මා නොවේ ඈ නුඹේ 23 කොටස
හිමදි කොහේදෝ කැලයක් අස්සෙන් දුවගෙන කට්ටිය ඉන්න තැනට ආවා.
“අම්මෝ ඔයා වෙලාවට ආවෙ. අපි බය උනා හොඳටම.” සහස්‍රා කිව්වෙ හිමදිගෙ අතින් අල්ලගෙන.
“හොඳටම හති අරිනවා. මූණ ටිකක් සෝදගන්න හිමදි.” විහංසා හිමදිගෙ හිස අතගාලා කිව්වා.
“අම්මලා…. මාව… දැක්කද…
දන්නෑ…. නේ…ද..” හිමදි හති දදා කියද්දි කට්ටියටම හිනයි.
“හිනා… වෙන්න… හිනා… වෙන්න…. අම්මෝ… චුට්ටක්….” කියලා හිමදි අතින් ටිකක් ඉන්න කියලා මූණට වතුර ටිකක් ගහගත්තා.
“අම්මෝ….. අප්පච්චිගෙ වාහනේ දැකලා මට තරු පෙනුනා. කොහොමද ආවෙ කියල මතකත් නෑ.” හිමදි ටික වෙලාවක් නිහඬව ඉඳලා කිව්වා.
“හරි හරි දැන් ඒක ඉවරයිනෙ. එයාලා එද්දිම ඔයා මෙතෙන්ට ආවනෙ.” සහස්‍රා හිමදිගෙ අත අත ගගා කිව්වා. අම්මලා තාමත් ඇල්ල ගාවම එහායින් කතා කර කර ඉන්නවා.
“තෑන්ක් යූ උදම් අයියා. ඔයා නැත්නම් මට එයාව දකින්න වෙන්නෙත් නෑ. තෑන්ක් යූ සෝ මච්.” හිමදි උදම්ගෙ අතින් අල්ලලා කිව්වා. විහංසා උදම්ගෙ අත උඩ තියෙන හිමදිගෙ අත දිහා බලන් හිටියෙ දුකෙන්. සහස්‍රාට නම් හිනයි. ඇයත් බලන් හිටියෙ විහංසාගෙන් මොනවගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා.
“ඒක මොකද්ද නංගි. දැන් හරිනෙ.” උදම් අනිත් අතත් හිමදිගෙ අත උඩින් තිව්වා.
දැන් නම් විහංසාගෙ මූණ දෙක වෙලා. සහස්‍රා බක බක ගාලා හිනා උනා. ඒ එක්කම වගේ අම්මයි අප්පච්චියි සිරිනන්ද අංකලුයිත් එතෙන්ට ආවා.
“මොකද බබා මේ හිනාවෙන හැටි. කෝ ඇල්ල බලන්න කියලා ඇවිත් වාඩි වෙලා ඉන්නවා මිසක් වතුරට බැහැලවත් නෑනෙ.” අම්මා කියද්දි විහංසා ඇස් වල කඳුලු කාටත් හොරෙන් පිහිදාගත්තා. සහස්‍රා විහංසාගෙ අතින් අල්ලන් නැගිටලා වතුරට බැස්සා ආයෙම. එතකොටයි උදම් විහංසාගෙ ඇස් වල කඳුලු දැක්කෙ. ඔහු හෙමිහිට හිමදිගෙ අතින් තමන්ගෙ අත ඇදලා ගත්තා.
“මූණ එල්ලන් ඉන්න එපා බං. අම්මලා බලයි මොකද කියලා.” සහස්‍රා විහංසාට රහසින් කිව්වා.
“හරි හරි කෝ අනිත් දෙන්නා.” අප්පච්චි අහද්දි බලනකොට මියුරංගයි අනුරාධයි ඇල්ලෙ උඩට නැගලා.
“සුදු පුතා පහලට එන්න. මොකටද ඔච්චර උඩට ගියේ.” අම්මා බය වෙලා කෑගැහුවා.
“අයියෝ අම්මා බය වෙන්න එපා. මෙතන සේෆ්ටි. ඒයි නංගා උඩට එනවද?” මියුරංග සහස්‍රාගෙන් ඇහුවෙ.
“අනෙ අම්මෝ මට නම් බෑ.” සහස්‍රා කෑගැහුවා.
“විහංසා එන්න එහෙනම්…” මියුරංග කතා කරද්දි විහංසා හා කියලා ඉස්සරහට ගියා.
“බඩී අරයට පිස්සු හැදිලද අර උඩ නගින්න හදන්නෙ?” උදම් ඇහුවෙ සහස්‍රගෙ ලඟට ඇවිත්.
“තද වෙලා ඉන්නෙ. ඔහොම යන්න දෙන්න.” සහස්‍රා කිව්වා. උදම් බලාගෙන හිටියෙ හිතින් බැන බැන විහංසා උඩට යනකන්. කරදරයක් නැතුව උඩටම ගියාට පස්සෙ තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
“දෝණි බලාගෙන සුදු පුතේ පරිස්සමෙන්.” අම්මා මියුරංගට සැරින් සැරේ මතක් කරා.
“බබා… දෝණිට යන්න නොදී ඉන්න තිබුනෙ. බයේ ගැහි ගැහි අර ඉන්නෙ.” අම්මා සහස්‍රා ලඟට ගිහින් කියද්දි සහස්‍රාට හිනයි. “අනුන්ට පනිෂ්මන්ට් දෙන්න ගිහින් විහින් දුක් විඳිනවා.” සහස්‍රා හිතුවා.
“අපෝ අම්මා ඔයා මටත් වඩා එයාට ආදරේ වෙලා. අර ඉන්නෙ යස අගේට හිනා වෙවී. මරු කපල් එක.” සහස්‍රා අම්මගෙ කනට කරලා කිව්වෙ මරු කපල් එක කියලා. අම්මා ආයෙත් මියුරංගයි විහංසායි දිහා බලලා තනියම හිනා උනා. “කෙල්ල කියන එකත් ඇත්ත.” අම්මා එහෙම හිතුවා.
“අප්පච්චී අර ලමයින්ට පහලට එන්න කියන්න. මට බය අර කෙල්ලත් ගියානෙ කොල්ලෙක් වගේ.” අම්මා අප්පච්චි ලඟට ගිහින් කියද්දි උදම් තරහෙන් බලන් ඉඳලා එයත් උඩට නැග්ගා.
“මුරණ්ඩු මොකද ඔච්චර. එනවා පහලට යන්න. අම්මා අරෙහෙ බයේ කියවනවා..” උදම් විහංසාගෙ අතින් ඇදන් පරිස්සමෙන් පහලට එක්කන් ආවා. පහලටම ආවට පස්සෙ විහංසා බලෙන්ම උදම්ගෙන් අත අතැරවගෙන හිනාවෙවී අම්මා ලඟට ගියා.
“පහලට එනකන් මම පණ බයේ හිටියෙ. ඊළඟට ඉතින් තාත්තට දුවෙක් ගෙනිහින් දෙන්න වෙයි මට.” අම්මා විහංසාගෙ අතින් අල්ලන් කියද්දි සහස්‍රාට සතුටු හිතුනා.
කට්ටියම දවල් කෑමට සිරිනන්ද අංකල්ලගෙ ගෙදරට ගියා. විහංසා තාමත් කතා කලේ නෑ උදම් එක්ක. උදම් කතා කරන්න උත්සාහ කරත් විහංසා මග ඇරලා ගියා.
“දෝණි…” උදම් බත් එක බෙදා ගෙන ඇවිත් විහංසාගෙ ලඟින් වාඩි උනා.
විහංසා සද්ද නැතුව කෑම කෑවා. උදම් බලාගෙන හිටියා කතා කරනකන්. ඒත් කතා නොකරනම තැන උදම් නැගිට්ටා.
“ලොකු අයියා කාලා ඉවරද?” සහස්‍රා ඇහුවෙ බත් එක බෙදන් ආව ගමන් ආයෙම නැගිට්ට නිසා.
“කන්න බෑ වගේ.” උදම් කියද්දි විහංසා නැගිටලා ගිහින් අත සේදුවා.
“මොකද හලෝ අර තරම් ගෑස් එයාගෙ?” උදම් ඇහුවෙ කේන්තියෙන් සහස්‍රාගෙන්.
“ඔයා හිමදිගෙ අතින් ඇල්ලුව එකට.” සහස්‍රා රහසින් කිව්වා. උදම්ට හිනත් ගියා.
විහංසා අත පිහිදගෙන ඇවිත් ඉස්සරහට ගියා.
“පව් කෙල්ල කෑවෙත් නෑ හරියට.” සහස්‍රාත් බත් එක තියලා අත සෝදගෙන විහංසා පස්සෙන් ගියා.
“සමී… මොකද මේ බබෙක් වගේ? ඔච්චර බොළඳ වෙන්න එපා සමී මොනව හරි නරකක් උනොත් ඔයාට දරාගන්න බැරි වෙයි.” සහස්‍රා විහංසාගෙ පිට අත ගාමින් කිව්වා. විහංසා සහස්‍රාගෙ උරහිසට හිස තියාගත්තා. ඇස් වලින් කඳුලු වැටුනෙ ඇගේ බොරු තරහ නිසා උදම්ට කන්න උනෙත් නැති එකට.
“බඩී….” විහංසා සහස්‍රාගෙ උරහිසේ හිස තියාගෙනම කතා කලා.
“කියපං…”
“අයියා කෑවෙ නැද්ද කටක්වත්.” සහස්‍රාට හිනයි තරහ උනාට ආදරෙයි කියලා හිතලා.
“නෑනෙ. කොහෙද උඹ බාගෙට කාලා නැගිටල ආවනෙ.” සහස්‍රා බොරු තරහක් අරන් කිව්වා.
“කටක්වත් කෑවෙ නැද්ද?” විහංසා නැගිටලා සහස්‍රාගෙ මූණ දිහා බලලා ඇහුවා.
“නෑ….”
“අනේ….” විහංසාගෙ ඇස් වල ආයෙම කඳුලු.
“යකෝ ඔය තරම බොළඳ වෙලා ආදරේ කරන්න පුලුවන්ද? අනික මේ පටන් ගත්තා විතරයි සමී.” සහස්‍රා විහංසාගෙ උරහිස් වලින් අල්ලගෙන ඒ ඇස් වලට එබිලා කිව්වා.
“හ්ම්ම්…. අපරාදෙ මම මෝඩ උනා. ඒක පොඩි දෙයක්නෙ. මට දුක නොහිතා ඉන්න තිබුනා.” විහංසා දුකෙන් කිව්වා.
“දැන් හරි. අපි යන ගමන් මොනව හරි කමු. මටත් බඩගිනියි. මාත් කෑවෙ නෑනෙ.” සහස්‍රා හිනාවෙවී කිව්වා.
“අම්මෝ බඩ පිරෙන්න කෑවා.” මියුරංග ආවෙ බඩ අත ගගා. මෙහෙට ආව වෙලාවෙ ඉඳන් හිටියෙ අනුරාධ එක්ක නිසා මේ සොඳුරු ආදර රණ්ඩුව ගැන මියුරංග දන්නෙ නෑ.
“යන්නෙ කීයටද දන්නෙ නෑ.” සහස්‍රා ඇහුවා.
“ඒ මොකද? කෑව ගමන් යන සිරිතක් තියෙනවද?” මියුරංග ඇහුවෙ සහස්‍රා ලඟින් ඉඳගන්න ගමන්.
“ඔයානෙ කෑවෙ. අපි කෑවෙ නෑනෙ.”
“ඒ මොකද? විහංසා සනීප නැද්ද? මොකද මූණ මැලවිලා.” මියුරංග විහංසා දිහාටත් එබිලා ඇහුවා.
“ආ ඩෙසර්ට් ගන්න.” හිමදි ආවෙ වටලප්පන් කප් අරන්. සහස්‍රාගෙ නම් මූණ මල් පිපුනා. බඩගිනි ටිකක් හරි අඩු වෙයිනෙ කියලා හිතන් පැනලා වටලප්පන් ගත්තා.
“සමී…. කොහෙද බං ඉන්නෙ.” සහස්‍රා කතා කරද්දි විහංසා ගැස්සිලා බැලුවෙ. හිමදි හිනා වෙවී බලන් ඉද්දි විහංසාට දුක හිතුනා. හිනාවෙලා ඇයත් වටලප්පන් එකක් ගත්තා.
“තෑන්ක් යූ….” විහංසා හිනා වෙලා ගන්නකොට උදම් දුර ඉඳන් බලන් හිටියෙ ඇති යන්තන් අඩුම තරමෙ හිනා වෙලාවත් ඉන්නවනෙ කියලා.
දවල් දෙක විතර වෙද්දි කට්ටිය සිරිනන්ද අංකල්ලාට සමු දීලා එන්න ලේස්ති උනා. සුනේත්‍රාත් හරි ආදරේ උනා විහංසාට. ඇගේ හිතට ආවෙම අනුරාධට ඒ වගේ ගෑනු ලමයෙක් ගැලපෙනවා කියන එක.
“ආයෙම එන්න පුතේ..” සුනේත්‍රා විහංසාගෙ දෙකොපුල් සිපගෙන කිව්වා. විහංසා හිනාවෙලා “එන්නම් ආන්ටි” කියලා හිමදිව හෙව්වා. බලනකොට හිමදි උදම් ලඟට වෙලා බර කතාවක්. විහංසාගෙ හිත ආයෙම රිදුනා. ඒත් ආයෙම ඇය හිතුවා මේ සේරම ගෙවල් වල අයට පේන්න විතරනෙ කියලා. ඒත් එන්න ලේස්ති වෙලා උදම් හිමදිගෙ අතින් අල්ලගෙන ආවෙ වාහනේ ලඟට එනකන්ම.
අනුරාධත් පස්සෙන්ම ඇවිත් විහංසාව හග් කලේ හැමෝගෙම ඉස්සරහා. උදම්ට කේන්ති ගියත් හරිම අමාරුවෙන් ඉවසන් හිටියා.
“ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.” සහස්‍රා මියුරංගට කිව්වම මියුරංගටත් තරහ ගියා අනුරාධ එක්ක ඒ කරපු වැඩේට.
“කට කට…” මියුරංග සහස්‍රාට තරවටු කරා.
“ආයෙම වතාවක් දකින්න ආසයි. මේ මගේ කාඩ් එක. හොඳ යාලුවෙක් කියලා හිතලා නිදහස් වෙලාවක කෝල් එකක් දෙන්න. බුදු සරණයි.” අනුරාධ විහංසාගෙ අතට ඔහුගේ කාඩ් එක දෙමින් හෙමිහිට කිව්වා. උදම් බලාගෙන හිටියෙ පුපුරු ගහන දෑසින් උදම් හිටියෙ දත්මිටි කාගෙන. මියුරංගත් ඊට නොදෙවෙනි හැඟීම් ගොන්නක හිර වෙලා හිටියෙ. විහංසා ගල් ගැහිලා වගේ ඉද්දි සහස්‍රා ගිහින් විහංසාගෙ අතින් ඇදන් වාහනේට නැග්ගා.
“ගිහින් එන්නම් එහෙනම්.” තිලකා නම් හිටියෙ කේන්තියෙන්. විහංසා ගැන හිතේ තිබුනු අදහස සදහටම හිතේ විතරක්ම තියාගන්න වෙයි කියලා ඇගේ හිතේ පුංචි බයක් තිබුනා.
උදම් ඉස්සරහා සීට් එකට නැගපු නිසා අම්මා පිටිපස්සට ආවා. විහංසායි සහස්‍රායි පිටිපස්සෙම සීට් එකට ගියා.
“උඹ වගේ මී හරකියෙක්. අත දිග ඇරල දුන්න නම් කන පැලෙන්න හරිනෙ. කොහෙද තමුසෙගෙ සේරම ගෑස් අපිට තමයි.” සහස්‍රා සිරිනන්ද අංකල්ලාගෙ ගෙදර ඉඳන් මීටර් දහයක් දුරට ආව ගමන්ම පටන් ගත්තා.
“ඒත් සහස්‍රා මම මොනව කරන්නද. එක පාරම එහෙම බලාපොරොත්තු නොවුන දෙයක් උනාම මම එක්සයිට් වෙන බව උඹ දන්නවනෙ. මට තාම හිතා ගන්න බෑ” විහංසා අසරණව කියද්දි අම්මට දුක හිතුනා.
“බබා දැන් ඇති. මේ ඒ ලමයා කරපු වැරැද්දට අපේ කෙල්ල මොනව කරන්නද?” අම්මා අනුරාධ ගැන තරහෙන් කිව්වෙ.
“හරි හරි දැන් ඒක ඉවරයිනෙ. ලොක්කා දැන් කොහෙද යන්නෙ?” අප්පච්චි ඇහුවෙ ඩ්‍රයිව් කරන ගමන්.
“අපාට්මන්ට් එකට යමු අප්පච්චි මට මහන්සියි.” උදම් කියද්දි විහංසාත් හිතුවෙ ඒක හොඳයි කියලා. ඇයටත් ඕන උනේ මේ සිද්ද උන දේවල් නිසා රිදුනු හිත හදාගන්න.
ආයෙත් හමුවෙමු.