***පළිගු***  24

මුලින්ම ඇස්දෙක නලලෙ තියන් කතාව අහන් හිටපු චුටි අයියගෙ ඇස්වලින් කතාව ඉවර වෙද්දි වැටුනෙ කදුලු.

“අනේ අඩන්න එපා චුටි අයියේ.”ආරාද්‍යාත් ඇස්වල කදුලු පුරවන් කියද්දී කෙල්ලගෙ ගෙල පාමුල ඔළුව තියාගත්තු කොල්ලා සෑහෙන වෙලාවක් ඇඩුවා පොඩි එකෙක් වගේ.කෙල්ලත් ආදිත්‍යට එහෙමම ඉන්න දුන්නා හිතේ දුක අඩු වෙනකන්.

“මං මහා කාලකණ්ණියෙක් බබා මගෙම තාත්තා ගැන මං වැරදියට හිතුවා.ඒ මදිවට හැමෝටම රිද්දුවා.මට සමාවෙන්න මැනික මං ඔයාවත් ඇඩෙව්වා ගොඩක්.”

“මොනවද මේ කියන්නෙ මගෙ අයියේ.ඔයාගෙ අතින් කිසිම වැරැද්දක් උනේ නෑ.ඒ හැමදේම වෙන්න තිබිච්ච දේවල්.”

“මං දැන් මොනාද කරන්න ඕනෙ බබා මට තේරෙන්නෑ මැනික.මට දැනෙන්නෙ අතරමං වෙලා වගේ.”

“වෙච්ච සේරම අමතක කරලා මාමට සමාව දෙන්න අයියේ.එයා ගොඩක් විදවනවා.”

“මං එහෙම කරන්නන් බබා.ඒත් මට පොරොන්දු වෙන්න මැනික මොන දේ උනත් මාව දාලා යන්නෑ කියලා.හැමදාටම මගෙ ලගින් ඉන්න බබා.”

“ඔයයි,මායි කියලා දෙන්නෙක් නෑ අයියේ.එහෙම වෙද්දි මං ඔයාව දාලා යන්නෙ කොහොමද.”

“ඔයාට ගොඩක් පින් බබා ඔයා නැත්තන් මං මැරෙනකම්ම තාත්තාට වෛර කරන්න තිබ්බා.හැමදේම විසදුවට ඔයාට පින් මැනික.”

“අනේ ඔයාට මාව පිට කෙනෙක්ද අයියේ.අනික මේක මං විතරක් කරපු දෙයක් නෙවෙයිනෙ.මේ සේරටම ආකාශ් අයියගෙ උදව්වත් තිබ්බා.”

“ඌ ගිය ආත්මෙ මගෙ සහෝදයෙක් වෙන්නැති බබා.එච්චරට ඌ මං ගැන වද වෙනවා.”

“ඒක නන් ඇත්ත.ඒක නෙවෙයි චුටි අයියේ අපේ ලොකු අයියා ගැන මොකද හිතෙන්නෙ…?”

“හිතෙන දෙයක් හිතන්න වෙන්නෙ ඌව හම්බ උනාට පස්සෙ බබා.එතකන් මං මොනාවත් හිතන්නෑ.යමු බබා පහලට අම්මටත් මේ දේවල් ගැන කියන්න ඕනෙ.”

“ආකාශ් අයියා දැනටමත් නැන්දිට ඒ ගැන කියලා ඉවර ඇති අයියේ.නැන්දි ගැන නෙවෙයි මං බයේ හිටියේ ඔයා ගැන මොන පිස්සුවක් නටයිද කියලා.”

“ආදරෙයි මගෙ බෝනික්කියේ ගොඩක්.”

“මමත්…”

______________________________________

දෙන්නත් එක්ක පල්ලෙහාට ආවේ නැන්දා වෙච්ච දේවල් කොහොම බාරගනීද කියලා හිත හිත.පහලට එද්දි නැන්දි බිම වාඩිවෙලා අඩනවා.ආකාශ් අයියා අපි දිහා බැලුවෙ ‘මේ බලන්න’කියනවා වගේ බැල්මක් මූණේ තියාගෙන.මං නැන්දිගෙ ලගින්ම දනගහාගත්තා.

“අඩන්න එපා කියලා මං ඔයාට කියන්නෑ නැන්දි ඇති තරමක් අඩන්න.අවුරුදු ගානක් හිතේ හිර කරන් විදවපු දුක හේදිලා යන්නම අඩන්න.”

“අනේ ඔයාට පින් මගෙ රත්තරනේ මමයි,මගෙ අහිංසක දරුවයි වෙනුවෙන් කරපු හැමදේකටම පින්.”

“ඔයත් චුටි අයියා වගේමයි නැන්දි හරිම නරකයි.මාව ඔහොම පිට කෙනෙක් ගානට දාලා මට පින් දෙන්න එපා.ඔයාලා ඔය කියන තරම් දෙයක් මං කලේ නෑ.”

“දෝනිගෙ හිත රිදුනද මං කිව්ව දේට ආදරේටනෙ මැනික.”

“මාත් ඕකම කිව්වා අම්මා මේ පිස්සිට.එහෙම කිව්වා කියලා මාත් එක්කත් තරහා වෙලා ඉන්නෙ.”

“දෝනිට කාත් එක්ක තරහා උනත් ඔයත් එක්ක තරහා වෙන්න බෑ පුතු.වදපු මටවත් බැරි උනා ඔයාගෙ මූණට හිනාවක් ගේන්න.දෝනි නැත්තන් අදටත් මේ ගෙදර මල ගෙයක් වගේ.”

එහෙම කියලා නැන්දි චුටි අයියවයි,මාවයි දෙන්නම එක පොදියට තුරුල් කරගත්තා.

මතුසම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *