~දෙව්දූ ~~44 කොටස

~~~~~දෙව්දූ ~~~~~~
44 කොටස
‘ඔයාට මාව විශ්වාසයි නේද …’ විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ උත්තරයක් ඉල්ලන බැල්මකින්
‘හැමෝම මාව අයින් කරා …හරියට කුණු මාළු කෑල්ලක් වගේ …. මගේ හිත හැදෙන්න වචනෙකින් හරි උදව් කලේ ඔයා විතරයි …. ඉතින් ඔයා විශ්වාස නොකර මම කාවද අයියේ විශ්වාස කරන්නේ ..’
මගේ තොල් වලින් ඒ වචන එළියට එද්දී විකුම් අයියාගේ ඇස් දෙක දිලිසුනේ හිතට ආව සතුටට වෙන්න ඇති ….
‘මට ගොඩක් සතුටුයි දේව් …මම ඔයාව බලාගන්නවා මේ ඇස් දෙක වගේ …’ විකුම් අයියා මගේ ඔලුවේ අත තියලා දිවුරුවා … ටික වෙලාවක් යනකන් අපි අතරේ කිසිම වචනයක් හුවමාරු වුනේ නැහැ …
‘මුළු රෑම මෙතැන ඉන්නද කල්පනාව … දැන් අපි අපේ ගෙදර යමු ..’ ගොඩක් වෙලාවකට පස්සේ විකුම් අයියා එහෙම කිව්වම මගේ හිතට ආවේ අවිනිශ්චිත හැගීම් ගොඩක් …. මම ඇදගෙන හිටියේ තැනින් තැන ඉරිලා තිබ්බ ගවුමක් කියලා මට මතක් වුනේ ඒ වෙලාවේ
‘මේ විදිහට ..’
‘ ඔයා කාර් එක ඇතුලට වෙලා ඉන්න ..මම ගිහින් ඔයාට ඇදුම් ටිකක් අරන් එන්නම් ..’
මම කාර් එකට නැග්ගට පස්සේ කාර් එක ලොක් කරපු විකුම් අයියා ලගම තිබ්බ ෂොප් එකකට ගියා …
‘මේ බලන්න මම ඔයාට ගවුම් දෙකක් ගෙනාවා …… හරි යයිද දන්නේ නැහැ ෆිටෝන් කරලා බලලා හරි නැහැ වගේ නම් කියන්න ..මම මාරු කරන එන්නම් ..’
විකුම් අයියා මගේ අතේ ඇදුම් බෑග් එක තියලා බලාගෙන ඉද්දි මම බිම බලාගෙන හිටියේ ලැජ්ජාව නිසා
‘ සොරි දේව් මම එළියේ ඉන්නම් … ඔයා ඇදුම් මාරු කරගන්න ….’ විකුම් අයියාට ටික වෙලාවක් යනකන් මම ඇදුම් මාරු කරගන්න බැරිව ඉන්න බව අමතක වෙලා ගිහින් තිබුනේ
රෝස පාට දිග ගවුම මටම කියලා මැහුවා වගේ .. අර ජරා ඇදුම ගැලෙවුවාට පස්සේ ඇගට දැනුන සැහැල්ලුවෙන්ම ගවුම ඇදගත්ත මම විකුම් අයියාට ගවුම පෙන්නන්න එලියට බැස්සා
‘හරියට සුරංගනාවියන් අහසෙන් බිමට බැහැලා වගේ ….’ විකුම් අයියා මගේ දිහා බලාගෙන හිටියේ ඇස් අහකට ගන්න බැරිව වගේ .. මම එයාගේ ඇස් මග ඇරලා අහක බලාගත්තේ ලැජ්ජාව නිසා මුහුණ රතුවෙද්දීමයි
‘දැන් ගෙදර ගියොත් අම්මලා කලබල වෙයි …. අපි කාර් එකේ නිදාගෙන හෙට උදේම ගෙදර යමු ..’ අත් ඔරලෝසුව දිහා බැලුව විකුම් අයියා එහෙම කියලා කාර් එකේ ඉස්සරහා ෂිට් එකට ගොඩ වෙද්දී මම පිටිපස්සේ ෂිට් එකේ වාඩිවුනා ….

තද නින්දක හිටිය මම ඇහැරුනේ කවුරු හරි මගේ නම කියලා කතා කරද්දී …. එකපාරටම මට හිතාගන්න බැරිවුනා මම ඉන්නේ කොහෙද කියන එක … නිදිබර ඇස් දෙක අස්සෙන් පෙනුන අපැහැදිලි රූපේ විකුම් අයියාගේ කියලා මතක් වෙන්න මට ටිකක් වෙලා ගියා …
‘ගුඩ් මෝර්නින් දේව් …. ඇහැරෙන්න හොදටම එළිවෙලා …’ කාර් එකේ ෂිට් එකේ වකුටු වෙලා නිදාගෙන ඉන්න මාව දැකලා විකුම් අයියා එලියට එන්න ආපු හිනාව තද කරගත්තා …
‘හොදයි ගැහැණු ළමයි නිදාගෙන ඉන්න විදිහ ….දැන් හොදටම එළිවෙලා ඇහැරෙන්න …’ එයා එහෙම මගේ දිහා බලාගෙන හිටියේ හිනාව මුහුණේ පුරවාගෙනමයි ..
‘ අයියා දැන් අපි ඔයාලාගේ ගෙදර යනවාද …’ මට එකපාරම හිතට ආවේ මේ විදිහට විකුම් අයියලාගේ ගෙදර ගියොත් මොනවා වෙයිද කියන එක …
‘යනවා ඊට ඉස්සරවෙලා කරන්න ලොකු වැඩක් තියෙනවා ..’
‘ඒ මොකක්ද …’
‘කියන්නම් …..ඔයා මම කියන දේට කැමති වෙනවද ..’
‘හ්ම්ම්ම් මට දැන් ඉන්නේ ඔයා විතරයි නේ … ඔයා කියන ඕන දේකට මම එකගයි …මම දන්නවා ඔයා නරක දෙයක් කියන්නේ නැහැ කියලා ..’
‘ ඔයා මාව බදිනවා ද ..’ ටික වෙලාවක් යනකන් මට විකුම් අයියාගේ ප්‍රශ්නේට දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුනා ..
‘කතා කරන්න දේව් …ඔයා කැමති නැත්තම් මේ කසාදෙ කවදාවත් වෙන්නේ නැහැ …. ඔයා කැමති තිරයක් ගන්න …මම ආත්මාර්ථකාමී වෙලා මෙහෙම යෝජනාවක් කරා කියලා හිතන්න එපා ..මම ගොඩක් කල්පනා කරා ඔයා ගැන ඔයාගේ බඩේ ඉන්න දරුවා ගැන … ඔය දෙන්නාට පිහිට වෙන්න මට අවස්ථාවක් දෙන්න … මම මගේ ඇස් දෙක වගේ ඔයාලාව බලාගන්නම් …’
විකුම් අයියා කතා කරේ හදවතින්මයි කියන එක මට එයා කතා කරපු හැම වචනයක් ගානෙම තේරුනා … මම එයා මැරී කරොත් එයාට ලොකු අසාධාරණක් වෙන්නේ … එච්චර වටිනා කොල්ලෙක්ට චරිතය කෙලෙසගත්ත මම වගේ කෙල්ලක් ගැලපෙනවාද ….
‘බැහැ අයියා මට කැමති වෙන්න බෑ .. මම වගේ අවාසනාවන්ත කෙල්ලක් ඔයාට ගැලපෙන්නේ නැහැ .’ මම එහෙම කිව්වේ කිසිම තෙතමනයක් නැති විදිහට
‘ඔයා ආවාසනාවන්ත නැහැ … ඔයා එහෙම හිතන්නවත් එපා … පිරිමියෙක් වගේ නෙවෙයි ගැහැණියක් තනිවුනාම මිනිස්සු ප්‍රයෝජන ගන්න බලන්නේ .. මම කැමති නැහැ ඔයා කවුරුවත් ඉස්සරහා අසරණ වෙනවාට …. මම ඔයාට අනුකම්පා කරලා නෙවෙයි ඔයාව භාරගන්නේ ඇත්තටම ආදරය කරන නිසා … දේව් හා කියලා විතරක් කියන්න ….එතනින් එහාට වෙන දේවල් හැමදෙයක්ම මම බලාගන්නම් ’
විකුම් අයියා එහෙම කිවුවාම මට එයාට එරෙහි වෙන්න බැරිවුනා
‘මම කැමති …’ මම ගොඩක් අමාරුවෙන් ඒ වචනේ පිට කළා …
තේමිය අයියා අතින් ගැහැනියක් වුන මම විකුම් අයියාගේ පතිනිය විදිහට විවාහ රෙජිස්ටාර්වරයා ඉස්සරහා ලියැවිල්ලකට අත්සන් කලේ හැගීම් විරහිත ගැහැනියක් විදිහටයි …මට දුක හිතුනේ විකුම් අයියා ගැන විතරයි … එයාව මැරී කලාට එයා බලාපොරොත්තු වෙන ආදරය මට එයාට දෙන්න බැරි බව මම දැනගෙන හිටියා ….. හැම දෙයක්ම වෙන්න තිබුනේ මේ විදිහට නම් මට මගේ දෛවයට පිටුපාන්න බැහැනේ …. මංගල සාරි ….. තෝඩු මාල ….කිසිම දෙයක් නැතිව මම විකුම් අයියාගේ මනමාලි විදිහට දිවුරුම් දුන්නේ ඇදගෙන හිටිය ගවුම පිටින්මයි ….
‘රණබාහු දිසාසේකරගේ දෙව්දූ කවිෂ්වරී රණබාහු වන මා වික්‍රමසිංහ ආරච්චිගේ විකුම් වික්‍රමසිංහ අද දින සිට මාගේ නීත්‍යානුකූල සැමියා ලෙස භාරගන්නා බව ඔබ ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි …’
ඔය වචන කීපය මගේ වියලී තොල් අස්සෙන් පිටවෙද්දී මට මතක් වුනේ අතීතයේ දවසක කැම්පස් එකේ අක්බාර් කැන්ටින් එකේදී තේමිය අයියාගේ අතින් අල්ලාගෙන යාළුවන් ඉස්සරහා මල් බකට් එකට මුහුණ දුන්න විදියයි .. ඒ අතීතය අන්තිමේට මට ඉතිරි කරේ මොනවාද දුක වේදනාව විතරමයි …මගේ ඇස් වලට කදුළු එයි කියලා හිතුවත් කදුළක් ඇස් වලට ආවේ නැති විදිහ තමයි පුදුමේ ..
*******
‘තාත්තා අපි දෙන්නා මැරී කළා ..’ විකුම්ගේ අම්මයි තාත්තයි පුදුම වෙලා වගේ බලාගෙන ඉද්දි විකුම් අයියා මගේ අතින් අල්ලගෙන හිටියේ මම එයාව අත ඇරලා දුවයි කියලා වගේ ..
‘මේ හදිස්සියේ …. ‘ දුලි ඇන්ටි බලාගෙන හිටියේ මොකද වුනේ කියලා හිතාගන්න බැරි විදිහට
‘ අම්මා දේව්ට මගේ අතින් වැරද්දක් වුනා …. ’ විකුම් අයියාගේ වචන මට දැනුනේ අකුණු සැර වගේ ….මම කවදාවත් හිතුවේ නැහැ එයා මම වෙනුවෙන් එයාගේ දෙමව්පියන්ට මේ වගේ බොරුවක් කරයි කියලා …. මේ තරම් මම ගැන හිතන්න එපා විකුම් අයියේ …..මගේ හිත මොර දුන්නා …..
‘උබ මොකක්ද මිනිහෝ කරේ …මම කොහොමද රණබාහුට මුහුණ දෙන්නේ ….’ විකුම්ගේ තාත්තා කෑ ගහද්දි … විකුම් අයියා මොකුත්ම කියන්නේ නැතිව අහගෙන හිටියා විතරයි …මේ හැමදෙයක්ම මම නිසා කියන එක මගේ හිතට ගෙනාවේ වේදනාවක් ….
‘වික්‍රම කලබල වෙන්න එපා …. මේ දෙන්නාගෙම කැමැත්ත ඒක නම් අපි අකුල් වෙන එකේ තේරුමක් නැහැ .. අනික මැරී කරන්න හිටියේ ඒ දෙන්නා නේ ….. එයාලා කැමති විදිහට දැන් ඒ දේවල් වුනා අපි කෑ ගැහුවා කියලා වුන දේවල් නවත්තන්න බැහැනේ ’
දුලි ඇන්ටි වික්‍රම අංකල් සන්සුන් කරගෙන කාමරයට යද්දී ….විකුම් අයියා හිනාවෙන්න ට්‍රයි කලත් එයාගේ මුහුණේ තිබ්බ වේදනවා මට හොදටම තේරුණා …..
‘අපි අපේ කාමරේට යමු ..’
මගේ අතකින් අල්ලාගත්ත විකුම් අයියාගේ අත හොදටම ශීතල වෙලා ගිහින් තිබ්බේ ….. විකුම් අයියාගේ කාමරේ ආටෝප මොකුත්ම තිබ්බේ නැහැ …. හැමදෙයකම තිබ්බේ හරිම පිළිවෙලක් … කාමරේ එක තැනක විකුම් අයියාගේ ජිවිතේ එක එක අවස්ථා වල ගත්ත පොටෝ කීපයකින් හැඩවෙලා තිබ්බා … ඒ එක ෆොටෝ එකක විකුම් අයියාගේ අතක එල්ලිලා හිටිය පුංචි කෙල්ල මම කියන එක මගේ හිතට ගෙනාවේ දුකක් …. මගේ ලගවත් නැති ඒ ෆොටෝ එයා කොච්චර ආරක්ෂා කරලද … මම බර හුස්මක් අරන් එයා දිහා බැලුවාම මොකුත්ම නොකියා හිනාවුණා ඒ ඇස් වල තිබ්බේ මම ගැන තිබ්බ ආදරේ විතරයි …
‘අද ඉදන් මේ කාමරේ අපි දෙන්නාගේමයි … ඔයාට ඕන දෙයක් තියෙනවා නම් ඉල්ලන්න මම ගෙනත් දෙන්නම් ..’
විකුම් අයියා හැමදෙයක් ම මට කියලා දුන්නේ පුංචි දරුවෙක්ට වගේ … ඕන කරන හැමදෙයක්ම මගේ අතටම ගෙනත් දෙන්න තරම් එයා කරුණාවන්ත වුනා .. වෙන කොල්ලෙක් මැරී කරපු කෙල්ලගෙන් පළවෙනි රාත්‍රියේ බලාපොරොත්තු වෙන කිසිම දෙයක් විකුම් අයියා මගෙන් ඉල්ලුවේ නැහැ ……
‘දේව් නිදාගන්න ….’ බෙඩ් එක රෙඩි කරලා දුන්න එයා බිම ෂිට් එකක් එලන්න ලැහැස්ති වුනා
‘මම ඔතැන නිදාගන්නම් ….. අයියා බෙඩ් එකේ නිදාගන්න ’
‘ පිස්සුද ..මට මෙතන හොදයි …ඔයා ඇදේ නිදාගන්න …’
‘අනේ අයියා මම නිසා ඔච්චර කරදර වෙන්න එපා .. …. මට මේ දේවල් බලාගෙන ඉන්න බෑ.. අනික මට පව් ඔයා බිම නිදා ගද්දි මෙහෙම ඉන්න එක ’
‘කට වහගන්න කිව්වේ … ඔයා මට කරදරයක් නෙවෙයි තේරුනාද …. මොකුත්ම හිතන්නේ නැතිව දැන් නිදාගන්න … ‘
මගේ උරහිස් වලින් අල්ලලා ඇදේ නිදිකරවපු විකුම් අයියා බෙඩ් ෂිට් එකකින් මාව එතුවේ පුංචි ළමයෙක් වගේ ..
‘ වොෂ් රූම් යන්න ඕන නම් මට කතා කරන්න …. දැන් නිදා ගන්න …’
විකුම් අයියා බිත්තියේ එල්ලලා තිබ්බ ගිටාර් එක අතට අරන් ප්ලේ කරන්න පටන් ගත්තා …
‘සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම් ආදරේ …..’
විකුම් අයියාගේ මිහිරි වාදනය මාව නිදිලොවට අරන් ගියේ කොයි මොහොතකද කියලා මම දැනගෙන හිටියේ නැහැ .

ටික දවසකට පස්සේ නිව්ස් බල බල ඉද්දි දැක්ක නිව්ස් එකක් මගේ හිතට සතුටක් ගෙනාවා ….. ඒ අර ගණිකා සේවය සපයන හෝටලය පොලිසියෙන් වටකරලා …. මැඩම් ඇතුළු තරුණියන් හත්දෙනෙක් අත් අඩංගුවට ගත්තා කියන කතාව ….. විකුම් අයියාගේ මැදිහත් වීමෙන් මේ දේවල් සිද්ද වුන බව මම දැනගත්තේ ඊටත් ටික කාලයකට පස්සේ …
විකුම් අයියාගේ ආදරය රැකවරණය නිසා මට කිසිම දුකක් දැනුනේ නැතත් ….දවසින් දවස මගේ බඩේ වැඩෙන දරුවා ගැන මට තිබ්බේ වෛරයක් …. මගේ ජීවිතය විනාශ කළා උබ ….. මට කවදාවත් උබට ආදරේ කරන්න බැරි වෙයි ….. මගේ හිත ඇතුලේ දරුවා වෙනුවෙන් ආදරය වෙනුවට තරහක් තිබ්බේ …. මම උනන්දුවක් දැක්වුවේ නැති මගේ කුසේ වැඩෙන දරුවා ගැන මට වඩා හොයලා බැලුවේ විකුම් අයියා ..
විකුම් අයියා මාව මැරී කරලා මාසයක් යද්දී වික්‍රම අංකල් බිස්නස් වල වගකීම් විකුම් අයියාට පටවලා නිවාඩුවකට ඇමරිකාවේ යන්න ගියාට පස්සේ උනත් විකුම් අයියා මන් ගැන නොසැලකිලිමත් වුනේ නැහැ …. ඉතින් මම වාසනාවන්ත බිරිදක් වෙද්දී …. විකුම් අයියාගේ ආදරය නිසා මම ටිකින් ටික වෙනස් වෙන්න පටන්ගෙන තිබ්බා ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *