මා නොවේ ඈ නුඹේ 26 කොටස

“සමී… ඇයි කෙල්ලේ මේ…?” සහස්‍රා විහංසාගෙ මූණ දෝතින්ම අල්ලගෙන ඇහුවෙ.

“මට බයයි සහස්‍රා.” විහංසා අඬ අඬ කිව්වෙ.

“බයයි? ඇයි සමී. මට හරියට කියන්නකෝ ලමයෝ. මටත් බය හිතෙනවා ඔයා ඔහොම කතා කරද්දි.”

“අනේ මාව ලොකු අයියා එක්ක තනියම දාලා යන්න එපා. එයා මාව ගිලින්න වගේ බලන්නෙ.” විහංසා කියද්දි සහස්‍රාට හිනා ගියා.

“එයා ඔයාට ආදරෙයි සමී..”

“ඒකද සහස්‍රා ආදරේ කියන්නෙ. කෙල්ල තමන් එක්ක තනි උන ගමන් කිසිම හැදියාවක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන එකද ආදරේ. තැනක් නොතැනක් නැතුව බදාගෙන ඉඹින එකද ආදරේ. ඒක ආදරේ නෙමෙයි සහස්‍රා. ඒක පෙරේතකම. ආදරේ කියන්නෙ පූජනීය හැඟීමක්. ආදරෙන් දෙන කිස් එකකුයි රාගෙන් මත්වෙලා දෙන කිස් එකකුයි අඳුර ගන්න බැරි තරම් මම මෝඩද සහස්‍රා? ලස්සන ආදරේකට රාගය කාම ආශාව එන්න හොඳ නෑ. එහෙම උනොත් ඒක ආදරයක් වෙන්නෙ නෑ.” විහංසා නැවතිල්ලේ කියාගෙන ගියා. සහස්‍රාට එතකොට නම් මොකද්දො අපැහැදිලි බවක් දැනුනා.

“හරි හරි අපි බලමුකො. ඔයාට මම ඉන්නවනෙ සමී. මම කවදාවත් ඔයාට නරකක් කරන්නෙ නෑ. සත්තයි.” සහස්‍රා විහංසාගෙ හිස මත අත තියලා පොරොන්දු උනා.

“සහස්‍රා මට හිතෙනවා මම ඉක්මණ් උනා වැඩියි කියලා. හීනෙන් දැකපු කෙනාගෙ රූපෙට මම රැවටුනාද කියලා හිතෙනවා. උදම් අයියා මම බලාපොරොත්තු උන කෙනා නෙමෙයි.” විහංසා ඇස් වල කඳුලු පුරවන් කියද්දි සහස්‍රාට හිතා ගන්න බැරි උනා මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා.

“අපරාදෙ මේ හීනයක් පස්සෙ දිව්වෙ. මම මෝඩ උනා. හීන කියන්නෙ හීනම විතරයි. හීනෙ ඉන්න කෙනාගෙ රූපෙට මිසක් එයාගෙ ගතිගුණ ගැන මම හිතුවෙ නෑ. මම හිතුවා ලොකු අයියත් අහස් අයියා වගේ කියලා. ඒකයි මට වැරදුනේ.” විහංසා ආයෙම කිව්වා. සහස්‍රාට දැනුනෙ කියාගන්න බැරි අසරණකමක්.

“මේ වගේ හරක් දෙන්නෙක්. දෙන්නම රැවටිලා දැන් දෙන්නම දුක් වෙනවා. අපේ සුදු අයියා වගේම මේකිත් මහ මී හරකියක්. දැන් මොකද්ද කරන්නෙ. මාර පටලැවීමක්නෙ.” සහස්‍රා හිතුවා.

“මගේ කෙල්ල දැන් ඉවසගෙන ඉමු නේද ටිකක්. අපි බලමු කාලයට ඉඩ දීලා. කවදාවත් මේ යාලුකම මැද්දට ඔයාගෙ ආදරේ ගේන්න එපා සමී. මට මගේ අයියා නිසා ඔයාව නැති කරගන්න බෑ. ඔයා වගේ හොඳ කෙනෙක් මගේ පවුලට ලබා ගන්න තරම් පිං කරලා නැතුව ඇති අපි කවුරුවත්. ඔයා ලොකු අයියට ආදරේ උනත් එයා නරකක් කරනවා නම් ඔයා ඒකට කවදාවත්ම අනුබල දෙන්න එපා. දෙකක් දීලා ඇදලා හරි ඔයා පරිස්සම් වෙන්න. තේරුනාද?” සහස්‍රා කිව්වෙ විහංසාගෙ හිස අත ගාමින්. විහංසා සතුටු උනා මේ තරම් කෙනෙක්ගෙ හිතක් තව කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්ද කියලා හිතලා.

“බඩී මොකද්ද දෙන්නගෙ සීක්‍රට් එක.” උදම් ආවෙ එහෙම අහගෙන. විහංසා අල්ලන් ඉඳපු සහස්‍රාගෙ අත තවත් තදින් අල්ල ගත්තා.

සහස්‍රා විහංසාගෙ මූණ බලද්දි විහංසාගෙ ඇස් වල තිබුනෙ තනිකරලා යන්න එපා කියනවා වගේ බැගෑපත්කමක්.

“ඔව් ප්‍රයිවට් ඇන්ඩ් සීක්‍රට්.” සහස්‍රා සාමාන්‍ය විදියට කිව්වා. ඒ වෙලාවෙ සහස්‍රාටත් උදම්ගෙ අමුත්තක් දැනුනා. උදම් බලාගෙන හිටියෙ අමුතු විදියට බව සහස්‍රාටත් හිතුනා.

“අපිට කියන්න බැරිද?” උදම් අහද්දි සහස්‍රා හිනා උනා.

“ගර්ල්ස්ලගෙ සීක්‍රට් මොකටද බෝයිස්ලට කියන්නෙ?” සහස්‍රා ඔච්චමට කිව්වෙ.

“හා එහෙමත් එකක්ද? හරි හරි අපි යනවා එහෙනම්. අම්මලා කෝ බඩී.”

“අර පැළ තවානක් තියෙන්නෙ. ඒකට ගියා පැළ ගන්න කියලා.” සහස්‍රා අත දිගු කරලා පෙන්නුවා.

“මාත් යන්නම්. මෙයාට මාව මතක් වෙන්න පැළයක් අරන් එන්නම්.” උදම් විහංසාට ඇහැක් ගහලා කියලා ගියා.

“සමී ඔයා බය වෙන්න එපා. මම ඉන්නවනෙ. මම ඔයාව දාලා තත්පරේකටවත් යන්නෙ නෑ.” සහස්‍රාට දැනුනා විහංසාගෙ ඇඟ ගැහෙනවා වගේ. ඇය විහංසාව තුරුලු කරගෙන කිව්වෙ ඒ නිසා.

ඊයෙ හවස සිදුවීමෙන් පස්සෙ මියුරංග විහංසාවයි අයියවයි මග ඇරලා ඉන්න ගොඩක් උත්සාහ කලා.

“මං කියන්නද අපි යමු වෙහිකල් එකට. ඉන්න මම පොඩි අයියට එන්න කියන්නම්. එයාට බය නෑ නේද?” සහස්‍රා ඇහුවෙ ෆෝන් එක අතට ගන්න ගමන්. විහංසා නෑ කියන්න හිස වැනුවා.

“හිනා වෙලා ඉන්න සමී. ප්ලීස්. අම්මලා බලයි.” සහස්‍රා කිව්වම විහංසා ලාවට හිනා උනා.

“අන්න හරු. ගුඩ් ගර්ල්.”

“සුදු අයියා වෙහිකල් එකේ කී එකත් අරන් ශේප් එකේ එන්න.” සහස්‍රා කිව්වා.

“ඒ කිව්වෙ?” මියුරංග ඇහුවෙ පුදුමෙන්.

“ලොකු අයියට මම කෝල් කරා කියන්නෙ නැතුව කී එකත් අරන් වෙහිකල් එකට එන්න. ඔයා මොකක් හරි බොරුවක් කියලා.”

“හා හා… හරි මචං. මට විනාඩියක් දීපං මම වෙහිකල් එකේ නෙමෙයි දැන් ඉන්නෙ. මම ගිහින් කෝල් බැක් කරන්නම්. බායි.” මියුරංග එහෙම කියලා ෆෝන් එක සාක්කුවට දාගෙන අයියගෙන් කී එකත් ඉල්ලන් දුවලා ආවෙ උදම්ට වෙනසක් නොපෙනෙන්න.

“ඒ මොකද්ද කිව්වෙ. හරි හරි එන්න අපි යමු.” සහස්‍රා කෝල් එක කට් කරලා විහංසාගෙ අතින් අල්ලන් ගියා ගාර්ඩ්න් එකෙන් එලියට.

වෙහිකල් එක ලඟට යද්දි මියුරංග ගිහින් බලාගෙන හිටියා.

“සුදු අයියා එන්න පිටිපස්සට.” සහස්‍රා එහෙම කියාගෙන පිටිපස්සෙම සීට් එකට ගිහින් විහංසා එක්ක වාඩි උනා.

“විහංසා.. ඇඬුවද?” මියුරංග අහද්දි සහස්‍රාට දුක හිතුනෙ ඒ ආදරේ දැකලා.

“සමී දන්නව නම් මගෙ සුදු අයියා එයාට ආදරෙයි කියලා. ශිට් අපරාදයක් කරගත්තෙ.” සහස්‍රා හිතුවා.

“සුදු අයියා ප්‍රශ්නයක්.”

“මොකද්ද?” මියුරංග ඇහුවෙ විහංසා දිහාත් සහස්‍රා දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

“ලොකු අයියා… එයා විහංසාට කරදර කරන්න හදලා.” සහස්‍රා ඇහෙන නෑහෙන ගානට කිව්වා.

“මොකක්???” මියුරංග ඇහුවෙ තරහින්.

“ඔව් සුදු අයියා. එයා ගොඩක් වෙනස් වෙලා සුදු අයියා. මගේ ලොකු අයියා ඉස්සර එහෙම නෑ. එයා වෙනස් වෙලා.” සහස්‍රා අඬ අඬ කියද්දි මියුරංගට මතක් උනේ සඳලිව.

“ඒ කියන්නෙ අයියා විහංසාගෙනෙ බලාපොරොත්තු වෙන්නෙ සඳලිගෙ අඩුව මකාගන්න එක විතරයි.” මියුරංගට කියවුනා.

“අහස් අයියේ… කවුද සඳලි?” විහංසා ඇහුවෙ මියුරංගගෙ අතින් අල්ලගෙන.

“අයියගෙ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්. එයා අයියව දාලා ගිහින්. වෙන කෙනෙක්ව මැරි කරලා. අයියා කියන විදියට බිස්නස් ඩීල් එකකට එයාගෙ තාත්තලා සඳලිව බිස්නස්මන් කෙනෙක්ට බන්ඳලා තියෙනවා. සඳලි තනිකරම විහංසා වගේ. මාත් රැවටුනා. හොඳට බැලුවෙ නැත්නම් අඳුර ගන්න බෑ. ටුවින්ස්ලා වගේ.” මියුරංග කියද්දි විහංසාට දැනුනෙ තමන් හීනෙක ඉන්නවා වගේ.

“ඒ කියෙන්නෙ…. ඒ කියන්නෙ එයා මට ආදරේ නෑ. අයියෝ ඇයි මම රැවටුනේ. මම කාටවත් වැරදි කරල නෑ. ඇයි දෙයියො එයාව මට මුණ ගැස්සුවෙ. ඇයි ඒ?” විහංසා හිසට ගහගනිමින් අඬද්දි මියුරංග පැනලා විහංසාව නතර කරගත්තා.

“ඔයාගෙ නෙමෙයි විහංසා වැරැද්ද මගේ.” මියුරංගට කියවුනා.

“සුදු අයියා ඔයා දන්නෙ නෑනෙ ලොකු අයියා විහංසාට ආදරේ නෑ කියලා. ඒකට ඔයා වැරදි නෑනෙ.” සහස්‍රා මැද්දෙන් පැන්නෙ මියුරංග මැට්ටා වගේ සේරම කිව්වොත් විහංසාට පිස්සු හැදෙයි කියලා හිතිලා.

“කවුරුවත් පලි නෑ මගේ කරුමෙ මේක.” විහංසා අඬ අඬම කිව්වා. ඒ එක්කම සහස්‍රාට කෝල් එකක් ආවා.

“ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්…. ලොකු අයියා.” සහස්‍රා එහෙම කියලා ආන්සර් කරා.

“ඔව් ලොකු අයියා.”

“කොහෙද ඉන්නෙ බඩී.” උදම් ඇහුවෙ තරහෙන්.

“සුදු අයියා වෙහිකල් එකට එනවා දැකලා අපි දෙන්නත් ආවා අයියා.”

“කෝ දෝණි ඉන්නවද?”

“ඔව් අයියේ ඉන්නවා.”

“දෙන්න ෆෝන් එක.”

“ආ ඔයාට දෙන්නලු.” සහස්‍රා ෆෝන් එක විහංසාට දිගු කරත් ඇය බයෙන් බලන් හිටියා. මියුරංග ෆෝන් එක අතට අරන් ස්පීකර් ඔන් කරලා විහංසාට කතා කරන්න කියලා අතින් කිව්වා.

“හෙලෝ…” විහංසාගෙ කටහඬ වෙව්ලුවා.

“මොකද බය වෙලා? කාගෙන් අහලද වෙහිකල් එකට ගියේ. තමුසෙ දැන් මගේ. එනවා ආයෙම ගාර්ඩ්න් එකට.” උදම්ගෙ කටින් පිටවුනු ඒ වචන වලට විහංසාගෙ හිතට වඩා රිදුනෙ මියුරංගගේ සහ සහස්‍රාගෙ හිත්.

“මගෙ කකුල පෙරලුනා අයියේ. ඒකයි වෙහිකල් එකට ආවෙ.” විහංසා හෙමිහිට කිව්වා.

“මොකද්ද? ඇයි මට කිව්වෙ නැත්තෙ. ඉන්න මම ඉක්මණට එන්නම්.” උදම් කලබලෙන් කියලා කෝල් එක කට් කරා.

“මෙයා මොන ජාතියක කෙනෙක්ද මන්දා.” සහස්‍රා කිව්වෙ එකම වෙලාවෙ උදම් දෙවිදියකට කතා කල නිසා.

“අයියා ඉස්සර එහෙම නෑ නංගී. මම හිතන්නෙ සඳලි නිසා අයියා අවුල් වෙලා. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.” මියුරංගට තරහා ගියත් ඔහු ඒ තරහ හංගගෙන කිව්වා. ඔහුට තරහා ආවෙ තමන් එක්කමයි.

“සඳූ…. මොකද උනේ මගෙ කෙල්ල.” උදම් දුවගෙන ඇවිත් විහංසාගෙ අත බදාගත්තෙ ඇස් වල කඳුලු පුරවගෙන ඇවිත්.

“මෙව් මනුස්සයා මාර රඟපෑමක්නෙ කරන්නෙ.” සහස්‍රා හිතුවා. තමන්ගෙම අයියා ගැන සහස්‍රාට ඇති උනේ මහ පිළිකුලක්.

“නෑ ලොකු අයියා ඒ තරම් දෙයක් නෙමෙයි. දන්නැද්ද මෙයාට ඉතින් පොඩ්ඩ ඇතිනෙ අඬන්න.” සහස්‍රා කියද්දි උදම් බලාගෙන හිටියෙ සහස්‍රා දැන් නැතුවට දැන් විහංසාගෙ ලඟින් නැගිටලා ඔහුට ඉඳගන්න ඉඩ දෙයි කියලා. ඒත් සහස්‍රා එක තත්පරේකටවත් විහංසාගෙ අත අතැරියෙ නෑ.

“අම්මෝ බලන්න ලමයි අම්මා මුලු වත්තම පුරවන්න පැල ගන්න කල්පනාව. වෙලාවට මම ගියේ. නැත්නම් මෙයා සේරම ගේනවා.” අප්පච්චි එහෙම කියාගෙන ඉස්සරහා සීට් එකට නැග්ගා.

“මහන්සියි සුදු පුතා ඩ්‍රයිව් කරන්න.” අප්පච්චි කී එක මියුරංගට දුන්නා.

“අයියා ඔයා දැන් ඩ්‍රයිව් කරනවද මට නිදිමතයි.” මියුරංග කිව්වෙ කී එක ශේප් එකේ උදම්ට දෙන ගමන්.

“අප්පච්චි අපි කෑමට කොහෙ හරි නවත්තමුද? දැන්ම අපාට්මන්ට් එකට ගියොත් හවස් වරුව අපරාදෙ ඒක අස්සටම වෙලා ඉන්න වෙනවා.” උදම් කිව්වෙ නවාතැනට ගියොත් විහංසාට ලං වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා. ඒත් උදම් බලාපොරොත්තු උන දේ වෙන්න කීයටවත් සහස්‍රා ඉඩක් නොදෙන බව උදම් දැනන් හිටියෙ නෑ.

“දෝණි අසනීපෙන්ද?” අම්මා ඇහුවෙ කෙල්ලගෙ ඇස් වල තාමත් කඳුලු නිසා.

“නෑ ආන්ටි මගෙ කකුල පෙරලුනා. ටිකක් රිදෙනවා.” විහංසා කිව්වා.

“කෝ බලන්න. සුදු පුතා අර බෑග් එක ගන්න ටිකක්.” අම්මා කිව්වෙ ඉස්සරහා තිබුන පොඩි බෑග් එකක් පෙන්නලා. මියුරංග ඒක අරන් අම්මට දුන්නා.

“බබා මේ බාම් එක ගාලා දෝණිගෙ කකුල අත ගාන්න ටිකක් වෙලා.” සහස්‍රාත් දෝතින්ම ඒක ගත්තා.

උදම් සැරින් සැරේ පිටිපස්ස බැලුවේ විහංසා දකින අදහසින්. ඒත් මියුරංග හැමවෙලාවෙම ඇයව කවර් වෙන විදියට හැරුනා.

“බඩී දැන් කොහොමද දෝණිගෙ කකුල.” උදම් ඇහුවෙ කට්ටියම කෑමට නවත්තපු කඩේ ඇතුලට ගියත් මේ දෙන්නා තාමත් වාහනේ ඇතුලෙ නිසා.

“දැන් හරි ලොකු අයියා. අපි එන්නම්. ඔයා යන්න.” සහස්‍රා එහෙම කියලා විහංසාව අල්ලගෙන බැස්සා. උදම් ඇයව අල්ලන්න හැදුවත් සහස්‍රා විහංසාගෙ ඒ අතිනුත් අල්ලගත්තා. උදම්ට කේන්ති ගියත් මුකුත් කියන්න බෑනෙ තමන්ගෙ නංගිට කියලා ඉවසුවා.

ආයෙත් හමුවෙමු.

කෝ බලන්න උදම් විහංසාට හොඳටම ගැලපෙනවා කියලා රැවටිලා මෙච්චර කල් ඒ දෙන්නව එකතු කරන්න කියල කමෙන්ට් කරපු අය එන්න මේ කොනට 👉👉👉👉
😂😂😂😂😂😂😂🔫🔫🔫

කතාව ඉවර කරන හැටි මාත් තාම හිතනවා. බලන් ඉමු නේද? රැඳිලා ඉන්න යාලුවනේ.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *