මා නොවේ ඈ නුඹේ 54 කොටස

චමත්ගෙන් කෝල් එක එද්දි කට්ටියම කෑම කාලා සාලෙට ආවා විතරයි. විහංසා අපර්ණාට බත් එකක් බඳින ගමන් හිටියේ. ෆෝන් එක රිංග් වෙනවා ඇහුනු විහංසා කුස්සියෙ ඉඳන් ම කතා කලා මියුරංගට.

“අයියේ කෝල් එක බලන්නකෝ…” විහංසා කියද්දි මියුරංග කාමරේට ගිහින් ෆෝන් එක ගත්තා. සහස්‍රාට සතුටුයි. මේ ආදරේ හරි ලස්සනයි නේද කියලා ඇයට හිතුනා.

“යුවති නෙමෙයි මගෙ සුදු අයියට හොඳටම ගැලපෙන්නෙ සමී තමයි.” සහස්‍රා හිතුවා.

“හෙලෝ….” පිරිමියෙක් කතා කරනවා ඇහිලා චමත් ආයෙම නම්බර් එක චෙක් කලා විහංසාගෙ නම්බර් එකමද කියලා.

“හෙලෝ මට මිස් විහංසාට කතා කරන්න පුලුවන්ද?” චමත් බොහොම ආචාරශීලීව ඇහුවා.

“මේ කවුද කතා කරන්නෙ?” මියුරංග ඇහුවා.

“මම චමත්. මේ කතා කරන්නේ..??”

“ආ මල්ලි මම මියුරංග. ඉන්න මම විහංසාට දෙන්නම්.” මියුරංග කිව්වම තමයි චමත්ගෙ හිතට සහනයක් දැනුනෙ.

“නෑ හදිස්සියක් නෑ අයියා. මම බැලුවෙ මේ උදේ කතා කරලා අක්කා තිව්වා එක පාරම. එයා ඔයා එක්ක අවුලක් දාගෙනද දන්නෙ නෑනෙ. මැසේජ් කරාට රිප්ලයිත් නෑ. දෙන්නගෙ අවුලක් නෑ නේද?” චමත් අහද්දි මියුරංගට හිනයි. මියුරංග ෆෝන් එකත් කනේ තියාගෙන ම කෑම කාමරේට ගිහින් විහංසා ඉන්න තැනම ඉඳගත්තා.

“නෑ නෑ මචං. දැන් කොහෙද ඉන්නෙ?” මියුරංග ඇහුවා.

“මම අද නම් නිවාඩු අයියා. රූම් එකට වෙලා ඉන්නවා.”

“අපි ඔයාට කෝල් කරන්න කියලමයි හිටියෙ. මම හිතන්නෙ විහංසා කියයි ඔයාට.” මියුරංග එහෙම කියලා විහංසාට ෆෝන් එක දුන්නා.

“හෙලෝ මල්ලී.” විහංසා කතා කලා.

“කියන්න අක්කා…”

“ඔයාට හදිස්සියෙම එන්න උනොත් සතියක් ඇතුලත වගේ එන්න පුලුවන්ද?” විහංසා ඇහුවා.

“ඇයි අක්කේ? යුවීට මොකක් හරි ප්‍රශ්නයක්ද?” චමත් බය උනා. උදේ ඉඳන් යුවතිගෙන් මැසේජ් එකක් තිබුනෙත් නැති නිසා ඒ බය තවත් වැඩි උනා.

“ආ… නෑ නෑ මල්ලියෝ… එහෙම නෙමෙයි. අපි මේ ඔයාට චාන්ස් එකක් දෙන්න හදන්නෙ යුවතිට ප්‍රපෝස් කරන්න.” විහංසා කියද්දි චමත් කල්පනා කලේ ඒ මොකද්ද කියලා.

“ඒ කිව්වෙ අක්කා.”

“අපේ වෙඩින් එක නෙක්ස්ට් වීක් මල්ලි. ඔයාට එන්නම වෙනවා. ඔන්න අනේ බෑ කියන්න නම් එපා. අපි ඔයාව බෙස්ට්මන්ට සිලෙක්ට් කරලත් ඉවරයි.” විහංසා කියාගෙන ගියා.

“ඕහ් මයි ගෝඩ් අක්කා. මාව?” චමත් ඇහුවෙ පුදුමෙන්.

“ඔව්.. ඇයි බෑ කියන්නද හදන්නෙ? අනේ…” විහංසා චුරු චුරු ගෑවා.

“නෑ නෑ අක්කා. මම එනවා. අනිවාරෙන්ම එනවා.” චමත් කිව්වෙ හිතට ආව ෆිට් එකත් එක්කමයි.

“තෑන්ක් යූ මල්ලි. තෑන්ක් යූ සෝ මච්.” විහංසා සතුටින් ඉපිල ගියා.

“මම පස්සෙ කෝල් එකක් ගන්නම් අක්කා. අයියටත් කියන්න. මට එයාගෙ කන්ටැක් නම්බර් එක එවන්න පුලුවන් නම්. හොඳද?” චමත් කිව්වෙ ඉක්මණින් ෆ්ලයිට් එකක් බලලා ටිකට් එක දාන්න ඕනෙ නිසා.

“හරි මල්ලි. මම එවන්නම්. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරා.

“මොකද කියන්නෙ?” මියුරංග ඇහුවෙ විහංසාගෙ කරට අතක් දාගෙන.

“එන්නම් කිව්වා. ඔයාගෙ නම්බර් එක එවන්න කිව්වා. මැසේජ් එකක් දාන්න මහත්තයෝ. මම පත්තර පිටුවක් අරන් එන්නම්.” විහංසා ෆෝන් එක මියුරංගට දීලා කාමරේට ගියා.

“මොකද දෙවනි මනමාලයා මගද?” සහස්‍රා ඇහුවෙ කතාව අහන් ඉඳලා දෙන්නා ඉන්න තැනට ඇවිත්.

“එනවා එනවා…” මියුරංග කිව්වා.

“හපෝ ලොකු දෙයක්. දැන්වත් මෙයාගෙ අඬෝවැඩියාව ඉවර වෙයිනෙ. චූටි තනියම චූටි තනියම කියලනෙ නැත්නම් මන්තරේ වගේ.” සහස්‍රා විහංසාට ටොක්කක් ඇනලා කිව්වා.

“මේක ගෙනිහින් අපර්ණා අක්කගෙ අතටම දෙන්න….” විහංසා සහස්‍රාගෙ අතට බත් එක දුන්නා.

“අපි යමු නේද එහෙනම්.” සහස්‍රා එහෙම කියල බලන් හිටියා. මියුරංගයි විහංසායි මූණට මූණ බැලුවා.

“ආහ්.. වෙරි සොරි. එහෙනම් බායි කියලා කිස් කරලා එන්න. මම එළියට යන්නම්.” සහස්‍රා ඇහැක් ගහලා එලියට යද්දි විහංසාට හිනයි.

“පිස්සී… ඔහොම..” කියද්දිම මියුරංග ඇගේ කට වැහුවා.

“මම ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.” මියුරංග විහංසාගෙ නලලට හාදුවක් දුන්නා.

“පරිස්සමට ගිහින් කෝල් එකක් දෙන්න. ආහ් ඔයා චමත්ට මැසේජ් එකක් දැම්මද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ අත් දෙකෙන්ම අල්ලන්.

“ඔව් ඔව් මැඩම්. මැසේජ් එකක් දැම්මා….”. මියුරංග විහංසාගෙ නලලට නලල තියාගෙන කිව්වා.

“ආදරෙයී….” විහංසා ඇස් පියාගෙන කිව්වෙ එහෙමම ඉඳන්.

“කෝ එන්න එහෙනම් චුට්ටක්.” මියුරංග විහංසාව තදින් තුරුලු කරගත්‍තා.

සහස්‍රායි මියුරංගයි යනවා බලන් ඉඳලා විහංසා ගෙට ආවෙ ආයෙම වතාවක් කාර් එක අත ගාලා බලලා. ඇයට සතුටුයි ගොඩාක්.

“දෝණි කීයටද පන්සල් යන්නෙ.” උදේන ඇහුවෙ උඩ පැන පැන එන විහංසා දිහා ආදරෙන් බලලා.

“හතර හමාරට විතර යමු තාත්තා. පිරිත් ටිකක් කියව ගන්නත් ඕනෙ මට.” විහංසා කිව්වා.

“කාර් එකටද?” උදේන ඇහුවෙ හිනාවෙලා.

“අනේ හරි නරකයි තාත්තා.” විහංසා ලැජ්ජාවෙ කාමරේට ගියා.

“තාමත් සුවඳයි රත්තරං.” විහංසා එහෙම මුමුණමින් ඇගේ හිස තියන කොට්ටය සිප ගත්තා. ඇය නාගෙන එනකන් මියුරංග ඒ කොට්ටෙ ඇඳ විට්ටමට තියන් හේත්තු වෙලා ඉන්න ඇති කියලා ඇයට හිතුනේ කොට්ටෙ එහෙම තියලා තිබුන නිසා.

“මේ ආදරේ ලබන්න මාත් ගොඩාක් පිං කරල ඇති මගෙ අයියේ.” විහංසා ෆෝන් එකේ තිබුන ඇගෙත් මියුරංගගෙත් ෆොටෝ එකක් දිහා බලන් කිව්වා.

විහංසාට පේනවා වගේ උදේ මියුරංග ඇයව මේ කාමරේදි තුරුල් කරගත්ත හැටි. ඒක මතක් වෙද්දිත් ඇගේ හිතට මොකද්දෝ නුහුරු හැඟීමක් දැනුනා.

“ආදරෙයි කියන්න බැරි තරම්.” විහංසා ආයෙමත් කිව්වෙ මියුරංග උදේ හිස තියන් ඉඳපු කොට්ටෙ පපුවට තුරුල් කරගෙන.

“ම්ම්ම්… මොකක් හරි සර්ප්‍රයිස් එකක් මාත් කරන්න ඕනෙ. දවසින් දවස එයා මට තියෙන ආදරේ වැඩි වැඩියෙන් පෙන්නනවා. මම මොකද්ද කරන්නෙ????” විහංසා කල්පනා කලා.

____________________________________________________________________

“ඔයා නම් මාර ලකී සුදු අයියා.” සහස්‍රා ගෙදර එනගමන් කිව්වා.

“ඇයි ඒ?” මියුරංග බැලුවේ මොකද මේ බටර් පාර කියලා.

“මගේ සමීට හොඳටම ගැලපෙන්නෙ ඔයාව තමයි. සීරියස්ලි මට හිතාගන්න බෑ ඔයාලා දෙන්නා මේ ආදරේ කරන විදිය ගැන. මට නම් කවදාවත් බැරි වෙයි ඔයාලා වගේ ලස්සනට ආදරේ කරන්න.” සහස්‍රා කිව්වෙ හදවතින්ම ආව හැඟීමෙන්.

“ඔයාටත් පුලුවන් අනුරාධට හොඳ පෙම්වතියක් වෙන්න. එතකොට එයත් මම වගේ වෙයි.” මියුරංග කිව්වේ සහස්‍රාගෙ හිස අත ගාලා.

“ඔයා වගේ කෙනෙක් වෙන්න අනුරාධට කවදාවත් බෑ. එයාට ඉතින් ලෙඩ්ඩු ඉන්නවනෙ. ඒ අය ගැන බලනවට වඩා වෙලාවක් එයාට නෑ.” සහස්‍රා කිව්වෙ තරහිනුත් එක්ක. ඇත්ත අනුරාධ ඉඳලා ඉඳලා කෝල් එකක් ගත්තත් ඒ වෙලාවටම කවුරු හරි ලෙඩෙක් කියලා ෆෝන් එක තියන්න වෙනවා. සහස්‍රා හිටියෙ ඒ ගැන කණගාටුවෙන්.

“පිස්සු කෙල්ල. මේක අහන්නකෝ. ඔයාට ඔය ප්‍රශ්නෙ කතා කරන්න පුලුවන් එකම එක්කෙනයි ඉන්නෙ. එයා එක්ක කතා කරලා විසඳුමක් හොයාගන්න.” මියුරංග කිව්වා.

“ඔව් එයා විතරයි තමයි විසඳුම දන්නෙ. ඒත් මේ දවස් වල එයාටට්‍ය් වැඩ වැඩියිනෙ.” සහස්‍රා කිව්වා.

“කවුද එයා??” මියුරංග ඇහුවෙ ඔහු කිව්වෙ විහංසා ගැන නිසා.

“ඔයාගෙ හිතාදර ප්‍රියාවිය වෙන්න වයිෆ් සමින්දි විහංසා.” සහස්‍රා රඟපාලා කියද්දි මියුරංගට හිනයි.

“හ්ම්ම්… එයාට වෙලාව තියෙනවා ඕන තරම්. හෙට එනවනෙ. ආවම අහන්න ඕකට උත්තරයක් එයා හොයලා දෙයි.” මියුරංග මිදුලේ කාර් එක නවත්තලා කිව්වා.

අපර්ණා හිටියෙ මග බලාගෙන. සහස්‍රා දුවගෙන ගිහින් දෑතින්ම බත් එක දුන්නා.

“මෙන්න ඔයාගෙ ආදරණීය නංගි දෙන්න කිව්වා.” සහස්‍රා එහෙම කියද්දි අම්මත් ආවා.

“ඇයි එහෙම කිව්වෙ. ඔයා ආදරණීය නැද්ද?” අම්මා ඇහුවෙ සහස්‍රාගෙ හිස අත ගාලා.

“මම ඉතින් මෙයාගෙ වන් ඇන්ඩ් ඔන්ලි නෑණානෙ. නේද ලොකු නෑණේ…” සහස්‍රා අපර්ණාගෙ නිකටෙන් අල්ලලා එහෙම කියලා උඩට දිව්වා.

“අම්මෝ… සුව…ඳයි මල්ලී. රසත් ඇති ඒ වගේම.” අපර්ණා බත් එක දිහ අරින්න කලින්ම ඉඹලා කිව්වා.

“කන්න කන්න. අපි ඉක්මණට ආවෙත් ඔයාට බත් එක ගේන්න ඕනෙ නිසා.” මියුරංග කිව්වා.

“ඒ කියන්න්ව් තව පරක්කු වෙලා එන්න ඉඳලා තියෙන්නෙ.” අම්මා හිනාවෙවී මියුරංගගෙ පිටට එකක් ගැහුවා.

“තව සතියක් තියෙනවනෙ මල්ලි. ඉවසල ඉන්න. ඊට පස්සෙ හැමවෙලාවෙම ලඟනෙ.” අපර්ණා හෙමි හෙමිහිට කෑම මේසෙ ලඟට යන ගමන් කිව්වා.

“තිලකා… පොඩ්ඩක් එන්න.” අප්පච්චි කාමරේ ඉඳන් කතා කලේ හවස ගෙදර ඇවිත්.

“ඇයි අප්පච්චි.” අම්මා තේ එකත් අරන් කාමරේට ගියා.

“කෙල්ල හෙට එනවා කිව්වද?” අප්පච්චි මේ අහන්නෙ විහංසා ගැන.

“හෙට එන්නම් කිව්වා. අප්පච්චි… ඔයාට කියන්න අද අපර්ණාට කෑම එකක් එවලා තිබුනා මුලු ගෙදරම සුවඳයි බත් එක දිග අරිද්දි.” අම්ම කිව්වෙ හොඳට හරි බරි ගැහිලා ඇඳෙන් වාඩි වෙලා.

“ම්ම්ම්… එහෙනම් අපිට ඊළඟ ලේලිගෙනුත් කටට රහට කෑම කන්න පුලුවන් වෙයි. නේද?” අප්පච්චි කිව්වා.

“ඔව්. කොහොමත් මාත් දැන් බණක් භාවනාවක් කරන් ඉන්න ඕනෙ කාලෙනෙ අප්පච්චි. අපර්ණාත් බබා ලැබුණම ටික දවසක් යනකන් ගෙදර වැඩ වලින් නිදහස් කරන්න ඕනනෙ.” අම්මා කල්පනා කර කර කිව්වා.

“හ්ම්ම්… ඔක්කොටම කලින් මේ උදේන කැමති වෙන්න එපයි මෙහෙට එන්න. නැත්නම් ඔය කෙල්ල අපේ ගෙදරට එයි කියලා මම හිතන්නෙ නෑ අම්මා.” අප්පච්චි තේ එක තොල ගාන ගමන් කිව්වා.

“ඒක නම් ඇත්ත තමයි. ඒ උනාට සුදු පුතා කිව්වනෙ දෝණිලාගෙ ලොකු තාත්‍තලා එහේ ගෙනත් නවත්ත ගන්නවා කියලා. එතකොට තනියක් නෑනෙ. ඕනෙ නම් දවස ගානෙ හරි ගිහින් බලලා එන්න බැරියැ.”

“ඒකත් ඇත්ත. බලමු බලමු. හෙට ආවහම කතා කරමුකො.” අප්පච්චි තේ එක බීලා මග් එක අම්මගෙ අතට දීලා ඇඳේ හාන්සි උනා.

____________________________________________________________________

විහංසා තාත්තත් එක්ක පන්සල් ගිහින් එන ගමන් ආප්පයි ලුණු මිරිසුයි අරන් ආවා රෑ කෑමට. ඒවා කාලා එහෙම මියුරංගට කෝල් එකක් ගත්තා.

“හෙලෝ… පන්සල් ගිහිල්ලා ආවද මැණික.” මියුරංග ඇහුවා.

“ම්ම්ම්… ඔව්.. පන්සල් ගිහින් ඇවිල්ලා කෑම කාලා තමයි මේ ගත්තෙ.” විහංසා කියන විදියට මියුරංගගෙ හිතේ ආදරේ එන්න එන්නම වැඩි වෙනවා.

“මොනවද කෑවෙ?”

“ආප්පයි ලුණු මිරිසුයි. රසා…..යි.” විහංසා හුරතල් උනා.

“ආප්ප කෑවට කමක් නෑ ඔන්න අද උදේ වගේ එක පාරම වෙනස් වෙන්න ඔට්ටු නෑ.” මියුරංග විහිලුවට කිව්වෙ. ඒත් ඒකෙන් විහංසාගෙ හිත රිදුනා.

“සමාවෙන්න මගෙ අයියේ. මට දුක හිතුනා මම නිසයි..” විහංසා කියාගෙන යද්දිම මියුරංග ඒක නැවැත්තුවා.

“ෂ්ෂ්ෂ්ෂ්.. ඒක ඉවරයි. දැන් ආයෙ ඒක ගැන කතා ඕනෙ නෑ.” මියුරංග කිව්වා.

“හ්ම්ම්… චමත් කෝල් කරාද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ නම්බර් එක ඉල්ලුව නිසා.

“නෑ… වැඩ වෙන්න ඇති.”

“මේ රෑ???” විහංසා පොඩි එකෙක් වගේ කතා කරද්දි මියුරංගට දැන් දුවගෙන එන්න හිතෙන තරම්ེ

“හුරතල් වෙන්න එපා මගෙ කෙල්ල. මට එන්න හිතෙනවා ගෙදරට.” මියුරංග කිව්වා.

“මම තියන්නම් එහෙනම්. බුදු සරණයි. ගුඩ් නයිට්.” විහංසා හිනාවෙලා කිව්වා.

“හ්ම්ම්… මම එනකන් ඔය ඇඳ විට්ටමට තියලා තියෙන කොට්ටෙත් තුරුල් කරන් නිදියන්න. ආදරෙයි මගෙ මැණිකට. බුදු සරණයි. ගුඩ් නයිට්.” මියුරංග කෝල් එක කට් කරා.

විහංසාට ලෝබයි.. ෆෝන් එක පැත්‍තකින් තියලා විහංසා කොට්ටෙත් තුරුල් කරන් කල්පනාවට වැටුණා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *