මා නොවේ ඈ නුඹේ 11 කොටස
“කියන්න අයියේ….” යුවති පෙරුම් පිරුවා ඇයට ඔහු ආදරෙයි කියනවා අහන්න.
“අපි නෙක්ස්ට් ෆ්‍රයි ඩේ ට්‍රිප් එකක් යනවා. ඔයා දන්නවනෙ. ඔයා වරදවා හිතන්න එපා එන්න කතා නොකලෙ අම්මලා වැරදියට හිතුවොත් කියලා…”
“ආහ් ඒකට කමක් නෑ අයියේ…” යුවතිට පුංචි දුකක් තිබුනත් දැන්ම ඒ පවුලේ අය එක්ක ගැටෙන එක ගැන ඇයට පොඩි බයක් දැනුනා.
“අපි කන්න හදන්නෙ. තියන්නම්. බායි.”
“ඕකේ. බායි.” යුවති එහෙම කියලා කෝල් එක කට් කරා.
“විහංසා උනා නම් බුදු සරණයි අයියේ කියලා මම කට් කරනකන්ම ඉඳියි.” මියුරංග තමන්ටම කියා ගත්තේ කණගාටුවෙන්.
“අද කට්ටිය ලොකු වැඩක් කරාලු නේද සුදු පුතා.” අම්මා ඇහුවෙ මියුරංග කෑම මේසෙට ඉඳගන්නකොටම.
“කියල වැඩක් නෑ අම්මා. මේ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් එකක් මම දැක්කමයි. මේ දෙන්නම විහංසට පන වගේනෙ. Unbelievable.” මියුරංග කිව්වෙ හිසත් දෙපසට වනමින්.
“ඔයා ඉතින් දන්නෙ නෑනෙ. දැන් අවුරුදු අටක් නවයක් තිස්සෙ මෙයා ගෙදරදි ඒ දරුවගෙ නම කටපාඩම් කරන ගමන්මයි.” අප්පච්චි කියද්දි මියුරංගට පුදුම හිතුනෙ සහස්‍රා හිතපු දේ අම්මලාට ඇයි නොදැනුනේ කියලා.
“මොනාද සුදු පුතා කල්පනා කරන්නෙ. කෑම කන්නෙ නැද්ද?”
“සොරි අම්මා මම වෙන කල්පනාවකට ගියා.” මියුරංග එහෙම කියලා සද්දයක් නැතුවම කෑම කෑවා.
“සුදු අයියා… සොරි.” සහස්‍රා කිව්වෙ මියුරංග කාමරේට යද්දි ඒ ලඟටම ඇවිත් හෙමිහිට.
“ඇයි?” මියුරංග ඇහුවෙ ඇත්තටම මේ මොකද කියලා හිතමින්.
“නෑ මම අනවශ්‍ය දෙයක් ඔයාගෙ ඔලුවට දැම්මා කියලා හිතුනා. සමී හොඳයි ගොඩාක්. ඒත්…” සහස්‍රා කතාව නැවැත්තුවා.
“මෙහෙට එනවා.” මියුරංග සහස්‍රාගෙ අතින් ඇදන් කාමරේට ගිහින් දොරත් වහ ගත්තා.
“ඇයි ඒත් කිව්වෙ?” මියුරංග ඇහුවෙ සහස්‍රා ලඟින් ඇඳේ ඉඳගෙන.
“සමීට අපේ අම්මයි අප්පච්චියි මට වගේමයි ආදරේ. එයාලට සමී ගැන එහෙම නොහිතුනේ ඒ නිසා වෙන්න ඇති.” සහස්‍රා දුකෙන් කතා කලේ.
“මට තේරෙන්නෙ නෑ.”
“සමීව මේ ගෙදර ලේලි කරගන්න එයාලා කවදාවත්ම හිතුවෙ නෑ. ඒ නිසානෙ ඔයාට යුවතිව ප්‍රපෝස් කලේ.” සහස්‍රා ඒ පාර නම් කතා කලේ තරහින්.
“ඇයි ඔයා යුවතිට අකමැතිද?”
“කැමතියි සුදු අයියා. ඒත් සමී වගේ කෙනෙක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ.” සහස්‍රා කියද්දි මියුරංගට මොකද්දෝ දුකක් දැනුනා.
“යුවතිගෙයි ඔයාගෙයි දෙන්නගෙම හැසිරීම් ගොඩක් දුරට එක වගේ. ඒත් විහංසා විතරක් වෙනස් උනේ කොහොමද?”
“නෑ යුවතිත් ඉස්සර ඉඳන්ම ඔහොමලු. මාත් ඉතින් මේ උපන් විදියනෙ. සමීව අම්මයි තාත්තයි හදපු විදිය. ඒ ඒ පරිසරයත් එක්ක ගැලපෙන විදියටයි එයා හැදිල තියෙන්නෙ.”
“ඒක ඇත්ත. ඒත් ඒ විදිය හරි ලස්සනයි.” මියුරංගගෙ කටහඬෙත් ආදරේ තැවරිලා තිබුනා. ඒක සහස්‍රාට දැනුනා.
“අයියා…??”
“නෑ නෑ මම කිව්වෙ විහංසා ලැබෙන කෙනා ගොඩක් වාසනාවන්ත වෙයි.” මියුරංග හිනාවෙවී කිව්වා.
“අපිට ඒ වාසනාවන්තයා ලොකු අයියා කරන්න බැරි වෙයිද සුදු අයියා.” සහස්‍රා ඇහුවෙ බලාපොරොත්තු සහගතව.
“අයියා කැමති වෙයිද? එයා මේ කවුදෝ ගැන කියෙව්වනෙ එදා…” මියුරංග කිව්වේ දෙගිඩියාවෙන්.
“එයා වගෙම තමයි අපේ මැට්ටිත්. හීන කුමාරයෙක් එනකන් ඉන්නෙ ඔය කොල්ලෙක් දිහා හරියට ඔලුව උස්සලා බලන්නෙවත් නෑ. ඒ උනාට ආදරේ ගැන දෙයක් අහන්නකො. එයා තරම් දන්න කෙනෙක් මේ ලෝකෙම නෑ.” සහස්‍රා කිව්වෙ හිනැහෙමින්.
“ඒ කිව්වෙ. කවුද හීන කුමාරයා.”
“කවුද අනේ දන්නෙ. එයාට හම්බ උනාම අපිටත් පෙන්නයිනෙ. එදාට බලමු. මට නිදිමතයි. යුවතිගෙ හෙට වැඩේ මොකද්ද කියල ඇහුවද? මට නම් හෙට අම්මත් එක්ක ගමනක් යන්න එන්න කිව්වා.” සහස්‍රා එහෙම කියමින්ම කාමරෙන් ගියා.
“මන්දා කොහේද යනවා කියල තමයි කිව්වෙ. ගුඩ් නයිට්. ඒ බඩියෝ ලයිට් එකත් ඕෆ් කරන් යනවකෝ.” මියුරංග ඇඳේ හාන්සි වෙමින්ම කිව්වා.
“ගුඩ් නයිට් අයියා.”
__________________________________________________________________
“ගොඩක් පිං චූටි ඔයාට. මට මෙහෙට එන්න ඕනකමක් තිබුනත් එන්න විදියක් තිබුනෙ නෑ. හැමදාම ඔයාට කරදර කරන්නත් බෑනෙ ඉතිං.” විහංසා කිව්වෙ අනාථ නිවාසෙට ගිහින් එන ගමන්.
උදේ පාන්දරම ආව යුවති විහංසා කාර් එකට නැගපු ගමන්ම විහංසාගෙ ඇස් දෙකත් ගැට ගහගෙනයි නිවාසෙට එක්කන් ගියේ. පුංචි ලමයි එක්ක එකතු වෙලා විනෝද වෙලා බබාලට තෑගි දීලා අද විහංසාගෙ හිත ගොඩාක් සැහැල්ලු වෙලා.
“ඒ බබාලා ගොඩක් විනෝද උනා. එදා ඔයා මාව මගෙ බර්ත් ඩේ එකට එක්කන් ආවා. මතකද?” යුවති ඇහුවෙ දැන් අවුරුදු දෙකකට කලින් යුවතිගෙ උපන් දිනේ දවසෙ දෙන්නත් එක්ක බස් එකේ නිවාසෙට ආව ගමන මතක් කරගෙන.
“එදා මේ වගේ තෑගි ගොඩක් දෙන්න උනේ නෑනෙ. මගෙ අතේ සල්ලි තිබුනෙ නෑනෙ ඉතින්.”
“මේ කොහොමද ප්‍රසන්ට් ටික?”
“අනේ අර සාරි එක හරිම ලස්සනයි චූටි. ඒකට ආසයි මම ගොඩාක්.” විහංසා සතුටින් කිව්වෙ.
“දෙයියනේ….. අර තරම් වටින තෑගි ලැබිලත් මෙයාට ලොකු අර රුපියල් එක්දාස් පන්සීයෙ සාරියනෙ.” යුවති කිව්වෙ කම්මුලට අතකුත් තියාගෙන.
“චූටි දෙන දෙයක වටිනාකම තියෙන්නෙ ඒකෙ මිල අනුව නෙමෙයි. ඒ දෙන දේට ඒ පුද්ගලයාගෙ තියෙන කැමැත්ත.” විහංසා කියද්දි යුවති වාහනේ නවත්තලා අත් දෙක නලලට තියාගෙන විහංසාට වැන්දා.
“මේං වැන්දා ඔය බණේ මට හොඳට අහල පුරුදුයි. හා කියමු බලන්න මම දුන්න තෑග්ග කොහොමද?” යුවති ඇහුවෙ නිකමට.
“මගේ ජීවිතේ ලැබුන වටිනම තෑග්ග…. ” විහංසාට කියල ඉවර කරන්න නොදී යුවති මැදින් පැන්නා.
“ඔයා ගිය අවුරුද්දෙත් ඕකම කිව්ව.”
“මැට්ටී මම කියන්න ගියේ මොකද්ද කියනවා එහෙනම්.”
“මගේ ජීවිතේ මට ලැබුනු ලොකුම තෑග්ග තමයි යුවතියි සහස්‍රායි. හරිනෙ?”
“හ්ම්ම්…” විහංසා හිනා උනා.
“ලබන අවුරුද්දෙ ඕක වෙනස් වෙයි වගේ මට පේන විදියට.”
“ඒ කිව්වෙ.”
“ඒ කිව්වෙ ලබන අවුරුද්ද වෙද්දි හීන කුමාරයා මුණ ගැහෙයි කියලා.” යුවති තාලෙට කියද්දි විහංසා මුකුත් නොකියා අහක බලා ගත්තෙ හීන කුමාරයා ගැන අදහස ඇය හිතෙන් අයින් කරන් ඉඳපු නිසා.
“මොකද සද්දයක් නැත්තෙ?” ටික වෙලාවකට පස්සෙ යුවති ඇහුවා.
“නිකන්. බඩගිනියි. තාත්තා කෑවද දන්නෙ නෑ.”
“ආ බය වෙන්න එපා අංකල්ට කෑම එකක් දීලා මං ආවෙ.” යුවති කතා කරද්දිත් ඇගේ දඟකාර කම පේනවා. කොහොමද ඉතින් ඇය විහංසා වගේ ඉන්නෙ.
“උදේ???”
“ඔව්. මම අම්මට කියලා රස….ම රස කෑම එකක් උයවන් ආවා.”
යුවති විහංසාව ගෙදරට දාලා ගියා.
ඉතිරි දවස් ටිකත් නිදහසේ ගෙවිලා ගියා. විහංසා සුපුරුදු පරිදි මියුරංග එක්ක වැඩ කලා. මියුරංග හිතට තරවටු කරමින් ඉවසුවා හැම මොහොතකම.
“විහංසා එහෙනම් හෙට ගමනට රෙඩි නේද?” මියුරංග ඇහුවෙ බදාදා විහංසා ගෙදර යන්න සූදානම් වෙද්දි.
“අම්මෝ ඔව්. මම පුංචි කාලෙ ඉඳන් ආසාවෙන් හිටියෙ.” විහංසා සතුටින් කියද්දි මියුරංගටත් සතුටු හිතුනා.
“යන්නම් අයියේ බුදු සරණයි.” විහංසා යන්න හැරුනා.
“ආහ් විහංසා මම හෙට එන්නෙ නෑ. අයියත් එක්ක ගමනක් දාගත්තා. එයා අද එන්නෙ.”
“හා… විශේෂ මුකුත් තිබුනොත් මම කෝල් එකක් දෙන්නම් අයියේ.”
“හ්ම්ම්…”
විහංසා ගියා. මියුරංග සතුටින් හිටියෙ කෙල්ල දැන් පාවිච්චි කරන්නෙ මියුරංග දුන්නු ෆෝන් එක.
__________________________________________________________________
“බඩී ඇඳුම් ඔක්කොම ගෙනාවද?” උදම් ඇහුවෙ හැන්දෑවෙ තුන් දෙනත් එක්ක බැල්කනි එකට එකතු උන වෙලාවෙ.
“ඔව් ඔව්… අපි ගත්තා.” සහස්‍රා හරි සතුටින් කිව්වෙ.
“අපි කිව්වෙ?”
“මායි සමීයි.”
“ආ යාලුවටත් අරන් දුන්නද ඒක හොඳයි. සල්ලි මදි උනේ නෑනෙ.”
“නෑ සුදු අයියත් දුන්නා.”
“දැන් මූ ලොකු සල්ලි කාරයෙක් වෙලාද?” උදම් ඇහුවෙ ලොකු කල්පනාවක ඉඳපු මියුරංග දිහාට හැරෙමින්.
“ඒ මේ මොකද?” උදම් සහස්‍රාට ඇනලා ඇහුවා. සහස්‍රාත් උරහිස් දෙක උස්සලා දන්නෙ නෑ කිව්වා.
“මල්ලී…” උදම් කතා කලේ මියුරංගගෙ කකුලට එකක් ගහන ගමන්.
“මොකද බං මේ? මේ ලෝකෙ නම් නෙමෙයි හිටියෙ.”
“නෑ මම වෙන කල්පනාවක හිටියෙ. සොරි. මොකද්ද ඇහුවෙ.” මියුරංග ගැස්සිලා ඇහුවෙ.
“හ්ම්ම්… ඒකෙන් වැඩක් නෑ. යමු කන්න. මට බඩගිනියි.” උදම් නැගිට්ටා.
“මටත් කාලා නිදියන්න ඕනෙ. මේ ඔයාලගෙ හෙට ගමනට මාවත් එක්ක යනව නේද?” සහස්‍රා ඇහුවෙ උදම්ගෙ බාහුවේ එල්ලිලා.
“අපෝ ඔයා මොකටද අපේ ගමන් වලට. අනිත් එක ඔයා ආවම අනිත් පැත්තට අම්මගෙ කනේ තියනවනෙ.” උදම් කිව්වා.
“ඇයි ඔයාල යන්නෙ ශොපිං නෙමෙයිද?”
“නැතුව.”
“එහෙනම් අනේ මට අම්මට කියන්න තරම් දෙයක් නෑනෙ.”
“හහ් කොල්ලො දෙන්නෙක් පාරට බැස්සම කොච්චර දේවල් තියෙනවද කතා කරන්න.” උදම් කිව්වෙ යමු කිව්වට තාමත් ඉඳපු විදියටම ඉන්න මියුරංග දිහා බලමින්.
“මේ හරි හරි එක්කන් යන්නම්. අරයට මොකද්ද වෙලා තියෙන්නෙ?”
“ආහ් එයා ස්ට්‍රෙස් වෙලා මම මගේ යාලුවව ඔයාට ප්‍රපෝස් කරන්න හදන්නෙ කිව්වම.” සහස්‍රා කියද්දි උදම් උවමනාවෙන් සහස්‍රා දිහා බැලුවා.
“මොකද්ද?”
ආයෙත් හමුවෙමු.