~ආදර පාරමී ~~~~ 15 කොටස

~~~~~ආදර පාරමී ~~~~ 15 කොටස
‘රුචිරා අක්කා පාරමී කියන්නේ ගැහැණු දරුවෙක් …. ඔයා ඒ දරුවා රෑ පානේ ගෙදර දාලා යද්දී එක පාරක් නෙවේ සිය පාරක් හිතන්න ඕන … ’ දිනුකි අක්කාගේ නිවසට මා සොයා පැමිණි අම්මාට මහිල් අයියා බොහෝ දොස් කිව්වේය … ‘ඔයාට මේ දරුවා බලාගන්න බැරි නම් හොස්ටල් එකකට දාන්න ….. එයා දුක් විදිනවා හොදටම වැඩි ..’ ඇතුල් කාමරයක් තුලට වී දිනුකි අක්කාගේ උරහිසේ හිස හොවාගෙන කතා බහට සවන්දීගෙන උන්නා මිස මා නිකමට හෝ අම්මා දැකීමට ආලින්දයට නොගියෙමි ‘මට තේරෙනවා මහිල් කියන දේ ..ඔයාලා මගේ දරුවා බලාගත්තාට බොහොම ස්තුතියි …’ මහිල් අයියා පවසන සියල්ල අසා උන් අම්මා අවසානයේ පැවසුවාය .. ‘ පාන්දර තුනයි වෙලාව ….දැන් ගෙදරට යන්න එපා …ඉතිරි පැය දෙක තුනත් මෙහෙම ඉදලා යන්න …’ මහිල් අයියා සේම දිනුකි අක්කාද උන්නේ අම්මා පිළිබද බොහෝ කලකිරීමෙනි … ‘ බබී මාත් එක්ක තරහද …. ’ මා උන් කාමරයට අම්මා හිස පොවද්දී කොට්ටයේ මුව හොවාගෙන උන්නා මිස නිකමට හෝ ඈ දෙස බලන්න නොගියෙමි .. සුසුමක් හෙලු අම්මා කාමරයෙන් නික්ම යන්න ඇත ….. පසුදාට පහන් වනතුරුම යහනේ ඒ මේ අත පෙරෙලෙමින් උන් මා උදෑසනින්ම අවදිවුවෙමි …. ‘ නංගි දැන් හිත සංසුන් කරගෙන ගෙදර යන්න ….ඕන දෙයකට අපී ඔයා වෙනුවෙන් ඉන්නවා …’ දිනුකි අක්කා මගේ හිත හැදීමට බොහෝ දේ කීවාය …. ‘අපි ගිහින් එන්නම් දිනුකි …’ ස්තුති පුර්වකව දිනුකි අක්කා දෙස බැලු අම්මා එලෙස පවසා ඉස්සර වෙද්දී මා ඈ පසු පස වැටුනේ කිසිවක් නොදොඩමිනි … ‘මුන්ට හොදක් වෙන්න එපා පර බල්ලෝ ..’ තාප්පය මත ගසා තිබු පෝස්ටර් එකක් දුටු අම්මා දත්මිටි කමින් එය ගලවා හතරට පහට ඉරද්දී එය නොතැකු මා ඉදිරියට ගියෙමි ….. තාප්පයේ තැනින් තැන ගසා තිබු පෝස්ටර් වල තිබුනේ අම්මා සහ මා සම්බන්ධයෙන් ගෙතු කතාවන්ය …. අසභ්‍ය ඒ කතා අහස පොළව පවා නුහුලන තරමට නපුරුය ….ඉතින් අදින් පසු මේ ගමේ කිසිවෙකුට මුහුණ දීමට මට නොහැකි වනු ඇත …අඩන්න ඕනා උනිද කදුළක් උව දෑසට නොනැගිනි … ‘අපි කාලා ඇදලා ඉද්දි මේ ගමේ උන් හිතන්නේ මම .. %%$^%% ගිහින් සල්ලි හම්බ කරනවා කියලාද දන්නේ නැහැ ..මට ඕන දෙයක් කියපියව් ඒ උනාට තොපි මගේ කෙල්ලට වචනයක්වත් කියන්න එපා ..’ ගේට්ටුව අසල සිටගෙන අම්මා කෑ ගැසුවේ ගමටම ඇසෙන්නය .. කොහෙන්දෝ නැගුනු හු හඩ නිසා අම්මාගේ කෝපය දෙගුණ තෙගුණ වෙන්න ඇත … ආලින්දයේ සිමෙන්ති බිම අසුන්ගෙන අසිහියෙන් මෙන් බලා උන්නා මිස කෑ ගසන්න එපා කියන්න හෝ මට උවමනා නොවුනි …. ‘කුමාරිහාමි …ඔහේගේ දුව හදාගන්නවා ….ඒකි ඊයේ මගේ කෙල්ලව පාරේදී මඩ වලකට තල්ලු කරලා තියෙනවා ….ආයේ එහෙම මේ වගේ දෙයක් උනොත් මම නරක මිනිහා කියන්න එපා …. ‘’ මල්ෂාගේ පියා සහ කීපදෙනෙක් පැමිණියේ අම්මා කෑ මොර දෙමින් සිටියදිය … අම්මාගේ කටහඩ පරයා ඇසුණු මල්ශාගේ පියාගේ කටහඩ අහල පහල සියල්ලන්ටම ඇසෙන්න ඇත …. අදහන්න හිත බොහෝ රිදෙමින් විදුලි අකුණු ලක්ෂ ගානක් හිත තුල එකවර පුපුරන්නාක් මෙනි මට හැගුනේ .. ‘මගේ කෙල්ල එහෙම වැරදි කරන්නේ නැහැ …තමුන්ගේ දුව මොකක් හරි නැහැදිච්චි වැඩක් කරන්න ඇති … ‘’ අම්මා මා වැරදි යැයි පිළිගත්තේ නැත ‘ තමුන් මේ ගෙදර ඉන්නවද දරුවා කරන දේවල් හොයන්න …. මේකි දහයට ගනින්න බැහැ වගේ හිටියාට … තමුන් නැති වෙලාවට මේ ගෙදරට කොල්ලෝ ගෙන්න ගන්නවා කියලා දන්නවාද …තමුන් නොදන්නවාට මේ ගමම ඒ දේ දන්නවා .. ’ මල්ශාගේ මව පැවසු කතාව අදහන්න බැරිවා මෙන් බලා උන් අම්මා විගස මා වෙතට හැරුණි … ‘බබී …මේ මිනිස්සු කියන්නේ බොරු නේද ….කියන්න මේ දේවල් බොරු කියලා …ඔයාගේ අම්මා නරක ගැහැනියක් වෙන්න ඇති ..ඒත් … ඔයා නරක කෙල්ලක් නොවේ ….ඔයා ඇහැක් ඇරලා කොල්ලෙක් දිහා බලන කෙල්ලෙක් නෙවෙයි …. මට ඔයාව විශ්වාසයි … ‘’ අඩියට දෙකට මා වෙතට පැන ඈ මා දෙස බලා උන්නේ පිළිතුරක් අපේක්ෂාවෙනි …. මේ සියල්ල සිදුවන්න මුලික වුවේ ඇයයි ….ඉතින් මට උවමනා වුවේ ඇයව රිදවීමටය … ‘ඒ කියන්නේ ඇත්ත .. ‘’ හිතක් පපුවක් නැත්තියක මෙන් එලෙස පැවසු මම අදුරු වූ ඇගේ මුහුණ දෙස බලා සිතින් සිනාසුනෙමි … ‘වරෙන් යන්න ..’ මා උන් තැනින් බලෙන්ම ඇදගෙන ගිය ඈ නැවතුනේ මගේ කාමරය තුලය .. අල්මාරිය උඩ තිබු ගමන් මල්ල අතට ගත් ඇය මගේ අල්මාරිය ඇර එහි තිබු ගවුම් කීපයක් මල්ල තුල පුරවන්න වුවාය ….. ‘මේ මොනවාද කරන්නේ ඔයා …’ ඈ සැරසෙන්නේ කුමක් කිරීමටද …. අදහා ගැනීමට නොහැකිව මද වෙලාවක් උන් මා මුව විවර කලෙමි …. ‘ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ගනින් …ආයේ උබ මෙහෙ එන්නේ නැහැ ..’ කිසිදිනෙ මේ තරම් නපුරු ලෙසට ඇය මා අමතා නැත .. මට මේ නිවසෙන් රැගෙන යන්න කියා විශේෂ දෙයක් නැත … මා අතට ගත්තේ යහනේ වැටි උන් බෝනික්කිය පමණි …. අම්මා කිසිවක්ම නොකියා ලොකු ගමන් මල්ල එක අතකට ගෙන අනිත් අතින් මගේ අත තදින් අල්ලා ගත්තේය … කුඩා කල පටන් මා තනිව උන් මේ නිවසට මා වෛර කලෙම් …ඒ මෙහිදී මා ලද රුදුරු තනිකම නිසාය … ‘අපි කොහෙද යන්නේ …’ මා ඇසු ප්‍රශ්නයට නිසි පිළිතුරක් නොදුන් ඇය කුලී රියකට අත දැමුවාය .. ‘ටවුන් එකට යමු ….’ නගරයට යනතුරුම කිසිවක් නොදෙඩු අම්මා වරින් වර සුසුම් හෙළුවාය … කීපවරක්ම යමක් කියන්න මෙන් මුව විවර කල ඇය කිසිවක් නොකියා නැවත මුව වසා ගත්තීය .. ‘කොළඹට ටිකට් දෙකක් දෙන්න …’ වායු සමීකරණය කල බස් රියකට නැගුනු අම්මා දෑස් වසා ගත්තේ බොහෝ වේදනාවෙන් මෙනි …. ගමන අවසාන වනතුරුම ඇය උන්නේ නිහඩවය …. ‘විජේරාම පාරට යමු ….’ බසයෙන් බැස කුලී රියක නැගුනු අම්මා වදනකදු නොදෙඩුවේය … බෝනික්කිය තුරුළු කොටගෙන මා උන්නේ බොහෝ නිහඩවය .. ‘ඔතන නවත්තන්න ….. ඔයා පොඩ්ඩක් මෙතැන ඉන්න මම ආපහු එනවා …’ විසල් තාප්පයකින් වටවුණු නිවසක් ඉදිරියේ රථය නවතා ඉන් බැසගත් අම්මා රියදුරාට උපදෙස් දුන්නේ මගේ ඇදුම් බෑගය අතට ගනිමිනි … ‘බබී බහින්න …’ මම අම්මා පසු පස ගියේ කිසිම හැගීමක් නැත්තියක ලෙසටය … ‘ පාලිත මහත්තයා ඉන්නවාද …’ ආරක්ෂක කුටියට හිස හොවා අම්මා විමසද්දී එතුල උන් ආරක්ෂක නිලධාරියා හිස එලියට දැම්මේය …. ‘ඔව් ….කවුරු ඇවිල්ලා කියලද කියන්නේ …’ ආරක්ෂක නිලධාරියා අප දෙදෙනා දෙසම හෙළුවේ විමසිලිමත් බැල්මකි … ‘ රුචිරා ඇවිල්ලා කියලා කියන්න …’ දුරකථනයෙන් කවුදෝ අමතා කතා කල ආරක්ෂකයා නැවත අප දෙස බැලුවේය … ‘ඇතුළට යන්න ..’ ගේට්ටුව පසු කර අප පිවිසියේ මාළිගාවක් මෙන් විසල් සුන්දර නිවසක් අභියසටය …….. අලංකාර ලෙස මල් වගාකර තිබු ගෙවත්ත මල් වත්තක අසිරිය ගත්තේය … ‘වාඩිවෙන්න මහත්තයා දැන් එයි …’ සුපොඛභෝගී අයුරින් නිම කල තිබු විසල් නිවසේ ආලින්දයේ වූ සෝපාවක අසුන්ගෙන මා බලා උන්නේ අප පැමිණියේ කවුරුන් මුණගැසීමටද යන කුහුලෙනි …. ‘රුචිරා …’ තවත් සුළු වෙලාවකින් අප උන් ස්ථානයට පැමිණියේ සද්දන්ත දේහදාරී මැදිවියේ කඩවසම් පුද්ගලයෙකි …. ඔහුගේ අතක එල්ලී උන් කාන්තාව ඔහුගේ බිරිද වෙන්න ඇත … අම්මා තරම් නැතත් ඈ සුන්දරය … ‘පාලිත ….. .’ මොහොතක් ඔවුනොවුන් දෙස බලා උන් දෙදෙනා දෑස් ඉවත්කර ගත්තේ මුහුණු අදුරු කරගෙනය … අනතුරුව ඔහුගේ බැල්ම යොමුවුවේ මා වෙතය …මද වෙලාවක් මා දෙස බලා උන් ඒ පිරිමි දෑස් තෙත් වීගෙන ආවේය …. ‘රුචිරා මේ අපේ බබී පාරමිද …’ අර කාන්තාවගේ අත ඉවත්කර මා වෙත ආ ඔහු මගේ මුහුණ දෝතින්ම අල්ලා ගත්තේය …. එසේ නම් මොහු මගේ පියාද … මොහු මගේ පියා නම් අර කාන්තාව කවුද .. ‘ බබිව බලන්න මම කොච්චර ආශාවෙන්ද හිටියේ ….මගේ කෙල්ල දැන් ගොඩක් ලොකු වෙලා …. මම ඔයාලා ගැන කොච්චර හෙව්වද … ඒත් මට ඔයාලා ගැන කිසිම විස්තරයක් හොයාගන්න බැරි උනා …. ’ තාත්තා ඉකිබින්දේ පුංචි එකෙකු මෙනි ….මෙතරම් මා කෙරෙහි සෙනෙහස් දක්වන පියෙකුගෙන් මා ඈත් කිරීමට අම්මා සිතුවේ කෙලෙසද … තාත්තගේ පපුවට තුරුළු වූ මා දැරියක මෙන් අඩා වැටුනෙමි … ‘පාලිත මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම් …’ කාන්තාව තාත්තාට එලෙස පවසා පිටුපා යද්දී අම්මා ඈ දෙස හෙළුවේ ද්වේශ සහගත බැල්මකි … ‘රුචිරා ඔයාට නිකමටවත් හිතුනේ නැතිද …මට කෝල් එකක් දෙන්න ඕන කියලා …මොනවා උනත් මේ අපි දෙන්නාගේම ලේ තියෙන දරුවා …ඔයාට යුතුකමක් තිබ්බා මට කෝල් එකක් දෙන්න …’ අම්මා තාත්තා දෙස බැලුවේ සමච්චලයෙන්ද ද්වේශයෙන්ද මට වැටහුනේ නැත … ‘ඔයා නිසා මට මොනවද පාලිත නැතිවුනේ නැත්තේ …අන්තිමේට මට මාවත් නැතිවුනා …මම අයාලේ යන ගැහැනියක් උනා … ඉතින් ඔයාට කතා කරලා මගේ සැප දුක කියන්න තරම් වටින කෙනෙක් නෙවෙයි ඔයා ’ ‘රුචිරා ඔයා මේ දරුවා ඉස්සරහා මොනවාද මේ කියන්නේ …. ප්ලීස් නවත්තගන්න ඔය කතාව ..’ තාත්තා කතා කලේ තද ස්වරයෙනි …. ‘බබිත් මේවා දැනගන්න ඕන ..දන්නවාද එයා මට වෛර කරනවා ….. ඒ මගේ වැරදි වලට … මගේ ජිවිතේ වැරද්දුවේ ඔයා පාලිත …මම නිසා මගේ දරුවා කාලකණ්නි වෙනවා බලන්න මට බෑ … ඔයා මේ දරුවා බලාගන්න … දැන් මට මහන්සි …. ….’’ අම්මා බොහෝ වේදනාවෙනි කතා කලේ ‘මම යනවා …පරිස්සමින් ඉන්න ..’ ඇඩුම් ස්වරයෙන් එලෙස පැවසු අම්මා මා දෙස වරක් බලා ගෙයින් එළියට බැස්සේය … අදහන්න කිසිදු දුකක් නොදැනුනේවිය …. තාත්තාගේ දෑස් වල වුවේ වේදනාවකි … අම්මා මා රැගෙන ගිය පසු බොහෝ තනිකමින් පිඩා විදි තාත්තා විවාහ වෙන්න ඇත …මට සිතුනේ එලෙසටයි …. ‘…අද ඉදලා පාරමි අපි එක්ක ඉන්නේ .. දම්සිත් , දම්සාරි …මේ ඔයාලාගේ අක්කා … එයාට ආදරෙන් සලකන්න ඕන ..’ අවුරුදු 15ක් පමණ වයසැති ගැහැණු දැරියක් සහා පිරිමි දරුවෙකු මා දෙස බලා උන්නේ පුදුමයෙනි … ඔවුන්ට පුදුමයක් වෙන්න ඇත තම ආගන්තුක සහෝදරිය ගැන ….කිසිදිනෙක තමන්ට අක්කා කෙනෙකු ඉන්නේ යැයි ඔවුන් නොදැන ඉන්න ඇත …. ‘මංජු බබිට කාමරයක් ලැහැස්ති කරලා දෙනවද …’ සෙනෙහසින් සිය බිරිද ඇමතු තාත්තා ඇයට මා භාරදුන්නේය … ‘ මේක තමා අද ඉදලා ඔයාගේ කාමරේ .. ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න …’ උඩුමහලේ කාමරයක් වෙත මා සමගින් ගිය ඕ දයාබරය ….. ‘මම ඔයාට අම්මා කියන්නද පුංචි අම්මා කියන්නද ..’ පිටව යන්න ගිය ඕ මගේ පැනය හමුවේ නැවත හැරී මා දෙස බැලුවාය ‘ඔයා කැමති නම් මට අම්මා කියන්න …’ අම්මා කිසිදිනක මා දෙස ඔය ලෙස බලා හෝ සෙනෙහසින් මා අමතා නැත ඉතින් මා බොහෝ සතුටු වූවෙමි .. මට ලැබුණු අළුත් සම්බන්ධකම් ගැන මා උන්නේ සැහැල්ලුවෙනි …. **** හිම්සර මට ඔහු සිහිවුවේ රැයේ නින්දට යහනට වැටුණු පසුවය …. අද උදෑසන ඔහු මා එනතුරු මග රැක ඉන්න ඇත …සමහර විට ඔහු මා සොයා අප නිවසට පැමිණෙන්න ඇත ….. දෑසට කදුළක් ආවේ ඔවැනි දේවල් මතකයට නැගුණු කලය …. හිම්සර ඔහු මට බෙහෙවින් පෙම් කල බව මා දැන උන්නෙමි …ඒ ආදරය මුසාවක් හෝ වංචාවක් නොවේ …. ඉතින් හද බැදී ප්‍රේමයේ නාමයෙන් ඔහු මා මුළු නුවර පිරා සොයනු ඇත ..මා කොළඹ පැමිණි බව දන්නා අයෙකු නැති හෙයින් ඔහුට මා ගිය අතක් පිළිබද හෝඩුවාවක් හෝ සොයාගත නොහැකි වනු ඇත .. ‘රෝසි මෙහෙ ගොඩක් හොදයි අර මුසල ගෙදරට වඩා …. තාත්තත් මට ගොඩක් ආදරෙයි . මංජු අම්මත් ගොඩක් හොදයි … මට නුවර දාලා ආපු එක ගැන කිසිම දුකක් නැහැ …ඒ උනාට රෝසි මට එයාව මතක් වෙනවා …හිම්සර …පව් එයා මාව හොයයි හැම තැනම … ’ සුසුමක් හෙලා ලය සැහැල්ලු කොටගෙන බෝනික්කිය තුරුළු කරගත් මම හිම්සර ගැන සිතන්න වීමි … ‘හිමසරට මගේ හිතේ තියෙන කැමැත්ත ආදරය වෙන්න ඇති …. නැති නම් මට එයාව මෙච්චර මතක් වෙන්නේ ඇයි රෝසියේ …. වෙන දෙයක් උනාවේ …මම හැමදෙයක්ම අමතක කරලා සතුටින් ඉන්නවා …මම දුක විතරයි රෝසියෝ විදලා තියෙන්නේ …සතුට බිංදුවක් හරි මට ලැබෙනවා නම් මම හරිම ආසයි … මම ආයේ පහුගිය දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ …වෙන දෙයක් උනාවේ …. ‘ අතීතය අමතක කර අනාගතයට සතුටින් මුහුණ දිමට මගේ හිතට මම පොරොන්දු දුන්නෙමි ….

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *