මා නොවේ ඈ නුඹේ 07 කොටස
“බස් එක කැඩුනා. මෙතෙන්ට ආවෙ බස් එකක් ගන්න.” විහංසා හිනා වෙලා කිව්වා.
ඊයෙ රෑ පුරාම හිතලා හිතලා කෙල්ල හිතට කියල දුන්නා මියුරංග කියන්නෙ යුවතිට අයිති කෙනෙක් මිසක් තමන්ට අයිති කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඇයට අද මියුරංග එක්ක හදවතින්ම හිනාවෙන්න පුලුවන් උනා.
“නගින්න එහෙනම්. යමු.” මියුරංග දොර ඇරලා දුන්නා.
විහංසා නගින්නෙ නැතුව හිතුවෙ ඔෆිස් එකේදි කියනවට වඩා යුවතිගෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න හොඳම වෙලාව මේක කියලා. ඇය ගෙදරින් ආවෙම අද මියුරංගට යුවති මියුරංග එයාගෙ කැමැත්ත අකමැත්ත කියනකන් බලන් ඉන්න බව කියන්න.
“මොනාද හිතන්නෙ. නගින්නෙ නැද්ද?” මියුරංග ආයෙත් අහද්දි විහංසා නැග්ගා. ටික දුරක් යනකන් දෙන්නා අතරෙ විශේෂ දෙයක් කතා උනේ නෑ.
“මොනවද හිතන්නෙ. යුවති ගැනද?” දිගටම පාර දිහා බලාගෙන යන විහංසාගෙන් මියුරංග ඇහුවෙ මොහොතකට ඇය දිහා බලමින්.
“යුවති ගැන මොනව හිතන්නද? එයා ගැන හිතන්න අහස් අයියා ඉන්නවනෙ.” විහංසා ඇගේ කතාවට හොඳ අඩිතාලමක් දාගත්තා.
“නෑ එයා වැරදියට හිතුවොත් ඔයා මාත් එක්ක ගියා කියලා. කෙල්ලො එහෙමනෙ.” මියුරංග හිනා උනා.
“යුවති එහෙම හිතන කෙනෙක් නෙමෙයි. අනික එයා මගෙ හැටි දන්නවා.” විහංසා හිනාවෙලා කිව්වා.
“ආහ් මං අල්ලගන්න හිටියෙ. කාගෙන් අහලද මගේ නම්බර් එක එක එක්කෙනාට දෙන්න පටන් ගත්තෙ.”
“එක එක්කෙනාට වෙන්නෙ කොහොමද? ඒ ඔයා බඳින්න ඉන්න ගෑණු ළමයනෙ” විහංසා කිව්වෙ අමනාපෙන්.
“හරි හරි ඒකට කමක් නෑ. මට මැසේජ් එකක් දාලා තිබුනා. මොකද්ද එකක් කියලා.” මියුරංග කියද්දි විහංසාට තරහ ගියා.
“මැසේජ් එකක් විතරක් නෙමෙයි එයා කෝල් එකකුත් අරන් තිබුනා.”
“ඒ ඩිංගට ඒකත් කිව්වද? මම සයිලන්ට් දාල නිදාගත්තා. මම හිතුවෙ නෑ එයා කෝල් කරයි කියලා.”
“හ්ම්ම්…”
“යුවති හරි බොළඳයි.”
“ඇයි එහෙම කියන්නෙ?”
“ඊයෙ එයා ඇඳන් ආවෙ ලස්සන රතු පාට බ්ලවුස් එකක්.” මියුරංග කියද්දි විහංසාට සතුටු හිතුනා. ඇය තෝරපු ඇඳුම ලස්සනයි කිව්ව එකට.
“ඒක මම ලස්සනයි කිව්වම එයා මොකද්ද කියන්න ගිහින් නැවැත්තුවා. ආයෙ ටිකකින් එයාගෙ කටින්ම පැන්නා ඒක තේරුවෙ ඔයා කියලා.” මියුරංග කිව්වෙ ඊයෙ සිදුවීම මතක් කරමින් හිනාවෙවී.
“එයා හිතන්න ඇති ඒක තේරුවෙ මං කියල කිව්වොත් හරි නැති වෙයි කියලා.” විහංසා කිව්වා. මියුරංග හයියෙන් හිනා උනා.
“ඇයි හිනා උනේ?”
“නෑ යාලුවට කඩේ යන තරමක්.”
“විහිලු නෙමෙයි යුවති ඔයාට ආදරෙයි අයියේ. එයා බයෙන් ඉන්නෙ ඔයා එයාට අකමැති වෙයි කියලා. ඒත් මම දන්නවා ඔයා එයාට ආදරෙයි කියලා.” විහංසා කියද්දි මියුරංග වාහනේ අයිනකට කරලා නැවැත්තුවා.
“ඇයි එයා බයෙන් ඉන්නෙ?” මියුරංග ඇහුවෙ විහංසාගෙ පැත්තට හැරිලා වාඩි වෙන ගමන්.
“එයා ඔයා ලඟදි නෝමල් නෑ. එයා ඔයා ලඟදි ඉන්නෙ බොහොම තැන්පත් අහිංසක ලමයෙක් වගේ. ඒක දවසක් දෙකක් කරත් ඊට පස්සෙ එයාට එහෙම ඉන්න බෑ. ඒ නිසයි දැන් ඔයාව මීට උනාම එයා ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ. නෝමලි යුවති කියන්නෙ ටිකක් දඟකාර සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙල්ලෙක්. එයා…”
“ඒ කියන්නෙ එයත් අපේ නංගි වගේද?” විහංසා ඉතුරු ටික කියන්න කලින් මියුරංග ඇහුවා.
“ඔව් හැබැයි සහස්‍රාට වඩා ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු හැඟීම් යුවතිට තියෙනවා. ඇත්තටම යුවති කියන්නෙ කොල්ලෙක්ට ලබන්න සුදුසුම කෙල්ලෙක්. කිසිම දේකින් අඩුවක් නෑ. ඒ වගේම යුවති කියන්නෙ ගොඩක් හොඳ ලමයෙක්.”
“එයා ඇයි මගෙ ඉස්සරහා වෙනස් විදියට හිටියෙ?” මියුරංග ඇහුවෙ කේන්තියෙන්.
“සොරි අයියේ වැරැද්ද මගේ. මමයි කිව්වෙ පලවෙනිම දවස නිසා ටිකක් තැන්පත්ව ඉන්න කියලා. ඒ නිසා එයා වෙනස් වෙලා හිටියා. දැන් එයා බයයි ඔයා එයාට අකමැති වෙයි කියලා. එයාගෙ ෆ්‍රස්ට් ලව් එක ඔයා. ඇත්තම කිව්වොත් මේ දවස් දෙකට එයා පිස්සුවෙන් වගේ ඔයාට ආදරෙයි.” විහංසා කිව්වා.
“මම ලංකාවට ආවෙ කසාදයක් ගැන දැන්ම හදිස්සි වෙන්නෙ නෑ කියලා හිතාගෙන. ඒත් හදිස්සියෙම ඒ අදහස වෙනස් උනා කෙනෙක් නිසා. එයාගෙ හිනාවට කතාවට අඳින පළඳින විදියට ඇවිදින විදියට මේ හැමදේටම මම ආදරේ කලා. මම අම්මලා කියපු කෙනාව බලන්න ගියේ මම කලින් කියපු කෙනාව හිතේ තියන් ඉඳපු නිසා. බලන්න යන කෙනෙත් එයා වගේ උනොත් කැමති වෙනවා කියලා. හිතුවා වගේම එදා මම බලාපොරොත්තු උන කෙනා හිටියා…”
“ඒ කියන්නෙ ඔයා එයාට කැමතියි.” විහංසා හිතුවා. ඇයට සතුටුයි. යුවතිගෙ හීනෙ හැබෑ වෙන නිසා.
“ඒත් මොකක්දෝ වෙනසක් නොතිබුනේම නෑ. ඇත්තටම මේකයි මම තාමත් යුවති ගැන හිතනවා. මම හෙමිහිට තීරණයක් ගන්නයි හිටියේ.” මියුරංග කිව්වා.
“දැන් තවත් හිතන්න දෙයක් තියෙනවද? ඔයාම කිව්වෙ ඔයා බලාපොරොත්තු උන කෙනාම එදා හිටියා කියලා. ඉතින් හරිනෙ දැන්.” විහංසා ඇහුවෙ මියුරංග දිහා බලාගෙන. ඇය හිතුවෙ ඔහු කිව්වෙ යුවති ගැන කියලා.
“හ්ම්ම්…” ඇත්ත කියන්න හයියක් නැති මියුරංග බලන් හිටියා.
“එහෙනම් ඔයා යුවතිට කෝල් කරලා කියන්න ඔයා එයාට ආදරෙයි කියලා.” විහංසා කියද්දි මියුරංග බලන් හිටියෙ ඇගේ මූණෙ තිබුන සතුට දිහා.
“ඔයා කියන්න බය නැතුව එයාට නෝමලි ඉන්න කියලා. ප්ලීස්. ඇත්තටම යුවතිට වඩා මම බයෙන් හිටියෙ මගේ මෝඩ වැඩ නිසා ඔයා යුවතිට අකමැති උනොත් කියලා. දැන් මට බය නෑ.” විහංසා සතුටින් කියද්දි මියුරංග මුකුත් නොකියා ඇගේ සතුට දිහා බලාගෙන හිටියා. හිනාවෙන ඇස් දෙකයි නැවතීමක් නැතුව සෙලවෙන දෙතොලයි දැක්කම මියුරංගට ලෝබත් හිතුනා. තමන් බලාපොරොත්තු උන කෙනා ඇය කියලා කියන්න හිත හදාගන්නෙ කොහොමද කියලා මියුරංග හිතුවා. කොහොමද කියන්නෙ බලාපොරොත්තු උන හැමදේම යුවති මවා ගත්ත ඒවා කියලා.
මොහොතක් නිහඬව ගෙවුනා.
“පරක්කු උනා යමු නේද? වෙනදට වඩා ඔයා පැය බාගයක් ලේට්.” මියුරංග කියද්දි තමයි විහංසා ඔරලෝසුව දිහා බැලුවෙ.
“ඕහ්.. අද ශෝට් ලීව් තමයි එහෙනම්.” විහංසා මූණත් ඇඹුල් කරන් කිව්වෙ.
“යමු යමු.” මියුරංග වාහනේ ස්ටාර්ට් කරලා ඉස්සරහට ගත්තා.
“යුවති කියන්නෙ ගොඩක් හොඳ කෙල්ලෙක්. ගෙදර අයත් එහෙමයි. එයාලා මටත් එයාලගෙම දරුවෙක්ට වගේ සලකන්නෙ. යුවති මට ගොඩක් උදව් කරල තියෙනවා. කවදාවත් මට එයාව අමතක කරන්න බෑ.” විහංසා දිගටම කියනවා. මියුරංග හිනාවෙවී වාහනේ පැදෙව්වා.
විහංසාගෙ ෆෝන් එක රිංග් උනා.
“ගුඩ් මෝනින් සහස්‍රා.” විහංසා හිනා වෙලා කිව්වා. මියුරංග කල්පනා කලේ මේ කෙල්ල මේ තරම් ලස්සනට හිනා වෙන්නෙ කොහොමද කියලා.
“මෝනින් තමයි. කොහේද ඉන්නෙ. මම අපේ අයියට කතා කරලම ඔයාට ගන්න හිටියෙ. එයාගෙ ෆෝන් එක වැඩ නෑ. ඔෆිස් එකට අරන් ඇහුවම ඔයාලා දෙන්නම නෑ කිව්වා. අපේ මෑන් කොහෙ ගිහින්ද දන්නෙ නෑ. මේ ඒක නෙමෙයි ඒක පැත්තකින් තියමුකො. ඔයා අද නිවාඩුද?”
“නෑ නෑ ලමයො. මම මේ ඔෆිස් එකට යනගමන්. බස් එක කැඩිලා මග බැස්සා. අහස් අයියා හම්බ උනා දැන් මේ කම්පනි එකට යනගමන්.”
“ආහ් හරි හරි එහෙනම් අයියා කියයි එයාගෙන්ම අහගන්න මම කියන්න ගියපු පණිවිඩේ.” සහස්‍රා එහෙම කියලා ෆෝන් එක තිව්වා.
“ඇයි?” මියුරංග විහංසාගෙන් ඇහුවෙ තමන්ගෙ දිහා තුෂ්නිම්භූත වෙලා වගේ බලන් ඉන්න නිසා.
“මන්දා එයා කියන්න ගිය පණිවිඩේ ඔයාගෙන් අහගන්න කිව්වා.”
“ආ ඔය කියන්නෙ ට්‍රිප් එක ගැන. මේකයි ට්‍රිප් එකට ඔයාට ෆයිව් ඩේස් නිවාඩු ඕකේ කරලා තියෙන්නෙ. ඔයාට තියෙන්නෙ ලේස්ති වෙන්න විතරයි.” මියුරංග සැහැල්ලුවෙන් කිව්වා.
“ඒත් මම තාම යනවද කියලා හිතුවෙ නෑනෙ.”
“මොකක්? අනේ මේ යමු යමු. මොකද වියදම් වෙනව කියලද?” මියුරංග හිනා උනා.
“මට තාත්තා තනියම දාලා යන්න බෑ අයියේ. මම තාත්තට උදේ කියන්න හිටියෙ ඒත් චූටි කෝල් එක ගත්ත නිසා කියන්න උනේ නෑ. හවසට තමයි කියන්න වෙන්නෙත්.” විහංසා අහිංසකව කියද්දි මියුරංගට දුක හිතුනා.
“බල කරන්නෙ නෑ. තාත්තා කැමති නම් එයාවත් එක්කන් යමු. හරිද? අප්සට් යන්න එපා. එතකොට මගෙ හිතටත් හරි නෑ වගේ.” මියුරංග එහෙම කියලයි වාහනේ කාර් පාක් එකට දැම්මේ.
__________________________________________________________________________
“තාත්තේ…” විහංසා තේ දෙකකුත් හදාගෙන ඇවිත් ඉස්සරහා පුටුවෙන් වාඩි උනේ නුවර එළියෙ ගමන ගැන කියන්න.
“කියන්න දෝණි.” තේ එක අරන් උදේනත් කතාවට ලේස්ති උනා.
“සහස්‍රාගෙ ෆැමිලි එකෙන් ට්‍රිප් එකක් යනවා නුවර එළියෙ. දවස් හතරක්. සහස්‍රා මටත් කතා කරනවා. තාත්තව දාලා එන්න බෑ කිව්වම සහස්‍රායි අහස් අයියයි දෙන්නම කිව්වා තාත්තා අකමැත්තක් නැත්නම් යමු කියලා.”
“මගෙ දෝණි ගිහින් එන්න. දවස් හතරක් මට තනියම ඉන්න බැරුවයැ.” උදේන කිව්වෙ හාන්සි පුටුවෙ හොඳට හාන්සි වෙනගමන්.
“ඒත් මට එහෙම යන්න බෑ තාත්තා. මේ අවුරුදු හතටම මම තාත්තාව තනිකරේ නෑනෙ.” විහංසා කිව්වෙ දුකෙන්.
“දැන් ඔහ ට්‍රිප් එක යන්නෙ කවද්ද?”
“තාම දිනයක් නෑලු තාත්තා. සහස්‍රා කියයි.”
“එහෙනම් අපි බලමුකො මොකක් හරි.”
“හා තාත්තා.” විහංසා තේ ඉවර උන මග් දෙකම අරන් කුස්සියට ගියා. රෑ කෑම උයලා ඉවර වෙලා කන්න කලින් හැමදාම ඇය ටික වෙලාවක් හාන්සි වෙන්නෙ ඇඟේ තෙහෙට්ටු ගතිය මග ඇරෙන්න. අද කාමරේට එද්දි ෆෝන් එක රින්ග් වෙනවා ඇහුනා. විහංසා ෆෝන් එක අතට අරන් බැලුවා.
ආයෙත් හමුවෙමු.
සමාවෙන්න යාලුවනේ කතාව පරක්කු උනේ මගෙ අතින් මුල ටික ඩිලීට් උනා. ආයෙම ටයිප් කරලා දාන්න උනා.