මා නොවේ ඈ නුඹේ 19 කොටස
“අනේ මම එහෙම කියන එක හරි නෑ වගේ නේද ආන්ටි.” විහංසා බිම බලාගෙන කිව්වා.
“ඇයි හරි නැත්තෙ. ඔන්න අම්මා මම නම් කැමතියි විහංසා අම්මා කියනවට.” මියුරංග පිටිපස්සෙන් ඇවිත් අම්මගෙ කරවටේ අත යවලා තුරුලු උනා.
“දැක්කනෙ මෙයා කැමතියි කියන්නෙ අනිත් දෙන්නා කොහොමත් කැමතියි.” අම්මා හිනා වෙලා කිව්වා.
“ඇයි ඒ?” විහංසා ඇහුවා.
“ඉස්සර මෙයා වෙන ලමයි මගේ ලඟට එනවටවත් කැමති නෑ. අපේ අයියගෙ පුතා පුංචි කාලෙ මට අම්මා කියලා මෙයා අර නොදරුවටත් ගහලා හොඳටම ඇඬුවා.”
“ඒක නම් ඇත්ත. මටත් මතකයි අම්මා. ඒක නෙමෙයි මොකද පරණ රස කතා මතක් කරන්නෙ?” උදම් විහංසා දිහා බැලුවෙවත් නැතුව අම්මගෙන් ඇහුවෙ. විහංසා බලන් හිටියෙ දැන් නැතුවට දැන් උදම් ගුඩ් මෝනින් කියයි කියලා. ඒත් උදම් බැලුවේ වත් නෑ.
“හරී මම රෙඩී.” සහස්‍රාත් විහංසා වගේම ඇඳලා ආවා.
“අපෝ අම්මා අද නම් මේ දෙන්නව පැටලෙනවා. දෙන්නම එක වගේ. පිටිපස්ස හැරිලා හිටියොත් අඳුර ගන්න බෑ.” මියුරංග කිව්වෙ දෙන්නගෙම ඉහල ඉඳන් පහලටම බලලා. කෙල්ලො දෙන්නටයි අම්මටයි හිනයි.
“නෑ පුතා දෝණිගෙ කොණ්ඩෙන් අඳුරගන්න පුලුවන්. අපේ එක්කෙනාගෙ කොණ්ඩෙ නැට්ට වගේනෙ. කෑලි වැටෙනවත් එක්ක.” අම්මා කියද්දි සහස්‍රා ඉණටත් අත් දෙක ගහගෙන බලන් හිටියා.
“මේ මෙයාගෙත් එහෙම තමයි. මෙයත් කොණ්ඩෙ ලේයර්ස් කරල තියෙන්නෙ.” සහස්‍රා රවාගෙන කිව්වා.
“හරි ලමයි දැන් එන්න කෑම කාලා යමු. නැත්නම් ඔන්න පාක් එකේ ඉන්න වෙන්නෙ ටික වෙලාවයි.” අප්පච්චි එළියෙ ඉඳන් ආවෙ.
“මේ මොකද අරයා බුම්මගෙන.” සහස්‍රා විහංසාට ඇනලා රහසින් ඇහුවෙ.
විහංසා උරහිස් හැකිලුවේ දන්නෙ නෑ කියන්න. ඒ පාර සහස්‍රා මියුරංග ලඟට ගියා.
“මේ… මොකද ලොකු බොස් අවුලෙන් වගේ.” සහස්‍රා ඒ ඇහුවෙත් රහසෙන්.
“ආ එයාට මම විහංසාගෙ හීන කුමාරයා ගැන කිව්වනෙ. ඒකට ඊයෙ රෑ ඉඳන්ම මූණ එල්ලන් ඉන්නෙ.” මියුරංග හිනාවෙවී හැබැයි හෙමින් කිව්වා.
“ඉතිං ඇයි….” සහස්‍රා කියද්දිම
“මොකද අයියගෙයි නංගිගෙයි කුටු කුටුව.” අප්පච්චි ඇහුවා. මියුරංග සහස්‍රා දිහා හොරැහින් බැලුවේ මේ වගේ වෙලාවට උත්තර දෙන්න දන්නෙ සහස්‍රා නිසා.
“නෑ අප්පච්චි අපි කතා උනේ මේ ලොකු අයියගෙ කිසිම සද්දයක් නෑ කියලා.” සහස්‍රා කිව්වා. කට්ටියම කෑම මේසෙට වාඩි උනා.
“කිව්වත් වගේ මොකද ලොක්කා කතාවක් නැත්තෙ?” අප්පච්චි ඒ පාර උදම්ගෙන් ඇහුවා.
උදම් හිටියෙ කල්පනාවක.
“ඇත්තටම විහංසා වෙන කෙනෙක්ට ආදරේද? ඒත් එයා හැසිරෙන්නෙ එහෙම කෙනෙක් නෑ වගේනෙ. මට උනත් ලං වෙන්න කැමැත්තක් පෙන්නුවනෙ. ඒ කියන්නෙ විහංසා පෙන්නන තරම් අහිංසක නෑ. මල්ලා කියනකන් මට නිකමටවත් හිතුනෙ නෑනෙ එහෙම දෙයක්. මගේ මේ ආදරෙත් ලැබෙන්න කලින්ම නැති වෙලා යයිද?” උදම් හිතුවා. කල්පනාවෙ ඉඳපු උදම්ට අප්පච්චි කතා කරනවා ඇහුනෙ නෑ.
“ලොක්කා….” අප්පච්චි ආයෙත් කතා කලත් උදම්ට ඇහුනෙ නෑ. මියුරංග හෙමිහිට උදම්ගෙ කකුල පෑගුවා. ඔන්න එතකොටයි උදම් මේ ලෝකෙට ආවෙ.
“ලොක්කා මොකක් හරි ප්‍රශ්නයක්ද?” අප්පච්චි උදම්ගෙ දිහා උවමනාවෙන් බලලා ඇහුවා.
“නෑ.. නෑ අප්පච්චි එහෙම මුකුත් නෑ. මට ඊයෙ ආවට පස්සෙම සේල් එකට කෝල් එකක් දෙන්න බැරි උනා. මොනව කරගෙනද දන්නෙ නෑනෙ. ඒක ගැන හිතුවෙ.” උදම් හිනාවෙන්න උත්සාහ කරමින් කිව්වා.
“හරි හරි කෑම කමු.” අම්මා කිව්වම හැමෝම කිසිම සද්දයක් නැතුව කන්න ගත්තා.
සහස්‍රා කල්පනා කලේ විහංසාගෙ හීන කුමාරයා ගැන කිව්වම අයියා මූඩ් ගහන්න හේතුවක් නෑනෙ එයානෙ හීන කුමාරයා කියලා. ඒත් මොකක් හරි අවුලක් සුදු අයියා කරලා ඇති කියලා ඇයට මතක් උනා.
“සුදු අයියා..” සහස්‍රාට කෑම කනගමන් ඉන්න බව අමතක වෙලා හයියෙන් කතා කෙරුනා.
“බබා මොකද මේ?” අම්මා ඇහුවෙ පුදුමෙන්.
“ආ නෑ අම්මා මට මේ සුදු අයියට කියන්න අමතක උනා යුවති මට කෝල් කරා මෙයා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ කියලා.” සහස්‍රා එවෙලෙ කටට ආව දේ කියල දැම්මා.
“ඇත්තටම ඇයි සුදු පුතා ඔයා ඒ ලමයා කෝල් කරාම ආන්සර් කරන්නෙ නැත්තෙ. මම ඊයෙත් අහගෙන දෝණිට කෝල් කරලා ඒ ලමයා කියනවා ඔයාට ගන්න කියලා. ඇයි පුතා ඒ?” අම්මා ඇහුවෙ මෙයා අකමැති නම් වෙන කෙනෙක්ව බලන්න පුලුවන් නිසා.
“නෑ අම්මා එහෙමකට ෆෝන් එකෙන් කතා කරන්න තරම් දෙයක් මට තාම නෑ. ඒ නිසා වැඩිය කෝල් කරන්නෙ නෑ මම. අනික තාම සති දෙකයිනෙ අම්මා.” මියුරංග කරදරකාරී යමක් කතා කරනකොට වගේ නොසැලකිල්ලෙන් උත්තර දුන්නා.
“සුදු පුතා ඒ ගෑණු ලමයට කැමති නැද්ද?” අප්පච්චි ඇහුවා. ඒ එක්කම විහංසා ප්‍රශ්නාර්ථයක් රැඳුනු මුවින් මියුරංග දිහා බැලුවා. මියුරංගත් බලාගෙන හිටියෙ විහංසා දිහා.
“මං කැමතියි අප්පච්චි.” මියුරංග විහංසා දිහාම බලාගෙන කිව්වා. එතකොටම විහංසාගෙ මූණෙ ලස්සන හිනාවක් මැවුනා.
“ඒක මිසක්. හ්ම්ම්… හරි හරි ඉක්මණට කාලා යමු.” අප්පච්චි එහෙම කියලා අත සෝදගෙන කාමරේට ගියා.
කෑම කාලා කට්ටියම වාහනේට නැග්ගා. අද ඩ්‍රයිව් කරන්නෙ අප්පච්චි. ඉස්සරහට අම්මා නැග්ගා. ලමයි ටික පිටිපස්සෙ.
“මේ ලොකු අයියා ඇත්තටම මොකද්ද අවුල?” සහස්‍රා පිටිපස්ස හැරිලා උදම්ගෙන් ඇහුවා.
“මොකද්ද?” උදම් බුම්මගෙන ඇහුවා. මියුරංගට නම් හිනයි. විහංසාගෙ මූණෙ නම් කිසිම හිනාවක් නෑ. ඇයත් ඔහේ කල්පනාවක හිටියෙ.
“අනේ මේ යන්න ඔයා.” සහස්‍රා උදම්ට රවලා ඉස්සරහට හැරිලා හරියට වාඩි උනා.
“මොකද ඔයත් මූණ එල්ලන් ඉන්නෙ?” සහස්‍රා විහංසාගෙන් ඇහුවා.
“මුකුත් නෑ.” විහංසා කල්පනාවෙන් මිදිලා කිව්වා. උදම් විහංසා දිහා නොබලා හිටියට ඇය ගැන හොඳ අවධානයෙන් හිටියෙ.
“කල්පනා කරනව ඇති හීන කුමාරය ගැන.” උදම් කුටු කුටු ගෑවා.
“මොනව හරි කිව්වද?” මියුරංග ඇහුවෙ මොනවා හෝ කියනවා වගේ ඇහුන නිසා.
“මොනව කියන්නද? මුකුත් නෑ.” උදම් තරහෙන් කියද්දි මියුරංගට හිනයි. ඔහු හිනාව තද කරන් හිටියා.
“ලමයි පාක් එකේ ඉන්න වෙන්නෙ පැයක් එකහමාරක් විතර. හොඳද? සිරිනන්ද අංකල් කෝල් කරා ඒ කිට්ටුවත් බලන්න ඇල්ලක් තියෙනවා. ඔයාලා එතෙන්ට ගිහින්ම නෑනෙ.” අප්පච්චි කිව්වෙ වාහනේ පාර්ක් එක අයිනෙ නවත්තන ගමන්.
“හරි අප්පච්චි.” වාහනෙන් බැස්ස ගමන්ම ඇඟ හිරි වැටෙන තරම් සීතලක් දැනුනා. විහංසා අත් දෙක බැඳගෙනමයි හිටියෙ.
“යමු යමු එන්න.” සහස්‍රා විහංසාව ඇදගෙන දිව්වා.
“අම්මෝ දුවන්න බෑ මට සීතලයි.” විහංසා කෑගැහුවා.
“හරි බං මටත් සීතලයි ඉතිං.”
“ඉතිං හෙමින් යමංකො.” විහංසා මූණත් එල්ලන් කිව්වා.
“හ්ම්ම්… මේ බෝට් එකක යමුකො.” සහස්‍රා කිව්වෙ කට්ටියම ආවට පස්සෙ.
“යමු බඩී.” උදම් සහස්‍රාගෙ අතින් අල්ලගෙන ගියා. විහංසාගෙ මූණ මැලවුනා.
“ඒත් ඉතින් එයා කොහොමත් මට කැමතිද කියලවත් මං දන්නෙ නෑනෙ” විහංසා හිතුවා.
“විහංසා ආස නැද්ද බෝට් එකේ යන්න.” මියුරංග ලඟට ඇවිත් අහද්දි විහංසා හිනා වුනා.
“කැමති නම් යමු. මං මේ යන්න හැදුවෙ.” මියුරංග කතා කරාම කෙල්ල ඔලුව වනලා කැමතියි කිව්වා. ඒ දෙන්නත් බෝට් එකට නැගලා රවුමක් ගියා.
“මේ ලොකු අයියා මොකද මූණ එල්ලගෙන ඉන්නෙ. අනික ඔයාට තිබුනෙ සමී එක්ක යන්නනෙ. එයා පව්.” සහස්‍රා දුක් උනා.
“ඇයි මම මොකටද එයාව එක්කන් යන්නෙ. එයාගෙ හීන කුමාරයට බැරියැ ඇවිත් එක්කන් යන්න.” උදම් කියද්දි සහස්‍රාට හිනා ගියා.
“සුදු අයියා මොනවද හීන කුමාරයා ගැන ඔයාට කිව්වෙ?”
“එයා හීනෙන් කොල්ලෙක්ව දැකල තියෙනවලු. දැන් ඒ හීන කුමාරයව හොයාගෙනලු. මං හිතන්නෙ අප්පච්චිගෙ ඔෆිස් එකේම කොල්ලෙක් වෙන්න ඇති. නැත්නම් මල්ලා අඳුරන්න විදියක් නෑනෙ.” උදම් කියද්දි සහස්‍රා දැනගත්තා මියුරංග හොඳ ලණුවක් ගිල්ලලා කියලා. ඒත් ඇයත් හිටියා මුකුත් නොකියම.
බෝට්ටු පැදලා ඉවර වෙලා කට්ටියම තම තමන්ගෙ පාඩුවෙ කැමති කැමති දේවල් කරා. ඒ අතරෙ ග්‍රෙගරි පාක් එකේ විහංසා ඉඳපු තැනින් ඇවිදගෙන ගිය පිරිමි ලමයෙක් විහංසාව දැකලා ඇය ගැන උනන්දු උනා. විහංසා හිටියෙ බෙන්ච් එකක වාඩි වෙලා වැව දිහා බලාගෙන.
“තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ලඟින්.” ඒ කොල්ලා ඇගේ කන ගාවටම ඇවිත් කියද්දි විහංසා ගැස්සිලා ගියා. විහංසා ටක් ගාලා නැගිටලා සහස්‍රා ඉන්න තැනක් හෙව්වත් පේන්න හිටියෙ නෑ. හිතට පොඩි බයක් දැනුනෙ කට්ටියම ගොඩක් ඈතින් ඉඳපු නිසා.
“බය උනාද? බය වෙන්න එපා. මම අනුරාධ. හෙලෝ.” අනුරාධ විහංසාට අත දිගු කරා. ඇය අත දිහා බලලා ආයෙත් කට්ටිය ඉන්න දිහාවක් බැලුවා.
“හරි හරි බය වෙන්න එපා. මම යන්නම්. උදේ පාන්දරම සුරංගනාවියක් වගේ ඔයා මෙතන තනියම ඉඳපු නිසා කතා කලේ. සොරි.” අනුරාධ එහෙම කියලා යන්න හැරුනා.
“ආ කියන්න බැරි උනානෙ. මම පුංචි කාලෙ ඉඳන් උදේට මෙතෙන්ට එනවා. අද තමයි ෆ්රස්ට් ටයිම් ඔයාව දැක්කෙ. ඔයා ට්‍රිප් එකක් ඇවිත්ද?” විහංසා සද්ද නැතුව ඉද්දි අනුරාධ හිනා වෙලා…
“සොරි සොරි මම යන්නම්.”
දුර ඉඳන් උනත් උදම් හිටියෙ විහංසා ගැන කල්පනාවෙන්. උදම් දැක්කා විහංසා කවුද කොල්ලෙක් එක්ක කතා කරනවා. ඔහු ඒ පැත්තට ගියේ ඒනිසා.
“අඳුරන කෙනෙක්ද?” උදම් ඇහුවෙ ඔවුන්ට පිටුපාලා යම අනුරාධ දිහා බලලා.
“නෑ” විහංසා ඇහෙන නෑහෙන ගානට කිව්වෙ.
“එහෙනම් කතා කලේ?” උදම් තරහෙන් අහද්දි විහංසා ඇස් ලොකු කරලා බැලුවෙ ඇය කතා නොකල නිසා.
“මම කතා කලේ නෑ.” විහංසා අහිංසකව කියද්දි උදම්ට තවත් කේන්ති ගියා. “මෙයා බබා වගේ රඟපාන ලස්සන විතරක්.” උදම් හිතුවා.
“බබෙක් වගේ කතා කරන්න එපා. මම හැමදේම දන්නවා” උදම් කේන්තියෙන් කියද්දි විහංසාගෙ ඇස් වලට කඳුලු ඉනුවා.
උදම් විහංසා එක්ක කතා කරනවා දැකපු මියුරංගයි සහස්‍රායි ඉක්මණින් එතෙන්ට ගියේ අනිවාරෙන් අයියා ඉල්ලන් කන බව දන්න නිසා.
“අපරාදෙ හලෝ බොරු කිව්වෙ. කෙල්ලට මොනව කියනවද දන්නෙ නෑ. බලන්න මූණෙ හැටි.” සහස්‍රාගෙ හිත හොඳ නෑ. මියුරංගටත් අප්සට්. සහස්‍රා එනවා දැකපු විහංසා දුවගෙන ඇවිත් සහස්‍රාගෙ අතින් අල්ලගත්තා.
“ලොකු අයියා මොකද්ද ප්‍රශ්නෙ?” සහස්‍රා ඇහුවා.
“මෙයා මේ කොල්ලෙක් එක්ක කතා කර කර ඉඳලා මං ආවම බබා වගේ ඇඹරෙනවා.” උදම් කිව්වෙ තරහෙන්.
“මං කතා කලේ නෑ අහස් අයියේ. ඒ බෝයි තමයි කතාවට ආවෙ.” විහංසා මියුරංග දිහා බලලා කිව්වා.
“අනේ මෙයාගෙ බබා පාට්. කොල්ලොත් එක්ක නටල නටලා අපිට බොරුව දානවා.” උදම් කියද්දි විහංසාට තරහා ගියා.
“කියන්න බලන්න ඔයා මං නටනවා දැකපු එක දවසක්. මුකුත් නොදැන ඔයා ඔහොම කතා කරන එක හරිද අයියේ.” විහංසාට තරහටයි දුකටයි හයියෙන් ඇඬුනා. උදම්ගෙ හිත ඇතුලෙන් රිදුනත් ඔහු හිතුවෙම විහංසාට බෝයි කෙනෙක් ඉද්දිම ඇය ඔහුගෙ හිතෙත් බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරුනා කියලා. ඒ නිසා දුක යට කරගෙන තරහා ආයෙත් හිත උඩට ආවා.
“නැත්නම් මොකටද කොල්ලෙක් ඉද්දි දකින දකින හැම කොල්ලටම බලාපොරොත්තු දෙන විදියට හැසිරෙන්නෙ?”
“අයියා දැන් ඇති බං. ඕක නවත්තන්න. විහංසාට කොල්ලෙක් නෑ.” මියුරංග ඉවසලා බැරිම තැන කිව්වෙ ඔවුන්ගෙ විහිලුව දුර ගියා වැඩි එකට පසු තැවෙමින්.
උදම් කැලඹුණු සිතින් මියුරංග දිහා බැලුවෙ.
ආයෙත් හමුවෙමු.
තෙරුවන් සරණයි!