~~~~ දෙව්දූ ~~~~~01 කොටස – Bleyar
‘දෙව් කැම්පස් ගියාම මේ ගෙදර පාළුවට යයි … ‘’
අම්මි මාව ලගට අරන් ඔළුව අතගාන ගමන් කියෝනව …..නංගි උමායා පොතක් අතේ තියාගෙන කටත් ඇරන් අපි දිහා බලන් ඉන්නවා …..
‘මම ගියාට පාළුවක් තියෙන එකක් නැහැ … අර ඉන්නේ චැටර් බොක්ස් එකක්ම …’
නංගිව ඇහෙන් පෙන්නන ගමන් මම එහෙම කිව්වාම ..ලග තිබ්බ මෙසේ උඩ පොත අත ඇරලා එයා අපි දිහාවට දුවගෙන ඇවිත් අම්මිගේ කරේ එල්ලුනා …..
‘අනේ අක්කි කැම්පස් යන්න ඕන නැහැ ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉන්නවකෝ ..’
නංගිටත් මම නැතිව ගෙදර ඉන්න පාළු ඇති ..ගෙදර ඉද්දි තිස්සෙම කෙල්ලගේ වැඩේ මගේ ඇගේ එල්ලී එල්ලී හුරතල් වෙන එක නේ …
‘ඉන්න තිබ්බා ….මගේ එකම හීනේ කැම්පස් යන එක නොවුනා නම් … අනේ පොඩ්ඩි …බාල්දි පෙරලන්න එපා ….තමුසේ ඔහොම කියද්දී මම කොහොමද යන්නේ ..’
පොඩ්ඩිගේ මැලවිලා ඇදවූනු මුහුණ දකිද්දී කැම්පස් පැත්තක තියලා ගෙදර ඉන්න තමා මට හිතුනේ …
‘ මොකෝ මේ අම්මලා දුලගේ සාකච්චාව …’ තාත්ති ගෙට ගොඩවෙලා අපි හිටිය පැත්තට ආවේ එහෙම අහගෙන …
‘දෙව් ගේ කැම්පස් ගමන ගැන කතා වුනේ … මේ පොඩ්ඩි කියන්නේ අක්කිට කැම්පස් යන්න එපා කියලා ’
අම්මි හිනාවකින් මුහුණ පුරවාගෙන තාත්ති දිහා බලාගෙන කියද්දී තාත්ති නංගිගේ අතකින් අල්ලගෙන කෙල්ලව ලංකරගත්තා
‘ ඒ මොකද පොඩ්ඩි …. අක්කිට යන්න එපා කියන්නේ ’
‘ඉතින් තාත්ති ඔයාට තේරෙන්නේ නැද්ද අක්කි ගියාම මම කාත් එක්කද රණ්ඩු වෙන්නේ …. එතකොට ෂොපින් යන්නේ …. බැට්මිටන් ප්ලේ කරන්නේ .. ’
‘අයියෝ ඔකද …ම්ම්ම් අක්කි නැති ටිකේ ඔන්න තාත්ති එන්නම්කෝ පොඩ්ඩි එක්ක …බැට් මිටන් ප්ලේ කරන්න …. ෂොපින් යන්න …’
‘තාත්ති එතකොට නංගා කාත් එක්කද රණ්ඩු අල්ලන්නේ …’ මම තාත්තිගේ ලගට ගිහින් එයාගේ අතක එල්ලුනා
‘ඒකට නම් ඉතින් ඔය අම්මි ඉන්නේ …’ තාත්ති අම්මි දිහා බලලා මහා හයියෙන් හිනාවෙනවා….. අම්මි තාත්තිට රවලා බැලුව විදිහට අපි කට්ටියටම හිනා ….
‘ ඒක නෙවෙයි රණේ ඔයා ජයන්ත අයියාට කිව්වද දෙව්ට නවතින්න තැනක් හොයලා දෙන්න කියලා ..’
කතාව අස්සේ අම්මි තාත්තිගෙන් ඇහුවා …
‘ඔව් ජයන්ත ගේ නංගි මැරී කරලා ඉන්නේ පේරදෙණියට නේ …. මම දෙව්ට බෝඩිමක් හොයලා දෙන්න කිව්ව ගමන් ජයන්ත වසන්තා නංගිට කතා කළා …. නංගි කැමති වෙලා දේව් එහෙ නවත්තා ගන්න …’
තාත්ති කිව්වේ සතුටුදායක ආරංචියක් ….. ලබන මාසේ ඉදලා ගෙවන්න යන අලුත් ජිවිතේ ගැන මට නම් හිතාගන්නවත් බැහැ …අලුත් තැනක අලුත් ජිවිතයක් …
***
ඊට පස්සේ ගෙවුණු සතියම ගෙවුනේ කැම්පස් ගෙනියන්න ඕන කරන බඩුමුට්ටු ලැහැස්ති කරන්න …. අලුත් ඇදුම් ගන්න …. පොත්පත් ගන්න ….ඔය ඔක්කොම කරලා ඉවරවෙලා කොන්වන්ට් එකේ එකට හිටිය ගජයෝ ටිකට පාර්ටි එකක් එහෙම දුන්නා …මොකද තව මාස ගානකට උන් ටික හම්බ වෙන්නේ නැහැ නේ … කොන්වන්ට් එකේ හිටිය යාලුවන්ගෙන් හිමායා විතරයි මාත් එක්ක පේරා යන්න සිලෙක්ට් වෙලා තිබ්බේ…. නොදන්නා භූමියක දන්න එකම එක කෙනෙක් හරි ඉන්න එක සැනසීමක් නේ ..
කොහොම හරි දවස් ගෙවිලා ගිහින් කැන්ඩි යන දවසත් ආවා …මම ජීවිතේටම කැන්ඩි ගිහින් තිබ්බේ දෙපාරයි ..එක පාරක් දළදා මාලිගාවට ෆැමිලි ට්‍රිප් එකක් …තවත් සැරයක් දළදා පෙරහැර බලන්න .. ගොඩක් ආසාවෙන් ගිය ඒ ගමන් දෙකෙන් පස්සේ මම ගොඩක් ආදරේ කරන්න පටන්ගත්තා නුවරට .. ගොඩක් ආශා කරන තැනක ඉන්න ලැබෙන එකත් හිතට ගෙනාවේ ලොකු සතුටක් ..
‘දේව් ඇදුම් ටික ට්‍රැවලින් බෑග් එකට දැම්මද ….’
‘ඔව් අම්මි ඔක්කොම ටික රෙඩ් ….දැන් යන්න විතරයි තියෙන්නේ ‘’
මම එහෙම කිව්වේ කන්නාඩියෙන් අම්මි දිහා බලාගෙන … ….එයාගේ මුහුණේ වෙනදා තියෙන හිනාව කොහෙද මන්දා ගිහිල්ලා …
‘මොකද මගේ අම්මිගේ මුහුණ අද අමාවක වගේ වෙලා …’
මම දුවලා ගිහින් එයාගේ බෙල්ලේ එල්ලිලා ඒ මුහුණට එබුනා ..
‘ මේ අවුරුදු දහනවයටම ඔයා මගෙන් එක දවසක් වත් ඈත් වෙලා ඉදලා නැහැ ..අද ඔයා ගියාම කාලෙකට දකින්න හම්බ වෙන්නේ නැහැ නේ …. ‘’
අම්මිගේ ඇස් වල කදුළු බොදවෙලා …. මම කොහොමත් කැමති උනේ නැහැ එයාගේ ඇස් වල කදුළු දකින්න නම් …
‘ එහෙනම් මම යන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නම් අම්මි ….. මට ඔයා දුක් වෙනවා බලන් ඉන්න බැහැ ..’
මම ගමන පැත්තක තියලා ඇද උඩ වාඩි වෙද්දීම තමා තාත්ති කාමරේට එබුනේ ..
‘මොකද යන්නේ නැද්ද …. දෙන්නා නිකන් තරහා වෙච්ච කපල් එක වගේ දෙපැත්තකට වෙලා මුහුණුත් දික් කරන ඉන්නේ ..’
තාත්ති මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බලනවා ….
‘මම යනවාට අම්මි දුකින් ඉන්නේ තාත්ති …. මම කොහෙවත් යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා ..’
‘රාධා ඔයා පොඩි එකෙක් වගේ නේ …. දුව දැන් යන්නේ එයාගේ ස්ටඩිස් වලට නේ ..අනික එයා හැම වික් එන්ඩ් එකේම ගෙදර එනවා නේ …’
තාත්ති එහෙම කිව්වාට පස්සේ තමා අම්මි යාන්තම් හිනාවුනේ … එයා මගේ යහපත වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලැහැස්ති කියලා මම දන්නවා ..
‘ එහෙනම් අපි දැන් යමු ..’
අම්මි මගේ අතින් අල්ලගෙන මිදුලට බැස්සේ තවත් මොකුත්ම කියන්නේ නැතිව …. ගෙදරින් ඈතට යන එක ගැන මගේ හිතට එච්චරම අවුලක් දැනුනේ නැත්තේ මගේ එකම හීනෙ සැබෑවෙන සතුටට වෙන්න ඇති …..
අපි තාත්තිගේ කාර් එක දිහාවට යද්දී නංගි උමාලි කලින්ම ගිහින් ඉස්සරහා ෂිට් එකේ වාඩිවෙලා ඉන්නවා …
‘ මොකද අනේ ඔයාලා පරක්කු ….මම කොච්චර වෙලා බලන් හිටියාද ’
‘ආ මැඩම් කලින්ම කාර් එකට නැගලා ඉන්නේ …. ’
‘ඔයා දන්නවාද දේව් …ඊයේ රෑ පොඩ්ඩි නිදාගත්තෙත් නැහැ …. සැරෙන් සැරේට මගෙන් වෙලාව අහනවා …. අම්මි දැන් එලිවෙලාද …කියලා …පුදුම හදිස්සියක් මෙයාට තිබ්බේ …’
‘මෙයා බලාගෙන ඉන්නේ ඇත්තේ අම්මි මම ගෙදරින් ඉක්මනින් එලවාගන්න ….එතකොට ඉතින් මෙයාට මගේ දේවල් අයිති කරගන්නත් පුළුවන් නේ …. ‘’
‘අනේ ඔව් ….මට එතකොට තාත්ති ගේන චොකෝ එහෙම තනියම කන්න පුළුවන් නේ …අනික එතකොට තාත්තිගේ ආදරේ මට විතරයි නේ …’
නංගි ඔහොම කිව්වට . … එයා මම යනවාට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා මම දැනගෙන හිටියා ..
*****
කොහොම හරි අපි පේරාදෙණිය ටවුන් එකට ලංවෙද්දි තවත් පැය දෙකක් විතර ගියා …
පේරාදෙණිය මල්වත්තට මුහුණ ලා තිබ්බ වසන්තා ඇන්ටිගේ ගෙදර හරිම සිත්ගන්නා සුළු විදිහට පිළියෙළ කරපු ගෙවත්තකින් යුතු උනා … පුංචි උනත් දැක්ක ගමන් මගේ හිත ටක් ගාලා ඇදිලා ගියා ඒ ගෙදරට …. ගෙදර හිටිය මිනිස්සුත් ගොඩක් හොද අය කියලා බැලු බැල්මටම පෙනුනා ..
‘අපි මග බලාගෙන හිටියේ ඔයාලා එනකන් …’
වසන්තා ඇන්ටි එයාගේ මහත්තයා සුමිත් අන්කල් එක්ක මග බලාගෙන හිටියේ අපි එනකන් …
‘ ට්‍රැපික් එකට අහුවුනා ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ ..’
‘ජයන්ත අයියා කිව්වනේ උදේම එයි කියලා … ඒ නිසා අපි උදේටත් එක්ක කෑම ලැහැස්ති කරන බලන් හිටියේ …. එන්නකෝ කට්ටියම වාඩි වෙන්න …’
වසන්තා ඇන්ටි මැදිවයස පහුකරමින් ඉන්නේ කියලා එයාගේ මුහුණෙන් පෙනුනා ….එයාගේ මුහුණේ තිබ්බ කාරුණික පෙනුමක් … සුමිත් අන්කලුත් හරිම හොද පාටයි …. එයා රජයේ ආයතනයක නිලධාරියෙක් කියලා ජයන්ත අන්කල් අපේ තාත්ති එක්ක කියලා තිබ්බා ..
‘අපේ ලොකු පුතාත් කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් ස්ටඩ් කරන්නේ … එයා නම් ඉතින් දකිනවා කියන එක හාවා හද දකිනවා වගේ වැඩක් …… යාලුවන්ගේ ගෙවල් වල ගිහින් පාඩම් කරනවා … තරුණ කොල්ලොනේ අපි මොකුත් කියන්න යන්නේ නැහැ ‘’
වසන්තා ඇන්ටි එයාගේ පවුලේ විස්තර කියෝනවා ….
‘ වසන්තාට ඉන්නේ එක පුතෙක්ද …. ’ අපේ අම්මිත් ඉතින් හාර හාර එයාලාගේ පවුලේ විස්තර අහනවා …
‘ මට පුතාලාම දෙන්නෙක් ඉන්නේ …පොඩ්ඩා තාම ඉස්කෝලේ යනවා ..’
වසන්තා ඇන්ටි එයාගේ පුතාලා ගැන කතාකරද්දී මුහුණ පුරා ආදරණිය බවක් පැතිරිලා යනවා … එයා පුතාලට ගොඩක් ආදරේ කරනවා ඇති කියලා තමා මට හිතුනේ …
විස්තර කතා කර ක්‍රම කෑම කාලා එහෙම ඉවර වුනාට පස්සේ ගෙදර යන්න රෑ වෙයි කියලා අපේ ගෙදර අය ආපහු යන්න ලැහැස්ති උනා ….
‘අපි ඔයාලාට කරදර කරනවාද මන්දා දුවව නවත්තා ගන්න කියලා ..’
‘මොන කරදරයක්ද අනේ …. අපේ ලොකු පුතා ඉතින් ගෙදර ඉන්නවා කියලා යෑ … අනික මට කෙල්ලෙකුත් නැති එකේ … දේව් ඉන්න එක මට ගොඩක් ලොකු සතුටක් … ‘
වසන්තා ඇන්ටි මගේ දිහා බැලුවේ ආදරෙන් .. පුංචි කාලේ ඉදලා ගොඩක් ආදරේ ලැබුන මට වසන්තා ඇන්ටි වගේ කෙනෙක් එක්ක ඉන්න ලැබුන එකා වාසනාවක් ..
‘මේ දෙන්නා මගේ ඇස් දෙක වගේ …. මගේ එක ඇහැක් ඔයා ලග තියලා යනවා …. පරිස්සමට බලාගන්න මගේ කෙල්ලව ..’
ගොඩක් වේලාවක් මාව තුරුළු කරගෙන හිටිය අම්මි මාව වසන්තා ඇන්ටිට භාර දුන්නේ එයා ගැන ලොකු විශ්වාසයකින් …. කවදාවත් නැතිව අම්මිගේ ඇස් වල කදුළු පිරිලා එයා මාව දාලා යන්නේ හිතකින් නම් නෙවේ …තාත්ති උනත් හිටියේ මගෙන් මුහුණ හංගගෙන එයාගේ දුක බලන්න බැහැ කියලා එයා දන්නවා නේ … අද ඉදලා ලොකු පාළුවක් දැනෙයි එයාගේ දේව් නැතිව …
‘ එන්න මම දුවගේ කාමරේ පෙන්නන්න …’
තාත්තිගේ කාර් එක පේන්නේ නැතිව යනකන් බලාගෙන හිටිය මගේ අතකින් අල්ලාගෙන වසන්තා ඇන්ටි ගේ ඇතුලට ගියා ..
‘මෙන්න දේව්‍ගේ කාමරේ …ඔයා කැමතිද ..’
‘ ම්ම් ගොඩක් කැමති ..’
පොඩි ඇදක් ….පොත් මේසයක් ….ඇදුම් අල්මාරියක් … කන්නාඩි මේසයක් තිබ්බ කාමරේ හරි පිලිවෙලට අහුරලා තිබ්බා ……. මම කාමරේ ඇතුලේ ඇවිදලා පොත් මෙසේ ලග තිබ්බ ජනේලේ ඇරලා එලියට එබුනා ….. රෝස කානේෂන් ඇන්තුරියම් තව නම නොදන්න මල් පැල වගා කරලා තිබ්බ ලස්සන පැල තවානක් මීටර් ගානක් එහාට විහිදිලා තිබ්බේ …
‘ලස්සනයි හරිම …..ඔයාද ඒ පැල හිටවන්නේ ….’
මම වසන්තා ඇන්ටි දිහා පුදුමෙන් බලාගෙන හිටියා ..
‘ඔව් දු මම දවල්ට නිකන්ම නේ ඉන්නේ කොහොමත් … මම මල්පැල තවාන් දාලා පැල විකුනනවා …. අපිට හොද ආදායමක් ලැබෙනවා වැඩෙන්.. ගෙදර වියදම සම්පුර්ණයෙන් කවර් කරන්නේ ඒ ආදායමෙන් …. අංකල්ගේ සැලරි එක එහෙම්ම ඉතිරි කරනවා එයා පැන්ෂන් ගියාම අපිට පුළුවන් නේ ඒ සල්ලි යොදවලා මේ මල් බිස්නස් එක දියුණු කරගන්න .’
එයා හරිම ආඩම්බරෙන් තමා එහෙම කිව්වේ …. හරිම අහිංසක සුන්දර හීන ගොඩක් තමා එයාට තිබුනේ ..මම එයා කියෝන දිහා බලාගෙන හිටියේ හරිම ආශාවෙන් ….
‘ දු මහන්සිත් ඇතිනේ වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් රෙස්ට් කරන්න .. මම ඔහේ කියෝනවා …ඔයාට එපා වෙයි ..’
එයා එහෙම කියලා බාත්රූම් එකත් පෙන්නලා යන්න ගියා …..
ෂවර් එක දිගේ ගලාගෙන ආව වතුර ගොඩකින් මාව නෑවිලා යද්දී මට දැනුනේ කවදාවත්ම දැනිලා නැති හැගිමකුයි … කොළඹ දී නම් වතුර පුදුම තරම් රස්නෙයි මේ වෙලාවට නාද්දී …. මේ වගේ පැත්තක කාලයක් හරි ඉන්න ලැබුන එක නම් මගේ වාසනාවක් ….. පැයකට විතර පස්සේ තමා මම බාත්රූම් එකෙන් එළියට ආවේ…..
****
පේරාදෙණිය කොළඹ පාර ලගම තමා වසන්තා ඇන්ටි ලාගේ ගෙදර තිබ්බේ …. පුදුම තරම් සුන්දරත්වයක් තමා වට පිටාවේ තිබ්බේ …මිදුලේ පහල වත්තේ මල් වගා කරලා තැනින් තැන ගල් බංකු හදලා තිබ්බා ….
ගෙදර හිටියේ ඇන්ටියි අංකලුයි තව සදෙව් මල්ලියි … අම්මයි තාත්තයි වගේම සදෙව් මල්ලිත් බොහොම හොදයි … තලෙළු පාට පියකරු මුහුණක් තමා සදෙව් මල්ලිට තිබුනේ … සදෙව් මල්ලි ඉගෙන ගත්තේ දොළහ වසරේ …. එයා දවසට දෙකට මාත් එක්ක යාළුවෙලා අපේ පවුලේ හැම විස්තරයක්ම අහගත්තා ….ඒ වගේම එයා ගේ ෆැමිලි එකේ ඒවත් හරිහරියට මට කිව්වා …මම තාම දැකලා තිබුනේ නැති එයාගේ ලොකු අයියා ගැනත් කියන්න මල්ලි අමතක කරේ නැහැ …
‘ අපේ ලොකු අයියා ඉන්නවා නේද අක්කි …. හරිම පණ්ඩිතයා ..,.. අපේ අප්පච්චි කියන්නේ අපේ පවුලටම නැහැලු ඒ වගේ පණ්ඩිතයෙක් …… ගෙදර ආවත් අයියා නෝ කතා නෝ සිනා ..වෙලාවකට මෑන් හිට්ලර් වගේ …. පුදුම ඒකාධිපතියෙක් … ‘’
අයියා ගැන කතා කරද්දී මල්ලිගේ මුහුණ පුරා පිරිලා තිබ්බ බය නිසා මට තේරුනා මේ ලොකු අයියා නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා …
මතු සම්බන්ධයි
කියවලා අදහස් දක්වන්න අමතක කරන්න එපා