~~~~ආදර පාරමී ~~~~20 කොටස
හිතේ වුවේ පහදා කිව නොහැකි තරම් වේදනාවකි … හිම්සර ඔහු මා නොසලකා හැරියේය යන සිතුවිල්ලම සිත බොහෝ රිදවමින් තිබුණි …. කකියන දෑස් පියන් තදින් පියාගත් මම දෑස් තුලම කදුළු දියකර හැරියෙමි …..මා උන්නේ හිම්සර ගැන සිතුවිලි වලින් පිඩිතවය …. කොතරම් අමතක කිරීමට තැත් කලත් අමතක කළා යැයි සිතා උන්නත් ඔහු දුටු සැනින් මට වැටහුණි ඒ හිම්සර නොමැතිව මට හුස්මක් උව ගැනීමට නොහැකි බවයි ….‘මොකද පාරමී අර කොල්ලා දැක්ක ගමන් හැදිච්ච පිස්සුව …’ බොහෝ වෙලාවක් නිහඩව මා අනුවම පැමිණි ඉඳුවරි විමසුවේ මම අසිහියෙන් මෙන් උන් නිසා විය යුතුය … ‘මට තිබහයි අපි මොනව හරි බොමුද …’ ප්රති උත්තර නොදී මා කලේ ඇගේ පැනයෙන් මග ඇරිමයි …‘හරි …. අපි මේ හොටෙල් එකට ගිහින් මොනවා කාලා බිලා එමුකො …’ අසල තිබු හෝටලයට පිවිසි අප ෂෝර්ට් ඊට්ස් ඇණවුම් කළෙමු …එකිනෙකාගේ මුහුණු පෙනෙන ලෙස ආපනශාලාවේ කොනක තිබුණු මේසයක අසුන්ගෙන උන් අප දෙදෙනා මද වෙලාවක් යනතුරු උන්නේ ගොළුවන් ලෙසය .‘දැන් කියපන් මට ඒ කොල්ලාව උබ අදුරනවාද …’ මට ඇයට පිළිතුරු දෙන්න උවමනා නොවුනි …. ‘ පාරමී උබ එකපාරටම ඒ විදිහට හැසිරෙද්දී මට බය හිතුනා ..උබ වගේ කෙල්ලක් කොල්ලෙක් පස්සේ පිස්සුවෙන් වගේ දුවද්දී මට හිතාගන්න බැරිවුනා …කියපන් ….මොකක්ද උබට මේ වෙලා තියෙන්නේ …මොනවා හරි ප්රශ්නයක් තියේ නම් කියපන් …. ‘’ ඉඳුවරිගේ කටහඩ බොහෝ ලෙන්ගතුය … ඒ දයාබරිත්වය දරාගනු නොහැකිව දෑසට ඉනු කදුළක් සටාස් ගා මේසය මත වැටෙද්දී ඕ බොහෝ කලබල වුවාය ..‘ ඔන්න අඩන්න ගත්තා …. මේ අහපන් කෙල්ලේ උබට අඩන්න නෙවෙයි මම කිව්වේ …. හිතේ තියෙන දෙයක් හිතට බරක් කරගෙන තනියම විදවනවාට වඩා තමන්ගේ ලගින් ඉන්න කෙනෙක්ට කිවාම හිතේ බර අඩුවෙනවා …. උබ අකැමැති නම් නොකියා ඉදපන් … මේ විදිහට අඩන්න එපා වැලහින්න වගේ ..’ නොනැවතිල්ලේ ගලන කදුළුත් සමග දෙතොලින් එළියට පනින්න දගලන ඉකිබිදුම වළක්වා ගැනීමට මා කලේ තදින් දෙතොල සපා ගැනීමය … ‘කියන්න බැරි කමක් නැහැ ඉංදු …ඒ උනාට මට ගොඩක් දුක හිතෙනවා ඒ දේවල් කියද්දී …. මගේ හිත ගලක් කරගෙන හිටියේ …ඒ උනාට එයාව දැක්කම ඒ අතීතේ හිත ඇතුලේ හංගා ගත්ත ආදරේ ඉබේම එළියට පැන්නා….’කලිසම් සාක්කුව තුල වූ ලේන්සුව ගෙන නොනැවතිල්ලේ ගලනා කදුළු බිදු පිසදැමූ මා සුසුම් හෙළන්න වීමි …‘මුළු ලෝකෙම නැතිවුනා වගේ හුල්ලන්න එපා පාරමී ……’ ‘මම මොනවාද කරන්නේ ඉංදු … මම ආදරේ කියන්නේ මොන වගේ හැගිමක්ද කියලා දැනන් හිටියේ නැහැ .. ඒත් හිම්සර දැක්ක දවසේ මට දැනුනා අමුතුම හැගීමක් …හරියට එකම එක තප්පරයකට මගේ මුළු ලෝකෙම එයා ඉස්සරහා නැවතුනා වගේ .. හුස්ම ගන්න අමතක වෙද්දී හිත විකාර වෙලා යනවා වගේ දැනුනේ … ඒක හරි අමුතු හැගීමක් ඉංදු …කවදාවත් මට ඒ වගේ දැනිලා නැහැ …. පස්සේ මට හිතුනා ඒ හැගීම ආදරේ වෙන්න ඕන කියලා .. එයා මට ආදරේ කිය කිය පස්සෙන් ආවත් මම එයාට ආදරේ කියලා පෙන්නුවේ නැහැ … ඒකට මට හේතු තිබ්බා …ඒවා ඔයාට කියන්න බැරි තරම් තිත්ත ඇත්ත …. මම නුවර අතෑරලා කොළඹ ආවා …. මම එන්න කලින් හිම්සරට කිව්වා කවදාවත් එයාට ආදරේ කරන්නේ නැහැ කියලා ….එයාට එදා මාව එපා වෙන්න ඇති …එයා දන්නේ නැහැ මම ආදරේ කියලා …’ හුස්මක් උව නොගෙන කියවන මා දෙස බලා උන්නා විනා ඉඳුවරි හරස් ප්රශ්න නොඇසුවාය ….. ‘එයාව ආයේ කවදාවත් දකින්න වෙයි කියලා මම හිතුවේ නැහැ ….ඒ උනාට අද එයාව ආපහු දැක්කාම මට ඉවසගෙන ඉන්න බැරි වුනා ඒකයි මම පිස්සුවෙන් වගේ එයා ඉන්න තැනට දිව්වේ … මම දන්නේ නැහැ මට ඒ වෙලාවේ මොනවා උනාද කියලා ..’ දුක කියා හෝ ඉවරවෙනවා නම් මා නොනැවතිල්ලේ කියවා දුක ඉවර කරගමි …. එහෙත් හිම්සර නොලැබ මේ හිතට සැනසිල්ලක් නොලැබෙන බව මට වැටහෙමින් තිබුණි …‘අපි හිම්සරව ආයෙම හම්බවෙමු …. එයා තේරුම් ගයි උබ පැහැදිලි කලාම ..’ ‘මාත් එක්ක ආයීම යාලු වෙන්න ඕන නැහැ කියපු එයා මාත් එක්ක යාලුවෙයිද …’ ‘කලබල වෙන්න එපා ….ඌ තරහට එහෙම කියන්න ඇත්තේ … ආපහු ගිහින් කතා කරලා බලමු ….’ ඉඳුවරි කියුව අසා මා ඈ සමගින් ආපහු ක්රීඩා පිටියට ගියත් සිත තුල වුවේ දෙගිඩියාවකි …. ‘ඇන්තනිස් ටීම් එක කොහෙද මල්ලි ඉන්නේ …’ ඉඳුවරි එය විමසුවේ ක්රීඩාගාරය තුලින් පිටතට පැමිණි පොඩි එකෙකුගෙනි ..‘ එයාලාට අද ආයේ මැචස් නැති නිසා ගියා …’ බලාපොරොත්තු කඩවීම නිසා දෑසට කදුළු නගිද්දී මා කලේ දෑස් බිමට බර කර ගැනීමයි … ‘දැන් යමු ….අපි ආයේ ඇවිත් ඌව හම්බවෙමු …..දුක් වෙන්න එපා ..’ ඉඳුවරි සිත සැනසීමට කුමක් පැවසුවද ඔහු නොදැක සිත සනසා ගැනීමට නොහැකි බව මට වැටහෙමින් තිබුණි … ******පෙර මෙන් සිනාසිමට හෝ කිසිවෙකු සමග ප්රිය සල්ලාපයේ යෙදීමට මා සිතෙහි කිසිදු පිරියක් නොවිය ….. ඒ හවස් වරුව කාමරය තුලටම වී උන්නා මිස මා එළියට නොගිය තරම්ය …. හිම්සර ඔහුට මා ගැන දැනෙන්නේ නැතිද …. එක්වරක් මා දෙස බලා හසරැල්ලක් පෑවා නම් මේ සිතට දුකක් නොදැනෙනු ඇත …. ‘බබී පොඩ්ඩක් පහලට එනවාද …’ මා කාමරයෙන් පිටතට ගියේ මංජු අම්මාගේ කටහඩිනි ….‘අම්මා මට කතා කලාද …’ ‘ඔව් …බබිට පුළුවන්ද … දම්සාරි එක්ක සුපර් මාර්කට් එකට ගිහින් එන්න ..’ ‘මම යන්නම් අම්මා…නංගිට කිව්වද …’ ‘ඔව් මම කිව්වා …ඔය කුටු කුටු ගගා ගියේ ලැහැස්ති වෙන්න … ‘’දිගු සායකට ගැලපෙන අත් දිග බ්ලවුස් එකකින් සැරසුණු මා ආලින්දයට පැමිණෙද්දී දම්සාරි උන්නේ මිදුලට බැසගෙනය .. ‘එනවකො වදේ ඉක්මනට …. මට ස්කුල් එකේ වැඩ වාගයක් කරන්න තියෙනවා’ සංසුන්ව පා තබන මා දෙස බලා නැගණිය නෝක්කාඩු කියද්දී මම ගමන ඉක්මන් කලෙමි … ‘ඔයා මේ ලිස්ට් එක අරන් එන්න …මම මෙතෙන්ට වෙලා ඉන්නම් …. ‘’ සුපිරි වෙළදසැල පාමුල නැගණිය නවතිද්දී මම එතුළට ගියෙමි ..සුපිරි වෙළදසැලේ රාක්ක අතර ගමන් කරමින් මංජු අම්මා ලියාදුන් භාණ්ඩ එකින් එක ගෙන කුඩයට දමා ගත්තෙමි ….ඉවත බලාගෙන භාණ්ඩ තෝරමින් උන් මා අසලින් ගමන් කල කිසිවෙකු ඇගේ වැදීම නිසා මම මදක් පසෙකට තල්ලුවී ගියෙමි …‘සොරි මම දැක්කේ නැහැ ….’ අදහාගනු නොහැකිව බලා උන්නා මිස මට වදනකදු මුවින් පිට කිරීමට අපහසු විය … මා ඉදිරියේ උන්නේ ඔහුය ….හිම්සර ඔහු මා නිසියාකාරව දුටුවේ ඒ මොහොතේ වෙන්න ඇත … තද පැහැති කමිසයකට කොට කලිසමක් ඇද උන් ඔහු වෙතින් දිස් වුවේ දගකාර කොලුකමකි ……“ඔයා මෙහෙ ..’ . මා දැක ඒ දෑස් මදක් වී ගියේය ….ඔහුට උවමනා වෙන්න ඇත්තේ විගස මා වෙතින් පලා යෑමටය ..‘හිම්සර …’ හිත නුහුරු ලෙසට වේගයෙන් ගැහෙද්දි මා මුව විවර කලේ ඔහු යන්න යාවි යන සිතුවිල්ලෙනි … ‘ඇයි ..’ ඉදිරියට තැබූ පය එලෙසම තබාගෙන ගෙල පමණක් හරවාගෙන උන් ඔහුගේ දෑසේ වුවේ කලකිරීමක්ද නැතහොත් ශෝකයක්ද කියා නොතේරුණි ‘ඇයි මාව දැක්කම දුවන්නේ …අදුරන්නේ නැති කෙනෙක් වගේ …’ මා එක එල්ලේම බැලුවේ ඔහුගේ දෑස් දෙසය ….පෙර දිනවල මා වෙනුවෙන් ඔහුගේ නෙතෙහි වූ සෙනෙහස මට දැකීමට උවමනා වුනි …. මගේ දෑස් වලට බියෙන් මෙන් ඔහු දෑස් ඉවතට ගත්තේය …‘ දැකලා හිනාවෙලා කතා කරලා මගේ හිත පාර ගන්න බැහැ පාරමී . ‘’ ඔහු වදන් බර කෙරුවේ මා දෙස නොබලන්න පරිස්සමි වෙමිනි … ‘ හිම්සර මගේ හිත රිදෙනවා …මට එහෙම කරන්න එපා ….’මා එය පැවසුවේ උගුරෙන් මෙනි ….බියවී වාගේ මද වෙලාවක් මා දෙස බලා උන් ඔහු කිසිවක්ම නොකියා වේගයෙන් මා පසුකරගෙන යද්දී මගේ හිතේ ඔහු වෙනුවෙන් තිබු අවසාන බලාපොරොත්තුවත් මියැදුනි ….
මතු සම්බන්ධයි