මා නොවේ ඈ නුඹේ 03 කොටස
විහංසා රෑ පැය ගානක් අවදියෙන් ඉඳන් කල්පනා කලා. ඇයට විශ්වාසයි මීට පෙරත් දැක්කෙ ඒ දෑසමයි කියලා. මුලින්ම අහස් අයියව දැක්කමත් තමන්ට දැනුනෙ හොඳට හුරු ඇස් දෙකක් දැක්කා වගේ. ඒත් ඇයට එදා මතක් උනේ නෑ ඇගේ හීන කුමාරයා දෑස් ඉදිරියටත් ආවා කියලා. විහංසා සුසුමක් හෙලුවා.
“මට මොන හීන කුමාරයොද. මට කොහෙන්ද අහස් අයියා වගේ කෙනෙක් ලබන්න තරම් පිනක්. හීන මවන්නත් ඕනෙ තරමට ගැලපෙන කෙනෙක් ගැන. ඔක්කොමත් හරි ඉස්සරහට එයා මගේ බොස්.” විහංසා එහෙම මුමුණමින් ඇගේ ලියන මේසයට වාඩි උනේ ටේබල් ලෑම්ප් එක ඔන් කරගෙන.
ඇගේ අතින් විවිධ නිසදැස් කවි ලියවිලා තියෙනවා මීට පෙරත්. ඒත් අද ලියවුනේ අහිංසක පෙමක් ගැන. ඇගේ මේ කවි පොත හැමවෙලාවෙම ඇගේ බෑග් එකේ තිබුනා. ඇයට අදහසක් ආව ගමන් ඇය ඒවා ලිව්වා.
නිසදැස් කිහිපයක් ලිව්වට පස්සෙ ඇගේ සිත නිදහස් උනා. ඇය ලයිට් එක නිවලා ආයෙත් ඇඳට ගියේ තාමත් වෙලාව පාන්දර එක නිසා.
උදේ ඇහැරුනේ යුවතිගෙ කෝල් එකට.
“ගුඩ් මෝනින් මොකද මේ තාම නිදි.” සුපුරුදු දඟකාර හඬ ඇහෙද්දි විහංසාට හිනා ගියා.
“ගුඩ් මෝනින්. බුදු අම්මේ ඇති යන්තන් අද පරණ යුවතිව අල්ලගෙන.” විහංසා කිව්වෙ හිනැහෙමින්මයි.
“ඇයි ඒ?” යුවති අහන්නෙ පුදුමෙන්.
“අනේ යනව යන්න. දන්නෙම නෑ මෙයා බබා.”
“ඔයානෙ කිව්වෙ ඉතින් මනමාලයා ඉස්සරහ අහිංසක විදියට ඉඳලා එයාගෙ හිතේ හොඳ ඉමේජ් එකක් හදාගන්න කියලා. ඒ නිසයි ඊයෙ ඔයා වගේ හිටියෙ.” යුවති කියන්නෙ පොඩි එකෙක් වගේ.
“චූටි මේ මට පරක්කු වෙනවා කෙල්ලෙ. අද ඉඳන් ඔයාගෙ මහත්තයා අපේ බොස්.”
“කවුද මගේ මහත්තයා.” යුවති අහන්නෙ විහිලුවට.
“අනේ මේ යනව යන්න. මෙයා මේ එන්න එන්නම බබා වෙනවා. තව ටික කාලෙකින් කසාද බඳින්න ලේස්ති වෙනවා.” විහංසා එහෙම කියද්දි ඇයටම දුක හිතුනා. ඒත් ඇය ඒ වගක් ඇඟෙව්වෙ නෑ.
“ඔයාට ඕනෙ මාව ඉක්මණට එයාට දෙන්නද අක්කා.” යුවති ඇහුවෙ දුකෙන්. ඊට වඩා දුකක් විහංසාගෙ සිතේ මිරිකෙමින් තිබුනා.
“අනේ පැටියෝ මම නිකමට කිව්වෙ. හරි හරි මම හවසට ගන්නම්. පරක්කුයි.” විහංසා කලබලෙන් කියද්දි යුවතිට කේන්ති ගියා.
“මම කෝල් එක ගත්තෙ ඇයි ඇහුවද?” යුවත් ඇහුවෙ තරහෙන්.
“ඕහ් සොරි චූටි. ඉකමණට කියන්න ඇයි කියලා. උයන්නත් ඕනෙ කෙල්ල.”
“ඩිනර් එකට රංග අයියව මීට් වෙන්න දාගත්තා. මට ඇඳුමක් සිලෙක්ට් කරගන්න ඕනෙ. ඕෆ් වෙන වෙලාවට මම එනවා. තාත්තට කියල එන්න.” යුවති ඕඩර් එක දීලා ෆෝන් එක තිව්වා.
“මේ කෙල්ල නම් කවදා හැදෙයිද මන්දා.” විහංසා තනියම හිනැහෙමින් කුස්සියට ගියේ උයන්න. ඒත් සුපුරුදු පරිදි තාත්තා උදේම නැගිටලා උයනවා.
“තාත්තා සොරි මට නින්ද ගියා.” විහංසා හිස කසමින් කියද්දි උදේනට දුකයි.
“මට මේක මහ වැඩක් නෙමෙයිනෙ. පුතා ගිහින් ලේස්ති වෙන්න. මම කෑම එක ලේස්ති කරල දෙන්නම්.” උදේන හිටියෙ පොල් කිරි ටික පරිප්පුවට දාන ගමන්. විහංසා තේ හදන්න ගත්තෙ කොච්චර උදෙන් නැගිට්ටත් තමන් එනකන් තාත්තා තේ හදන්නෙ නැති බව දන්න නිසා.
ඒ කාලෙ ඉඳන්ම උදේන හුරු වෙලා හිටියෙ විහංසාගෙ අම්මා අතින් හදන තේ එක බීලා දවස පටන් ගන්න. අම්මා නැති උනාට පස්සෙ විහංසාගෙ අතින් හැදුනෙ නැත්තම් උදේට පිටි බිව්වෙ නෑ. වෙන වෙලාවට තේ හදාගෙන බිව්වත් උදේට මේ තේ එක නැතුව වෙන කිසිම දෙයක් පානය කරන පුරුද්දක් ඔහුට තිබුනෙ නෑ.
තාත්තාට තේ එක හදලා දීලා විහංසා නාන කාමරයට ගියේ ඇඟ සෝදගෙන එන්න. ලේස්ති වෙලා කෙල්ල එලියට බහින්නෙ විනාඩි දහයක් පහලොවක් බුදුන් වැඳලාම තමයි.
ඔෆිස් එකට යද්දි සිකියුරිටි ගාර්ඩ් ගේ ඉඳලා ඉන්න හැමෝම විහංසාට ආදරේ කලා ඒ වගේම ගරු කලා. ඔෆිස් එකේ වැඩ කරන සමහර ගෑණු අය ඔෆිස් එන හැටියට තරුණ ගෑණු ලමයෙක් වෙලත් විහංසා එන විදිය ගැන හැමෝම ප්‍රශංසා කලේ මුලු හදවතින්මයි. ඒ වගේම විහංසගෙ අම්මා තාත්තා උගන්නපු ගුණ ධර්ම නිසා විහංසා ගොඩක් හොඳ කෙල්ලෙක් උනා හැමවෙලාවෙම.
“ගුඩ් මෝනින් අංකල්.” විහංසා අංකල් කියන්නෙ තේ හදන්න මේස පිහිදාන්න වගේ දේවල් වලට ඉන්න සිරිතුංගට. ඔහු සේනාධීර මහතා ලඟ වැඩ කරන පරණම සේවකයා. ඔහු කවදත් විහංසාට ලැදියි. කටපුරා තමන්ට අංකල් කියන කෙල්ල ගැන සිරිතුගගෙ හිතේ තිබුනෙ ලොකු ආදරයක්.
“ගුඩ් මෝනින් සමින්දි මිස්. මම මේස සේරම පිහිදාලා තියෙන්නෙ.” ඔහු කියන්නෙ සමහර දවසට විහංසා තමන්ගෙ මේසෙ පිහිදනවා දැක තිබුන නිසා.
“හරි අංකල්.” විහංසා එහෙම කියාගෙන මගදි හමුවෙන හැමෝටම සුබ උදෑසනක් පතමින් යන්නෙ හදවතින්මයි.
ඇගේ ටේබල් එක තිබුණෙ චීෆ් අකවුන්ටන්ගෙ රූම් එකේම ඉස්සරහා වම් පැත්තට වෙන්න. එම් ඩීගෙ රූම් එක තිබුනෙ විහංසාලාගෙ රූම් එක හරහා යන විදියට. මේ කොටස් දෙක වෙන් වුනේ එක වීදුරු බිත්තියකින්. චීෆ් අකවුන්ටන් වික්‍රමගේ මහත්මයා හරිම කරුණාවන්ත ඒ වගේම ගුණගරුක පුද්ගලයෙක්. ඔහුට හොර බොරු වංචාව පේන්න බෑ. මීට පෙර විහංසාගෙ සීට් එකේ වැඩ කරපු ගෑණු ලමයාව එලවලා තියෙන්නෙ ඒ ලමයා හොරකමක් කරපු එකක් අතටම අල්ලගෙන.
විහංසා ඔෆිස් එකට ආව ගමන් කරන්නෙ සිරිතුංග එයාගෙ රූම් එකේ මේස පිහිදාලා අතු ගාලා නැති උනොත් ඒ සේරම කරගෙන කම්පියුටර් එකේ පිරිත් දාන එක. විහංසා කොහොමත් ආගමට ලැදි ලමයෙක්. අදත් සුපුරුදු පරිදි විහංසා ගෙනාපු මල් ටික වට්ටියට හදලා පැන් පෙරාගෙන ඇවිත් පහනට තෙල් දාලා පහන පත්තු කරා. හඳුන්කූරු දෙකකුත් පත්තු කරලා මුලු රූම් එකටම දුම් අල්ලලා ගිහින් පන්සිල් ගන්නෙ ඇගේ දවසේ වැඩ සාර්ථකව නිම කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්. විහංසා බුදුන් වඳින අතරෙ මිස්ටර් වික්‍රමගේ ආවා. ඔහු වැඩ පටන් ගන්නෙ ආව ගමන්මයි.
පහන තියලා ඇවිත් කෙල්ල මැෂින් එකේ පිරිත් දැම්මා. පැයක් විතර පිරිත් යනවා. ඇය ඒ තුලින් ලොකු මානසික තෘප්තියක් ලබනවා. ඊයෙ අවසන් කරලා චීෆ්ට බලන්න දුන්න ෆයිල්ස් ටික දැන් සර් බලමින් ඉන්නවා. විහංසා හිනා වෙලා මිස්ටර් වික්‍රමගේගෙ ටේබල් එක ලඟට ගිහින්
“ගුඩ් මෝනින් මිස්ටර් වික්‍රමගේ.”
“ගුඩ් මෝනින් සමින්දි. මම මේ කතා කරන්න හැදුවෙ ඔයාට. අද එම් ඩී එනවානෙ. එයාට ඩිග්‍රි එකක් තිබුනට තාම ප්‍රැක්ටිකල් මදි. සේනාධීර සර් කිව්වෙ ටිකක් උදව් වෙන්න කියලා. ම්ම්ම්… මිස්ටර් මියුරංගට ඇසිස්ටන් කෙනෙක් ගන්නකන් සමින්දිට පුලුවන් නේද එයා එක්ක වැඩ කරන්න. ම්ම්….”
“පුලුවන් සර්.” විහංසා පුලුවන් කිව්වත් එතකොට අහස් අයියට තමන් තවත් ලං වෙනවා කියල හිතද්දි කෙල්ලගෙ හිත ගැස්සුනා. කොහොමත් කවදත් විහංසා තමන්ට බාර දෙන වගකීමක් පැහැර හැරියෙ නෑ. ඒ නිසාමයි මිස්ටර් වික්‍රමගේ විහංසාටම මේ වැඩේ බාර දුන්නෙ.
“එහෙනම් මිස්ටර් සේනාධීරට කියන්න වෙනවා ඇසිස්ටන් කෙනෙක් ගන්න හදිස්සි වෙන්න එපා කියලා.” වික්‍රමගේ මහතා එහෙම කියලා ආයෙම තමන්ගෙ වැඩ කටයුත්තටම දෙනෙත් යොමු කරා. විහංසා හෙමිහිට ගිහින් ඇයට අදාල වැඩ වල යෙදුනා.
උදේ කෑමට විහංසා යද්දිත් මියුරංග ඇවිත් තිබුනෙ නෑ. කෙල්ල කෑම එක දිග ඇරන් කල්පනා කලේ මියුරංග මුලින්ම ආව දවස. එදා සහස්‍රාත් ආවෙ තමන්ගෙ යාලුවව අයියට අඳුන්වලා දෙන්නත් එක්ක.
______________________________________________________
“සමී…” සහස්‍රා දුවගෙන ආවෙ මේක විහංසගෙ ඔෆිස් එක කියලත් අමතක වෙලා. ඇයට කොහොමත් ටිකක් පිස්සු.
“පිස්සී ඔෆිස් එක.” විහංසා කියද්දි සහස්‍රා අත් දෙකෙන්ම කට වහ ගත්තා.
“සොරි බං උඹ දන්නවනෙ මගෙ කටට ඉතිං ඉන්නෙ කොහෙද කවුද ඉන්නෙ කියලා අදාල නෑ කියලා.” සහස්‍රා එහෙම කියද්දිම මියුරංග එතෙන්ට ආවා.
“ආහ් මේ ඉන්නෙ ඔයාලගෙ අනාගත බොස්.” සහස්‍රා මියුරංගව පෙන්නලා කිව්වා.
“මේ අයියා…. මේ ඉන්නෙ සමින්දි විහංසා. මම ආදරේට කියන්නෙ සමී… ඔයා ඉතින් මෙයාව හැබැහින් දැකලා නෑ විතරනෙ. අනිත් හැමදේම මම කියල ෆොටෝස් පෙන්නලත් තියෙනවනෙ.” සහස්‍රා කියද්දි විහංසා බැලුවෙ පුදුමෙන්.
“දැන් ඇති බං. තාත්තත් බලන් ඉන්නවා. මං යනවා ඇතුලට. එහෙනම්
හඳුනා ගැනීම සතුටක්. ආයෙ හම්බ වෙමුකො. යන්නම් නංගී…. ම්ම්ම්.. සොරි විහංසා.” මියුරංග නංගී කියලත් ආයෙම එහෙම කියලා ගියා. විහංසාට මොක්ද්දෝ අමුත්තක් දැනුනා. ජීවිතේ පලවෙනි වතාවට විහංසා කියලා කෙල්ලට කවුරු හරි කතා කලේ. ඉතින් ඇයට ඒ ආමන්ත්‍රණය විශේෂ උනා.
“අපේ අයියගෙ හැටි ඔහොම තමයි ලමයො. එයාට සාමාන්‍යයෙන් කෙනෙක්ව හිතට අල්ලන්නෙ ටිකක් කල් ගිහින්. ඒත් මම ඔයා ගැන කියපු දේවල් වලින් එයා ඔයා ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. ඒකයි ඔය ජෝක් කරන්නෙ. මේ මාත් ඇතුලට යන්නම්. නැත්නම් ලොකු සර් බර බරේ දාවි. බායි” සහස්‍රාත් එහෙම කියලා කැබින් එකට ගියා.
විහංසාට තනියම හිනයි සහස්‍රාගෙ දඟ වැඩ වලට. ඊට පස්සෙ දවස් දෙකක් මියුරංග ඔෆිස් ඇවිත් කට්ටිය එක්ක කතා බහ කරලා ගියා. ඔහුටත් විහංසාව ආයතනය ඇතුලෙ ටිකක් විශේෂ කෙනෙක් උනා. ඔහු ඇයත් එක්ක ගොඩක් වෙලාවට කතා කලේ විහංසාගෙ ගැනමයි. විහංසාගෙ ඇඳුම් පැලඳුම් ගැන, කතා කරන විදිය ගැන මේවා ගැන කතා කරල කරලම දෙන්නා යාලුවො උනා. දවස් දෙකයි හමු උනේ. එදා යුවති බලන්න ආව දවසත් එක්ක දවස් තුනයි. ඒත් විහංසාට දිගින් දිගටම දැනුනෙ අහස් මියුරංග තමන්ගෙ ජීවිතේට ගොඩක් ලඟ කෙනෙක් කියලා.
ආයෙත් හමුවෙමු.