මා නොවේ ඈ නුඹේ 17 කොටස

“ඔව් අයියේ??”

“අපේ ලොකු අයියා ගැන මොකද හිතන්නෙ?” මියුරංග කතා කරන්න හැදුවෙ විහංසාගෙ හීන කුමාරයාගෙ කතාව දන්නෙ නැති නිසා.

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ එයා හොඳයි වගේද නැත්නම්” මියුරංග අහන්න දඟලද්දි විහංසාට හිත යටින් හිනයි.

“හොඳයි නේද? ඔයා වගේම තමයි.” විහංසා කිව්වා.

“මම වගේ විතරද?”

“ඒ කිව්වෙ?”

“මට වඩා ලොකු අයියා හොඳ නැද්ද?”

“ම්ම්ම් අනේ මන්දා. තාම ඉතින් දන්නෙ නෑනෙ. අදමයි මම දැක්කෙත්.” විහංසා කිව්වා.

“ඒකත් ඇත්ත නේද? ටිකක් ආශ්‍රය කරන් යද්දි තේරෙයි එයා මට වඩා ගොඩාක් හොඳයි.” මියුරංග එහෙම කියලා විහංසාගෙ මූණෙ ඉරියව් නිරීක්ෂණයක යෙදුනා. මූණෙන් නම් පේන්නෙ සතුටින් ඉන්නවා වගේ. අයියට කැමති උනොත් හොඳයි එක අතකට. මියුරංග හිතුවා.

ඒ එක්කම අර දෙන්නා ආවා.

“අම්මෝ ඔයාගෙ චොයිස් එක නම් වාව් සමී. මන්දා ඔයා මොන දේ කරත් ඒකෙ මොකද්දෝ ලස්සනක් තියෙනවා.” සහස්‍රා ආදරෙන් කියද්දි අයියගෙයි මල්ලිගෙයි දෙන්නගෙත් හිත් ගැස්සිලයි තිබුනෙ.

“ඒක නම් ඇත්ත. මෙච්චර නුවර එළියෙ එනවා මම. කවදාවත් මම මෙහෙම අයිස්ක්‍රීම් කාලා නෑ. ඒත් ඒකෙ අමුතු ගතියක් තියෙනවා.” උදම්නුත් කිව්වෙ අයිස්ක්‍රීම් එක කන ගමන්.

“ඒකනෙ. මම ආසාවෙ හිටියෙ නුවර එළියෙ එන්න. ඒ වගේම සීතලේ ගැහි ගැහි එලියෙ ඇවිදින්න. අයිස්ක්‍රීම් එකක් කකා පාර දිගේ ඇවිදින්න.” විහංසා කියද්දි කට්ටියම බලන් හිටියෙ ආසාවෙන්.

“මේ ඒක නෙමෙයි දැන් හවස් වෙනවා යමු නේද?” සහස්‍රා කියද්දියි කට්ටිය වටපිට බැලුවෙ. හවස පහ විතර වෙද්දි කලුවර වැටීගෙන එනවා.

“යමු නේද එහෙනම්.” උදම් ඉස්සර උනා.

කට්ටියම ඇවිත් කාමර වලට ගිහින් ටිකක් විවේක ගත්තා. විහංසා නම් තාත්තට කෝල් එකක් අරන් කතා කරා. සහස්‍රා නිදි. උදම් මියුරංග එක්ක බිස්නස් වැඩ ගැන කතා කර කර හිටියා. හැන්දෑවෙ හතහමාරට විතර රෑ කෑමට තමයි ආයෙම කට්ටිය එකතු උනේ.

“බඩී නම් නිදාගෙනද කොහෙද.” මියුරංග කිව්වෙ සහස්‍රා ඇස් පොඩි කර කර එද්දි.

“අපෝ ඔව් අයියේ මෙයා නම් මහ කම්මැලියෙක්.” විහංසාත් කිව්වෙ ඇය දැන් පැය කීපයක් තනිවම ඔහේ ඉඳපු නිසා.

“අනේ පලයං බං යන්න. උඹට කම්මැලි නම් මෙයාලා එක්ක කතා කර කර ඉන්න තිබුනනෙ ගිහින්. අම්මෝ බඩගිනියි මට නම් හොඳටම.” සහස්‍රා ඉක්මණින් කෑම මෙසෙ ලඟට ගියා.

“අම්මයි අප්පච්චියි කෝ.” සහස්‍රා නිදියගෙන ඉඳපු අතරෙ අම්මයි අප්පච්චියි පරණ යාලුවෙක්ගෙ ගෙදර යනවා කියලා එලියට ගියා.

“අම්මලා සිරී අංකල්ලගෙ ගෙදර ගියා. එයි තව ටිකකින්.” මියුරංග කිව්වා.

“අම්මෝ මාරයි. උණු උණුවෙම කෑවම තමයි ගති. සමී මේ බලන්න ඔයාගෙ ෆේවරිට්.” සහස්‍රා කෑ ගැහුවෙ කෑම මේසෙට ඉඳගන්න ගමන්.

“අම්මෝ රහ පේනවා කන්න ඕනෙ නෑ.” උදම් විහංසාගෙ කෙලින් ම තිබුනු පුටුව ඇදලා ඉඳගත්තා.

කෑමට හදලා තිබුනෙ සම්බා බත් එක්ක රතු පාටට සැරම සැර පොල් සම්බෝලෙකුයි මාලු ඇඹුල් තියලකුයි. විහංසාට කෑම ටික දැක්ක ගමන්ම ඇස් වලට කඳුලු ආවා. ඒ ඇයට ඇගේ අම්මව මතක් වෙලා. කෑම එක බෙදාගෙනත් ඇය කෑවෙ කල්පනා කර කර. ටිකකින් ඇස් වලින් කඳුලු බේරි බේරි බත් කෑවෙ. උදම්නුයි මියුරංගයි කනවට වඩා කලේ විහංසා කන දිහා බලන් ඉඳපු එක.

“මොනවද හලෝ බලන් ඉන්නේ. කන්නෙ නැද්ද?” බැරිම තැන සහස්‍රා ඇහුවෙ ගොලු භාෂාවෙන්. එතකොටම අර දෙන්නම දෙතොල් වලට ඇඟිල්ල තියලා විහංසාව පෙන්නුවා ඇස් වලින්.

“මම නම් දැක්කමයි මේ කෙනෙක් ආසම කෑමක් අඬ අඬා කනවා.” මියුරංග කිව්වෙ නිහඬ බව බිඳින්න හිතාගෙන.

“සමී මෙච්චර ආසයිද මේවට.” සහස්‍රාට දුකත් හිතුනා. ඉස්සර ඉඳන්ම විහංසා ආසයි මේ වගේ කන්න. ඇයට කෑම කද්දි ආවෙ අම්මගෙ අතින් මේ කෑම ටික හැදුවම එන රසමයි. ඒ නිසයි ඇය කඳුලු බේරි බේරි කෑවෙ.

“එක්ස්කියුස් මී.” විහංසා අත සෝදගෙන කාමරේට ගියා. ඇයට දුක හිතුනා. අම්මව මතක් උනා දහස් වාරයක්.

“ඒයි… මොකද නැගිටලා ආවෙ. ඒ දෙන්නටම ලෝබයි ඔයා කෑව හැටියට. අන්න අර උයන අංකල්ට කිව්වා හෙට රෑටත් මේවම හදන්න කියලා. පිස්සු කෙල්ල. කෝ නිදිද?” සහස්‍රා දුවගෙන ඇවිත් විහංසාට කතා කරද්දි විහංසාට නින්ද ගිහින් නැති උනත් ඇය ඇස් ඇරියෙ නෑ.

“බඩී අපි එන්නද?” උදම් දොර ලඟ ඉඳන් කතා කලා.

“එන්න අයියා. බලන්නකො අනේ මොකද දන්නෙ නෑ මෙච්චර අප්සට් උනේ. හොඳටම දුක හිතිලා. නැත්නම් කීයටවත් මේ වගේ වෙලාවක මෙයා මෙහෙම මූඩ් ගහන්නෙ නෑ.” සහස්‍රා මූණත් ඇඹුල් කරන් කිව්වා.

“විහංසා…. කෝ නැගිටින්න පොඩ්ඩක්. එන්නකො අපි රෑට ප්ලෑන් කලේ පැදුරු පාටියක්. එන්නකො අනේ.” මියුරංග කතා කරද්දි කෙල්ලට ඇස් අරින්න හිතුනත් ඇය ඇස් ඇරියෙ නෑ.

උදම් මියුරංගට ඇස් වලින් කිව්වා එහාට වෙන්න කියලා. එහෙම කියලා උදම් ගිහින් ඇඳෙන් ඉඳගෙන විහංසාගෙ උරහිසට අතක් තියලා කතා කලා.

“දෝණී… එළියට එන්නකො. අපිත් එක්ක තරහ වෙලාද ආවෙ ඔයා?” උදම් දුකෙන් ඇහුවෙ. උදම්ගෙ කටින් දෝණි කියලා කියද්දි විහංසාගෙ උරහිස ගැස්සුනා. ඇය එහෙම්මම නැගිටලා උදම්ගෙ උරහිසට හිස තියාගෙන ඇඬුවා.

මියුරංගයි සහස්‍රායි බලන් හිටියෙ මේ මොකද්ද උනේ කියලා.

“සොරි… දෝණි කිව්වම තාත්තා වගේ දැනුනෙ.” විහංසා ඉක්මණින් උදම්ගෙන් ඈත් උනා.

“මට අම්මව මතක් උනා. ඒ රසමයි ආවෙ. අවුරුදු ගානකට පස්සෙ මම මේවා කෑවෙ. තාත්තා හැදුවට මේ වගේ රස එන්නෙ නෑ. මම හදලත් නෑ.” විහංසාට ඉකි ගැසුනා. උදම් ඇඳ උඩින් නැගිටලා සහස්‍රාව වාඩි කලා. සහස්‍රා විහංසාව තුරුලු කරන් ඇයව සැනසුවා.

“ඔයාලා යන්න. මම ටිකක් තනියම ඉඳලා එන්නම්. සොරි ප්ලෑන්ස් කැන්සල් කරගන්න එපා. මම එන්නම්.” විහංසා හිනාවෙන්න අසාර්ථක උත්සාහයක යෙදුනා.

“හරි හරි අපි එලියෙ ඉන්නම්. ඉක්මණට මූඩ් ෆික්ස් කරන් එන්න ඕනෙ.” මියුරංග කියද්දි උදම් විහංසාහෙ හිස අත ගාලා එලියට ගියා.

“මට ඒ ආදරේම ලැබෙනව නම්.” විහංසා උදම් දිහා බලාගෙන කල්පනා කලා.

උදම් කෙලින්ම කාමරේට යද්දි මියුරංගයි සහස්‍රායි සාලෙ නැවතුනා.

“මේ හලෝ මම කියන්නමයි හිටියෙ.” සහස්‍රා පුටු සෙටියේ මියුරංගගෙ ලඟින්ම වාඩි වෙලා කතාව පටන් ගත්තා.

“සමී දැන් ගොඩක් කාලෙක ඉඳලා හීනෙන් කොල්ලෙක්ව දකිනවා. එයා මුලින්ම ඔයාව දැක්කම රැවටිලා ඒ ඔයා කියලා. ඒත් ඔයා යුවතිට පිස්සු වැටිලනෙ හිටියෙ. ඒක නිසා එයා හිත හදාගෙන ඉඳලා තිබුනා. අද උදේ ලොකු අයියව දැක්කම ගෑනි හොල්මන් උනේ එයාගෙ හීන කුමාරයා අපේ ලොකු අයියලු.” සහස්‍රා කුටු කුටු ගාලා කිව්වා.

“කොහොමද ඔයා හරියටම කියන්නෙ?”

“මැට්ටෝ එයා මට කිව්වා.”

“ඒ ඔක්කොම එයා කියපුවද?” මියුරංග හිතුවේ ඔහු වගේම ඇයත් ආදරේ කරලා කියලා හිතමින්. අපරාදෙ යුවති ආවෙ කියලා මියුරංගට හිතුනා.

“මොනවද හිතන්නෙ? ඒ දෙන්නා හොඳට මැච් වෙනවා නේද?”

“හ්ම්ම්..”

“අපෝ සුදු අයියා ඔහොමද කියන්නෙ. සපෝර්ට් එකක් දෙන්නකො අනේ. මොකද්ද?” සහස්‍රා දුකෙන් කිව්වෙ.

“හරි හරි මැට්ටියෙ මම සපෝර්ට් කරන්නම්. හැබැයි ඒ දෙන්නට දෙන්නා හොඳටම ආදරේ නම් විතරයි. හරිද?” මියුරංග කිව්වෙ අන්තිමට ඔහුට වගේ උදම්ටයි විහංසාටයිත් උනොත් කියලා බයෙන්.

“අහන්න දෙයක් නෑ අයියෝ දෙන්නම කැමතියි. දැක්කෙ නැද්ද විහංසා අයියව හග් කරපු හැටි.”

“එයාට තාත්තව මතක් උනා කිව්වෙ.”

“අපෝ එපා වෙනවා. ගෑනු ලමයෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ තාත්තව තමයි.” සහස්‍රා කියද්දි මියුරංග ඇස් උඩ තියන් බලන් හිටියා.

ඒ එක්කම විහංසා කාමරෙන් එලියට ආවා. පුංචි හිනාවකුත් එක්කමයි විහංසා ආවෙ.

“දැන් හරිද?” සහස්‍රා හිනාවෙවී ඇහුවෙ. විහංසා හෙමිහිට හිස වැනුවෙ ඔව් කියන්න.

“ලොකු අයියේ එන්න අපි පැදුරු පාටිය පටන් ගමු.” සහස්‍රා කතා කලා උදම්ටත්.

“ආහ් ඇවිත් නේද? හරි පැදුරු නැති උනාට කමක් නෑ අපි මෙහෙම ඉඳගමු. එහෙනම් අපි පැදුර ගීතයෙන් ගීතෙට මාරු කරගමු. මායි විහංසායි එක පැත්තක් ඔයාලා අනිත් පැත්ත. හරිනෙ.” උදම් එහෙම කිව්වෙ ගිහින් විහංසා ලඟින් ඉඳගෙන.

“හරි කවුද මුලින්ම” මියුරංග ඇහුවා.

“ගායකයයි ගායිකාවයි දෙන්නම එක පැත්තක ඉඳ ගත්තම අපිට ඉතින් කොහොමත් හුලං තමයි. ඔයාලා පටන් ගන්න.” සහස්‍රා බැන්නා.

“ආහ් එහෙනම් මලයා එන්න මේ පැත්තට. කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි හරිනෙ.” උදම් කිව්වම සහස්‍රා දුවගෙන ගිහින් විහංසාගෙයි උදම්ගෙයි අතරෙ වාඩි උනා. උදම් නැගිටලා අනිත් පැත්තට ගියා.

“හරි පටන් ගමු.” සහස්‍රා සතුටින් කිව්වෙ.

“ම මයන්න…” මියුරංග කියද්දි කට්ටියම හිනා උනා.

“හා හා අපි කියන්නම්.” සහස්‍රා එහෙම කියලාඅ විහංසා පැත්තට හැරුනා.

“මල් මුතුලැල්…..” මේ විදියට පටන් අරන් තරඟය රෑ නමය විතර වෙනකන් ගියා. කාගෙත් ඉල්ලීමට උදම් අන්තිමටම තනියම ස්ලෝව් සිංදුවක් කියන්න ලේස්ති උනා.

“හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්…
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනෙන්…
පෙලයි මා….
මුදා සුව දැහැනෙන්….”

මියුරංගට නම් දැනුනා මේ කියන්න යන්නෙ සඳලි ගැන කියලා. ඇත්තටම උදම්ගෙ හිතේ මේ වෙනකොට තිබුණෙ සඳලිව හිතෙන් අයින් කරලම දැමීමේ අවශ්‍යතාවයක්.

“සයුර හිමරත් සිතිජ රේඛාවේ…
මියෙන හිරු සේ වෙලී බිම් අඳුරේ…
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….
අද
තනිවෙනා මොහොතේ…

හදේ කොතැනක…

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්…
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්….
ඔබ
මැකී යනු මතකෙන්…”

“කවුරු උනත් මේ තරමටම කරදරයක් වෙලාද එයාගෙ මතකයට. මොකද්ද වෙන්න ඇත්තෙ? නෑ මේක මේ නිකන්ම නිකන් සිංදුවක් විතරයි.” විහංසා හිතුවා.

උදම් ගීතය අවසන් කරත් විහංසා හිටියෙ තවමත් ඇස් පියාගෙන ඒ ගීතයේ රස විඳිමින්. ඒ තරම් මියුරු ලෙස ගීතය ගායනා කලා ඔහු.

මියුරංග නම් ඒ ගීතයත් එක්ක ගොඩක් දුර ගියා. කාමරේට ගියාම අයියගෙන් විහංසා ගැන හිතන හැමදෙයක්ම අහගන්නවා කියලා ඔහු තීරණය කරා.

“වාව් හරිම ලස්සනයි ලොකු අයියා.” සහස්‍රා ක්ලැප් කරමින් කිව්වා. විහංසාත් මොහොතකින් එකතු උනා සහස්‍රා එක්ක.

“ඇත්තටම ලස්සනයි ලොකු අයියේ.” විහංසාත් කිව්වා. විහංසා ලොකු අයියා කිව්වම උදම්ට ලෝබ හිතුනා. ඔහු නැගිටලා ගිහින් විහංසා ලඟ හිට ගත්තෙ නංගියි මල්ලියි එතන ඉන්න බවත් අමතක වෙලා.

ආයෙත් හමුවෙමු.

හොඳම තැනින් නැවැත්තුවා කියලා කෑගහන්න එපා. 😂😂😂😂😂😂 කතාව කියවන හැමෝම ලයික් එකක් දාලා අදහසක් කියාගෙන යන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *