අහම්බෙන් හිමි වූ ඔයා… 17

17 කොටස

මගෙ පපුව ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වුනා…චූටි අයියා ගැන අමුතුම හැඟීමක් මගේ හිතේ උපදිද්දි මං වශී වෙලා වගේ බලන් හිටියෙ චූටි බබෙක් වගේ මගෙ ඇඟිල්ල කටේ දාන් උරන චූටි අයියා දිහා…. එයාගෙ ඇස් තිබ්බෙත් මං දිහාවට…

” හානේ අත තුවාළ කරගත්තා නේද…” සෝමා නැන්දගෙ හඬට තමා අපි දෙන්නම මේ ලෝකෙට ආවෙ…
මං ගැස්සිලා මගෙ අත චූටි අයියාගෙන් ඇදලා ගද්දි චූටි අයියත් කලබල වෙලා අනිත් පැත්ත හැරුණෙ මට මූණ දෙන්න බැරුව වගේ…
ඒ හැරිච්ච විදිහට හිනා යන්න ආවත් මං හිනාව නවත්‍තගත්‍තෙ අමාරුවෙන්…

” කමක් නෑ සෝමා නැන්දා…එච්චර කැපුනෙ නෑ….” මං එහෙම කියලා ආපහු පොල් ගාන්න ගත්තෙ චූටි අයියා කුස්සියෙන් සාලෙට යද්දි…
මට තනියම හිනා ගියේ වෙච්ච වැඩේට….සෝමා නැන්දත් බලන් හිටියෙ තනියම හිනා වෙන මං දිහා….
ලැජ්ජාව වහගන්න මං සෝමා නැන්දව කතාවට අල්ලගත්තෙ ඉඳියාප්ප හදමුද කියලා අහලා…

තාම හාල් හෝදලත් නැති නිසා සෝමා නැන්දා ඉඳියාප්ප හදන්න කැමති වුනේ චූටි අයියත් ඉඳියාප්ප කන්න ගොඩක් ආස නිසා….
සෝමා නැන්දගෙත් උදව්වෙන් සුදු ඉඳියාප්ප හදලා පරිප්පුයි පොල් සම්බෝලයි මාළු ඇඹුල් තියලුයි එක්ක කෑම මේසෙට අරිද්දි තමයි චූටි අයියා නාගෙන පහළට ආවෙ…

මං ඇස් පිල්ලම් නොගහා බලන් හිටියෙ ඒ රුව දිහා….කොට කලිසමයි ආම්ස් කට් එකයි ඇඳලා කොණ්ඩෙත් උඩට කරලා හද හද විසිල් එකකුත් ගහන් පඩිපෙළ බහින චූටි අයියා ඇත්‍තටම කඩවසම් කියලා මට හිතුනා…තාමත් වතුර බේරෙන කොණ්ඩෙ ගස ගස එද්දි හරිම දඟ පාටයි…. වම් අතේ උරහිසට පහළින් ලොකුවට ටැටූ එකකුත් තියනවා….
මාව දැකපු ගමන් මං දිහා බලලා එයා හිනා වුනේ මං බිම බලාගනිද්දි…
කොච්චර එයා දිහා එයා නොදැනුවත්ව බලන් හිටියත් චූටි අයියා මං දිහා බලන් ඉද්දි එයා දිහා බලන්න මට පුළුවන් කමක් නෑ….

කෑම මේසෙ පුටුවක් ඇදලා අරන් වාඩි වුණු එයා ඉඳියාප්ප ටික දැකලා වෙන්නැති හිනා වුණේ මං දිහත් වතාවක් බලලා…
ලැජ්ජාව බේරුණේ මං එයා කන්න කැමති මොනවද කියලා සෝමා නැන්දගෙන් අහද්දිත් එයා බලන් හිටපු බව මතක් වෙලා…
අනිවාර්යයෙන් හිතන්න ඇත්තෙ මං ඉඳියාප්ප හැදුවෙ එයා නිසා කියලා…
ඒක ඇත්තටම එහෙම වුණත් මට දැනුනෙ ලැජ්ජාවක්….

එයා ඉඳියාප්ප බෙදාගන්න හදද්දි මං ඉක්මනට එයාට කෑම ටික බෙදුවෙ එයා එයාගෙ හිනාව හංගගන්න වගේ හදද්දි…
කෑම බෙදලා ඉවර වුණු මං හැදුවෙ කුස්සියට යන්න….

” සුදූ…” එයා කතා කලේ පිටිපස්සට බෙල්ල හරවලා…

” ආහ්…”

” කන්නෙ නැද්ද….” මගෙන් තරවටු කරන්න වගේ ඇහුවෙ මං කුස්සියට එන්න හැදුව නිසා වෙන්නැති…

” චූටි අයියෙ මං….කුස්සිය අස් කරළම කන්නම්…” මං ගොත ගගහා වුණත් එහෙම කිව්වෙ මූණ බලලා කතා කරන්න කොච්චර ලැජ්ජ වුණත් කතා නොකර බැරි නිසා…
මීට කලින් කොච්චර එයාට කතා කළත් දැන් ඒ මූණ බලද්දි දැනෙන හැඟීම වෙනස්…
ඒ හැඟීම මොන වගේද කියලා තේරුම් ගන්න බැරි වුණත් මං ඒ හැඟීමට ආසයි…

” ඉස්සෙල්ලා කාලා ඉන්න….සෝමා නැන්දා කුස්සිය අස් කරයි…” චූටි අයියා මට අණ කරන්න වගේ කිව්වෙ මං දිහාම බලාගෙන ඇස් පුංචි කරලා නපුරු මූණක් හදාගෙන…

” ඒත් චූටි අයි..”

” සෝමා නැන්දා…සෝමා නැන්දත් ඉස්සෙල්ලා කාලා ඉන්න ඔය වැඩ කරන්න කලින්…” කුස්සියට ඇහෙන්න සද්දෙන් කියපු චූටි අයියා මගෙ අතින් ඇදලා එයාගෙ එහා පැත්තෙ පුටුවෙන් මාව වාඩි කලේ මට මුකුත්ම කියාගන්න දෙන්නෙ නැතුව…
ගෙදරදි ඉඳියාප්ප තිහක් විතර එක හුස්මට කාලා දාන මං ඉඳියාප්ප දහයක් විතර බෙදාගත්තෙ නොකා ඉන්නම බැරි තැන….

මෙයා හොඳට ක්‍රිකට් ගහන්නෙ කාලම වෙන්න ඕනෙ…මං කන්නෙත් නැතුව කෑම එක අන අනම බලන් හිටියෙ චූටි අයියා කන දිහා…කටත් ඇරගෙන හිටියද මන්දා මං….එයා ඒ තරමට ඉඳියාප්ප තොගයක් කෑවා…

” කවුද සෝමා නැන්දා අද ඉඳියාප්ප හැදුවෙ පට්ට ආහ්…” සෝමා නැන්දා අඩු පාඩු බලන්න කෑම මේසෙ ළඟට ආපු වෙලාවෙ චූටි අයියා ඇහුවෙ සෝමා නැන්දගෙන්…ඒත් ඇස් තිබ්බෙ නම් මං දිහාට…
හරියට මට කිව්වා වගේ…

” වෙන කවුද චූටි බේබි…චූටි බේබිගෙ නෝනා මිසක්….මටත් හදන්න නොදී තනියම තමා ඔක්කොම කලේ….උදේ චූටි බේබි වැඩිපුරම කන්න කැමති මොනවද කියලා මගෙන් අහගෙන තමයි ඔය හැදුවෙ….”

සෝමා නැන්දා මාව ඕනවටත් වඩා උඩින් තියද්දි මං චූටි අයියා මගෙ දිහා බලපු ගමන් බිම බලාගත්‍තා…
අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ….මං උදෙ සෝමා නැන්දගෙන් අහද්දි එයා හිටියෙ බලාගෙන නෙ…
දෙයියනේ ලැජ්ජාවට මාව රතු වෙනවා….

මං කෑම ටික කනවටත් වඩා අත ගගා ඉඳලා පිඟානත් අරන් නැගිට්ටෙ කාලා ඉවර නිසා..

” සුදූ…” චූටි අයියා ආපහු මට කතා කලා…

” ආහ්….”

” ගොඩක් රසයි…” චූටි අයියා එහෙම කිව්වෙ මගේ මූණ දිහාම බලන්…
මං එයාට හිනාවකින් සංග්‍රහ කරලා කුස්සියට ආවෙ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න එද්දි…
අත හෝදගෙන මං ඉක්මනට පපුවට අත තියාගත්තෙ මට මේ මොනවා වෙලාද කියලා හිතන ගමන්…

හවස තුන විතර වුනේ හරි ඉක්මනට…දවල්ටත් කාලා මං ගෙදර තියන වැඩක් පළක් කලේ කරන්න දෙයකුත් නැති එකේ…
වෙනදට නම් කැම්පස් එකේ එක එක වැඩ දවස ගානෙ…
වෙඩින් එක හදිස්සියේ වුණත් හරි කැම්පස් යන්න ලබුනෙත් නෑ…යන්න ඕනෙ…
ඒත් මං ආයෙත් කැම්පස් යනවට මෙහේ අය කැමති වෙයිද…චූටි අයියා මොනවා කියයිද…නැන්දා මොනවා කියයිද…මගෙ හිතේ එක එක ප්‍රශ්න ඇති වුනා….
ඒ ගැන කොහොමහරි චූටි අයියගෙන් අහන්න මං අධිඨන් කරගත්තෙ මොනා වුණත් මගෙ අධ්‍යාපනය නිසා…
මට පුංචි කාලෙ ඉදන්ම ඕන වුනේ සංගීත වලින් ඉස්සරහටම යන්න….
ඒත් මගෙ අනාගතේට දැන් මොනා වෙයිද…හිතාගන්න බෑ මට…

චූටි අයියා ටීවී එක දාගෙන වෙන රටවල් දෙකක මැච් එකක් බලනවා…ක්‍රිකට්මයි ජීවිතේ වගේ…

” අයියෝ ශිට්……” එක පාරට චූටි අයියා ඔලුවට අත තියාගෙන කෑගහද්දි මං ගැස්සුනා…

බලද්දි මැච් එකේ බැටින් කර කර හිටපු බැට්ස්මන් අවුට් වෙලා…

සෝමා නැන්දත් වැඩපළ ඉවර කරලා පිටිපස්සෙ දොරේ පඩිය උඩ ඉදන් නිදි කිරනවා…පව්….
චූටි අයියා ටීවී එකේමයි…
මට දැනුනෙ පුදුම කම්මැලිකමක්….

වෙනදට නම් මාත් පෝය දවසට සිල් ගත්තා….ටිකක් වේලාසන නැගිට්ටා නම් මටත් අක්කලා එක්ක සිල් ගන්න යන්න තිබ්බා…
ඒ නැතත් පන්සලට ගිහින් එන්න තිබ්බා නම් හොඳයි…පෝය දවසට අපි පන්සල් යනවමයි ගෙදරදි….
ඒත් මං මේ දන්නෙවත් නැති පලාතක කොහේ කියලා පන්සල් යන්නද…අදහස හිතෙන් අත ඇරගත්‍තෙ මං බුදුපහන දිහා බලාගෙන බුදුහාමුදුරුවන්ගෙන් සමාව හිතෙන් අයදින ගමන්…
ඒ කරලා මං ඉස්සරහා බලද්දි දැක්කෙ ටීවි බැලිල්ල පැත්තක දාලා චූටි අයියා මං දිහා බලන් ඉන්නවා….
මං ඉක්මනට බිම බලාගත්තා….

විනාඩි පහළවක් විතර යන්නැති…ටීවි එකත් ඕෆ් කරලා චූටි අයියා නැගිට්ටෙ උඩට යන්න…

” සුදූ…හවසට පන්සල් යන්න ලෑස්ති වෙන්න…” පඩිපෙළ ළඟ ඉදන් චූටි අයියා මගේ පැත්තට හැරිලා කිව්වෙ මෙච්චර වෙලා මගේ හිත කියවලා වගේ….

මගේ ඇස් දෙකත් පුදුමෙන් ලොකු වෙද්දි මොනා වුණත් හිතට දැනුනෙ ලොකු සතුටක්…ඒ පන්සල් යන්න ලැබෙන එක ගැනම නෙවෙයි කියන්න මං දන්නවා…ඒ චූටි අයියා මගෙ ආසාවක් ඉෂ්ඨ කරන්න වගේ පන්සල් යමු කියලා කිව්ව නිසා…
අපි අතර කිසිම බැඳීමක් නොවුණත් මං ඒ නිසා ගොඩක් සතුටු හිතුනා…

හවස් වෙද්දි මං මිදුලෙ තිබ්බ එක එක විදිහෙ මල් ගස් වලින් මලුත් කඩාගෙන සෝමා නැන්දගෙන් තෙල් ,හඳුන්කූරු , පහන්තිරත් ඉල්ලගෙන හයා මාරට විතර ලෑස්ති වුනේ පන්සල් යන්න….
සුදු දෙපතුල් වෙනකන් තියන කඩා හැලෙන සායට ලාම ලා නිලුයි සුදුයි හීනි ඉරි ගියපු ටී ශර්ට් එක ඇන්දෙ මගෙ සුදු ඇඳුම් තාම ගෙදර නිසා…
ඔක්කොම ඇඳුම් එක පාර මෙහෙ උස්සන් එන්න බෑ නෙ…
කොණ්ඩෙත් ෆ්‍රෙන්ච් ගොතලා බූල් බෑන්ඩ් එක දාගෙන මං කණ්ණාඩියෙන් හැඩ බැලුවා…
ඒත් එක්කම කාමරේට ආපු චූටි අයියා මං දිහා අමුතු විදිහකට බලාගෙනම තුවායත් අරන් අල්මාරිය ළඟට ඇවිත් සුදු ශර්ට් එකකුයි ක්‍රීම් පාට දිග කලිසමකුයි එලියෙන් තියලා නානකාමරේට ගියා…
මං ඒ දෙකත් අයන් කලේ එයා නානකාමරෙන් එන්න කලින්…ඒ කරලා මං කාමරෙන් එළියට ආවෙ එයාට ඇඳගන්න….

පහළට ඇවිල්ලත් ඔක්කොම ලෑස්තිද කියලා ආපහු වතාවක් මතක් කරලා බලලා මං සෝෆා එකෙන් ඉඳගෙන ඉද්දි චූටි අයියා පහළට ආවෙ මං අයන් කරපු ඇඳුම් දෙකත් ඇඳගෙන…
සුදු පාටට හරි පිං පාටයි චූටි අයියා…මං හිතින් හිතුවා….

” යමු..” එහෙම කියලා එයා වාහනේ යතුරත් අරන් එළියට බහිද්දි මං සෝමා නැන්දටත් කියලා ආවෙ නැන්දලා ආවාම අපි පන්සල් ගියා කියලා කියන්න කියලා….

වාහනේ එන ගමනුත් අපි අතර කිසිම කතාවක් වුනේ නෑ….
අපි ආවෙ පිල්ලෑවට…..

වෙලාවකට මට චූටි අයියා ගැන පුදුම හිතුනෙ මගේ හිත කියවලා වගේ එයා කරන වැඩ නිසා…නිතර දෙවේලෙ එන්න බැරි වුණත් මං පිල්ලෑවෙ පන්සල් එන්න ගොඩක් ආස කලා…ඉස්සර ඉඳන්ම….

වාහනේ නවත්තලා අපි ආපහු ආපස්සට ගියේ නෙළුම් මල් ටිකකුත් ගන්න….
ඒ පුංචි කඩවල් වල මල් විකුණන හැමෝම කතා කරන්නෙ තමන්ගෙ කඩෙන් මල් ගන්න කියලා….
මගෙ හිතට ඇති වුනේ දුකක්…හැමෝටම අපි වගේ ජීවිතේ ගෙවන්න ලැබෙන්නෙ නෑ කියන එක මට තදින්ම දැනුනා…
එක කඩේකින් නෙළුම් මල් අරන් අනිත් කඩෙන් චූටි අයියා එළගි තෙල් පහන් දෙකක් ගන්න ගියේ මට දැනුන විදිහටම එයාටත් දැනිච්ච නිසා වෙන්නැති…
එයා පහන් අරන් එනකන් මං හිටියෙ අපි නෙළුම් මල් ගත්තු තැන හිටගෙන…

” වරලි…! ” මගෙ පිටිපස්සෙන් ඇහිච්ච කටහඬට තමයි මං ඒ පැත්ත බැලුවෙ…

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න දැම්මා…ඔයාලා ආසාවෙන් කියවන්න බලන් ඉන්නවනෙ….
ඇත්තටම මගෙ කතාව පටන් ගත්ත දවස් වලට වඩා දැන් ගොඩක් අය කියවනවා….
ඒ සතුට සල්ලි වලට ගන්න බෑ…
ඇත්තටම මං කතා ලියන්නෙ විනෝදාංශයට…ඉතින් මට ලැබෙන ඔයාලගෙ ලයික් කමෙන්ට් මට ගොඩක් වටිනවා…ඒ නිසා හැමෝටම ස්තූතියි…ගෙදර ඉතින් අවුරුද්දට වැඩ කෝටියයි….නොදා ඉන්න හදලත් දැම්මෙ ඔයාලා නිසා…..
ගිහින් එන්නම්….

මතුසම්බන්ධයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *