ආදර පාරමී 01 – Bleyar

එක කොටස
පරිසරය පුරාම පැතිර ඇත්තේ තිත්තම තිත්ත කළුවරකි …සමහර විට අද අමාවක දිනක් වෙන්නට ඇත … මේ කළුවරට දැන් මගේ සිතේ බියක් නැත්තේ මා මෙවැනි රාත්‍රීන් බොහෝමයක් පසුකර දමා ඇති බැවිනි … අද උදෑසනින් නිවසින් පිටව ගිය අම්මා තවමත් පැමිණියේ නැත්තේ මිතුරන් සමග සාදයකට සහභාගීවූ නිසා වෙන්න ඇත …. ඉස්තෝප්පුවේ ශීතල බිම වාඩිවී තට්ට තනියම ගේට්ටුව දෙස බලා උන් මා නිකමට මෙන් බිත්ති ඔරලෝසුව දෙස බැලුවෙමි … වෙලාව පාන්දර එකටද ආසන්නය …. බර සුසුමක් හෙළු මා උකුලේ රදවාගෙන උන් බෝනික්කිය පපුවට තුරුළු කොටගෙන කෙටි බිත්තියට හේත්තු වී දෑස් පියාගත්තෙමි .. කොයි මොහොතක හෝ අම්මා පැමිණෙන තුරු බලා සිටීම මා පුරුදු උවේ තේරෙන වයසේ සිටය … ඈ නිවසට එනතුරා මගේ දෑසට හරිහැටි නින්දක් නොයෙන්නේ මේ නිවසේ මා දන්නා එකම මිනිස් ප්‍රාණියා අම්මා වන බැවිනි …….නින්දත් නොනින්දත් අතර කල්පනාවක වේලි උන් මා තිගැස්සී අවදිවුවේ ගේට්ටුව අසල මෝටර් රථයක් නවතන හඩිනි …. ‘චෙරියෝ ඩාලිං .. …’ මහා හඩින් පවසමින්ම අම්මා ගේට්ටුව වසා දමා නිවස දෙසට පැමිණියේ නුහුරට පාදයන් තබමිනි …. බොහෝ රාත්‍රීන් වල ඈ නිවසට පැමිණෙන්නේ මෙලෙසය ….. ‘බබී …. මම ආවා …ඔයාගේ අම්මා ගෙදර ආවා …. තාම නිදි නැද්ද මගේ කෙලි පැටික්කි …’ මත්පැන් නිසා සැලෙන ඇගේ කටහඩ සිතට ගෙන ආවේ අපුලක් උනත් මා බොහෝ ඉවසුවේ කුමක් කලත් මැය මගේ මව වන බැවිනි .. ‘ඔයාට මම අද බුරියානි ගෙනාවා …. ආසයි නේද ..පැටියෝ ’ වැනෙමින්ම අත තිබු පාර්සලය මා දෙසට දිගු කරගෙන උන් ඈ දෙස හෝ අත තිබු පාර්සල දෙස බැලිමටදු මට පිරියක් නොවූ හෙයින් මා කලේ ඈ බලා සිටියදීම සාලයේ තිබු කවිච්චිය වෙත ගොස් අසුන් ගැනීමය … ‘ඔතන ඉදලා ලැජ්ජා කරන්නේ නැතිව ගේ ඇතුලට එන්න ….වට පිටාවේ අය මොනවා හිතනවා ඇතිද …’ මා කොතරම් කීවද ඇයට ගානක් නැත …… ‘කව්ද එහෙම කිව්වේ ….. මේක මගේ ගෙදර ….. මට ඕන විදිහටයි මේකේ ඉන්නේ .. ’ අසලට කනප්පුව මත කෑම බෑගය තැබු අම්මා වැනෙමින්ම කාමරය දෙසට යන අයුරු මා බලා උන්නේ කම්පාවෙන් දැවෙමිනි ….. ‘දන්නවාද බබී .. ඔයාගේ අම්මා ගොඩක් සතුටින් ….පාර්ට් …පාර්ටි …පාර්ටි ..මේක පාර්ට් ලෝකයක් …. මම උපරිමයෙන් සතුටු වෙනවා ….මට ඕනේ ෆන් එකේ ජිවත් වෙන්න …. ’ කියවමින්ම කාමරය තුලට වැදුණු ඈ දඩාස් ගා කාමරයේ දොර වසා දැමුවේ මා අමතක උන අයුරිනි ….. .මට මා පිලිබදවම දුකකි ඇතිවුනේ …..අම්මා රූමත් ස්ත්‍රියකි … තිස් පස් වියැති ඈ වයසට වඩා බෙහෙවින් තරුණය …. ඈ දෙස වරක් බැලුවෙක් දෙවෙනි වරට නොබැලුවොත් පුදුමයකි …අම්මා සේවය කලේ ප්‍රසිද්ද හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙසටය ….ඇයට මිතුරන් බොහෝය …. ඇය ගතකලේ නිදහස් විනෝදකාමී දිවියකි …. කිසිම බැදීමක් ඈ බරක් කොට නොසැලකුවාය.. අම්මා තාත්තාව හැර ආවේ මා නොදන්න වියේදීය … ඒ කිනම් වකවානුවකද කුමන හේතුවකටද කියා අදද මට රහසකි …කොතරම් ඇසුවත් තාත්තා ගැන කතා නොකරන අම්මාගෙන් ඔහු පිළබද ඇසීම මා අතහැර දැමුවේ ඇය ඔහු ගැන කතාකිරීමට අකැමැති බව පැවසු දිනයේ පටන්ය … තාත්තා පිළිබදව මට මතක ඇත්තේ ඔහු බෙහෙවින් මට ආදරය කල බව පමණි ……. ඔහු තිළිණ කල බෝනික්කිය රෝසි පමණි අද මා ලග ඔහු නමින් ඇති එකම සිහිවටනය ….. මගේ දුකට සැපට සිටින එකම හිතවතිය බෝනික්කියට මා සිත තිබු සියල්ල කියන පුරුද්ද මට ඇතිවුවේ හය හතර තේරෙන වියේ සිටමය …. තවත් පැයක් පමණ කවිච්චියේ හාන්සි වී උන් මා නින්දට වැටුනේ කිනම් මොහොතකද කියා නිච්චියක් නැත … ‘බබී ඇහැරලා මේ තේ එක බොන්න …’ මා උදෑසන අවදිවුවේ අම්මා කතා කරන හඩිනි…… නිදිබර දෑස් අයා බැලු මා දුටුවේ ඇය වැඩට යෑමට සැරසී උන් අයුරුයි …. දිගු කලිසමක් ඇද බ්ලව්ස් එකට උඩින් බ්ලෙසර් එකක් දමා උන් අම්මා බෙහෙවින් සුන්දරය …. ‘අම්මා වැඩට යන්නද …’ ‘අද කලින් එන්න කියලා මැනේජර් කිවා හොටෙල් එකට ඉන්දියන් ක්‍රිකට් ටීම් එක එනවා….’ ‘ අදවත් කලින් එනවාද අම්මා ..’ මා පැවසුවේ හැමදාම පවසන කතාවකි ‘ බලමු ……. මෙතන සල්ලි තියෙනවා ….. උදේටයි දවල්ටයි කඩෙන් කන්න … රෑට මම කන්න ගේන්නම් …… අන්න වෙහිකල් එක ආවා ..මම යනවා ’ මුදල් නෝට්ටු කීපයක් මා අතින් තබන අම්මා අත් බෑගය කරේ දමාගෙන එලියට දුවන්නේ මා පෙරදා රැයේ කෑවේද යන්න පවා නොබලාය …..