~දෙව්දූ~~47 කොටස

~~~දෙව්දූ~~~~
47 කොටස

‘මට ඔයා එක්ක කතා කරන්න දෙන්න දේව් … ඔයාගේ ආදරේ මම නැති කරගත්තා … ඒ දවසේ ඉදලා මම මැරී මැරී ඉපදුනා කියලා ඔයා දන්නවද … එක දවසක්වත් මට හරියට නින්ද ගියේ නැහැ … ඇහැ පියවූනු ගමන් මතක් වුනේ ඔයාව …. ’
තේමිය අයියා හැමෝම ඉස්සරහා එතැනින් යන්න නොදී මගේ අතින් අල්ලාගත්තේ .. වට පිටේ මිනිස්සු බලාගෙන ඉන්නවා කියලා අමතක වෙච්ච ගානටයි …
‘මාව අතඅරින්න මට ඔයාගේ දුක අහන්න ඕන නැහැ …මට රත්තරන් මහත්තයෙක් ඉන්නවා … මේ මුළු ලෝකෙටම වැඩිය එයා ආදරේ කරන්නේ මට …. මම ඔයාට ආදරේ කරාටත් වැඩිය එයා මට ආදරේ කරනවා … වෙච්ච හැම දෙයක්ම අමතක කරලා …ඔව් ඒ හැමදෙයක්ම අමතක කරලයි එයා මට ආදරේ කරන්නේ ..දන්නවද මම මහා පාරේ අසරණ වෙලා ඉද්දි එයයි මට පිහිට වුනේ … එයා හැමදෙයක්ම දැනගෙන මාව භාරගත්තා …. ඔයා පුංචිම පුංචි සැකයක් හින්දා මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කළා …. ඔයා මාව අයින් කරලා දැම්මේ සෙල්ලම් කරලා ඉවර උනාට පස්සේ විසික් කරපු කරපු සෙල්ලම් බඩුවක් විදිහට …එදා ඉදලා මේ ඇස් වලින් වැටිච්ච කදුළු කොච්චරක්ද කියලා දන්නවාද ඔයා …. ඇඩුවා මම කෑ ගහලා ඇඩුවා ඒත් මගේ හිත හදන්න කවුරුත්ම හිටියේ නැහැ … දන්නවද මම කොච්චර දුක් වින්දද කියලා … ඇති …දැන් ඇති ආයෙමත් ඕන නැහැ …එන්න එපා මගේ ජීවිතේට …ආයෙමත් නම් එපා …..මට ඔයාව එපා … ‘’
මගේ හිතට ආපු ආවේගය වචන වලට පෙරලද්දී තේමිය අයියාගේ අත මගේ අතින් ගැලවිලා ගියා … ඒ මුහුණ කළුවෙලා කට ඇදවෙලා ගියේ එයාගේ හිත හොදටම රිදිලා තිබුන නිසා වෙන්න ..තේමිය අයියාව රිද්දන්න ලැබිච්ච එක ගැන මගේ හිතට දැනුනේ සතුටක් … රිද්දපන් දේව් රිද්දපන් … මේ උබගේ ලස්සන ජීවිතය උබෙන් උදුරාගත්ත නරුමය …උබට මෙයා නිසා මොනවාද නොවුනේ … උබව නැත්තටම නැති කරපු මෙයාගේ හිත පුළුවන් තරම් රිද්දලා සතුටුවෙයන් ..මේක අවසාන අවස්ථාව වෙන්න පුළුවන් …එයාට ජීවිතේ පුරාම විදවන්න පුළුවන් තරම් රිද්දපන් …මගේ හිත එහෙම කියද්දී … මම හිනාවුනා ….
‘දැනෙනවාද වේදනවා …ආදරේ කරපු කෙනෙක් පිටුපෑවාම දැනෙන දුක දැනෙනවා නේද ….මාත් ඔය විදිහට විදෙව්වා … හිත හදාගන්න බැරිව කොච්චර විදෙව්වාද …. මම හැම දෙයක්ම එපා කියලා ඔයාට ආදරේ කරේ ….ඔයාව විතරක්මයි මට ඕන උනේ …මට ගොඩක් ආදරේ කරපු අම්මි තාත්තිට පිටුපාලා මම ඔයාට ආදරේ කරපු එකට මම ගොඩක් පසු තැවෙනවා ….මුළු ජිවත කාලෙම ඔයාව මතක් වෙද්දී මට සතුටක් දැනෙන එකක් නැහැ මට මන් ගැනම පිළිකුලක් දැනෙයි …. ඔයාට ආදරේ කරාට ..ඔයාව විශ්වාස කරාට … ආයෙම මගේ ඉස්සරහට ඇවිත් ඔය කටින් මගේ නම කියන්න එපා …. ’
හුස්මක්වත් ගන්නේ නැතිව මම කියන දේවල් අහගෙන හිටිය තේමිය අයියාගේ ඇස් වේදනාවෙන් ඇකිලීලා යන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ …. හිත හෙමින් හෙල්ලුනත් මම සැලෙන්නේ නැතිව ඒ ඇස් දිහා බලාගෙන හිනාවුනා …
‘ දේව් …ඇති …තවත් එපා …මට ජීවත්වෙන්න බැරි වෙයි ….’ උගුර යටින් ගලාගෙන ආව තේමිය අයියාගේ ප්‍රතාපවත් කටහඩ වෙව්ලුවා …
‘ඉතින් මැරිලා පලයන් ……. ’ ඒ වචන ටික පිට උනේ මගේ කටින්මද කියලා පුදුමයි … දෙව්දු මෙච්චර නරුම කෙනෙක් උනේ කවදාද ..
‘ මම ජිවත්වුනත් …. මැරී ..මැරී ජීවත්වෙන්නේ ….. ඔයාගෙන් සමාව ගන්න ඕන උනත් … ඒ වෙනකොට මම ගොඩක් පරක්කු වෙලා … ඔයා මගේ ජීවිතෙන් ගොඩක් දුරට ගිහින් … එදා ඔයා අපේ ගෙදර ආවාට පස්සේ මම ඔයාව තියා ගත්තා නම් …. අද මේ ලෝකේ වාසනාවන්තම මිනිහා මම …. ඔයා මගේ කම්මුලට ගහලා ගියාට පස්සේ මට තේරුනා ….මම නැති කරගත්තේ මගේ ජීවිතේට ගොඩක් ඕන දේ කියලා … මම ඔයාව රිද්දන්න කරපු දේවල් නිසා අන්තිමට මටයි රිදුනේ …. කොහේ ගියත් ඔයා මගේ ලගට එයි කියලයි මම හිතුවේ ….ඒත් මට වැරදුනා …..මම ඔයාව නැති කරාගත්තා ….. විශ්වාස කරන්න දේව් මට වෙන කාටවත් ආදරේ කරන්න බැහැ …. මගේ ජීවීතේට ඕන එකම එක කෙනයි ….. ඒත් …ඒත් ….මම ගොඩක් පරක්කුයි … මම ඔයාව හොයාගෙන ගියා .. ඔයා ගැන කිසිම තොරතුරක් මට කවුරුත්ම කිව්වේ නැහැ … මම පැරදුනා දේව් එදා ඉදලා මම ඔයා කවදා හරි ඔයාව හම්බවෙයි කියන අරමුණින් ජීවත්වුණේ .. ..මම දැනගෙන හිටියා කොහේ හිටියත් ඔයා කොන්වකේශන් එකට එනවා කියලා …. අද උදේ ඉදලා අර ගේට්ටුව ලගට වෙලා මම බලාගෙන හිටියා ඔයා එයි කියලා …. ඔයා ආවාට පස්සේ ඔයාගෙන් සමාව ඉල්ලන්න මට ඕන උනා … ඔයා ආවා …. ඒ තනියම නෙවෙයි ….ඔයාගේ මහත්තයා එක්ක … ලොකු බඩකුත් එක්ක ….. මගේ හීනේ වෙන කෙනෙක් අයිති කරගෙන …… මට අඩන්න ඕන දේව් …ඒත් මේ ඇස් වලට කදුළු එන්නේ නැහැ ……. මාව පැලිලා මැරෙයි … දේව්…’
තේමිය අයියා ඇත්තටම පසුතැවෙනවාද .. තරහෙන් පිරිලා තිබ්බ මගේ හිත දියවෙලා යද්දී මාස ගානක් ගල්වෙලා තිබ්බ හිතේ හැගීම් ඔක්කොම කදුළු වෙලා ඇස්වලින් එළියට එන්න දැගලුවා ……තවත් මොහොතක්වත් එතැන ඉන්නේ නැතිව මම එතැනින් ඉස්සරහට දුවගෙන ගිහින් අන්තිමට නතර වුනේ සරච්චන්ද්‍ර වල ලග ….. හැම දෙයක්ම ඒ විදිහටම තිබුනා උනත් වෙනදා තිබ්බේ නැති ලොකු අඩුවක් එතන තිබ්බා .. හැමදාම ලස්සන ලා රෝස පාට මල් වලින් පිරෙන රොබරෝසියා ගහ මුලින්ම කපලා දාලා … වෙනදා නැති මුසල පාටක් පරිසරයම පුරාම පැතිරිලා ගිහින් තිබ්බේ … රොබරෝසියා ගහ යට තේමිය අයියා එක්ක දොඩමළු වෙච්ච දවස් කොච්චර නම් තිබ්බද.. අපි කොච්චර හීන මැවුවාද …ඒ හීන නැතිවෙලා ගියෙත් මේ ගහ කපලා දැම්ම විදිහටම නේද කියන එක මගේ හිතට ගෙනාවේ පුදුමාකාර කනගාටුවක් ……
‘දේව් …..’
මම කදුළු වලින් පෙගිලා තිබ්බ ඇස් උස්සලා බලද්දී මගේ ලග හිටගෙන හිටිය හිමායා මගේ ලගින්ම වාඩිවෙලා මගේ අතකින් අල්ලා ගත්තා ..
‘සමාවෙයන් දේව් ….. මට උබට උදව් කරන්න බැරි උනා …. උබ එදා මටත් නොකියා අපේ ගෙදරින් ගිහින් තිබ්බේ … ’
‘ඔයා වැරදි නැහැ හිමා … මගේ ලැබීම ඒක ……ඔයාගේ අම්මා එදා කිව්වේ බොරු නෙවෙයි නේ අනික ’
හිමායාගේ අතක් උඩින් මම මගේ අතක් තිබ්බා …
‘ අපේ අම්මලා හරි පරණ තාලෙට හිතන පතන අය දේව් …එදා උබට උදව් කරන්න බැරිවෙච්ච මම යාලුවෙක්ද දේව් ..’
‘පිස්සි …. විකාර හිතන්න එපා …. ’
හිමායා පසුතැවිලි වෙද්දී මම එයාගේ හිත හැදුවා …
‘දැන් මාස කීයද මෙයාට ….’ මගේ බඩ බඩ දිහා බැලුව හිමායා බඩ උඩ අතක් තියලා ආදරෙන් අතගෑවා …
‘නවයයි ..එයා ගොඩක් වද දෙනවා මට .. ඉක්මනට මාව ඔයා ලගට ගන්න අම්මි කියනවා වගේ ’ කවදාවත් නැතිව මගේ හිතේ දරුවා ගැන තිබ්බ තරහත් අඩුවෙලා ගිහින් තිබ්බේ …
‘උබ දුකින්ද …. දේව් …’ මගේ මුහුණ දිහා බලාගෙන හිටපු හිමායා එක පාරටම එහෙම ඇහුවා
‘දුකින් …… මොන දුකක්ද …විකුම් වගේ හොද හස්බන්ඩ් කෙනෙක් ඉද්දි මොන දුකක්ද හිමා ..’ අඩන්න බැරි කමට මම හිනාවුනා
‘එතකොට උබ තේමිය අමතක කරලා දැම්මද ….’
‘අමතක කරලා ඉන්නේ … සදහටම එයාව අමතක කරලා දැම්මා මම … ආයේ හිනේකින්වත් මට එයාව මතක් වෙන එකක් නැහැ ..’
මම හිතට හොරෙන් එහෙම කිවුවා උනත් හිමායා තේරුම් ගන්න ඇති ඒක කවදාවත් මට කරන්න බැරිදෙයක් කියලා …
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ

වැහි පබළු යට රගමඩල මැත
ඔබේ… දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය ලසෝ රඟ හළ
අමාවක අදුරේ…නොඑනු මැන ළදුනේ

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ වඩින තුරු සඳ
දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ

වල මැද නාට්‍යක් පුරුදු වේවි හිටිය කොල්ලෝ කෙල්ලෝ රංචුවක් සිංදු කියනවා …. මට දැනුනේ තේමිය අයියා මගේ ඉස්සරහා හිටගෙන ඒ සිංදුව කියනවා වගේ … ඇස් වලට කදුළු එන්න දගලද්දී මම හයියෙන් ඇහිපිල්ලම් ගැහුවේ හිමයාගෙන් මගේ ඇස් වල කදුළු හංගගන්න ..
‘අපි යමු තව පැය භාගයයි තියෙන්නේ උත්සවේ පටන්න …….’
මගේ අතින් අල්ලාගෙන හිමායා නැගිට්ටේ එහෙම කියාගෙනමයි ..

*********
කළුපාට උපාදි ලෝගුව යටින් මට දැනුනේ මහා බරක් මගේ ඇගට පැටවුණා වගේ .. හැමෝගෙම අත්පොළසන් හඩ මැද්දේ රූකඩයක් වගේ උපාදි සහතිකය අතට ගත්තාට මේ කැම්පස් බිමේදීම මගේ ජිවිතය මට නැතිවුනා කියන එක විතරමයි මට දැනුනේ …..
හැගීම් එක්ක අතරමං වෙලා හිටිය මට පෙනුනේ විකුම් අයියා පැත්තකට වෙලා හිනාවකින් මුහුණ පුරවාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා ….. අනිත් පැත්තේ තේමිය අයියා කිසිම හිනාවක් නැතිව ගොඩක් දුකින් මගේ දිහා බලාගෙන ඉන්නවා …….
උපාධි සහතියක අතේ තියාගෙන මම විකුම් අයියා දිහා බැලුවාම එයා ඇස් වලින් මට කතා කරද්දී තවත් මොකුත්ම හිතන්නේ නැතිව එයා ලගට දුවගෙන ගිහින් ජිවිතේ පලවෙනි පාරට මම ගොඩක්ම ආදරය කරපු තේමිය අයියා ඉස්සරහාදිම එයාගේ බෙල්ලේ එල්ලුනේ හැමෝම අමතක කරලා ….
‘සතුටුයි නේද දැන් …… ’ විකුම් අයියා මගේ ඔළුව අත ගෑවා
‘හ්ම්ම්ම්ම් …’
‘මම දන්නවා …… හැමදාම සතුටින් ඉන්න …මට ඕන ඔයාගේ සතුට විතරමයි …’
විකුම් අයියා මගේ සතුට විතරමයි හිතන්නේ …. ඉතින් ඒ හිත රිද්දන සිතුවිල්ලක්වත් මගේ හිතට එන එක එයාට කරන ද්‍රෝහී කමක් .. මම විකුම් අයියාගේ කරට උඩින් තේමිය අයියා දිහා බලද්දී එයා මගේ දිහාවම බලාගෙන හිටපු එයා තවත් මොහොතක්වත් එතන ඉන්නේ නැතිව යන්න හැරුනේ දරාගන්න බැරිව නිසා වෙන්න ඇති …
***
‘ගෙවුණු හැම දවසක්ම අමතක වෙන්නේ නැති දවස් …. ආයෙමත් ඒ කාලෙට යන්න තියෙනවා නම් කියලත් හිතෙනවා …. ‘’ අමාලි ගොඩක් දුකෙන් වගේ එහෙම කිව්වේ
‘දුකයි තමා ඒ වුනාට කවදා හරි මේක දාලා යන්නම ඕන නේ ..’ ජනිත් අමාලිගේ පිටට තට්ටු කළා
‘ මේ යාළුකම කවදාවත් අමතක කරන්න එපා …
‘ ඔන්න මොනරි වගේ උබලත් හොරෙන් මගුල් කනවා නෙවෙයි ..’
‘පේරා කැම්පස් එක කවදාවත් අපිට අමතක වෙන්නේ නැති තැනක් මචං ..’
‘මතකද අපි හන්තාන බැච් ට්‍රිප් එක ගිහින් අතරමන් වෙලා පිස්සු නැටුව හැටි ..දේව් උබට මතකද එදා තමා තේමිය අයියා උබට කොක්ක දැම්මේ ….උබව උස්සගෙන තමා ඌ එලියට ආවේ ..’
මලිෂ් කිසිම දෙයක් නොහිතා එහෙම කිවුවේ විකුම් අයියා එතන ඉන්න බව මතක නැතිව වගේ ..
‘ඒත් ඉතින් එදා පටන්ගත්ත ලව් කියාද සක්සස් උනේ …. අපි කවදාවත් හිතුවේ නැහැ දේව් තේමිය ආදර කතාවට කෙලවෙයි කියලා ….බලද්දී දේව් තමා ඉස්සරලාම මැරී කලේ ..’
හිත රිදෙද්දී උනත් මම හිනාවුනා ඒ මම සතුටින් කියලා පෙන්නන්න …
‘අක්බාර් මුදලාලිගේ කෑම එක තමා කැම්පස් එකේ මම කාපු රසම කෑම එක …. මතකද දවසක් කිරි හොදි එක්ක බත් කාලා …ලෙක්චර්ස් වෙලාවේ කට්ටියම ටොයිලට් වලට දිවුවා ..’
හිනාවෙලා හිනාවෙලා අන්තිමේට කට්ටියම එක රොත්තට අඩන්න ගත්තා …ඒ ගෙවිලා ගියපු කාලේ ආපහු එන්නේ නැහැ කියන හැමෝටම මතක් වෙන්න ඇති
‘ඉතින් ආයුබෝවන් …… ආදරණිය පේරා …’

හැමොගෙන්ම වෙන්වෙලා විකුම් අයියාගේ කාර් එකට නැග්ග මම තවත් සැරයක් කැම්පස් එක දිහා බැලුවා ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *