මා නොවේ ඈ නුඹේ 04 කොටස
“අම්මෝ ඔහොම කන්න වෙලාව ගත්තොත් නම් මට කම්පණි එක වහල දාන්න තමයි වෙන්නෙ.” මියුරංගගෙ හඬින් තමයි විහංසා මේ ලෝකෙට ආවෙ.
“අනේ සොරි සර්.” විහංසා බයෙන් කිව්වෙ.
“මොකද්ද? අනේ මට ඇහුනෙ නෑනෙ.” මියුරංග කියන්නෙ විහිලුවට උනත් විහංසා අහේතුකව බය උනා.
“සොරි සර්… මම වෙන කල්පනාවක හිටියෙ.” විහංසා බත් එක එතුවා.
“සර් සර් ගාන්නෙ මොකද වදේ. මෙච්චර දවසක් අයියා කිව්වෙ මම වෙන්න බොස් බව නොදැන නෙමෙයිනෙ. දැන් මොකද මේ සර් කියන්නෙ. අනික ඇයි විහංසා මේ බය වෙලා.” මියුරංග විහංසා ගුලි කරන්න හදපු බත් එක උඩින් අතක් තියාගෙන කතා කලේ විහංසා බත් එක අත ගගා ඉඳල මිසක් කාලා නෑ කියලා දැකපු නිසා.
“සර් ආ සොරි අයියේ මම කාල ඉවරයි. මම යන්නම් කැබින් එකට.” විහංසා යන්න හදද්දි මියුරංග විහංසගෙ අතින් අල්ලල නැවැත්තුවා.
“කාලත් නෑ ඒ මදිවට මෙච්චර වෙලා තනියම හිනා වෙවී ඉඳපු කෙල්ල ඇයි මේ බය වෙලා. විහංසා ඔයා මට බයයිද?” මියුරංග අහන්නෙ විහංසාගෙ අත අත අරිමින්.
“සොරි විහංසා මම ඔයාගෙන් ප්රයිවට් දෙයක් ඇහුව නම්. ඒත් මම ආස නෑ ඔයා බය වෙලා ඉන්නවට. ඔයා ලස්සනයි සැහැල්ලුවෙන් ඉන්නකොට. දැන් කාලා එන්න. වෙලාව ගියාට කමක් නෑ. මම කැබින් එකෙන් ඉන්නම්.” මියුරංග එහෙම කියලා කෑම කාමරෙන් එලියට ගියා. විහංසාට බත් එක විසි කරන්නත් ලෝබයි තාත්තා උදේ නැගිටලා උයපු කෑම එකනෙ. කෙල්ල ආයෙම වාඩි වෙලා බත් කටවල් පහ හයක් කාලා කැබින් එකට ගියා.
“සොරි සර් මම වෙන කල්පනාවක හිටියෙ. මම බය උනා එක පාරම. ඒකයි. ආයෙ එහෙම වෙන්නෙ නෑ.” විහංසා රූම් එකට ගිය ගමන් කලේ මියුරංගගෙන් සමාව ගත්ත එක.
“පිස්සු කෙල්ලේ මොකටද මේ සමාව ගන්නෙ. දැන් හැබැයි ඒකට සමාව දුන්නත් අනිත් එකට නම් සමාව දෙන්නම බෑ.” මියුරංග කියද්දි විහංසා කල්පනා කලේ අනිත් එක මොකද්ද කියලා.
“ඇයි මතක නැද්ද මේ කියන දේ මේ අමතක වෙනවා. අනේ මන්දා ඒ උනාට අප්පච්චි නම් කිව්වෙ හරිම දක්ෂයි කියලා.” මියුරංග ටිකක් සැරෙන් කිව්වා.
“සොරි සර් ඇත්තටම මට මතක නෑ.” විහංසා හෙමිහිට කිව්වා.
“මම ආස නෑ විහංසා ඔයා අතින් එකම වරද දෙපාරක් වෙනවට තේරුණාද. ඇත්තමයි ඔයා ආයෙ මට සර් සර් ගෑවොත් මම ආයෙ ඔෆිස් එන්නෙ නෑ.” මියුරංග එහෙම කියද්දි විහංසට හිනා ගියා.
“හරි එහෙනම් මියුරංග අයියා මට සමාවෙන්න. මම ආයෙ එහෙම කියන්නෙ නෑ. හරිද?” විහංසා සුපුරුදු හිනාව මූණට අරන් කිව්වා. ඒ හිනාව දැක්කම මියුරංගගෙ හිත හැදුනා.
“ඒත් වැරැද්දක් තියෙනවා.” මියුරංග කියද්දි විහංසා ඇස් ලොකු කරලා බැලුවෙ ඒ පාර කොතනද වැරදුනෙ කියලා හිතමින්.
“මම ආසයි විහංසා මට අහස් කියනවට. මියුරංග කියනවට වඩා ඔයා අහස් කියලා හරි ලස්සනට කියනවා.” මියුරංග දිහා බලාගෙන විහංසා හිස වැනුවෙ හා කියන්න.
“එහෙනම් වැඩ පටන් ගමු නේද?” විහංසා කැබින් එකෙන් එලියට යන දිහා බලාගෙන මියුරංග හිටියෙ තනිවම හිනැහෙමින්.
ලන්ච් එක ගන්න විහංසා යද්දි මියුරංගත් ඒ පස්සෙන්ම ගිහින් ලන්ච් ගත්තා. දෙන්නත් එක්ක එක එක දේවල් කතා කර කර කෑම කෑවෙ. ඒත් මේ වෙනකන් අද දවසටම කිසිම වෙලාවක මියුරංග යුවති ගැන කතා කලේ නෑ. විහංසාට පුදුමත් හිතුනා. ඒත් ඇය මුකුත් ඇහුවෙ නැත්තෙ මියුරංගම ඒ ගැන කතා කරයිනෙ කියලා.
“විහංසා අද මම යුවති එක්ක ඩිනර් එකට යනවා. මම ආසයි එයා එක්ක කතාබහ කරලා අඳුර ගන්න. ලංකාවට එද්දි මම කසාද බඳින්න කැමැත්තක් තිබුනෙ නෑ. ඒත් දවසකට දෙකකට පස්සෙ ඒ අදහස වෙනස් උනා. මම යුවති බලන්න ආවෙ ඒ නිසා. මම හිතනවා එයා මම කැමති කෙනා වෙන්න ඇති කියලා.” මියුරංග කියද්දි විහංසගෙ හිත කෑලි කෑලි වලට කැඩිල ගියත් ඇය හිනා උනා. ඇය හිතාගෙන ඉන්නෙ ඇයට හීනෙන් පෙනුනෙ ඇය ආදරේ කලේ අහස් මියුරංගට කියලා.
“අහස් අයියා කැමතිද යුවතිට?” විහංසා ඇහුවෙ ඒක යුවතිට සුබ ආරංචියක් වෙයි කියලා හිතුන නිසා. නැතත් සද්ද නැතුවම ඉන්නකොට ඒක හොඳ නැති නිසා.
“මම කිව්වනෙ විහංසා. යුවති මගෙ හිතේ ඉන්න කෙනා උනොත් යුවතිට මම කැමතියි.” මියුරංග එහෙම කියලා හිනා වෙලා නැගිටලා ගියා.
“කොහොමද දැනගන්නෙ එයා කැමති කෙනා මොන වගේද කියලා.” විහංසා එහෙම හිතමින් අත සෝදන් ආයෙම කැබින් එකට ගියා.
“විහංසා යන්නෙ කොහොමද?” මියුරංග ඇහුවෙ විහංසා ඕෆ් වෙලා යන්න සූදානම් වෙද්දි.
“ආ.. මම බස් එකේ යන්නෙ අයියෙ” විහංසාට කිව්වට පස්සෙයි මතක් උනේ අද යුවති විහංසව ගන්න එනව කිව්ව කියලා.
“බස් තියෙනවද ගෙදර ලඟටම”
“නෑ චුට්ට දුරක් පයින් යන්න තියෙනවා. මීටර් පන්සීයක් විතර.” විහංසා කියද්දි මියුරංග විහංසාගෙ උඩ ඉඳන් පහලට බැලුවා. විහංසා නලල රැලි කරලා බලාගෙන හිටියෙ ඒ ඇයි කියලා අහන්න.
“දවසට දෙපාරක් මීටර් පන්සීය ගානෙ ඇවිදලා තමයි ඔයා මේ ෆිගර් එක මේන්ටේන් කරන්නෙ නේද?” මියුරංග අහද්දි විහංසට හිනා ගියා.
“හැමවෙලාවෙම විහිලු. මම යනවා. බුදු සරණයි.” විහංසා එහෙම කියලා හෑන්ඩ් බෑග් එකත් අරන් එලියට ආවා.
මියුරංග බලන් හිටියෙ මේ අපූරු කෙල්ල දිහා. “බුදු සරණයි” විහංසා ගියාට පස්සෙ මියුරංග මිමිණුවා.
විහංසා එලියට බහිද්දි යුවති ඇවිත් හිටියා. යුවතිගෙ පුංචි පැන්ඩා කාර් එක දැක්ක ගමන් විහංසා ගිහින් නැග්ගා.
“මොකෝ හිනා වෙන්නෙ.” යුවති ඇහුවෙ තනියම හිනාවෙන විහංසා දිහා බලලා.
“නෑ පුදුම උවමනාවක්නෙ තියෙන්නෙ මාව එක්කන් යන්න. අම්මෝ කෙල්ලගෙ මූණෙ තියෙන කෝලකම.” විහංසා කිව්වෙ යුවතිගෙ කම්මුලක් මිරිකලා.
“අනේ යනවා යන්න. මේ මොන පාට ඇඳුමක්ද හොඳ? ලයිට් කලර්ස් හරි යන්නෙ නෑනෙ රෑට. ඩාර්ක් කලර් එක ගමු. මොකද කියන්නෙ බ්ලැක්?” යුවති ශොප් එකක් ඉස්සරහා කාර් එක නවත්තන ගමන් ඇහුවා.
“ගිහින් බලමුකෝ…” විහංසා බෑග් එක කාර් එකේම තියලා ෆෝන් එක විතරක් අරන් බැස්සා.
“අයියෝ දෝණියෝ මේ එකක්වත් මට මැච් වෙන්නෙ නෑනෙ. අයියෝ මම තව චුට්ටක් මහත් උනා නම්. මේ බලන්න ඔයාට නම් මැච් වෙනවා මේ තියෙන සේරම.” යුවති කිව්වෙ පැයක් විතර තිස්සෙ ශොප් එක පුරාම බලලා බලලා එපා වෙලා විහංසාගෙ ඇඟට ඇඳුමක් තියලා බලමින්.
“චූටි මේ බලන්න. මේක ලස්සනයි.” විහංසා කතා කලේ රතු පාට ලස්සන බ්ලවුස් එකක් පෙන්නලා.
“අනේ ඕක මට හරි යයිද?” යුවති ඇහුවෙ මූණ ඇද කරමින්.
“ඔව් දරුවෝ. මම ඔයාට නොගැලපෙන දෙයක් තෝරනවද?” විහංසා කිව්වෙ හිනාවෙලා.
“රංග අයියා කැමති වෙයිද?” යුවති අහද්දි විහංසාගෙ හිත ගැස්සුනා.
“ම්ම්ම්… කැමති වෙයි. චූටියෝ මුලින්ම හම්බ වෙන්න යන දවස නිසා අපි තාම දන්නෙ නෑනෙ එයාගෙ කැමැත්ත අකමැත්ත. ඒ නිසා ඔයා මේක ඇඳන් යන්න. එයා කැමති විදිය හෙමිහිට අහගන්න. හරිද?” විහංසා කෙල්ලගෙ හිත හදපු නිසා යුවති ඒ බ්ලවුස් එක ගත්තා ඩෙනිම් එකට අඳින්න.
“මේ මේකත් ගන්නවද? දැන් ලොකුයි කියල කෑ ගැහුව නේද?” විහංසා ඇහුවෙ යුවති තව ඇඳුමක් බිල් කරන්න ගෙනියන නිසා.
“ආ ඒක ගත්තෙ ඔයාට. කට වහගෙන කාර් එකට ගිහින් ඉන්න. මම එන්නම්.” යුවති කාර් එකේ කී එක විහංසාගෙ අතට දීලා යැව්වා.
“ඔයා මට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි චූටි.” විහංසා හිතුවෙ ආදරෙන්. කවදත් යුවති ඔහොමයි. එයාට ඇඳුමක් ගන්න ගියොත් විහංසටත් ඇඳුමක් අරගන්නවා.
“ආ.. මේක ගන්න. නෙක්ස්ට් සන්ඩේ යන්න අපි දෙන්නට යන්න තියෙනවා ගමනක්. ඒකට ඇඳන් එන්න හරිද?” යුවති කියද්දි විහංසා බෑග් එක අතට ගත්තෙ මේ ඉරිදත් ඉවරයි කියලා හිතන ගමන්.
යුවති විහංසාව ගෙදර ලඟටම දාලා ඉක්මණටම ගියේ මියුරංග එන වෙලාව වෙද්දි ලේස්ති වෙලා ඉන්න ඕනෙ නිසා.
විහංසා ඇඟ සෝදගෙන ඇඳට වැටුනෙ ටිකක් මහන්සි නිවෙන්න. යුවති එක්ක ඇවිද්දම හරිම අමාරුයි ඇයි එක තැනක ඉන්නෙම නෑනෙ. කොහොම උනත් විහංසා හාන්සි වෙලා විනාඩි පහක් ගියේ නෑ යුවතිගෙන් කෝල් එකක්.
“කියන්න මම මේ හිතුවා විතරයි.” විහංසා හිනා වෙවී කිව්වා.
“තමුසෙට නම් විහිලු නේද? මට එපා වෙලා හලෝ. මම කවදාවත් මෙච්චර ස්ට්රෙස් වෙලා නෑ.” යුවති කියන්නෙ මූණත් එල්ලන්.
“මොකද්ද වදේ දැන් ඒ පාර ප්රශ්නෙ.”
“අන්න වදේලු. මං තරහයි. උදව්වක් ඉල්ලන්න කතා කරාම වදේලු. මං කාගෙන්ද හලෝ උදව් ඉල්ලන්නෙ.” යුවති නාහෙන් අඬ අඬ කියනවා.
“හරි හරි චූටි කියන්න මොකද්ද අවුල”
“අර යකා දැන් එනවත් ඇති. මම තාම හෙයාර් ස්ටයිල් එකක් දැම්මෙ නෑ අක්කෝ. කොහොමද හොඳ.”
“අයියෝ අයියෝ චූටි. බොරුවට ස්ට්රෙස් වෙන්න එපා ලමයෝ. ඔයා මුලින්ම නෝමල් වෙන්න. මේ අහන්න දැන්. යුවති ඉන්නවනෙ එයා මොන වගේද?” විහංසා අහනවා. යුවති කල්පනා කරනවා.
“මම ෆනි ගර්ල් කෙනෙක්. චුට්ටල් දඟයි හැබැයි හොඳයි.” යුවති දඟකාර විදියට කියද්දි විහංසාට හිනයි.
“යකෝ මම ඇහුවෙ පෙනුම. මැට්ටා.”
“ආහ් මම ඉතින් ලස්සනයිනෙ.”
“කොහොම හිටියමද?” විහංසා හදන්නෙ මේ කොහොම හරි යුවති අහපු ප්රශ්නෙට එයාගෙන්ම උත්තරේ ගන්න.
“කොහොම හිටියත් මම ලස්…… ආහ් හරි හරි ඔයා කියන්නෙ මට කැමති විදියකට යන්න මම ලස්සනයි කියලනෙ. අයියෝ දෙයියනේ මට ඒක අමතක උනානෙ. හරි හරි ඔන්න එහෙනම් මම පෝනි ටේල් එකක් දානවා නෝමලි. හරිනෙ.” යුවති කටර් එක වගේ කියවනවා.
“හරි හරි දැන් කලබල නැතුව ලේස්ති වෙලා යනවා. ඕවා මතක් කරන්න මම ම එන්න ඕනෙ. බුදු සරණයි. පරිස්සමෙන් ගිහින් ඉඳලා එනවා. මට දුක අර මනුස්සය ගැන. පව්.”
“අපි බලමුකො මෙයාව කරගහන එක්කෙනා මොන වගේ වෙයිද කියලා. මැට්ටී.” යුවති කෝල් එක කට් කලේ කෝල් එක ගන්නකොට තිබුන කලබලේ එහෙම පිටින්ම අමතක කරලා.
“චූටි… බබා එන්න මේ මියුරංග පුතා ඇවිල්ලා.” දයාන් පහල ඉඳන් කතා කලේ මියුරංග ඇවිත් ටිකක් කතා කර කර හිටියට පස්සෙ.
“වන්දනා ගිහින් බබාට එන්න කියන්න. මේ දරුවා ඇවිත් කොච්චර වෙලාද?” දයාන් කිව්වෙ වන්දනා උඩට යන්න හදද්දිමයි.
“කමක් නෑ අංකල්. නංගිට ලේස්ති වෙලා එන්න දෙන්න. මට ලේට් නෑ.” මියුරංග කිව්වෙ හිනාවෙලා. ඒත් ඔහුගෙ හිත මොකද්දෝ කිව්වා.
“හරි යමු අයියා.” යුවතිව දැකලා මියුරංගට කතා කරගන්න බැරි උනා. යුවතිගෙන් මියුරංග දැක්කෙ ඔහු බලාපොරොත්තු උන රුවමයි. අහිංසක පාටට ඉන්න යුවතිව දැක්කම මියුරංගට ආදරේ හිතුනා.
“යමු. ගිහින් එන්නම් අංකල්. ආන්ටි අපි ගිහින් එන්නම්.” මියුරංග දයාන්ටයි වන්දනාටයි කියලා එලියට බැස්සා.
ආයෙත් හමුවෙමු.