~~~~ආදර පාරමී ~~~~~14 කොටස
නිමාවක් නොමැතිවම ගලනා කදුලැල් නවතා සිනාසීමට මට හැකිවූවා නොවේ …. මගේ යැයි කීමට අම්මා උන්නත් …… කාත්කවුරුවත් නැති එකියක ගානට වැටි උන් මා පිළිබද මහා ආත්මානුකම්පාකින් සිත ඔත්පල වෙන්නා මෙනි මට හැගුනේ … ‘මට මැරෙන්න ඕන රෝසි … මේ ලෝකේ මිනිස්සු හරි නපුරුයි … මාව ගොඩක් රිද්දනවා ….. තවත් නම් දරා ගන්න බෑ මට …’ සුදු ගවුම පිටින්ම යහන මත වැටි බෝනික්කිය තුරුළු කොට මම හඩා වැටුනෙමි …. ‘ කියන්න රෝසි මම නරක ගැහැණු ළමයෙක්ද ….. ඇයි හැමෝම මගේ දිහා නරක විදිහට බලලා කැත කතා කියන්නේ …. ‘’ රෝසි නිසලය …. හදවත් ඇති මිනිසුන්ට වඩා සිත්පිත් නැති මේ අජීවී වස්තුවට මා පෙම් කරමි …මන්ද මා පවසන සියල්ල දොසක් නොනගා අසා සිටින්නීය ඇය බැවිනි … ‘මට ඔයා විතරමයි ඉන්නේ …මේ ලෝකේ කවුරුවත්ම මට ආදරේ කරන්නේ නැහැ …. ‘’’ හිතේ දුක අවසන් වනතුරුම කියවමින් අඩා වැටි අහවරව මා සන්තකව ඉතිරි වුවේ දරාගැනීමට නොහැකි හිසේ රුදාවක් පමණි … ‘‘ කෝ .. මේ ගෙදර උන් නැද්ද …’ දෑස් පියා යහනේ හාන්සිවී උන් මා එලෙසම හිද පිටතින් එන හඩට කන් යොමු කලෙමි ‘ගේ ඇතුලේ හැංගිලා ඉන්නේ නැතිව ඉස්සරහට ආවා නම් හොද නැද්ද .. මුන්ගේ නැහැදිච්චි කමට පාරවල් ගානේ කොල්ලෝ එක්ක නට නටා යනවා …. අපේ ළමයෙක් හදාගන්න බැහැ මේ …#&&&&# බැල්ලියෝ නිසා ’ අසා ඉන්නට බැරි තරම් නොහොබිනා කතා රැසක් කියමින් බැන වදින්නේ මල්ෂාගේ පියා බව මට වැටහුනේ බොහෝ වෙලාවකට පසුවය ….අද උදෑසන මම මල්ෂා තල්ලු කල බව ඔහුට ආරංචි වෙන්න ඇත … ‘කවුරුත් ගෙදර නැහැ වගේ ….අපි දැන් ගිහින් උදේම ඇවිත් මහා උන්දෑ හම්බවෙලා දුවගේ කෙරුවාව කියලා දෙමු …’ ඒ කතා කලේ මල්ෂාගේ මව වෙන්න ඇත … ඊට මද වෙලාවකට පසු පරිසරය නිහඩවී ගියේ ඔවුන් පිටව ගොස් ඇති නිසා විය යුතුය … ඇද උන් සුදු පැහැති නිල ඇදුම ගලවා ඉවත දමා දණහිස දක්වා දිගු ගවුමකින් සැරසුණු මම ආලින්දයට විත් සීතල සිමෙන්ති පිලෙහි බිම වාඩි ගත්තෙමි ….. කොහේදෝ සිට පියබා විත් අඹ ගසේ වැසූ කපුටෙකු එක දිගට කෑ මොර දෙද්දී මා ඒ දෙසට බැල්මක් හෙළුවෙමි …‘මොකද කපුටෝ ඔච්චර කෑ ගහන්නේ ….අපේ දිහා කවුරු එන්නද …. අපිට නෑයෝ නැහැනේ ..’ මම කපුටා දෙස බලා තොල් මතුරද්දී ඌ එතැනින් ඉගිල යන්න ගියේ මා කියූ දේ සත්‍ය බව පවසන්නක් මෙනි .. ‘පාරමී …..’ ගේට්ටුව දෙසින් මගේ නම කියා කිසිවෙකු කතා කරන හඩින් මා හිස ඔසවා බැලුවෙමි … ගේට්ටුව අසල සිටගෙන එකම ඇහිපිල්ලමකදු නොගසා මා දෙස බලා උන්නේ ඔහුයි … හිමසර සැරසීවුන්නේ පාසල් නිල නිල ඇදුමෙනි ….‘ඔයා ….’ එන්න එපා යැයි පුන පුනා කිවත් නැවත නැවත ඔහු මා සොයා එන්නේ කිනම් නම් බැදීමකටද …‘මට ඇතුලට එන්න කියන්නේ නැද්ද …’ගේට්ටුව අසල උන් ඔහු දෑස් අයාගෙන බලා ඉන්නේ මගේ අවසරය ලැබෙනකන් විය යුතුය … හදාගෙන උන් සිත කැඩී විසිරි යද්දී පිළිතුරක් නොදීම ඔහුගෙන් දෑස් ඉවත්කළ මා ඉවත බලා ගත්තෙම් … ගේට්ටුව අසල උන් ඔහුට නිවසට පැමිණෙන ලෙසට ආරාධනා කිරීම නොහොබිනා කමකි … ඉතින් මා නිහඩව උන්නෙමි … ‘පාරමී ….. ඔයා එපා කිව්වට …. මට ඔයා ලගට ඇදිලා එනවා ..හරියට කාන්දමකට ඇදිලා යන යකඩ කෑල්ලක් වගේ ….’ ඇසිල්ලකින් අනවසරයෙන්ම ඔහු මගේ ලග බොහෝ ලගින් සිටගෙන උන්නේය … ඒ මුහුණ දෙස නොබැලු මම පොළවේ ඇදුණු ඔහුගේ සෙවනැල්ල මත මාපටගිල්ලෙන් රටා ඇන්දෙමි …‘මුහුණ උස්සලා මගේ දිහා බලන්න පාරමී …’ හිම්සරගේ කටහඩ වෙව්ලුවේය ….‘ඔයා නෑවිත් ඉන්නයි තිබ්බේ හිමසර …’ හිස නො ඔසවාම මා කතා කලේ ඔහුගේ සෙවනැල්ලටය … ‘මට එහෙම කරන්න හේතුවක් නැහැ … ’ ‘ඔයාගේ ගැහැණු ළමයා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි …’‘’මට එහෙම කෙනෙක් නැහැ ..’ ‘එදා අර ග්‍රවුන්ඩ් එකේ ඔයාගේ අතක එල්ලිලා හිටියේ කවුද එතකොට ..’ ‘පිස්සි ඒ නිසාද මට මෙච්චර දවස් රැවුවේ …එරෙව්වේ …මහම මහා මෝඩියක් …. ඒ මගේ කසින් සිස්ටර් ..’ ඔහුගේ එකම එක වදන් පෙලිකින් සිත සැහැල්ලු වෙන්නාක් මෙනි මට හැගුනේ ….‘පාරමී මම ඔයාට ගොඩක් කැමති …ගොඩක් …..ඔයාට දැනෙනවාද මන්දා … ‘ ඔහුගේ වදන් සිත පිළිගත්තද මට ඔහු හා එකග විය නොහැක …‘ඔයා මට කැමති උනත් පස්සේ ඔයාට දුක් වෙන්න වෙයි …’ ‘මම දුක් වෙන්නේ නැහැ පාරමී …..සත්තයි ….මට ආදරේ කරන්න …’ ඔහුගේ වදන්වල උවේ ආයාචනයකි … මගේ සැබෑ ස්වරූපය නොදැන මෙලෙස මා පසු පස ආවත් සියල්ල දැනගත් පසුව ඔහු යලිත් මා සොයා නොඑනු ඇත …මට සිතුනේ එලෙසයි ….‘දන්නවද … මගේ අම්මා නිසා මම කොයිතරම් අපහස විදිනවද කියලා ….. එයා අපේ තාත්තාව දාලා එද්දී හරියටම මට අවුරුදු තුනයි …. මට මගේ තාත්තාගේ මුහුණවත් මතක නැහැ …. අම්මා මාව ලොකු කරන්න ඕන නිසා හොටෙල් එකක වැඩට ගියා ..එදා ඉදලා එයාට මම ගැන හොයන්න වෙලාවක් නැහැ … පුංචි කාලේ ළමයි කැමති අම්මාට තුරුළු වෙලා නිදාගන්න …. කොයිතරම් ආශා කලත් මට ඒ වාසනාව ලැබුනේ නැහැ …. ආයා කෙනෙක් ලග මාව දාලා ගිහින් අම්මා ආවේ රෑ මැද .. කාලෙත් එක්ක මම ඒවාට හුරු වුනා ….’’අතීතයේ ඒ දුක්බර දවස් දෑස් අද්දර මැවී මැවී මැකෙද්දී මගේ මුවින් පිටවුවේ බර සුසුමකි …..‘ …. යාළුවො .. ඩ්‍රින්ක්ස් .. පාර්ටි ඕවා තමා අම්මාගේ මුළු ලෝකෙම …මට වඩා එයාගේ ලෝකේ තැනක් ලැබුනේ ඒ දේවල් වලට ….. දවසින් දවස එක එක පාට කාර්වල නැගලා අම්මා ගෙදර එද්දී මිනිස්සු කතා හදන්න පටන් ගත්තා …. දන්නවාද මිනිස්සු මට කියන්නේ අර දඩාවතේ යන ගැහැණිගේ දුව කියලා ….. ඉවසගන්න අමාරුයි … ඒත් මම දරාගෙන ඉන්නවා … එහෙව් මාත් එක්ක ඔයා යාළුකමක් පටන්ගත්තොත් මිනිස්සු ඔයාට හිනාවෙයි … ඒක නිසයි කියන්නේ ..පුළුවන් තරම් මගෙන් ඈත්වෙලා ඉන්න ..’ සට සට ගා ඇස්වලින් මිදුණු කදුළු ගොඩක් කම්මුල් දිගේ බේරී ගියේය …‘අම්මාගේ වැරදි වලට ඔයා වැරදි නැහැ පාරමී … ලෝකේ මිනිස්සු මොනවා කිව්වත් මට ඒවා අදාළ නැහැ …මට ඔයාව විශ්වාසයි නම් මිනිස්සු මොනවා කිව්වත් මොකද ..’ හිම්සරගේ දෑත් මගේ දෙවුරේ නතර වෙද්දී අමුතුම හැගීමකින් මුළු ගතම සලිත වී යන්නාක් මෙනි මට හැගුනේ … අසුන්ගෙන උන් තැනින් නැගී සිටි මා ඒ මුහුණ දෙස නොබලා ඉන්න උත්සහ කලෙමි ..‘කෝ මුහුණ උස්සලා මගේ දිහා බලන්න …’ නොනැවතී ගලනා කදුලැල් නවතා ගැනීමට මට උවමනා වුවා නොවේ …‘ඇයි මේ ඇස් වල කදුළු ..’ මදෙසට හෙලා උන් බැල්ම මදකුදු වෙනස් නොකළ ඔහු දබරැගිල්ල ලංකර මගේ කොපුලත මත නතරව තිබු කදුළු බිදුවක් පිස දැමුවේය … ‘ මම ආදරෙයි පාරමී ….. සත්තයි …බලා ගන්නම් මගේ මේ ඇස්දෙක වගේ පරිස්සමින් ඔයාව …මාව විශ්වාස කරන්න …’ දෙසවන් තුළින් ඇතුළු වූ ඒ තියුණු වදන් නැවතුනේ හදවත පතුලේමය … හිත ගැස්සී ගියා නිබොරුය …. එහෙත් ආදරයක් පිළිගැනීමට තරම් මා සුදුස්සියක් නොවේ … ‘මම ආදරේ විශ්වාස කරන්නේ නැහැ … ආදරේ කියන්නේ බොරුවක් ..මේ ලෝකේ ආදරේ කියලා දෙයක් නැහැ .. ලගින් ඉන්නම් …බලා ගන්නම් කියන අය තමා නොකියාම යන්නේ ..’ මගේ වදන් බොහෝ බර වැඩිවෙන්න ඇත ..‘පාරමී එකම එක අවස්ථාවක් දෙන්න මට …. මම ඔයාට ඔප්පු කරන්නම් මගේ ආදරේ ඇත්ත කියලා ..’ හිමසර ඔහු පරාජය වීමට සුදානම් නැත ….. ‘හිම්සර මිනිස්සු කතා හදයි …ඔයා යන්න ප්ලීස් …’ ගේට්ටුව පසුකරගෙන ගිය කිසිවෙකු මදක් නතරව ගේට්ටුවට උඩින් හිස පෙව්වේය …. ඔහු ගමේ ඕපාදුප සොයන්නෙකි .. ඔහුට මෙය ගමපුරා ප්‍රචාරය කිරීමට හොද පුවතක් වෙනු ඇත … ‘ ඔයා මට උත්තරයක් දුන්නේ නැහැ ‘’ හිමසරට මා කියූ කිසිවක් ගානක් නැත ..තවමත් ඔහු බලා ඉදින්නේ මගේ පිළිතුරක් අපේක්ෂාවෙනි ‘’‘මම කාටවත් ආදරේ කරන්නේ නැහැ …කවදාවත් නැහැ … වදින්නම් මෙතනින් යන්න …. ’ දෑත් එක්කොට උන් මා දෙස මද වෙලාවක් බලා උන් ඔහු නළල රැළි කරගත්තේය …‘යන්නම් …හැබැයි මම බලාගෙන ඉන්නවා ඔයා මට ආදරෙයි කියලා කියනකන් … ’ හිම්සර යන්න ගියේ එලෙස පවසමිනි ….ඉතින් මට සිතීමට බොහෝ දේ ඉතිරිව තිබුණි … කිසිදිනෙක කිසිවෙකු මා නමින් මෙලෙස ආයාචනා කර නැත …ඔහු ඉල්ලන්නේ මගේ හදවතයි … දෙන්නට බැරිකමක් නැත …එහෙත් …. දිනෙක ඔහුගේ මව්පියන් මගේ මව ගැන දැනගත් දිනෙක මේ සම්බන්ධයට එරෙහි වෙනු ඇත ..එවන් දිනක් අපේක්ෂාවේන් ආදරය පුදකර පලක් නැත … ඉතින් මා තීරණය කලෙමි .. තවත් කිසිදිනෙක හිම්සර ඉදිරියට නොයෑමටය ඒ .. ‘ දඩාස් ‘ උළු සෙවිලි කල වහලය මත කුමක්දෝ වස්තුවක් මහා හඩින් පතිත විය …. කුරුල්ලෙකු ගෙනයන ගඩා ගෙඩියකයැයි සිතුවද එකකට පසු එකක් ලෙස එක දිගට වහලය මත පතිත වන්නේ ගල් බව වැටහී යන්න මට වැඩිවෙලාවක් ගියේ නැත … ‘’හු හු හු……’ තවත් මොහොතකින් ඇසුනේ පිරිසක් හු කියන හඩකි …. ගත ශීතල වී දාඩියෙන් මුළු ශරීරයම තෙත් වී යද්දී මුවින් ඉකිබිදුමක් පිටතට ආවේ ඉබේමය …… කාත් කවුරුවත් නැති නිවසක තනිව සිටින දැරියකට අවමන් කිරීමට තරම් අමනුෂ්‍ය ගති ඇති මිනිසුන් ගැන පිළිකුලකින් සිත පිරි යද්දී කිසිවක් කර කියා ගත නොහැකිව මා පිටතින් ඇසෙන හඩවල් වලට කන්දුන්නෙමි ….. මොවුන් දොර කඩාගෙන විත් මට කරදර කරනු ඇතිද …. දෙපා පණ නැතිවී ගියේ ඔවැනි දේවල් සිතට එද්දීය … ‘කව්ද ඔය හු කියන්නේ …මේ ගැහැණු ළමයෙක් ඉන්න ගෙදරක් වටකරගෙන …’ පිටතින් ඇහුනේ මහිල් අයියාගේ කටහඩයි … හුස්මක් හෝ නොගෙන මම ඒ හඩට කන්දීගෙන උන්නෙමි ‘නංගි … දොර අරින්න …’ දිනුකි අක්කා දොරට සෙමින් ගසද්දී මා සිහිනෙන් මෙන් ගොස් දොර ඇරියෙමි … සිතට සැනසිල්ලක් දැනුනේ ඒ සදයි …. දිනුකි අක්කා සහ මහිල් අයියා බොහෝ කම්පාවෙන් මා දෙස බලා ඉද්දි ඉදිරියට පැන දිනුකි අක්කා තුරුළු කරගත් මා සෙමින් බොහෝ සෙමින් ඉකිබින්දෙමි … ‘ නාඩා ඉන්න …. ඔයා දැන් මෙහෙ ඉන්න එපා ..අපේ ගෙදර යමු …’ දිනුකි අක්කාගේ අතක් තදින් අල්ලාගෙන මා ඈ පසු පස ඇදුනේ ප්‍රාණය නිරුද්ද එකියක ලෙසටය … මේ සියල්ල සිහිනයක් වෙනවා නම් හොදය ..එවිට හෙට උදෑසනින් අවදිව මට පාසල් යෑමට හැකිය ..එහෙත් මේ සියල්ල සත්‍යය … ආයේ නම් මේ ගමේ කිසිවෙකු ඉදිරියේ හිස ඔසවා බැලීමට මට නොහැකි වෙනු ඇත ….
මතු සම්බන්ධයි