මට මා ගැන ඇතිවුවේ කනගාටුවකි ….. අම්මා අතින් පිසින බත් කටක් කෑමට කොතරම් ආස කලද මට ඒ වාසනාව නැත …උදෑසන සහා දිවා ආහාරය කඩයකින් මිලදී ගන්නා මා කුස පුරා අනුභව කරන්නේ බොහෝ විට රාත්‍රී ආහාරය කෑමට නොලැබෙන බව අත්දැකීමෙන් දැන උන් නිසාය … රෑ දෙගොඩ ජාමේ ගෙනෙන කෑම පාර්සලය බොහෝ විට කන්න බැරි තරම් පිළිණු වූ මොහොතකය අම්මා නිවසට පැමිණෙන්නේ …. සිතුවිලි වල ගිලෙමින්ම පාසල් යෑමට සුදානම් වූ මා දිගු වරලස කරල් දෙකකට ගොතා කැඩපත දෙස බැලුවෙමි …….. සුදු පාට දිගැටි මුහුණේ විසල් දෑස් වල ඇත්තේ දුක්බර බැල්මකි …… මුහුණ දෙස බලන ඕනෑම කෙනෙකු මා යම් වේදනාවකින් පසුවෙන බව නිසැකවම පවසනු ඇත .. තොල් පෙති නා දළු පැහැයට ආසන්නය …. මා සිනාසෙද්දී අන් අය වසග වෙන කිසිවෙකු පැවසු දින සිට අන් අය ඉදිරියේ සිනානොවිමට මා වග බලා ගත්තෙමි … මා බොහෝවිට දිවිගෙව්වේ මා විසින්ම පනවා ගත් ස්වයං නීතීන්ට යටත්වය ….. ‘මම ගෙදර එනකන් බලාගෙන ඉන්න රෝසි පැටියෝ …..අක්කි පරිස්සමින් ස්කුල් ගිහින් එන්නම් …’ බෝනික්කිය අතට ගෙන හාදුවක් දුන් මා මිදුලට බැස්සේ කල්පනාවෙන් දෑස් බිමට යොමාගෙනය … ‘ස්ස්ස්ස්ස්ස්ස් ….’ මා තිගැස්සී හිස ඔසවා බැලුවෙමි …. ඉදිරිපස නිවසේ ගේට්ටුව මත එල්ලී මා දෙස බලා උන්නේ අවුරුදු පහක පමණ කුඩා දැරියකි … අන් දිනවල වසා දමා තිබු ගේට්ටුව විවර වී ඇත්තේ කිසිවෙකු එහි පදිංචියට පැමිණි නිසා විය හැකිය … මට මතක ඇති කාලයක මේ නිවසේ කිසිවෙකු පදිංචිව ඉද නැත …. මෙහි ජිවත්වන සියල්ලන්ම මේ නිවස විකුනා දමා පිටව ගොස් ඇත්තේ මිට වසර පහළොවකට පමණ පෙර බව අම්මා දිනක් කිවා මට මතකය .. ‘කව්ද ඔයා ….’ මා මදක් ගමන නවතා ඈ දෙස නෙතු අගින් බැලුවෙමි … ‘මම ෂෙහාරා …’ ඈ තම නම උච්ච්රාණය කලේ හුරුබුහුටි අයුරිනි ‘අක්කි මේ ගෙදරද ඉන්නේ …’ ‘ඔව් මේ අපේ ගෙදර …’ මම මද සිනාවක් නගා ගැනීමට වෙරගත්තෙමි ‘අපි ඊයේ ඉදලා මේ ගෙදරට ආවේ ….. අක්කිගෙ නම මොකක්ද .. ‘’ ඈ ගිරවියක මෙන් අසන පැනයන් මග හැර යෑමට නොහැකි නිසා මදක් පමාවුවා මිස දැනටම පාසල් යෑමට මා පරක්කුය … ‘දෝණි …… ෂෙහාරා …’ නිවස දෙසින් ඇසුණු කටහඩ නිසා කලබල වූ දැරිය ගේට්ටුවෙන් මෑත් වී මා දෙස බැලුවේය ‘අම්මි කතා කරනවා … මම යනවා අක්කි …’ ෂෙහාරා නිවස දෙසට දිව යන අයුරු දෙස බලා උන් මට ඇතිවුවේ සතුටකි … කිසිවෙකුම නොමැති වේලාවන්හි අර පාළු නිවස දෙස බැලීමේදී ඇතිවූ මුසල හැගුම් අද සිට මාගේ හිතට නොදැනෙනු ඇත ************** ‘පාරමී ඉරුගල් බණ්ඩාර …..’ නිදිබර දෑස් ඩෙස්ක් එක මතට යොමා උන් මට පංතිභාර දයානි මැඩම් දෙතුන් පාරක් නම කීවද ඇසුනා නොවේ …. ‘පාරමී ඉරුගල් බණ්ඩාර ….නිදිමතේද ඉන්නේ …’ ඉන්පසුව ඇසුණු ඇගේ කටහඩ මදක් උස්ය ‘ඉන්නවා මැඩම් …’ ‘මොකද ඊයේ රෑ නිදාගත්තේ නැද්ද නිදිකිරන්නේ ….. මේ පීරියඩ් එක ඉවරවෙනකන් හිටගෙන ඉන්නවා …’ දයානි මැඩම් අනුකම්පාවක් නැති ව්දිහට එහෙම කියද්දී කොල්ලෝ ටික ශු කියන්නයි කෙල්ලෝ ටික කිච් බිචි ගාන්නයි ගත්තා ….හිතට දැනුන ලැජ්ජාව නිසා ඩෙස්ක් එක දිහාම බලාගෙන හිටියා මිසක් මම නිකමටවත් ඔළුව උස්සලා කාගේවත් දිහා නොබලන්න පරිස්සම් උනා … ‘රහල් මල්දෙණිය …. මෙයා අද ඉදලා ඔයාලා එක්ක ඉගෙන ගන්න එන ළමයෙක් …හැමෝම මේ ළමයාට උදව් කරන්න ඕන … ’ නෙතු බිමට යොමා වුන් මට පෙනුනේ ඔහුගේ දිලිසෙන සපත්තු ජෝඩුව පමණි ….හිස ඔසවා ඔහු දෙස බැලීමටදු මට උවමනා වුවා නොවේ … ‘පුතා ඔයා … දැනට ඉස්සරහා පුටුවක වාඩිවෙන්න …..දිසල් මේ ළමයට ඩෙස්ක් එකක් ලැහැස්ති කරලා දෙන්න මේ පීරියඩ් එකෙන් පස්සේ ..’ ටික වෙලාවකින් අර දිලිසෙන සත්තු දෙක මගේ ඇස් මානෙන් ඈත්වී යද්දී මම දෑස් යාන්තම් ඔසවා ඉදිරිපස බැලුවෙමි ….. ‘ එයා … මට හරිද …’ මගේ අනිත් ඩෙස්ක් එකේ උන් සිත්මි රයනි ට රහසින් පවසනු ඇසෙද්දී මා සිතින් සිනාසුනෙමි …. හැමදාම මෙලෙසය කවුරුන් හෝ පිරිමි ළමයෙකු පන්තියට පැමිණි විට කෙල්ලෝ කරන්නේ පළමුව ඔහු තමාට වෙන්කර ගැනීමටය … එහෙත් ඔහු මිතුරු වන්නේ කිසිවෙකුම නොසිතු තැනැත්තියක සමගය …. අදද සිදුවෙනු ඇත්තේ ඒ ආකාරයටය …. ‘කෑ ගන්නේ නැතිව සාහිත්‍ය පොත අතට ගන්නවලා …’ කෙල්ලොන්ගේ කොල්ලන්ගේ කුසුකුසුව ටික මොහොතක් යනතුරුම නොනැවතී පැවති හෙයින් දයානි මැඩම් කතා කලේ සැර හඩිනි …
. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *