මා නොවේ ඈ නුඹේ 51 කොටස
විහංසා පැයක් විතර බලාගෙන හිටියා චමත්ගෙන් කෝල් එකක් එයි කියලා. ඒත් චමත් ඊට පස්සෙම ඔන්ලයින් හිටියෙ නෑ. විහංසා රෑට කාලා ඇවිත් මියුරංගට කෝල් එකක් ගත්තා.
“නිදියන්න හදන්නෙ අයියේ… චමත් ඔන්ලයින් ආවෙ නෑ. මොකද දන්නෙ නෑ.” විහංසා දුකෙන් කිව්වෙ.
“හ්ම්ම්.. එහෙමද? එයා ඔන්ලයින් ආව වෙලාවකට බලයිනෙ. කෝල් එකක් ගන්න කියලා ඔයාගෙ නම්බර් එක දාලා තියන්න මැණික.” මියුරංග කිව්වෙ කොහොම හරි චමත්ව කන්ටැක්ට් කරගන්නත් ඕනෙ නිසා.
“හ්ම්ම්.. එහෙම කරමු.”
“හා එහෙනම් දැන් නිදියමු නේද? මාත් මෙච්චර වෙලා බලන් හිටියෙ ඔයා කෝල් කරනකන්.” මියුරංග කිව්වා.
“එහෙනම් නිදියමු. බුදු සරණයි. ගුඩ් නයිට්.” විහංසා ආදරෙන් කිව්වම මියුරංග හිනාවෙවී කෝල් එක කට් කරා.
“මොකද මෙයාගෙ මූණෙ මල් පිපිලා.” සහස්‍රා කාමරේට ආවෙ නිකමට. කතාවක් දාගෙන ඉන්න.
“එහෙම එකක් නෑ. මොනවද මෙච්චට රෑ වෙනකන් ඇහැරගෙන කරන්නෙ?” මියුරංග ඇහුවා.
“මට නින්ද යන්නෙ නෑ සුදු අයියා. මොකද මන්දා.” සහස්‍රා කිව්වෙ හිනාවෙවී.
“වෙන මොකටද ඉතින් මනමාල කමනෙ.” මියුරංග විහිලු කලා.
“කාගෙද දන්නෙ නෑ මනමාල කම. මේ සමී මොකද කියන්නෙ? ඒකි මට කතා කලෙත් නෑ දවස් දෙකකින් විතර.” සහස්‍රා තරහෙ කිව්වෙ.
“එයා බිසී මේ දවස් වල. සෑහෙන්න ලොකු මෙහෙයුමක ඉන්නෙ.” මියුරංග හිනාවෙවී කිව්වා. සහස්‍රා හොඳට හරි බරි ගැහිලා ඇඳෙන් වාඩි උනා.
“ඒ මොකද්ද ඒ?” සහස්‍රා ඇහුවෙ ඇස් දෙක නළලෙ තියාගෙන.
“යුවතිගෙ බෝයිව ගෙන්නන්න හදන්නෙ.” මියුරංග කෙටියෙන් කිව්වා.
“ඒක හොඳයි. එතකොට සමීගෙ හිතටත් හොඳයිනෙ. හ්ම්ම්…” සහස්‍රා කල්පනා කර කර කිව්වා.
“හා හා ගිහින් නිදියනවා. මට නිදිමතයි.” මියුරංග කියද්දි සහස්‍රා කොට්ටෙකින් මියුරංගට ගහලා කාමරෙන් ගියා.
විහංසා කෝල් එක කට් කරාට පස්සෙ චමත්ට මැසේජ් එකක් දැම්මා ඇගේ නම්බර් එක. ඔන්ලයින් ආව වෙලාවක දැකලා කෝල් එකක් ගනීවිනෙ කියලා.
පහුවෙනිදා උදේ පාන්දර විහංසා ඇහැරුන ගමන්ම ෆෝන් එක අතට ගත්තා. ඩේටා ඔන් කරලා බැලුවෙ චමත් මැසේජ් කරලද කියලා. ඩේටා ඔන් කරපු ගමන් වයිබර් එකට මැසේජ් ගොඩක් ආවා. විහංසා ඉක්මණින් වයිබර් එකට ගිහින් බැලුවා.
“චමත්…” විහංසාට කියවුනා.
චමත්ගෙන් කෝල්ස් කීපයක්ම තිබුනා. ඊයෙ විහංසා නම්බර් එක මැසේජ් කරලා ඩේටා ඕෆ් කරපු ගමන්ම වගේ අරන් තිබුනෙ. විහංසා ඉක්මණින් කෝල් එකක් ගත්තා.
“හෙලෝ…” චමත් නිදිමතේ වගේ කතා කලේ.
“ගුඩ් මෝනින් මල්ලි. සොරි උදේම කරදර කරාට. ඔයා කෝල්ස් අරන් තිබුනා.” විහංසා කිව්වා.
“ම්ම්.. ඔව් අක්කා. ගත්තා. මගේ මැසෙන්ජර් එකට වෙන වැදගත් කෝල් එකක් ආවා ඊයෙ. ඒ නිසා ඒකට ආන්සර් කලා. හදිස්සියෙම ඔෆිස් එකට එන්න කිව්වා. ඒකයි ඔන්ලයින් එන්න බැරි උනේ.” චමත් කිව්වා.
“ආ ඒකට කමක් නෑ මල්ලි. මට කියන්න පුලුවන්ද ඊයෙ නවත්තපු තැන ඉඳන් ඉතුරු ටික.” විහංසා ඇහුවා.
“හරි අක්කා… එදා යුවී දෙවනි වතාවට මාව මීට් වෙන්න එද්දි එයා ආවෙ හරියටම මියුරංග ඔයාට ආදරේ බව දැනගෙන. එදා මියුරංග යුවීට කියල තිබුනා එයා ආදරේ ඔයාට කියලා.” චමත් කියද්දි විහංසාට මියුරංග ගැන තරහක් ඇති උනා.
“මොකක්?” විහංසා තරහෙන් ඇහුවා.
“ඔව් අක්කා. මියුරංග අයියට ඔයා කියල තිබුනනෙ යුවී මට ආදරේ කරනවා කියලා. ඒක ගැන කතා කරලා යුවීට විශ් කරන්න මියුරංග අයියා කෝල් එකක් අරන් තිබුනා. ඒ වෙලාවෙ යුවී නිකමට වගේ අහල තිබුනා ඔයා මට ආදරේ කලේම නැද්ද කියලා. එතකොට මියුරංග අයියා කියල තිබුනා ඒක යුවීගෙ වරදක් නෙමෙයි විහංසාගෙ ගතිගුණ යුවීගෙන් දැකපු නිසයි යුවීට ආදරේ හිතුනෙ එයා ආදරේ කරන්නෙ විහංසාට කියලා. ඒ වගේම…” චමත් කියපු දේවල් විහංසාට ඇහුනෙ නෑ. ඇස් වලින් කඳුලු හෝ ගාලා වැටෙද්දි විහංසා චමත්ගෙ කෝල් එක කට් කරලා කොට්ටයක් බදාගෙන ඇඬුවා.
“චූටිට එයාගෙ ආදරේ නැති උනේ මං නිසා. මට කවදාවත් මේ පවෙන් නිදහස් වෙන්න බැරි වෙයි. ඇයි අහස් අයියේ මගෙ කෙල්ලට මෙහෙම කලේ. එයා ඔයාට ප්‍රපෝස් කරපු දවස් වල හිටියෙ හරිම සතුටින්. ඔයාගෙ වෙනස්කම් නිසයි එයා චමත්ට ලං උනේ” විහංසා කියව කියවා ඇඬුවා.
“දෝණි… පුතේ.. ඇයි මේ අඬන්නෙ? උදේ පාන්දර.” තාත්තා කාමරේට ආවෙ විහංසාගෙ කියවිල්ල ඇහිලා.
“අනේ තාත්තා….” විහංසා නැගිටලා තාත්තට තුරුල් වෙලා හොඳටම ඇඬුවා.
“ඇයි මගෙ දරුවෝ මේ? මට කියලා ඉන්නකෝ ඔක්කොටම කලින්.” උදේන බය උනා කෙල්ල අඬන හැටි දැක්කම.
“තාත්තා චූටිගෙ ප්‍රපෝසල් එකට චූටි කැමැත්තෙන් හිටියෙ. එක පාරටම චමත් ආවම මම පුදුම උනා. ඒත් එහෙම වෙලා තියෙන්නෙ මම නිසා තාත්තා. අහස් අයියා චූටිට කියලා මට ආදරෙයි කියලා. ඇයි තාත්තා අහස් අයියා මගෙ කෙල්ලට එහෙම කලේ.” විහංසා දිගටම ඇඬුවා.
“පුතේ ආදරේ නොකරන දෙන්නෙක් එකතු වෙනවට වඩා හොඳයි වෙන් වෙන එක. දැන් චූටිට හොඳ පිරිමි ලමයෙක් හම්බවෙලා තියෙනවනෙ.” උදේන විහංසාගෙ හිස අත ගගා කිව්වා.
“නෑ තාත්තා … මගේ චූටි දුකෙන් ඉන්නෙ. එයා සතුටින් නෙමෙයි. එයාගෙ හිතට චමත් ආවෙ අහස් අයියා මගෙ ගැන හිතපු නිසා. මමයි වැරදි තාත්තා. මමයි වැරදි.” විහංසා තමන්ටම වරද පටව ගත්තා. උදේන මුකුත් නොකියා විහංසාගෙ හිස අත ගාමින් හිටියේ ඇගේ හිත හැදෙනකන් අඬපුදෙන් කියලා.
____________________________________________________________________
මියුරංග උදේ ඇහැරිලා කෝල් කරා විහංසාට. ඒත් ෆෝන් එක වැඩ කලේ නෑ. මොකද ඒ කියලා හිතමින්ම ඔහු ලේස්ති වෙලා පහලට ආවා.
“ආ… අද දෝණි කෑම ගේන්නෙ නෑ කිව්වද?” අම්මා ඇහුවෙ මියුරංග කෑම මේසෙට වාඩි වෙද්දි.
“ෆෝන් එකත් වැඩ නෑ. මොකද දන්නෙ නෑ අම්මා.” මියුරංග එහෙම කියලා කෑම බෙදා ගත්තා.
“මලයා අර වැඩේ හරි. කාර් එක අද ගන්න පුලුවන් ඔයාට.” උදම් කිව්වෙ මියුරංග විහංසාට ගත්ත කාර් එක ගැන.
“එල.. එහෙනම් මෙහෙම්මම සේල් එකට යමු නේද. ඔෆිස් එකට එයිනෙ. සර්ප්‍රයිස් කරනවා.” මියුරංග කිව්වා.
“අම්මෝ මල්ලිගෙත් තියෙන්නෙ මාර අයිඩියාස් තමයි නේද?” අපර්ණා කිව්වෙ සහස්‍රාට ඇහැක් ගහලා.
“ඒක තමයි. අනේ ඉතින් අපිට නෑනෙ මේ වගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්” සහස්‍රා මූණත් හකුලන් කිව්වා.
“ආ ඔයාට මොකටද මේ වගේ කෙනෙක්. දැන් ඉන්නෙ ඩොක්ටර් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්.” අප්පච්චි කියද්දි සහස්‍රා බිම බලාගත්තා.
“අපෝ මෙයාගෙ තියෙන ලැජ්ජාව.” උදම් කිව්වා.
“අප්පච්චී මම කියන්නමයි හිටියෙ. අනුරාධ කැළණියෙන් ඉඩමක් ගන්න යනවා. එයා ආස නෑ ගෙයක් ගන්න. මාත් කැමතියි මට ඕනෙ විදියට ගෙයක් හදනව නම්.” සහස්‍රා හෙමිහෙමිහිට කිව්වා.
“ම්ම්… හොඳ අදහසක්. නේද ලොක්කා. මොකද කියන්නෙ?” අප්පච්චි ඇහුවා.
“ඔව් අප්පච්චි. ඒක හොඳයි.” උදම් කිව්වෙ ඇත්තටම අනුරාධ ගැන පැහැදුනු සිතෙන්.
“අනුරාධට කියන්න බබා ඇවිත් මාව මීට් වෙන්න කියලා.” අප්පච්චි කිව්වා.
“හා අප්පච්චි.” සහස්‍රාගෙ හිතට දැනුනෙ සතුටක්. හැමදේම හොඳින් විසඳෙනවා කියලා ඇයට හිතුනා.
කෑම කාලා ඉවර වෙලා උදම් මියුරංග එක්ක කාර් සේල් එකට ගියා.
“අයියා… මේකෙ කලර් එක එදා එකට වඩා පොඩ්ඩක් වෙනස් වගේ නේද?” මියුරංග ඇහුවෙ ගිය පාර කාර් එක හදිසි ඕඩර් එකකට වෙන කෙනෙක්ට විකුණන්න උන නිසා දෙවනි වතාවට ගෙන්නපු කාර් එක දිහා බලමින්.
“ඔව්. කලින් එකට වඩා මේක ඩාර්ක් කලර්. හැබැයි නියමයි. ඇයි හොඳ නැද්ද?” උදම් ඇහුවෙ මියුරංගගෙ මූණ වෙනස් උන නිසා.
“නෑ කලින් එකට වඩා හොඳයි වගේ. හරි එහෙනම් වැඩේ කරමු.” මියුරංග එහෙම කිව්වම උදම් මියුරංගගෙ කරට අතක් දාගෙන ඔෆිස් එකට ගියා.
කාර් එක අරන් මියුරංග කෙලින්ම ගියේ ඔෆිස් එකට. කැබින් එකට ගියත් කවුරුවත් ඉන්න පාටක් තිබුනෙ නෑ.
“සිරිතුංග… කෝ සමින්දි මිස් නැද්ද?” මියුරංග ඇහුවා.
“නෑ සර්. අපි හිතුවෙ අද සරුයි මිසුයි දෙන්නම නිවාඩු කියලා.” සිරිතුංග කිව්වා.
“හරි හරි යන්න එහෙනම්.” මියුරංග ආයෙත් විහංසාට කෝල් එකක් ගත්තා. ඒත් ෆෝන් එක වැඩ නෑ.
“මදැයි සර්ප්‍රයිස් කරන්න සද්ද නැතුව ආවා. ම්ම්… අද මීටින් එකකුත් තියෙනවා… ගිහිල්ලත් බෑ. මොකද කරන්නෙ….” මියුරංග කල්පනා කලා.
“හෙලෝ බබා විහංසාට කෝල් එකක් අරන් බලන්න.” මියුරංග සහස්‍රාට කෝල් එකක් අරන් කිව්වා.
“ඇයි මොකද්ද අවුල?” සහස්‍රා ඇහුවෙ මේ වෙලාවට විහංසා ඔෆිස් එකේ ඉන්න ඕනෙ නිසා.
“අද ඔෆිස් ඇවිල්ලත් නෑ. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. මගෙ හිතට හරි නෑ.” මියුරංග කිව්වා.
“ගෙදරට ගිහින් බැලුවෙ නැද්ද?” සහස්‍රා ඇහුවා.
“මම කාර් එකත් අරන් ආවෙ එයාව සර්ප්‍රයිස් කරන්න හලෝ. කෝල් කලේ නෑ ඒ නිසා. මට තව විනාඩි දහයකින් මීටින් එකක්. යන්න විදියක් ඇත්තෙම නෑ. පොඩ්ඩක් බලන්න බබා.” මියුරංග කිව්වා.
“හරි හරි ෆෝන් එක වැඩ කරන්නෙ නැත්නම් කෝල් කරල වැඩක් නෑනෙ. මම ගිහින් බලන්නම්.” සහස්‍රා කිව්වම මියුරංගගෙ හිතට සැනසීමක් දැනුනා.
“හරි. බුදු සරණයි.” මියුරංග කෝල් එක කට් කරා.
සහස්‍රා ඉක්මණට ලේස්ති වෙලා පහලට බැස්සා.
“අම්මා සමීලගෙ ගෙදර යනවා මම.” සහස්‍රා පහලට ඇවිත් කතා කලා.
“මොකද මේ හදිස්සියෙ. දෝණි වැඩට ගිහිල්ලත් ඇති.” අම්මා කිව්වා.
“ආ නෑනෙ එයා අද වැඩට ගිහින් නෑ. මම ගිහින් බලන්නම් මොකද්ද කේස් එක කියලා.” සහස්‍රා කිව්වා.
“ඇයි මොකද්ද බඩී වෙලා තියෙන්නෙ.” අපර්ණා අමාරුවෙන් ඇවිදන් ඇවිත් ඇහුවා.
“සීතල යුද්ධයක් වෙන්න ඇති. මොනව උනත් පළවෙනි සණ්ඩුවනෙ. දෙන්නටම සිදිල ඇත්තෙ.” සහස්‍රා කියවනවා.
“මොකද්ද කියල කියනවකො අනේ.” අපර්ණා පුටුවකින් වාඩි වෙලා කිව්වා.
“මම දන්නෙත් නෑ. සුදු අයියා දන්නෙත් නෑ. සමීගෙ ෆෝන් වැඩ කරන්නෙත් නෑ. අද ඔෆිස් ඇවිල්ලත් නෑ.” සහස්‍රා කිව්වා.
“මාත් එන්නද බබා.” අම්මා ඇහුවා.
“බෑ බෑ පරක්කු වෙන්න බෑ. මම ගිහින් බලන්නම්.” සහස්‍රා කාර් එකේ කී එකත් අරන් දුවලා ගියා.
“පරිස්සමෙන් බබා.” අම්මා දොරකඩට ගිහින් කිව්වා.
සහස්‍රා යද්දි උදේන හිටියෙ කුස්සියෙ. සහස්‍රාගෙ කාර් එකේ සද්දෙට උදේන ඉස්සරහට ආවා.
“මේ දරුවනෙ. මම බැලුවෙ ඒත් පුතාද කියලා.” උදේන කියද්දි සහස්‍රාට හිනයි.
“අයියට හදිස්සි මීටින් එකක් අංකල්. කෝ අපේ නෑණා පොඩ්ඩ.” සහස්‍රා ඇහුවෙ විහංසා පේන්න නැති නිසා.
“ඉඳගන්න දූ. දෝණි ඔන්න පන්සල් ගියා. හිත හොඳ නෑ උදේ ඉඳන්.” උදේන කියද්දි සහස්‍රා ඉඳගත්තා.
“ඇයි අංකල්. මොකද්ද ප්‍රශ්නෙ. අපේ අයියා දන්නෙත් නෑ මොකද කියලා. එයා එහේ පිස්සු නටනවා ඇති.” සහස්‍රා කිව්වා.
“අර චූටි දූගෙ ප්‍රශ්නයක්නෙ. මොකද්දෝ කියෙව්වා. මේ ළමයාත් දෙයක් ඇහුවම කලබල වෙනවනෙ. දැන් ටිකකට කලින් ගියේ මම එපා කියද්දි. දූ ගිහින් බලන්න. එයාට තේරුම් කරල දෙන්න ඇත්ත නැත්ත.” උදේන කිව්වා.
“මොකද්ද යුවතිගෙ ප්‍රශ්නෙ?” සහස්‍රා ඇහුවෙ මොන මරාලයක්ද කියලා හිතමින්.
ආයෙත් හමුවෙමු.
කතාව ලස්සන කරන්න ඕනෙ ලමයි. එක දිගට ගලාගෙන යද්දි ලස්සනක් නෑ. පුංචි වෙනසක් කරන්න හිතුවා. ඇස් වහ කට වහ යන්නත් ඕනනේ..
දිගටම රැඳෙන්න කතාවත් එක්ක.
තෙරුවන් සරණයි!