දෙව්දූ ~15 කොටස

~~දෙව්දූ ~~~
15 කොටස
අපි ඉස්සරහට ඇවිදගෙන ගියේ තණකොළ වලින් පිරුණු බිමක් පහුකරගෙන ….
‘මේ හරියෙන් ඉක්මනට යන්න වෙයි … කුළු හරක්ට අහුවුනොත් මල ජංජාලයක් වෙන්නේ ….’
තේමිය අයියා එහෙම කිව්වේ තැනින් තැන තිබ්බ ගොම ගොඩවල් පෙන්නන ගමන්මයි ..
‘අනේ අපි ඉක්මනට මේ හරියෙන් යමුකෝ …’ කෙල්ලෝ ටික බෙරිහන් දෙන්න ගත්තේ මේ දැන් කුළු හරක්ට අහුවෙන්න යනවා වගේ තමා …..
‘ඔව් ඔව් …. අපි ඉක්මනින් යමු ….නැත්තම් ඉතින් මේ හරකියෝ ගොඩට තව හරක් ගොඩක් ආවොත් අපිට වෙන්නේ මුන්ට යටවෙලා මැරෙන්න තමා …’
චමත් අයියා එහෙම කියලා මහා හයියෙන් හිනාවෙද්දි …. කෙල්ලෝ ටික ඔක්කොම එයාට රවන්න ඔරවන්නයි පටන්ගත්තා …
‘අන්න බලපල්ලා කටු ගස් තියෙන්නේ මෙතැනින් ඉස්සරහට ..’
තරිදු එහෙම කියලා නැවතුනේ මහා විසාල කටු පදුරු පිරිලා තිබ්බ බිමක් ඉස්සරහා ….
‘අනේ මට බෑ කටු ඇනිලා මැරෙයි අපිව ….’ ඒ කොටසට අඩිය තියන්න කලින්ම අනුත්තරා මුහුණ ඇදකරගෙන තේමිය අයියා ඉස්සරහට ආවා …
‘අනේ මේ උබලා නිකන් සදළුතලෙන් බැහැලා ආවා කුමාරිකාවෝ දෙන ටෝක්ස් දෙන්න එපා ..ආවා නම් වරෙල්ලා යන්න ….නැත්තම් මෙතන නැවතිලා රිලව්ට තනි රැකපල්ලා…’
චමත් අයියා එහෙම කියලා ගස් උඩ ඉන්න රිලව් පෙන්නුවාම අනුත්තරා මුහුණ සතපහ වගේ කරගත්තා …මගේ ලගින් හිටිය හිමායා මට ඒක පෙන්න පෙන්න හිනාවෙද්දි …. මටත් හිනා යන්න ආව නිසා මම කට තද කරලා හිනාව පාලනය කරගත්තා …
‘දැන් යමු නැත්තම් අද මෙතැනම රෑටත් ඉන්න වෙයි … ‘’
තේමිය අයිය ඉස්සර වුනාම අපි එයා පස්සෙන් පෙලට ගියේ එක පොදියට ගියොත් කටු ඇනිලා නහින්න වෙන නිසා …
‘ අයියෝ මගේ ඇදුමේ කටු අත්ත පැටලුනා ….’ අමාලිට ඉස්සරහින් ගිය ගගුලි අයින් කරපු කටු අතතක් පැටලිලා තිබ්බේ අමාලිගේ ඇදුමේ ……. මොන තරම් මහන්සි උනත් එයාට පුළුවන් උනේ නැහැ ඒ කටු අත්තෙන් ගැලවෙන්න නම් …..
‘ඔයා හෙලවෙන්න එපා එහෙම වුනොත් ඔයාගේ ඇදුමත් ඉරෙයි …. ඉන්න මම ඔයාට උදව් කරන්න. .. ’
මලිෂ් අමාලිට උදව් කරන්න ඉස්සරහට අවේ එහෙම කියාගෙනමයි … ..මේ වෙද්දී මේ දෙන්නා අතරේ මොකක් හරි හුටපටයක් ඇතිවෙලා තිබ්බ බව බැච් එකේ කාට කාටත් තේරිලා තිබ්බේ …
‘කට්ටියම පරිස්සමින් යන්න …දැක්කානේ …කටු අතු පැටලුනොත් ගලවගන්න කොච්චර අමාරුද කියලා ….’ චමත් අයියා එහෙම කිව්වේ කටු අත්ත ගලවන්න ට්‍රයි කරන මලිශ්ව පෙන්න පෙන්න ..
‘කොහොම හරි මලිශයාට එකෙන් හොදක් වෙයි වගේ …බලපන්කො දෙන්නාගේ ලව් එක ලව් බර්ඩ්ස්ලා වගේ …’ එහෙම කිව්වේ බිනුර ….
පැය භාගයක විතර මහා උත්සහයකින් පස්සේ අමාලි කටු අත්තෙන් ගලවාගන්න මලිශ්ට පුළුවන් උනා …
‘තෑන්ක්ස් මලිෂ් …… .’ අමාලි එහෙම කියලා මලිෂ් දිහා බලාගෙන හිටියේ ලොකු පැහැදීමකින් …
‘හරි හරි දැන් ලව් කළා ඇති …වරෙල්ලා යන්න ..’ තේමිය අයියා කතා කරනකන් හෙල්ලෙනේවත් නැතිව තමන් දිහා බලාගෙන හිටිය දෙන්නා ගැස්සිලා වගේ කට්ටිය දිහා බැලුවේ …..
කටු කැලෑව ඉවරවෙද්දි ගොඩක් අය හිටියේ ඇදුම් භාගෙට ඉරාගෙන ..අත් කකුල් හුරාගෙන … මම ගොඩක් අමාරුවෙන් අතක් විතරක් හුරාගෙන බේරිලා හිටියා …..
‘ඔන්න ඔතන ප්‍රපාතයක් තියෙනවා ….පරිස්සමින් ..’
සමහර තැන් වලදී ලගට යනකන්ම පෙනුනේ නැති භයානක ප්‍රපාත තිබ්බේ …. කොහොම හරි හැමෝගෙම විමසිල්ල නිසා කරදරයක් නැතිව තවත් කදු දෙකක් පහුකරන්න අපිට පුළුවන් උනා ….
‘හම්මේ බලපන්කො මේ මානා කැලෑවේ අවසානයක් නැහැනේ … ෂිට් ..’
හිමායා මුහුණ ඇබුල් කරගත්තේ ඉස්සරහා තිබ්බ අඩි නවයක් දහයක් උස මානා කැලය පෙන්නන ගමන්මයි ..
‘හරි බන් තව ටිකයි නේ …මෙච්චර දුර ආව අපිට ඕක කජ්ජක්ද ….. ’ මම එහෙම කිව්වට මටත් මේ ගමන තිත්ත වෙලයි තිබ්බේ …
‘හරි හරි … දැන් යමු බලාගෙන යමු …. ඔය හාවෝ එහෙම ගුල් හදලා ඇති කකුල ගියොත් එහෙම ගොඩක් අමාරු වෙයි උඩට ගන්න …’
තේමිය අයියා එහෙම කිව්වේ බිම පේන්නේ නැති විදිහට වැවිලා තිබ්බ මහා මානා ගස් අස්සෙන් කකුල් තිය තියා අපි ඉස්සරහටම යද්දී …
‘අනේ මගේ කකුල වලකට වැටුනා …’
අහෝ දුකකි ඉරකි තිතකි . … තේමිය අයියා එහෙම කියලා කටගන්න හම්බ වුනේ නැහැ අනුත්තරා බෙරිහන් දෙන්න ගත්තේ මැරෙන්න ලංවෙලා වගේ …
‘ කෑ ගහන්න එපා ..පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න බැහැ කියන්නේ ඕක තමා …කෑ ගහන්නේ නැතිව හෙමිහිට කකුල උඩට ගන්නවා …’
තේමිය අයියා සැරකරද්දී අනුත්තරා අඩන්න ගත්තා ..
‘අයියෝ ..බබ්බු එක්ක මේ වගේ ගමන් එන්න බැහැ කියලා අමතක වුනානේ …බොරුවට අඩන්නේ නැතිව ඉන්නවා …’ තේමිය අයියා එහෙම කියලා අනුත්තරා ලගට ගිහින් එයාගේ කකුල ගිය වල වටේ තිබ්බ වටේ කොළ රොඩු ටික අයින් කරලා දැම්මා ….
‘දැන් කකුල හෙමින් ඇදලා ගන්න …’
‘අනේ මට බයයි ..’ අනුත්තරා හිටියේ බය වෙලාද නැති නම් බයවෙලා බව පෙන්නන්න ද කියලා මම තේරුම් ගන්න ට්‍රයි කළා …
අනුත්තරා ඇදගෙන හිටිපු කලව ලගට වෙනකන් දිග කොට කලිසම නිසා එයාගේ සුදු කකුල් දෙක කැපිලා පෙනුනා ..මගේ හිතට ඒ වෙලාවේ ආවේ නුහුරු බයක් … නාරි ලතා මලකට පුළුවන් උනා නම් තාපසයන්ගේ සිල් බිදින්න මේ වගේ සජීවී ප්‍රාණියෙකුට බැරිද හැගීම් දැනීම් ඇති පිරිමියෙකුගේ හිතක් හොලවන්න …..
‘අනේ මේ පිස්සු කෙලින්න එපා … දැන් බලනවා කළුවරත් වැටීගෙන එනවා .. ‘’
තේමිය අයියා ඇසි පිය හෙලන තප්පරේට අනුත්තරාගේ කකුලේ වළලුකර අල්ලලා කකුල උඩට ගද්දි මට දැනුනේ මගේ හිත හෙල්ලෙනවා වගේ ..
‘මේ බලන්න මහපට ඇගිල්ල කැපිලා .. මානා කොළවලට වෙන්න ඇති …. ‘’
අනුත්තරාගේ ඇස් වල කදුළු පිරිලා ….
‘අනේ මේ ඔය ටැප් එක වහනවා …’ තේමිය අයියා එයාගේ බෑග් එකට අතදාලා බෙහෙත් වාගයක් අරන් අනුත්තරාගේ ඇගිල්ලට බෙහෙත් දාලා ප්ලාස්ටර් එකක් දැම්මා … වේදනාව අස්සේ උනත් මම දැක්කා අනුත්තරාගේ ඇස් දිලිසෙනවා ….
‘දැන් ඉතින් කටුසු කැලේ පහු කරන්න තමා තියෙන්නේ ….මම ඉස්සරහට යනවා ’ තේමිය අයියා එහෙම කියලා ඉස්සරහාට යන්න ලැහැස්ති උනා
‘අනේ අයියා මට තනියම යන්න බෑ …’
‘ ඉතින් ඔයා සචිනි එක්ක යන්න’
අනුත්තරා එහෙම කියලා තේමිය අයියාගේ අතක් අල්ල ගන්න ට්‍රයි කරද්දී එයා අත ගසලා දාලා ඉස්සරහට යන්න ගියේ යාන්තමට මගේ දිහා බලන ගමන්මයි … මම හිනාවෙන්න ට්‍රයි කලත් හිනාවෙන්න පුළුවන් වුනේ නැහැ මට …
කොහොම හරි අපි කටුසු කැලේ කන්ද නැගලා ඉවර වෙද්දී කළුවර හන්තාන කදු වැටිය ගිලගන්න ගමන් හිටියේ …
‘අපිට දැන් මේ කළුවරේ ආයේ පාර හොයාගෙන යන්න ගොඩක් අමාරුයි …. ඒ නිසා කට්ටියම රෑට ඉන්න කුඩාරම් ගහගන්න …’
චමත් අයියා එහෙම කියද්දී කට්ටියම බෑග් වල දාගෙන ආව ආම්පන්න එලියට අරන් කුඩාරම් ගහන්න පටන් ගද්දී තවත් කට්ටියක් ගිනි මැල පත්තු කරන්න පටන් ගත්තා .. මට නම් කිසිම වැඩක් කරන්න තරම් ඇගට ෆිට් එකක් තිබ්බේ නැති නිසා පැත්තකට වෙලා කට්ටිය කරන දේවල් දිහා බලාගෙන හිටියා .. තේමිය අයියා ගැන හිතේ ඇතිවේගන ආපු හැගීම් අනුත්තරාගේ වැඩ නිසා වල්මත් වෙලා යනවා වගේ මට දැනුනේ ….
‘මොකද පැත්තකට වෙලා අහස දිහා බලාගෙන තනියම කල්පනා කරන්නේ …’
මමවත් දන්නේ නැති වෙලාවක තේමිය අයියා ඇවිත් මම ඉගෙන හිටපු තැනම අනිත් පැත්තේ වාඩිවුනා ….එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතිව මම හිනාවෙන්න ට්‍රයි කලත් කට ඇදවුනා විතරයි ..
‘මොකද මේ විරිත්තන්නේ ….කටේ පිට්ටුද …’
තේමිය අයියා මගේ මුහුණට එබිලා බලලා මගේ හැගීම් තේරුම් ගන්න ට්‍රයි කලත් …. තද කළුවරයි මිදුමයි නිසා එයා උත්සාහය අත්හැරලා දැම්මා
‘කියන්න මාත් එක්ක තරහාද …’ ටික වෙලාවක් මම කතාකරයි කියලා බලාගෙන ඉදලත් කතා නොකර ඉද්දි ආයෙම කතාකරන්න පටන්ගත්තේ එයාම තමා ..
මිදුම කළුවර මකාගෙන හන්තාන කදු මුදුන උඩින් හද එබිලා බලද්දී මගේ මුහුණ දිහා බලාගෙන හිටපු එයාට මගේ මුහුණේ තිබ්බ අදුර ඉරියව් පැහැදිලිව පේන්න ඇති ..
‘මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ ..සොරි ඩිස්ටර්බ් කළා නම් ..’
තේමිය අයියා එහෙම කියලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා …
‘යන්න එපා අයියා ..’
එයා ඉස්සරහට අඩියක්වත් තියන්න ඉස්සර වෙලා මම නැගිටලා එයාගේ අතක එල්ලුනා …..
මතු සම්බන්ධයි …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *