~~~ දෙව්දූ~~~24 කොටස

ඉතින් ඉස්සරහට එන හැම දවසක්ම ගොඩක් ලස්සන වෙයි කියලා මට දැනුනා …. තේමිය අයියාගේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම කරන්න ශක්තියක් මගේ හිතේ තිබ්බා …
‘අම්මා මම යනවා …’ පහුවදා උදේ තේමිය අයියා කැම්පස් යන්න ලැහැස්ති වෙලා ඇන්ටිට කතා කරනවා ඇහිලා තමා මම කාමරෙන් එලියට බැස්සේ ..
‘පුතා මේ දේව් එක්කම යන්නකෝ …. එකම තැනට නේ යන්නේ …’ ගෙදර දොර ලග හිටගෙන තේමිය අයියා යන දිහා බලාගෙන හිටපු වසන්තා ඇන්ටි තේමිය අයියාට එහෙම කිව්වම එයා මම එනකන් මිදුලේම නතර වෙලා බලාගෙන හිටියා ….
‘ඇන්ටි මම යනවා එහෙනම් …’ මම මිදුලට බැහැලා තේමිය අයියා ලගට අඩියට දෙකට ගියා
‘ ගුඩ් මෝර්නින් දේව් … ’ එයා මගේ දිහා බැලුවේ හරිම ආදරණිය හිනාවකින් මුහුණ පුරවාගෙන … …… ඇස් හිනිකරලා දගකාර විදිහට එයා හිනාවෙද්දි එයා වෙනුවෙන් මුළු හිතම ගලවලා දෙන්න උනත් මට පුළුවන් කමක් තිබුනා . ..
‘ගුඩ් මෝර්නින් අයියා ….’
‘අද මොකද පරක්කු වුනේ ….. ගැහැණු ළමයි පස්සට ඉර එළිය වැටෙනකන් නිදාගන්න හොද නැහැ …. මම හිතුවේ අදත් කැම්පස් යන්නේ නැහැ කියලා ..’
‘ඊයේ රෑ නින්ද ගියෙත් නැහැ අයියා .. එක හොරෙක් ඇවිත් මගේ හිතයි නින්දයි හොරකන් කරගෙන ගිහින් … මුළු රෑ පුරාම නින්දක් නැහැ …. පාන්දර තමා පොඩ්ඩක් නින්ද ගියේ ..’
‘කව්ද දන්නේ නැහැ …ඔය මෝඩ හොරා .. පව් අප්පා ඒ අසරණයා ..’
කට උළුක් කරලා එයා එහෙම කියලා මහා හයියෙන් හිනාවෙන්න ගත්තා
‘ යන්න අයියා ඔයා හරි නරකයි … තරහයි මම ..’ මම බොරු තරහක් පෙන්නලා අහක බලාගත්තා
‘ මගේ මෙන්ටලේ තරහා ගියාද ඔයාට …’
‘ඔව් තරහම තරහයි …කතා කරන්න එපා …’ මම එයාට ගස්සලා අඩියක් ඉස්සරහට ගියා
‘ඔහොම ඉන්නවා පිස්සු කේස් එක …… මට ඔයා එක්ක තරහා වෙන්න බෑනේ ….. මම යාළුයි ..’
එහෙම කියපු තේමි අයියා මගේ දකුණු අතින් අල්ලලා ඇදලා එයා ලගට ගත්තා …
‘අනේ අයියා මේ මහා පාර …. ‘’ මම ලැජ්ජාවෙන් බිම බලාගත්තේ පාරේ ගිය දෙතුන් දෙනෙක් අපි දෙන්නා දිහා බල බලා ගිය නිසා
‘ඉතින් ..’
‘කැම්පස් එකේ කවුරු හරි දකී …’ මම අත ගලවගන්න ට්‍රයි කලත් එයා ඉඩදුන්නේ නම් නැහැ
‘ඉතින් දැක්කදෙන් …හැමෝම දැනගයි ඔයා මගේ කියලා …එතකොට කැම්පස් එකේ එක කොල්ලෙක්වත් ඔයා දිහා බලන්නේ නැති වෙයි ..’

‘අපෝ මෙහෙමත් ඉර්ශ්‍යා කාරයෙක් …’
‘එහෙම තමා …..මම ආදරේ කරන කෙනාට වෙන කොල්ලෝ පැණිය දානවාට මම කැමති නැහැ …’

එයා අල්ලාගත්ත මගේ අත කැම්පස් එක ගිහිල්ලත් අතඇරියේ නැහැ … කැම්පස් එකේ කෙල්ලෝ අපි දිහා බලාගෙන හිටිය කටවල් ඇරගෙන … තේමිය අයියාට කැම්පස් එකේ ගොඩක් කෙල්ලෝ ලයින් පාර දාගෙන නේ ඉන්නේ උන්ට අද සෑහෙන්න රිදෙන්න ඇති …. අපි දෙන්නා එකට එනවා දැකලා

‘ අඩෝ බොක්ක …. උබත් එහෙනම් හිච් වුනා ’
චමත් අයියා අපි දෙන්නා ලගට ආවේ මහා හඩින් කෑ ගහගෙන
‘ඔව් ඉතින් මොකද මල්ලි උබට ජෙලස්ද ..’
‘නැහැ මචං මට දුකයි උබ ගැන …අද ඉදන් උබත් හිරේ …..දැන් ඉතින් අපේ බැච් එකේ තනිකඩයන්ගේ ලිස්ට් එකේ ඉතිරි වෙන්නේ මම විතරයි …. දෙන එකාට දෙයියෝ එකට දෙක දෙනවා අපිට එකක්වත් නැහැ ..’
‘ කෙල්ලෝ උබ වගේ පබයොන්ට කැමති වෙන්නේ නැහැ අපි වගේ හැන්ඩි කොල්ලොන්ට තමා කැමති වෙන්නේ ..’
යාළුවො දෙන්නා එක එක විකාර කියවගද්දි මම ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියේ කොයි වේලාවේද මෙතනින් පනින්නේ කියලා හිත හිත ….
‘අයියා ලෙක්චර් එක පටන් ගන්න කලින් යන්න ඕන …’
මම එහෙම කිව්වේ උදේ ලෙක්ච එක පටන් ගන්න වෙලාවත් හොදටම ලන්වෙලා තිබ්බ නිසා …
‘ඔයා යන්න එහෙනම් ..ලන්ච් වලදී හම්බවෙමු ….’
තේමිය අයියාට යන්නම් කියලා චමත් අයියාට අතත් වනලා මම ක්ලාස් එක දිහාවට යන්න හැරුනා ..
‘හරි නංගි දවල්ට නාන්න ලැහැස්ති වෙලා එන්නකෝ ..’
මම යන්න ඇරලා චමත් අයියා කෑ ගහලා එහෙම කියද්දී මට හිතුනේ දවල්ට මෙයාලා මොකක් නමුත් වෙඩිමක් කරන බවයි …. කැම්පස් එකේ මල් බකට් ගැන අහලා තිබ්බත් මම කවදාවත් හිතුවේ නැහැ මට මල් බකට් කන්න වෙයි කියලා
****
හිතේ තිබ්බ සැහැල්ලුව නිසාම එදා වෙනදට වඩා හොදට පාඩම් වැඩ ටික කරගන්න මට පුළුවන් වුනා ..
‘අද නම් එක්කෙනෙක් මාර සතුටින් ඉන්නේ …’
යාළුවො සෙට් එකටම මගේ වෙනස තේරිලා වගේ ….
‘මොකද ඈ මේ වෙනසට හේතුව .. පහු ගිය දවස් ටිකේම මුහුණ දික්කරගෙන ඉදලා ….මෙන්න බොලේ අද තනියෙනුත් හිනාවෙනවා … ‘’
කට්ටිය විහිලු කරද්දී මම හිනාවෙලා ඒ ඔක්කොම අහගෙන හිටියා මිසක් මොකුත් කියන්න ගියේ නැහැ …
‘හොයලා බලන්න වටින දෙයක් මචංලා … ’
මහා වැස්ස නිසා කට්ටිය කුඩත් ඉහලාගෙනම විහිලු කර කර අකබාර් හෝල් එක පැත්තට ඇවිදගෙන ගියා …..
‘මේ ඉන්නේ මනමාලී …’ එක පාරටම සින්නො ටිකක් ඇවිත් මාව වටකරගත්තා … චායා ,නිදියා වගේම චමත් එතන හිටියා වුනත් තේමිය අයියා නම් පේන්න හිටියේ නැහැ … එකපාරටම හිත ගැහෙන්න ගත්තේ නුපුරුදු බයකින් මේ මොකක්ද මේ වෙන්න යන්නේ … එන පොට නම් හොද නැහැ වගේ අපේ සෙට් එකත් පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා ……
‘චායා …උබලා මනමාලිව සරසපන් …අපි මනමාලයා එක්කන් එන්නම් ….’
කෙල්ලෝ ටික මාව ඇදගෙන පැත්තකට ගිහින් මල් වලින් හදපු මාලයක් බෙල්ලට දාලා මල් ක්‍රවුන් එකක් ඔළුවට දාලා කොන්ඩෙත් මල් ගහලා අතට මල් පොකුරක් දුන්නා …
‘ආ ..මේ ඉන්නේ මල් මනමාලී වගේ …’ චායා අක්කයි නිදියයි මගේ දෙපැත්තෙන් හිටගෙන අත්දෙකෙන් අල්ලා ගෙන ඉස්සරහට යද්දී කොල්ලෝ ටික තේමිය අයියාව ඇදගෙන ආවා … එයාගේ බෙල්ලෙත් මල් මාලයක් දාලා තිබ්බේ ….එයත් යාළුවන්ට මේ වගේ මල් බකට් දීලා තියෙන නිසා ….. වැඩිය ගානක් නැහැ වගේ ..
‘හරි මනමාලයා දැන් මනමාලිව මේ වාහනේ තියලා පෝරු මස්තකයට අරන් යමු ’
අපි ඉස්සරහා තිබ්බේ මල් වලින්ම සරසලා තිබ්බ විල් බැරෝ එකක් … තේමිය අයිය මාව එයාගේ අත් දෙකින්ම උස්සලා වතුර පිරුණු විල් බැරෝ එකේ තිබ්බේ මලක් වගේ හරි පරිස්සමට … මහා වැස්සේ තෙමි තෙමිම කැන්ටින් එක පැත්තට විල් බැරෝ එක තල්ලු කරගෙන යද්දී ශීතලේ ගැහි ගැහී මල් පොකුරත් තුරුළු කරන් මම මඩ වෙච්ච බිම දිහාම බලාගෙන හිටියා….
කැම්පස් එක පුරාම හිටිය කොල්ලෝ කෙල්ලෝ අපි පස්සේ පෙළට ආවේ වැස්ස කියලාවත් බලන්නේ නැති ව ….
සීනියර් ජුනියර් හැම බැච් එකකම වාගේ ළමයින්ගෙන් ඒ වෙලාවේ කැන්ටින් එක පිරිලා ගිහිල්ලා තිබ්බේ …. තේමිය අයියා එයාගේ අත්දෙකින්ම උස්සගෙන ගිහින් බංකුවක් උඩ මාව තිබ්බාම …වට පිටේ හිටිය හැම කෙනාම ඇවිත් අපි දෙන්නාව වට කරගත්තා …

‘දැන් මේ යුවලගේ විවාහය චාරිත්‍ර ඉෂ්ට කරන්න තියෙන්නේ …. නව යුවළ පෝරුවට නගිමු ’

මම වාඩිවෙලා හිටිය බංකුව පෙන්නලා චමත් අයියා එහෙම කිව්වම තේමිය අයියයි මමයි දෙන්නම බංකුව උඩට නැග්ගා…

‘ පළමුව තමතම තමන්ගේ මල් මාලා දෙන්නම මාරු කරගමු …’
තේමිය අයියා එයාගේ බෙල්ලේ තිබ්බ මල් මාලේ මගේ බෙල්ලට මාරු කරද්දී මම මගේ මල් මාලේ එයාගේ බෙල්ලට දැම්මා …

‘හ්ම්ම්ම්ම් දැන් …. මනමාලයා මම කියන වගන්තිය කියන්න …’
‘ රබ්බඩ මුදියන්සේලාගේ ඇටමාරිස් වෙන මා මෙහි සිටින කටකැඩී ආරච්චිගේ මොනරි සමග අතිනත ගන්නා බවත් අද සිට ඇරබෙන යුග දිවිය දිවි ඇතිතෙක් සාමකාමිව ගතකරන බවත් …. අන් ලදුන් සොයා නොයන බවත් ….. අනාගත සදහා ක්‍රිකට් කණ්ඩායමක් සදන්නට දිවිහිමියෙන් උත්සහා කරන බවත් කටකැඩි ආරච්ච්ගේ මොනරි ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි …’

හරි සිරියස් විදිහට තේමිය අයියා එහෙම කියද්දී හිනා යන්න ආවත් අමාරුවෙන් මම හිනාව පාලනය කරගත්තා ….හා හා පුරා කියලා තේමිය අයියාගේ කාර්ඩ් එක දැනගත්තෙත් අදනේ මම …
‘හරි දැන් මනමාලි කියමු වගන්තිය ..’
‘කටකැඩි ආරච්ච්ගේ මොනරි වන මා රබ්බඩ මුදියන්සේලාගේ ඇටමාරිස් සමග අතිනත ගන්නා බවත් අද සිට ඇරබෙන යුග දිවිය දිවි ඇතිතෙක් සාමකාමිව ගතකරන බවත් …. කිසිවිටෙක ඇටමාරිස්ට විරුද්ධව කොසු මිට අතට නොගන්නා බවත් …. අනාගත ජනගහණය දෙගුණ කිරීමට ඔහුට උදව් කරන බවත් ඇටමාරිස් ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි ..’

හිනාවක් මුහුණට එන්න ආවත් ලැජ්ජාව නිසා හිනාවෙන්නත් මට අමතක වෙලා තිබ්බේ … අපි වට කරගෙන හිටපු කොල්ලෝ කෙල්ලෝ අතරේ අනුත්තරත් මුහුණ රතුකරගෙන බලාගෙන ඉන්නවා …එයාගේ ඇස් වල ඊර්ෂ්‍යාව උතුරලා පිටාර ගලන්න ලංවෙලා වගේ .. දැන් ඉතින් තේමිය අයියා මගේ කියලා මුළු කැම්පස් එකම දන්නවා …. මම ආඩම්බරෙන් තේමිය අයියාට ගොඩක් ලන්වුනේ අනුත්තරාට පේන්නත් එක්කමයි …

‘ඔබේ අතගෙන පෙර සැදෑවක ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා කියලා හැමෝම මේ නව යුවළට සුභ පතලා ප්ලේන්ටියකින් සප්පායම් වෙලා ඉමු ’

කැන්ටින් එකේ හිටිය හැමෝම ඇවිත් එක එක දේවල් කියලා අපි දෙන්නාට විශ් කරද්දී තේමිය අයියා මගේ අතින් හයියෙන් අල්ලාගෙන හිටියා .. අනුත්තරා නම් බලාගෙන ඉන්න බෑ වගේ මට ගස්සාගෙන කැන්ටින් එකෙන් එළියට බැස්සා …

‘අපි බැලුවා ඒත් අද උදේ ඉදලා මේකි මනමාල කමට ඉද්දි මොකක් හරි තියෙනවා කියලා . සුභ පැතුම් ඈ ….’
අපේ කට්ටිය මාවයි තේමිය අයියාවයි වට කරගත්තේ එහෙම කියන ගමන්මයි …

‘ කොහොම හරි කැම්පස් එකේ ලස්සනම කොල්ලෙක් අල්ලා ගත්තා නේ ..’
වැස්ස නිසා හොදටම තෙමිලා හිටියත් ඒක එච්චර දැනුනේ නැත්තේ හිත ගොඩක් උණුසුම්ව තිබ්බ නිසා වෙන්න ඇති …. බොරුවට සිද්ද වුන මැරේජ් එකක් උනත් මට දැනුනේ එයා මටම කියලා ලියලා දුන්නා වගේයි ….අදින් පස්සේ අපිට හැමෝටම රහසින් ආදරේ කරන්න වෙන්නේ නැහැ නේ …. අපේ ආදරේ අද ඉදන් ප්‍රසිද්ධ රහසක් …

‘ දැන් ඉතින් මගේ වයිෆ් මම කියන විදිහට ඉන්න වෙයි හරිද ..’
අර මම ආසම හිනාවෙන් මුහුණ සරසාගෙන එයා හරි ලස්සනට එහෙම කියද්දී මම ගොඩක් ආදරෙන් එයාගේ අතින් තද කරලා අල්ලාගත්තා …
‘ එහෙමයි ස්වාමිනි ..’
‘මගේ මැන්ටලේ …පිස්සු හෝන්තුව ..දැන් ගෙදර ගිහින් හොදට නාන්න නැති නම් හෙම්බි හැදෙයි …’
එයා මාව ගේට්ටුව ලගට එනකන් ඇරලාලා බලාගෙන ඉද්දි මම අමාලිත් එක්ක ගලහා පාර දිගේ පල්ලම් බැස්සා …
මතු සම්බන්ධයි …….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *