අහම්බෙන් හිමි වූ ඔයා… 32

32 කොටස

” මැණික….මොකද මේ…..සනීප නැද්ද…” චූටි අයියා මාවත් වත්තම් කරන් ඇවිත් මාව සෝෆා එකෙන් ඉන්ඳවලා මගේ ළඟ දණගහන් මට ඉස්සරහින් වාඩි වුනේ මං තාමත් නිශ්ශබ්දවම ඉද්දි…

” මුකුත් නෑහ්..” මං එහෙම කිව්වෙ මගේ හිතේ තියන මනස්ගාත චූටි අයියට කියන්න ඕන නැති නිසා…..

” එහෙනම් මොකද…..මොකකට හරි බය වුනාද…..” චූටි අයියා ඇහුවෙ මගේ කම්මුලක් පිරිමදින ගමන්…..
ඒ හිත ගොඩක් බය වෙලා මං කලින් හැසිරිච්ච විදිහ නිසා…..

” පාළු හිතුනා මට…” මං ලැජ්ජාවෙන් හරි ඒ වචන කීපය කියාගත්තෙ චූටි අයියගෙ ඒ හිත නිදහස් කරන්න….

මං එහෙම කිව්වට පස්සෙ චූටි අයියගෙ මුවේ ලස්සන හිනාවක් ඇඳුනෙ ඒ හිතට ලොකු සතුටක් දැනුනා වගේ…..

” එච්චර ආදරේද මට ම්ම්ම්….” මගේ මූණ දෝතට අරන් චූටි අයියා එහෙම ඇහුවෙ මං මගේ මූණෙ තිබ්බ ඒ අත් දෙක ආදරෙන් අල්ලගද්දි….
මං ඔලුව වනලා ඒක අනුමත කලේ මගේ ආදරේ තවත් හිතේ හංඟන් ඉන්න ඕනෙ නැති නිසා…
චූටි අයියා මගේමයි….තමනෙ කෙනෙක්….එයා ඉස්සරහා තවත් ලැජ්ජ වෙන්න ඕන නෑ මං…..
චූටි අයියා මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා මාව ඒ පපුවට තුරුල් කරගත්තෙ මගේ හිත සනසන්න වගේ…..
අපි විනාඩි ගානක්ම එහෙම් ඉන්නැති….මේ පපුවෙ ඔලුවෙ තියාගෙන ඉන්න මං මේ තරම්ම ආසයි කියලා මංවත් දැනගෙන හිටියෙ නෑ….මට මේ පපුවෙන් ඈත් වෙන්න ලෝබයි…..ඒත්…මෙහෙම හිටියොත් එයාට එයාගෙ වැඩ ටික කරගන්න ලැබෙන්නෙ නෑ….

ටිකකින් එයා ගිහින් ලෑස්ති වෙලා ආවෙ ටියානගෙ පාර්ටි එකට යන්න….චූටි අයියා අද ගොඩක් ලස්සනයි…..තද නිල් පාට ඩෙනිම් එකට කළු පාට ශර්ට් එකක් ඇඳලා…කූරු කූරු කොණ්ඩෙ උඩට උස්සලා හදලා….
චූටි අයියා එනගමන් ටියානට තෑග්ගකුත් අරන් ඇවිත් තිබුණ නිසා අපි කෙලින්ම ගියේ බාප්පලගෙ ගෙදරට…

” ඔච්චර ලස්සනට අඳින්න එපා….මට ලෝබයි….වෙන එකෙක් මගේ වයිෆ් කියලා නොදැන පැණි හැලුවොත්…” චූටි අයියා වාහනේ එන ගමන් කියන කතා වලට මට හිනා….

එයාගෙ එක එක කතා අහගෙනම අපි ආවෙ බාප්පලගෙ ගෙදරට…..

බාප්පලගෙ ගෙදරත් නැන්දලගෙ ගෙදර වගේම ගොඩක් ලොකුයි….මීට කලින් මං බාප්පලගෙ ගෙදරට ඇවිල්ලවත් නොතිබ්බෙ බාප්පලා එක්ක අපේ ඇයි හොඳැයියක් නැති නිසා….
ඒත්…දැන් මං චූටි අයියාගෙ බිරිඳ…..ඒ නිසා මට මෙහේ යන්න එන්නම වෙනවා….
ටියානා අපි ගියපු ගමන් දුවගෙන ඇවිත් චූටි අයියව බදාගත්තෙ පාර්ටි එකට ආපු හැමෝම මිනිස්සු බලාගෙන ඉන්දෙද්දි….
චූටි අයියත් ටියානව බදාගෙන එයාට විශ් කරලා තෑග්ග අතට දුන්නා…..
මමත් ටියානට විශ් කරා…ඒත් එයාට ඒක නම් ගානක් ගියේ නෑ…..
ටියානා මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නෙ කියන්න වෙන හේතු ඕන නෑ…..
චූටි අයියා ටියානට විශ් කරලා වෙන කාත් එක්කද කතාවට වැටුණ නිසා එයා මේ දේ දැක්කෙ නෑ….
ටියානා මගේ වචන කණටවත් ගත්තෙ නෑ….පොඩි ළමයෙක්ට මෙච්චර නපුරු වෙන්න පුළුවන්ද දෙයියනේ….

ඒත් එක්කම අශිකා අක්කා ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න ගත්ත නිසා මාත් ඒ දේ අමතක කරලා දාලා අනිත් අය එක්ක හිනා වෙලා කතා කලා….

ටික වෙලාවකින් අමුත්තො ඔක්කොම ආවට පස්සෙ කේක් එක කැපුවෙ හැමෝම ටියානාට උපන්දින සුභ පැතුම් එක් කරද්දි….හැමෝම හිටියෙ සතුටින්….නැන්දා…මාමා…ඔක්කොම එක්කම මං ගිහින් කතා කරා…..
ඒ අතරතුර මං දැක්කෙ ටියානගෙ යාළුවො එහෙම චූටි අයියා එක්ක ෆොටෝ ගන්නවා…..

වෙලාව ගියේ හරි ඉක්මනට….රෑ කෑමත් අරගෙන අශිකා අක්කයි තව නෑදෑ වෙන අක්කලා කිහිප දෙනෙකුයි එක්ක මං කතා කර කර හිටියෙ චූටි අයියා පාර්ටි එකට ආපු ලොකු ලොකු ටයි කෝට් ඇඳගත්තු අය එක්ක හරි හරියට කතාව නිසා…..
කොච්චර අපි ආදරෙන් හිටියත් එයා ජීවත් වුණ ලෝකෙයි මං ජීවත් වුණ ලෝකෙයි වෙනස්….
ඒත් ඒකට අපි දෙන්නගෙ ආදරේ නවත්තවන්න බැරි වෙයි….මං ආපු අමුත්තො එක්ක කතා කර කර ඉන්න චූටි අයියා දිහා බලාගෙන හිතින් හිතුවෙ ඒක…

” ආව්…ආව්…..අම්මෝහ්….කෙල්ල මෙතන වුනාට හිත තුහින ළඟ…” මගෙ ළඟ හිටපු අක්කා කෙනෙක් කිව්ව කතාවටයි මං චූටි අයියගෙ ලෝකෙන් මේ ලෝකෙට ආවෙ….
මට ලැජ්ජ හිතුනෙ ඒ කියපු කතාව ඇත්ත නිසා….
මං හිනා වෙලා විතරක් නිකන් ඉද්දි අක්කලා එකතු වෙලා තව තව විහිලු කරන්න ගත්තා….

ඒත් එක්කම අශිකා අක්කා නැගිටලා යන්න හැදුවෙ නැන්දගෙ බෙහෙත් ටික දෙන්න යන්න….නැන්දා අනිවාරෙන් හැමදාම රෑට බෙහෙත් බොන්න අමතක නොකරනවා කියලා මං දැනගත්තෙ අපි නැන්දලගෙ ගෙදර හිටපු දවස් ටිකේ….
අශිකා අක්කා බෙහෙත් ටිකයි වතුර වීදුරුවයි අරන් යන්න හදද්දිම මගේ අතේ හිටපු රුහිනි දූ අඬන්න ගත්තෙ නින්දෙන් ඇහැරිලා…
මට නළවගන්න බැරි වෙන්නම චූටි දූ හයියෙන් ඇහැරිලා අඬන්න ගද්දි අක්කා මගේ අතින් දෝණිව අරගෙන නැළෙව්වෙ මට නැන්දට බෙහෙත් ටික දීලා එන්න කියලා කියන ගමන්….

මං බෙහෙත් ටිකයි වතුර වීදුරුව තියන ට්‍රේ එකයි අරන් උඩට නැග්ගෙ නැන්දා උඩ තට්ටුවේ ටියානගෙ කාමරේ ඉන්නවා කියපු නිසා….
මං හිමින් හිමින් උඩට නැගලා ගියත් කාමරේට නොයා දොර ළඟ නැවතුනේ බාප්පා නැන්දා එක්ක කතා කර කර හිටපු නිසා…
මං හැදුවෙ දොරට තට්ටු කරලා එයාලගෙ අවධානය ගන්න….
ඒත් බාප්පා ආපහු නැන්දා එක්ක කතා කරන්න ගත්තු නිසා මං ආපහු නැවතුනා…

” අක්කෙ….අක්කා පොඩ්ඩක් ආපහු හිතලා බලන්න….මේක මේ විදිහට සිද්ද වුණොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්….අපේ කම්පැණීස් දෙක එකතු වුනා කියන්නෙ ආයෙ කාටවත් අපිව වට්ටන්න බෑ……අපේ ටියානට දැන් 18 ක් අක්කෙ…..” බාප්පා නැන්දට මොනවද පැහැදිලි කරලා දෙනවා…..

මං හැදුවෙ ආපහු ගිහින් පස්සෙ එන්න….කොහොමත් ඒ දේවල් මට වැඩක් නැහැනෙ….අනුන්ගෙ කතාවක් අහන් ඉන්නෙ මොකටද…..

” දැන්ම අපි තුහිනගෙයි අර කෙල්ලගෙයි ඩිවෝස් කේස් එක ෆයිල් කරොත්…අපිට ටියානා ඉගෙන ගෙන ඉවර වෙද්දි ඩිවෝස් එක ගන්න පුළුවන්….අක්කට තේරෙනවද මං කියන දේ….”

මං ආපහු යන්න ගිහිල්ලත් බාප්පගෙ ඒ වචන වලට එතනම නතර වුනේ මගේ ඔලුව උඩ අකුණක් ගැහුවා වගේ දැනෙද්දි…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

හසීට මුකුත් කියන්න ඔට්ටු නෑ ඕං…අපි ගියා…

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *