මා නොවේ ඈ නුඹේ 14 කොටස

“මොකද්ද?” මියුරංග හිතුවෙ අයියා එයාගෙ හිතේ ඉන්න ගෑණු ලමයා ගැන කියාවි කියලා.

“අර අපේ බඩීගෙ යාලුවා ගැන.”

“ඉතින් විහංසා ගැන මොනවද?” මියුරංග අහද්දි කට්ටියම කඩෙන් එලියට බැහැලා ආවා.

“යමු නේද පුතා. පරක්කු වෙනවනෙ. දැන් මෙතනම පැයකට කිට්ටුයි.” අප්පච්චි ඇවිත් කතා කලා.

“හා යමු අප්පච්චි.” උදම් හැරිලා බලලා කඩේ ඇතුලට ගියා. බිල ගෙවලා ඇවිත් සද්ද නැතුවම වාහනේට නැග්ගා. කට්ටියම නැගලා හිටියෙ ඔහු එනකන්.

නැග්ග වෙලාවෙ ඉඳන් කට්ටිය එක එක මාතෘකා වල කතා. අයියලා දෙන්නා එක කතාවක් අම්මයි අප්පච්චියි තව කතාවක් සහස්‍රා විහංසා එක්ක කතා කරාට හිටියෙ නොඉවසිල්ලෙන්.

“මේ පොඩ්ඩක් ඉන්න හොඳේ.” සහස්‍රා ෆෝන් එක අරන් විහංසාට කියලා මැසේජ් එකක් ටයිප් කරන්න ගත්තා.

“ලොකු බොස් මොකද කිව්වෙ?” මැසේජ් එක මියුරංගට. සහස්‍රා මැසේජ් එක සෙන්ඩ් කරලා බැලුවා මියුරංග දිහා. ඒත් අයියත් එක්ක බිස්නස් ගැන කතා වෙවී යනවා මිසක් ෆෝන් එක බලන පාටක් නෑ. ඒ පාර රිංග් කට් එකක් දැම්මා.

“පොඩි අයියා මේ යුවති කෝල් කරනවා.” සහස්‍රා කිව්වෙ බොරුවට. එතකොටම මියුරංග ඔහුගෙ ෆෝන් එක බැලුවා. මැසේජ් එක දැකලා මියුරංගට හිනයි.

“ඉන්නවා පොඩ්ඩක්. තාම අහගන්න බැරි උනා. අප්පච්චිලා ආවනෙ.” මියුරංග රිප්ලයි කරා.

“හ්ම්ම්…”

“මොකටද ඉන්න කිව්වෙ පොඩ්ඩක්? කාටද මැසේජ්? මටත් නොකියා කවුරු හරි සෙට් කරගත්තද?” විහංසා ඇහුවෙ රහසින්.

“පිස්සුද මැට්ටියේ. මම මේ ලොකු වැඩක් ප්ලෑන් කරගෙන යනවා.” සහස්‍රා හිමිහිට කිව්වා.

“සහස්‍රා…”

“ම්ම්ම්…”

“උදම් අයියා කතා කරානෙ.” විහංසා කියන්නෙ ටිකක් ලැජ්ජාවෙන්.

“ඉතින්… මොනාද කිව්වෙ කියපං.” සහස්‍රා කකුලකුත් සීට් එක උඩට අරගෙන විහංසාගෙ පැත්තට හැරුනා.

“මුකුත් නෑ. මගෙන් ඇහුවා නම. මම කිව්වම ඔයාලා දෙන්නා කියන්නෙ දෙවිදියකට නේද ඇහුවා. මං ඔව් කිව්වා. එයා කොහොමද කතා කරන්න ඕනෙ ඇහුවා. මම සද්ද නැතුව ඉද්දි තමයි ඔයා ආවෙ.” විහංසා එක හුස්මට කියාගෙන ගියා.

__________________________________________________________________

නුවර එළියට යද්දි හොඳටම වැස්ස. විහංසා නාලා ආව නිසා ඇයට තවත් සීතලයි.

“විහංසා ඔයා වෙව්ලනවා. ඉන්න මම ස්වීටර් එක ගන්නම්.” සහස්‍රා එහෙම කියලා ස්වීටර් හතර දාගත්ත බෑග් එක හෙව්වා.

“අනේ අප්පච්චී ස්වීටර් ටික දාලා ඇවිත්නේ.” සහස්‍රා දුකෙන් කිව්වෙ විහංසා වෙව්ලන හැටි බලාගෙන.

“කමක් නෑ සහස්‍රා… අපි කඩේකින් ගමු.” විහංසා අමාරුවෙන් කිව්වෙ. නුවර එළි සීතල එන්න එන්නම වැඩි උනත් විහංසා අත් දෙක පටලගෙන ඒ සීතල විඳ දරා ගත්තා.

“බඩී මගේ බෑග් එකේ ඇති ස්වීටර් එකක්. ඒක අර නංගිට දෙන්න. එයා වෙව්ලනවනෙ.” උදම් කිව්වෙ වෙව්ලන විහංසා දිහා දුකෙන් බලන ගමන්.

අනිත් හැමෝටම නුවර එළි සීතල හුරුයි. කෝකටත් කියලා හැමෝම ජර්සි වගේ ඇඳුම් තමයි ඇඳන් ඇවිත් තිබුනේ. විහංසාගෙ ඇඳුම මේ සීතලට ඔරොත්තු දුන්නෙ නෑ. සහස්‍රා ඉක්මණින් උදම්ගෙ බෑග් එකෙ තිබිලා ස්වීටර් එකක් අරන් විහංසාට දුන්නා. ඇයත් ඒක ඇඳ ගත්තෙ දරා ගන්නම බැරි නිසා.

“අද වැස්ස වැඩියි නේද පුතා. මේ දවස් වල ඒ තරම් වැස්සක් හිටින්නෙ නෑනෙ වෙන කාලවල නම්.” අප්පච්චි කිව්වෙ කාලයක් ඔහු නුවර එළියෙ නැවතිලා ඉඳපු නිසා.

“පුතාට මතකයි නේද වික්‍රමාරච්චි අංකල්ගෙ රෙන්ට් හවුස් එකට යනහැටි.” අප්පච්චි ඇහුවෙ වැස්ස නිසා පාර පේනවා අඩු නිසා.

“මතකයි අප්පච්චි. ඉස්සරහින් උඩර පාරෙ.” උදම් සුලු මොහොතකින් වාහනේ රෙන්ට් හවුස් එකේ පෝටිකෝව යට නැවැත්තුවා. ඔහු කණ්නාඩියෙන් බැලුවෙ විහංසා දිහා. ඇය දැන් නම් හිනා වෙවී වට පිට බලනවා ආසාවෙන්.

“බහින්න ලමයි. දැන් නම් කොහෙවත් යන්න වෙන්නෙ නෑ. බබා කිව්වා වගේ ගෙට වෙලා නිදියන්න තමයි වෙන්නෙ.” අම්මා කියද්දි කට්ටියටම හිනයි. වාහනෙන් බැහැලා සීතලේ උනත් විහංසා ගේ ඉස්සරහා තියෙන මල් පාත්ති වලට වතුර බිංදු වැටෙන හැටි බලන් හිටියෙ ආසාවෙන්. උදම් පිටිපස්සෙන් ඉඳන් බලන් හිටියා ඒ මූණෙ තියෙන අහිංසකකම දිහා.

“සමී යමු ඇතුලට. සීතලයිනෙ මැට්ටියේ.” සහස්‍රා අත් දෙකත් ගුලි කරන් කිව්වා.

“මට සීතල නෑ.” විහංසා හිනා උනා.

“ඔව් ඔව් එයාට නම් ඉතින් මේ ස්වීටර් එකක් ලැබුනනෙ.

විහංසා හිනා උනා විතරයි. ටිකකින් කට්ටියම කාමර වලට ගියා. විහංසා සහස්‍රා එක්ක එක කාමරේක. කාමරේට ගිය ගමන්ම විහංසා තාත්තට කෝල් එකක් අරන් කිව්වා ආවා කියලා. තාත්තාත් ලොකු තාත්තලගේ ගෙදර ගිහින් නිසා කෙල්ලට දැන් ගානක් නෑ.

උදම් මියුරංග එක කාමරේක. කාමරේට ගිය ගමන් මියුරංගට නම් ඕනෙ උනේ කතාවෙ ඉතුරු ටික අහගන්න.

“දැන් වත් කියනවද අර කියන්න තියෙනවා කිව්ව එක.” මියුරංග කියද්දි උදම් ෆෝන් එක අරන් ගැලරියට ඇවිත් ෆෝන් එක මියුරංගට දුන්නා.

ෆොටෝස් දැකලා මියුරංගගෙ ඇස් උඩ ගියා. විහංසාගෙ බර්ත් ඩේ එක දවසෙ බීච් එකේ ඇය දුවද්දි ගත්තු ෆොටෝ එකක් තමයි මුලින්ම තිබුනේ. තවත් එක ෆොටෝ එකක් තිබුනා ඒක විහංසාගෙ චිත්‍රයක්. එතනින් එහා දිගටම තිබුනෙ විහංසාගෙ රුවට සමාන රුවක් රැඳුනු ෆොටෝස් රාශියක්. මියුරංග ඒ සේරම එකින් එක බලලා උදම් දිහා බැලුවා.

“මේවා….???”

“මේ සේරම මම ගත්ත ෆොටෝස්.” උදම් හිනාවෙලා කිව්වා.

“මට මුල ඉඳන් කියන්න. මේ ඉන්නෙ දෙන්නෙක්.” මියුරංග ඇහුවෙ මේක තමන්ගෙ ආදරේට වඩා පරණ ආදරයක් බව දැන් දන්න නිසා.

“අවුරුදු තුනකට කලින් දවසක් පන්සලේදි කෙල්ලෙක් ව දැක්කා. මගේ සඳලි වගේමයි. සුදු දිග සායක් ඇඳලා අත වැලමිට ගාවට තියෙන සුදු බ්ලවුස් එකක් ඇඳලා හරිම නිවුනු තැන්පත් කෙල්ලෙක්. මගෙ හිත හෙල්ලුනා වෙන කවදාවත් නැති තරම්.” උදම් ගිහින් ඇඳෙන් හාන්සි උනා. මියුරංගට නම් කතාව අහගන්නකන් ඉවසිල්ලක් නෑ.

“එදාට පස්සෙ කීප දවසක්ම පන්සලට ගියේ එයාව දකින අදහසින්මයි. පස්සෙ මං හිතුවා ඒ කෙල්ල මේ ලඟක කෙල්ලෙක් නෙමෙයි වෙන්න ඇති කියලා. සඳලි වගේ නිසා දකින්න ආස උනා ආයෙත්. එහෙම යද්දි එක දවසක් පාරෙදි දැක්කා. බස් එකක එයා ගියා. මම බස් එක පස්සෙන් ෆලෝ කරත් එයා බහින තැනක් හොයාගන්න බැරි උනා. ආයෙත් ගිය සතියෙ බීච් එකේදි දැක්කා සැහැල්ලුවෙන් දුව පැන නටන කෙල්ලෙක්. ඒ එයාමයි. ඉක්මණට ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගත්තා. මගේ සඳලි වගේමයි.” උදම් කිව්වෙ ඇස් පියාගෙන.

“අයියා මට ඇත්‍තම කියනවද? විහංසාට ඔයා ආදරෙයිද නැත්නම් සඳලිටද තාමත් ආදරේ?” මියුරංග ගොඩක් වෙලාවක ඉඳන් හිතේ තෙරපුනු ප්‍රශ්නයක් ඇහුවෙ.

“සඳලි ගැන ලොකු කතාවක් තියෙනවා. මට…” උදම්ට කතා කරන්න උනේ නෑ අම්මා ඇවිත් දොරට තට්ටු කරා.

“පුතා එන්න කෑම කන්න. මේ අප්පු කෑම හදලා. උණුවෙන්ම කමු නැත්නම් සීතල උනාම එපා වෙයි.” අම්මා එලියේ ඉඳන්ම කියලා ගියා.

දෙන්නත් එක්ක ඒ පස්සෙන්ම කෑම මෙසෙට ගියා. හොඳටම බඩගින්නෙ කට්ටියම හිටියෙ. විහංසාගෙ හිත නම් සතුටින් තිබුනෙ. ඇයට දැනුනා උදම්ගෙ හිතෙත් තමන් ගැන විශේෂයක් තියෙන බව.

“දැන් වැස්ස පායලා නේද ආන්ටි?” විහංසා ඇහුවෙ කෑම කාලා සාලෙ පහු කරන් ඉස්සරහට ඇවිදගෙන යනගමන්.

“ඔව් දෝණි මිදුලට ගියාම වටේම පේනවා. ගිහින් බලන්න අපේ බබා නම් එයිද දන්නෙ නෑ.” අම්මත් එහෙම කියලා කාමරේට හැරුණා.

විහංසා හෙමිහිට අඩි තිය තිය ගියා මිදුලෙ කෙලවරටම. සීතල කඳුකරයේ පුංචි කඳු ගැටයක් උඩ පිහිටි මේ සුන්දර නිවහන දුටුවන් කාගෙත් නෙත් සිත් පැහැර ගන්නවා.

විහංසා ඇගේ ෆෝන් එකෙන් නිවසේ ෆොටෝස් ටිකකුයි වට පිටාවෙ ෆොටෝස් ටිකකුයි ගත්තෙ ගෙදර ගියාම තාත්තට පෙන්නන්න.

“දැන් සීතල නැද්ද?” එක පාරටම පිටිපස්සෙන් ඉඳන් කවුද ඇහුවම විහංසා ගැස්සුනා.

“ආහ් දැන් සීතල නෑ අයියා. තෑන්ක් යූ ඔයාගෙ ස්වීටර් එක දුන්නට.” විහංසා උදම් දිහා බලලා හිනා වෙලා කිව්වා.

“ඔයා අපේ බඩීගෙ වයසෙ නේද?” උදම් අහද්දි විහංසාට හිනයි.

“ඇයි හිනා වෙන්නෙ?”

“නෑ සහස්‍රාට බඩී කියන නම ගැලපෙනවා.” විහංසා තවත් හිනා උනා.

“ගොඩක් හිනා වෙන්න එපා. එතකොට වෙනස්.” උදම් කිව්වා. විහංසා බිම බලාගෙන හිටියා.

“සොරි මම නිකමට කිව්වෙ.” උදම්ට හිතුනේ කෙල්ලගෙ හිත රිදුනාවත්ද කියලා.

“මොකද මේ දෙන්නෙක් විතරක් එලියෙ.” මියුරංග ආවෙ කෝපි කෝප්පයකුත් අරගෙන.

“අනිත් කට්ටිය නැති නිසානෙ නේද නංගි.” උදම් ඇහුවෙ විහංසාගෙන්. ඇයත් හිස වනලා හිනා උනා.

“විහංසා තාත්තට කතා කරාද?” මියුරංග ඇහුවා.

“ඔව් අයියේ. කතා කලා.”

“කෝ අපේ එක්කෙනා. කිය කියමයි ආවෙ එයාට නම් හොඳට ගුලි වෙලා නිදියන්න ඕනෙ කියලා.” මියුරංග කිව්වෙ ගේ දිහා බලමින්. එතකොටම සහස්‍රා එලියට දුවගෙන ආවෙ කැමරාවත් අරන්.

“මේ එනවලා ෆොටෝස් ටිකක් ගන්න.” සහස්‍රා හිනාවෙවී ආවෙ.

“බඩී මේ නංගිත් එක්ක ඉන්නවා තනියම එහෙ මෙහෙ යනවා දන්නෙත් නෑ මේ පැත්ත.” උදම් කිව්වා.

“හරි හරි ඉතින් මිදුලට ආවාම මොකෝ අතරමං වෙයිද?”

“සහස්‍රා…” විහංසා මතක් කරා කට පරිස්සමෙන් කියලා.

“කෝ ගමු ෆොටෝස් ටිකක්. එන්න අනේ.” සහස්‍රා විහංසාව එක්කන් ටිකක් එහායින් තිබුන බෙන්ච් එකට ගියා.

ආයෙත් හමුවෙමු.

ඔන්න කිව්ව වගේම අද කොටස් දෙකක් දැම්මා. අදහසක් කියාගෙන යන්න පුලුවන් නම්. හෙට ඉඳන් ආයෙ දවසට එක කොටසයි ලමායි… තරහ වෙන්න එපා වැඩ ගොඩක් අතරෙ ලියන්නෙ. වැරදි අඩු පාඩුත් ඇති ඒවා කියන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *