මා නොවේ ඈ නුඹේ 09 කොටස
“මේ ඔයා කාගෙන් අහලද මගේ ගමන් වලට ඔයා නෑවිත් වෙන අයව එවන්න හදන්නෙ?” යුවති කතා කලේ තරහින්.
“මම කාවවත් එව්වෙ නෑ චූටි. අහස් අයියා තමයි කිව්වෙ එයා යන්නම් කියලා ඔයත් එක්ක.” විහංසා ඔෆිස් එකේදි කෝල්ස් ආන්සර් කරන්නෙ හදිස්සියෙන්. අද යුවතිගෙන් මිස්ඩ් කෝල්ස් හයක් තිබුන නිසයි කෝල් එකක් ගත්තෙ ඒ අරගෙනත් බැනුම් අහන්න තමයි උනේ.
“ඒ ගමන යන්න ඕනෙ ඔයයි මායි. තේරුණාද? සමින්දිගෙ වැඩ වලට මියුරංග යන්න හදන්නෙ මොන සුදුසුකමටද? එයා ගෑණු ලමයෙක්ද?” යුවති කවදාවත් නැතුව තරහෙන් කියලයි විහංසාට හිතුනෙ.
“චූටි ඔයා මොකද කේන්තියෙන්.” විහංසා ඇහුවෙ දුකින් බව දැනුනු යුවති සාමාන්‍ය විදියට කතා කලා.
“දෝණි මේ ඔයා මගේ යාලුවා. ඔයා මට ඕන විදියට වැඩ කරන්න. සහස්‍රාද මමද කියල ඔයාට ඉක්මණටම තෝර ගන්න වෙයි.” ඒක ඇහුන ගමන් විහංසාව වෙව්ලලා ගියා. ඇයට යාලුවො දෙන්නම වටිනවා. දෙන්නම ඇයට එක වගේ. කොහොමද එක්කෙනෙක් තෝරගන්නෙ. අනික කවදාවත් නැතුව යුවතිට කේන්ති ගිහින් මොකද?
“හරි ලමයෝ මම ඔයා එක්ක එන්නම්. සහස්‍රාට කියන්නම්කො මම ඔයාගෙ ගමන යන්නම ඕන එකක් කියලා. මම ඔෆිස් එකේ ඉන්නෙ චූටි. ඕෆ් වෙලා ගන්නම්. බුදු සරණයි.” විහංසා එහෙම කියලා කෝල් එක කට් කරා. සම්පූර්ණ කතාවම සද්ද නැතුව අහන් ඉඳපු මියුරංගට විහංසා ගැන දුක හිතුනා.
“විහංසා මොකද්ද ප්‍රශ්නෙ?” මියුරංග ලඟට එද්දි විහංසා පුටුවෙන් නැගිට්ටා.
“චූටිට කේන්ති ගිහින් එයාගෙ ගමනට ඔයාව යවලා මම සහස්‍රගෙ වැඩේට යනවට. මට අද පලවෙනි වතාවට මගෙ යාලුවො දෙන්නගෙන් කෙනෙක්ව තෝරගන්න වෙලා අහස් අයියේ.” විහංසා දුකින් එහෙම කියාගෙන ආයෙම පුටුවට වැටුනා.
“මම හෙට ලීව් එකක් දෙන්නම්. අපේ නංගි එක්ක ගිහින් ශොපින් කරල එන්න.” මියුරංග එහෙම කියද්දි විහංසාට තවත් දුක හිතුනා.
“ඇත්තටම චූටි කියනව වගේ යාලුවො දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න උනොත් මම තෝරගන්නෙ සහස්‍රව අයියේ. මොකද එයා තමයි වැඩි කාලයක් මගේ ලඟ හිටියෙ. මේ හැමදේම එයා නිසා. ඒත් මම ආස නෑ කාගෙවත් හිත රිද්දන්න. කවදාවත්ම චූටි මට එහෙම කතා කරයි කියලා මම හිතුවෙ නෑ.” විහංසාගෙ ඇස් අගින් කඳුලක් වැටෙද්දි මියුරංගට කේන්ති ගියා යුවති එක්ක.
“විහංසා…” මියුරංග විහංසාගෙ හිසට අත තිව්වා. විහංසා හෙමිහිට ඇස් උස්සලා මියුරංග දිහා අසරණ විදියට බලද්දි මුලු ඔෆිස් එකම අනිත් පැත්ත පෙරලන්න තරම් කේන්තියක් මියුරංගට දැනුනා.
“අඬන්න එපා. ඔයා අඬනකොට හරිම කැතයි.” මියුරංග හෙමිහිට විහංසාගෙ කඳුලු පිහිදැම්මා. ඒ කතාවට විහංසාට හිනා ගියා.
“දැන් හරිනෙ එහෙනම්. ඔහොම හිනාවෙලා ඉන්න. එතකොට ලස්සනයි.” මියුරංග විහංසාගෙ ඉස්සරහා තිබුන පුටුවෙන් ඉඳගත්තා.
“අම්මගෙ මරණින් පස්සෙම ජීවිතේ කවදාවත් නැති තරම් මට දුක හිතුනා අද.”
“මං නිසා නේද? සොරි විහංසා. මගේ වරද. ලීව් එක ගන්න හෙට.” මියුරංග ඊට වඩා මුකුත් නොකියා ගිහින් වැඩ කලා. දවසටම අත්‍යාවශ්‍ය දෙයක් හැරුනු කොට දෙන්නා අතරෙ ලොකු කතාවක් උනේ නෑ.
“ලීව් ශීට් එක ෆිල් කරන්න විහංසා.” විහංසා යන්න සූදානම් වෙද්දි මියුරංග කිව්වා.
“මම හාෆ් ඩේ එන්නම් අයියේ”
“අපෝ මම නොදන්න හාෆ් ඩේ. ගෑණු ලමයි එක ඇඳුමක් ගන්න ගියත් වරු ගානක් රස්තියාදු වෙනවා. හරි හරි වේලාසනින් ඉවර උනොත් ගෙදර ගිහින් විවේක ගන්න. හදිස්සි වැඩ නෑනෙ අපේ කම්පැනි එකේ.” මියුරංග හිනාවෙවී කිව්වෙ අද දවසටම විහංසාගෙ අහිංසක හිනාව නොදැක්ක නිසා.
“හරි එහෙනම් මම ෆිල් කරල දෙන්නම්.” විහංසා ලාවට හිනාවෙලා ලීව් ෆෝම් එකක් ෆිල් කරලා මියුරංගට දීලා පහලට ගියා. යද්දි යුවතිගෙ කාර් එක තිබුනා විහංසා දුරදිම දැක්කත් ඇය කාර් එක දිහා නොබලම හෝල්ට් එකට යන්න ගියා.
“ඇයි ඔයාට ඇස් පේන්නෙ නැද්ද?” යුවති තාමත් තරහෙන්. විහංසා බැලුවෙ පුදුමෙන්.
“මං අහන්නෙ මම අතන ඉන්නවා පෙනි පෙනි මොකද මෙතෙන්ට ආවෙ කියලා. තමුන් හිතන් ඉන්නෙ තමුන් කවුරු කියලද?” යුවති අහද්දි බස් හෝල්ට් එකේ ඉඳපු කෙනෙක් හැරිලා බැලුවා යුවතිගෙ සද්දෙට.
“චූටි හෙමිහිට කතා කරන්න.” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා.
“හිතන් ඉන්නෙ කඳුලු වලට මම රැවටෙයි කියලද? මේ අහනවා තමුන් හිනා වෙන්නෙ ලස්සනට අඳින්නෙ පළඳින්නෙ මගෙ සල්ලි වලින්. එහෙම ඉඳන් මගේ වැඩ වෙන අයට පවරන්නෙ මොන හයියටද?” යුවති කේන්තියෙන් දත්මිටි කමින් ඇහුවෙ.
“මම කාටවත් පැවරුවෙ නෑ චූටි. කියනදේ අහන්න.”
“අහන්න මම. ඔයා මං කවුරු කියල හිතාගෙනද ඔහොම කියන්න. මුලින්ම ඔයා අහන්න මං කියනදේ.”
“මේ චූටි මගේ නංගි වගේ මගේ හැමදේම කියාගෙන දුක සැප බෙදා ගත්තා මං ඔයත් එක්ක. ඔයාට හොඳ නරක කියල දීලා ඔයාට හොඳ අනාගතයක් ලැබෙනවා දකින්න ආස උනා මං. යාලුවෙක්ට වඩා හැමවෙලාවෙම ඔයාට ගුරුවරයෙක් උනා කියලා ඔයාමයි නේද ඉස්සර මට කිව්වෙ? කවදාවත් කවමදාවත් බලාපොරොත්තු වෙන්න එපා මම මගෙ යාලුවො දෙන්නගෙන් කෙනෙක් තෝර ගනීවි කියලා. කෙනෙක්ට ඇස් දෙකක් තියෙනවා. එක ඇහැක් කිව්වොත් අනිත් ඇහැ ගලවන්න කියලා කිසිම කෙනෙක් එහෙම කරන්නෙ නෑ. මටත් ඔයයි සහස්‍රයි කියන්නෙ මගෙ ඇස් දෙක. කිසිම වෙලාවක මම මගේ ඇස් දෙකෙන් එකක් ගලවල අයින් කරන්නෙවත් එකක් ලොකු කරගෙන අනිත් ඇහැට නොසලකා ඉන්නෙවත් නෑ. ඒක මතක තියාගෙන ඔයාගෙ ලොකුකමත් අරන් දැන් මෙතනින් යන්න. ඔයා කාගෙන් ඔහොම කතා කරන්න ඉගෙන ගත්තද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඔයා මට ඔහොම කතා කරපු එක ගැන පසු තැවෙයි. එදාට එන්න. එතකන් මම බලන් ඉන්නවා. බුදු සරණයි.” විහංසා එහෙම කියලා ආව බස් එකට අත දාලා නැගලා ගියා.
යුවති බස් එකේ නැගලා යන විහංසා දිහා බලන් හිටියෙ හිනාවෙවී.
“හෙලෝ අංකල්. වැඩේ හරි. අංකල් ශේප් එකක් දාගන්න. ඇවිත් කියන ටික මට අහගන්න ඕනෙ.” යුවති ෆෝන් එකට එහෙම කියලා ගිහින් කාර් එකට නැග්ගා.
__________________________________________________________________________
අමාරුවෙන් ඉවසගෙන ආව විහංසා ගෙට ගොඩවෙනකොටම සේරම දුක ඉවුරු කඩාගෙන එලියට පැන්නා. ඇඳට වැටුන කෙල්ල හොඳටම ඇඬුවා.
“ඇයි චූටි එහෙම කතා කලේ. මට දුක හිතෙයි කියලා ඇයි එයා නොහිතුවෙ. ඒ තරම් තරහ ගන්න දෙයක් මම කලේ නෑනෙ.” විහංසා කඳුලු අතරෙම කිව්වා.
අඬ අඬ ඉඳල දන්නෙම නෑ කෙල්ලට නින්ද ගිහින්. රෑ අටට විතර ඇහැරුනත් කන්න තරම් ෆිට් එකක් තිබුනෙ නෑ. ඒත් ඇඟ සෝදගෙන තාත්තට කන්න දෙයක් ලේස්ති කරන්න කුස්සියට ආවා.
“දෝණි මම් ඉඳිආප්ප ගෙනාවා කඩෙන්. ඔයා නිදි නිසා ඇහැරෙව්වෙ නෑ. ඇයි පුතේ අසනීපයක්ද?” උදේන ඇහුවෙ කෙල්ලගෙ ඉදිමුණු ඇස් දිහා බලමින්.
“නෑ තාත්තා. හිතට හරි නෑ.” විහංසා තාත්තාට දෑස් හංගමින් කතා කරා.
“මගෙ දෝණිට කිරි තේ එකක් හදන්නද?” උදේන ඇහුවෙ විහංසාගෙ හිස අත ගාලා.
“එපා තාත්තා. තාත්තා මොනවද මේ හදන්නෙ?”
“කිරි හොදි ටිකක් හදනවා. මේ පොල් රොඩුත් එක්ක කන්න පුලුවන්ද දරුවෝ.”
“ඒකත් ඇත්ත. තාත්තා ගිහින් නිව්ස් බලන්න. මම ඕක හදල කතා කරන්නම්.” විහංසා නැගිට්ටා.
“එහෙනම් හොඳ දෝණි වගේ ලුණු මිරිසක් අඹරන්න. කාලෙකින් අපි එහෙම කෑවෙ නෑ.” උදේන කියද්දි කොහේදෝ නැති බඩගින්නක් විහංසාටත් ආවා. ඒ විහංසාගෙ ආසම කෑම.
“මං හදන්නම් තාත්තා.” විහංසා ලූනු සුද්ද කරලා ලුණු මිරිස හදන්න ලේස්ති කරා.
“දෝණී… ලූණු ටිකක් වැඩියෙන් තලලා ටිකක් වැඩිපුර සම්බෝල හදන්න.”
“ඇයි තාත්තා…”
“නෑ උදේටත් කන්න පුලුවන්. ඔයා හෙට ලීව් නේද?” උදේන අහද්දි විහංසා පුදුමෙන් බැලුවෙ ඇය ලීව් බව තාත්තට කිව්වෙ නෑ කියලා ඇයට මතක් උනා.
“මම තාත්තට එහෙම කිව්වද?” විහංසා ඇහුවා.
“ඔ.ඔව් ඔයා ගෙට ගොඩවෙද්දිම කියාගෙනනෙ ආවෙ.” තාත්තා එහෙම කිව්වත් කෙල්ලට මතක නෑ එහෙම කිව්ව බවක්.
“හ්ම්ම්…”
“දෝණි ෆෝන් එක රින්ග් වෙනවා.” උදේන කිව්වෙ විහංසා ලුණු මිරිස හදලා ඉවර වෙද්දිමයි.
විහංසා දුවගෙන ගිහින් ෆෝන් එක ගත්තා. සහස්‍රා.
“කියපං කෙල්ලේ.”
“මොකද මේ ඔෆිස් එක හේදෙනකන් ඇඬුවා කියන්නෙ. හෙට යමු හොඳේ. අඬන්න දෙයක් නෑනෙ. ඕක මට කිව්ව නම් ඉවරයිනෙ ලමයෝ. මොකටද ඇඬුවෙ.” සහස්‍රා විහංසගෙ හිත හදන්න කිව්වෙ.
“නෑ මට දුක හිතුනා. ඒක හරි. හෙට කීයටද එන්න ඕනෙ.”
“ආහ් උදේ මම එන්නම් ඔයාව ගන්න. ලොකු අයියා වෙහිකල් එකක් එවන්නම් කිව්වා”
“අනේ බස් එකේ යමුකෝ.. ” විහංසා කියපු හැටියට ලඟ ඉඳන් මේ දෙන්නගෙ කතාව අහන් ඉඳපු මියුරංගටත් දුක හිතුනා.
“ඒ මොකද ඒ?”
“මට පුරුදු බස් එකනෙ ඉතින්. එතකොට අපිට ටිකක් පයින් ඇවිදින්නත් පුලුවන්නෙ.” විහංසා සැහැල්ලුවෙන් කිව්වා.
“හ්ම්ම්… ඒකත් නරකම නෑ. එහෙනම් අපි ශොපින් කරල ඉවර වෙලා වෙහිකල් එකට එන්න කෝල් කරමු. හරිනෙ?”
“හා. මම කීයටද එන්න ඕනෙ ඉතිං.” විහංසා ආයෙත් ඇහුවා.
“නමයට විතර යමු. වැඩ ගොඩක් තියෙනවා කෙල්ලෙ.” සහස්‍රා කිව්වෙ මියුරංගට ඇහැක් ගහන ගමන්.
“හරි හරි මම නමය වෙද්දි රූ ෆැෂන් එක ලඟට එන්නම්. ඔයත් එන්න.” විහංසා කිව්වා.
“හා බුදු සරණයි කෙල්ලේ.”
“බුදු සරණයි.” විහංසාත් ෆෝන් එක තිව්වා.
“මේ ඔයා දැන් මොනව කරලද එයාව සර්ප්‍රයිස් කරන්න යන්නෙ.” මියුරංග ඇහුවෙ සහස්‍රාගෙ අතිනුත් අල්ලගෙන.
“ඔයා බලන් ඉන්නකෝ….” සහස්‍රා එහෙම කියලා ඇගේ කාමරේට ගියා.
__________________________________________________________________
උදේම නැගිටින එක කොහොමත් විහංසාට පුරුදු දෙයක්නෙ. ටිකක් වැඩියෙන් මහන්සි උන දවසට තමයි කෙල්ලට ටිකක් පරක්කු වෙනකන් නින්ද යන්නෙ. කොහොම උනත් අදත් උදේම ඇහැරුන කෙල්ලට කුස්සිය පැත්තෙන් ආවෙ හොඳ සුවඳක්. කෙල්ල කුස්සියට ගියේ සුවඳට ඉව අල්ලමින්.
“තාත්තා මොනාද අප්පේ මේ සුවඳ ගගහා උයන්නෙ?”
“කිරිබත් ටිකක් හැදුවා පුතේ. ඔයත් නිවාඩුනෙ අද.” උදේන වෙනසක් නොපෙන්වා කිව්වා.
“මොකක්?” විහංසාට පුදුම හිතුනෙ අම්මා නැති වෙලා මේ අවුරුදු ගානටම මේ ගෙදර කිරිබතක් ඉදුනෙ නැති නිසා. ඒත් කෙල්ල ඒ ඔස්සේ ගොඩක් දුරට ගියේ නෑ.
“මම එහෙනම් තේ හදන්නම්.”
“වතුර උණුවෙලා ඇත්තෙ දෝණි.”
විහංසා තේ හැදුවා. තාත්තටත් තේ එක දීලා ඇය තේ එක නිවෙනකන් මල් ටිකක් කඩන්න ගියා. සහස්‍රාත් එන එකේ අද පන්සල් ගිහින් ආවා නම් හොඳයි කියල කෙල්ලට හිතුනා.
“චූටිත් හිටිය නම්. වෙනදට මේ වෙලාවට කෝල් කරනවා. අද ඒ මුකුත් නෑ. අනේ මන්දා මේ කෙල්ලට එක පාරම මොකක් උනාද කියලා.” විහංසා හිතුවෙ දුකින්.
කිරි බත් ටිකක් බුද්ධ පූජාවටත් වෙන් කරලා කෙල්ල කිරිබත් කෑවෙ ආසාවෙන්. ඒත් අහේතුකව ඇයට මොකක්දෝ දැනෙමින් තිබුණා.
ආයෙත් හමුවෙමු.