මා නොවේ ඈ නුඹේ 08 කොටස

“අහස් අයියා..” විහංසා පුදුමෙන් බලන් හිටියා මිසක් කෝල් එක ආන්සර් කලේ නෑ. කෝල් එක කට් වෙලා ආයෙම කෝල් එකක් ආවා.

“හෙලෝ…” විහංසා හෙමිහිට හෙලෝ කිව්වෙ.

“කාට හරි බයේ හොරාටද කතා කරන්නෙ?” මියුරංග හිනා උනා.

“නෑ. ඒත් ඇයි අහස් අයියා මේ වෙලාවෙ?”

“මේ වෙලාවෙ මොකක් හරි වැරැද්දක් තියෙනවද?” මියුරංග ඇහුවෙ කාමරේ එල්ලල තියෙන ඔරලෝසුව දිහාත් බලන ගමන්.

“නෑ මං කිව්වෙ ඔයා මට කෝල් කරලම නෑනෙ. ඒකයි.” විහංසා හිතේ තිබුන දේ කියල දැම්මා.

“ආහ් ඒක මිසක්. මම මේ ගත්තෙ ට්‍රිප් එකට ඩේට් එකක් දාගන්න කලින් ඔයාට පුලුවන් කවද්ද අහන්න. තාත්තගෙන් ඇහුවද?”

“තාත්තා කියන්නෙ තනියම යන්න කියලා. මම යමු කිව්වම තව දවස් තියෙනවනෙ බලමු කිව්වා. මට තනියම නම් එන්න බෑ අයියේ.” විහංසා උත්තර දුන්නෙ මේ ගැන කතා කරන්න සහස්‍රා නැතුව අහස් ගත්තෙ ඇයි කියලා හිතමින්.

“හ්ම්ම් එහෙනම් තාත්තා හිතල බලනකන් අපි වැඩේ පස්සට දාමු. අපේ නංගි කොහොමටවත් ඔයා නැතුව මේ ට්‍රිප් එකට එන්නෙ නෑ.” මියුරංග කිව්වෙ තමන්ටත් යන්න හිත දෙන්නෙ නෑ වගේ.

“අනේ මම සහස්‍රාට කතා කරන්නම්. එයා එයි. ඔයාලා ඩේට් එකක් දාගන්න.”

“හරි හරි මං එහෙනම් තියන්නම්. බායි.”

“යුවතිට කතා කරාද? කතා කලේ නැත්නම් ප්ලීස් ඔයා දැන් හරි කතාකරන්න. ට්‍රිප් එකට එයාටත් කතා කරන්න. බුදු සරණයි.” විහංසා කිව්වා.

“මම ගන්නම් නංගී. බුදු සරණයි.” මියුරංග කිව්වා නෙමෙයි කියවුනා.

“දෝණි…” උදේන කතා කලේ කාමරේ දොර රෙද්ද මෑත් කරමින්.

“තාත්තා බඩගිනිද? යමු මං මේසෙට අරින්නම්.” විහංසා ෆෝන් එක පැත්තකින් තියලා නැගිට්ටා.

“නෑ මම ලොකු තාත්තලාගෙ ගෙදරට කෝල් එකක් ගත්තා ලොකු අම්මා අඬනවා.”

“ඇයි තාත්තා ලොකු තාත්තට අමාරුයිලුද?” විහංසා බය වෙලා ඇහුවෙ.

විහංසාගෙ ලොකු තාත්තා ඒ කියන්නෙ උදේනගෙ ලොකු අයියා ඔහුට අංශ බාගය වැළඳුනේ දැන් මාසෙකට දෙකකට විතර උඩදි. මාරුවෙන් මාරුවට කට්ටිය ඔහුගෙ වැඩ කලා. උදේන මුල්ම දවස් ටිකේ ගිහින් හිටියට පස්සෙ ගිහින් බලලා එනවා මිසක් නවතින්න යන්නෙ නෑ. විහංසා මේ ට්‍රිප් එක ගැන කියපු නිසා උදේන කෝල් එකක් ගත්තා එන සතියෙ එහෙ ගිහින් ඉඳලා එන්න කියලා. කෙල්ලව ට්‍රිප් එක යවන්න ඕන නිසයි උදේන කෝල් කලේ.

“උදව්වට ටික දවසකට යන්න කියලා. මේ සතියෙ පුංචි බාප්පා ඉන්නවලු. ලබන සතියෙ මට එහෙ යන්න පුලුවන්. දෝණි ට්‍රිප් එක යන්න. සහස්‍රා දුවට කියන්න ඔයා එනව කියලා.” උදේන එහෙම කියලා එලියට ගියා.

විහංසාට තාත්තා ගැන දුකත් හිතුනා. තමන්ගෙ සතුට ගැන තාත්තා කොච්චර හිතනවද කියලා.

“තාත්තා ඔයා හරි හොඳයි.” විහංසා දුවගෙන ගිහින් තාත්තගෙ කම්මුලක් මිරිකලා කුස්සියට ගියා.

“පුදුම කපටියි මේ කෙල්ල දැන්. දෝණි ඔයා යන්න ආසවෙන් හිටිය කියල මම දන්නවා. ඒකයි මම ලොකු තාත්තලාගෙ ගෙදර යන්න හිතුවෙ.” උදේන හිනාවෙවී හිතුවා.

“තාත්තා කන්න එන්න.” විහංසා හිටියෙ සතුටින්. ඇය පුංචි කාලෙ ඉඳන් ආසයි නුවර එළියෙ යන්න. ඒත් මේ අවුරුදු විසි පහටම තාමත් නුවර එළියෙ ගිහින් නෑ. කෑම කාලා කුස්සිය අස් කරලා විහංසා ඇඳට ඇවිත් ෆෝන් එක අතට ගත්තෙ සහස්‍රාට කෝල් එකක් දෙන්න.

__________________________________________________________________________

මියුරංග කෝල් එක කට් කරලා කල්පනා කලේ යුවතිට ට්‍රිප් එකට කතා කරනවද නැද්ද කියලා. පස්සෙ තීරණය කලා ඕන දෙයක් උනාවෙ කියලා කතා කරන්න.

“හෙලෝ…” යුවතිගෙ කටහඬේ තියෙන සතුට අඳුර ගන්න මියුරංගට අපහසු උනේ නෑ.

“කොහොමද යුවති.”

“හොඳයි රංග අයියා. ඔයාට කොහොමද?” යුවති හෙමිහිට ඇහුවෙ.

“ඔයා මං නිසා වෙනස් වෙන්න එපා යුවති. මම ඔයාට කැමතියි. ඒ නිසා තමයි මෙහෙම කතා කරන්නෙ. හැබැයි අපි දෙන්නම ටිකක් ආශ්‍රය කරල බලමු. හරිනෙ.” මියුරංග පැහැදිලි කරා.

“මට තේරෙනවා.” යුවති කිව්වා.

“ඒ වගේම ඔයා මාත් එක්ක කතා කරද්දි සැහැල්ලුවෙන් ඉන්න. වෙන කෙනෙක් වගේ ඉන්න එපා. එතකොට අපි දෙන්නම අපහසුතාවයට පත් වෙනවනෙ. නේද?”

“ඔව් අයියේ හරි මට තේරුනා.”

“හරි එහෙනම් ඊළඟ දවසෙ එද්දි ස්ට්‍රෙස් වෙන්න බෑ. නෝමලි ඉන්න ඕනෙ. මියුරංග හිනා වෙලා කිව්වා.

“හරි අයියෝ හරි.” යුවති සුපුරුදු යුවති විදියට කතා කලා.

“අන්න හරි. විහංසා කිව්ව යුවති ඉන්නෙ දැන් මං හිතන්නෙ.”

“ඔව් ඔව් එයා කිව්වෙ මේ යුවති ගැන තමයි.” යුවති හිනා උනා.

“මම තියන්නම් එහෙනම්. පස්සෙ කෝල් එකක් ගන්නම්කො. කාලද ඉන්නෙ?” මියුරංගටම පුදුමයි මේ තමන්මද කතා කරන්නෙ කියලා.

“ඔව් මම කාලා. ඔයා කාලද? රෑ වෙලා ගන්නම් එහෙනම්.” යුවති එහෙම කිව්වා. යුවති නම් සතුටින්. මියුරංගට දැනුනා. ඔහු හිතුවෙ දැන් විහංසාටත් සතුටු හිතෙයි කියලා.

“අපිට කන්න තව වෙලාව තියෙනවා. හරි තියන්නම් බුදු සරණයි.”

මියුරංගට දුක මිශ්‍රිත සතුටක් දැනුනා. තමන් ගැන දුකත් හිතුනා විහංසා වගේ කෙල්ලෙක් ලැබුන නම් කියලත් හිතුනු වාර අනන්තයි. ඒත් විහංසාගෙ සතුට තමන් යුවති සතුටින් ඉන්න එක. යුවතිගෙ සතුට තමන්ව කසාද බඳින එක. ඒක තමයි අන්තිමට විහංසගෙ සතුට වෙන්නෙත්. ඉතින් මියුරංග හිතුවා තමන්ගෙ සතුට විහංසා හිනා වෙන එක නිසා මේක තමයි හොඳම තීරණය කියලා.

සහස්‍රා කෝල් එක කතා කර කරම මියුරංගගෙ කාමරේට ආවා.

“හරි කෙල්ලේ එහෙනම් වැඩේ හරිනෙ. මං තියන්නම්. බුදු සරණයි.” සහස්‍රා කෝල් එක කට් කරන ගමන්ම මියුරංගට ෆිට් එකක් පෙන්නුවා.

මියුරංග බලන් හිටියෙ මොකක්ද කියලා.

“සමී එනව කිව්වා ට්‍රිප් එකට. අපිට දිනයක් දාගන්න කිව්වා.” සහස්‍රා හරි සතුටින් කිව්වෙ.

“ආහ් එහෙනම් ලොකු අයියට කියමු නෙක්ස්ට් වීක් යමු කියලා.” මියුරංගත් සතුටු උනා විහංසා යමු කිව්ව එකට.

“ලොක්කා වැඩේ ඕකේ. කවද්ද ඔයාට පුලුවන්?” මියුරංග ඇහුවෙ උදම් බිස්නස් වැඩ නිසා බිසී වෙන නිසා.

“මම කොහොමත් නෙක්ස්ට් වීක් ෆ්‍රී මල්ලා. එහෙනම් මම වෙන්ස්ඩේ එන්නම්. ෆ්‍රයි ඩේ යමු කියලා අම්මටයි අප්පච්චිටයි කියන්න.” උදම් කිව්වා.

“එල. ඔයාට මොනව හරි ගන්න ඕනෙද?”

“නෑ මට ඔය තියෙන ඒව හොඳයි. අප්පච්චිට කියන්න මගේ වෙහිකල් එකේ යමු කියලා. කීයක් ඉන්නවද ඔක්කොම.” උදම් ඇහුවෙ එදා ෆැමිලි ට්‍රිප් කිව්වට පහු වෙනකොට සහස්‍රාගෙ යාලු හිත මිත්‍රාදීන් එකතු වෙන බව දන්න නිසා.

“ආ එදා කිව්ව කට්ටියම තමයි. වැඩිත් නෑ අඩුත් නෑ ඔක්කොම හයයි.”

“හා අර උඹේ ගර්ල් එක්ක යන්නෙ නැද්ද?”

“නෑ එයාව එක්කන් යන එක හරි නෑනෙ. තාම සතියක් වගේනෙ අඳුරගෙනත්. එහෙම එක්කන් යද්දි හොඳ නෑනෙ. අනික ඒ මිනිස්සු උනත් කැමති වෙන එකක් නෑනෙ.”

“හ්ම්ම් ඒක ඇත්ත. කොල්ලා මම පස්සෙ ගන්නද? වැඩක ඉන්නෙ.”

“හරි බායි.” මියුරංග කිව්වා.

“බුදු සරණයි. ආ මේ බඩී ඉන්නවද?”

“ඔව් මෙතන ඉන්නවා කටත් ඇර ගෙන.” මියුරංග කිව්වෙ සහස්‍රාට ටෝක්කක් ඇනලා.

“ආව්…මැට්ටා.”

“පොඩ්ඩක් දියන්.” උදම් කවදත් නංගිටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි.

“මෙන්න දෙන්නලු.” මියුරංග ෆෝන් එක සහස්‍රාට දීලා ඇඳෙන් නැගිටලා අල්මාරිය ලඟට ගියා.

“ලොකු අයියේ.”

“බඩී මම එදා එනකොට අම්මට සල්ලි දුන්නා. ඔයා ඒ සල්ලි ඉල්ලගෙන ගිහින් ඇඳුම් ගන්න. අර යාලුවටත් ඕනෙ නම් අරන් දෙන්න. මදි නම් සුදු අයියගෙන් ඉල්ල ගන්න මම ආවම එයාට දෙන්නම්.”

“අම්මා දුන්නා අයියේ. ඒ ඇති වෙයි. ඔව් සමීට අරන් දෙන්න ඕනෙ ස්වීටර් දෙක තුනක්. එයා නුවර එළියෙ ගිහිල්ලම නෑ.” සහස්‍රා කියද්දි මියුරංග බැලුවේ පුදුමෙන්. ඔහු දැනන් හිටියෙ නෑ නංගි විහංසාට මේ තරම් ආදරෙයි කියලා.

“හරි හරි බඩී මේ සුදු අයියට හරි අප්පච්චිට හරි කියන්න අර වික්‍රමාරච්චි අංකල්ට කෝල් එකක් දීලා එයාලගෙ අර ගෙදර බුක් කරන්න කියලා.” උදම් කිව්වෙ නුවර එළියෙ ගියාම නවතින ගෙදර ගැන.

“මං කියන්නම් අයියා.” සහස්‍රා බොහොම තැන්පත්ව කතා කලේ එදත් ලොකු අයියා ඇයට කෑ ගහපු නිසා.

“හරි තියන්නම්. ශොපින් කරන්න යද්දි වෙහිකල් එකක් ඕනෙ නම් කෝල් එකක් දෙන්න. ඔයා ලඟ මගෙ නම්බර් එක තියෙනවද?” උදම් අහද්දි සහස්‍රාට හිනා ගියා. ලොකු අයියා තමන්ගෙ නංගිගෙන් අහන කතාවක හැටි.

“මං ලඟ තියෙනවා. ඔයා මට කතා නොකරට ඔයාගෙ නම්බර් එක මම ගත්තෙ මේ ෆෝන් එක ගත්ත දවසෙමයි.” සහස්‍රා සිහින් හඬින් කිව්වා.

“හරි එහෙනම්. බුදු සරණයි”

“බුදු සරණයි අයියා.” සහස්‍රා ඇසට නැගුනු කඳුලක් මියුරංගට හොරා පිහිදැම්මත් ඔහු ඒක දැක්කා.

“බඩී…. මොකද?” මියුරංග සහස්‍රාගෙ ලඟින් ඇඳේ වාඩි උනා.

“කාලෙකට පස්සෙ මගේ ලොකු අයියා ඇවිත් වගේ දැනෙනවා සුදු අයියා.” සහස්‍රා මියුරංගට තුරුල් වෙලා කිව්වා.

“එයා කවදත් දුරින් හිටපු කෙනානෙ ලමයෝ…” මියුරංග සහස්‍රාගෙ හිස අතගෑවා.

“එයා ඒ තරම් ඈත් උනේ ඔයා ගියාට පස්සෙ. ආයෙම කවදාවත් ඔයා අපෙන් ඈත් වෙලා යන්න එපා. ඔයා හිටියොත් ලොකු අයියත් අපිත් එක්කම ඉඳීවි.” සහස්‍රා තවත් මියුරංගට තුරුලු උනා.

“මම ආයෙ මොනවටවත් දුරට යන්නෙ නෑනෙ බබා. දැන් නාඬා ඉන්නකෝ. කෝ දැන් විහංසාට කෝල් එකක් දීලා කියන්න නෙක්ස්ට් වීක් ෆ්‍රයි ඩේ ගමන ඕකේ කියල.”

“හා. එයාට ශොපින් යන්න එන්න කියන්නත් ඕනෙ.” සහස්‍රා ආයෙම විහංසාට කෝල් එකක් ගත්තා.

“සමී..”

“ඔව් කියපං කෙල්ලේ. නිදියන්න ආව විතරයි.”

“හ්ම්ම් ඇයි අද කවි ලියන්නෙ නැද්ද?” සහස්‍රා හිනා වෙවී ඇහුවා.

“කම්මැලියි. ඊට වඩා නිදිමත ලොකුයි.”

“එහෙමද? මේ කියන්න ගත්තෙ ලබන සතියෙ සිකුරාදා ගමන ඕකේ.”

“හා මම තාත්තට කියන්නම්.”

“මේ ඉරිදට ශොපින් පාරක් දාමු.” සහස්‍රා කියද්දි විහංසාට මතක් උනේ මේ ඉරිදට යුවතිටත් කොහෙද යන්න තියෙනවා කිව්ව බව.

“අනේ කෙල්ලේ මේ ඉරිදට යුවතිට ගමනක් යන්න තියෙනව කිව්වනෙ.”

“අයියෝ එහෙමද. ඉන්නකො චුට්ටක් එහෙනම්.” සහස්‍රා මියුරංගගෙ පැත්තට හැරිලා…

“අලුත් බොස් අපිට සැටර්ඩේ ලීව් එකක් ඕනෙ.”

“මොකටද?” මියුරංග ඇහුවෙ විහංසට ඉරිදා ශොපින් කරන්න යන්න බැරි ඇයි කියලා හිතමින්.

“ඉරිදට යුවති එක්ක කොහෙද යන්න තියේලු.”

“හ්ම්ම් ඉරිදට ඔයාලා දෙන්න ශොපින් කරන්න. මම යුවති එක්ක යන්නම්.” මියුරංග කියනවා විහංසටත් ඇහෙනවා. ඇයට හිනා ගියා.

“දැන් ඔයා දන්නවද යුවතිට කොහෙද යන්න ඕනෙ කියලා.” සහස්‍රා ඇහුවෙ පුදුමෙන්.

“නෑ ඒ උනාට මම යන්නම් ඉතිං.”. මියුරංග එහෙම කියලා ආයෙත් ඇඳුම් අල්මාරිය අදින්න ගත්තා.

“මොනවා හොයනවද මන්දා.” සහස්‍රා කුටු කුටු ගෑවා.

“මේ කෙල්ලේ එයා යන්නම් කියන්නෙ යුවති එක්ක. එහෙනම් ඔයා යුවතිට කියන්න අයියා එන්නම් කිව්වා කියලා.”

“ඇයි යුවතිට කතා කලේ නැද්ද?” විහංසා ඇහුවෙ මියුරංග ඇයට පොරොන්දු උන නිසා

“තාම අපි එයාලව අඳුරගෙන සතියක් වගේනෙ බං. එහෙම කතා කරන එක හොඳ නෑනෙ.”

“හ්ම්ම්. ඒකත් ඇත්ත. යුවතිට දුක හිතෙයි මාත් යන නිසා” විහංසා දුකින් කිව්වෙ.

“අනේ මේ සේරගෙම හිත් හොඳ කරන්න ගියොත් මේ ට්‍රිප් එක යන්න වෙන්නෙ නෑ.” සහස්‍රට තරහ ගියා.

“හරි හරි කමක් නෑ. මම තාත්තට කියන්නම් එහෙනම්.”

“හා බායි. ගුඩ් නයිට්.”

“ගුඩ් නයිට්. බුදු සරණයි”

__________________________________________________________________________

“තාත්තා ට්‍රිප් එක ලබන සිකුරාදා.” උදේ වැඩට යන්න ලේස්ති වෙලා ඇවිත් විහංසා තාත්තට කිව්වා.

“කලින් දවසෙ එහේ යන්න වෙයිද දෝණි.”

“නෑ තාත්තා එයාලා මාව ගන්න මෙතෙන්ට එයි. පාන්දරින් යන්නෙ නෑ එලිය වැටුනම යනව කිව්වෙ.”

“හා එහෙනම් කමක් නෑ. බුදු සරණයි.” උදේන කෙල්ලගෙ හිස අතගෑවා.

“බුදු සරණයි තාත්තා ගිහින් එන්නම්.” විහංසාත් තාත්තට හැමදාම බුදු සරණයි කියල තමයි ගෙදරින් එලියට බැස්සෙ.

ආයෙත් හමුවෙමු.

අනේ ලමයි කියන්න ඕනෙ කතාව බලලා අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා. ඇත්තටම මම ආසයි ඔයාලගෙ අදහස් දැනගන්න. මොකද ඒවයින් තමයි මට ලියන්න ශක්තිය එන්නෙ. ලයික් කමෙන්ට් වල ප්‍රමාණය නෙමෙයි මට වටින්නෙ ඔයාලගෙ අදහස. ලයික් කමෙන්ට් ගොඩක් තියෙද්දි ආසයි තමයි එහෙමයි කියල ලයික් හිඟාකන්නෙ නෑ මං. කතාව ආසාවෙන් කියවනවා වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න තරම් කාරුණික වෙන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *