මා නොවේ ඈ නුඹේ 31 කොටස

“මෙයාලා දන්නෙ නෑනෙ අප්පච්ච්. ඉස්සර දේවල්. අඩුම ගානෙ ඉස්සර අපි මෙහේ බිස්නස් කරපු බවවත් මල්ලියි බඩීයි දන්නෙ නෑනෙ” උදම් කිව්වෙ අම්මයි අප්පච්චියි කතා කරගන්න බැරුව ඉද්දි.

“අහ්.. ඔ… ඔව් මම කිව්වෙ ඉස්සර මට මෙහෙ ටී එස්ටේට් එකක් තිබුනනෙ.” අප්පච්චිත් කැඩි කැඩි එහෙම කියද්දි සහස්‍රායි මියුරංගයි දෙන්නටම තේරුනා මොන දේ උනත් අපිට නොකියන දෙයක් මෙයාලා තුන් දෙනා අතරෙ තියෙන බව.

“හා… ඒකත් එහෙමද? එතකොට කෝ අප්පච්චි ඒ වතු?” සහස්‍රා ඇහුවෙ වෙනසක් නොපෙන්වා.

“ඒවා විකුණලා තමයි බඩී අපි කොළඹ ඉඩම් ගත්තෙ. ඒවා ගත්තෙ සිරිනන්ද අංකල්.” උදම් කිව්ව්‍ර් අප්පච්චිට නම් මුකුත්ම කටට නොඑන බව පෙනුන නිසා.

“හ්ම්ම්… ඒ කියන්නෙ මාව ලැබෙන්න කලින් අපි මෙහෙර් පදිංචි වෙලා ඉඳලා තියෙනවා. එහෙමද?” මියුරංග ඇහුවේ කලින් දවසක අම්මා කියපු දේ මතක් වෙලා.

“ඔව් අපි එතකොට හිටියෙ සිරිනන්ද අංකල්ලගෙ ගෙවල් කිට්ටුවම.” උදම් කියද්දි මියුරංග කල්පනා කලේ තමන්ගෙත් අයියාගෙත් වයස් පරතරය අවුරුදු දෙකක් වෙද්දි කොහොමද මේවා අයියට මතක කියලා.

“ඔයාට හැමදේම මතකයිනෙ?” සහස්‍රා ඇහුවෙ මියුරංග ඊළඟට අහන්න හිටපු දේ.

“නෑ බඩී ඉස්සර අම්මයි අප්පච්චියි කියනවානෙ විස්තර.” උදම් ශේප් එකේ කිව්වා.

“ආහ් හැමදේම එයාට කියලා ඇයි අපිට නොකිව්වෙ අම්මා.., අප්පච්චි?” සහස්‍රා ඇහුවෙ තුන් දෙනාටම උත්තර නැති ප්‍රශ්නයක්.

“හරි හරි ලමයි ඒවා කතා කරමු අපි පස්සෙ. දැන් කාලා ඉන්නකො. පැයකට කිට්ටුයි කෑමට ඉඳගෙනත්.” අම්මා කියද්දි සහස්‍රායි මියුරංගයි මූණ එල්ලන් කෑම කන්න ගත්තා. විහංසාට නම් තේරුනා ඒ නොකියා ඉඳපු කතාව මොකද්ද කියලා.

“ඒ කියන්නෙ ලොකු අයියා කියන්නෙ මෙයාලගෙ කෙනෙක් නෙමෙයි. ඒක දැනන් ඉඳලා නැත්තෙ මේ දෙන්නා විතරයි. ලොකු අයියා දන්නවා එයා පිට කෙනෙක් කියලා. මොකද්ද මේ පටලැවිල්ල?” විහංසා කල්පනා කලා.

කෑම කාලා කට්ටියම එන්න සූදානම් උනා. අප්පු කෙටි කෑම වර්ග කීපයක් හදලා දුන්නා මගදි කන්න කියලා. විහංසාටයි සහස්‍රාටයි තමයි වැඩියෙන්ම දුක නුවර එළිය දාලා යන්න.

“අපි ආයෙම එමුකො දෝණි.” මග දුරක් එනකන්ම දෙන්නගෙ මූණු එල්ලන් ඉන්න නිසා අම්මා කිව්වා.

“මේ ගමන මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ ආන්ටි.” විහංසා කිව්වෙ දුකෙන්. ඇත්ත ඇයට අවුරුදු ගානක් මග බලන් ඉඳපු ආදරේ හමු වෙලත් ඒක තමන්ට අයිති නෑ කියලා දැන ගත්තෙ මේ ගමන නිසා. ඒ නිසා ඇයට මේක කවදාවත් අමතක නොවෙන ගමනක්.

ලොකු අයියගෙ ජීවිතේට සම්බන්ධ මොකද්දෝ රහසක් දැනගත්තා. ඒක තමයි සහස්‍රාට සහ මියුරංගට මේ ගමනෙ තිබුන ලොකුම මතකය.

“දෝණිට අමතක වෙන්න බෑ තමයි. ඇයි හොඳ ඩොක්ටර් කෙනෙක් ප්‍රපෝසල් එකක් ගෙනාවෙ. ඇත්තටම දූ මොකද හිතන්නෙ ඒක ගැන.” අම්මා අහද්දි උදම් හොඳට හරි බරි ගැහිලා ඇහුම්කන් දුන්නා. ඒ වගේම මියුරංගත්.

“ම්ම්…. ආන්ටි තාත්තගෙන් අහන්න ඕනෙ කොහොමටත්.” විහංසා කියද්දි කොල්ලො දෙන්නටම හිතට දැනුනා. මියුරංග නම් දන්නවා හොඳටම යුවති මේ ප්‍රශ්නෙන් අයින් වෙනකන් තමන්ට කීයටවත් විහංසාට ලං වෙන්න බෑ කියලා. ඒත් උදම් තැවුනෙ ලං වෙන්න ලැබිලත් ඒ ලං වුන වේගෙන්ම ඈත් වෙන්න උන එකට.

“ඒ කියන්නෙ නංගි කැමතියි වගේ?” උදම් කිව්වා.

“ඒක තමයි මටත් පේන්නෙ ඒ වගේ ලොකු අයියා.” සහස්‍රාත් කතාවට හවුල් උනා.

උදම් සහස්‍රාට රවලා ඉස්සරහා බලාගත්තා.

“ඇත්තටම දෝණි අපි අනුරාධ ගැන මුකුත් දන්නෙ නැහැ. අපි අවුරුදු ගානකට පස්සෙයි මෙහෙ ආවෙ. ඉතිං එයා ගැන අපිට අදහසක් ගන්න තරම් ආශ්‍රයක් තිබුනෙ නෑ. මගෙ දුවට තේරෙනවනෙ. මේ වගේ දේකදි අපි කොල්ලා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා. තාත්‍තා කැමති නම් අපි ටිකක් විස්තර හොයලා බලමු.” අම්මා කිව්වා.

“මම කිව්වෙ කැමතියි කියලා නෙමෙයි ආන්ටි. තාත්තගෙ කැමැත්තෙන් දෙයක් හොයලා මට කිව්වම මම මැරි කරනවා. නැත්නම් නෑ.” විහංසා කියද්දි උදම්ට දුක හිතුනා තමන් ගැනම. තමන් නිසයි මෙහෙම උනේ කියලා ඔහුට කේන්තිත් ගියා.

“උඹට පිස්සු හැදිලද මැරි නොකර ඉන්නෙ මොකද?” සහස්‍රා ඇහුවෙ කේන්තියෙන්.

“නිකන් කිව්වෙ අනේ. මොකද කෑගහන්නෙ” විහංසා අහද්දි කට්ටියටම හිනයි. ඒත් උදම් විතරක් ලොකු කල්පනාවක හිටියා.

____________________________________________________________________

“චමත්‍ට ගන්නවද නැද්ද? නෑ නෑ දෝණි එක්ක කතා කරලා ඉන්නවා. මගෙ හිතේ තියෙන හැමදේම දෝණිට කියනවා මුලින්ම. ඊට පස්සෙ තමයි මොන දේ කරන්නෙත්.” යුවති හිතා ගත්තා. ඒත් සැරින් සැරේ ඇය ෆෝන් එක අරන් බැලුවේ චමත්ගෙන් එස් එම් එස් එකක්වත් තියෙනවද කියලා.

“මට මොනවද වෙලා තියෙන්නෙ මේ. චමත් කියන්නෙ මගෙ යාලුවෙක් විතරයි. එයා මට මේ තරම් ලඟ උනේ කොහොමද? මේ දවසට දෙකට.” යුවති තමන්ටම කියා ගත්තා.

“එයා කියනවා වගේ මේකද ආදරේ කියන්නෙ? එතකොට මියුරංග අයියා.” යුවති හිටියෙ ලොකු අවුලක පැටලිලා.

යුවති ෆෝන් එක අරන් විහංසාට කෝල් එකක් ගත්තා.

“දෝණි කොහෙද දැන්?” යුවති ඇහුවෙ විහංසා හෙලෝ කියන්නත් කලින්.

“දැන් ලඟ චූටි. පැයකින් විතර ගෙදර.” විහංසා කිව්වා.

“මම ගෙදර එන්නම්. අංකල් ඇවිත් ඇති නේද?”

“මොකද හදිස්සිය චූටි. හා එන්න තාත්තා ඇවිත් ඇත්තෙ.”

“දෝණි මට ඔයා විතරයි ඉන්නෙ මේ ප්‍රශ්නෙ විසඳගන්න.” යුවති අදත් අඬනවා. විහංසාට මේක ලොකු ප්‍රශ්නයක්.

“හරි ලමයෝ මම ඉක්මණට එනවනෙ. ගෙදර ගිහින් අපේ තාත්තා එක්ක කතා කර කර ඉන්න එහෙනම්.” විහංසා කිව්වම යුවතිගෙ ඇඬිල්ල නැවතුනා.

“තියන්නම් එහෙනම්. බුදු සරණයි දෝණි. ඉක්මණට එන්න.” යුවති කෝල් එක කට් කරලා ලේස්ති උනා.

“කොහොමද අංකල්? අදද ආවෙ?” යුවති කාර් එකෙන් බහින ගමන් ඇහුවා. උදේන ඉස්සරහා දොර වහලා හැරෙනකොටමයි යුවතිගෙ කාර් එක ඇවිත් නැවැත්තුවේ.

“ආ චූටි දූ. ඔව් පුතේ උදේ ආවා. පොඩ්ඩක් අස් පස් කරලා දාන්න. දැන් නම් ඉවරයි. මම මේ දෝණි ආවම කන්න මොනව හරු විශේෂ දෙයක් හදන්න කියලා බලද්දි ගෙදර මුකුත් නෑ. කඩේ පැත්තෙ යන්න කියලා දොර වැහුවෙ.” උදේන කිව්වා.

“එහෙනම් යමු අංකල්. අපි ගිහින් බඩු ගේමු.” යුවති ආයෙම කාර් එකට නැග්ගා.

විහංසාව ගේ ලඟින් බස්සලා සහස්‍රාලා යන්න හැදුවේ දැන් ටිකක් මහන්සිත් නිසා.

“දොර වහලා වගේ සමී.” සහස්‍රා කිව්වෙ බෑග් එක අරන් දෙන්න බැහැපු ගමන්.

“සමහරවිට තාත්තා කඩේට ගියාද දන්නෙ නෑ. ගෙදර මුකුත් තිබුනෙ නෑ.” විහංසා හිනා වෙලා කියලා බෑග් එක අතට ගත්තා.

“අපි ටිකක් ඉමු නේද අප්පච්චි. සමීලගෙ තාත්‍තා ගෙදර නෑ වගේ.” සහස්‍රා කිව්වම අප්පච්චිත් වාහනෙන් බැස්සා.

“එන්න අංකල්. මෙහෙන් ඉඳගමු එහෙනම්. මම තාත්‍තට කෝල් එකක් දීලා බලන්නම්.” විහංසා කෝල් කරත් ෆෝන් එක ගේ ඇතුලෙම රිංග් වෙන සද්දෙ ඇහුනා.

“චූටි එනවා.” විහංසා පාර දිහා බලලා කිව්වා.

“ආහ් දෝණි ඇවිත් ගොඩක් වෙලාද? අපි කඩේට ගියා.” උදේන ඉක්මණ් ගමනින් ඇවිත් දොර ඇරලා කට්ටියට ගෙට කතා කලත් හැමෝම කිව්වෙ දැන් ගෙදර යන්න ඕනෙ කියලා.

“අපිට ආයෙත් නිවාඩුවෙ වෙලාවක ඇවිත් යන්න බැරියැ සෙනෙවිරත්න මහත්තයා.” සේනාධීර එහෙම කියලා හිනා උනා.

“ඔව් අපි කෙල්ල තනියම දාලා යන්න බැරි නිසා බැස්සෙ. මහන්සියි ටිකක්.” තිලකාත් එහෙම කියලා විහංසාගෙ දෙකොපුල් සිප ගෙන යන්න හැරුනා.

“මොකද යුවති දුව අපි එක්ක තරහ වෙලාද?” කිසිම සද්දයක් නැතුව ඉන්න යුවති ලඟට ගිහින් තිලකා අහද්දි යුවති අමාරුවෙන් මූණට හිනාවක් ගත්තා.

“අනේ නෑ ආන්ටි. ඔයාලා කතා කරනවනෙ. ඒකයි.” යුවති කිව්වා.

“අපි ගිහින් එන්නම් දූ.” තිලකා යුවතිගෙ හිස අත ගාලා ගියා.

“ගොඩක් හිතන්න එපා. හැමදේම හෙමිහිට විසඳගමු. හොඳද?” සහස්‍රා හෙමිහිට විහංසාට මුමුණලා කට්ටියටම කියලා ගියා.

“ගිහින් එන්නම් යුවති. එන්නම් විහංසා. අංකල් වෙලාවක එන්නම් අපි.” මියුරංගත් එහෙම කියලා ගියා.

“දෝණි.. වරදක් උනා නම් සමාවෙන්න. මම ඉක්මණටම මගේ වැරදි හදාගෙන එනවා. තාත්තගෙන් ඔයාව ඉල්ලන් යන්න.” උදම් හෙමිහිට විහංසා එහෙම කියලා විහංසා අතට ඔහුගේ බිස්නස් කාඩ් එකත් දීලා අනිත් දෙන්නටත් කියලා ගියා.

“අර ඒ අනිත් හිටියෙ මියුරංග අයියගෙ අයියද දෝණි.” කට්ටිය ගියාට පස්සෙ යුවති ඇහුවා.

“ඔව්. ලොකු අයියා.” විහංසා හිනා වෙලා කියලා ගෙට ගියේ යුවතිගෙ අතින් ඇදගෙන.

“ඔහොම ඉන්නවා මම වොශ් එකක් දාගෙන එනකන්.” විහංසා සැරෙන් කියලා වොශ් රූම් එකට ගියා.

“මම කොහෙන්ද පටන් ගන්නෙ.” යුවති හිතුවා.

“චූටි දූ මොනවද හදන්න ඕනෙ?” උදේන කුස්සියට යන ගමන් ඇහුවා.

“අංකල් ඉන්න අපි දෙන්නා හදන්නම් මොනව හරි.” යුවති උදේනට ඇහෙන්න හයියෙන් කිව්වා.

“දෝණිට මහන්සියිනෙ දූ. මම මොනව හරි හදන්නම්. අද ඔයත් මෙහේ ඉන්න දෝණිටත් පාලු වෙයි යාලුවා එක්ක ඉඳලා අද තනියම උනාම.” උදේන කියද්දි යුවතිටත් හිතුනා ඒක හොඳ අදහසක් කියලා.

“හෙලෝ අම්ම… මම දෝණිලගෙ ගෙදර ඉන්නෙ. එයා අදනෙ ට්‍රිප් එක ගිහින් ආවෙ. අම්මා ගොඩක් දේවල් තියෙනව කතා කරන්න. මම අද ඉඳලා එන්නම්ද?” යුවති එක හුස්මට කිව්වා.

“ඉඳලා එන්න එහෙනම්. හෙට දෝණි නිවාඩු නම් මේ පැත්තෙ එන්න කියන්න චූටි දූ. කෙල්ල දැක්කෙ නෑ කාලෙකින්.” වන්දනා කිව්වා.

“තෑන්ක් යූ මගෙ සුදු අම්මියා.” යුවති සතුටින් කිව්වා.

“දෝණි අද අම්මා මට මෙහෙ ඉන්න කිව්වා.” යුවති දුවගෙන ගිහින් වොශ් රූම් එකේ ඉඳන් එලියට ආව විහංසාව බදාගෙන කිව්වා.

“හා එහෙනම් හොඳයි. ඔක්කොටම කලින් උයන්න ඕනෙ මොනව හරි.” විහංසා කාමරෙන් එලියට ගියා. යුවතිත් ඒ පස්සෙන් ගියා.

“තාත්තා මොනවා හරි පොඩි කෑමක් කමු නේද? මට නම් බඩගිනිත් නෑ.” විහංසා කියද්දි යුවති අමුතු විදියට බැලුවා.

“ඇයි බඩ පිරිලද?” යුවති අහද්දි උදේනටත් හිනා ගියා.

“ඔව් අනේ අර අප්පු මාමා හදලා දීල තිබුන එක එක කෑම කාලම බඩ පිරිලා.” විහංසා ගානකට නැතුව කිව්වා.

“එහෙනම් අංකල් අපි දෙන්නා විතරනෙ. මම දන්නෙ රොටි හදන්න විතරනෙ. රොටි කමු. කමක් නැද්ද?” යුවති අහද්දි උදේනට කෙල්ල ගැන පව් කියලා හිතුනා.

“ගෙදරදි කුස්සිය පලාතෙ යන්නෙ නැති කෙල්ල මෙහේ ඇවිත් රොටි හැදුවා කියලා දැනගත්තොත් දයාන් මට නඩු දායි.” උදේන හිනා උනා.

“පිස්සු අපේ තාත්තා දන්නවා මගේ හැටි.” යුවති මූණත් ඇඹුල් කරන් කියද්දි විහංසා යුවතිගෙ හිස අත ගෑවා.

“තාත්තා කොහොමත් දැන්ම රෑට උයන්න ඕනෙ නැහැනෙ. අපි කඩෙන් කමු මොනව හරි.”

“එහෙනම් තෝසෙ ඕනෙ. වෙන මුකුත් බෑ.”

“අපෝ තෝසෙ පෙරේති. හා හා තෝසෙ ගේමු.” විහංසා යුවතිගෙ කම්මුලක් මිරිකලා කිව්වා.

“මේ දෝණි මට හන්දියට යන්න ඕනෙ මේ ටිකේම පත්තරේ බලන්න උනේ නෑ. දැන් ගිහිල්ලත් අමතක උනා මට. මම ගිහින් පත්තරෙත් අරන් තෝසෙත් අරන් එන්නම්. දෙන්නත් එක්ක කතා කර කර ඉන්න.” උදේන එහෙම කියලා කාමරේට ගිහින් සල්ලිත් අරන් එලියට බැස්සා.

“තේ බොමු නේද? තිබහයි.” විහංසා උණු වතුර බෝතලේ අරන් කිව්වා.

“මට තේ ඕනෙ නෑ දෝණි. මට ඔයාට දෙයක් කියන්න ඕනෙ.”

“මොකද්ද?”

“ලොකු කතාවක් අක්කා. ඔයා තේ එක හදන් එන්න. මම චේන්ජ් කරන් එන්නම්.” යුවති ගියා සැහැල්ලු ඇඳුමක් දාගෙන එන්න.

“චූටි අල්මාරියෙ උඩම ඇති ඔයාගෙ අර ශෝට් එකයි ටීෂර්ට් එකයි.” විහංසා කිව්වෙ යුවති ඇඳුමක් ගේන්නෙ නැතුව ඇවිත් හිටපු ගමන් නවතිනකොට අඳින ඇඳුම තියෙන තැන.

“මොකද්ද මෙයාගෙ ප්‍රශ්නෙ.” විහංසා තේ එක හදාගන්න ගමන් හිතුවා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *