~~~~ආදර පාරමී ~~~~~ 12 කොටස

පෙරදා රැය පුරා මුළු නුවරම සෝදාගෙන යන තරම් තදින් වැටුණු මහා වර්ෂාව උදෑසන විටත් කඩින් කඩ ඇදහැලෙමින් තිබුණි .. වැසි සහිත කාළගුණය නිසා වෙනදා නොදැනුනු ශීතලක් දැනුනත් කම්මැලි කම පසෙක තබා යහනෙන් නැගිටගත් මම පාසල් යෑමට සුදානම් උනෙමි … පෙරදා වැස්සට තෙමිම නිසා නහය බුරුල්වී හිස බරව තිබුණත් පාසල් නොයා සිටීමට එය කාරණයක් කර ගන්න මට උවමනා නොවිණි …. ඉකුත් රැය පුරා නිදිවරා මා තීරණයක් ගත්තෙමි …ඒ මේ ඒකාකාරී දිවියෙන් මිදී ජිවිතය විදීමටය .. කුඩා කාලයේ පටන් ලද්දේ දුකම විතරක් වුවද මා දොසක් නොකියා සියල්ල විදදරා ගත්තෙමි ….ඒ මගේ ලැබීම යැයි සිතාය …. එහෙත් අද සිට මා වෙනුවෙන් ඕනෑම අයෙකු සමග සටන් කරමි… කරල් දෙකකට ගෙතු වරලස පිටුපසට දමාගනිමින් මා පාසලට යෑමට මිදුලට බැස්සෙමි … රහල්ගේ නිවස ලගින් යන ගමන් මා පෙර පුරුද්දට එදෙස බැලුවෙමි …. කිසිවෙකු පෙනෙන්න නොසිටියේ ඔවුන් තවමත් නින්දේ පසුවෙන නිසා විය හැකිය …. ෂෙහාරා වුව දිනගානකින් දුටුවේ නැත … පාසල් ගොස් විත් ඔවුන් දැකීමට යා යුතුය …. ‘ගුඩ් මෝර්නින් පාරමී …….’ මගේ කල්පනාව බිදුනේ කිසිවෙකු මා අමතන හඩිනි ….බස් නැවතුමේ සිට මා පැමිණෙන දෙස බලා උන්නේ හිම්සරය …. පාසල් නිල ඇදුමෙන් සැරසී කොණ්ඩය පිළිවෙලට පීරාගෙන උන් ඔහු වෙතින් දිස්වුවේ අන්දිනවල නොමැති පිළිවෙලකි … ‘ගුඩ් මෝර්නින් …’ මා උත්තර දුන්නේ ඕනෑවට එපාවටය … ‘මොකද නහය රතුවෙලා ….’ ඔහු මා දෙස උවමනාවට වඩා විමසිල්ලෙන් බලා ඇති බව මට වැටහුනේ එවිටය … ‘හෙම්බ් හැදිලා …’ ‘ඊයේ වැස්සට තෙමුනා නේ ඉතින් … මොනවා හරි බෙහෙතක් බිවාද ..’ හිත තිගැස්සුනේ එවිටය …. කිසිදිනෙක මා ගැන මගේ ලෙඩක් ගැන අම්මා වුව ඔය ලෙස සොයා බලා නැත … ‘කෝ ඉතින් මට කිව්වේ නැහැ නේ බෙහෙත් බිවාද කියලා … ‘’ ඒ බැල්ම නැවතී තිබුනේ මගේ දෑස් මතය …මොහොතක් ගතවෙන තුරුම ඔහුගේ දෙනෙත් වලින් ඇස් අහකට ගැනීමට මට අමතකව ගොස් තිබුණි … ‘බෙහෙත් ඕනෑ නැහැ ….හොද වෙයි …’ මා ඔහුගෙන් දෑස් ඉවත් කලේ එලෙස පවසමිනි ‘පණ්ඩිත වැඩියි හොදටම ….කියන දෙයක් අහන එකක් යැයි ..’ හිම්සර එක දිගට මොනව මොනවාදෝ කියද්දී මා උන්නේ නෑසුන ලෙසය …ඔහු කියන දේවල් කරන්න මා ඔහුගේ කවුරුන්ද … ‘ පාරමී …. ඔච්චර හිතුවක්කාර වෙන්න එපා .. ඔයාගේ ගෙදර මිනිස්සු ඔයා ගැන හොයන්නේ නැද්ද ……රෑ තිස්සේ තනියම ගමන් යනවා …. ලෙඩක් හැදුනාම බෙහෙත් ටිකක් ගන්නේ නැහැ ’ ‘හිමසර ….ඔයා එන්න එපා හරිද මම ගැන හොයන්න …. මම කැමති නැහැ පිට මිනිස්සු මගේ දේවල් හොයනවාට ’ මා ඔහු දෙස හෙළු බැල්ම සැර වැඩිවෙන්න ඇත … ඒ දෑස් අන් අතකට යොමු වීමට එතරම් වෙලාවක් ගතවී ගියේ නැත .. ‘ ඔය අල්ලාගෙන ඉන්නේ කොල්ලෙක්ව …… අපේ ඉස්කෝලේ ඉද්දි කරගන්න බැරිවුණ හපන්කම කරගෙන තියෙන්නේ …’’ යෙහෙළියක සමග බස් නැවතුමට පැමිණි මල්ශි මා හිම්සර හා දොඩමින් ඉන්නවා දකින්න ඇත ….. හිම්සර වැනි කඩවසම් තරුණයෙක් මා අසල සිටීම ඇගේ දෑස් වලට කටු ඇනීමක් මෙන් වෙන්න ඇත … ‘ ගල හොදනම් අබරණ කහ මක් වේද …මව හොද නම් දූ පතිවත නොරකිද ….. කට කහනවටද බන් ඔය වගේ කතා කියන්නේ ..’ ‘අම්මා වගේම නැතැයි දුවත් ….’ මගේ ශරීරයේ හැම ලේ බිංදුවක්ම රත්වීගෙන ආවේය …. රෝස දෙකොපුල් ලේ පිරි රත්පැහැ වෙද්දී මා කලේ තදින් යටිතොල සපා ගැනීමය … හිම්සර මා අසල නොවෙන්න ඉදිරියට පැන ඇගේ බොටුව මිරිකා මරා දැමීමට තරම් ආවේගයකි මා සිතට දැනුනේ … ‘ ඒ ගර්ල්ස්ලා ඇයි එහෙම කියන්නේ ..’ හිම්සරට ඔවුන් පවසන දේවල් හොදින් ඇසෙන්න ඇත … ඉතින් මට ඔහුට උත්තර බැදීමට උවමනාවක් නොවුනි …. ඔහු එතනම නතර වෙද්දී මා කලේ ඉදිරියට ඇවිදගෙන යාමය … ‘ පාරමී …. පොඩ්ඩක් ඉන්න මම එනකන් … ‘ ඔහු පවසනවා ඇහුනත් මා නෑසුනා සේම ගියෙමි …. කුඩා කාලයේ පටන් මා ජිවත් වුවේ මා වෙනුවෙන් නීති පනවාගෙනය ….. ඒ නීති කිසිවිටෙක මා කඩ නොකලෙමි …අන් යුවතියන් මෙන් මම කිසිවිටෙක පිරිමි ළමුන් සමග හාද වීමට නොගියෙමි … එහෙවු මා අද මේ කතා අසන්නේ නොකළ වැරදිවලටය ….හිම්සර මා ගැන කුමක් සිතුවත් කම් නැත … මට ඔහු සමග හිතවත් වීමට උවමනාවක් නැත … ‘මොකද යකෝ ආව වෙලේ ඉදලා මුහුණ සතපහ වගේ කරගෙන ඉන්නේ .. මලිතිට මගේ වෙනස හදුනාගන්න එතරම් වෙලාවක් ගතවුවේ නැත … ඉතින් ඇයට මගේ දුක කියා අනුකම්පාවක් ලබා ගැනීමට මට උවමනා වුවේ නැත … ‘මොකුත් නැහැ …’ ‘අම්මා ගෙදර ආවේ නැද්ද …’ ‘නැහැ ….’ ‘උබ කෝල් කරලා බැලුවේ නැද්ද හොටෙල් එකට ..’ ‘මම හොටෙල් එකට ගියා ….’ ‘ඉතින් මොකද උනේ ..’ ‘අම්මා බැංකොක් ගිහින් ..’ ‘උබට කියන්නෙවත් නැතිව …’ ‘ඔව් …මට හිතාගන්න බැරි ඇයි එයා එහෙම කලේ කියලා ..’ නාඩා ඉන්න බව කොතරම් සිතුවත් දෑස් කදුලින් තෙත් වීමට ගතවුවේ නිමේෂයකි … ‘දුක් වෙන්න එපා…. ජිවිතේ කියන්නේ සතුටම විතරක් නෙවේ …. සමහර විට මේ ඔයාගේ අපල කාලයක් වෙන්න ඇති … අපි බෝධි පුජාවක් තියලා බලමු …’ ‘ජිවිතේ කියන්නේ සතුට විතරක් නෙවෙයි කියලා දන්නවා මලි …. ඒත් මගේ ජීවතේ දුකක්ම විතරයි ..’ ගුරුවරිය පංති කාමරයට පැමිණෙන තුරුම පංතියේ මුල්ලකටවී මා මලිතිට දුක වචන කලෙමි … ******* ‘අර ඉන්නේ නිකිල්ගේ යාලුවා නේද ….. ‘’ පාසල් අවසන්ව ගේට්ටුවෙන් පිටතට ආ විගස මලිති කෑ ගසන්න වුවාය … ‘කෝ …. මම දැක්කේ නැහැ නේ …. ‘’ ‘අර පාර ක්‍රොස් කලේ ..’ නෙතුලි අනුව මා කහ ඉර දෙසට නෙතු පෑවෙමි …. හිම්සර ඔහු අප දෙසට එමින් උන්නේය …. ‘ඉස්කෝලේ ගියේ නැහැ ද …. කෝ නිකිල් …’ නෙතුලි මදක් විමතියෙන් මුව ඇරගෙන හිම්සර දෙස බලා උන්නාය…. ‘බය වෙන්න එපා …ඌ …. තාම කොලේජ් එකේ …මම පොඩ්ඩක් කලින් පැනගත්තා …’ දගකාර සිනාවක් මුවට නගා ගත් ඔහුගේ දෑස් නතරව තිබුනේ මා ලගය … ‘ආ .. ඒක මිසක් …මේ ඒක නෙවේ ….හිම්සර මොකද ඔයා ස්කුල් එක පැත්තේ කැරකෙන්නේ ….’ ඕනෑවට වඩා මහා හයියෙන් මලිති සිනාසෙද්දී මට හිතුනේ එය අසංවර බවයි …. ‘කෙල්ලෙක් බලන්න ආවේ …’ හිම්සර එලෙස කියුවෙත් මා ඔහු දෙස බැලුවෙත් එකම වරය… මොහොතක් යනතුරුම මට ඔහුගෙන් දෑස් ඉවතට ගැනීමට අමතකව ගොස් තිබුණි .. ‘හිම්සර …… ‘’ නෙතුලිගේ කටහඩේ තිබුනේ කුතුහලයකි .. ‘ නෙතුලි ….’ ‘හිම්සර කව්ද ඒ …. අවාසනාවන්ති ….’ නෙතුලි විසුළු ස්වරයෙන් පවසද්දී හිමසර මදහසක් නැගුවේ දෑස් එක එල්ලේ මගේ මුහුණේ තබාගෙනය … සමහර විට ඔහු බැලීමට පැමිණියේ එදා රගර් පිටියේ ඔහුගේ දෑතේ එල්ලී උන් යුවතිය වෙන්න ඇත …ඇය ඉගෙන ගන්නේ මේ පාසලේමද .. ‘දැන්ම කියන්න බෑ ….එයා හරිම ආඩම්බර කාරියක් ….. එයා මට ආදරෙයි කිව්ව දවසට මම හැමෝටම කියන්නම්කෝ …’ ඔහුගේ හැම වචනයක් පාසාම මගේ හිත බොහෝ රිදෙමින් තිබුණි …. ‘එතකොට ඔයා දැන් ඒ ගර්ල් බලන්නේ නැතිව ආපහු හැරිලා යනවාද …’ මලිති අසද්දී හිම්සර ඉවත බලාගෙන සිනාසෙන්න වුවේය .. ‘මම එයාව දැක්කා .. ඉතින් දැන් යනවා ..’ ‘හොද නැහැ ඔයා අපිට පෙන්නුවේ නැහැ ඒ ගර්ල් …’ නෙතුලි නෝක්කාඩු කියන්න වුවාය … ‘ඔයාලාගේ ඇස් වහ වැදුනොත් ….. ඒක නිසා දැන්ම පෙන්නන්න බැහැ ..’ එලෙස පවසා හිම්සර මහා හඩින් හිනාවෙද්දි තවත් ඔහු ඉන්න ස්ථානයේ මොහොතකදු මට නැවතීමට උවමනා නොවුනි … ‘නෙතු .. මලි මම යනවා ….’ ඔවුන් යමක් පවසන්න පෙරම මා ඉදිරියේ නතර කල බස් රියට ගොඩවූවෙමි … හිම්සර එදා අර යුවතිය සමග සිටිනවා දුටු තරමටම අද ඔහු යුවතියක් දකින්න පැමිණි බව දැනගත් පසුව මගේ සිත රිදී තිබුණි . ඒ මන්ද යයි නොදැන උන්නත් අර යුවතියට මා බොහෝ ඉර්ශ්‍යා කරන බව මට හැගුණි .

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *