~~~~~දෙව්දූ ~~~~~~~~~50 කොටස ( අවසාන කොටස )

දේව් උබ ඇත්තටම විකුම් අයියාට ආදරේ කරන්නේ නැද්ද මම ලක්ෂවාරයක් විතර මගේ හිතින් අහන්න ඇති කොච්චර හිතුවත් මගේ හිත ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ …තේමිය මගේ පළවෙනි ආදරේ ….. ඇට මස් ලේ නහර වලට යනකන් මුසු වෙලා තිබ්බ ඒ ආදරේ මාව රැවට්ටුවාම කාත් කවුරුවත්ම නැතිව මාව අසරණ උනාම මට පිහිටට හිටියේ විකුම් අයියා … වෙන පිරිමියෙක් අතින් අනාථ උන බව දැනගෙනත් එයා මාව කසාද බැන්දා … ඒ ලෝකයා ඉස්සරහා මාව හෑල්ලු වෙයි කියලා එයාගේ හිතේ තිබුන බය නිසා …ඒ තරම් උතුම් මිනිහෙක් මගේ ජීවිතේට ආයෙම හම්බ වෙන්නේ නැහැ … සහතිකයි …අනුන්ගේ දරුවෙක් තමන්ගේ කරගන්න ඒ තරම් ආදරයක් දෙන්න මිනිහෙක්ට පුළුවන් නම් ඒ දේවත්වයට ලංවුන පිරිමියෙක් වෙන්න ඕන ….විකුම් අයියා දෙවියෙක් වගේ මිනිහෙක් …. මගේ කැමැත්තක් නැතිව එකම එක වතාවක් වත් එයා මගේ ඇගට අත තියලා නැහැ … මම හිතන්නේ නැහැ කිසිම පිරිමියෙක්ට ඒ තරම් ආත්ම දමනයක් තියෙයි කියලා ..
‘දේව් බහින්න ….අපි ගෙදර ආවා …’ විකුම් අයියා අපේ ගෙදර මිදුලට කාර් එක හරවනකන් මම හිටියේ බර කල්පනාවක
‘සීයේ අපි ආවා ..’ පුංචි පුතු කාර් එකෙන් බැහැපු ගමන් සීයා හොයාගෙන දුවද්දී මම පොඩ්ඩි හොයාගෙන ගියා … පොඩ්ඩිගේ වෙඩින් එකට දවස් දීලා තිබ්බේ මේ මාසේ අන්තිමට …. කෙල්ලට උදව් කරන්න ගෙදර යමු කියලා කිව්ව ගමන් විකුම් අයියා එක පයින්ම කැමති උනා …
‘පොඩ්ඩි ……. ’ මුහුණ පුරා ගාගෙන හිටපු ස්ක්‍රබ් එක නිසා කෙල්ලගේ දත් ටික විතරයි පේන්නේ …
‘අක්කි ආවාද … මම ඔයා එනවා කියලා දැනගත්ත වෙලාවේ ඉදලා බලාගෙන හිටියේ … ’
‘ඒ මොකෝ වැඩක් කරගන්න තියෙනවාද අක්කිට කියලා …’
‘ඔය මේසේ උඩ වෙඩින් කාර්ඩ් ඩිසයින් වාගයක් ඇති ….හොද එකක් සිලෙක්ට් කරලා දෙනවකෝ ..’
‘ඔයා වොෂ් කරගෙන එන්න අපි දෙන්නාම එකතු වෙලා සිලෙක්ට් කරමු ….’
කෙල්ල දුවලා ගිහින් මුහුණ හෝදාගෙන ආවාට පස්සේ දෙන්නම එකතුවෙලා කාර්ඩ් එකක් තෝරාගෙන සාලෙට ගියේ අනිත් අයගේ කැමැත්ත අහන්න ..
‘අපි කාර්ඩ් එකක් තේරුවා හොදද බලන්න ….’ විකුම් අයියා මම තේරුව කාර්ඩ් එක දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා තාත්ති දිහාවට හැරුනා
‘මේක හොදයි නේද තාත්තා ..’ තාත්ති ඔළුව හෙල්ලුවේ විකුගේ කතාවට එකග වෙලා
‘ඔව් මාත් ඕක තමා තේරුවේ … එහෙනම් මේක ප්‍රින්ට් එකට දෙමු …’ කට්ටියගේම කැමත්තට කාර්ඩ් එක තෙරුවාට පස්සේ හැමෝම එකතු වෙලා වෙඩින් එකේ වැඩ ගැන කතා කරන්න ගත්තා …මගේ වෙඩින් එකත් ගත්තේ නැති නිසා තාත්තිගේ කැමැත්ත උනේ නංගිගේ වෙඩින් එක පුළුවන් උපරිමයට කරන එක …

‘දැන් නංගිත් ගියාට පස්සේ තාත්තලා තනියම මෙහෙ ඉන්න ඕන නැහැ … අපේ ගෙදර ඇවිත් ඉන්න …දේව් තනියමනේ ගෙදරට වෙලා ඉන්නේ ..’
‘..පුන්තා පුන්තා කෝද ඔයා නන්නේ ….’ පුංචි පුතුට අපේ කතාව ඇහිලා නංගි ලගට දුවගෙන ඇවිත් හුරතලෙන් අහද්දී කෙල්ලගේ ඇස් වලට කදුළු ආවා …
‘ඔයාගේ බාප්පිගේ ගෙදර ගිහින් ඉක්මනට එනවා පුතු ’ නංගි පුතු පැටියා තුරුළු කරගෙන ඉකි ගහනවා ..ගොඩක් වෙලා යනකන් දෙන්නාගේ හුරතලේ දිහා බලාගෙන ඉද්දි අපිට කාලය ගෙවෙනවා දැනුනේ නැහැ …
‘රාධා ෆෝන් එක රින්ග් වෙනවා බලන්නකෝ ..’ ෆෝන් එක දීගට රින්ග් උනත් කවුරුත්ම ආන්ස්වර් කරන්න ගියේ නැති නිසා තාත්ති අම්මි දිහා බලද්දී අඩියට දෙකට අම්මි ෆෝන් එක ලග ..
‘දෙවියනේ …. වසන්තා …මොනවා වෙලාද .. ‘’ අම්මි මහා හඩින් එහෙම අහද්දී අපි කට්ටියම එයා ලගට දුවගෙන ගියේ …එයා කෑ ගැහුව විදිහ නිසා … අම්මි ඇස් දෙකේ කදුළු පුරවාගෙන රිසීවර් එක අල්ලාගෙන හිටියා විතරයි .. මොකුත්ම කතා කරන්න එයාට බැහැ …..
‘මොකක්ද රාධා වෙලා තියෙන්නේ ..’ අම්මි ෆෝන් එක තිබ්බ ගමන් ලගම තිබ්බ පුටුවේ වාඩිවෙලා අඩන්න ගත්තා …
‘ඊයේ රෑ වසන්තා බෙහෙත් ගන්න ගිහින් තේමිය පුතා එක්ක .. හදිස්සියේම ආපු කාර් එකක් එයාව හප්පගෙන ගිහින් ….. වසන්තා එතනමලු …’
‘දෙවියනේ …’ මගේ කටින් ඒ වචනේ විතරයි පිටවුනේ මගේ සිහිය විකල් වෙනවා වගේ මට දැනුනේ .. වසන්තා ඇන්ටි මගේ අම්මි තරම් මට ආදරේ කරා නේද .. මම මහා ගුණමකු ගැහැනියක් ඒ තරම් ආදරය කරපු වසන්තා ඇන්ටිව බලන්න යන්න තරම් කෙලෙහි ගුණයක් මට තිබුනේ නැහැ .. තේමිය අයියා මට කරපු වැරදි වලට ඒ අහිංසක ගැහැණි මොනවා කරන්නද ….
‘අනේ අම්ම් වසන්තා ඇන්ටි …මට මේක අදහාගන්න බෑ …එයාට මොකුත් වෙලා නැතිව ඇති ….විකුම් මාව එක්ක යන්න …. මට එයාව බලන්න ඕන … ප්ලීස් මාව එක්ක යන්න ..’
මම ඉකිගහද්දී පුංචි පුතු මහා හයියෙන් අඩනවා …..
‘අපි යමු …… පොඩ්ඩක් ඉවසන්න දේව් …ඔයා කෑ ගහද්දි අර දරුවා අඩනවා ..’ විකුම් අයියාගේ කටහඩේ තරහක් තිබ්බේ …
‘මාව එක්ක යන්න විකුම් අයියා … මම වදින්නම් මාව එක්ක යන්න ..’
වසන්තා ඇන්ටි ගැන මගේ හිතේ තිබ්බ ආදරේ නිසා මගේ හිත ගොඩක් රිදිලා තිබ්බේ …. අම්මි තාත්ති විකුම් මොනවා කිව්වත් මට අඩන එක නවත්ත ගන්න බැරි උනා …

****
හරියටම පැයකට පස්සේ විකුම් අයියයි මායි තාත්තයි පුංචි පුතුවත් අරන් තාත්තිගේ කාර් එකේ නුවර එන්න පිටත්වුනා ….
‘දේව් , මට දුවෙක් නැහැ කියලා දැනුනේ නැහැ ඔයා ලග හිටියේ නිසා ….ඒත් අද ඉදන් ඔයා නැතිව මට ගොඩක් පාළු හිතෙයි …පුළුවන් උන ගමන් මාව බලන්න එන්න මම බලාගෙන ඉන්නවා…’
සදහටම එයාලාගේ ගෙදරින් ආපු දවසේ වසන්තා ඇන්ටි මගේ නළලට කිස් එකක් දීලා ගොඩක් ආදරෙන් එහෙම කිවුවේ … බලන්න එනවා කියලා පොරොන්දු වුනාට මම එයාව බලන්න ගියාද …ගියා නම් එදා ඒ තේමිය අයියා හම්බවෙන්න ගිය දවසයි …එදා මම ඒ ගෙදරින් එන්න ආවේ එයාට යන්නම් කියලා කියන්නෙවත් නැතිව ….එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද …. පේරාදෙණිය තේමිය අයියලාගේ ගෙදර ලගින් මම බහිද්දී මගේ ඇස් දෙකේ කදුළු පිරිලා තිබුනා … විකුම් අයියයි තාත්තයි පුතුවත් වඩාගෙන පස්සෙන් එද්දී මම ඉස්සරහින් ඇවිදගෙන ගියේ අඩාගෙනමයි …..
රූපං ජිරති මජ්ජාණන් …නාම ගොත්තන් නජිරති …
වසන්තා ඇන්ටිගේ ලස්සන පින්තුරක් දාපු සුදු පාට බැනර් එකක එහෙම ගහලා තිබ්බා
කාලයක් මම මනමාලියෙක් වෙලා එන්න හින මැවුව ගේ ඇතුලට මම ඇවිදගෙන ගියේ නුහුරු නුපුරුදු තැනකට යනවා වගේ හැගීමකින් ….
‘ අම්මේ ..දේව් අක්කි ආවා …. ඔයා ගොඩක් ආසාවෙන් නේද හිටියේ දේව් අක්කිව බලන්න ..මෙන්න අද ඔයාගේ දුව ඇවිත් ඉන්නවා නැගිටිලා අක්කිව තුරුළු කරගන්න මගේ අම්මා ..’
මාව දැක්ක ගමන් සදෙව් මල්ලි කෑ ගහලා අඩන්න ගත්තා ….. සුදු පාට සාරියක් ඇදලා හරිම ශාන්ත විදිහට නිදාගෙන ඉන්න වසන්තා ඇන්ටි දැක්ක ගමන් මට කෑ ගහලා ඇඩුනා …
‘ඇන්ටි මට සමාවෙන්න …ඔයාගේ දේව් ඔයාව බලන්න ආවේ නැතිවුනාට සමාවෙන්න …ඔයා මට කොච්චර ආදරේ කලාද … ඔයාගෙම දුවෙකුට වගේ මට සැලකුවේ …ඒත් ..ඒත් …මට ඔයාට සලකන්න බැරි උනා .. මට සමාවෙන්න …. ‘’
වසන්තා ඇන්ටිගේ පණ නැති ශීතල මුහුණ අත්දෙකෙන්ම අතගාන ගමන් මම ඔහේ දෙඩෙව්වා ..
‘දේව් ….. ඔයාට කොච්චර ආදරේ කලාද එයා … ඔයාව බලන්න ආසාවෙන් හිටියේ ..ඊයේ පෙරේදත් ඔයා ගැන මතක් කළා …. එයාට උණ ගත්තා පෙරේදා රෑ ….. තේමිය පුතා බලෙන්ම තමා බෙහෙත් ගන්න එක්ක ගියේ ….. ගෙදර ඉස්සරහින් පාර මාරු වෙන්න යද්දී ආපු කාර් එකක් දෙන්නාව හප්පගෙන ගිහින් තියෙන්නේ හැරිලාවත් බලන්නේ නැතිව …. වසන්තාගේ හුස්ම ගිහින් තියෙන්නේ තේමිය පුතාගේ අත්දෙක උඩ …. ‘’
තේමිය අයියා …එයාට කොහොමද … එයා පේන්නත් නැහැ … මොකුත් කරදරයක් නම් වෙන්න එපා …
‘අංකල් තේමිය අයියාට කරදරයක් නැහැ නේද …’ මම මහා සද්දෙට හිත ගැහෙද්දි සුමිත් අන්කල් දිහා බැලුවා ..
‘දෙවියන්ගේ පිහිටෙන් ඒ දරුවාට කිසි කරදරයක් වෙලා නැහැ …ඔය කැම්පස් එකේ යාළුවො ටිකක් ඇවිත් කුස්සිය පැත්තේ වැඩ ටික බලන්න ගියා ..’
සුමිත් අන්කල් එහෙම කියනකන් මගේ හිත ගැහෙන එක නැවතුනේ නැහැ …
‘අක්කි ඔයා අද ඉදලා නේද යන්නේ …’ සදෙව් මල්ලි එහෙම කිව්වාම මම විකුම් අයියා දිහා බැලුවා එයා මොකුත්ම කියන්නේ නැතිව සද්ද නැතිව හිටියේ ..මගේ කැමැත්තක් කරන්න කියනවා වගේ …
ටික වෙලාවකින් තේමිය අයියා සාලෙට ආවේ අපි ආපු බව ආරංචි වෙලා වෙන්න ඇති …මම පුංචි පුතුව තුරුළු කරගෙනම එයා දිහා බැලුවා … මුහුණ පුරාම රැවුල වවාගෙන හිටියේ තේමිය අයියාගේ කිසිම පිළිවෙලක් තිබ්බේ නැහැ …. දවස් ගානකින් පනාවක් දැක්කේ නැති එයාගේ කොන්ඩේ බෙල්ල වෙනකන් වැවිලා … ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතුවෙලා ඉදිමිලා තිබ්බේ එයා ගොඩක් අඩලා නිසා වෙන්න ඕන ….. ඒ මුහුණ දැක්ක ගමන් හිතේ කොහේදෝ තිබ්බ වේදනාවක් කරන්ට් එකක් වගේ මුළු ඇග පුරාම පැතිරිලා යනවා මට දැනුනේ ….
‘ දේව් .. දැන්ද ආවේ …. ‘’ එයාගේ දුක්බර ඇස් දෙක මගේ පපුවේ ගැස්ම වැඩිකරද්දී මම ඔළුව හෙලෙව්වා
‘අම්මි බිල්ලෙක් ඇවිත් ….’ පුතු පැටියා හෙමින් එහෙම කියුවත් තේමිය අයියාට ඒක හොදටම ඇහෙන්න ඇති …එයාගේ මුහුණ වේදනාවෙන් ඇකිලිලා ගියත් මුහුණ පුරා වැවිලා තිබ්බ රැවුල නිසා ඒ හැගීම් වැඩිය පෙනුනේ නැහැ …..
‘බිල්ලෙක් නෙවේ පුතු ඒ මාමි කෙනෙක් ..’අඩන්න වගේ මුහුණ හදාගෙන මගේ අතේ හිටපු පුතුව අතට ගන්න ගමන් ව්කුම් අයියා පුංචි පුතුට සැර කරන ගමන් මිදුල පැත්තට යද්දී තේමිය අයියා මගේ ලග තිබ්බ පුටුවකින් වාඩිවුනා …
‘අම්මා යන්න ගියා දේව් ….මම කරපු පව් නිසා එයාට සතුටක් දෙන්න මට කවදාවත් බැරි උනා …’
තේමිය අයියගේ ඇස් වලින් කදුලු ගැලුවේ නැවතිල්ලක් නැතිවමයි
‘ඔයා මැරී කලාද …’
‘මට හිත හදාගන්න බැහැ මැරී කරන්න …’
‘එතකොට අනුත්තරා …’
‘මම ආදරේ කරන්නේ නැති කෙනෙක්ව මැරී කරන්න බැහැ මට … මම අනුත්තරාට කිවුවා ….එයා මට බැනලා යන්න ගියා … මම මැරී කලත් එයාව සතුටින් තියන්න බැරිවෙයි ….මාත් දුකට වැටිලා තවත් කෙනෙක් දුකේ දාන්න මට ඕන නැහැ …’
‘ඔයා මැරී කරලා හොදට ජීවත්වෙන්න …ජිවිතේ කාලකන්ණි කරගන්න එපා ඔය විදිහට …’ මට මොන දේ කලත් තේමිය අයියා ජිවිතේ විනාශ වෙනවා දකින්න මට ඕන උනේ නැහැ
මොකුත්ම කියන්නේ නැතිව ටික වෙලාවක් හිටපු තේමිය අයියා එකපාරම මොනවදෝ මතක් වෙලා වගේ පර්ස් එක අතට ගත්තා ..
‘දේව් ….මේ පොටෝ එක බලන්න …’ එයාගේ අතේ තිබ්බේ පරණ පොටෝ එකක් …. වසන්තා ඇන්ටියි අංකලුයි එක්ක පොඩි දරුවෙක් පොටෝ එකේ හිටියා ….. පුංචි එකා මම දැකලා පුරුදු මුහුණක් …. දෙවියනේ මගේ පුතා …
‘මේ කව්ද …’ මම පුංචි එකා ඉන්න තැන ඇගිල්ල තියලා තේමිය අයියා දිහා බැලුවා
‘ඔය මම පුංචි කාලේ …’ මම බයට සුදුමැලි වෙලා යද්දී මගේ වෙව්ලන ඇගිලි අස්සෙන් පොටෝ එක බිමට වැටිලා ගියා .
‘ඔයාගේ දරුවා මම වගේ උනේ කොහොමද දේව් …කියන්න ඒ දරුවා කාගේද ….’ තේමිය අයියා රහසින් වගේ අහද්දී උත්තරයක් නොදී එතනිං යන්න නැගිට්ටා …
‘මට උත්තර දෙන්න දේව් …. ඒ දරුවා මගේද …’
තේමිය අයියාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට ඕන උනේ නැහැ ….
‘ඔයාගේ දරුවෙක් මගේ ලග නැහැ ..ඒ මගේ දරුවා …මම දුක් විදලා හැදුව දරුවා .. දරුවාගේ තාත්ති විකුම් අයියා විතරයි ….ඔයා කවුරුත්ම නෙවෙයි පිටස්තර මිනිහෙක් …. ’ තවත් මොකුත්ම නොකියා විකුම් අයියා ලගට ගිය මම එයා අතේ හිටිය දරුවා අරන් පපුවට තුරුළු කරගත්තා …
‘අපි මෙහෙන් යමු විකුම් අයියා …’
‘දේව් පිස්සු නටන්න එපා ..මේ මිනිස්සු මොනවා හිතයිද ….හිතුවක්කාර නොවී මේ දරුවා ටිකක් නිදිකරන්න …’
විකුම් අයියා සැරෙන් එහෙම කිවුවාම දරුවත් අරගෙන මම මගේ පරණ කාමරයට ගියා …අවුරුදු කීයකට පස්සෙද මම මේ කාමරේට ආවේ ….කොච්චර නම් ආදරණිය දවස් මේ කාමරේ ඇතුලේ ගෙවිලා ගිහින් ඇතිද ..
පුංචි පුතුව නිදිකරවලා ඇද උඩ තියපු මම පොත් මේසේ ලගට ගියා …. හැමදෙයක්ම මම යද්දී තිබ්බ විදිහමයි …. ඒත් කව්රූ හරි කෙනෙක් ලගදී මේ ටේබල් එකේ වැඩ කරලා තියෙනවා … මෙසේ උඩ තිබ්බ නෝට් බුක් එක අතට අරන් මම හෙමිහිට පෙරලද්දී හතරට පහට නවපු කොලයක් බිමට වැටුනා

හන්තාන සිහිනයක පැටලිලා අපි ඈත -ගිය අයුරු පුදුමයකි මහා දුරක් මග නොදැන
කව්ලුවෙන් හමාවිත් ගත දොවන – සුලං රැළි ගෙන ඒවි රත්තරන් ඔබේ සුවද
ලස්සනම සිහිනයකි රෑ පුරා මම දුටුව ….. දෙව්දුවනි ආදරේ තාම මම ඔය හිතට

ආදරණිය දේව් …
දේව් , ඔයාට මේ ලියුම දෙන්න වෙයිද දන්නේ නැහැ ..ඒ උනත් මම ලියනවා ….ඒ මගේ හිතේ ඔයා වෙනුවෙන් ඇතිවුන ආදරේ බොරුවක් නොවෙන නිසා ….. කවදා හරි ඔයා ඒ ගැන දැනගන්න ඕන …… ඔයා දන්නවාද ජිවිතේ පළවෙනි වතාවට ආදරයක් ඇතිවුනා නම් ඒ ඔයා වෙනුවෙන් විතරයි … ඒ ආදරේ සම්පුර්ණ පිරිසිදු ආදරයක් … මම ඉස්සරටත් වැඩිය හොදට දැන් ඒක දන්නවා … මොකද ඔයා ගියාට පස්සේ කාටවත්ම මට ආදරේ කරන්න බැරිවුණ නිසා …
ඔයාව කැම්පස් එකේදී පළවෙනියට දැක්ක දවසේ මට පෙනුනේ ඒන්ජල් කෙනෙක් වගේ ….මම ආදරේ කරන්න ගත්තේ එදා ඉදලා …. ඔයාට ආදරේ කරද්දී මම පිස්සෙක් උනා … සීමාවක් නැතිව මම ඔයාට ආදරේ කරේ ….. ඔයා මගේ උනාට පස්සේ මම ඔයාව රැක්කේ මැණිකක් වගේ …..
ඔයාට තිබුන ආදරේ වැඩි නිසා වෙන්න ඇති ඔයා මාව රැවට්ටුවා කියලා දැනගත්ත දවසේ මට ඔයා ගැන තරහක් ආවේ … පුදුම තරහක් ආවේ ඔයා ගැන … ඔයා බදින්න වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත වෙලේ මම පිස්සෙක් වගේ ඇඩුවේ .. ඔයා ඒ වෙලාවේ ලග හිටියා නම මම ඔයාව මරලා දානවා ..ඒ තරම් කේන්තියක් මට දැනුනේ …. ඔයාගෙන් පලිගන්න මම අනුත්තරාට ලංවුනා …ඒත් ආදරේ කලේ නැහැ …. පස්සේ මට හිතුනා ඔයා මට කරපු දේට ඔයාගේ ජිවිතේ කාලකන්ණි කරන්න ඕන කියලා …මට චාන්ස් එකක් ආවා ……එදා මම ඔයාව මගේ කරගත්තා …මට සතුටක් දැනුනේ ඔයාට වෙන මිනිහෙක් ලගට යන්න බැරිවෙන නිසා ….. ඔයා මගේ ලගට ආවත් මම ඔයාව එලෙව්වේ මගේ හිතේ ඔයා ගැන තිබ්බ පිළිකුල නිසා …. ඒත් එදා ඔයා මට කම්මුලට ගහලා යද්දී මට දැනුනා ….මම මහා මෝඩයෙක් කියලා …ඒ විනාඩියට මට දැනුනා මට ඔයාව ඕනේ කියලා ….ඒත් මම පරක්කු වුනා වැඩි …මම ඔයා ගැන හෙව්වත් කිසිම විස්තරයක් දැනගන්න බැරිවුනා ….
කාලේ ගෙවිලා ගියා ඔයා ආපහු ආවේ වෙන මනුස්සයෙක් එක්ක එයාගේ දරුවත් බඩේ තියාගෙන ..මට ඔයාව ලගට ගන්න ඕන උනත් අර දරුවා නිසා මම පැත්තකට උනා …ඒත් එදා ඉදන් මම මැරී මැරී ඉපදුනා ….. මම කාලකන්නියෙක් උනා ..ආයෙම මට ගොඩ ඒමක් නැහැ …මම සදාකාලිකව විදවනවා ..ඔයා නැති කරගත්ත මේ පව්කාරයාට ආත්මයක් ආත්මයක් ගානේ ඔයා ශාප කරත් ඒ හැම ආත්මයකම මම ඔයාට වැඩි වැඩියෙන් ආදරේ කරයි ….
මේ ඔයාගේ පව්කාරයා
තේමිය
තේමිය අයියා කොච්චර දුක් විදිනවාද …..මගේ හිතට උල් පිහි දහස් ගානකින් අනිනවා වගේ වේදනාවක් දැනෙද්දී මම කොට්ටයක් අතට අරන් කට තද කරගත්තේ …අඩන සද්දේ පිටට ඇහෙයි කියලා දැනුන බයට …..
‘දේව් ….’
විකුම් අයියා ලගට ඇවිත් මට කතා කරනකන් මගේ කදුළු නවත්තගන්න පුළුවන් උනේ නැහැ …ඇද උඩ දිග ඇරලා දාලා තිබ්බ ලියුම අතට ගත්ත විකුම් අයියා මම එපා කියන්න කලින් ඒක කියවන්න ගත්තා …ටික වෙලාවකට පස්සේ මුහුණ වේදනාවෙන් රතුකරගෙන ලියුම එතනම තියලා එයා කාමරෙන් එලියට යන්න ගියා ..
පහුවදා පියුනරල් එකටවත් ඉන්නේ නැතිව අපි ආපහු ගෙදර එන්න පිටත් උනා …විකුම් අයියාගේ හදීසි රාජකාරියක් කිව නිසා කවුරුත් මොකුත් කියන්න ආවේ නැහැ . ….තේමිය අයියා යන්න එපා කියනවා වගේ බැල්මකින් මගේ දිහා බලාගෙන හිටියත් ..මම එයාට ප්‍රතිචාර දක්වන්නේ නැතිව ගලක් වගේ ඔහේ බලාගෙන හිටියා විතරයි ….
දැන් අපිට ආපහු හැරෙන්න බැහැ අපි දෙන්නාම ඒක හොදටම දන්නවා …. තේමිය අයියා ගැන හිතද්දී වේදනාවක් දැනුනත් ඒ ඇයි කියලා මට තේරුම් ගන්න බැරිවුනා
*********
මාස තුනකට පසු
*********
ඊට පස්සේ ගෙවුන හැම දවසකම විකුම් අයියා ටික ටික වෙනස් වෙන්න ගත්තා ..වෙනදා ඔෆිස් වැඩ ඉවර කරලා ඉක්මනින් ගෙදර එන විකුම් අයියා පුළුවන් තරම් රෑ වෙලා ගෙදර එන්න පටන් ගත්තේ අරක්කු බිලා … විකුම් අයියාගේ මේ හැසිරීම මගේ හිතට ලොකු වේදනාවක් ගෙනාවේ ….
මම වෙනුවෙන් මෙච්චර කැපවීම් කරපු විකුම් අයියාගේ හදිස්සි වෙනස් වීම දරාගන්න හිතුව තරම් ලේසි වුනේ නැහැ …. ගෙදර ඉද්දිත් පුළුවන් තරම් තනියම විකුම් අයියා එයාගේ වැඩ ටික කරන්න ගත්තා ….
‘අයියා දෙන්න මම ඔය ටික අයන් කරලා දෙන්නම් ..’ විකුම් අයියා නුහුරු විදිහට ඇදුම් අයන් කරනවා බලාගෙන ඉන්න බැරිම තැන මම එයා ලගට ගියා…
‘අයියා මම මැදලා දෙන්නද ..’ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිව ඇදුම් අයන් කරන විකුම් අයියාගෙන් මම ආපහු අහද්දී උත්තරයක් නොදීම බාගෙට මැදපු ඇදුම අරන් කාමරේට යන්න ගියා
තවත් ටික වෙලාවකීන් වැඩට යන්න ලැහැස්ති වෙලා එලියට බැස්ස එයා ඇදන් හිටියේ බාගෙට මැදපු කමිසේ …මගේ හිත වේදනාවෙන් ගල් ගැහෙද්දි මම එයා ලගට දුවගෙන ගියා ..
‘අයියා ඔයාගේ කොලර් එක හදාගන්න …’ මම එයාගේ කොලර් එක හදන්න ලැහැස්ති වෙද්දී මට ඉඩ නොදී එයාම කොලර් එක හදාගත්තේ මගේ දිහා නිකමටවත් බලන්නේ නැතිව ….
‘අයියා අද කලින් එනවාද පන්සල් යන්න …’
‘අද එන්න බැරිවෙයි වැඩක් තියෙනවා … ඔයා කමලා එක්ක යන්න .. ‘’ තෙතමනයක් නැති විදිහට එහෙම කියපු විකුම් අයියා කාර් එකට නැග්ගා … වෙනදා කාර් එකට නැගලා මගේ දිහා බලලා අත වනන එයා අද කාර් එකට නැගලා යන්න ගියේ පුළුවන් උපරිම වේගයෙන් වෙන්න ඇති …
වෙනදා නැති තරම් දුකකින් මගේ හිත පිරෙද්දී මගේ ඇස් වල කදුළු පිරෙන්න ගත්තා විකුම් අයියාගේ හිතුවේවත් නැති මේ වෙනස මාව හොදටම රිද්දනවා …
දේව් …ඇයි උබ අඩන්නේ …උබ ආදරේ නොකරන මිනිහෙක් වෙනුවෙන් …. කවුද කිව්වේ මම විකුම් අයියාට ආදරේ කරන්නේ නැහැ කියලා …ඇත්තටම මම විකුම් අයියාට ආදරේ කරනවා ….ආදරේ නොකර කෙනෙක් වෙනුවෙන් මේ තරම් වේදනාවක් හිතට දැනෙන්නේ නැහැ ….මම විකුම් අයියාට ආදරේ කරන්න පටන් අරන් …. ඇත්තටම එයා මට කොච්චර ආදරේද ….එයා මොන දුකක් දැනුනත් කවදාවත් මට දුක් වෙන්න දුන්නේ නැහැ …ඒ තරම් උතුම් එයාට මම ආදරේ නොකර ඉන්නේ කොහොමද ….
‘දේව් ඔයා මට ආදරේ ද …’ විකුම් අයියා එහෙම ඇහුවොත් අද මට එයාට දෙන්න උත්තරයක් තියෙනවා ..
හවස් වෙනකන් මට තිබුනේ පුදුම නොඉවසිල්ලක් …. මම . එයා මට අරන් දුන්න ලස්සන ගවුමක් ඇදගෙන කන්නාඩිය ඉස්සරහා හැඩවුනේ එයා මගෙන් හැමදාම ඉල්ලුව උත්තරේ එයාට දෙන්න … …විනාඩියෙන් විනාඩිය බොහොම හෙමිහිට ගෙවිලා ගිහින් හවස් වුනා විකුම් අයියා ඇයි මෙච්චර එන්න පරක්කු … එහෙම හිතලා තවත් පැය භාගෙකට විතර පස්සේ විකුම් අයියාගේ කාර් එක අපේ මිදුලේ නැවැත්තුවා ..මම හිනාවකින් මුහුණ පුරවගෙන කාර් එක ලගට දුවගෙන යද්දී විකුම් අයියා කාර් එකෙන් එලියට බැස්සේ තවත් අමුත්තෙක් එක්කමයි …
‘තේමිය අයියා ..’ මම තවත් අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැතිව හිටිය තැනම නැවතුනා ..
‘දෙන්නා කතා කර කර ඉන්නකෝ …මම ඇතුලට යනවා .’ විකුම් අයියා ගේ ඇතුලට ගියේ මට හිනාවෙන්නේවත් නැතිව
‘දේව් … විකුම් මට හැමදේම කිවුවා …එයා කිවුවා ඔයා කැමැති නම් ඔයාව භාරගන්න කියලා … මම ඔයාට තාම ආදරේ දේව් මගේ පුතත් අරන් මගේ ලගට එන්න ..’
තේමිය අයියා ආයාචනාත්මක විදිහට මගේ දිහා බලාගෙ ඉන්නවා ….. ඒත් දැන් මගේ හිතේ එයාට දෙන්න ආදරයක් නැහැ කියන එක මම දන්නවා …. මම හුස්ම ගන්නේ නැතිව මොහොතක් දෙකක් තේමිය අයියා දිහා බලාගෙන හිටියා …
‘ඔයා ගොඩක් පරක්කුයි තේමිය අයියා ….. මම ඔයාට ආදරේ කරාට වැඩිය අද වෙන කෙනෙකුට ආදරේ කරනවා .. ඔව් විකුම් අයියා දෙවිකෙනෙක් වගේ … මම මිහිපිට දෙවියෙක් අදහනවා නම් ඒ මගේ විකුම් අයියා …. ඔව් මම එයාට ගොඩක් ආදරෙයි …. අද වෙනකන් මට ඒක තේරුම් ගන්න බැරිව හිටියේ …ඒත් ..අද මගේ හිත මට කියලා දුන්නා මම එයාට ආදරේ කරනවා කියලා ….. ඔයා වගේ තමන් ගැන විතරක් නෙවෙයි එයා හිතන්නේ …එයා මන් ගැන හිතනවා මගේ හිත ගැන හිතනවා ..මාව ඔයාට දෙන්න තරම් එයාට මගේ සතුට වැදගත් උනා ….. ඒ වගේ උතුම් හිතක් තියෙන මගේ විකුම් අයියාට පිටුපාලා මම මේ ගෙදරින් අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැහැ …’
වචන ගැටගහගන්න පුළුවන් ශක්තියක් ලැබුණු ගමන් මම වියරුවෙන් වගේ කියවද්දී තේමිය අයියා මගේ දිහා බලාගෙන හිටියේ අදහන්න බැරි දෙයක් ඇහුන මිනිහෙක් වගේ
‘මට සමාවෙන්න දේව් …මට වඩා හොදට විකුම් ඔයාව බලාගයි ….. දන්නවද විකුම් මාව හොයාගෙන ඇවිත් කිව්වේ මොනවාද කියලා ..දේව් උබ නිසා ගොඩක් දුක් විදිනවා ….. එයාව බලාගනින් …මට වඩා හොදට …..එයා සතුටින් තියපන් කියලා ….. ඔයාට මම අතින් වැරද්දක් උනේ ….මම ඒක තේරුම් ගද්දි ගොඩක් පරක්කුයි … මම හිත හදාගන්නම් ….ව්කුම්ගේ හිත බිදින්න එපා … සතුටින් ඉන්න ..ආයෙත් ඔයාලා අතරට මේ තේමිය එන්නේ නැහැ ..බුදු සරණයි දේව් …’
හෙමින් බොහොම හෙමින් උගුර යටින් කතා කරපු තේමිය අයියා මගේ ඔළුව අතගාලා යන්න හැරුනා …හරියට මහා බරක් ඔළුව උඩ පටවා ගත්ත මිනිහෙක් වගේ …. මට සමාවෙන්න තේමිය අයියා …මට කරන්න දෙයක් නැහැ .. මම පිටුපාලා යන එයා දිහා බලාගෙන හිතින් මිමිනුවා ….
තේමිය අයියා යනකන් බලාගෙන හිටපු මම ගේ ඇතුලට දිව්වා විකුම් අයියා පේන්න නැහැ ….කන්නාඩි මෙසේ උඩ පාස් පෝර්ට් එකයි ඇමරිකා යන ටිකට් එකකුයි ..දෙවියනේ එයා මේ ඔක්කොම තේමිය අයියාට භාර දීලා පිටරට යන්නද ලැහැස්ති වුනේ .. මම එතනම බිමට වාඩිවෙලා අඩන්න ගත්තා .. කොහොමද විකුම් ඔයා අපිව දාලා යන්න හිත හදාගත්තේ …
‘දේව් ඇයි මේ අඩන්නේ ..’ විකුම් අයියා මගේ ලගට ඇවිත් ගොඩක් කරුණාවෙන් කතා කරද්දී මම කදුළු ඇස් උස්සලා එයා දිහා බැලුවා ….
‘කියන්න මොකද කියලා ….’
‘ඔයා කොහොමද විකුම් අයියා මාව වෙන කෙනෙක්ට භාරදීලා වෙන රටකට යන්න හිතුවේ ….හිතුවාද මම ජීවත්වෙයි කියලා …. මම මැරෙනවා …මේ දරුවත් එක්ක මැරිලා යනවා …මේ දරුවා ඔයා නැතිව ඉදියිද ..හැමවෙලේම තාත්ති කියාගත්ත ගමන් ඉන්න මගේ දරුවා ඔයා නැතිව ඉදියිද …’ මම මහා හයියෙන් කෑ ගැහුවා කාමරේ දෙවනත් වෙන්න
මම තවත් මොකුත්ම කියන්න කලින් විකුම් අයියා එයා ලගට මාව ඇදලා ගද්දි මම එයාගේ පපුවේ මුහුණ හංගා ගත්තා ….මගේ කදුළු වලින් ඒ පපුව තෙමිලා යද්දී …එයා මොකුත්ම නොකියා මගේ ඔළුව අතගෑවා
‘මාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ….. ‘’ මම එයාගේ මුහුණ ලගට ඇගිලි වලින් ඉස්සිලා එහෙම අහද්දී එයාගේ වේගවත් හුස්ම මගේ මුහුණේ වැදුනා
‘ප්‍රොමිස් … මම ඔයාවයි පුතුවයි දාලා යන්නේ නැහැ …’ විකුම් අයියා මගේ ඔළුවේ අත තියලා දිවුරුවා
‘මම ඔයාට ගොඩක් ආදරෙයි …’ මගේ තොල් වලින් ඒ වචන පිටවෙද්දී විකුම් අයියා දරාගන්න බැරි සතුටකින් මගේ දිහා බලාගෙන හිටියේ ..
‘ඔය වචන ටික අහන්න මම කොච්චර කල් බලාගෙන හිටියාද දේව් …. මම ගොඩක් වාසනාවන්තයි .. මම ඔයාට ආදරෙයි සීමාවක් නැතිවම ආදරෙයි ..’
විකුම් අයියාගේ උණුසුම් තොල් මගේ නළලේ ආදර හාදුවක් සටහන් කරද්දී මම එයාගේ උණුසුම තව තවත් ඉල්ලලා එයාට තුරුළු වුනේ හා පැටියෙක් වගෙයි … මේ ආදරේට කාගේවත් ඇස් වහක් නම් වදින්න එපා විකුම් අයියාගේ පපුවට තුරුළු වෙන ගමන් මම දෙවියන්ගෙන් ඉල්ලුවා ….

අවසානයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *