~~~~ආදර පාරමී ~~~~ 41 කොටස

මිදුලේ නතර තිබුණු කාරය තාත්තාගේය…. මා මිදුල සිසාරා බැල්මක් හෙළුවෙමි …නිවසේ පිල මත අසුන්ගෙන පාර දෙසට නෙතු යොමා උන්නේ තාත්තාය …. ගේට්ටුව ඇරගෙන පැමිණි මා දුටු ඔහු උන් තැනින් නැගිට මදක් ඉදිරියට ඇවිද ආවේය … ‘තාත්තා …’ අඩියට දෙකට දිව ගොස් තාත්තාගේ පපුවට තුරුළු වූ මා ඉකිබිද අඩන්න උනෙමි ….හේතුවක් දැන හෝ නොදැන තාත්තා නිහඩවම මගේ හිස පිරි මැද්දා පමණි …. ‘ ‘බබී …ඇයි මේ …’ ‘තාත්තා අම්මා යන්න ගියා …’ ‘මොකක්ද බබී මේ කියන කතා …’ උරහිස් වලින් අල්ලා මා පසෙකට කල තාත්තා මගේ මුහුණට එබුණේය … ‘ඔව් තාත්තා …අම්මා සදහටම යන්න ගියා …. ‘ ‘ඔයා කියන්නේ බොරු බබී …රුචිරා යන්නේ නැහැ ..එයාට මැරෙන්න තරම් වයසක් නෙවෙයි මේ ..’ ‘එයා ලෙඩ වෙලා වයසට ගිහින් නෙවෙයි තාත්තා මැරුණේ ..එයාව මරලා දැම්මා …’ ‘මොනවද බබී ඔයා මේ කියන්නේ …කවුද රුච්රාව මරලා දැම්මේ ..’ සිදුවූ සියල්ල කෙටියෙන් පවසන මා දෙස තාත්තා බලා උන්නේ බොහෝ දුක්ගත් විලාශයකිනි … ඔහුගේ දෑසින් කදුළු ගලා ගියේ අම්මා නමිනි .. ‘පාරමී මම ගිහින් එන්නද ..’ මෙතෙක් වෙලා පසෙකින් හිද අප දෙදෙනා අතර සිදුවූ සියල්ල නිහඩවම බලා උන් හිම්සර කතා කරන තෙක්ම මට ඔහු උන්නා කියා සිහියට නාවේය ‘බොහොම ස්තුති හිම්සර කරපු උදව් කවදාවත් අමතක කරන්නේ නැහැ …’ හිම්සර සමුගෙන යද්දී මා තාත්තාගේ අතක එල්ලී ඇතුල් ගේ තුළට පියමැන්නෙමි … ‘ තාත්තා කවද්ද ලංකාවට ආවේ ..’ ‘අද උදේ … ආව ගමන් මේ නුවර දුවගෙන ආවේ …. රුචිරා අසනීප උනා කිව්වට මම හිතුවේ නැහැ මෙච්චර දෙයක් වෙලා ඇති කියලා …..’ ‘අම්මා නැතිවෙන්න කලින් මේ ලියුම ලියලා තිබුනා …’ අත්ලේ ගුලිකරගෙන උන් අම්මාගේ ලිපිය මා තාත්තා දෙසට දිගු කලෙමි ….. ‘මේ හැම දෙයකටම වැරදි කාරයා මම නේද …’ තාත්තා ලිපිය කියවුවේ ඉකිබිදිමිනි … ‘මම මංජුට ලන්වුනේ නැත්තම් රුච්රා ගොඩක් සතුටින් නේද …. එයා මම නිසා කොච්චර දුක් වෙන්න ඇතිද …එයා … එයාගේ ජීවිතේම විනාශ කරගත්තේ ආදරේ නිසා ….’ තාත්තාගේ දුක නිවෙන තුරු අඩන්න ඉඩදී පසෙකට වී උන්නා මිස මා ඔහු සනසන්න නොගියේ එසේ කළහොත් ඔහුගේ දුක වැඩිවෙන බව දැන උන් නිසාවෙනි … පසුදා උදෑසන අම්මාගේ සොහොනට ගොස් ඉටිපන්දම් දල්වා බොහෝ වෙලාවක් එහි ගතකල තාත්තාද මෙන්ම මාද කොළඹ ගියේ සිත් බොහෝ රිද්දාගෙනය වේදනාව තුරුළු කරගෙනය .. ‘පාලිත …’ මංජු අම්මා අප දැක ඉදිරියට එද්දී සිනාවක් හෝ නොපා තාත්තා ගෙට ඇතුල් විය .. ‘පාරමී බබී … රුචිරාට දැන් කොහොමද …’ මංජු අම්මා මා දෙසට හැරුනේ තාත්තාගෙන් නොළද පිළිතුර මගෙන් බලාපොරොත්තුවෙනි … ‘එයා යන්න ගියා අම්මා …. ආයේ එන එකක් නැහැ ..’ ඇසින් ගලන කදුළක් පිසදමමින් මා පිළිතුරු බැන්දෙමි .. ඈ මා දෙස බලා උන්නේ මා කියුවෙහි අරුත වටහා ගන්න නොහැකිවා මෙනි ‘මංජු ….’ කිසිවක් ඇසීමට දෙතොල විවර කල මංජු අම්මා තාත්තගේ කටහඩ ඇසුණු දෙසට යද්දී සාලයේ මාද ඈ පසු පසින් පියවර මැන්නෙමි …. දම්සාරි මෙන්ම දම්සිත් ද සාලයේ හිද අප දෙස බලා උන්නේය …. ‘පාලිත …’ හාන්සි පුටුවේ අසුන්ගෙන උන් තාත්තාගේ මුහුණේ උවේ බරපතල පෙනුමකි ‘මංජු ඇයි බබිව තනියම නුවර ඇරියේ …’ තාත්තාගේ කටහඩට තරහක් එක්ව තිබුණි ‘බබී කාටවත් කියන්නේ නැතිව ගිහින් තිබ්බේ …’ ‘ඔයටා තිබ්බේ පහුවදා ගිහින් එයාට මොකද උනේ කියලා බලන්න ..’ ‘රුචිරා මාව දකින්න කැමති නැහැ ..ඉතින් කොහොමද මම එහෙට යන්නේ …’ ‘ඔයා මගේ දරුවාව හරියට බලාගත්තේ නැහැ මංජු …මම ඔයා විශ්වාස කරලයි එයාව ඔයාට භාර දීලා ගියේ ..ඒත් ඔයා මගේ විශ්වාසෙ බින්දා ..’ තාත්තා කතා කලේ බොහෝ කලකිරීමෙනි … ‘රුචිරා මට බනියි කියලා හිතුව නිසයි මම නුවර ගියේ නැත්තේ …’ ‘රුචිරා ආයේ ඔයාට බනින්න එන්නේ නැහැ මංජු …. රුචිරා එයා මේ ලෝකෙන් යන්න ගිහින් ..’ තරහා යටවී තාත්තාගේ මුහුණට සංවේගයක් එක්ව තිබුණි … ‘පාලිත මොනාද මේ කියන්නේ ..’ ‘රුචිරා මැරිලා මංජු … රුචිරා මැරිලා ..’ තාත්තා කතා කරේ උගුරෙනි …ඒ දෑස් වල කදුලු අළුත් වී ගලා යද්දී මංජු අම්මාගේ දෑස් අග කදුළු දිලිසිණි …. **** ඉන්පසු ගෙවුණු හැම දිනයකම තාත්තා සිහිය නැතිවෙන තුරු මත්පැන් බිමට පටන්ගත්තේය … කොතරම් පැවසුවත් ඔහු මත්පැන් බිම නතර නොකලේ ඔහුට අම්මා සිහිවෙන නිසාවෙන් විය යුතුය . ‘ඔයා ආවාට පස්සේ අපේ ජිවිත අවුල් උනා …’ දිගු කාලයකට පසුව පාසල් යෑමට සුදානම්ව කාමරයෙන් එළියට බසින මා දැක දම්සාරි පැවසුවාය … මා කිසිවක් නොකියා උන්නේ කතාව දුර දිග යතැයි සිතාය .. ‘ඔයාට තිබ්බේ මෙහෙ එන්නේ නැතිව ඉන්න ..එහෙනම් ඉස්සර වගේම අම්මයි තාත්තයි ආදරෙන් … අපිත් ගොඩක් සතුටින් …. ඔයා දන්නවද පාරමී දැන් තාත්තා අම්මාගේ මුහුණ බලලා හිනාවෙන්නේ නැහැ .. එයාලා කතා කරන්නේවත් නැහැ හරියට ..මේ හැම දෙයක්ම ඔයයි ඔයාගේ අම්මා නිසයි ..’ දම්සාරි නැගණිය බොහෝ දේවල් කියද්දී මා බොහෝ ඉවසා අසා උන්නෙමි …. මා මෙහි නොපැමිණියා නම් ඔවුන් හෝ සතුටින් සිටිනු ඇත ..දැන් සියල්ලගේම ජිවිත අවුල්වී ගොසිනි …. ‘පාරමී වෙච්ච දේවල් ආරංචි උනා .. හිත හදාගනින් ..’ පාසලේදී ඉඳුවරී කතා කලේ මගේ හිත හදන්නය . ‘හදාගන්න කියලා හිතක් නැහැ ඉන්දු මේ හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඉවරයි .. ‘’ ‘මිනිස්සුන්ටනේ කරදර එන්නේ … ඔය දේවල් ගැනම හිත හිතා හිටියොත් උබට හිත හදාගන්න ලේසි වෙන්නේ නැහැ ….. දැන් එක්සෑම් එකට රෙඩි වෙයන් … තව මාස හයයි තියෙන්නේ ’ ඉඳුවරී කුමක් පැවසුවත් මගේ බිදුණු හිත හදාගැනීමට නොහැකි බව මා දැන උන්නෙමි….. මෙවර විභාගයට මුහුණ දෙන අදහසද මා සිතින් ඉවත්කරගෙන උන්නෙමි .. ‘මම එක්සෑම් කරන්නේ නැහැ ඉන්දු …’ ‘මේ පිස්සු කරන්න එපා …පුළුවන් විදිහට පාඩම් කරලා එක්සෑම් කරමු ….පාස්වෙන්න හරි ෆේල් වෙන්න හරි ..’ ‘ මට බැහැ ඉන්දු … ‘ ‘පිස්සු කරන්න එපා …. හෙට ඉදලා අපිත් එක්ක පාඩම් කරන්න පබ් එකට වරෙන් ..’ ඉඳුවරීගේ වචනය ඉවත දැමීමට නොහැකි නිසාවෙන් මා පසුදා ඔවුන් සමග පාඩම් කිරීමට පුස්ථකාලයට යෑමට එකග වීමි … ‘අන්න රහල් ඉන්නවා ….’ පාසල් නිමවී ගේට්ටුවෙන් පිටතට අඩියක් තැබූ විගස ඉඳුවරී දෑසින් පෙන්වූ දෙසට මා දෑස පෑවෙමි … රහල් බොහෝ දිනකට පසු මා එනමග බලා උන්නේය …. ඉඳුවරී සමුගෙන යද්දී මා රහල් දෙසට සෙමින් පියවර මැන්නෙමි ‘පාරමී මම ඔයාලාගේ ගෙදරට කෝල් කළා … එතකොටයි දැනගත්තේ ඔයා අද ස්කුල් ආවා කියලා ..මට සමාවෙන්න …අම්මාගේ අවසන් කටයුතු වලට එන්න බැරිවුනාට …’ රහල් බලා උන්නේ දුක්ගත් දෑසිනි ‘මම තරහා නැහැ රහල් ..’ මා උත්සහා කලේ සිනාසිමටය .. ‘මට ගොඩක් දුකයි පාරමී ….අපේ අයියලා උනත් මගේ එක්සෑම් එක නිසා තමා මරණේ ගැන කියලා නැත්තේ …’ ‘දැන් උන දේවල් වෙලා ඉවරයි නේ … ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා …’ ‘කොහොමද ඒ තරම් දුකක් ඔයා උහුලගත්තේ පාරමී …ඔය පුංචි හිතට දරාගන්න බැරි තරම් දුකක් ..’ බොහෝ සියුම්ව රහල් මගේ අතකින් අල්ලා ගත්තේ මා නොසිතු මොහොතකය .. අත මුදාගැනීමට උවමනා උනිද මට එසේ කිරීමට සිහියක් නොවුනි .. ‘පාරමී පාරවල් ගානේ කොල්ලොත් එක්ක මුකුළු කරන්න පටන්ගත්තේ කවදා ඉදලාද …’ පාර දිගේ වේගයෙන් පැමිණි මෝටර් බයිසිකලයක වේගය බාලවි අප පසුකරගෙන යද්දී ඉන් බිමට පැන්නේ හිම්සරය …ඔහුගේ මුහුණේ කළුවී විරූපී වී ගොසිනි … ‘හිම්සර … ඔයා කොහේ යන ගමන්ද ..’ මා උත්සහා කලේ සංසුන් වීමටය ‘මම එනවා කියලා හිතන්න නැතිව ඇති නේ මුගේ අතින් අල්ලාගෙන ඉන්නේ …’ රහල්ගේ අතට මැදිව තිබු අත ඉවතට ගැනීමට මට සිහිවුවේ එවිටය… රහල් බලා උන්නේ සිදුවන දේ තේරුම් ගැනීමට නොහැකිවා මෙනි .. ‘මචං උබ වැරදියට තේරුම් අරන් තියෙන්නේ …පාරමී මගේ යාළුවෙක් විතරයි …’ පිළිතුරක් නොදී උන් මගේ අසරණකම දැක කතා කලේ රහල්ය .. ‘උබ… උබ කට වහගනින් …මම කතා කලේ මෙයා එක්ක මිසක් උබත් එක්ක නෙවෙයි …’ හිම්සර දත්මිටි කෑවේ පාලනය කරගත නොහැකි තරහාවෙන් විය යුතුය … ‘හිම්සර …රහල් කියන්නේ ඇත්ත …’ ‘එදා ලයිබ්රි එක ලගත් මුත් එක්ක නේද කතා කර කර හිටියේ …. හිතන්න එපා පාරමී මම මේ දේවල් දිහා බලාගෙන ඇස් කන් පියාගෙන ඉදිවී කියලා නම් .. ’ ‘’හිම්සර ඔයා දන්නවා …. මට ඔයා හැර කිසිකෙනෙක් ගැන හිතන්න බෑ කියලා …. එහෙම දැනගනත් ඔයා මේ විදියට කතා කරන එල සාධාරණ නැහැ නේද ..’ ඉවසා දරාගත නොහැකි තැන මා කෑ ගැසුවෙමි .. ‘පාරමී කෑ ගහන්න තියාගන්න එපා .. මට හිතන්න තිබුනා ..මායි වැරදි …අම්මා නැටුව නාඩගම් දැනගෙනත් ඔයාල ලංවුණ මායි වැරදි ..’ හිම්සරගේ වදන් බොහෝ දරුණුය …. ඔහු අතට පයට ගැහුවා නම් වේදනාවක් නැත ..ඔහු වචනවලින් පහර ගැසුවේ හදවතටය … දැනුන වේදනාව ප්‍රබලය බොහෝ ප්‍රබලය ..සටස් ගා කදුළක් වැටෙද්දී මා දරාගත නොහැකි වේදනාවෙන් ඔහු දෙස බැලීමි … ‘හිම්සර වචන පරිස්සමින් පාවිච්චි කරන්න … ප්ලීස් ..’ හිත රිදුනේ හිම්සර අම්මා ගැන සිහිකර බනිද්දිය … මට බැන්නා නම් ගානක් නැත …එහෙත් ඔහු බැන්නේ මගේ අම්මාටය …. සියල්ල දැන දැනත් බැන වදින ඔහු වැරදිය .. ‘ඔයාලා දෙන්නා රණ්ඩු වෙන්න එපා .. මම යන්නම් ’ රහල් පිටව යන්න ඇත්තේ බොහෝ කලකිරීමෙනි ‘දුකද එයා ගියාට …මෙහෙ බලපන් පාරමී උබ මගේ ..මගේ විතරයි …වෙන එකෙක් ගැන හිතන්නවත් එපා …’ මගේ නිකටෙන් ඔසවා හිම්සර පැවසුවේ බොහෝ තිර හඩිනි ‘ඔයා මින්දුලි ලගට යද්දී ..එයා එක්ක ඉද්දි මට දැනුන වේදනාව ඔයාට දැනුනාද හිම්සර . ඇයි ඔයා මාවත් ඔයාගේ මිම්මෙන් මනින්නේ ..රහල් එයා මගේ යාලුවෙක් එතනින් එහාට දෙයක් නැහැ ..’ තවත් කිසිවක් අසන්න හෝ කියන්න මට උවමනා නොවුනි ….. සියලු වැරදි වලට සමාව දුන් මටය ඔහු මෙලෙස බැන වදින්නේ …. කොතරම් ලගින් උන්නද .. ආදරය කලද …. ඔහු මා තේරුම් ගෙන නැත …..හිම්සර එතනම සිටියදී ඉදිරියෙන් නැවතූ බසයකට නැගුනා මිසක ඔහුට යන්නම් යැයි කීමට හෝ මට නොසිතුනි … මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *