අහම්බෙන් හිමි වූ ඔයා… 10

10 කොටස

දවස් දෙක තුනක් ගෙවිලා ගියේ මාව ඇඳටම සීමා වෙලා….හිත මහ ගොඩක් රිදෙද්දි මං කලේ ඇඳටම වෙලා හොරෙන් අඬපු එක…ඉස්සරහට මගෙ ජීවිතේ කොහොම වෙයිද….හිතේ තියන එකම ප්‍රශ්නෙ ඒක…..
මං ගෙදර ආපු එක ගැන ගමේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙලා…. අම්මයි තාත්තයි කඩේට යන්න එළියට බැස්සත් අහල පහළ මිනිස්සු බලෙන් කතාවට ඇවිත් අහන්නෙත් මං ඇයි ගෙදර ඉන්නෙ කියලා..දැනටම මගෙ කසාදෙ කටු ගෑවිලා කියන ආරංචිය ගමේ පැතිරිලා ඇති…..කොහොමත් අනුන්ගෙ කරදරයකදි දුක් වෙන මිනිස්සුන්ට වඩා හිනා වෙන මිනිස්සු වැඩී….. අපි හැමෝම ජීවත් වෙන්නෙ ඒ වගේ පරිසරයක…

” කෙල්ල ගෙදර කියන්නෙ ඇත්තද බන්…”

නන්දාවතී නැන්දා අපෙ අම්මගෙන් අහනවා මං අහහෙන…. ගමම ගිණි තියන බෝම්බයක් තමයි ඔය….ඔය සාරි හැට්ටෙ මහලද බලන්න ආවෙ කියලා හේතුවක් හදාගෙන අපේ ගෙදරට මේ හවස ගොඩ වුනේ වෙන මොකටවත් නෙවෙයි මං ගෙදර ඉන්නෙ ඇයි කියලා හොයාගන්න…ඇත්තටම ගමේ මිනිස්සු එක්ක ආවෙත් මට පුදුම තරමෙ කේන්තියක්…

” ඔව් නන්දාවතී…කාමරේ මයෙ හිතේ….” අම්මා එහෙම කිව්වා…

” ඒ මොකෝ බන් විජිතො මගුල් කාලා ගියා විතරයි කෙල්ල මෙහේ ආවෙ….මොකෝ උඹලා අපිටත් නොකියම මඟුල් කාලා ගිය පයින්ම
කසාදෙ කටු ගෑවුනා නෙවේ නේ…”

නන්දාවතී නැන්දා අම්මට කියපු වචන වලින් මගෙ හිතේ පිහි තුඩක් ඇනුනා වගේ දැනුනා…සත්තකින්ම මට දැනුන විදිහටම මගෙ අසරණ අම්මටත් දැනෙන්නැති…..
ඒත් ඒ ඇත්ත නෙවෙයිද….ගිය පයින්ම මගෙ කසාදෙ විනාස වෙලා ගියා නෙවේද…..අම්මා මොනව කියන්නද…..කිසිම සද්දයක් නැත්තෙ අම්මට දෙන්න උත්තර නැති නිසා වෙන්නැති….

අමාරුවෙන් නවත්තන් හිටපු කඳුළු ආපහු මගේ කම්මුල් දිගේ බේරෙද්දි මං තව ටිකක් කොට්ටෙට තුරුල් වුනේ මං අඬන සද්දෙ එළියට ඇහෙයි කියලා බයට…

” අපෝ නෑ ආන්ටි…..එහෙම කිසිම දෙයක් නෑ….මගෙ පොඩි වැඩ වගේකට මට හදිස්සියේ ඉන්ග්ලන්ඩ් යන්න වුනා…. ඉතින් අදිතිව වැඩි හොඳටත් එක්ක තමා මෙහේ තියලා ගියේ….”

ඒ සද්දෙට නිදන් හිටපු මං කෙලින් වුනේ හීයක් වගේ….ඔව්…ඒ චූටි අයියා…..නන්දාවතී නැන්දට අම්මට දෙන්න බැරි වෙච්ච උත්‍තරේ දුන්නේ ඒ චූටි අයියම තමයි….
හිත මොකද්දෝ කියාගන්න බැරි සතුටකින් ඉපිලෙන්න හදද්දි මං ඉක්මනට ඇඳෙන් පැනලා දුවලා ගිහින් දොර රෙද්ද අස්සෙන් බැලුවෙ ඒ එයාමද කියලා…

ඔව්…ඒ කඩවසම් රූපෙ එහෙම්මමයි….. ඒ ඇස් වලත් තිබ්බෙ කාවද හොයන ස්වරූපයක්…. කාවද ඒ හොයන්නෙ මාවද…. ඒත් ඇයි….එයා මේ ඇවිත් තියෙන්නෙ මොකටද…. දික්කසාද වෙමු කියලා කියන්නද…. ඒත් එහෙනම් නන්දාවතී නැන්දට මේ වගේ බොරුවක් කිව්වෙ ඇයි….

මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරනවා හෝ ගාලා…

” ආහ්….මේ අර ක්‍රීඩා කරන මහත්තයා වෙන්න ඕනෙ…අපේ අදිති කෙල්ලව බැන්දෙ….” නන්දාවතී නැන්දත් දත් හැලිච්ච කට පෙන්නලා චූටි අයියත් එක්ක හිනා වෙනවා…

” ඔව් ඔව් ආන්ටි මං තමයි…..” චූටි අයියා නන්දාවතී නැන්දට කිව්වත් ඒ ඇස් හරිම කලබලෙන් එහෙ මෙහෙ දුවනවා….

මං දොර රෙද්දට මුවා වෙලා බැලුවෙ අම්මා දිහා….ඒ මූණෙත් තිබ්බෙ හරිම කැලඹුනු පෙනුමක්..අම්ම හිතින් හිතනවා ඇත්තෙත් චූටි අයියා ආපු හේතුව….
හොඳ වෙලාවට තාත්තා නෑ….නැත්තන් මෙතන නන්දාවතී නැන්දා ඉන්නවා කියලා බලන්නෙත් නැතුව දෙකක් කරනවා…. ඒ තරමට තාත්තා ඒ පවුල එක්ක කේන්තියෙන් ඉන්නෙ…

” කෝ අම්මා අදිති…..? ” චූටි අයියගෙ එහෙ මෙහෙ ගිය ඇස් අන්තිමට අපෙ අම්ම ළඟ නැවතුනා….

” කාමරේ පුතේ…..” අම්මා මගේ කාමරේ ඔලුවෙන් පෙන්නලා කියනවා මං බලාගෙන…

දොර රෙද්ද නිසා මාව පේන්නෙ නෑ… ඒත් මං හිතන්නත් කලින් අම්මා මං කාමරේ කියලා කිව්ව ගමන් චූටි අයියා අඩි දෙකට කාමරේ පැත්තට ඇවිත් දොර රෙද්ද මෑත් කලේ මං ගැස්සිලා එයා දිහා බලද්දි….

මම ගැස්සුන පාර තප්පර ගානක් එහෙම්මම එයා දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ඇති….එයත් මං දිහා බලන් හිටියා…. ඒත් ඒ මූණෙ හීනියට හිනාවක් ඇඳිලා….මම බය වුණු පාර වචන එන්නෙත් නෑ මුකුත් කියාගන්න…

” ගෙදර යමු…”

මං බය වෙලා බලන් ඉද්දිම චූටි අයියා කිව්වෙ මං පහළට කරන් බය වෙච්ච පාර ගුළි කරන් හිටපු අත ලිහිල් කරලා තදට අල්ලගන්න ගමන්…

විනාඩි කීපයක් යන්නැති… ඒ කියපු වචන වල තේරුම සිහියට එද්දි ඒ මූණ බලන්න බැරිව බිම බලන් හිටපු මං ආපහු එයා දිහා පුදුමෙන් බලද්දිත් ඒ ඇස් මං දිහාම බලන් ඉන්නවා…

ඒත් බලාපොරොත්තු වුනේ මේ වචන ටික නෙවෙයි… දික්කසාද වෙමු කියනවා වෙනුවට ගෙදර යමු කියලා මගෙ අතින් අල්ලගද්දි මං පුදුම නොවුනොත් පුදුමයි…
ඒත් එක පාරම මතක් වුනේ මට ශාරාන්‍යා…ශාරාන්‍යාට මොකද වෙන්නෙ….

” චූටි අ…අ.යියෙ ශාරන්‍යා…”

” ශාරාන්‍යා කියලා කෙනෙක් නෑ ආපහු…” එයා කිව්වෙ අල්ලන් හිටපු මගෙ අත තවත් තදට අල්ලගන්න ගමන්….

ඇත්තටම මේ හැසිරීම් මට ගෙන දුන්නෙ සතුටකට වඩා පුදුමයක්…. ශාරාන්‍යා ආපහු එන්නෙ නෑලු… ඒත් ඇයි…ඒ එයාගෙ ආදරේ නේ…..චූටි අයියා එයාගෙ ආදරේ අත් අරින්න හදන්නෙ මට අසාධාරණයක් කරන්න බැරි නිසාද….
හිත ප්‍රශ්න කරන එක නවත්තන්නෙ නෑ….

” විජිතො මං ගොහින් එන්නම් එහෙනම්…. මහත්තයො මං යනවා..සුදු දූ මං යනවා එහෙනම්…”

නන්දාවතී නැන්දා අපෙ අම්මටත් කියලා කාමරේ ඉන්න අපි දෙන්නටත් එළියෙ ඉදන් කෑගහලා යනවා කියද්දි තමයි අපි ගැස්සිලා මේ ලෝකෙට ආවෙ…
ඒ එක්කම අපි දෙන්නම කාමරෙන් සාලෙට ගියා….

නන්දාවතී නැන්දා ගියාට පස්සෙ අම්මා ලොකු හුස්මක් ගත්තෙ ලොකු කරදරේකින් බේරුණා වගේ….
ඒ එක්කම අම්මා ආපහු චූටි අයියා දිහා බැලුවෙ ඊළඟ කරදරේ දිහා බලන්න වගේ…

” ඉදගන්න චූටි පුතා…” අම්මා එහෙම කියලා නන්දාවතී නැන්දා තේ බීපු කෝප්පෙයි පීරිසියයි අරන් කුස්සියට ගියේ චූට් අයියටත් තේ හදන්න වෙන්නැති….
මටත් එතන චූටි අයියා එක්ක තනියම ඉන්න බැරි නිසා මාත් අම්මා පස්සෙන් කුස්සියට යන්න හැදුවෙ…

” සුදූ…” චූටි අයියා කතා කරපු පාරට මං ඉස්සරහට ගත්ත අඩිය එහෙමම තිබ්බා….
ගෙදර අයයි ගමේ දන්න කියන කීප දෙනෙකුයි ඇරෙන්න වෙන කවුරුත් මට සුදූ කියලා කතා කරන්නෙ නෑ…
චූටි අයියා එහෙම කතා කරද්දි මාව ගැස්සුනා…

මං මුකුත් නොකියම එයාගෙ පැත්තට හැරුනේ මාව රතු වෙනවා වගේ දැනෙද්දි…. මං එයාගෙ පැත්තට හැරෙද්දිත් එයා බලන් හිටියෙ මං දිහා…

” යන්න ලෑස්ති වෙන්න…”

එයා එහෙම කිව්වම මම මුකුත්ම නොකියා දුවන් ආවෙ අම්මා ළඟට….අම්මා නම් කලබලෙන් තේ හදනවා…. ඒ කලබලේ චූටි අයියට තේ දෙන්න ඕන නිසාම නෙවෙයි… චූටි අයියා මෙහෙම ආපු නිසා….අම්මා තේ හදනකන්ම මං මුකුත් නොකියා ළඟට වෙලා හිටියා…

” තාත්‍තා….” චූටි අයියා එහෙම කියන සද්දෙටයි අම්මයි මායි දෙන්නම සාලෙට දිව්වෙ…..
දොරකඩ ළඟ ඉදන් චූටි අයියා දිහාම බලන් ඉන්න තාත්තා දැක්කම මගෙ ඉහ මොල රත් වෙන්න ගත්තා….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න දැම්මා…..දැන් අදිතිගෙ තාත්තා තුහිනට මොනවා කියයිද….ඔයාලා මොකෝ හිතන්නෙ….

අනෙ සමාවෙන්න යාළුවනේ…. ගොඩක් බලන් හිටියා නේද…..මං අසනීපෙන් තාම…ඒත් ඔයාලා මගේ කතාව ගොඩක් ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා කියලා මතක් වෙද්දි අසනීපෙන් වුණත් පොඩ්ඩක් හරි ලියන්න හිතෙනවා…..
මට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම ස්තූතියි ඊයෙ පෝස්ට් එකේ….
ගිහින් එන්නම් තවත් කොටසකින්….🤒🤒🤒🤒🤒

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *