මා නොවේ ඈ නුඹේ 25 කොටස

සහස්‍රා කල්පනා කලේ කොතනද කාටද වැරදුනේ කියලා. “මම කාගෙ පැත්තද ගන්නෙ?” සහස්‍රා හිතුවා.

“සුදු අයියා…!!!”

“ඔව් මම විහංසාට ආදරෙයි. එයාව දැකපු දවසෙ දැකපු පලවෙනි මොහොතෙ ඉඳන්ම. ඒත් ඒක මම දැනගත්තෙ යුවති මට පලවෙනි දවසෙ පෙන්නපු වෙස් මූණ ගැලෙව්වට පස්සෙ. එතකන් මම දැනන් හිටියෙ නෑ මම විහංසාට ආදරෙයි කියලා. යුවති විහංසා වගේ මගෙ ඉස්සරහට ආවම මම හිතුවා මම හොයපු කෙනා මම හිතපු කෙනා මට ලැබුනා කියලා. ඒත් ඒ ඔක්කොම බොරු. මම රැවටුනා. මට සමාවෙන්න මට එක හිතින් අයියට සුබ පතන්න බෑ. මොකද මාත් විහංසාට ආදරෙයි.” මියුරංග අහක බලාගෙන කිව්වා.

“නෑ සුදු අයියා ඔයාට පුලුවන් අයියට සුබ පතන්න. හදවතින්ම. මොකද ඔයා සමීට ආදරෙයි නම් එයාගෙ සතුට වෙනුවෙන් ඔයා හිත හදාගෙන එයාලට සුබ පතන්න ඕනෙ. නේද?” සහස්‍රා කියද්දි මියුරංගත් ඒක ඇත්ත බව හිතුවා.

“ඒත් මගේ හිත ඒ තරම් හොඳ නෑ බබා.” මියුරංග හිනා වෙලා කිව්වා.

“ඒ කිව්වෙ?”

“යුවති ආදරේ මගෙ පෙනුමට. මගෙ තත්වෙට. නැතුව මට නෙමෙයි. මටත් අර වගේ ලස්සන ආදරේක හිමිකාරයෙක් වෙන්න ඕනෙ. ඇයි නංගි මට විහංසාගෙ හීන කුමාරයා වෙන්න බැරි උනේ?” මියුරංග ඇහුවෙ සහස්‍රාගෙ උරහිස් දෙකෙන් තද කරලා අල්ලගෙන.

“සුදු අයියා මේ ඔයාමද?” සහස්‍රා ඇහුවෙ බය වෙලා.

“ඔව් මට විහංසා වගේ කෙනෙක් ඕනෙ බබා. යුවතිට මගේ හිත ඉල්ලන කිසිම කොලිටි එකක් නෑ.” මියුරංග පිස්සුවෙන් වගේ හිසකෙස් ඇදගනිමින් කියද්දි සහස්‍රා පුලුවන් තරම් අයියව කන්ට්‍රෝල් කරගන්න ට්‍රයි කලා.

“සුදු අයියා එන්නකො මෙතනින් ඉඳගන්න. ඔයා ඇත්තටම සමීට ආදරේ නම් වෙන්න ඕනෙ එයාගෙ සතුට ගැන හිතන එක. නේද?”

“ඉතින් ඒ නිසා තමයි මම යුවතිට ලං උනේ.”

“මොකක්?”

“ඔව් විහංසා තමයි කිව්වෙ මට යුවතිට ආදරේ කරන්න කියලා.” මියුරංග පොඩි එකෙක් වගේ අඬ අඬ කියද්දි සහස්‍රාට දරාගන්න බැරි උනා.

සහස්‍රා නැගිටලා උදම්ට මැසේජ් එකක් දැම්මා.

“ලොකු අයියා අපි එහාට යනවා ටිකක්. ඩිස්ටර්බ් කරන්න හොඳ නෑනෙ. ඔයාලා ඇති වෙනකන් තනියම ඉන්න. යනකොට කෝල් එකක් දෙන්න අපිත් එන්නම්.”

සහස්‍රා ෆෝන් එකත් සාක්කුවට දාගෙන ආයෙත් ඇවිත් මියුරංග ලඟින් ඉඳගත්තා.

“සුදු අයියා මට ඔයාව තේරෙනවා. අවුරුදු ගානක් දුරින් හිටියත් ඔයා මගේ අයියනෙ. ඒත් මේ වෙලාවෙ මට මගෙ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න බෑ. අනිත් එක හොඳටම පෙනි පෙනිත් සමී පිස්සුවෙන් වගේ ආදරේ කරන්නෙ ලොකු අයියට කියලා මට ඔයාගෙ පැත්ත ගන්න බෑ. මේ ප්‍රශ්නෙදි මම ගන්නෙ සමීගෙ පැත්තෙ. ඒත් මට හිතෙන විදියට ඔයාට යුවතිව හදාගන්න බැරි වෙන්න විදියක් නෑ. අනික අයියා යුවති ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලා සමී මට අනන්තවත් කියලා තියෙනවා.” සහස්‍රා දිගටම කියාගෙන ගියා.

“ඔයා බයවෙලාද ඉන්නෙ?” මියුරංග සහස්‍රාගෙන් ඇහුවා.

“ඇයි?”

“මම අයියගෙන් විහංසාව උදුරගනියි කියලා බයයිද?”

“මගෙ සුදු අයියට ඒ තරම් නපුරු වෙන්න බෑ කියලා මම දන්නවා.” සහස්‍රා මියුරංගගෙ උරහිසට හිස තියාගෙන කිව්වා.

“බඩී…. මට ඒ වෙලාවෙ දරාගන්න බැරි උනා. එයා වෙන කෙනෙක්ගෙ උනත් ඒ අපේ අයියා නොවුන නම් මට මෙච්චර දුක් විඳින්න වෙන්නෙ නෑනෙ. මට මැරෙනකල්ම මේක බලාගෙන ඉන්න විඳවන්න වෙනවා.” මියුරංග පසු තැවීමෙන් කිව්වා.

“නෑ ඔයා යුවතිට ලං උනාම යුවතිට ආදරේ උනාම මේ ප්‍රශ්නෙ විසඳෙයි. මට පොරොන්දු වෙන්න සුදු අයියා මේක අපි දෙන්නගෙන් පිටට යන්නෙ නෑ කියලා. ප්ලීස්.” සහස්‍රා මියුරංගට අත දිගු කරලා කියද්දි මියුරංග ඒ අත උඩින් අත තියලා පොරොන්දු උනා.

“එහෙනම් දැන් හිනා වෙන්න.” සහස්‍රා බෙල්ලත් ඇල කරලා කියද්දි මියුරංගට සහස්‍රා ගැන දුක හිතුනා. ඒත් ඔහු හිනා උනා.

“වෙරි ගුඩ් බෝයි. අපි යමු මොනව හරි කමු.” සහස්‍රා මියුරංගව ඇදගෙන අදත් කඩල කන්න ආවා.

____________________________________________________________________

“දෝණි…”

“ම්ම්ම්ම්….”

“අර ඔයාගෙ යාලුවා ඉන්නෙ.” උදම් කියන්නෙ මේ යුවති ගැන.

“යුවතිද?”

“හ්ම්ම්…”

“ඉතිං..”

“ඉතිං එයා අපේ මල්ලිට ආදරේ කරන්නෙ ඇත්තටමද?”

“ඇයි අනේ එහෙම අහන්නෙ. ඔව් එයා ඇත්තටම අහස් අයියට ආදරෙයි. මටත් පුදුමයි. ඒත් ඒක ඇත්ත.” විහංසා කල්පනා කර කර කියද්දි උදම්ට හිනයි.

“ඔයා මහ පිස්සු කෙලි පොඩ්ඩක් නේද?” උදම් හිනාවෙවීම විහංසාගෙ අත අරන් හාදුවක් දුන්නා.

“ඇයි?? මට පිස්සු කියන්නෙ?” විහංසා ඇහුවා.

“නෑ මට එහෙම හිතුනා.” උදම් ඇයව ආයෙත් පපුවට ඇදලා ගත්තා. විහංසා ඇස් පියාගෙන ඒ සුවය විඳගත්තා.

“ලොකු අයියේ…”

“ම්ම්ම්…”

“ඔයාගෙ සම්පූර්ණ නම මොකද්ද?”

“ඇයි දන්නෙ නැද්ද?”

“ඇත්තටම නෑ.”

“උදම් සහස්‍ර සේනාධීර”

“ලස්සනයි.”

“මමද?”

“නෑ අනේ නම.”

“මොකද්ද?” උදම් හිනාවෙවී ඇහුවෙ. උදම්ට මතක් උනේම සඳලිව. ඇයත් මේ වගේ ඔහුට තුරුල් වෙලා කතා කිය කිය ඉඳලා ඇති ඕන තරම්.

“ඔයා නෙමෙයි නම ලස්සන. මම ආසම ඔයාලගෙ නම් වල තියෙන සහස් අහස් කියන කෑලි වලට. සහස්‍රාට අනිත් හැමෝම අනූ කියද්දි මම විතරයි සහස්‍රා කිව්වෙ. අහස් අයියට හැමෝම මියුරංග කියද්දි මම විතරයි අහස් කිව්වෙ. ඔයාටත්……” කියලා විහංසා නිකටට තට්ටු කරමින් කල්පනා කලා. ඇගේ හිතේ තිබුනේ සහස් කියන්න.

“මට නිකන්ම අයියා කියන්න.” උදම් කියද්දි විහංසා බැලුවෙ ඇයි ඒ කියන බැල්මෙන්.

“මම ආසයි ඔයා මට අයියා කියනවට. හැමෝම ලොකු අයියා කියනවනෙ. ඒත් ඔයාගෙ කටින් අයියා කියද්දි හරි ලස්සනයි.” සඳලි කතා කලෙත් අයියා කියලා. ඒ නිසා උදම් ආස උනා සඳලි වගේම රුව තියෙන මේ කෙල්ලත් සඳලි වගේම කතා කරනව නම් හැසිරෙනව නම්.

“මම කියන්නම් එහෙම.” විහංසා උදම්ට තියෙන ආදරේ නිසාම අයියා කියන්නම් කිව්වත් ඇය ආස උනේ සහස් කියලා කතා කරන්නමයි.

“ඒ කාලෙ මගෙ යාලුවො සේරම කිව්වෙ මට ලොකූ කියලා. සමහරු සහස්‍ර කිව්වා. ඒ නිසා මම ආසයි ඔයා මට වෙනස් විදියකට කතා කරනවට.” උදම් බොරු කිව්වා.

“හා… මම කියන්නම්. අයියා කියලා..” විහංසා කියද්දි උදම්ට දැනුනෙ සඳලි ලඟ ඉන්නවා වගේ. උදම් ඒ සිහියෙන්ම අතොරක් නැතුව විහංසාගෙ මුහුණ සිප ගත්තා.

“අයියා මේ පාක් එක.” විහංසා මතක් කරාම තමයි උදම් ඒ සිහිනෙන් මිදුනේ.

“ලැජ්ජයිද?” උදම් ඇහුවා.

“හ්ම්ම්” විහංසා ලැජ්ජාවෙන් කියද්දි උදම්ට කේන්ති ගියේ කවදාවත්ම සඳලි එහෙම ලැජ්ජ නොවුන නිසා. සඳලිට නම් ඕනෙ උනේ ප්‍රසිද්ධියේම උදම්ට ආදරෙන් ඉන්න. උදම් ඒ හැමදේම විහංසාගෙන් බලාපොරොත්තු උනා.

සඳලි පෙනුමෙන් වගේම උදම් ඉදිරියේ විහංසා වගේ අහිංසක උනා. ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ආදරේ කරන්න ලැජ්ජා උනේ නෑ. සඳලි කියන්නෙ පවුලෙ එකම කෙල්ල. ඇය හරිම දඟකාර ජීවිතයක් ගත කලේ. මේ අතරෙදි තමයි ඇයට උදම්ව මුණ ගැහෙන්නෙ. උදම් ආස කල හැමදේම ඇගේ ලඟ නොඅඩුව තිබුනා. ඒත් ඇය උදම් ඉස්සරහා අහිංසක රූපයක් මවලා සාමාන්‍ය ජීවිතය ඇය හුඟාක් වින්දා. උදම් එක්ක යාලුවෙලා ඉන්න අතරේ ඇයට තවත් සම්බන්ධතා කීපයක්ම තිබුනත් ඒවා උදම් දැනගෙන හිටියෙ නෑ. උදම් හිතුවෙ සඳලි අහිංසක හුරතල් කෙල්ලෙක් කියලා. ඒ නිසා විහංසා දැකපු ගමන් උදම් නිගමනයකට ආවා මේ ඉන්න කෙනත් සඳලි වගේම වෙන්න ඕනෙ කියලා.

“ඇයි ලැජ්ජා වෙන්නෙ? මම ඔයාව බඳිනවා. මට ඔයාව ප්‍රසිද්ධියේ කිස් කරන්න බැරිද?” උදම් තරහ අරන්. ලොකු හේතුවක් නැතුවත්. විහංසාට දුක හිතුනා. උදම් කිව්වෙ සඳලි ඉස්සර උදම්ට කියපු කතාවෙම අනිත් පැත්ත. සඳලි ඉස්සර කිව්වෙ “ඔයා මාව බඳිනවා. ඉතින් ඇයි ප්‍රසිද්ධියේ මාව කිස් කරන්න බැරි” කියලා.

“ඊයෙ ඉඳන් මේ වෙනකන්ම එයා මට ආදරෙන් හිටියා. ඒත් මොකද මේ එක පාරම.” විහංසා හිතුවා.

“සොරි. මම හුරු වෙන්නම්.” විහංසා එහෙම කියද්දි උදම් බලෙන්ම විහංසාගෙ දෙතොලට හාදුවක් දුන්නා. විහංසා ලැජ්ජ උනත් ඉවසගෙන හිටියෙ උදම් තරහා ගනීවි කියලා.

“මම කැමති නෑ මගේ ඉස්සරහා ඔහොම ලැජ්ජා වෙනවට.” ටික වෙලාවකට පස්සෙ උදම් කිව්වා. විහංසාට දුකයි. ඇයි මෙහෙම වෙන්නෙ කියලා. ඒත් ඇය මහ හුඟක් ආදරේ කලා උදම්ට. ඒ ඇගේ හීන කුමාරයා ගොඩක් හොඳ කෙනෙක් නිසා.

“දැන් යමු නේද අයියා. සීතලයි.” විහංසා කිව්වෙ උදම්ට ටිකක් ලං වෙලා. උදම් ඇයව ලඟට ගත්තෙ ඔහුට හිතුනම විතරයි. හැම වෙලාවෙම ආදරේ පෙන්නුවෙත් නෑ.

“තව කිස් එකක් දෙන්නද?” උදම් අහද්දි විහංසාට පුදුම හිතුනා.

“නෑ නෑ මම කිව්වෙ ගෙදර යමු කියලා.” විහංසා කිව්වා.

“හ්ම්ම්.. ඉන්න බඩීට කෝල් එකක් ගන්නම්.” උදම් සහස්‍රාට කෝල් එකක් ගත්තා.

“බඩී යමු නේද? මෙයාට සීතලයිලු.”

“අපි එන්නම් ගේට් එක ලඟට.” සහස්‍රා එහෙම කියලා ෆෝන් එක තියලා මියුරංගත් එක්ක ගේට්ටුව ලඟට ගියා.

“යමු එයාලා ගේට් එක ලඟට එන්නම් කිව්වා.” උදම් විහංසාගෙ කරට අතක දාගෙන ගේට්ටුව පැත්තට ගියා.

උදම් විහංසාට ලං වෙලා එද්දි මියුරංගගෙ හිත පිච්චුනා. ඒ හා සමානවම සහස්‍රාට සතුටු හිතුනා. ඇය හිතුවෙ ආයෙ කවමදාකවත් ලොකු අයියා පවුලෙන් ඈත් වෙන එකක් නෑ කියලා.

“යමු නේද? මල්ලා ඇයි ඇස් රතු වෙලා.” උදම් මියුරංගව දැකපු ගමන් ඇහුවා.

“ආ මෙයා යුවති එක්ක වලියක් දාගෙන.” සහස්‍රා ඉක්මණින් කිව්වා. විහංසා බැලුවෙ සැකෙන්. මොකද ඇය දන්නවා යුවති කීයටවත් මියුරංග එක්ක රණ්ඩු වෙන්නෙ නෑ කියලා.

“ඉතින් ඒකට අඬන්නෙ?” උදම් ඇහුවෙ පුදුමෙන්. මොකද ලේසියෙන් මල්ලිගෙ ඇස් වලින් කඳුලු වැටෙන්නෙ නැති වව උදම් දැනන් හිටියා.

“මුකුත් නෑ අයියා. ඇඬුවෙ නැහැ. නිකන් ඇස් රතු වෙලා ඇති. යමු නේද.” මියුරංග ඉස්සර උනා.

පහුවෙනිදා උදේම කට්ටිය ගාර්ඩ්න් ගියා. උදම් හිටියෙ විහංසාට පිස්සු වැටිලා වගේ.

පොඩි ඇල පාරක් ගලාගෙන යන තැනක ඉඳන් කට්ටියම ෆොටෝස් ගත්තා. අම්මයි අප්පච්චියි එක්ක මියුරංග ඈතට යද්දි සහස්‍රා අයිනකට වෙලා ෆොටෝස් ටික බැලුවා.

උදම් විහංසාව ඇදලා අරන් ගහකට මුවා කරගත්තා. විහංසා දැඟලුවා එතනින් යන්න.

“කොහෙද දුවන්නෙ?” විහංසා උත්සාහ කලේ උදම් එක්ක තනි නොවීම ඉන්න. මොකද උදම්ගෙ අනවශ්‍ය සිප ගැනීම් වලට ඇය අකමැති උනා.

“මට සහස්‍රාට පණිවිඩයක් කියන්න තියෙනවා. චුට්ටක් ඉන්න අයියේ.” විහංසා ඉක්මණින් සහස්‍රා ඉන්න තැනට ගියා. උදම්ට තරහා ගියත් ඉවසන් හිටියා.

විහංසා හති දාගෙන දුවගෙන යද්දි සහස්‍රා ටිකක් දුරට ඇවිදගෙන ගිහින්.

“සහස්… සහස්‍රා…” විහංසා දුවගෙන ගිහින් සහස්‍රාව බදාගත්තෙ හිතට මොකද්දෝ බයක් දැනුන නිසා.

“මොකද මේ බය වෙලා?” සහස්‍රා විහංසාගෙ මූණට අතක් තියලා ඇහුවෙ විහංසාට හොඳටම දාඩිය දාලා නිසා.

“න්..නෑ එහෙම මුකුත් නෑ.” විහංසා කලබලෙන් කිව්වෙ පිටිපස්සෙන් උදම් එනවද බලමින්.

“මොකද ලමයෝ මේ? බය වෙලා මොකද?” සහස්‍රා විහංසාගෙ උරහිස් වලින් තද කරලා ඇගේ මූණට එබිලා ඇහුවා. සහස්‍රා හිතුවෙ කවුරු හරි කෙල්ලව බය කරාවත්ද කියලා.

“කෝ ලොකු අයියා. හ්ම්ම්.. එයාට කෝල් එකක් ඇවිත් ඔයාව තනියම අර කැලේ අස්සෙ දාලා ගියාද? මම අල්ලගන්නම්කො එයාව.” සහස්‍රා අනුමාන කරපු දේ කිව්වා.

“සහස්‍රා මට දෙයක් කියන්න තියෙනවා.” විහංසාගෙ කටහඬත් වෙවුලනවා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *