මා නොවේ ඈ නුඹේ 38 කොටස
මියුරංග හිතත් එක්ක තර්ක කරලා කරලා අන්තිමට විහංසාගෙ කවි පොත කියවන්න තීරණය කලා.
පිටුවෙන් පිටුවට යද්දි ලස්සන ලස්සන නිසඳැස් එක්ක විහංසාගෙ හිතත් එලියට ඇවිත්. ඒ අදහස් ඇතුලෙ මියුරංගගෙ හිතත් අතරමං වෙලා. මියුරංග මුලින්ම ඔෆිස් එකට ගිය දවසේ විහංසා අතින් ලස්සන නිසඳැසක් ලියවිලා තිබුනා.
“සඳක් වගේ රැයේදි විත්
හදේ රැඳුනු ඒ රූ සිරි
ඇස් මත්තේ දඟකරන්න
මටත් හොරා ඇවිදින් අද…”
“ඔයා ආවා නේද? මට දැනුනා. ඒත් මගේ වෙයිද?” ඒ පිටුව අවසන් කරලා. ඊළඟට පිටුවෙන් පිටුව තිබුනෙ මියුරංග ගැන. හිත සතුටින් ඉපිලෙද්දි මියුරංග පිටු පෙරලුවා. ඒත් එක දවසක්….
“හැම හීනෙම හැබෑ උනත්
නුඹේ හීනෙ මම නැති නම්
මට කොහෙන්ද අහිමි වරම්
ලබන්නට තරම් හයියක්…”
“එයා මගේ නෙමෙයි. නෑ නෑ මගේ නෙමෙයි. අහස් අයියා යුවතිගෙ. මට එපා එයාව.” විහංසා එහෙම ලියලා තවත් දුක හිතෙන පද වැල් කීපයක් ලියලා තිබුනා. ඒ දිනේ මියුරංග යුවතිව බලන්න ගියපු දිනේ. මියුරංග පොත වැහුවා.
“මේ කෙල්ල කොච්චර මෝඩද? එයාට මෝඩයි කියලා වැඩක් නෑ. මමයි මෝඩ. මම යුවතිට කැමතියි කියලා පෙන්නුව නිසානෙ මෙහෙම උනේ. අපරාදෙ මං නිසා ඒ කෙල්ල දුක් වින්දා…” මියුරංග කල්පනා කලා. විහංසා උදම් එක්ක පැටලුනේ තමන් වෙන කෙනෙක් ලඟට ගිය නිසා බව දැන් මියුරංග දන්නවා.
“බබා… කොහේද?” මියුරංග සහස්‍රාට කෝල් එකක් අරන් කලබලෙන් ඇහුවා.
“සුදු අයියා මම සමී එක්ක ඉන්නෙ. බෙහෙත් ගන්න යන්න හදන්නෙ.” සහස්‍රා බැලුවෙ අයියා මොකද මේ තරම් කලබලෙන් කියලා.
“හා.. බබා… මට විහංසාව බලන්න ඕනෙ.” මියුරංග කියද්දි සහස්‍රාට දුක හිතුනා කවදාවත් නැතුව අයියා සංවේදී වෙලා වගේ දැනුනා.
“අපි මේ බෙහෙත් ගන්න යන්න හදන්නෙ අයියා. මම තියන්නම්. මම ගන්නම් ටිකකින්. මේ… සමීගෙ තාත්තත් යනවා. බුදු සරණයි.” සහස්‍රා කෝල් එක කට් කරා.
“අයියා සමීගෙ තාත්තත් ලඟ. ඔයා මොකද මේ එක පාරම. කවදාවත් නැතුව.” සහස්‍රා ඉක්මණින් මැසේජ් එකක් ටයිප් කරලා යැව්වා.
“බබා විහංසා මට ආදරේ කරලා.” මියුරංග මැසේජ් එකක් යැව්වා.
“මම දන්නවා. අපි ටිකක් ඉවසමු මගෙ අයියා. ටික දවසක්. ප්ලීස්. එයාටම තේරුම් ගන්න දෙමු.” සහස්‍රා අවසාන මැසේජ් එකත් යවලා ෆෝන් එක සාක්කුවට දාගෙන වාහනේට නැග්ගා.
“ඇයි මම ඒ වගේ මෝඩ උනේ. ශිට්.” මියුරංග අත මිට මොලවලා ටේබල් එකට තදින් ගැහුවා.
“යුවති… යුවතිට කියන්න ඕනෙ.” මියුරංග ඉක්මණින් යුවතිගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තා.
“නම්බර් බිසීනෙ. ආහ් එයා චමත් එක්ක චැට් එකක් වෙන්න ඇති.” මියුරංග හිතුවා.
____________________________________________________________________
“හෙලෝ… දෝණි කොහෙද ඉන්නෙ වැඩද?” යුවති විහංසාට කෝල් එකක් ගත්තෙ දවස් කීපෙකින් ගන්න බැරි උන නිසා.
“අනේ චූටි මට සනීප නෑ. මේ බෙහෙත් ගන්න යනගමන්.” විහංසා අමාරුවෙන් කිව්වා.
“ඇයි? අනේ මට කිව්වා නම් මම එනවනෙ. අංකල් එක්කද යන්නෙ? මොකේද යන්නෙ?” යුවති කලබලෙන්.
“නෑ චූටියෝ සහස්‍රා ආවා.” විහංසා කියද්දි යුවතිට මොකද්දෝ දැනුනා.
“ආහ් දැන් එයා ඉන්නවනෙ. හැමදේම දන්නෙ කියන්නෙ එයාටනෙ. නේද?”
“චූටි එයා තමයි ආවෙ. මම එන්න කිව්වෙ නෑ.”
“හරි හරි ඉතින්. මොකටද මේ කියවන්නෙ ඔය තරම්. පිස්සී. මම විහිලුවට කිව්වෙ. මම එන්නම් ගෙදරට. බෙහෙත් අරන් එන්න එහෙනම්. තියන්නම්. බායි.” යුවති කෝල් එක කට් කරා.
“එක අතකට එයාලා සතුටින් ඉන්නවනෙ. මට ඒ වගේ පවුලක් මැච් වෙන්නෙත් නෑ.” යුවති හිතුවා.
“චූටී… මොනවද කුටු කුටු ගාන්නෙ.” වන්දනා ආවෙ ලඟකදි ඉඳලා කෙල්ල තනියම කල්පනා කරනවා වැඩිනිසා.
“අම්මා.. දෝණි ලෙඩ වෙලා. බෙහෙත් ගේන්න යනවලු.” යුවති කිව්වා.
“අනේ කෙල්ලට මොකද පුතේ. ඔයාට යන්න තිබුනනෙ බෙහෙත් ගන්න යන්න.” වන්දනා කිව්වෙ දුකෙන්.
“නෑ අම්මා මියුරංග අයියගෙ නංගි ගිහින්. මම දන්නෙ නෑනෙ ලෙඩ වෙලා කියලා.” යුවති දුක මූඩ් එකෙන් කියද්දි වන්දනාගෙ හිතේ විහංසාට වෙන යාලුවෙක් කිට්ටු වෙනවට අකමැති නිසා කෙල්ල ඉරිසියාවෙන් කියලා.
“හරි හරි අපි යමු එයාව බලන්න හවසට.” වන්දනා යුවතිගෙ කරට අතක් දාලා කිව්වා. මියුරංගලා යෝජනාවට අකමැති උනාට පස්සෙ ඉඳන් යුවති එලියට යන හැම වෙලාවකම වගේ වන්දනාත් ඇයත් එක්ක ගියා. මොකද යුවති හිටියෙ ගොඩාක් දුක හිතිලා වගේ නිසා.
“හා අම්මා ඒක හොඳයි.” යුවතිත් උඩ පැනලා කිව්වෙ අම්මත් එක්ක ගියාම විහංසා චමත් ගැන අහන්නෙ නැති නිසා.
“එහෙනම් ඉන්න. මම මොනව හරි හදාගන්නම් කෙල්ලට ගෙනියන්න.” වන්දනා ගෙට ගියේ යුවතිගෙ හිසත් අත ගාලා.
“අයෑම් සොරි අම්මා. මම නිසා අම්මලා දුකෙන් නේද? ඉක්මණටම මේ ප්‍රශ්නෙන් මම අම්මලාව නිදහස් කරනවා.” යුවති තනියම කියෙව්වා.
යුවතිගෙ හිතේ අම්මලා ඇයට ගෙනා මංගල යෝජනාව රිජෙක්ට් උන එකට දුකෙන් කියලා. අම්මලාගෙ හිතේ යුවති ඒ ගැන දුකෙන් කියලා.
____________________________________________________________________
සිකුරාදා ගේ බලන්න ආව අය උදම්ගෙ ගේ ගත්තා. උදම් බඩුත් අස් කරන් සේනාධීර නිවසට ගියේ අලුත් නිවසක් හොයාගන්නකන් ඉන්න.
“කොහොමද හිමදි.” උදම් ගෙට ගොඩ වෙනකොටම හිමදි සාලෙ හිටියා.
“හොඳයි උදම් අයියා. ඔයාට කොහොමද? ගොඩක් දවසකින් නේද?”
“ඔව් ඒක තමයි.” උදම් ලාවට හිනාවෙලා උඩ ඔහුගේ කමරයට ගියා.
හිමදිත් දැන් පවුලේ කෙනෙක් වගේ. ඇගේ පෙම්වතා මුණ ගැහෙන්න පහසු නිසයි ඇය කොළඹ එන්න කැමති උනේ. ඒත් සිරිනන්දගේ හිතේ තිබුනෙ වෙන දෙයක්. කවදාවත් ඒ දේට සේනාධීරලාගෙන් වචනයකින්වත් අනුබලයක් නම් ලැබුනෙ නෑ. හිමදි හිත සතුටින් හිටියෙ ඒ නිසා.
සෙනසුරාදා හවස අනුරාධ ඇවිත් හිමදිව එක්කන් ගියේ හෙට උදම්ට මනමාලියෙක් බලන්න යන බව දන්න නිසා. කොහොමත් සෙනසුරාදා ඉරිදා කෝස් එක නිවාඩු නිසා අනුරාධ නංගිව එක්කන් යනවා. සහස්‍රා හිමදිගෙ සම්බන්ධයටත් කොහොම හරි අනුරාධව කැමති කරලා දුන්නා. අනුරාධත් සහස්‍රාත් ගොඩක් අවබෝධයෙන් තේරුම් අරන් තමයි ආශ්‍රය කලේ.
“එහෙනම් බෙස්ට් ඔෆ් ලක් මස්සිනා.” අනුරාධ එහෙම කියද්දි උදම්ගෙ හිත ගැස්සුනේ අනුරාධ රහස දැනගෙනවත්ද කියලා හිතමින්. ඒත් උදම් ඒක පිටට නොපෙන්වා හිටියා. සහස්‍රාට නම් හීන් දාඩියත් දැම්මා.
“ගිහින් එන්නම් නංගී. බුදු සරණයි.” අනුරාධ සහස්‍රාට කියද්දි උදම්ට යමක් තේරුනා. අනුරාධලා ගියාට පස්සෙ උදම් සහස්‍රා එක්ක එලියේ බෙන්ච් එකෙන් ඉඳගත්තා.
“අනුරාධයා ගිහින් එන්නම් කියපු ටෝන් එක මට ඇල්ලුවෙ නෑ බඩී….” උදම් එහෙම කියලා සහස්‍රා දිහා බලද්දි සහස්‍රා හිටියෙ බිම බලාගෙන ගැහෙමින්.
“බඩී මොකද නිකන් හොර පූසියෙක් වගේ.”
“නෑ ලොකු අයියා.” සහස්‍රා වෙව්ලන හඬින් කියද්දි උදම්ට හයියෙන් හිනා ගියා. සහස්‍රා බලන් හිටියෙ දැන් නැතුවට දැන් බෝම්බයක් පුපුරයි කියලා.
“මට සුදු අයියත් කිව්වා ඔයාගෙ යාලුවත් කිව්වා. මගේ අකමැත්තක් නෑ බඩී. ඌ හොඳ කොල්ලා.” උදම් සහස්‍රාගෙ හිස අතගාලා කියද්දි සහස්‍රා අඬ අඬම උදම්ට තුරුලු උනා.
පහුවෙනිදා උදේම ලේස්ති වෙලා කට්ටියම මනමාලි බලන්න ගියා. සුන්දර රුවක් තිබුනෙ ඒ ගැහැණු ලමයට. උදම්ට ඇයව දැකපු ගමන්ම ඇයට හිත ගියා.
ඇය නමින් අපර්ණා. දේපළ ඉඩකඩම් බොහෝමයකට හිමිකම් කියන අපර්ණාට තව හිටියෙ මල්ලි කෙනෙක් විතරයි. ඔහු සහස්‍රාගෙ වයසෙ. අපර්ණා උසස් අධ්‍යාපනයත් අවසන් කරලා හිටියෙ. ඇයට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පළමු පන්තියේ උපාධියක් තිබුනා. හැමෝම කිව්වෙ දෙන්නට එකතු වෙලා බිස්නස් දියුණු කරගන්න පුලුවන් කියලා.
“කොහොමද?” උදම් ඇහුවෙ උදම්ට සහ අපර්ණාට තනියම කතා කරන්න අවස්ථාව දීලා කට්ටියම තේ මේසෙට ඉඳගත්ත වෙලාවෙ.
“හොඳයි අයියේ. ඔයාට කොහොමද?” අපර්ණා ටිකක් කටකාරයි. සහස්‍රාටම ගැලපෙනවා.
“ම්ම්.. ඔයාගෙන් මුලින්ම අහන්නෙ පුංචිම පුංචි ප්‍රශ්නයක්.” උදම් කිව්වා. අපර්ණාත් හිස වැනුවා.
“ඔයා කැමතිද මාව මැරි කරන්න?” උදම් ඇහුවා. අපර්ණා බලන් හිටියෙ කටත් ඇරන්.
“ඇයි ඔහොම බලන්නෙ? මම ඇත්තටම ඇහුවෙ.” උදම් එහෙම කියද්දි නම් කෙල්ල ලැජ්ජාවෙ බිම බලාගත්තා.
“ලැජ්ජ වෙන්න එපා. මම එහෙම ඇහුවෙ ඒකට අකමැති නම් අපි කතා කරන එකේ තේරුමක් නැති නිසා.”
“මම කැමතියි. ඔයා වගේ කෙලින් කතා කරන අයට මම කැමතියි. ඒ වගේම මම ඔයාව මීට කලින් දන්නවා. ඒ නිසා මට ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ අයියේ.” අපර්ණා කියාගෙන ගියා.
“ඔයත් අපේ බඩී වගේමයි. එයා ඔයාට ගොඩක් කැමති වෙයි.” උදම් හිනාවෙවී කියද්දි අපර්ණා පුදුමෙන් බැලුවා.
“බඩී කියන්නෙ මගෙ නංගි. අර ඇවිත් හිටියෙ.”
“ආහ්.. එයා හරිම ස්වීට් නේද?” අපර්ණාත් කිව්වා.
“ඔව් ඔව් හරිම ස්වීට්. ඔයා වගේමයි. ඒක නෙමෙයි ඔයා කිව්වෙ මාව මීට කලින් දන්නවා කියලා. ඒ කොහොමද? මම ඔයාව දන්නෙ නෑනෙ.” උදම් නළල රැලි කරමින් ඇහුවා.
“බෙස්ට් බිස්නස්මන් ඔෆ් දි ඉයර්… මතකද?” අපර්ණා ඇහුවා.
“මතකයි.” උදම් කිව්වෙ විශ්ව විද්‍යාලයේ අසයින්මන්ට් එකකට ඔහු ගැන කවුදෝ ගැහැණු ලමයෙක් ලියපු ආටිකල් එකක් ව්‍යාපාරික පුවත් පතක පළ උන එක මතක් කරමින්. ඒ ආටිකල් එක හරහා උදම්ට සම්මානයකුත් ලැබුනා.
“අන්න ඒ ආටිකල් එක ලිව්වෙ මම.” අපර්ණා කියද්දි උදම් පුදුමෙන් පුදුමෙට පත් උනා. මොකද ඔහු වසර දෙකක් පුරා ඒ ගැහැණු ලමයව හොයලා බැරිම තැන තමයි වැඩේ අත ඇරලා දැම්මෙ.
“වට්???? ඔයා ඇයි ඔයාගෙ නම මීඩියා වලට නොදුන්නෙ. මම කොච්චර හෙව්වද ලමයෝ ඔයාව.” උදම් කිව්වෙ හිසේ අත ගහගෙන.
“ඔයා ඇයි මාව හෙව්වෙ?” අපර්ණා දඟකාර ලෙස අහද්දි උදම්ට හිනා ගියා.
“හෙව්වෙ ඔයාව මැරි කරන්න.” අපර්ණාට හයියෙන් හිනා ගියා.
“ඇයි හිනාවෙන්නෙ.”
“දැන් එහෙනම් හම්බ උනානෙ. මැරි කරන එකයි තියෙන්නෙ.” අපර්ණා අත් දෙකත් ඉණට තියාගෙන හිනාවෙවී කිව්වා.
“මම ඔයාව දන්නෙත් නෑ ඇයි ඔයා මගෙ ගැන ආටිකල් එකක් ලිව්වෙ?” උදම් ඇහුවෙ ඔහුට හේතුවක් හිතාගන්න බැරුව.
“මම ස්කූල් යනකාලෙ ඉඳන් අයියට කැමතියි. ඔයා හරි ආඩම්බරයිනෙ. මම කැම්පස් ඉන්න කාලෙ ඔයාගෙ ගැන ටච් එකේ හිටියෙ. ඉතිං ආටිකල් එක කලේ ඒ හරහා ඔයාව මීට් වෙන්න. ඒත් මම ඒක ඉවර කරාට පස්සෙයි දැනගත්තෙ ඔයාට එෆෙයාර් එකල් තියෙනව කියලා. ඉතිං මම මගේ නම හැංගුවා.” අපර්ණා කියද්දි උදම්ට පුදුම හිතුනා. මෙහෙම කෙල්ලො ඉන්නවද කියලා. උදම් අපර්ණාගෙ අත තද කරලා අල්ල ගත්තෙ මේ අත කවදාවත් අත අරින්නෙවත් අත ඇරෙන්න දෙන්නෙවත් නෑ කියලා තමන්ටම පොරොන්දු වෙමින්.
එදාම දෙන්නගෙ කසාදය තීන්දු උනා. මේ කටයුතු ඉක්මණින් පිළිවෙලක් කරන්න ඕනෙ උනා දෙපැත්තෙම දෙමව්පියන්ට.
____________________________________________________________________
“ඇයි උඹලා මෙහෙම දෙයක් කලේ. අනික අපේ කෙල්ලව අපි මෙහේ ගෙනත් නතර කලෙත් මේ ගැන බලාපොරොත්තු තියාගෙන බව උඹලා දන්නවා.” සිරිනන්ද සද්ද දැම්මේ සේනාධීරලා උදම්ට කසාදයක් තීන්දු කරලා බව ආරංචි උන ගමන්ම ඇවිත්.
“උඹලා යෝජනාවක් ගෙනාවට අපි ඒකට වචනයක් කිව්වෙ නෑනෙ. උඹ එහෙනම් කෙල්ලව මෙහේ නැවැත්තුවෙ යටි අදහසක් තියාගෙන. අපි අපේ දරුවෙක්ට වගේ සැලකුවේ උඹේ කෙල්ලට. අපෙන් ඒ දරුවට වැරැද්දක් උනේ නෑ ඒ වගේම දරුවගෙන් අපිට වැරැද්දක් උනෙත් නෑ. කරුණාකරලා ලමයත් අරන් මෙහෙන් එලියට බහින්න පුලුවන්.” අප්පච්චි කිව්වෙ මුළු ගෙදරම හෙලවෙන තරම් සද්දෙන්.
“අනේ අංකල් මම මෙහෙන් යන්නම්. සමාවෙන්න අප්පච්චිගෙන් කියවුනු වචන වලට.” හිමදි අඬ අඬම අප්පච්චිගෙ කකුල් අල්ලලා වැඳලා සිරිනන්දත් එක්ක සේනාධීර නිවසින් එලියට බැස්සා.
සහස්‍රා අඬ අඬ බලන් හිටියෙ පවුල් දෙක තරහා උනොත් ඇයටයි අනුරාධටයි මොනවා වෙයිද කියලා හිතමින්.
සිරිනන්ද වාහනේට නැග්ගට පස්සේ හිමදි ආයෙම දුවගෙන ගිහින් සහස්‍රාව වැළඳගත්තා.
“මගේ ප්‍රශ්න නිසා ඔයාට අපේ අයියගෙන් ඈත් වෙන්න වෙන්නෙ නෑ කෙල්ල. දුක් වෙන්න එපා. මම මේ ප්‍රශ්න ඉක්මණින්ම විසඳලා ආයෙම එන්නම්. සතුටින් ඉන්න. බායි.” හිමදි සහස්‍රාගෙ මූණ දෝතට අරන් කියලා සහස්‍රාගෙ නළලත් සිප ගෙන ගිහින් වාහනේට නැගලා ගියා. සහස්‍රා එතකොටයි දන්නෙ හිමදි මේ හැමදේම දැනගෙන ඉඳලා කියලා.
“මදැයි යාලුවට උදව් කරන්න ගිහින් උන දේ. ඇත්තටම ඒ පවුලේ ලමයි දෙන්නා විතරයි හොඳ.” අම්මා එහෙම කියලා ගෙට ගියා.
____________________________________________________________________
සනීප වෙලා ඔෆිස් ගියාට පස්සෙ විහංසා උඩ බිම පෙරල පෙරල කවි පොත හෙව්වා.
“මොනවද විහංසා හොයන්නෙ?” මියුරංග ඇහුවෙ බලන් ඉඳලා බැරිම තැන.
“නෑ අයියා මුකුත් නෑ.” විහංසා හිනාවෙලා කිව්වා.
“මේ යකා ඒක දැක්කද දන්නෙත් නෑ.” විහංසා එහෙමත් හිතුවා.
“විහංසා මම කැබින් එක අස් කෙරෙව්වා. වැඩකට නැති කොළ අරවා මේවා අස් කෙරෙව්වා. ඔයාට ඕන දේවල් මොනවා හරි තිබුනද?” මියුරංග ඇහුවේ මේ හොයන්නෙ පොත බව දැනගෙන.
“අහ්… නෑ නෑ අයියේ මුකුත් නෑ. මම මේ මගේ පොතක් බැලුවේ. ඒක ගෙදර ඇති සමහරවිට.” විහංසා කිව්වේ හිතින් දුක් වෙමින්. “අපරාදේ.” විහංසා හිතින් අඬ අඬ එදා වැඩ කරා.
මියුරංග ගොඩාක් ඉවසීමෙන් බලාගෙන හිටියා විහංසාට ඔහුගෙ ආදරය දැනෙනකල්. විහංසාගෙ කවි පොත තාමත් ඔහුගෙ ලඟ. විහංසාටත් ඒක තියපු තැනක් මතක නැතුව ගෙදර ගිහිල්ලත් හොයලා හොයලා බැරිම තැන වෙන නෝට් බුක් එකක් අරන් ලියන්න ගත්තා. දැන් දැන් කෙල්ලත් මියුරංගට ලඟයි වගේ දැනුනා. ඒත් බලාගෙන හිටියා මියුරංගම කතා කරනකන්.
යුවති ටිකෙන් ටික විහංසාගෙ සමාගමයෙන් ඈත් උනා. විහංසා හිතුවෙ චමත් නිසා කියලා. චමත් රට ගියාට පස්සෙ යුවතිට නිතරම කෝල් ගන්නවා ඇති කියලා හිතපු නිසා විහංසා ඇයට කරදර කරන්න ගියේ නෑ.
“සහස්‍රා…” විහංසා සහස්‍රා එක්ක කාමරේට ආවෙ යුවතිගෙ ගැන කතා කරන්න.
“ඕඕ…” සහස්‍රා ගේම් එකක් ප්ලේ කර කර හිටියෙ. ඒ සිහියෙන්ම කතා කලා.
“අපේ චූටි මාර විදියට වෙනස් වෙලානෙ.” විහංසා දුකෙන් කියද්දි සහස්‍රා විහංසාගෙ මූණ දිහා බැලුවෙ අගක් මුලක් නොතේරෙන නිසා.
“ඒ කිව්වෙ?” සහස්‍රා හොඳට හරි බරි ගැහිලා විහංසාගෙ ඇඳෙන් ඉඳගත්තා.
“චූටි ඉස්සර වගේ කතා කරන්නෙ නෑ. අපේ ගෙදර එන්නෙ නෑ. මම ගියත් වැඩිය ගානක් නෑ. අනේ මන්දා මට හිතෙන්නෙ මාව මග අරිනවා වගේ.”
“ඇයි උඹ එහෙම කියන්නෙ. එයාට උඹව මග අරින්න හේතුවක් තියෙනවද?”
“ඒක තමයි මටත් හිතා ගන්න බැරි.” විහංසා දිග හුස්මක් හෙලලා කිව්වා.
“සමහරවිට උඹ අපේ ෆැමිලි එකත් එක්ක ලඟින් ආශ්‍රය කරන නිසා අර එයාගෙ බෝයි උඹ එක්ක වැඩිය ඉන්න එපා කිව්වද දන්නෙ නෑ.” සහස්‍රා ටිකක් කල්පනා කරලා කිව්වා.
“මගේ චූටි ගැන මම දන්නවා බං. යුවති කියන්නෙ කවුරු හරි මාව ආශ්‍රය කරන්න එපා කියලා එයාට කිව්වොත් ඒ කියන කෙනාව අත අරින ජාතියෙ කෙල්ලෙක්. මතකනෙ එයා මාත් එක්ක ඉඳපු හැටි.” විහංසා අතීතය මතක් කරමින් කිව්වා.
“සමී… මට තේරෙන්නෙ නෑ බං. මේ අනේ ඕක අතෑරලා දාලා යමංකො දැන්වත්. බලපං නමයත් පහුවෙලා. ලේස්ති වෙලා එනවා.” සහස්‍රා මේ කතා කරන්නෙ ලබන මාසෙ තියන උදම්ගෙයි අපර්ණාගෙයි වෙඩින් එකට අවශ්‍ය වැඩ වලට යන්න.
දෙපාර්ශවයේම කැමැත්තෙන් උදම්ගෙත් අපර්ණාගෙත් කසාදය ඉක්මණින් කරන්න සූදානම් කෙරුනා. මාසයක් දෙකක් ඇතුලත හැමදේම සූදානම් උනා. උදම් සහස්‍රා මියුරංග අපර්ණා විහංසා මේ පස් දෙනා තමයි වෙඩින් එකේ වැඩ වලට ඇවිද්දේ. සමහර දවසට අනුරාධත් ආවා.
“මේ සමී සුදු අයියත් තව ටිකකින් එයි. ලොකු අයියලා බලාගෙන ඇති අපි එනකන්. ලේස්ති වෙන්නකො අනේ.” සහස්‍රා ආව වෙලාවෙ ඉඳන් කෑගැහුවත් විහංසා තාමත් හිතනවා උදම්ගෙයි අපර්ණාගෙයි වෙඩින් එකේ දෙවනි මනමාලි වෙන එක ගැන.
“අනේ සහස්‍රා මගෙ හිතට හරි නෑ. මම කොහොමද ලොකු අයියගෙ වෙඩින් එකේ දෙවනි මනමාලි වෙන්නෙ.” විහංසා නාහෙන් ඇඬුවා.
“අයියෝ ඔයාව බඳින්න නෙමෙයිනෙ හදන්නෙ. අනික ඔයාට ඉන්න තියෙන්නෙ සුදු අයියා එක්කනෙ.” සහස්‍රා කියද්දි විහංසාගෙ මූණ එළිය වැටුනා.
“ඉන්න මම ලේස්ති වෙන්නම් ඉක්මණට.” විහංසා ඉක්මණින් ලේස්ති උනා. මියුරංගත් ආවෙ විහංසා ලේස්ති වෙලා ඉවර වෙද්දිම වගේ.
“මට දැන්මම ඔයාව මගේ කරගන්න හිතෙනවා විහංසා. ඒත් ඔයා දන්නෙ නෑනෙ මම ආදරේ බවවත් ඔයාගෙ කවි පොත දැකපු බවවත්. වෙලාව ආවම හැමදේම කියලා මම ඔයාව මගේම කරගන්නවා විහංසා.” මියුරංග හිතුවා.
ආයෙත් හමුවෙමු.
Waiting for කඳුලු ලමා….යී….
ඊළඟ කොටස වඩාත් රසවත් කියලා හිතාගෙන බලන් ඉන්න…
බනින්න එපෝ.. කතාව ඉක්මණට ඉවර කරනවෝ…
ඉන්බොක්ස් ෆුල් වෙලා ලමයි. තවත් මැසේජ් නම් එපෝ…
තෙරුවන් සරණයි!