~~දෙව්දූ ~~~39 කොටස

~~~~දෙව්දූ ~~~~~
39 කොටස
එදා සිද්දියෙන් පස්සේ තේමිය අයියා ගෙදරින් පිට හිටිය නිසා අපි දෙන්නාට හම්බවෙලා කතා කරන්න උනෙම නැති තරම් ….කොහොම හරි මට එයා හම්බවෙලා කතා කරන්න ගොඩක් දේවල් තිබුණා … ඒ උනාට අපිට හම්බවෙන්නෙ තරම් අවස්තාවක් ආවේම නැති තරම් … ඉතින් මම හිත හදාගත්තේ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සෙම ප්‍රශ්න විසදගන්නවා කියලා හිතලා ..
බැච් එකේ කොල්ලෝ කෙල්ලෝ ෆයිනල් එක්සෑම් නිසා හොදටම බිසී වෙලා හිටියේ … උදේ රෑ නොබලා පාඩම් කරපු නිසා බාහිර ප්‍රශ්න ගැන හිතන්න තරම් කාලයක් මට තිබුනේ නැහැ
‘අපි මොනවා හරි කාලා ඉමුද …..’ පැය ගානක් බඩගින්න නොබලා ලයිබ්‍රි එකට වෙලා පාඩම් කරපු නිසා අමාලිට බඩගිනි වෙලාද කොහෙද …
‘තව ටිකකින් යමු …’ ඇස් දෙක පොතෙන් අයින් කරන්නේ නැතිවම මම එහෙම කිව්වේ තවම දොළහවත් වෙලා තිබ්බේ නැති නිසා
‘තව ටිකකින් කැන්ටින් එකේ කට්ටිය පිරෙයි …ඊට පස්සේ පැය ගානක් කෑම පෝලිමේ ඉන්න වෙයි ..’ අමාලි ඈනුමක් අරින ගමන් පොත් ටික එකතු කරා
‘හපෝ … මේකිට පුදුම ගින්නක් තමා තියෙන්නේ …යමු යමු එහෙනම් …’ මම කියව කියව හිටිය තැන බුක් මාර්ක් එක තියලා පොත වහලා දැම්මා ..
කන්න තරම් මට පිරියක් තිබුනේ නැතත් මම අමාලි එක්ක කැන්ටින් එක පැත්තට ගියා … දොළහ වෙලා නැති නිසා කැන්ටින් එකේ ළමයි දහ පහළොස් දෙනෙකුට වඩා හිටියේ නැහැ … දෙතුන් දෙනෙක් හිටිය කෑම පෝලිමට ගිහින් අපි දෙන්නා කෑම දෙකක් අරන් ආවා … පරිප්පුයි හොදියි පොඩි මස් කෑල්ලකුයි එක්ක තිබ්බ බත් එක දැක්ක ගමන් මට වෙනදා දැනුනේ නැති අප්‍රසන්න බවක් ඇතිවුනේ …
‘මොකද බත් එක අන අන ඉන්නේ ….. කන්න අදහසක් නැද්ද …’
එකම බත් ඇටයක්වත් කටට දාගන්නේ නැතිව මම ඔහේ අල්ල අල්ල ඉන්න හැටි අමාලි ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඇති කියලා මට හිතුනා
‘කන්න බැහැ වගේ බන් …’ මම බත් එක පැත්තකට කරලා වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියා
‘එහෙනම් ඔය මස් කෑල්ල මෙන්න මෙහාට දීපන් …මේ දවස් ටිකේම හොස්ටල් එකේ පොල්කුඩු සම්බෝලයි බතුයි කාලා ඇගට කිසිම පෝෂණයක් නැහැ වගේ …’
මගේ බත් එකේ තිබ්බ මස් කෑල්ල එයාගේ එකට දාගත්ත අමාලි එකම බත් ඇටයක්වත් ඉතිරි නොවෙන්න බත් එක කාලා මගේ බත් එකත් කන්න ගත්තා ..
‘ඔන්න උබට බැරි ඒවා මම කෑවා ….මාර බඩගින්නේ හිටියේ …’
‘උබ ඔහොම කෑවොත් නම් අමාලියෝ තවත් අවුරුදු දෙකක් යන්න ඉස්සරවෙලා ඇතින්නියක් වගේ මහත්වෙනවා ඔට්ටුයි … ’
‘ දැන් කාලා පස්සේ මහත් වුනත් මොකද බන් …… මෙලෝ රහක් නැති අක්බාරයා ගේ කෑම තව කි දවසද කන්නේ ..’
අමාලිගේ කතාව මගේ හිතට ගෙනාවේ දුකක් ..
ආදරණිය පේරා කොයි තරම් නම් දේවල් ඔබ සෙවනේ අප උගත්තෙහිද …. තව ටික දිනකින් ඔබ තුරුළෙන් වෙනව යනවා යැයි සිතීමද කොයිතරම් නම් දුකක්ද …. සැප මෙන්ම දුකද සිනාවෙන් විද ගැනීමට අප උගත්තේ ඔබ හමුවේය …. විනය … හැදියාව වැනි සියලු දේ ඔබගෙන් අප ලද දායාදයන්ය …. ඔබ වැනි රුවත්තියගේ සෙවනේ සිටීමට ලැබීමම මා ලද භාග්‍යකි ….. ඉතින් මා අද කම්පා වන්නේ ඔබෙන් වෙන්ව යන දින ආසන්න වන බැවිනි …
මම පොතක් පෙරලාගෙන හිතට ආපු හැමදේම ඔහේ ලියාගෙන ගියා ….
********
එක්සෑම් එකේ අන්තිම දවස නිසා එදා කට්ටියම ලොකු සැහැල්ලුවකින් හිටියේ … අදින් පස්සේ ටික කාලෙකට එක්සෑම් එකක් කරන්න ඕන වෙන්නෙත් නැහැ නේ ….
උදේ ඉදන් ඔළුව කැරකෙන ගතිය නිසා මම ඔහේ පැත්තකට වෙලා හිටියා ….
‘ මොණරි හෝන්දු මාන්දු වෙලා මොකද මේ …’
‘ කැරකිල්ල වගේ බන් ….. උණ හැදෙන්න වගේ කටත් තිත්තයි …’
මම වාඩිවෙලා හිටිය තැනම ඩෙස්ක් එකේ ඔළුව තියාගත්තා ..
‘එකපාරම මොකද ඒ ..’
‘මේ දවස් ටිකේම මහන්සිවෙලා පාඩම් කරපු නිසා වෙන්න ඇති …අවුලක් නැහැ තව ටිකකින් අඩුවෙලා යයි …
හිතේ තිබ්බ ශක්තිය නිසාම පේපර් එකට ලියන්න පටන්ගත්තා මිසක් මට ඔළුව කෙලින් තියාගෙන ඉන්න තරම් වත් පුළුවන් කමක් තිබ්බේ නැහැ …. අමාරුවෙන් පේපර් එකට ලියලා පුටුවෙන් නැගිටින්න හැදුවත් මට නැගිටින්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ .. ආපහු පුටුව උඩටම වැටිලා මම ඩෙස්ක් එකේ මුහුණ ඔබාගත්තා ….
‘මොණරි බෙහෙත් ගේන්න යමු …’
හිමායා මට කොයි තරම් බල කලත් මම ඒ අදහසට කැමති වුනේ නැහැ …
‘අපේ අම්මා අද මට ලොකු බත් එකක් එවලා …’ ගගුලි බත් පාර්සල් එකක් දිග ඇරියේ අපි හිටිය තැන ඩෙස්ක් එකේ තියලා …බත් එකේ සුවද දැනෙද්දී මගේ කටට කෙල ඉනුවා
‘මොණරි ….උබත් කාපං … ’
‘මොනවද තියෙන්නේ …’
‘පොලොස් ඇබුලුයි මාළු ඇබුල් තියලුයි එක්ක අඹ චට්නි ….බත් එක්ක කාලා බලපන් සසායි …’ අමාලි එහෙම කියලා ලොකු බත් කටක් අනලා කන්න ගත්තා ….
‘ උබට මම කවන්නද ..’ හිමායා මම කියන්නත් කලින් බත් කටක් අනලා මගේ කටට ලංකරද්දී මම ආශාවෙන් ඒ බත් කට කන්න ගත්තා
‘රසයි ගොඩක් ….’ බත් කටවල් හතරක් පහක් කෑවාට පස්සේ පණ නැති ගතිය නැතිවෙලා ඇගට ආවේ ශක්තියක් ….
කට්ටිය කාලා ඉවර වෙලා එළියට බැස්සේ ලොකු කම්පාවකින් වගේ ….
‘දුකයි බන් ගොඩක් …..අදින් පස්සේ අපි මේ ජීවිතෙන් ඈත් වෙනවා කියන එක …… අවුරුදු හතරක් ගෙවිලා ගියා දන්නෙම නැතිව .. ‘’ මලිෂ් කවදාවත් නැතිව ලොකු දුකකින් කතා කරේ …
‘මේ ජීවතේ පට්ටයි බන් ….අපි කරපු පිස්සු වැඩ කවදාවත් අමතක කරන්න බැරිවෙයි …’
‘මට නම් සුවර් අපේ කට්ටියම පාස් වෙනවා කියන එක ….. ’
‘මට බයයි බන් ….මට හිතෙනවා රිපීට් කරන්න වෙයි කියලා ..’
‘මට ජිවිතේ හම්බවුන පට්ටම සෙට් එක උබලා ටික .. මට දුක උබලාගෙන් ඈත්වෙන එක ගැන … ‘’ හැමෝම එක එක කතා කියද්දී මට කතා කරන්න බැරි තරම් දුකයි …. මම කට්ටිය දිහා බලාගෙන හිටියේ මොකුත් කියන්න කට ඇරියොත් කතා කරන්න බැරිව ඇඩෙයි කියලා හිතුන නිසා …..
‘මොකද අපේ මොනරි විතරක් නිහඩ …’ ජනිත් මගේ දිහා බලාගෙන ඉදලා එහෙම අහද්දී නිකන්ම මගේ ඇස් වල කදුළු පිරුනා …
‘මට කියා ගන්න බැරි තරම් දුකයි ……මම ලෝකේ කොයි මුල්ලක හිටියත් උබලා අමතක කරන්නේ නැහැ …’ මම පපුව උඩ අතක් තියාගෙන එහෙම කියද්දී හිමායා මගේ අතකින් අල්ලලා තදට මිරිකුවා
අපි කැම්පස් එකෙන් එලියට බහින්න ඉස්සර වෙලා එක රොත්තට බදාගෙන අඩන්න ගත්තා … හැමෝම හිටියේ ලොකු දුකකින් …..
‘කොන්වකේෂන් එකේදී හම්බ වෙමු කට්ටියම …’
මලිෂ් ,බිනුර ,ගගුලි ,රොනාසා වගේම හිමායත් අපෙන් වෙන්වෙලා හොස්ටල් එක පැත්තට යද්දී මායි අමාලියි අත්වැල් අල්ලාගෙන ගලහා පාර දිගේ පල්ලම් බැස්සා …
‘අමා උබට මතකද අපි හම්බවුන දවස ….. එදා ඉදලා පටන්ගත්ත අපේ යාළුකම බිංදුවක්වත් වෙනස්වුනේ නැහැ ….. උබලා වගේ යාළුවො හම්බවුනේ නැති නම් මම සමහර විට මම කැම්පස් එක දාලා යන්නත් තිබුනා …ඒත් කවදාවත්ම මට එහෙම හිතුනේ නැහැ …..මගේ යාළුවො ටික ඒ තරම් රත්තරන් …’
අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරා … ගලහා හන්දියේදී අපේ අත්වැල් බිදුනේ …. ආයෙම හම්බවෙන පොරොන්දුව පිට …
*****
‘දේව් ….අදම යන්නේ මොකද …. තව ටික දවසක් ඉදලාම ගියා නම් හරි නේ ..’
ගෙදර යන්න ඇදුම් ලැහැස්ති කර කර හිටපු මගේ ලගට ඇවිල්ලා වසන්තා ඇන්ටි ගොඩක් දුකෙන් බලාගෙන හිටියේ
‘මම ඉක්මනින් එන්නම් අනේ …..ඔයා දුක් වෙන්න එපා …’
‘වෙනදා නම් ඔයා එනවා කියලා දැනගෙන බලාගෙන හිටියා ….. ඒත් දැන් ඔයා ආපහු එන්නේ නැතිවෙයි කියලා මගේ හිත කියවනවා …’
වසන්තා ඇන්ටිගේ කටහඩේ තිබ්බේ කනගාටුවක් …… බලාපොරොත්තු කඩවුණු බවක් …. එයාගේ ලේලි වෙලා එයාගේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා කියලා කියන්න ඕන උනත් …..මම මොකුත්ම කියන්නේ නැතිව ලගට ගිහින් එයාව තුරුළු කරගත්තා ….
‘තේමිය අයියා නැද්ද ඇන්ටි …. ’ මම යන්න ලැහැස්ති වෙලා වටපිට බැලුවේ අහම්බෙන් හරි තේමිය අයියා දකින්න හම්බවෙයි කියලා හිතලා …
‘මේ සතියේ ගෙදර එන්නේ නැහැ කිව්වේ …. අර ලමයාගේ ගෙදර යන්න දවස් කියක ඉදලාද කතා කරන්නේ හෙට හෙට කියලා කියනවා මිසක් මේ ළමයා කිසි උනන්දුවක් නැහැ නේ ..’
වසන්තා ඇන්ටිගේ කටහඩේ තිබ්බ කලකිරීම මට අදුරගන්න අමාරු නැති උනත් මට දැනුනේ සතුටක් .
‘අයියා එයාට කැමති නැතිව ඇති ඇන්ටි …..’
‘කැමති නෑ කිවා නම් අපිට ඒ ළමයාට වචනයක් දෙන්න තිබුනා නේ .. එහෙම කියන්නෙත් නැහැ ‘’ වසන්තා ඇන්ටි කිව්ව දේ නිසා තේමිය අයියා ගැන මගේ හිතට තරහක් ආවේ … එයා මට ආදරයක් තිබුනා නම් දැනටමත් තීරණයක් අරන් තියෙන්න ඕන …ඒත් දැන් මට තේමිය අයියා ගැන එන්නේ පිළිකුලක් …. එයා මට ආදරේ කරනවා කියලා කරන්නේ රගපෑමක් ද …
‘ඇන්ටි ඔයා දුක්වෙන්න එපා …ඉක්මනින් හැම ප්‍රශ්නයක්ම විසදෙයි …’
මම ඇන්ටිගේ හිත හදන්න හැදුවත් මගේ හිත හදන්න බැරි විදිහට කැඩිලා බිදිලා විසිරිලා යනවා වගේ මට දැනුනේ …..
දේව් කියන්නේ කවදාවත් ඇඩුව කෙල්ලක් නෙවෙයි …. හිනාවෙවී කැම්පස් ආපු මට කදුළු දුන්න ආදරය ගැන මගේ හිතට ආවේ අපුලක් වගේ හැගීමක් … තේමිය අයියා මාව රැවට්ටුවා නම් මම කවදාවත් එයාට සමාව දෙන්නේ නැහැ කියන එක ස්ථිර කරගත්තා … මම අම්මිට තාත්තිට පිටුපාලා මගේ ආත්මය එයාට පුජා කලේ එයාව ගොඩක් විශ්වාස කරලා .. දැන් එයා මාව මග අරිනවා නම් මොන දේ උනත් මම එයා දෙපතුල ලග වැටෙන්නේ නැහැ කියන එක විතරක් මම හිතාගත්තා …]

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *