~~~දෙව්දූ ~~~10
10 කොටස
හිතට ආව ආවේගය නිසා කැම්පස් එකෙන් එලියට ගියාට පස්සේ තමා මට තේරුනේ මම ඕනෑවට වඩා කලබල වුනා කියලා ….. මම කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක්ගෙන් අර වගේ කතාවක් කිවුවාම කොයිතරම් නම් හිත රිදෙනවාද …අනිත් එක තේමිය අයියා ..එයා සමහර විට මාව බයිට් කරන්න යනවාද කියන සැකය මගේ හිතේ යාන්තම් ඇතිවෙලා තිබ්බා …
‘දේව් අද කලින්ම ආවාද …’
මල් පාත්ති හද හද හිටපු වසන්තා ඇන්ටි මම එනවා දැකලා කර කර හිටපු වැඩේ නවත්තලා මගේ ලගට ආවා …
‘ඔව් ඇන්ටි ඔළුව ටිකක් රිදෙනවා වගේ .. ‘’ මම හිනාවෙන්න ට්‍රයි කරා …
‘මොකද මේ මුහුණත් එක්ක කළු වෙලා …’
ඇන්ටිට මගේ මුහුණේ තියෙන පුංචි වෙනසක් උනත් තේරුම් ගන්න පුළුවන් මේ ටික දවසට
‘ අවුවේ ආව නිසා වෙන්න ඇති අනේ …’
‘එහෙනම් ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ මම රස කෑමක් හදලා තියෙනවා ඔයාට ..’
‘මොනවාද ඔයා හැදුවේ …’
‘ඔයා ඇවිල්ලාම බලන්නකෝ ..’
එහෙම කියලා වසන්තා ඇන්ටි කුස්සිය පැත්තට යද්දී මම කාමරය ඇතුලට ගිහින් ඇදුම් ගලවලා ටවල් එක ඇදගෙන බාත්රූම් එක ඇතුලට ගියා … අවුවේ ගිහින් ආව ගමන් ඔළුවේ නාන්න එපා කියලා ඉස්සර අම්මි අනන්තවත් කියනවා …. කතාව මතක් වුනත් මම ෂවර් එකට ඔළුව ඇල්ලුවා … එළිය කොච්චර ගිනියම් වෙලා තිබ්බත් වතුර මලෙන් ගලාගෙන ආවේ ශීතලම ශීතල වතුර මට මතකයි ඇන්ටි කිව්වා එයාලාට එන්නේ ගෙදර වත්තේ තියෙන උල්පතකින් කියලා … මේ තරම් වතුර ශීතල ඒ නිසා වෙන්න ඇති …. වතුරත් එක්ක හිතේ තිබ්බ තරහයි වේදනාවයි දියවෙලා යනවා වගේ මට දැනුනා …කොහොම හරි මම බාත්රූම් එකෙන් එලියට ආවේ පරණ දේව් විදිහටම තමා ..
‘මොනවාද ඇන්ටි ඔයා මට හැදුවේ කෝ බලමු ..’
කෑම මේසේ පිගානක අහුරලා තිබ්බ හැලප දකිද්දී මගේ කටට කෙල ඉනුවේ ඉබේමයි ..
‘ආසයි නේද ඔයා …’ ඇන්ටි ගොඩක් ආදරෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා
‘ඔයා කොහොමද ඇන්ටි දැනගත්තේ ….’ මම ඇස් දෙක ලොකු කරගෙන එයා දිහා බලාගෙන අහද්දී එයා හිනාවෙනවා
‘මම ඔයා ආස කරන දේවල් ඔයාගේ අම්මිගෙන් අහලා දැනගත්තා ..’
එයා ඒක කිවුව විදිහට මට එයා ලගට ගිහින් බදාගන්න හිතුනා …
‘මගේ හොද ඇන්ටි …’
‘හරි දැන් කාලා රසද කියන්න ..’
එයා එහෙම කිව්වම මම හැලපයක් අතට අරන් කෑල්ලක් කඩාගෙන කටට දාගත්තා
‘රසයි ඇන්ටි ගොඩක් ..’ වසන්තා ඇන්ටි රසට කෑම හදන්න දන්නවා …. එයා හදන ඕනෑම කෑමක් කන්න පුළුවන් ….තිත්ත කරවිල උනත් එයා උයලා දුන්නොත් මම බෑ නොකියා කෑවේ එයා උයන හැම කෑමක්ම ගොඩක් රස නිසා …
‘මොනවාද අද දවල් කෑවේ …’ ඇන්ටි මම දෙවෙනි හැලපෙත් අතට ගත්තට පස්සේ එහෙම ඇහුවේ මම පෙරේති වගේ කාගෙන කාගෙන ගිය නිසා වෙන්න ඇති ..
‘පරිප්පුයි පානුයි …. පරිප්පු හොද්ද වතුර දාලා වගේ හදලා තියෙන්නේ මෙලෝ රහක් නැහැ අනේ ..’
‘මම හෙට ඉදලා සදෙව් පුතාට කෑම බදිද්දී ඔයාටත් කෑම එකක් බැදලා දෙන්නම් ..’
‘අනේ එපා ඇන්ටි ඔයාට වදයක් නේ ..’
‘මට මොන වදයක් ද …මම සදෙව් පුතාට කොහොමත් බත් බදිනවා නේ ..ඉතින් ඔයාට බත් එකක් බදින එක මහා දෙයක් නෙවෙයි නේ … ‘’
ඇන්ටි මගේ අකමැත්ත ගණන් නොගෙනම එහෙම කිව්වේ ස්ථිර විදිහට ….
එදා හවස් වරුවම මම කලේ ඇන්ටිගේ පැල තවානේ වැඩ වලට උදව් කරන එක …
‘ඇන්ටි මටත් මල් පාත්තියක් දාන්න ඕන … ’ මට ආශාවක් ආවා මල් පැලඅලුතින් හිටවලා මල් පිපෙනවා බලන්න ..
‘ඔයා කැමති තැනක මල් පාත්තිය දාන්නකෝ …’
ඇන්ටිගෙන් පර්මිෂන් අරගෙන ගිහින් බලලා පාත්තිය දාන්න මම තෝරාගත්තේ මගේ කාමරේ ජනේලේ ඇරියාම පේන තැනක් … පොලව කොටලා පස් බුරුල් කරලා පොහොර දාලා මල් පැලවලට හරියන විදිහට පොලොව හදාගත්තාට පස්සේ රතු රෝස කහ තැබිලි පාට වලින් රෝස අතු තැනින් තැන හිටවලා පාත්තිය හැදුව … පස්සේ …. ටැප් එකෙන් වතුර ගෙනල්ලා මම ඒවාට දැම්මා ..
ඔක්කොම ඉවර වෙලා මල් පාත්තිය දිහා බලාගෙන හිටිය මම එකපාරම මගේ ඉස්සරහා පොලවේ ඇදුනු සෙවනැල්ල කාගේද බලන්න පිටිපස්ස හැරිලා බැලුවා . .. කට කොනින් හිනාවෙවී මගේ ලග නැවතිලා හිටියේ තේමිය අයියා
‘මල් පැල හදනවා වගේ …’ එයා මගේ දිහා බැලුවේ අමුතු බැල්මකින් ….ඒ බැල්ම දරාගන්න බැරි නිසා මම එයාගේ බැල්ම මග ඇරලා මල් පාත්තිය දිහාම බලාගෙන හිටියා …
‘මොකද කතා නැත්තේ ….කතා කරනවකෝ කටේ පිට්ටුද ..’
‘නැහැ මේ හැදුව මල් පැල ගලවන්න කියලා බැලුවේ .’ මම එයාට නෝක්කාඩුවට වගේ එහෙම කියද්දී තමා වසන්තා ඇන්ටි එතෙන්ට ආවේ …
‘අනේ අද වහින්න වගේ තියෙන නිසා මම බැලුවේ මොකද කියලා .. ’ ඇන්ටි තේමිය අයියා ලගට ඇවිත් එයාගේ අතේ තිබ්බ පොත් බෑග් එක ගත්තේ හිනාවෙවිමයි …
‘ අම්මා මොකද එහෙම කියන්නේ …’
‘නෑ ඉතින් ඔයා මෙහෙම ගෙදර එනවා කියන්නේ වෙන්නේ නැති දෙයක් නේ .. ’
‘ මට හොස්ටල් එකේ කෑම කාලා එපා වෙලා අම්මා …ඒ නිසා තමා ගෙදර දුවගෙන ආවේ ඔයාගේ අතින් හදන රසම රස කෑම ටිකක් කාලා යන්න ..’
තේමිය අයියා මගේ දිහා බලලා එක පාරටම ඇහැක් ගහන ගමන් ඇන්ටිට එහෙම කියුවා
‘ ඇයි කැම්පස් එකේ කෑම රස නැද්ද ..’
‘අම්මට කියන්න අම්මා …කැම්පස් එකේ කොල්ලොන්ගේ කතාවක් තියෙනවා අක්බාර් මුදලාලිගෙන් කෑම කෑව නිසා කවදාහරි අපි බදින ගෑනු අක්බාර් මුදලාලි ගේ පොටෝ එකක් ගෙදර ගහගෙන මල් මාලා දාලා පුජා කරයි කියලා ..’
එයා කිව්ව දේ තේරුම් ගන්න බැහැ වගේ වසන්තා ඇන්ටි බලාගෙන ඉද්දි මම කට වහගත්තේ හිනාව පිටවෙයි කියලා
‘ඒ මොකද පුතා ඒ …’
‘නෑ ඉතින් ඒ තරම් ජරාව කන අපිට දවසක අපි බදින කෙල්ලෝ මොන දෙයක් හදලා දුන්නත් ඒවා දිව්‍ය භෝජන කියලා හිතලා කන්න පුළුවන් නේ ..’
ඇන්ටි හිනාවෙද්දි මාත් එයත් එක්ක එකතුවුනා තේමිය අයියා මගේ දිහා බලාගෙන හිටියේ කවදාවත් දැකල නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ …
‘ආයේ මම දේව් අතේම ඔයාටත් කෑම එකක් එවන්නම් …ඉන්න මම ඔයාට කන්න මොනවා හරි හදන්නම් …’ වසන්තා ඇන්ටි ගේ ඇතුලට යද්දී මිදුලේ ඉතිරි උනේ තේමිය අයියයි මායි විතරයි …. එයා ඉස්සරහා ඉන්න බැරි හැගීමක් හිතට එබෙද්දි මම ඇන්ටි ගිය දිහාවට යන්න ලැහැස්ති උනා …
‘ඒයි මේ කොහෙද යන්නේ ….’ එයා එහෙම ඇහුවාම මම පිටිපස්ස හැරිලා බලලා ඇස් වලින් ගේ දිහාව පෙන්නුවා
‘ මම තමුන්ව අල්ලගන්න හිටියේ ඔහොම ඉන්නවා පොඩ්ඩක් …..’ එයා ඇවිත් මගේ ඉස්සරහින් නැවතුනා ….
‘අද මොකද කලින් පැනලා ආවේ ….. ෆර්ස්ට් සෙමෙස්ටර් එකේම ලෙක්චර්ස් කට් කරන්න පටන්ගත්තාද ..’ එයා එහෙම කිව්වේ හරිම තද විදිහට ….
‘මට ඔළුවේ කැක්කුම හැදිලා පොඩ්ඩක් කලින් ආවා ..’
මම එහෙම කිවුවාම එයා රැවුව රැවිල්ලට මට බයත් හිතුනා ..
‘ඔළුවේ කැක්කුම කියලා ගෙදර ඇවිත් මල් පාත්ති හදන්නේ මොකද ආ … ආයේ එහෙම අහුවෙන්න එපා ලෙක්චර්ස් කට් කරලා …’ නපුරු විදිහට එහෙම කියලා තේමිය අයියා ගේ ඇතුලට යද්දී මට පුදුම හිතුනේ මෙයා මන් ගැන මේ තරම් හොයන එක ගැන …
එදා රෑ වෙනකන් ඊට පස්සේ මම තේමිය අයියා දැක්කේ නැහැ ..මමත් කාමරේ ඇතුලටම වෙලා හිටියේ ආයේ එයා ඉස්සරහට ගියොත් ආයෙම බැනුම් අහන්න වෙයි කියලා හිතලා …
‘අක්කි කැරම් ගහන්න එනවාද …’ සදෙව් මල්ලි කාමරේට එබුනේ මම මේසේ ලග වාඩිවෙලා තේමිය අයියා ගැන හිත හිත ඉද්දි …
‘මට බැහැ හලෝ ඔයාලා සෙල්ලම් කරන්න …’
සදෙව් මල්ලිට බැහැ කියලා කිව්වාට මගේ හිත කිව්වේ පලයන් පලයන් ගිහින් තේමිය අයියාගේ දිහා බලාගෙන ඉදපන් කියලා … කොල්ලෙක් ගැන හිතලා නැති මට මේවා අමුතු හැගීම් …….. තේමිය අයියා ගැන මේ තරම් හිතන්න පටන් ගත්තේ කවදා ඉදලාද කියලා මම දැනගෙන හිටියේ නැහැ …
සාලේ පැත්තෙන් තේමිය අයියාගේ උස් කට හඩ සැරින් සැරේ එද්දී මම හිටිය තැනින් නැගිටලා එලියට ගියේ ඉබේමයි කවුරුත් මම ලගට එනකන් දැක්කේ නැහැ ඒ තරමට කට්ටියගේ ඇස් තිබ්බේ සෙල්ලමේ …. මගේ ඇස් නතර උනේ තේමිය අයියා ලග එයා හිනාවෙන විදිහ කතා කරන විදිහ හැම දෙයක්ම මට හරි ලස්සනට පෙනුනේ ….විනාඩි ගානක් යනකන් එයා මාව දැක්කේ නැහැ මාත් පැත්තකට වෙලා එයා දිහාව බලාගෙන හිටියේ ඇස් දෙක අයින් කරන්නේ නැතිවම ….. හිතුවේ නැති වෙලාවක ඔළුව උස්සලා මම හිටිය පැත්ත බැලුව තේමිය අයියාට මගේ හොරේ අහුවුනා . …දැන් ඉතින් ඕකටත් කතා දාහක් කියයි මගේ හිත එහෙම කියද්දී හොර පුසී වගේ ආපහු කාමරේ පැත්තට ගියා …
****
පහුවදා උදේ මම කැම්පස් යන්න ඇදගත්තේ ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි… දැන් රැග් සීසන් එකේ වගේ ඩෙනිම් අදින්න තහනමක් නැහැ නේ …
‘දේව් ඔයාගේ කෑම එක ..’ බෑග් එක කරේ එල්ලගෙන කෑම කාමරේට එද්දී තේමිය අයියා කිරිබත් කනවා …
‘අනේ ඇන්ටි මම එපා කිව්වානේ …’
මම එහෙම කියද්දී ඇන්ටි බලෙන්ම මගේ බෑග් එක ඇරලා කෑම පාර්සල් එක දැම්මා …
‘ ලොකු ඔයාගේ කෑම එකත් දාලා තියෙන්නේ දවල් කන්න ..ඔයා කැමතිම පොලොස් ඇබුල් හදලා තියෙනවා ’ ඇන්ටි තේමිය අයියා දිහා බලාගෙන කියවද්දී මම සාලේ දිහාවට යන්න ලැහැස්ති වෙලා එයා දිහා බැලුවා
‘ ඇන්ටි මම යනවා එහෙනම් ’
එයා තේමිය අයියා එක්ක කතා කර කර ඉද්දි මම ඇන්ටිට දණ ගහලා වැන්දා
‘ඉන්න කිරිබත් කෑල්ලක් කාලා යන්න ..’
එ කිරිබත් කෑලි දෙකක් පිගානකට දාලා මට යන්න නොදී එයාගේ අතින්ම කවන්න ඇන්ටි අමතක කරේ නැහැ …
‘ඔය දෙන්නටම එකට යන්න පුළුවන් නේ … ලොකු ඔයා නංගිත් එක්ක යන්න …’ වසන්තා ඇන්ටි තේමිය අයියාට මාව එක්කන් යන්න භාර දුන්නා … ඇන්ටි කලේ නරියාට කිකිළියක් භාර දුන්නා වගේ වැඩක් ..
පාරට ගියාට පස්සේ මම තේමිය අයියාට වඩා අඩි දෙක තුනක් ඉස්සරහින් ගියේ …..
‘මොකද ඔච්චර හයියෙන් යන්නේ …. ගැහැණු ළමයි ඇවිදින්න ඕනේ විශාකා සිටුදේවිය වගේ ..’ මට ඉස්සර වෙන්න දෙන්නේ නැතිව තේමිය අයියා මට සමාන්තරව ඉස්සරහට ආවා …
‘පිස්සු ….’ මම එයා දිහාවට හැරිලා රැවුවා …
‘ මොක ඊයේ රෑ මගේ දිහා අර විදිහට බලාගෙන හිටියේ …’ මට ලැජ්ජා හිතුනේ එයා ඒක ඇහුව විදිහට
‘මම ඔයා දිහා බලාගෙන හිටියේ නැහැ …’
‘මම දැක්කා නේ ..’
‘හීනයක් වෙන්න ඇති දැක්කේ …’
මම එහෙම කියලා එයාගෙන් පොඩ්ඩක් ඈතට උනා …..
‘මහත්තයෝ ඊයේ රෑ ඉදලා මොකුත් කාලා නැහැ …කන්න දෙයක් දෙන්න .. ’
ගලහ පාරේ එක තැනක බබෙක් වඩාගෙන වැරහැලි ඇදගෙන හිටිය ගැහැණු කෙනෙක් අපි දෙන්නා දිහාවට අත දික්කරා … තේමිය අයියා එයාගේ බෑග් එකේ තිබ්බ කෑම එක ඇදලා අරන් ඒ ගැහුණු කෙනාගේ අත උඩ තිබ්බාම එයා හරි අහිංසක විදිහට හිනාවුනේ …
‘පින්සිද්දවෙනවා මහත්තයෝ …’ එයා පින් දෙද්දී අපි දෙන්නා කැම්පස් එක පැත්තට ගියා … වසන්තා ඇන්ටි උදේ පාන්දර ඇහැරිලා තේමිය අයියා කන්න ආස කරන දේවල් හැදුවේ කියලා මම දැනගෙන හිටියා …. කැම්පස් එක ලගදී මම බෑග් එක ඇරලා මගේ කෑම එක අතට අරන් එයා දිහාවට දික්කරා ..
‘ඇයි මේ ..’ එයාගේ ඇස්වල ප්‍රශ්නාර්ථයක් තිබ්බේ …
‘ඔයා කන්න …ඇන්ටි අද හැදුවේ ඔයා කැමතිම කෑම ..’ මම එහෙම කිව්වාම එයාගේ මුහුණ පුරාම හිනාවක් පැතිරුනේ …
‘ඔයාගේ කෑම එක මම කොහොම කන්නේ ….. කන වෙලාවට මම එන්නම් ඔයා ලගට මටත් කටක් කවන්න …’ එයා එහෙම කිව්වම ලැජ්ජාව නිසා ලේ පිරිලා මුළු මුහුණම රත්වෙද්දි මම බිම බලාගෙන හිනාවුනා …
‘මොකද පොලවට හිනාවෙන්නේ … හිතක් නැති පොලොව දිහා හිනාවුනාට ඒකට දැනෙන්නේ නැහැ නේ … හිත් තියෙන මිනිස්සු උන අපි කැමති කෙල්ලෙක් අපි දිහා බලලා ලස්සනට හිනාවෙනවා නම් ‘’
මම එයා කියන දේවල් අහගෙන හිටියා මිසක් උත්තර දෙන්න ගියේ නැහැ …
‘මම යනවා කැන්ටින් එක පැත්තේ … ’
අක්බාර් පාලම ලගදී එයා එහෙම කියලා යන්න ගියාම මම ක්ලාස් එක පැත්තට යන්න හැරුනා …
මතු සම්බන්ධයි