මා නොවේ ඈ නුඹේ 13 කොටස
“මෙන්න මෙයා???” සහස්‍රා කෑගැහුවා.
“ඇයි අනේ… මොකද?” විහංසා බය වෙලා ඇහුවෙ.
“මොකද බබා…” තිලකාත් අමරත් ඇහුවේ පිටිපස්ස බලමින්.
“මෙයාට විහංසා කිව්වම මූණෙ තියන හිනාව බලන්නකො අම්මා. මතකද ඉස්සර අපි විහංසා කිව්වම මල පනිනවා. දැන් තමයි මෙයාගෙත් හරි කොමලෙ.” සහස්‍රා උරේකින් විහංසාගෙ උරේට ගහලා කියද්දි මියුරංග හැරිලා බැලුවා.
“ගුඩ් මෝනින් විහංසා.” මියුරංග කිව්වෙ විහංසා ලැජ්ජාවෙ බිම බලාගෙන ඉඳපු නිසා.
“ගුඩ් මෝනින් අහස් අයියේ.” විහංසා හිනා වෙලා හිමිහිට කිව්වා.
“ආ… මොකද්ද ඒ…..” සහස්‍රා විහිලු කරන්න පටන් ගත්තා.
“දූ ඕක නවත්ත ගන්න. අනවශ්‍ය දේවල් කරන්න ලේස්ති වෙන්න එපා.” අප්පච්චි කියද්දි අම්මත් පිටිපස්ස හැරිලා මුහුණේ ඉරියව් වලින් සහස්‍රාට තරවටු කලා.
“හරි හරි ට්‍රිප් එකක් යන එකේ පොඩි විහිලුවක් කරලා ජොලියෙ ඉන්න එපැයි.” සහස්‍රා කියද්දිම විහංසාගෙ ෆෝන් එක රිංග් උනා.
“ගුඩ් මෝනින් චූටි. දැන් ද ඇහැරුණේ.” යුවති කෝල් කලේ.
“ගුඩ් මෝනින් අක්කා මේ අයියා ඉන්නවද?” යුවති ඇහුවෙ කලබලෙන් වගේ.
“ඉන්නවා චූටි… ඒත් අයිය නම් ඉස්සරහා ඉන්නෙ.”
“ඇයි විහංසා?” මියුරංග ඇහුවෙ කතා කරන්නෙ යුවති බව ඇහුන නිසා.
“නෑ මේ යුවති කෝල් කරනවා.” විහංසා කියද්දි මියුරංග ෆෝන් එක බැලුවෙ. මිස්ඩ් කෝල්ස් දෙකක් තිබුනා ඔහු ඊයෙ සයිලන්ට් කරපු ගමන් උදේ අමතක වෙලා සවුන්ඩ් ඔන් කරන්න.
“මම ගන්නම් කියන්න නංගි.” මියුරංග කිව්වා. උදම්ට හිනයි.
“මොකද?” මියුරංග ඇහුවෙ තරහෙන්.
“නෑ නිකන්. උඹට හොඳ ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා බැරිද මට දෙන්න.” උදම් අහද්දි මියුරංගගෙ හිත රිදුනා.
“මට මොකද ඔය ඉන්නෙ. කතා කරල බලන්න.” උදම් ඒ එක්කම වගේ ඉස්සරහ තියෙන කණ්ණඩියෙන් පිටිපස්ස බැලුවා. අප්පච්චිගෙ ඔලුවට කවර් වෙලා විහංසාගෙ ෆෝන් එක කනට තියාගෙන ඉන්න අත විතරයි පෙනුනෙ.
“හරි බබා. මම තියන්නම්. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරලා බෑග් එකට දාගත්තා.
“මේ උඹ අපේ අයියගෙ ඇසිස්ටන් ඔෆිස් එකේදි විතරයි. හරිද?” සහස්‍රා තරහෙන් වගේ කිව්වෙ.
“ඇයි ඒ?”
“හැයි අහන්නෙ බූරුවෝ උඹ මොකටද තවත් මේ එයාගෙ තෝල්ක කම් කරන්නෙ. ගන්නව ඔය ෆෝන් එක.” සහස්‍රා කෙල්ලගෙ ෆෝන් එක අරන් ඕෆ් කරා. විහංසාට දුක හිතුනෙ දැන් තාත්තත් කතා කරන නිසා.
“සහස්‍රා තාත්තා කතා කරයි.” විහංසා අහිංසක හඬින් එහෙම කියද්දි නම් උදම්ට ඒ මූණ බලන්න ආස හිතුනා. ඔහු ආයෙත් බැලුවත් ඇයගෙ මූණ පෙනුනෙ නෑ.
“ලොකු පුතා මට මාළිගාවත් වඳින්න ඕනෙ.” අම්මා කියද්දි සහස්‍රාට නම් හිනයි.
“අපිට එමින් ගමන යන්න පුලුවන් අම්මා.” උදම් කිව්වෙ ආයෙත් පිටිපස්ස බලන ගමන්. අම්මා ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ.
“කටහඬ නම් අහිංසක පාටයි. කෝ මූණ පේන්නෙ නෑනෙ.” උදම්ගෙ හිත කිව්වා.
උදේ අට විතර වෙද්දි කට්ටිය කෑමට නැවැත්තුවා. සහස්‍රා නම් විහංසාගෙ තාත්තා එවලා තිබුන බිස්කට් කාලා කාලා බඩගින්නක් තිබුනෙත් නෑ. උදම්ට බඩගිනි නිසා ඔහු සාමාන්‍ය පොඩි කෑම කඩයක් ලඟ නැවැත්තුවා. විහංසාට නම් ආසයි මේ වගේ තැන් වලින් කෑම කන්න. සහස්‍රාත් ඉතින් ඒවගේ දේවල් වලට දෙවනි නෑ.
“උඹට තවත් කන්න පුලුවන්ද බං.” විහංසා ඇහුවෙ හිනාවෙවී.
“පුලුවන්. මෙතන ඉස්සර රස රොටී තියෙනවා. ලොකු අයියා නුවර යද්දි මෙතනින් රොටි කනවා.” සහස්‍රා කිව්වෙ හෙමිහිට.
“කෝ ලොකු අයියා.” විහංසා ඇහුවෙ තාමත් ඇය උදම්ව දැක්කෙ නැති නිසා. දැන් ඇය හොයද්දිත් උදම් කඩේ ඇතුලට ගිහින් නිසා ඇය දැක්කෙ නෑ ඔහුව.
“මගේ ෆෝන් එක දෙන්න බබා…” විහංසා සහස්‍රාගෙ සාක්කුවෙන් අල්ලගෙන කිව්වා. සහස්‍රා හිනාවෙලා ෆෝන් එක දුන්නගමන් කෙල්ල ෆෝන් එක ඔන් කරලා තාත්තට කෝල් එකක් ගත්තා.
“තාත්තා කෑවද?”
“ඔව් දෝණි මම කෑවා.” උදේන කෑවා කිව්වට ඔහු තාම කන්න තියා හිතලවත් නෑ. කෙල්ලගෙන් කෝල් එකක් එනකන් හිටියේ.
“දෝණි ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ?”
“මේ සහස්‍රාගෙ වැඩ තාත්තා චූටි කෝල් කරා කියලා.”
“දැන් කන්නද හදන්නෙ පුතේ.”
“ඔව් තාත්තා. බොරු කිව්වට කමක් නෑ. දැන් කන්න.” විහංසා හිනාවෙවී කියද්දි උදේනටත් හිනයි.
“කන්නම් දෝණි. බුදු සරණයි.” උදේන ෆෝන් එක තිව්වා. විහංසාත් හිනාවෙවී ෆෝන් එක බෑග් එකට දාගත්තා.
“නංගී ඇතුලට එනවද මෙතන ඉඳන් කනවද?” මියුරංග පිටිපස්සෙන් ඉඳන් අහද්දි විහංසා හැරිලා බැලුවා.
“මෙතන හොඳයි නේද අයියේ.” සහස්‍රාත් විහංසාත් එලියෙ ඉඳන්ම කන්න කැමති උනා. ඇතුලට ගියපු මියුරංග මස් හොදි භාජනයකුයි උණු උණු පොල් රොටියි අරන් ආවා ඒ තුන් දෙනාට.
“කෝ ලොකු අයියා.” සහස්‍රා ඇහුවෙ විහංසාට ඔහුව අඳුන්වලා දෙන්න. ඇගේ හිතේ තිබුන බලාපොරොත්තුව මේ ගමනින් සාර්ථක කරගන්නයි ඇයට ඕන උනේ.
“එයා ඇතුලෙ. අම්මලා එක්ක.” මියුරංග අත පිච්චි පිච්චි රොටි කෑලි කඩලා මස් හොදි එකට දැම්මා. කෙල්ලො දෙන්නා ඒ රොටි කෑලි කෑවා.
“යකෝ මාත් කන්න ඕනෙ. හෙමින් කාපියව්කො.” මියුරංග කෑගැහුවා. විහංසාට ඉතින් මේවා නුපුරුදු නෑ. මියුරංග ඔෆිස් එකේදිත් එහෙමනෙ.
“මල්ලා කාලා ඉවරද?” ටික වෙලාවකින් කඩේ ලඟ ඉඳගෙනම උදම් ඇහුවා. දැන් ඔහුට විහංසාව පේන්නෙ නෑ මියුරංගට කවර් වෙලා.
“තව එකක් විතර කන්න පුලුවන් නේද සමී?” සහස්‍රා අහද්දි විහංසා මියුරංගගෙ උරහිසට පැත්තකින් එබිලා බැලුවෙ හිනා වෙවී උනත් එක පාරම ඒ හිනාව අතුරුදහන් උනා. උදම්නුත් සහස්‍රාගෙ කෑම ගැන අහන් ඉඳල හිනාවෙවී බලන් හිටියෙ. විහංසා දැක්ක ගමන් උදම්ගෙ හිනාවත් අතුරුදහන් උනා.
“ඒ ඔයාමයි.” විහංසා හිතුවා. උදම් නම් ඇයව හැබැහින් දැකලයි ඇයට ආදරේ කලේ. නංගිගෙ යාලුවෙක් කියලා දැනන් හිටියෙ නෑ. අහම්බෙන් දැකපු හිනාවක් ලඟ හිත නතර වෙලා දැන් අවුරුදු තුනක්. උදම්ට සතුට වචන වලින් කියාගන්න බෑ.
විහංසා උදම් දිහා බලාගෙනම හිටියා. උදම්ගෙ නම් මූණෙ ලස්සන හිනාවක් මැවුනා. සහස්‍රා දෙන්නගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලන් හිටපු නිසා වෙනස දැක්කා. ඇය මියුරංගට ඇස් වලින් දෙන්නව පෙන්නුවා.
“විහංසා තව කනවද?” මියුරංග අහද්දි කෙල්ල ගැස්සිලා ගියා.
“කමු අයියේ.” විහංසාට ඉබේම කියවුනා. සහස්‍රාට නම් තරහයි මියුරංග මැද්දෙන් පැනපු එකට.
“ලොකු අයියා මෙයා කියනව තව එකක් කමුලු.” සහස්‍රා හයියෙන් කියද්දි උදම්නුත් ගැස්සුනා.
“ඉන්න මං ගේන්නම්.” උදම් ආයෙත් විහංසා දිහා බලලා ඇතුලට ගියා.
මියුරංග නම් ඔහුට ඇති කියලා මස් හොදි එකත් සහස්‍රාගෙ අතට දීලා කඩේ ඇතුලට ගියා. උදම් තව පොල් රොටි දෙකක් අරන් ආවා.
“ආ මෙන්න.” උදම් කෙල්ලො දෙන්නට දුන්නා. සහස්‍රා කෑල් දෙක තුනක් කාලා…
“අම්මෝ සැරයි දිවත් හැපුනා මගේ.” කියමින් සහස්‍රා කඩේට දිව්වෙ මේ දෙන්නව තනි කරන්න.
“අනේ සහස්…” කියද්දිම උදම් විහංසාගෙ අතකින් අල්ල ගත්තා.
“කොහෙද දුවන්න හදන්නෙ දැන් ඕනෙ කිව්ව රොටි මමද කන්නෙ?” උදම්ටම පුදුමයි ඇය ඉස්සරහා මෙහෙම තමන්ට දොඩමලු වෙන්න පුලුවන් උන එකට.
“නෑ සහස්‍රාට මොකද දන්නෙ නෑ.” විහංසා බිම බලාගෙන කිව්වෙ.
“එයාගෙ දිවනෙ. එයා බලාගනිවී. ඔයා මොනව කරන්නද ඇතුලට ගියා කියලා. කෝ මේක කාල ඉන්න. ඉඟුරු ප්ලේන්ටි තියෙනවා. මේක කාලා ගිහින් බොමු. මං බිව්වෙත් නැතුව ආවෙ.” උදම් කිව්වා.
“නම මොකද්ද?” උදම් ඇහුවෙ ඇගේ නම නංගියි මල්ලියි දෙවිදියකට කියනවා ඇහුන නිසා.
“සමින්දි විහංසා”
“හා අපේ ඩබල නම් දෙකකින් කතා කරන්නෙ නේද?”
“ඔව් අයියේ.”
“මම කොහොමද කියන්නෙ?” උදම් ඇහුවෙ ඒ ඇස් වලට එබිලා. විහංසා හිනා උනා විතරයි.
දෙන්නත් එක්ක කතා කර කර රොටි කන දිහා කඩේ ඇතුලෙ ඉඳන් සහස්‍රා නම් බලන් හිටියෙ සතුට ඉතිරෙද්දි. ඒත් මියුරංග තාමත් රිදුනු සිතින් හිටියෙ.
“සුදු අයියා කැමති නැද්ද ඒ දෙන්නා එකතු වෙනවට.” සහස්‍රා අහද්දි මියුරංග හිනා උනා.
“මම ඇයි අකමැති වෙන්නෙ. විහංසා කොච්චර හොඳ ලමයෙක් ද.”
“එහෙනම් ඇයි කිසිම කතාවක් නැත්තෙ.” සහස්‍රා ඇහුවෙ අමනාපෙන්.
“අයියගෙ හිතේ කවුද කෙල්ලෙක් ඉන්නවා කිව්වා. මම කැමති නෑ විහංසාගෙ හිත රිදෙනවට.” මියුරංග කියද්දි සහස්‍රා හිතුවා ලොකු අයියවයි විහංසාවයි ලං කරන්න කලබල උනා වැඩිද කියලත්. සහස්‍රා දුවගෙන විහංසා ළඟට ගියේ ඒ නිසා.
“කාල ඉවරද? යමු තේ බොන්න.” සහස්‍රා විහංසාගෙ අතින් ඇද්දත් විහංසා ආවෙ නෑ.
“අයියා යමු.” විහංසා කියද්දි සහස්‍රා නම් හිතුවෙ විහංසාගෙ හීන කුමාරයා ලොකු අයියාමයි කියලා.
“අයියා එයි. යමු එන්න.” සහස්‍රා විහංසා එක්ක කඩේ ඇතුලට යද්දි මියුරංග හෙමිහිට උදම් ඉන්න තැනට ගියේ සහස්‍රාට ඇහැක් ගහගෙන. ඔහුටත් අයියගෙ මොකක්දෝ වෙනසක් දැනුනා.
“මේ හීන කුමාරයා අපේ ලොකු අයියද?” සහස්‍රා ඇහැක් ගහලා අහද්දි විහංසා අහිංසකව හිනා උනා.
“සොරි සහස්‍රා. මම මුලින්ම අහස් අයියව දකිද්දි ඒ ඇස් වල මොකක්දෝ හුරුවක් තිබුනා. එදා මම හිතුවෙ මම හීනෙන් දකින්නෙ එයා කියලා. ඒත් ඊට පස්සෙ දවසක් දෙකක් ආයෙත් හීනෙන් දකිද්දි මට තේරුනා ඒ අහස් අයියා නෙමෙයි කියලා. මම හීනෙකින්වත් හිතුවෙ නෑ මම හීනෙන් දැක්කෙ උදම් අයියා කියලා.” විහංසා කියාගෙන යද්දි සහස්‍රාගෙ සතුට නම් දෝරෙ ගලාගෙන ගියා.
“සීරියස් නේද?” සහස්‍රා සතුට වැඩි කමට විහංසාගෙ අත තදින් මිරිකගෙන ඇහුවෙ.
“රිදෙනවා බං. මම මීට කලින් බොරු කියල තියෙනවද?” විහංසා ඇහුවෙ සුපුරුදු අහිංසක කමින්මයි. දෙන්නත් එක්ක තේ බිව්වෙ හිනා වෙවී. සහස්‍රා සැරින් සැරේ විහංසාගෙ අත මිරිකලා අයියලා දෙන්නා කතා කරන දිහා පෙන්නුවා.
“මොනවද හිතන්නෙ?” මියුරංග උදම්ගෙන් ඇහුවෙ ටික වෙලාවක් අයියා දිහා බලන් ඉඳලා.
“උඹට දෙයක් කියන්න ඕනෙ.” උදම් කිව්වා.
ආයෙත් හමුවෙමු.
හවසට තව කොටසක් දාන්නම් දරුවනේ. හිතට පුදුම දුකයි වෙලා තියෙන දේට. මම ආසම නළුවා දසුන් නිශාන්. තාමත් විශ්වාස නෑ වගේ දෙයියනේ.
නිවන් සුව පතනවා දසුන් අයියේ…!!!