මා නොවේ ඈ නුඹේ 16 කොටස
කට්ටියම පාර්ක් එකට ගියා. උදම් සහස්‍රාටත් ස්වීටර් අරන් දුන්නා. දැන් උදම්ගෙ ස්වීටර් එක විහංසාගෙ අතේ.
“දෙන්න නංගි ඕක.” උදම් ඉල්ලුවේ අනිත් ඩබල පිස්සුවෙන් වගේ ෆොටෝස් ගන්න අතරෙ.
“මම වොශ් කරල දෙන්නම් අයියෙ.” විහංසා හීනියට කියද්දි උදම්ට හිනයි.
“කොහෙදිද?”
“අපාට්මන්ට් එකට ගිය ගමන්.” විහංසා කියද්දි උදම් හයියෙන් හිනා උනා.
“ඇයි?” විහංසා අමනාපෙන් ඇහුවෙ.
“තෙත පිටින්ම ගෙනියන්න පුලුවන්. මෙන්න මෙහෙට දෙන්න.” උදම් ඒක අරගත්තා.
“ඒත් මම මේක ඇඳලනෙ. එහෙනම් මම ඔයාට එකක් අරන් දෙන්නම් මේක මට දෙන්න.” විහංසා කිව්වා.
“නෝ නෝ මම මේක අඳින්නම් ගානක් නෑ.” උදම් එහෙම කියලා එවෙලෙම ඇඳන් ඉඳපු ස්වීටර් එක ගලවලා විහංසා ඇඳන් ඉඳපු ස්වීටර් එක ඇඳ ගත්තා. විහංසා කටත් ඇර ගත්තා.
දුරින් ඉඳපු සහස්‍රායි මියුරංගයි හිනා වෙවී බලන් හිටියෙ මේ දෙන්නා පොඩි ලමයි දෙන්නෙක් වගේ කරන වැඩ දිහා.
“මේ දැන් නම් දෙන්නා සෙට් වෙලාද කොහෙද?” සහස්‍රා කිව්වෙ සතුටින්. ඒත් මියුරංග තාමත් හිටියෙ සැකෙන් ඒ ඇත්තටම අයියා ආදරේ විහංසාගෙ ගති ගුණ වලට නෙමෙයි සඳලිට සම රුවට නිසා.
“මොකද හලෝ කතාවක් නැත්තෙ? ඔයාට ජෙලද? මේ වගේ සුරංගනාවියක් නැතුව සුකුරුත්තන් මැට්ටියෙක්ව හොයා ගත්ත එකට.” සහස්‍රා කිව්වෙ විහිලුවට.
“හලෝ මේ මං යුවතිට ආදරෙයි.” මියුරංගට කියවුනා.
“මොකද්ද කිව්වෙ? ආයෙ කියනවා බලන්න.” සහස්‍රා අත් දෙකත් ඉණට ගහන් කිව්වා.
“ඇත්තමයි. මම යුවතිගෙන් විහංසාව දැක්කා. ඒ නිසා මම යුවතිට ආදරේ කලා. පස්සෙ යුවතිගෙ වෙනස්කම් දැකලා හිත විහංසාගෙ පැත්තට ගියා. ඒ වෙලාවෙ කෙනෙක් මට කියල දුන්නා මම කරන්න ඕනෙ දේ.”
“ඒ කිව්වෙ?”
“ඒ කිව්වෙ යුවති මට ආදරෙයි. ඒත් විහංසා එහෙම නෑ. ඉතින් මං ඇයි මට ආදරේ නොකරන කෙනෙක් ගැන හිතලා මට ආදරේ කරන කෙනාව මග ඇර ගන්නෙ.” මියුරංග සහස්‍රාගෙ උරහිස් වලට අත් දෙක තියලා ඇහුවා.
“ඒකත් ඇත්ත තමයි.” සහස්‍රා කල්පනාවෙන් කිව්වා.
“මේ රණ්ඩු වෙලා ඉවර නම් එනවද මේ පැත්තට?” සහස්‍රා ටිකක් හයියෙන් විහංසාටයි උදම්ටයි කතා කරා. වැඩිය සෙනගක් හිටියෙත් නෑ පාර්ක් එකේ ටිකකට කලින් වැස්ස නිසා.
“අන්න කතා කරනවා.” විහංසා හිනා වෙවී කිව්වා.
“යමු එහෙනම්.” දෙන්නත් එක්ක මියුරංගලා ඉන්න තැනට ගියා.
“ලොකු අයියා එන්නකො මෙතෙන්ට මාත් එක්ක ෆොටෝ එකක් ගන්න. සුදු අයියේ අපි දෙන්නගෙ එකක් ගන්න.” සහස්‍රා උදම්ගෙ අතින් ඇදලා මියුරංගට කැමරාව දික් කරා.
කට්ටියම එක එක තාලෙට ඉඳන් ෆොටෝස් ගත්තා. ඒ අතරේ හෙටයි අනිද්දයි යන්න ඕනෙ තැන් කෑම ගැන කට්ටිය වාඩි වෙලා කතා කරා. උදම් ගිහින් කඩල බැදලා විකුණන ආච්චි කෙනෙක්ගෙන් කඩල පැකට් හතරක් අරන් ආවා.
“ආ… අනේ මට තව එකක් ඕනෙ.” සහස්‍රා නාහෙන් ඇඬුවා. ඒ පාර අයියලා දෙන්නම එයාට ඒ දෙන්නගෙ කඩල පැකට් දෙක දික් කරා. විහංසා බලන් හිටියෙ අයියලා දෙන්නා නංගිට තියෙන ආදරේ. ඒත් එක්කමයි විහංසාට හිතුනෙ මටත් අක්කා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි හිටිය නම් කියලා.
“සමී… ඇයි?” සහස්‍රා විහංසාගෙ උරහිසට අතක් තියලා ඇහුවා.
විහංසා ඇස් අගට ආව කඳුලක් පිහිදාලා හිස වැනුවේ මුකුත් නෑ කියන්න.
“සමී….. ඇයි ලමයෝ” සහස්‍රා විහංසාව තුරුලු කරගත්තා. මියුරංග බලන් හිටියෙ දුකෙන්. උදම් බැලුවෙ පුදුමෙන්.
“බඩී කෙනෙක්ට දුක හිතුනම එයාව සනසන්න කෙනෙක් අනුකම්පා කරන කොට එයාට දැනෙන දුක වැඩි වෙනවා. මෙහෙට වෙන්න.” සහස්‍රා මෙහාට උනා විහංසාගෙ හිසත් අත ගාගෙන.
“සොරි. මට අප්සට් උනා මට අයියලා අක්කලා නෑනෙ. හිටිය නම් හොඳයි හිතුනා.” විහංසා කිව්වෙ හිනා වෙලා.
“ඉතින් අනේ මේ ඉන්නෙ දෙන්නෙක්ම. ඕන වෙලාවක අරගන්න. මම සේල් දාලා තියෙන්නෙ ඕන වෙලාවක දෙනවා. හැබැයි චෙක් බෑ ඔන්ලි කෑෂ්.” සහස්‍රා කියද්දි මියුරංග සහස්‍රාට ටොක්කක් ඇන්නා. උදම් නම් හිටියෙ ටිකක් ලොකු කල්පනාවක.
“මමද තෝරගන්න ඕනෙ?” විහංසා ඇහුවා.
“මට ලොකු අයියව ඕනෙ.” සහස්‍රා උදම්ව අල්ලගෙන කිව්වා.
“ඒ මොකද?” උදම් ඇහුවෙ සහස්‍රාගෙ කටින් ඒ වගේ දෙයක් ආව එක පුදුම නිසා.
“මෙයා මං ඉල්ලන ඉල්ලන දේවල් අරන් දෙන්නෙ නෑ.” සහස්‍රාත් වෙලාවකට පොඩි එකෙක් වගේ. මියුරංගව පෙන්නලා කියද්දි තුන් දෙනාටම හිනයි.
“මට අහස් අයියව දෙන්න එහෙනම්.” විහංසා කිව්වා නෙමෙයි කියවුනා.
සහස්‍රාගෙ කටත් ඇරුණා. මියුරංගගෙ හිත ඇතුලෙන් මොකක්දෝ දෙයක් උනා. උදම්ට නම් ඒක ඒ තරම් ගානක් නෑ.
“හරි හරි එහෙනම් සුහදව බෙදා ගමු. හරිනෙ.” උදම් හිනාවෙවී කිව්වෙ.
කට්ටියම වල් පල් කතා කරලා හවස් වීගෙන එන නිසා අපාට්මන්ට් එකට යන්න නැගිට්ටා. පාක් එකේ ඉඳලා පාර මාරු වෙන්න හදද්දි විහංසා එක පාරම…
“මට අයිස් ක්‍රීම් කන්න ඕනෙ.” කට්ටියම පුදුමෙන් බැලුවෙ.
“මොකක්???” සහස්‍රාගෙ ඇස් දෙක නළලටම ගියා.
“ඇයි?” විහංසා බබා වගේ අහද්දි කට්ටියටම හොඳටම හිනයි.
“හැයි අහන්නෙ. හීතලේ වෙව්ල වෙව්ල ඉඳපු ගෑනි මෙන්න එක පාටම අයිස් ක්‍රීම් කන්න ඕනෙලු. පුදුම නැත්නම්නෙ පුදුමෙ.” සහස්‍රා කිව්වෙ තරහෙන්.
“දැන් ගානක් නෑනෙ. මට කන්න හිතුනා.” විහංසා කියද්දි මියුරංග දුවලා අයිස් ක්‍රීම් බයිසිකල් එක ලඟට ගිහින් අයිස් ක්‍රීම් දෙකක් අරන් ආවා.
“කාටද දෙකක්?” උදම් ඇහුවා.
“මටයි විහංසාටයි?” මියුරංග විහංසාට අයිස් ක්‍රීම් එකක් දෙනගමන් කිව්වෙ.
“පිස්සුවෙ හොඳ එක ලොකු අයියා. මෙන්න මෙහෙ එන්න. අපිටත් පිස්සු හැදෙයි මේ දෙන්නා එක්ක හිටියොත්.” සහස්‍රා උදම්ගෙ අතින් ඇදගෙන පාර දිගේ ගියා.
මියුරංගයි විහංසායි දෙන්නා හෙමිහිට හෙමිහිට සහස්‍රාලා ගියපු පාරෙම අයිස් ක්‍රීම් කකා ගියා.
“මං නිසා අර දෙන්නා ඔයා එක්කත් තරහ උනාද මන්දා.” විහංසා අයිස් ක්‍රීම් එක කන ගමන් කිව්වා.
“ඔය විහිලුවටනෙ. දැන් ගිය ගමන් හරියයි.” මියුරංග ඒ තරම් ගානක් නැතුව කිව්වා.
“ඔයාලා තුන් දෙනා හරි එකතුයි නේද?”
“ම්ම්ම්… ඔව් ඉස්සර අපි එකටමයි. මම රට ගියාට පස්සෙ අයියත් ගෙදරින් ඈත් උනා. නංගි ගොඩක් තනි වෙලා ඉඳල තිබුනෙ.”
“ඔව්. එයා ඉස්සර මාත් එක්කමයි. මට තමයි හැමදේම කියන්නෙ. අපේ ගෙදරත් එනවා. හැබැයි මම එහේ ගිහින්ම නෑ.” විහංසා කිව්වෙ දුර බලාගෙන ලොකු කල්පනාවක ඉඳන්.
“ඇයි ඒ?”
“දන්නෙ නෑ. තාත්තා කැමති නෑනෙ මම කොහෙවත් යනවට.”
“එහෙනම් යුවතිගෙ ගෙදර ගියේ?”
“චූටි කියන්නෙ මට යාලුවෙක් නෙමෙයි. මගෙ නංගි වගේ. එයාගෙ ගෙදර අය උනත් මට හරිම ආදරෙයි. සොරි එහෙම කිව්වට. සේනාධීර අංකල්ලා උනත් මට ආදරෙයි තමයි. ඒත් ඔයාලා ගොඩාක් සල්ලි තියෙන අයනෙ. මම ඒ නිසා සහස්‍රා විතරයි ගොඩක් ලඟින් ආශ්‍රය කලේ.”
“හ්ම්ම්…”
දෙන්නත් එක්ක කතා කර කර යද්දි අනිත් දෙන්නත් මෙන්න ආයෙම එනවා.
“ඇයි ආයෙම?” මියුරංග ඇහුවෙ ටිකක් දුර එද්දි.
“මෙන්න මෙයාටත් යාලුවගෙ ලෙඩේ බෝවෙලා. අනේ ඇත්තට මේ දෙන්නා බඳින කොල්ලො දෙන්නට දෙයියන්ගෙම පිහිටයි.” උදම් කිව්වෙ හිත යටින් විහංසාගෙ මේ හුරතල් ගතියට ආසාවෙන්.
“අපි ඉන්නම්. දුවල ගිහින් අරන් එන්න බඩී.” විහංසා හිනා වෙවී කියද්දි සහස්‍රා නැවතුනා.
“මොකද්ද මොකද්ද කිව්වෙ?”
“ඇයි?”
“බඩී කිව්වෙ මෙයාගෙන් අවසර අරන්ද?” සහස්‍රා ඇහුවෙ උදම්ව පෙන්නලා.
“ඇයි අයියගෙන් අහන්න ඕනෙද එහෙම කතා කරන්න?”
“ඔව්. එයා විතරනෙ එහෙම කතා කරන්නෙ. ආයෙ කියන්න කලින් අහලා ඉන්න. හරිද?” සහස්‍රා ඇඟිල්ලක් දිගු කරලා කියද්දි විහංසා හිනා වෙලා හිස වැනුවා.
දෙන්නත් එක්ක යන දිහා බලන් ඉඳපු මියුරංග විහංසා දිහාට හැරුනෙ කොහෙන්ද කතාව පටන් ගන්නෙ කියලා හිතමින්.
“විහංසා…”
ආයෙත් හමුවෙමු.