අහම්බෙන් හිමි වූ ඔයා…. 01 – Hasee Fernando

01 කොටස

” චූටි දූ ලෑස්තිද….? ” අම්මා දොරකඩ ඉදන් කෑගහනවා…

” ඔව් අම්මා…..යමු….” මම තාම වේලිලා නැති කොණ්ඩෙ උඩට කරලා කට්ටක් ගහගෙන දුවන් ආවෙ අම්මා මාව හොයන් එන්න කලින්….

” කොණ්ඩෙ බැඳගන්න තිබ්බනෙ කෙල්ලෙ….” තාත්‍තා කිව්වෙ නෝක්කාඩුවට….

” තාම වේලිලා නෑනෙ තාත්‍තා…..” මං එහෙම කියාගෙන පාරට දුවන් ආවෙ ඒ දෙන්නා තව මුකුත් කියලා මගෙ හිත වෙනස් කරන්න කලින්….

ඒ දෙන්නත් මං දිහා බලලා මුකුත් නොකියම පාරට ආවෙ මගෙ හැටි දන්න නිසාමයි…

අපි ත්‍රීවිල් එකක නැගලා ආවෙ නැන්දලගෙ ගෙදරට…මාළිගාවක් වගේ ඒ ගෙදර…මං මේ ආපු පළවෙනි පාර…. ගෙට අඩිය තියනකොටම මං දැක්කෙ පඩිපෙලේ වාඩි වෙලා ඉන්න නැන්දව….හැබැයි මූඩ් එක නම් එච්චර හොඳ නෑ…

” අනේ දැන් අපේ නම්බුවට මොකද්ද වෙන්නෙ….දෙයියනේ……මගෙ කොල්ල කොහොමද දැන් රටට ලෝකෙට මූණ දෙන්නෙ….” නැන්දා අඬනවා මං අහගෙන….

ඒ මගෙ නැන්දා…අපිට නැන්දලට තරම් සල්ලිබාගෙ නැති වුණත් අම්මයි මායි තාත්තයි නම්බුකාරව ජීවත් වුණා….
නැන්දල අපි එක්කනම් වැඩි ළෙංගතුකමක් තිබ්බෙ නෑ….
අපි සාමාන්‍ය මිනිස්සු නිසා වෙන්නැති…නැන්දලා ආශ්‍රය කලේ අපේ පරම්පරාවෙ හයිෆයි මිනිස්සු විතරයි…

ආහ් කියන්න අමතක වුනානෙ….මම අදිති ශාවින්ද්‍යා දිවිසේකර…. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවනි වසරෙ ශිෂ්‍යාවක්… අම්ම කියන විදිහට නම් එයා දැකපු ලස්සනම කෙල්ල මමලු….මගෙ අම්මට ඉතින් වෙන කවුරු ලස්සන වෙන්නද මං ඇරෙන්න…. මට වරලි කියලා කැම්පස් කාර්ඩ් එක වැටුනෙ දණහිසටත් පහළින් තිබ්බ උපතින්ම දුඹුරු පාට කැරළි ගැහිච්ච මගෙ කොණ්ඩෙ නිසා….
මං ඉතින් හරි සරළ චරිතයක්…..
මගෙ තාත්තා කම්පැණි එකක සුපර්වයිසර් කෙනෙක්…අම්මා නම් ඉතින් ගෙදර ඉන්නෙ….
ඒ දෙන්නා තමා මට මගේ ජීවිතේම…

අපි අද මේ ආවෙ හෙට තියන නැන්දගෙ පොඩි පුතාගෙ…නැත්තන් කියනව නම් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ ඕල් රවුන්ඩර් ප්ලේයර් තුහින දුශේන් ආරියරත්නගෙ වෙඩින් එකට උදව් වෙන්න…..

ඒත් ආපු ගමන් අහන්න ලැබුනෙ නම් සුබ දෙයක් නෙවෙයි…හෙට වෙඩින් එක තියෙද්දි අද තුහින අයියගෙ මනමාළි පැනලා ගිහිල්ලා…
වෙඩින් එකට හැමදේම ලෑස්ති කරලා අමුත්තන්ටත් කතා කරලා තියෙද්දි පුතාට බඳින්න මනමාලියෙක් නැති වුනාම අඬනවා ඇරෙන්න නැන්ද වෙන මොනව කරන්නද…
පව්….අපිට මොන විදිහට සැළකුවත් මගෙ නැන්ද ගැන මට දුක හිතුනා…

තුහින අයියා නම් පේන්නවත් නෑ…. මං හිතන්නෙ එයත් දුකින් ඇත්තෙ…දුකින් නොවුණොත් පුදුමයි…. මීඩියාර්ස් වලින් පවා හෙට වෙඩින් එකට එන්න ඉන්නෙ…. ඒ වගේම රටේ ලොකු ලොකු ලොක්කො ගොඩක්….
කොච්චර ලොකු ලැජ්ජාවක්ද දැන්…..

” අක්කෙ දැන් මොනව කරන්නද…..අඬලා වැඩක් නෑ….. වෙන්න තියන දේ වුණා….” අපේ තාත්තා නැන්දා ළඟ ඉදන් එයාව සනසන්න හදනවා මං බලාගෙන…

” අනේ මං කොහොම හිත හදාගන්නද මල්ලියේ….මගෙ කොල්ලට මමමයි මේ කටයුත්ත කරල දෙන්න හැදුවෙ….කොල්ලා වචනයක් නොකියා මගේ කීමට කැමති වුනා…දැන් මං කොහොමද මගේ කොල්ලගෙ මූණ බලන්නෙ….” නැන්දා තාමත් අඬනවා…

” අනේ අක්කෙ…..”

අපි හැමෝටම දුකයි…හෙට වෙඩින් එක නිසා මෙහේ නෑදෑයො පිරිලා….. සමහරුනම් හොඳ වැඩේ කියන්න වගේ බලන් හිටියත් මට නම් ඇත්තටම ඇස් වලට කඳුලු ආවා…මොනව වුනත් මේත් අම්ම කෙනෙක්….

නැන්දා මං දිහා බැලුවෙ මං ඇස්වල කඳුළු පිහිදාගනිද්දි…

” මම ගැන වැරදියට හිතන්න එපා මල්ලියේ….මං අසරණයි….අනේ මල්ලියේ….මට උබෙන් වෙන ඉල්ලන්න දෙයක් නෑ……මගෙ කොල්ලට උඹෙ කෙල්ලව දියන්……. ” ඒ වචන වලට මං වගේම තාත්තත් ගැස්සුනා…..
අම්මත් කුස්සියේ ඉදන් ආවෙ කලබලෙන්….

තාත්තට දෙන්න වචන නෑ….. ඒත් තාත්ත මොනව කියයිද….

” ඒත් අක්කේ…..අදිති තාම….”

” මට වෙන්න විසඳුමක් නෑ මල්ලියෙ….උඹ මේ අක්කා ගැන හිතනවා නම් මගෙ ඉල්ලීම ඉශ්ට කරපන්…..”

මං කොහොමද දෙයියනේ මං හරියට දන්නෙවත් නැති කෙනෙක්ව කසාඳ බඳින්නෙ…ඒකත් මේ එක පාරටම…. මගේ පපුව පිටට ඇහෙන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා….
කට්ටිය කුටු කුටු ගගා කියවද්දි මං බැලුවෙ මං දිහාම බලන් ඉන්න මගෙ බාප්පගෙ දුව දිහා….
ඒකි නම් මට දාගෙන රවනවා….මං මොන වරදක් කරාටද මන්දා…..

” අනේ මගෙ දුවේ…..හා කියපන් කෙල්ලෙ….මං උඹව බලාගන්නම් ඇහක් වගේ….මගේ කොල්ලට කැමති වෙයන්……..” නැන්දා ඇවිල්ලා මං ළග වැදගෙන පිණ්සේන්ඩු වෙන්න ගත්තා….
මං කොහොම ඉවසන්නද..ආයෙත් ඇස් වල කඳුළු පිරුනෙ මටත් නොදැනි….

” දූ……දූ කැමතිද අයියව බඳින්න….” තාත්ත ඇහුවෙ මගෙන් හරි ආදරෙන් ඔලුවත් අතගාලා…

ඇත්තට මං මොනවද කියන්නෙ…. අපි නෑනයි මස්සිනයි වුනාට හරියට අඳුරන්නෙවත් නෑ…එයා පොඩි කාලෙ ඉදන් හිටියෙ පිටරට…. ලංකාවට ආවට පස්සෙවත් අපි අතර එහෙම ඇඳුරුම්කමක් තිබ්බෙ නැත්තෙ මං ගෙටම වෙලා හිටපු නිසා….
කැම්පස් යනවා එනවා ඇරෙන්න මං පවුලේ දේකටවත් එලියට ගියේ නෑ….
එහෙම එකේ මං කොහොමද කැමතී කියන්නෙ…..
ඒත් නැන්දගෙ මූණ බලන්න බැරි තරමට මාව වෙව්ලනවා…..
මං හා කිව්වොත් හෙට ඉදන් මගෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙනවා නේද….. හැබැයි…ඒක හොඳ දෙයක් කියලා හිතන්න නම් බෑ කවදාවත්….
ඒත් නැන්දගෙ මූණ දිහා බලන් මට බෑ කියන්න පුළුවන් කමක්නෑ…මං බැලුවෙ තාත්තා දිහා…ඒ ඇස් වල ඒ මූණෙ තිබ්බෙත් අසරණකමක්….මං හා කිව්වොත් කිසිම ප්‍රශ්න්‍යක් නොවුනත් මං බෑ කියල කිව්වොත් අනිවාර්යයෙන් නැන්දයි තාත්තයි හිත හොඳ නැති වෙයි..

මං ඇස් වහගෙනම ඔලුව උඩට පහළට කලේ අකමැත්තෙන් වුණත් කැමතී කියන්න… නැන්දට නම් රටක් රාජ්‍යක් ලැබුනා වගේ….තාත්ත නම් කරගන්න දෙයක් නැතුව බලන් ඉදලා අම්ම ළගට ගියේ නැන්දා මාව වෙඩින් එකට ලෑස්ති කරන්න උඩට එක්කන් යද්දි…..

ගෙදරින් එළියට බහිද්දි හිතුවා නම් අද මගෙ ජීවිතේ වෙනස්ම දෙයක් වෙයි කියලා මං කවදාවත් මේ ගමන එන්නෑ….කෙල්ලෙක් දන්න තේරෙන වයසෙ ඉදන් මේ දවස ගැන හීන මවන්නෙ…ලස්සනට ප්ලෑන් කරලා කරන්න ඕන දේ මට අද හදිස්සියේම කරන්න වෙලා….
සතුටු වෙන්නද අඬන්නද කියලා තේරෙන්නැතුව මං හිටියෙ වෙන ලෝකෙක අතරමං වෙලා…
නැන්දා කියපු මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැති වුණත් මං හැම එකටම ඔලුව වන වන හිටියෙ තෝන්තුවෙන් වගේ….
හිත හොඳ වැඩි කමට හා කිව්වට මට මේක කරන්න පුළුවන්කමක් නෑ…..
ඔක්කොටම වඩා මට තිබ්බ ප්‍රශ්නෙ…තුහින අයියා මට කැමති වෙයිද….එයා හරි අකමැති වුනොත්….ඔව්……එයා මේකට අකමැති වුණොත් මේක නැවතෙයි……

මං කෙලින්ම සෝමා නැන්දගෙ අතේ තිබ්බ කෝපි එකත් අරගෙන උඩට ගියේ එයා එක්ක මේ ගැන කතා කරන්න… සෝමා නැන්ද කොහොමත් කෝපි එක දෙන්න යන්න හැදුවෙ එයාගෙ කාමරේට…
මේක මැනර්ස් බල බල ඉන්න වෙලාවක් නෙවෙයි…. රෑ වෙලා වුනත් මං එයාගෙ කාමරේට තට්ටු කරලා ඇතුළට ගියා….
එයා පේන්න නෑ…. මං බැලුවෙ බැල්කනි එක දිහා….
අපෝ…උඩට ශර්ට් එකක්වත් නැතුව එයා අහස දිහා බලාගෙන කල්පනා කරනවා…යන එක හරි නැද්ද මන්දා….ඒත් එයා මට කතා කරා…

” සෝමා කොෆී එක මෙහෙට ගේන්න….”

දැන් නම් ඉතින් යන්නම වෙනවා…මං බර අඩි තිය තිය එයා ළගට ගියත් එයා නෙවෙයි මං දිහා හැරිලවත් බැලුවෙ….
ඒත් කෝපි එක ගන්න එයා මගේ පැත්ත හැරෙනවත් එක්කම මං ඇස් බිමට හරවගත්තෙ මූණ දෙන්න බැරිකමට….ආවට වඩා හොඳයි නිකන් හිටිය නම්….

” ආහ්…ඔයා….? ” එයා ප්‍රශ්නාර්තයක් තියාගෙන අහද්දි මං කෙලින්ම කෝපි එක දික්කලේ එයාගෙ පැත්තට….
එයා කෝපි එක දිහා බලලා ආපහු මං දිහා බැලුවා…
ඉබේම එයාගෙ මූණ දිහා බැලුනු ඇස් මං ආයෙත් බිමට කරගත්තා… ඇත්තටම මැච් වල බලල දැකලා තියනවට වඩා එයා ගොඩක් ලස්සනයි….ගානට වවලා තිබ්බ රැවුල…. උස් කරල හදලා තිබ්බ කොණ්ඩෙ….හැමදේම පට්ට…

” චූටි අයියෙ….ඔයාගෙ කොෆී එක…” උගුරෙන් වගේ මං කිව්වෙ පුදුම අමාරුවකින්…
කටින් වචන පිටවෙන්නෙත් නැති තරම්….

එයා මුකුත් නොකියම කෝපි එක අරගෙන මං දිහාම බලන් හිටියෙ මං අමුතු ජීවියෙක් වගේ නිකන්…. ගෙම්බා…
තව ටිකක් වෙලා එයා මං දිහා බලන් ඉද්දියි මතක් වුනේ මං ආවෙ මොකටද කියලා….

” ඔයා මාව මැරි කරන්න කැමති වෙන්න එපා…” මං කිව්වෙ හොරෙන් එයා දිහා බල බල…. තාමත් ඒ ඇස් මං ළගමයි….

මතුසම්බන්ධයි…

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

එක පාරට හිතේ ඇඳුණු කතාවක්…..කතාව සත්‍ය නොවුණත් මේ චරිත නම් ජීවමානයි….ඉතින් මේ චරිත වලින් හිතට ආපු කතාවක් තමයි එක පාරට හිතිලා ලියන්න ගත්තෙ….

කියවලා බලන්න…හොඳයි නම් කියන්න….කැතයි නම් ඒකත් කියන්න…😂🔫

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *