා.

“ඇයි උඹ හිනා වෙන්නෙ?” අනුරාධ ඇහුවෙ අප්සට් එකෙන්.

“නෑ ඒ දෙන්නා මාර මැචින් කපල් එක බං. ලව්ලි. ඒ වගේමයි ඒ දෙන්නට දෙන්නගෙ තියෙන තේරුම් ගැනීම. වෙන කෙනෙක් නම් මෙහෙම පිට අය එක්ක එනවට කැමති නෑනෙ. ඌට එහෙම අවුලක් නෑ.” මියුරංග කියද්දි අනුරාධත් ගොනා වගේ ඔලුව වැනුවා.

“ඒ ගර්ල් දැක්කම ඇත්තටම ආදරේ හිතෙනවා. එහෙම ලොකු ලස්සනකුත් නෑ නේ බං.” අනුරාධ හරිම අවුලෙන් කතා කලේ. මියුරංගට හිනයිත් එක්ක.

“ඔව්. හරි හොඳ කෙල්ල.” මියුරංග විහංසා ඉන්න පැත්ත අනුරාධට කවර් කරමින් තමයි කතා කලේ.

____________________________________________________________________

“මට ආදරෙයි කියන්නෙ නැද්ද?” ටික වෙලාවක් යනකන් මුකුත් නොකියා ඇස් වල කඳුලු පුරවන් ඉන්න විහංසාගෙ හිස අතගාලා උදම් ඇහුවා.

“ආදරෙයි මාත් ගොඩාක්.” විහංසා කිව්වෙ ගොඩාක් ආදරෙන්. උදම් එහෙම්මම විහංසාගෙ නළලට හාදුවක් දුන්නා.

“හා හා දැන් ඇති. මට තනියම බලන් ඉන්න බෑ. ඔය පාර ඉතින් හම්බ වෙලා කතා කරන්න බැරියැ. මෙච්චරකල් හීනෙන් නෙ කතා බහ කලේ. එන්න එන්න පොඩ්ඩක් වතුරට බහිමු.” සහස්‍රා විහිලු කරමින්ම විහංසාගෙ අතින් ඇදගෙන වතුරට බහින්න හැදුවේ.

“බඩී වැටෙයි.” උදම් කෑගැහුවා.

“මායි මෙයයි දෙන්නම වතුරට වැටුනොත් ලොකු අයියා කාවද බේර ගන්නෙ?” සහස්‍රා ඇහුවෙ විහිලුවට උනත් උදම් ගොඩක් හිතුවා.

“මම….. ගොඩක් ගැඹුර තැනක නම් බේර ගන්න බෑ වගේ නම් මාත් පනිනවා.” උදම් කල්පනා කරලා උත්තර දුන්නා.

“හා හා ඔයා දිනුම් හොඳේ.” සහස්‍රා එහෙම කියලා විහංසාත් එක්ක සීතල වතුරට බැස්සා. දණහිස තරමට විතර වතුර තිබුනා. විහංසා පහත් වෙලා සීතල වතුරෙන් මූණ සෝදගත්තා. උදම් දෙන්නගෙ ෆොටෝස් ගත්තා.

“ලොකු අයියා ඇත්තටම මොකද්ද අර වෙලාවෙ උනේ? කෝ හිමදි.?” සහස්‍රා වතුරෙන් ඇවිත් ගල් පොත්ත උඩ ඉඳගත්තා.

“හිමදි හරි අහිංසක කෙල්ලෙක්.” උදම් කතාව පටන් ගද්දිම සහස්‍රාට හිනා ගියා.

“අපොයි ඔව් හරිම අහිංසකයි. නේද සමී.”

“අහන් ඉන්නවකෝ.” උදම් එහෙම කියලා විහංසාවත් ලඟින් වාඩි කරවගෙන කතාවට ලේස්ති උනා.

“සිරිනන්ද අංකලුයි අපේ අප්පච්චියි ඒ කාලෙ ගජ යාලුවො. කොහොම හරි එයාලා මාවයි හිමදිවයි ප්‍රපෝස් කරලා. ඉතින් එයාලා ඒ ගැන මට කියලා අපි දෙන්නට කතා කරන්න කියලා කාමරේකට යැව්වා.” උදම් කියද්දි විහංසා අල්ලන් ඉඳපු උදම්ගෙ අත තද කලා. උදම්ට හිනා ගියා.

“බය වෙන්න එපා මුකුත් කරන්න නෙමෙයි ගියේ කතා කරන්න. ඉතින් ගියාට පස්සෙ හිමදි කතාව කිව්වා. එයාට බෝයි කෙනෙක් ඉන්නවලු. ඒ බෝයිට සිරිනන්ද අංකල්ලා කැමති නැහැලු. මගෙන් ඇහුවා උදව්වක් කරන්න පුලුවන්ද කියලා. මම ඉතින් කොහොමත් ඒකිට කොල්ලෙක් ඉන්නව නම් මගේ ප්‍රශ්නෙන් බාගයක්ම විසඳිලා නිසා මම උදව් කරන්න කැමති උනා.”

“මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙන් විසඳුන බාගෙ? එතකොට ඉතුරු බාගෙ මොකද්ද?” සහස්‍රා මැද්දෙන් පැන්නා.

“මගේ ප්‍රශ්නෙ මම මෙයාටනෙ ආදරේ. ඉතින් වෙන කෙනෙක්ව ප්‍රපෝස් කරාම මට ඒක ප්‍රශ්නයක්නෙ. එතකොට බාගයක් විසඳුනා කියන්නෙ ප්‍රපෝස් කරපු කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්න නිසා. අනිත් බාගෙ තමයි මෙයා මට ඇත්තටම ආදරේද බලන එක. ඉතින් කොහොම හරි අපි දෙන්නා ස්ක්‍රිප්ට් එකත් හදාගෙන කාමරෙන් එලියට ආවා. ඇවිත් හිමදි ඇහුවා අපි ඇල්ලට යන්නද කට්ටිය එනකන් කියලා. ඒ පාර අම්මලත් එක පයින් කැමති උනා. අපි දෙන්නා එලියට ඇවිත් ස්ක්‍රිප්ට් එකේ විදියටම රඟපාලා මෙහෙට ආවා. එන අතරෙදි හිමදිගෙ බෝයි ඇවිත් එයාලා දෙන්නා මේ ලඟ එයාලා නිතරම මීට් වෙන තැනට යනවා කියලා ගියා. මම මෙතෙන්ට වෙලා හිටියා.” උදම් කතාව ඉවර කරා.

“එතකොට මොකද අර එයා අපිට එක එක සද්ද දැම්මෙ?” විහංසා ඇහුවෙ ඔවුන්ට හිමදි කියපු දේවල් ගැන.

“මට කිව්වා. එයාට ඕන උනේ අපි ඉස්සරහා එයා ගැන වැරදි ප්‍රතිරූපයක් මවලා අපි එයාට අකමැති වෙනවා දකින්න.” උදම් හිනාවෙවී තේරුම් කරලා දුන්නා. මතක් වෙද්දිත් කට්ටියටම හිනයි ඒ වැඩේට.

“දැන් එතකොට එයා එන්නෙ නැද්ද?” විහංසා ඇහුවෙ වටපිට බලමින්.

“එයා පැය බාගෙන් එනවා කිව්වා.” උදම් කිව්වා. ඒ එක්කම සහස්‍රා ඔරලෝසුව දිහා බැලුවා.

“බූරුවා…” සහස්‍රා ඔලුවෙ අත ගහන් කිව්වා.

“ඇයි?”

“ඇයි අහන්නෙ ඒකි පැනලා ගිහින්ද කොහෙද. දැන් බලන්න වෙලාව. දැන් අම්මලත් එනව ඇති.” සහස්‍රා කියද්දියි උදම් වෙලාව බැලුවේ.

“කිව්වත් වගේ පැය බාගෙන් එනවා කිව්වට දැන් පැයකටත් කිට්ටු වෙන්න ආවා. දැන් මොකද්ද කරන්නෙ.” උදම් කිව්වා.

“මල කෙලියයි” සහස්‍රා කිව්වෙ අම්මයි අප්පච්චියි සිරිනන්ද අංකලුයි එනවා දැකලා. ඒ එක්කම උදම් බැලුවෙ හිමදි එනවා නම් එන්න ඕනෙ පැත්ත දිහා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *