~~දෙව්දූ ~~17 කොටස
~~~~දෙව්දූ ~~~~
17 කොටස
‘මේක බීලා ඉන්න ඔය ඇගේ පතේ අමාරුව ඔක්කොම ඇරිලා යාවි …’
වසන්තා ඇන්ටි වෙනිවැල් කසාය වීදුරුවක් හදාගෙන ආවේ මම ඇදේ හාන්සි වෙලා රෙස්ට් කර කර ඉද්දි
‘අනේ ඕවා තිත්තයි මට බොන්න බැහැ …’ මම ගෙදර ඉද්දිත් කසාය බොන්න කොහොමත් හොරයි ..අම්මි කසාය වීදුරුව අතට දීලා ගියාට පස්සේ මම කරන්නේ ජනේලෙන් එලියට විසික්කරන එක
‘මම මේවාට සීනි දාලා තියෙන්නේ තිත්ත නැහැ බිලා බලන්නකෝ ….’ එයා එහෙම කියලා මගේ ලගින්ම වාඩිවුණේ මම බොන්නේ නැතිවෙයි කියලා හිතලා වෙන්න ඕන …
‘අනේ මට බෑ අයියෝ …’ මම මුහුණ ඇබුල් කරගෙනම කසාය වීදුරුව කටට ලංකරගත්තා …. පැණි රසක් එක්ක තද තිත්ත ගතියක් දිවට දැනුනත් මම අමාරුවෙන් කසාය විදුරුවම උගුරෙන් පහලට දාගත්තේ වසන්තා ඇන්ටි මම වෙනුවෙන් ආදරෙන් හදලා ගෙනාව නිසා …
‘අනේ මට ආයේ නම් තිත්ත කසාය බොන්න බැහැ හරිද …’ මම උරහිස් අකුලාගෙන මුහුණ දෙක කරගෙන එහෙම කියද්දී වසන්තා ඇන්ටි හිනාවෙනවා මගේ දිහා බල බලා …. දරුවෙකුගේ දගකාර කමක් ලග හිනාවෙන අම්මා කෙනෙක් වගේ …..
‘මේ අද කාලේ හැදෙන ළමයින්ට කසාය වීදුරුවක් බොන්න බැහැනේ …ඉස්සර නම් අපේ ගෙවල් වල අම්මලා අපිට හැමදාම කසාය වීදුරුවක් දෙනවා බොන්න කියලා .. අදත් අපි කිසි ලෙඩක් නැතිව ඉන්නේ ඒවගේ බලය නිසා තමා …’
වසන්තා ඇන්ටි එහෙම කියලා හිස් වීදුරුවත් අරගෙන යන්න ගියාට පස්සේ මම ඇස් දෙක පියාගත්තා … මගේ ඇස් ඉස්සරහා මැවුනේ තේමිය අයියාගේ මුහුණ …. ට්‍රිප් එක ගියාට පස්සේ සිද්ද වුන දේවල් එකින් එක චිත්‍රපටියක් වගේ මැවිලා පෙනෙද්දී මගේ මුහුණට හිනාවක් ආවේ ඉබේටමයි … එයා අර කියන්න ගියේ මට ආදරේ කරනවා කියලාවත් ද …. තේමිය අයියා ඒ වෙලාවේ මට ආදරේ කියලා කිවා නම් මම එයාට දෙන උත්තරේ මොකක්ද …. එකපාරම හිතේ විදුලි කෙටුවා විකුම් …. මාව එයාට දෙන්න තාත්ති තීරණය කරා කියන අමිහිරි ඇත්ත මගේ ඉස්සරහා තියෙනකම් මට පුළුවන් ද තේමිය අයියාට ආදරේ කරන්න …. ඇත්ත මොනවා වුනත් මට ඕන වුනේ නැහැ ඒ දේවල් හිතලා මගේ හිත අවුල් කරගන්න … ඉතින් මම ඉන් එහාට මොකුත්ම හිතන්නේ නැතිව ඇස් දෙක තද කරලා පියාගත්තා
‘අක්කි …අක්කි …. ඔයා මොනවාද කරන්නේ …’
තද නින්දේ හිටපු මම ඇහැරුනේ සදෙව් මල්ලි කතා කරද්දී …
‘පොඩ්ඩක් නිදාගෙන හිටියේ …..ඇයි මල්ලි …’ ඇදෙන් නැගිටලා මම ඉස්සරහට යද්දී මල්ලි පොතකුත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා ….
‘අක්කිට මහන්සිද ට්‍රිප් එක ගිහින් ඇවිත් …’
‘දැන් නම් කිසිම අවුලක් නැහැ …ෆිට් එකෙන් ඉන්නවා ….’ මම එහෙම කියලා හිනාවුනේ ඇත්තටම ඒ වෙනකොට මගේ ඇගේ අමාරුව අතුරුදහන් වෙලා තිබ්බ නිසා
‘ මට මේ ජ්‍යාමිතිය පාඩම කියලා දෙනවාද .. අපේ සර් කාරයා කියලා දෙද්දී මට මොකුත්ම තේරෙන්නේ නැහැ ..’ සදෙව් මල්ලි නහයෙන් අඩන්න පටන්ගත්තා
‘කෝ බලමු …’ මම පාඩමේ අමාරු තැන් මල්ලිට පැහැදිලි කරලා දුන්නා
‘මේක හදලා මට කතා කරන්න …’
මල්ලිට ගානක් හදන්න දීලා මම වසන්තා ඇන්ටි හොයාගෙන ගියේ එයත් එක්ක කයියක් ගහන්න ඕන කියලා හිතාගෙන ….එයා පේන්න හිටියේ නැත්තේ පැල තවානට ගිහින් හිටිය නිසා වෙන්න ඕන …
කම්මැලි කමටත් එක්ක මම මිදුලට බහින්න කියලා සාලේ පැත්තට ආවා ….සාලෙත් එක්කම තියෙන කාමරේ තේමිය අයියාගේ කාමරේ කියලා මම දැනන් හිටියා … එතැන පහුකරගෙන යනගමන් නිකමට වගේ මම කාමරේ ලග නැවතීලා දොර තල්ලු කරලා බැලුවා ….. අගුල් දාලා තිබ්බේ නැති කාමරේ නිකන්ම ඇරෙද්දි මම කිසිම අවසරයක් නැතිව තේමිය අයියාගේ කාමරය ඇතුලට ගියේ ඒ වෙලාවේ මට දැනුන සිතුවිල්ලක් නිසයි … …ගොඩක් දවසකින් ඇරලා නැති ජනෙල් නිසා කාමරේ ඇතුලෙන් ආව මුඩු ගද යන්නත් එක්කම මම ජනෙලේ ඇරලා දැම්මා … ජනේලේ ඇරියාම ඈතින් හන්තාන කන්ද ලස්සනට පේනවා …හරිම ලස්සන දර්ශනයක් …… මම වශී වෙලා වගේ ඒ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා කාමරේ පැත්තට හැරුනා… පොත් මෙසේ උඩ කොළ කෑලි ගොඩයි .. මම එතනට ගිහින් ඒවා පිළිවෙලට ඇහුරුවා ….
මේ මෝඩයාගේ පණ්ඩිතකම විතරයි … මැට්ටා …..කාමරේ තියාගෙන ඉන්න කැත විතරක් ……මම හිතින් එයාට නෝක්කාඩු කිවා …. ඉන්නවකෝ අහුවෙනකන් … අවසර නැතිව කාමරේට ගියා කියලා බැන්නත් කමක් නැහැ මම කියනවා මේ මැට්ටා කිසිම පිළිවෙලකට නැතිව වැඩ කරනවා කියලා ….
‘අක්කි අක්කි ගාන හැදුවා …. බලනවාද ..’ මම කාමරෙන් එළියට ආවේ මල්ලි ගේ දෙවනත් වෙන්න මට අඩගහද්දී …
*****
ට්‍රිප් එකෙන් පස්සේ මම ආපහු කැම්පස් යන්න ලැහැස්ති වුනේ තේමිය අයියා දකින්න හිතේ ඇතිවෙලා තිබ්බ් නොඉවසිල්ලෙන්මයි … ලා දම් පාටට හුරු රෝස පාට දිග ගවුමක් ඇදලා කොන්ඩේ කරලට ගොතලා මම එළියට බැස්සේ පුදුම තරම් නොඉවසිල්ලකින් ….ගලහ හන්දිය පාස් කරද්දීම මම දැක්කා තේමිය අයියා මග බලාගෙන ඉන්නවා ..
‘ගුඩ් මෝර්නින් අයියා …’ මගේ මුහුණ පුරාම හිනාවක් පැතිරුනේ හිතන්නත් කලින්
‘ගුඩ් මෝර්නින් …මෙයාගේ මුහුණේ සිරික්කිය …’ එයා මගේ මුහුණේ ඇස් දෙක තියාගෙන එහෙම කියද්දී මම යාන්තමට රවලා බැලුවා
‘කවුරු එනකන්ද මේ ඉන්නේ ..’ මම එහෙම ඇහුවේ එයා මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් සැරින් සැරේ පාර දිහා බලපු නිසා …
‘ආර්ට් එකේ යාලුවෙක්ගෙන් පොතක් ගන්න තියෙනවා ….පොර ඇතුලට ගිහින් වගේ ..මොකද කියන්නේ එනවද මාත් එක්ක ආර්ට් ෆැකල්ටි එක පැත්තේ යන්න ..’
එයා එහෙම ඇහුවේ මම එයි කියලා බලාපොරොත්තුවෙන්මද කොහෙද ..
‘එන්නම් ඉක්මනට එනවා නේ ….අපිට අද ලෙක්ච එක නවයට පටන් ගන්නවා ..’ මම අත් ඔරලෝසුව දිහා බලන ගමන් එයාට එහෙම කිව්වා
‘හරි …. හරි නවය වෙන්න විනාඩියකට කලින් හරි මම ඔයාව ක්ලාස් එකට ගිහින් දාන්නම් …’
තේමිය අයියාගේ ඇගේ ගෑවෙන නොගෑවෙන විදිහට තමා මම එයත් එක්ක කැම්පස් එක පුරාම ඇවිදගෙන ගියේ … තේමිය අයියාව අදුරන සමහර කෙල්ලෝ අපි දිහා බලාගෙන හිටියේ ඉර්ශ්යාව පිරුණු ඇස් වලින් …
‘ ඒයි ජිමියා … කොටා දැක්කේ නැද්ද …… ආආ .. ’ උස මහත කොල්ලෙක් ලග නැවතිලා තේමිය අයියා එහෙම ඇහුවා ….
‘අඩෝ තේමිය ..තෝ දැක්ක කල් …අප්පට සිරි යකෝ තෝත් කොක්කක් එල්ලා ගත්තාද එහෙනම් ..’
තේමිය අයියයි මායි දිහා සැරින් සැරේ බල බල කොල්ලා එහෙම අහනවා
‘අඩෝ ….ජිමියා උබෙන් ඇහුව දේට උත්තරේ දිලා හිටපන් .. ඕපාදුප හොයන්නේ නැතිව ..’ තේමිය අයියා ජිමියා ගේ කතාව මග ඇරියා එහෙම කියලා
‘මම දැක්කා ඌ කෑල්ලත් එක්ක මිල්ක් ෂොප් එක පැත්තේ ඉන්නවා …’
‘අඩෝ මම පස්සේ උබ හම්බවෙන්නම් … අපි යනවා එහෙනම් …..’
තේමිය අයියා මාත් එක්ක හෙමි හෙමිහිට මිල්ක් ෂොප් එක පැත්තට ඇවිදගෙන ගියා …..අපි දෙන්නා අතරේම කිසිම කතාවක් ඇතිවුනේ නැහැ ….
මුළු කැම්පස් එක පුරාම රොබරෝසියා ගස් වල රෝස පාටට මල් පිපිලා … රොබරෝසියා ගස් උඩින් පේන හන්තාන කන්ද පුදුම ලස්සනට පෙනුනේ .. ඇස් අහකට ගන්න බැරි තරම් ලස්සන අතරේ මම අතරමන් වෙලා හිටියේ ….
‘වාඩිවෙන්න ….’
මිල්ක් ෂොප් එක ලග බංකුවක් ලග නැවතිලා එයා මට ඇස් වලින් ආරාධනා කරා …
‘පරක්කු වෙයි ලෙක්චර් එකට යන්න ….බලන්නකෝ ඔයාගේ යාලුවා තාම නැහැනේ …’ මල් පෑගෙන්නේ නැතිවෙන්න මම හරි පරිස්සමට බංකුවේ වාඩිවුණා
‘වෙලාව තියෙනවා තව පැයක්ම … ඉන්නවා පොඩ්ඩක් ඉවසලා මම ඌව හොයාගන්නම් ..’
තේමිය අයියා එහෙම කියලා මම හිටිය තැනින් පොඩ්ඩක් ඈතට ගිහින් පිරිමි ලමයෙක් එක්ක කතා කර කර ඉදලා ආපහු ආවා …
‘මම අරූට කිව්වා …. කොටාව එක්කන් එන්න කියලා .. අපි අයිස්ක්‍රීම් කමුද ’
‘අපෝ මේ උදේම ……කොහොමද අයිස්ක්‍රීම් කන්නේ ’
‘කන්නේ කටින් නේ …..ඉන්නකෝ මම අරන් එන්නම් .. .’ එයා අයිස්ක්‍රීම් දෙකක් අරන් ආපහු මගේ ලගට ආවා …
‘ආ ….ගන්න …’ වැනිලා අයිස්ක්‍රීම් එක මගේ අතට දීලා එයා මට ගොඩක් ලංවෙලා වාඩිවුනා …
‘හෙම්බි හැදුනොත් වග කියන්න වෙයි හරිද …’ මම කට ඇදකරලා එයාට විරිත්තුවා …
‘කඩනවා කට ඔය විදිහට විරිත්තුවොත් …..’
‘අනේ මම බයයි …සොරි සර් ..’
මම විහිළුවට වගේ එහෙම කියලා අයිස්ක්‍රීම් එක තොල ගාන ගමන් හොරෙන් එයා දිහා බැලුවා …එයාගේ ඇස් තිබ්බේ මගේ මුහුණේ නැවතිලා … ඒ ඇස් වල තිබ්බ හැගිම් දරාගන්න බැරිව මම බිම බලාගත්තා
‘මොකද ඔය විදිහට මගේ දිහා බලන්නේ …’
‘දන්නවාද ඔයත් හරියට රොබරෝසියා මලක් වගේ ……. ලා රෝස පාට හරි ලස්සන … ’ තේමිය අයියාගේ කටහඩේ තිබ්බේ ආදරණිය බවට මගේ හිත ඇතුලේ තිබ්බ හැම ලේ නහරයක්ම උණුසුම් වෙනවා වගේ මට දැනුනේ …කවදාවත් ඇතිවුනේ නැති අලුත්ම සිතුවිල්ලක් …
එකපාරම හමාගෙන ආපු හුළගට රොබරෝසියා මල් ගොඩක් ගස් වලින් මිදිලා අපි ඉස්සරහා පොලව උඩට වැටිලා ලස්සන රටා මවද්දී … අපි දෙන්න ඉස්සරහා වැටුණු මල් ගොඩෙන් එකක් අහුලලා මම පොතක් අස්සට දාගත්තා ….
‘අඩෝ …තේමි ….සොරි මචං ….මම පොඩ්ඩක් ඇතුලට ආවා …. මෙන්න පොත ..’ අපි ඉස්සරහට ආව අඩි හතරක් විතර උස පිරිමි ළමයෙක් තේමිය අයියා අතේ පොතක් තියන ගමන් මගේ දිහා උවමනාවෙන් බැලුවා ….
‘කොටා උබත් මාර චාටර් දෙන්නේ …. මචං අපි යනවා ලෙක්චර් එක පටන් ගන්න පැය භාගයයි තියෙන්නේ ..’
‘හරි මචං පස්සේ හම්බ වෙමු එහෙනම් …ආ .. සෙනසුරාදා වලේ නාට්‍යක් තියෙනවා එනවද බලන්න ..’
‘හරි උබට මම මැසේජ් එකක් එවන්නම් එනවා නම් …අපි ගියා එහෙනම් …’
තේමිය අයියාගේ යාළුවාගෙන් ඈත්වෙලා අපි ආර්ට් එකෙන් එලියට ආවා …
මතු සම්බන්ධයි