මා නොවේ ඈ නුඹේ 30 කොටස
“ඔයා මගෙ ජීවිතේට ඕනවට පාලනය කරන්න එන්න එපා මමා. මම ඔයාගෙ දුව නෙමෙයි.” සඳලි තරහෙන් කියලා යන්න ගියා.
“ඔයා ඉස්සර ඉඳපු සඳලිම තමයි රෝස්. ඔයා කොච්චර ට්‍රයි කරත් ඔයාට හොඳ කෙනෙක් වෙන්න බෑ. මම හිතුවෙ මේ සැරේවත් හැදිලා කියලා.” ශ්‍රියානි හෙමිහිට කිව්වේ ඒ ටික තමන්ටම කියාගන්නවා වගේ.
“මෙයා ඒ කොල්ලගෙ ජීවිතේ මේ පාරත් විනාස කරලයි පස්ස බලන්නෙ. එහෙම කරන්න දෙන්න බෑ. මම උදම්ට සේරම කියනවා.” ශ්‍රියානි හිතුවා. ඇය කෝල් එකක් අරන් එවෙලෙම උදම් ආව ගමන්ම මුණ ගැහෙන්න වෙලාවක් ඉල්ලා ගත්තා.
____________________________________________________________________
“ඉතිං කියන්න මොකද්ද ප්‍රශ්නෙ ඔයාගෙ?” චමත් ඇහුවෙ ඉඳගෙන ටිකක් වෙලා යනකනුත් යුවති මුකුත්ම නොකියපු නිසා.
“චාම්… මට ගෙදරින් කෙනෙක්ව ප්‍රපෝස් කරා. මියුරංග සේනාධීර. එයා මගේ අක්කිගෙ බොස්. අර එදා බීච් ආවෙ අක්කියි මායි මියුරංග අයියයි එයාගෙ නංගියි.” යුවති කෙටියෙන් කියන්න හිතාගෙන කතාව පටන් ගත්‍තා.
“එයාට මම ආදරෙයි. එයා හරි හැන්ඩ්සම්. ඒ වගේම එයාගෙ ෆැමිලි එකත් හොඳයි. ඉතිං ගෙදරින් ප්‍රපෝස් කරපු නිසා මාත් කැමති උනා. ඒත් එයා මට කැමති නෑ වගේ. එයා හොයන කෙනා අහිංසක නිවුනු කෙනෙක්. ඔයා දන්නවනෙ මට කවදාවත් එහෙම ඉඳලා පුරුද්දක් නැති බව?” යුවති අහද්දි චමත් හිනා උනා.
“ඒක හරි. දැන් මොකද්ද ප්‍රශ්නෙ?”
“ප්‍රශ්නෙ මම එයාට ආදරෙයි. ඒත් එයා මට කැමති නෑ. එයා හිතුවෙ මම හරිම තැන්පත් කෙනෙක් කියලා. මොකද මාත් මුල් ටිකේ හිටියෙ හරිම තැන්පත්ව. ඉතින් දිගටම මට එහෙම ඉන්න බැහැනේ. මට ඒක ලොකු අපහසුවක්. අනිත් එක තමයි මම ගත්තොත් ඇරෙන්න කෝල් කරන්නෙ නෑ. ඔයා විශ්වාස කරයිද දන්නෙ නෑ දැන් ත්‍රී වීක්ස් අපි අඳුරගෙන. කෝල්ස් දහයක් වගේ තමයි අරන් තියෙන්නෙ. ඉතිං මට හිතා ගන්න බෑ.”
“මට කියනවද ඔයා එයාට ආදරෙයි කියලා දන්නෙ කොහොමද කියලා?” චමත් ඇහුවෙ ඔහුට තේරුනා මේ මැට්ටි ආදරේ කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති බව.
“මන්දා.. මම හිතනවා මම එයාට ආදරෙයි කියලා. මට එයා ලඟ ඉද්දි මොකද්දෝ අපහසුවක් දැනෙනවා.”
“ඒ කිව්වෙ?”
“එයා හොයන තැන්පත් කෙනා වෙන්න මම ට්‍රයි කරනවා. බට් මට එහෙම වෙන්න අමාරුයි. මට හිතෙන්නෙ මට අපහසුවක් වගේ දැනෙන්නෙ එයාට මම ආදරේ නිසා කියලා” යුවති කියද්දි චමත් යුවතිගෙ කම්මුලක් ඇල්ලුවා.
යුවති බලන් හිටියෙ ගල් ගැහිලා වගේ. ඒ ස්පර්ශය ඇයට නුහුරුයි.
“මියුරංග ඔයාව මෙහෙම අල්ලලා තියෙනවද?”
යුවති නෑ කියන්න හිස දෙපසට සැලුවා.
“එතකොට මෙහෙම ලං වෙලා තියෙනවද?” චමත් යුවතිගෙ මුහුණට මුහුණ ලං කලා.
යුවති ඒත් හිස දෙපසට සැලුවේ නෑ කියන්න.
“යුවී…..” චමත් හෙමිහිට කතා කලේ. යුවති චමත්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.
“යුවී… බේබ්… අයි ලව් යූ සෝ මච්.” චමත් යුවතිව ඇදලා තුරුලු කරන් කිව්වා.
යුවති හිටියෙ වෙනම ලෝකෙක. ඇයට දැනුනා මොකක් හරි හැඟීමක්. ඒත් ඒ මොකද්ද කියලා යුවති දන්නෙ නෑ.
“යුවී… ඔයාට දැන් මොනව හරි හැඟීමක් දැනෙනවා නේද?” චමත් ඇහුවා.
“හ්ම්ම්…” යුවතිට මොහොතකට හැමදේම අමතක උනා.
“අන්න ඒකට තමයි ආදරේ කියන්නෙ යුවී. කැමැත්‍තයි ආදරෙයි කියන්නෙ දෙකක්. ඔයා මියුරංගට කැමතියි. ආදරෙයි නෙමෙයි. ආදරේ උනා නම් ඔයාට මෙහෙම මට ලං වෙන්න බෑ.”
යුවති චමත්ගෙ මූණ දිහා බැලුවා. යුවති තාමත් හිතා ගන්න බැරුව හිටියෙ මොකද්ද මේ වෙන්නෙ කියලා.
“ඒ කාලෙ ඉඳන්ම මම ආදරේ කලා යුවී. ඒත් ඔයා මාව පිලිගත්තෙ යාලුවෙක් විදියට විතරයි. ඒත් මේ දවස් දෙකට මට තේරුනා ඔයා මට ආදරෙයි කියලා.” චමත් කියද්දි යුවති චමත්ව තල්ලු කරලා ඈතට උනා.
“ඔයා කොහොමද එහෙම කියන්නෙ චාම්… මට තාමත් ඔයා මගේ යාලුවෙක් විතරයි. මම ආදරේ මියුරංග අයියට. ඔව් මම එයාට විතරයි ආදරේ. මම ඔයාට කතා කලේ යාලුවෙක් විදියට විතරයි. මම යනවා. මට ඔයාගෙ යාලුකමත් එපා.” යුවති චමත්ව තල්ලු කරලා දිව්වා.
චමත් ඇයව නවත්තන්න උත්සාහ කලේ නෑ. මොකද ඔහු දන්නවා යුවති තමන්ට ආදරේ බව. ඔහුට ඕන උනෙත් තවත් පහු වෙන්න කලින් මේක ඇයට තේරුම් කරලා දෙන්න.
යුවති ගෙදර ගිහින් හොඳටම ඇඬුවා. තමන් කලේ වරදක් කියලා හිතිලා ඇය ගොඩාක් ඇඬුවා. කල්පනා කර කර ඉද්දි දන්නෙම නෑ කෙල්ලට නින්ද ගියා.
____________________________________________________________________
“ඒයි සමී නැගිටිනවා… අනේ අර ෆෝන් එක රින්ග් වෙනවා මල කරදරේ… බලපං උඹට කෝල් එකක්.” සහස්‍රා උදේ පාන්දර ඇහැරුන තරහට කෑගහනවා.
“උඹට පිස්සුද බං. ඔය උඹේ එලාම් එක.” විහංසාත් තවත් බ්ලැන්කට් එකටම ගුලි උනේ සීතල නිසා.
“මම මෙච්චර උදෙන් එලාම් තිව්වෙ නෑ යකෝ… උඹට තමයි කෝල් එක. උදේ අට උනේ නෑ තාම.” සහස්‍රා කිව්වෙ ඇය එලාම් තිව්වෙ උදේ අටට නිසා.
“අයියෝ කවුද මේ කරදරේ…” විහංසා ඇඳේ ඉඳගෙන ෆෝන් එක අතට ගත්තා.
“චූටි?? දවස් දෙකකට පස්සෙ මාව මතක් වෙලා. උදේ පාන්දරම?” විහංසා එහෙම කියනවා ඇහිලා නින්දෙ ඉඳපු සහස්‍රාත් දඩ බඩ ගාලා ඇඳේ වාඩි උනා.
“ආන්සර් කරපං. විපර්‍යාසෙ මොකද්ද බලමු.” සහස්‍රාගෙ කටහඬේ මාර උද්‍යෝගයක් තිබුනෙ.
“හෙලෝ.. ගුඩ් මෝනින් චූටි.”
“ගුඩ් මෝනින්. අයෑම් සොරි දෝණියෝ මට ඔයාට ගන්න බැරි උනා.” යුවති ඇඬුම් අතරෙ කිව්වෙ.
“චූටි ඇයි අඬන්නෙ? මාත් ගත්තා ඔයාට. ඒත් ඔයාගෙ ෆෝන් එක වැඩ කලේ නෑ.”
“අක්කා ඔයා අද එනවා නේද?”
“ඔව් බබා මම අද එනවා.”
“මට ආව ගමන්ම මීට් වෙන්න ඕනෙ. මට ලොකු ප්‍රශ්නයක් අප්පා.” යුවති කියද්දි විහංසාට බය හිතුනා.
“ප්‍රශ්නයක් කියන්නෙ? මොකද්ද චූටි? ඔයා හොඳින් නේද?” විහංසා කලබලෙන් ඇහුවෙ.
“මම හොඳින් නෙමෙයි. මට ඒක ඔයාගෙ ඉස්සරහා ඉඳන් කියන්න ඕනෙ. ඉක්මණට එන්නකෝ. ෆෝන් එකෙන් කියන්න බෑ.” යුවති හයියෙන් අඬනවා.
“හරි හරි මම කෝල් එකක් දෙන්නම් එනකොට. හොඳද. ඔයා ඉන්නකො බය වෙන්න එපා මොන ප්‍රශ්නෙ ආවත් මම ඉන්නවා ඔයාට.” විහංසා පුලුවන් හැමදේම කියලා යුවතිව සැනසුවා.
“ඉක්මණට එන්න අක්කා. බුදු සරණයි.” යුවති කෝල් එක කට් කරා.
“මොකද්ද වෙලා තියෙන්නෙ?” සහස්‍රා ඇහුවෙ නොඉවසිල්ලෙන්.
“ම්හ්හ්.. දන්නෙ නෑ තාම. ඒත් මොකක් හරි වෙලා තියෙනවා. ඒකයි ඔච්චර අඬන්නෙ. ලේසියෙන් අඬන ලමයෙක් නෙමෙයි.” විහංසා කියද්දි සහස්‍රා වෙලාව බැලුවා.
“යකඩෝ…. තව පැය දෙකක්ම තියෙනවා. අනේ සමී ප්ලීස් මම මේ සීතලේ නිදියන්න ආසයි. මට නිදියන්න ඕනෙ. උඹට ඕනෙ නම් ඇහැරිලාම ඉඳපං.” සහස්‍රා එහෙම කියලා ආයෙම බ්ලැන්කට් එක හිසේ ඉඳන්ම පෙරවගත්තා. විහංසා ෆෝන් එකත් ආයෙම ටේබල් එක උඩින් තියලා හාන්සි උනේ කල්පනා කර කරමයි.
යුවති ෆෝන් එක තියලා ගොඩාක් කල්පනා කලා.
“චමත් කිව්වෙ ඇත්තද? මියුරංග අයියා මගේ අතින් අල්ලලා තියෙනවා. ඒත් ඊයෙ වගේ ෆීල් එකක් දැනිලම නෑ. ම්ම්ම්.. ඒකටද ආදරේ කියන්නෙ? අයියෝ…. මට බෑ” යුවති කොට්ටයක් අරන් මූණට තියාගෙන නිදාගත්තා.
“ගුඩ් මෝනින් ලමයි.. වෙලාව නවයයි. මොකද තාම ගුලි වෙලා. දවස් තුනක් හිටියා තාම සීතලට හුරු උනේ නැද්ද?” අම්මා ඇහුවෙ බෑග් එල්ලගෙන අත් ගුලි කරන් එන කෙල්ලො දෙන්නා දිහා බලාගෙන.
“ගුඩ් මෝනින් ආන්ටි.”
“ගුඩ් මෝනින් අම්මා. අනේ මට නම් යන්න බෑ වගේ අප්පච්චී…” සහස්‍රා චුරු චුරු ගානවා. කවදත් සහස්‍රා එහෙමයි. ඉඳල ඉඳලා යන්න ලේස්ති වෙන දවසට අඬෝවැඩියාව.
“අනේ බඩී මේ… මට නම් බෑ තවත් ඉන්න. මගේ වැඩ අර යක්කු දෙන්නා අවුල් කරන් ඇත්තෙ.” උදම් කිව්වෙ ඊයෙ රෑත් කෝල් කරලා රදීෂ් කරදර කරපු නිසා. උදම් සේල් එක පටන් ගත්තෙ යාලුවො දෙන්නෙක් එක්ක එකතු වෙලා. එයින් එක්කෙනෙක් තමයි රදීෂ්.
“අප්පෝ ඔව් අප්පච්චි මෙයාට ඊයෙ මාර බර බරේ. අර රදීෂ්ලට මෙයා නැතුව මුකුත්ම කරගන්න බැරිද කොහෙද?” මියුරංගත් කිව්වෙ ඊයෙ ගොඩක් රෑ වෙනකන් උදම්ට කෝල් කරලා කරදර කරපු නිසා.
“ඇයි ලොක්කා මොකද්ද ප්‍රශ්නෙ?”
“නෑ අප්පච්චී ඕඩර් කරපු කාර් මොඩ්ල් එකක් අපිට ඇවිත් නැහැ තාම. ඒකට ඇඩ්වාන්ස් එකක් දුන්න කස්ටමර් කෙනෙක් ඊයෙ ඇවිත් සද්දයක් දාලා. රදීෂ් හරි නිවුන මිනිහනෙ. එයා ආස නෑ සේල් එකේ සද්ද තියෙනවට. ඒකයි.” උදම් කිව්වා.
“ඔය වගේ දේවල් හැම බිස්නස් එකකම තියෙනවා ලොක්කා. ඔයාට බිස්නස් මයින්ඩ් එකක් උපතින්ම තියෙද්දි මොකටද පිට අයව ඕකට ගාව ගත්තෙ. අක්කර සිය ගාණක ටී එස්ටේට් එකක් ඔයාගෙ තාත්‍තා ඉස්සර තනියම හැන්ඩ්ල් කලේ. නේද අම්මා?” අප්පච්චි කියලා ඉවර වෙද්දි කාගෙත් ඇස් තිබුනෙ අප්පච්චිගෙ පැත්තට හැරිලා. අම්මගෙත් උදම්ගෙත් ඇස් ලොකු උනේ ක්ෂණයකින්.
“අප්පච්චී…????” සහස්‍රා තමයි කතා කරගන්න පුලුවන් උන පලවෙනිම අවස්ථාවෙ කතා කලේ.
ආයෙත් හමුවෙමු.
තෙරුවන් සරණයි!
Sherangi Shanika