මා නොවේ ඈ නුඹේ 61 කොටස

ගෙදර හැමෝම සතුටින් හිටියෙ. අම්මයි අප්පච්චියිත් උඩ කාමරේකට ගිහින් විහංසායි මියුරංගයි පහල කාමරේකට යැව්වා. විහංසාට උඩ තට්ටුවට යන එක තහනම් කරා.

“ඔන්න ආයෙ උඩට ගිහින් අහු වෙන්න එපා. මතකනෙ අක්කා ප්‍රෙග්නන්ට් කිව්වම ඔයා කිව්වෙ උඩ තට්ටුවට නගින්න දෙන්න එපා කියලා.” මියුරංග මතක් කරලා දුන්නා.

“හරි හරි අනේ… අප්පච්චි ඇයි මේ ගෙදර තට්ටු දෙකකට හැදුවේ.” විහංසා මූණත් ඇඹුල් කරන් අහද්දි කට්ටියටම හිනයි.

“මතකද ලොකූ මාත් ඕක ඔය විදියටම ඇහුවා.” අපර්ණා උදම්ගෙන් ඇහුවා.

“ඔව් දෝණි. අක්කත් ඕක ඔය විදියටම අහලා තියෙනවා. ඒ උනාට දැන් උඩට යන්න කැමති නෑ.” උදම් හිනාවෙවී කිව්වා.

“හරි හරි ඒක හරි කියමුකො. දැන් එතකොට මෙයා මගේ වෙඩින් එකට එන්නෙත් නැද්ද?” සහස්‍රා ඉඳලා ඉඳලා ඇහුවා.

“ඇයි ඒ?” විහංසා ඇහුවෙ පුදුමෙන්.

“නෑ ඉතින් හෝල් එක තියෙන්නෙ තර්ඩ් ෆ්ලෝ එකේනෙ.” සහස්‍රා මූණ පුම්බන් කියද්දි අපර්ණා විහංසාට ඇහැක් ගැහුවා.

“අප්පා… ඒක අමතක උනානෙ. මෙයාට යන්න හොඳ නෑ.” අපර්ණා ඔලුවෙ අත ගහන් කිව්වා. විහංසා හිනාව තද කරන් හිටියෙ හරි අමාරුවෙන්.

“අනේ මේ නිකන් ඉන්නවා අක්කා. සමී එනවා නේද?” සහස්‍රා විහංසාගෙ අත් දෙකෙන් අල්ලන් අහද්දි විහංසාට දුකයි ඉතින්.

“පිස්සී… මම නෑවිත් ඉන්නවද?” විහංසා සහස්‍රාව තුරුල් කරන් කිව්වා.

“හා හා එන්න ලමයි කෑමට..” අම්මා කතා කරාම කට්ටියම කෑමට ගියා. බත් එක බෙදුවා විතරයි විහංසාට කන්න බැරි උනා.

“එක්ස්කියුස් මී.” විහංසා නැගිටලා කාමරේට දිව්වෙ වමනෙ යන්න එන නිසා. බත් දැක්කත් ඇයට අප්පිරියාවක් දැනුනා.

“මම බලන්නම්. ඔයාලා කන්න.” අපර්ණා නැගිටලා යන්න හදද්දි මියුරංග කාමරේට ගියා.

“මගෙ මැණික මොකද? ඔයාට අමාරුයිද?” විහංසා හෝ ගාලා වමනෙ දානවා. මියුරංගට දුකයි.

ටිකකින් මූණ සෝදවලා මියුරංග විහංසාව ඇඳට එක්කන් ආවා.

“ඔයා ගිහින් කාලා එන්න. මම මෙහෙම ඉන්නම්.” විහංසා ඇඳෙන් හාන්සි වෙලා කිව්වා.

“මෙච්චර දවසකට ඔයා නැතුව මම මේ ගෙදරදි බත් කටක් කෑවද?” මියුරංග විහංසාගෙ හිස අත ගාමින් ඇහුවා.

“ඒ උනාට ඉතිං කාලා එන්න. මට කන්න අමාරුයිනෙ. ඔයා බඩගින්නෙ ඉන්න ඕනෙ නෑ.” විහංසා ඇස් වලින් කඳුලක් බේරිලා යද්දි කිව්වා. මියුරංග ගිහින් කාමරේ දොර වහලා ඇවිත් විහංසා ලඟින්ම හාන්සි උනා.

“ඉතින් මගෙත් දරුවනෙ. මාත් බඩගින්නෙ ඉන්නම්. මගෙ මැණිකට අමාරුද?” මියුරංග ඇහුවා.

මුලු ඇඟම පණ නැති වෙලා යද්දි විහංසා අමාරුවෙන් මූණට හිනාවක් අරන් හිස වැනුවේ අමාරුවක් නෑ කියන්න.

“දෝණි…. මම එන්නද?” දොර ලඟින් ඇහුනෙ හුරු කටහඬක්. විහංසා කල්පනා කලා ඒ කවුද කියලා. මියුරංග ගිහින් දොර ඇරියා.

“ආහ් ආන්ටි.. කොහොමද? එන්න එන්න.” මියුරංග කතා කලා. ඇවිත් හිටියෙ වන්දනායි දයානුයි.

“මගෙ දෝණි මම මේ ආරංචිය ලැබුන ගමන් දුවන් ආවෙ. මගෙ කෙල්ලට කන්න බෑ කියන්නෙ ඇත්තද?” වන්දනා විහංසාගෙ හිස අතගාමින් ඇහුවා.

“කටේ තියන්න තියා දැක්කත් වමනෙට එනවා අම්මා.” විහංසා අප්පිරියාවෙන් කිව්වා. වන්දනාට හිනයි.

“චූටි ලැබෙන්න ඉද්දි මටත් ඔහොමයි. අම්මෝ කන්න නැතුව ඇඟට පනත් නෑ. අන්තිමට සේලයිනුත් දුන්නා.” වන්දනා කිව්වා.

“මම කිරි එකක් හදන් එන්නද මැණික?” මියුරංග හිස අතගාමින් අහද්දි විහංසාට දුකයි.

“හා…” විහංසා කිව්වෙ ඇයට බැරි නම් මියුරංගට හරි බොන්න දෙන්න පුලුවන් කියලා හිතලා.

“මගෙ දෝණි ආස කෑමක් තියෙනව නම් මට කියන්න මම හදන් එන්නම්.” වන්දනා ආදරෙන් කියද්දි විහංසාට මතක් උනේ අම්මත් හිටියා නම් මේ වගේම ලඟට වෙලා ඉඳියි කියලා.

“මොකද අපේ කෙල්ල කියන්නෙ?” අම්මා ආවෙ එහෙම අහගෙන.

විහංසා කොට්ටෙ ඇඳ විට්ටමට තියලා නැගිටින්න හැදුවේ.

“එපා එපා හාන්සි වෙලා ඉන්න මගෙ දුව.” අම්මා කිව්වා. විහංසාට ආයෙමත් අම්මව මතක් වෙලා ඇස් අගට කඳුලක් ආවා.

“හරි හරි දැන් කතාව නවත්තලා මේ කිරි එක බොන්නකෝ.” මියුරංග කිරි එකත් අරන් කාමරේට ආවා. විහංසා ඒක අතට ගත්තා විතරයි ඇයට ආයෙත් වමනෙට ආවා. මියුරංග කිරි එක ටේබල් එක උඩින් තියලා දුවද්දි වන්දනායි අම්මයි බලන් හිටියෙ දුකෙන්.

“පව් කෙල්ල.” අම්මට කියවුනා.

“ඔය කාලෙට කොහොමත් ඔහොම තමයිනෙ අක්කෙ.” වන්දනා කිව්වෙ දුකෙන්.

“යමු නංගි මොනව හරි බීලා ඉමු.” අම්මා වන්දනා එක්ක කාමරෙන් ගියා.

” මොකද කෙල්ල කියන්නෙ?” දයාන් ඇහුවෙ මාර සතුටකින්.

“අනේ දරුවට මුකුත් කන්න බෑනෙ. පව්. අර දරුවා අරන් ආව කිරි එක අතට ගත්තෙත් නෑ වමනෙ යනවා.” වන්දනා දයාන්ගෙ ලඟින් ඉඳගෙන කිව්වා.

මියුරංග හෙමිහිට වත්තම් කරන් විහංසාව කාමරේට එක්කන් ඇවිත් ඇඳෙන් හාන්සි කරා.

“අනේ මට පේන්න කිරි ඔයාවත් බොන්න එපා. මට ගඳයි.” විහංසා නහය හකුලන් කියද්දි හිනත් එක්ක. ඒත් මියුරංගට දුක හිතුනා.

“හරි හරි ඔන්න ඔයාට පේන්න ගේන්නෙත් නෑ. මම බොන්නෙත් නෑ. මගෙ මැණික කියන්න මොනවද ඕනෙ?” මියුරංග හිස අත ගාමින් ඇහුවා.

“මට තාත්තව බලන්න ඕනෙ.” විහංසා අහිංසක විදියට කියද්දි මියුරංගගෙ පපුව පිච්චිලා ගියා.

“හා…ලේස්ති වෙන්නකො එහෙනම්. අපි ගිහින් එමු.” මියුරංග කියද්දි විහංසාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා.

වන්දනායි දයානුයි යනවත් එක්කම දෙන්නත් ලේස්ති වෙලා ගෙදර ගියා.

“තාත්තා ….” විහංසා උදේනට තුරුල් උනා.

“මොකද මගෙ කෙල්ල කන්නෙ නෑ කියන්නෙ. මොනවද කන්න ආස? ආප්ප.. ඉඳි ආප්ප.. නැත්නම් තෝසෙ…ම්ම්ම්?” උදේන ඇහුවා. විහංසාලා ගෙදරින් පිටත් වෙද්දිම සහස්‍රා කෝල් කරලා කිව්වා විහංසා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ කියලා. උදේන මග බලන් හිටියෙ ඒකයි.

“තාත්තා උයපු රතු කැකුලු බතුයි පොල් සම්බෝලයි හාල් මැස්සො බැදුමයි.” කියද්දිත් විහංසාගෙ කටට කෙල උනනවා. මියුරංගත් විහංසාගෙ ගානටම බඩගින්නෙ හිටියෙ. ඒ නිසා ඔහුටත් බඩගිනි දැනුනා.

“හාන්සි වෙලා ඉන්න එහෙනම්. මම ටක් ගාලා උයන්නම්.” උදේන කුස්සියට දිව්වෙ එහෙම කියාගෙන. ඇත්තටම ඇඟට හොඳ සනීපයක් දැනුනා විහංසාට.

“මට ගෙදර ආවත් ඇති වගේ. හරිම සනීපයි.” විහංසා ඇඳේ හාන්සි වෙලා කිව්වා.

“තියෙන කපටිකමනෙ. වෙන මොකද්ද.” මියුරංග බොරු තරහකින් කියද්දි විහංසාගෙ ඇස් වලට කඳුලක් ඉනුවා.

“අනේ…”

“හරි හරි දරුවෝ මම බොරුවට කිව්වෙ. ලෝකෙම තියෙන සැප සම්පත් තිබුනත් අපිට වටින්නෙ අපේ ගෙදර. ඒක හරි. මාත් ආසයි මෙහේ ඉන්න. අපි ආයෙම ටික දවසක් මෙහෙ ඉමු එහෙනම්.” මියුරංග කියද්දි විහංසාට ලස්සන හිනාවක් ආවා.

“තෑන්ක් යූ.” විහංසා මියුරංගගෙ බාහුවක් බදාගෙන කිව්වා.

“මම ගිහින් තාත්තට උදව් කරලා එන්නම්. ඔයා ටිකක් නිදියන්න.” මියුරංග එහෙම කියලා කුස්සියට ගියා.

විහංසාගෙ ෆෝන් එක රිංග් උනේ ඒ එක්කම වගේ. සහස්‍රා.

“හෙලෝ…”

“මට පාලුයි යෝදියේ. මාත් එනවා ඔයාලගෙ ගෙදර.” සහස්‍රාගෙ චුරු චුරුව.

“එන්න එහෙනම්. අයියා කැමතියි අපි ටික දවසක් මෙහෙ ඉන්නවා.” විහංසා කිව්වා.

“ටික දවසක් කියන්නෙ? වෙඩින් එකට එන්නෙත් එහෙ ඉඳන්ද?” සහස්‍රා අහද්දි විහංසාට සහස්‍රාගෙ මූණ මැවිලා පෙනුනා.

“නෑ නෑ මට ඉක්මණට කන්න පුලුවන් උනොත් දවසකින් දෙකකින් එන්නම්.” විහංසා කිව්වා. ඒත් ඇගේ හිත කැමති හැමදාම හරි මෙහේ ඉන්න.

“නෑ නෑ කෙල්ල… කමක් නෑ ඔයාට සනීප වෙනකන් ඉන්න. මෙහෙ ඇවිත් ඇඳක් උඩට වෙලා ඉන්නවට වඩා හොඳයි ඇවිදලා හරි ඉන්නව නම්.” සහස්‍රා කිව්වෙ මහ ගෑණියෙක් වගේ.

“අනේ අනේ බඩී උඹ මහ ගෑණියෙක් වගේ කියන හැටි. උඹ ගියාම මට පාලු දැනෙයි.” විහංසා කිව්වෙ දුකෙන්.

“මහ ගෑණියෙක් නොවුනත් මට මතකයිනෙ අක්කා බබා ලැබෙන්න ඉද්දි විඳපු දුක.” සහස්‍රා කිව්වා.

“කෑම ලේස්තියි යමු.” මියුරංග කාමරේට ආවෙ එහෙම කියාගෙන.

“ඔයා ලඟත් පොල් සම්බල් සුවඳයි.” විහංසා හිනාවෙවී කිව්වෙ ඇය හිටියෙ හොඳටම බඩගින්නෙ නිසා.

“හා එහෙනම් හොඳ කෙල්ල වගේ බඩ පැලෙන්න කන්න. මම තියන්නම්. බුදු සරණයි.” සහස්‍රා කිව්වා.

“හරි කෙල්ලේ.. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කරලා නැගිට්ටෙ ඇඟට අමුතුම පණක් ආවා වගේ.

“යමු.” මියුරංග විහංසාගෙ නලලට හාදුවක් දීලා කෑම කාමරේට එක්කන් ගියා.

“මම පරිප්පුවකුත් හැදුවා. මේ දෙකත් එක්ක ගානට යනවනෙ. දෝණි ඉඳගන්න. කන්න. පුතා ඔයත් කන්න.” උදේන සතුටින් එහෙට මෙහෙට දුව දුව කියනවා. විහංසා හිනාවෙවී බත් හැන්දක් බෙදාගත්තෙ තාත්තා ආසාවෙන් හදපු එක කන්න බැරි උනොත් කියලා බයෙන් බයෙන්.

එක බත් හැන්දෙන් පටන් ගත්ත කෑම බත් හැඳි හතරක් පහක්ම විහංසා කෑවා. මියුරංගටයි උදේනටයි හරිම සතුටුයි.

“රසයි තාත්තා. දැන් නම් බඩේ ඉඩ නෑ. නැත්නම් තව කන්න තරම් රසයි.” විහංසාගෙ මූණට දැනුයි ලේ ටිකක් උනලා රෝස පාටට හැරුනේ. මියුරංගත් බඩ පිරෙන්න බත් කෑවෙ විහංසාගෙ හිනාව දැක්කට පස්සෙ තමයි.

“දැන් ටිකක් එලියට වෙලා ඉන්න හුළඟ ටිකක් වදින්න. කාපු ගමන් හාන්සි වෙන්න හොඳ නෑ ඔය කාලෙට.” උදේන එහෙම කියලා කුස්සිය අස් කරන්න ගත්තා.

“තාත්තා කෑවද?” විහංසා ඇහුවා.

“මම දවල්ට කාලා හිටියෙ දෝණි.” උදේන හිනාවෙවී කියලා ආයෙත් කරපු වැඩේම නිරත උනා.

දවස් හතරක් ගෙවිලා විහංසායි මියුරංගයි ආයෙම ගෙදර ගියේ සහස්‍රාගෙ ඇවිටිල්ල නිසාමයි. විහංසාගෙ හිත නම් තාත්තා එක්ක ඉන්නමයි. ඒත් සහස්‍රා පව් නිසා ගියා.

“අම්මෝ දැන් නම් කෙල්ලගෙ මූණ එළිය වැටිලා. දැන් කන්න පුලුවන්ද?” අම්මා ඇහුවෙ විහංසාගෙ හිස අත ගාමින්.

“තාමත් තාත්තගෙ කෑම තමයි කන්න පුලුවන්.” විහංසා හිනාවෙලා කියද්දි කට්ටියටම හිනයි.

“හා හා එහෙනම් දෝණිට තියෙන්නෙ හිතේ ලෙඩක්. සීයට ආදරේ මුණුබුරෙක් වෙන්න ඇති එන්න ඉන්නෙ.” අප්පච්චි කියද්දි විහංසා මූණ දිහා බැලුවා.

“මුණුබුරෙක්?” මියුරංග ඇහුවා.

“ඔව්.. මට දැන් මිනිබිරියෙක් ඉන්නවනෙ. ඉතින් මුණුබුරෙක් තමයි ඕනෙ.” අප්පච්චි ආඩම්බරෙන් කිව්වා.

“ඒක තමයි මල්ලී දැන් පවුල කම්ප්ලීට් වෙන්න මුණුබුරෙක් විතරයි ඕනෙ.” අපර්ණා කෙලි පොඩිත්තත් එක්ක ඇවිත් විහංසාගෙ ඇඳෙන් තියලා කිව්වා.

“සෝස මල… ආවද පුංචි බලන්න. ම්ම්…” විහංසා බබාව සුරතල් කලා.

“රෝස මල චූටි අම්මට ආදරේ උනේ මට කන්න බැරුව ඉද්දි කෑම ගෙනත් දුන්නෙම සමී නිසා. හැබැයි එන්න ඉන්න බබා නම් ලොකු අම්මට ආදරේ වෙන එකක් නෑ. ඇයි ඉතින් මෙයාට කාගෙවත් කෑම කන්න බෑනෙ.” අපර්ණා අප්සට් එකෙන් කිව්වෙ.

“අනේ පස්සෙ හරියයි නේද අම්මා.” මියුරංග කිව්වෙ අපර්ණා ගැන ඇති උන දුකෙන්මයි.

“ඔව්… ඒක හරියයි. මෙයා බයේ බබා මෙයාට කැමති වෙන එකක් නෑ කියලා.” සහස්‍රා හිනාවෙවී අපර්ණාට ඇන්නා.

“ඒයි කොල්ලෝ ඔන්න නැන්දට අකමැති උනොත් නම් අම්මට ගෙදර ඉන්න දෙන්නෙත් නෑ මම නම්.” සහස්‍රා විහංසාගෙ කුසට ලං වෙලා කියද්දි අම්මා සහස්‍රාගෙ කන මිරිකුවා.

“මෝඩි. එහාට වෙලා ඉන්නවා. ඉන්න පුතේ මම ඔයාට ආප්ප ටිකක් හදලා දෙන්නම්. ඔයා ආසයි කියලා තාත්තා කිව්වා.” අම්මා විහංසාගෙ හිස අත ගාලා කියලා කුස්සියට ගියා.

හෙට සහස්‍රාගෙ වෙඩින් එක. දැනට නම් විහංසා සනීපෙන් හිටියා. දැන් කෑම උනත් මුලදි තරම් අප්පිරියාවක් නෑ.

“සමී…” සහස්‍රා විහංසා හොයාගෙන ආවෙ හොඳටම රිදුනු සිතින්.

“අපෝ මේ මොකද මළ ගෙදරක යන්නද?” මියුරංග ඇහුවේ නාලා ඇවිත් කොණ්ඩෙ පිහිදාන ගමන්.

“අනේ යනවා සුදු අයියා යන්න. සමී මට දුකයි හලෝ.” සහස්‍රා විහංසාගෙ පපුවට හිස තියාගෙන ඇයව තුරුල් කරගත්තා.

“අපිටත් දුකයි කෙල්ලෙ. උඹ නැතුව මුලු ගෙදරම පාලු වෙයි.” විහංසා සහස්‍රාගෙ හිස සිඹිමින් කිව්වා.

“බබා දුකෙන් ඉන්නෙ මොකටද සුපිරි ඩොකෙක් සෙට් වෙලා ඉද්දි.” මියුරංග කිව්වෙ සහස්‍රාව අවුස්සගෙන ඇගේ දුක නැති කරන්න ඕනෙ නිසා.

“එයා සැරයි සුදු අයියා. ඔයාලා තරම් ආදරේ නෑ මට කවුරුවත්.” සහස්‍රාගෙ ඇස් වලින් කඳුලක් වැටෙද්දිම මියුරංග කාමරෙන් ගියේ දුක දරා ගන්න බැරි නිසා. විහංසා සහස්‍රාගෙ හිස අත ගගාම හිටියා.

“ඒ අනේ ලමයි මට උඩට වෙලා තනියම ඉන්න බෑ බං. මේ අරූට අද උඩට යන්න කියලා අපි තුන් දෙනා අද මේකෙ නිදියමු. කෙල්ලත් ගේන්නම්.” අපර්ණා කාමරේට ඇවිත් කියද්දි සහස්‍රා අපර්ණාගෙ උරහිසට හේත්තු උනා.

“අපි දෙන්නගෙම වෙඩින් වලදි ඔයා තමයි වැඩියෙන්ම සතුටින් හිටියෙ. ඒත් හෙට අපිට සතුටින් උඹට සමු දෙන්න බෑ බඩී. මට දුකයි.” අපර්ණා සහස්‍රාව තුරුල් කරන් කියද්දි සහස්‍රාට හයියෙන් ඇඬුනා.

“බඩී අඬන්න එපා කියන්න බෑ මටත්. මේ තරම් ආදරෙන් ඉන්න පවුලකින් වෙන් වෙලා යන්න උනාම දුකයි තමයි. මතකනෙ මම එදා අඬපු හැටි. ඒත් කෙල්ලේ ඉවසන් ඉඳපං.” විහංසා සහස්‍රාගෙ හිස අත ගගා කිව්වා.

“බඩී මොකද මේ? ආ තුන් දෙනාම ටැප් ඇරන්. මල්ලි මේ උඹේ රෙදි තියෙනම් අරන් වරෙන් සෝදගන්න පුලුවන්.” උදම් දරුවත් වඩාගෙන ආවෙ අපර්ණාව හොයාගෙන.

“දරුවා අඬනවා අරෙහෙ. මම බැරිම තැන අරන් ආවෙ.” උදම් අපර්ණාගෙ අතට දූ දෙන ගමන් කිව්වා.

“අනේ නිදි නිසා ආවෙ. මෙයා අඬනවනෙ ලොකූ.” අපර්ණා දරුවට කිරි දෙන ගමන් උදම්ට කිව්වා.

“බඩී… කෝ මෙහෙට එන්නකො අපේ පුංචි හුරතලීනෙ මේ.” උදම් සහස්‍රාට කතා කරාම සහස්‍රා ඇඳෙන් නැගිටලා උදම් ලඟට ගියා.

“හෙට මනමාලියෙක් වෙන්න ඉඳන් ඔහොම ඇඬුවම හරිද?” උදම් සහස්‍රාව තුරුල් කරන් ඇහුවට ඔහුගෙ ඇස් වලත් කඳුලු බව අනිත් තුන් දෙනාම දැක්කා. මියුරංගට නම් කතා කරන්න බෑ ඔහුගෙ ඇස් වල දුක පිරිලා.

“මේ ලෝකෙ ඉන්න හොඳම අයියලා දෙන්නා ඉන්නෙ මට. හොඳම අක්කලා දෙන්නා ඉන්නෙත් මට.” සහස්‍රා අඬ අඬ මියුරංග ලඟට ගිහින් මියුරංගට තුරුල් උනා. ඔක්කොම කට්ටිය අඬනවා. හරියට මළ ගෙදරක යන්න වගේ.

“හරි හරි අද ඔයා අක්කල දෙන්නගෙ ලඟ ඉන්න. අපි උඩට යන්නම්. හරිනෙ.” මියුරංග එහෙම කියලා උදම් එක්ක එලියට ගියා. සහස්‍රා ආයෙම විහංසාගෙ පපුවට හිස තියාගෙන අඬන්න ගත්තා. අපර්ණායි විහංසායි දෙන්නා සද්ද නැතුව හිටියෙ ඇති තරම් අඬපු දෙන් කියලා. ටික වෙලාවකින් සහස්‍රා අම්මලාගෙ කාමරේට ගියා.

“දැන් ගිහින් අඬයි. ඇත්තටම මුලු ගෙදරම පාලු වෙයි බඩී ගියාම.” විහංසා කියද්දි අපර්ණා හිස වැනුවෙ ඒක ඇත්ත නිසා.

ආයෙත් හමුවෙමු.

ආදරෙන් ඉන්න පවුලක් ලැබෙන්න අපි ගොඩක් පිං කරන්න ඕනෙ. විහංසා ඒ අතින් ගොඩක් පොහොසත්. අපි හොඳයි නම් කොහේ ගියත් අපිට සතුටින් ඉන්න පුලුවන්. තේරුනාද ලමයි… 😍😍
ලයික් කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි.
දිගටම රැඳෙන්න යාලුවනේ.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *