මා නොවේ ඈ නුඹේ 02 කොටස

“සමී… උඹ මොකක් හරි කල්පනාවක. මොකද අසනීපෙන්ද?” සහස්‍රා අහද්දි විහංසාට දුකයි.

“අනේ නෑ. වෙනදා නිවාඩු දවසට මම මේ වෙලාවට ටිකක් නිදියනවනෙ. ඒ නිසා වෙන්න ඇති.”

“හා හා… මේ ඒක නෙමෙයි ඔයාගෙ චූටි අපේ අයියට ගැලපෙනවා නේද?” සහස්‍රා අහන්නෙ විහංසාගෙ අත කොනිත්තමින්.

“ඔව් ගැලපෙනවා. දෙන්නම ලස්සනයිනෙ.” විහංසා සුපුරුදු අහිංසක විදියට හිනා වෙලා කිව්වා. ඒත් ඇගේ හිත ඇතුලෙ ලොකු පෙරලියක්.

“කොල්ලො ලස්සන නෑ හැන්ඩ්සම්. කෙල්ලො තමයි ලස්සන. හරියට ඔයා වගේ.” මියුරංග පිටිපස්සෙ ඉඳන් කියද්දි විහංසා ගැස්සුනා.

“අනේ පව් අයියා. එයා එහෙම හිතලා නෙමෙයි කිව්වෙ.” සහස්‍රා මියුරංගගෙ අතේ එල්ලුනේ පොඩි කෙල්ලෙක් වගේ. මියුරංගගෙ ඇස් තිබුනෙ විහංසාගෙ දිග කොණ්ඩෙ දිහාවෙ.

“දැන් මට කියනවද විහංසා කොහොමද දෝණි උනේ කියලා.” මියුරංග ඇහුවෙ තාමත් විහංසාගෙ කොණ්ඩෙ දිහා බලන්. ටික වෙලාවක් යනකන් කාගෙවත් සද්දයක් නැති නිසා මියුරංග ආයෙත් කතා කලා.

“අච්චර ලස්සන නමක් තියාගෙන ඇයි මේ දෝණි කියලා කියන්නෙ?” මියුරංග ඇහුවෙ අමනාපෙන්.

“මම කියන්නද?” විහංසා ඇහුවෙ සහස්‍රාත් යුවතිත් පුදුම කරමින්.

“අම්මෝ මෙන්න ලෝක පුදුමයක්. පිට කොල්ලෙක් ඉස්සරහ මෙයා මේ කතා කරන්නද ඇහුවමයි.” යුවති කිව්වෙ පුදුමෙන්.

“පිට වෙන්නෙ කොහොමද නංගි. මේ ඉන්නෙ මගේ හොඳම යාලුවා. ඒ වගේම අපේ අයියගෙත් යාලුවෙක්.” සහස්‍රා කියද්දි යුවති විහංසාගෙ අතින් ඇල්ල ගත්තෙ ලොකු පුදුමයක් මූණෙ තියාගෙන.

“මේකයි මගේ තාත්තා මට කියන්නෙ දෝණි කියලා. ඒ නිසා මෙහේ අය කියන්නෙත් දෝණි කියලා. වෙන හේතුවක් නෑ. අනිත් එක චූටි මට ඔයාට කියන්න වෙලාවක් ලැබුනෙ නෑ අයියා ගැන. ඔයා සහස්‍රා ගැන නම් දන්නවනෙ.” විහංසා දිගටම කියාගෙන ගියා. ඒ කතාව අතරෙ යුවති ගෙට ගියේ වන්දනා කතා කරපු නිසා.

“මහන්සි නැද්ද?” මියුරංග අහද්දි විහංසාට හිනා ගියා.

“මේ මේ ඔහොම හිනා වෙලා පුලුවන් නම් මගේ අයියව දැලේ දාගනින්. අර කෙල්ලට හුලං තමයි.” සහස්‍රා කියද්දි විහංසාට ලොකු අපහසුතාවයක් දැනුනා.

“ඒයි පිස්සි මොනාද කියන්නෙ. යුවති ආවනම් දුක හිතෙයි.” මියුරංග කියද්දි විහංසට හිතුනෙ මියුරංග දැන්මම ඇයට ආදරේ කරන්න පටන් අරන් කියලා. ඇයට සුසුමක් හෙලුනෙ නොදැනීමයි.

“රංග අයියා. යමු නේද ඇතුලට. අම්මලා කතා කරනවා.” යුවති ඇවිත් මියුරංගගෙ ලඟින් හිටගත්තම විහංසාගෙ හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා. ඒත් ඈ හිනා වෙලා බිම බලා ගත්තා.

“අක්කා යමු ඇතුලට. දෝණියෝ යමු.” යුවති සහස්‍රාගෙයි විහංසාගෙයි අත් වලිනුත් අල්ලලා කිව්වා.

“යමු යමු. දැන් අපේ අප්පච්චිට ගෙදර යන්න හදිස්සි ඇති කොහොමත්.” සහස්‍රා එහෙම කියමින් ගෙට ගියා.

යුවතිගෙත් මියුරංගගෙත් කසාදය තීන්දු උනේ දෙපාර්ශවයේම කැමැත්තෙන්. ඒත් මියුරංග කිව්වෙ නම් ආශ්‍රය කරලා බලන්න කාලය ඕනෙ කියලා. ඒ අදහසට වන්දනාලා එක පයින්ම කැමති උනා. හවස යුවති විහංසාව එක්කගෙන ඇගේ ගෙදරටම ගිහින් ඇරලුවා.

“කොහොමද අංකල්” යුවති ගෙට ගොඩ උනේ උදේන එක්ක කතාවට වැටෙන ගමන්මයි.

“එහෙනම් දෙන්නත් එක්ක කතාවක් දාගෙන ඉන්න. මම තේ එකක් අරන් එන්නම්” විහංසා ගෙට ගියේ ඒ දෙන්නට කතා කරන්න ඉඩ දීලා යුවති ආසම විදියට කිරි තේ එකක් හදන්න හිතාගෙන.

“හොඳයි දූ. කොහොමද මනමාලයා හොඳයිද?”

“මනමාලයාගෙ නම් වරදක් නෑ. ඒත් අපේ ගෙදරින් ඒ අය ගිය වෙලාවෙ ඉඳන්ම දෝණි අවුලෙන් වගේනෙ. අංකල් මම ගියාට පස්සෙ හෙමිහිට අහල බලනවද ඇයි කියලා. මම ඇහුවට කියන්නෙ නෑ.” යුවති කිව්වෙ අවුලෙන්.

“හා දූ මම අහලා බලන්නම්කො. හැබැයි උදේ නම් ගියේ මූණෙ හිනා මලක් තියාගෙන.” උදේන කල්පනාකාරීව කිව්වෙ.

“ඒක තමයි. හොඳට හිටිය කෙල්ලට එක පාරම මොකද උනේ කියලා මටත් හිතා ගන්න බෑ.”

“හ්ම්ම්… ඒක පස්සට දාමුකෝ. කොහොමද මනමාලයා. කොහේ කෙනෙක්ද දූ”

“ආහ් මට කියන්න අමතක උනානෙ අංකල්. එයා මේ විහංසගෙ බොස්ගෙ පොඩි පුතානෙ. අර සහස්‍රාගෙ පොඩි අයියා.”

“හා එහෙනම් කෙල්ල බලන්න ඇති මේ අය කොහෙන්ද එක පාරම කඩාපාත් උනේ කියලා. හරි හරි මූණ අප්සට් වෙන්න ඇත්තෙ ඒකයි.” උදේන එහෙම කියලා හිත සනස ගත්තා.

“චූටී චොක්ලට් බිස්කට් තියෙනවා. ගේන්නද?” කුස්සියේ ඉඳන් විහංසා කතා කලා.

“මම එන්නම්.” යුවති එහෙම කියාගෙනම කුස්සියට ගියා.

“දෝණි අක්කා… මට කියන්න ඔයාගෙ මූණ එක පාරම අප්සට් උනේ ඇයි?” යුවති ඇහුවෙ විහංසාගෙ මූණ දෝතට මැදි කරගෙන.

“චූටි මට ඔයාට කියන්න බැරි දෙයක් නෑනෙ. අනික මම ඔයාට මගේ ජීවිතේ මොනවම හරි නොකිය ඉඳල තියෙනවද? එහෙම දෙයක් නෑ. එක පාරම සහස්‍රාගෙ අයියා ඇවිත් ඔයාට ප්‍රපෝස් උනාම මම ටිකක් එක්සයිට් උනා. එච්චරයි. හෙට උදේ වෙද්දි ඒක හරි යයි.” විහංසා එහෙම කියලා තේ එක යුවතිගෙ අතට දුන්නා.

“හ්ම්ම්… එහෙම නම් කමක් නෑ. හැබැයි දෝණී මට මුකුත් හංගලා නම් අහුවෙන්න එපා. එහෙම උනොත් මම නම් තරහම තරහයි. ආයෙ යාලු වෙන්නෙම නෑ.” යුවති තේ එක එක උගුරට බීලා කෝප්පෙ විහංසා අතින් තියලා කිව්වෙ කිසිම හිනාවක් නැති මූණකින්.

“හරි ඒ එහෙම උනොත් නේ… විකාර නැතුව රෑ වෙන්න කලින් ගෙදර යන්න. ආවෙ මගෙන් තේ බොන්නනෙ. දැන් හරිනෙ” විහංසා යුවතිගෙ කම්මුලක් පිරිමදිමින් කිව්වා.

“හ්ම්ම්.. මම ගිහින් එන්නම් එහෙනම්. වෙරි සොරි ඩාලින් මම නිසා ඔයාගෙ නිවාඩු දවස නැති උනාට. අපි ලබන සතියෙ ඒකටත් එක්ක හොඳ… රෙස්ට් එකක් ගමු. හරිද?” යුවති එහෙම කියලා විහංසාගෙ කම්මුලක් ආදරෙන් ඉඹලා එලියට බැස්සා. උදේන හිටියෙ කුරුල්ලන්ට කෑම දාන බංකුව ලඟ.

“අංකල් මම යන්න කියලා.” යුවති දුවගෙන ගිහින් උදේනගෙ දෙපා වැඳලා කාර් එකට නැගලා ගියා.

“තාත්තට තේ එකක් හදන්නද? චූටි එක්ක කතාවට වැටුනම බේරෙන්න බෑ තාත්තා දන්නවනෙ.” විහංසා ගෙට ගියේ තාත්තටයි තමන්ටයි දෙන්නටම තේ දෙකක් හදාගන්න.

තේ එක අරන් එද්දි උදේන ඇවිත් ඉස්තෝප්පුවේ පුටුවෙන් වාඩි වෙලා හිටියෙ.

“ආ දෝණි. අර ලමයා කිව්වෙ ඔයා අර මිනිස්සු ඇවිත් ගියාට පස්සෙ අමුතු උනා කියලා.” උදේන අහද්දි විහංසා ඇස් ලොකු කරලා බැලුවා.

“තාත්තා මම මොකටද අමුතු වෙන්නෙ. එයාට පිස්සු. මට හොඳටම හිසේ කැක්කුමෙන් හිටියෙ. කීයට ගෙදර එනවද කියලා හිත හිත හිටියෙ මම.” විහංසා එහෙම කිව්වත් උදේන නම් ඒක විශ්වාස කලේ නෑ.

“හා හා ඒක පැත්තකට දාමුකො. දෝණි දැන් ඔයත් එකලාසයක් කරන්න කාලෙ හරි. මාත් දැන් කොයි වෙලේද නෑනෙ. මම කපු මහත්තයෙක්ට කියන්නද ඔයාටත් කෙනෙක් හොයන්න කියලා.”

“අනේ තාත්තා. මට හදිස්සියක් නෑ. අනික මම තාම මගේ ජීවිතේ ගැන සැටිස්ෆයි නෑ. තව කල් තියෙනවා මට. තාත්තා කොයි වෙලේද නෑ කියන්නෙ මොකද? තාත්තා තාම තරුණයි. විකාර නැතුව ඉන්න” විහංසා උදේනගෙ හිස් කෝප්පයත් අරන් කුස්සියට ගියේ හිතේ රිදෙන තැන් ආයෙත් ඇවිස්සුන නිසා දුකෙන්.

ගෙදර වැඩ සේරම ඉවර කරලා විහංසා ඇඳට ආවෙ ඇත්තටම තමන්ට උනේ මොකද්ද කියලා හිතමිනුයි. දන්නෙම නැතිව ඇස් පියවුන විහංසාට සුපුරුදු හීනෙ පෙනුනා. ඒත් එක වෙනසක් තිබුනා. ඒ හීනෙ හිටියෙ අහස්ගෙ වගේ ඇස් තියෙන කෙනෙක්. විහංසා ගැස්සිලා ඇහැරුනා.

“නෑ නෑ ඒක වෙන්න බෑ. ඒ අහස් අයියා. එයා චූටිගෙ. මට එයාව ඕනෙ නෑ. එයා මට අයිති නෑ.” විහංසා පිස්සුවෙන් වගේ කියෙව්වා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *