මා නොවේ ඈ නුඹේ 66 කොටස

මියුරංග කිරි එකක් හදාගෙන කාමරේට ගියා කාත් එක්කවත් කතා කලේ නෑ ලොකු කල්පනාවක හිටියෙ.

“මල්ලි දැන් දවල්ට කන වෙලාවනෙ කොල්ලෝ.” අපර්ණා කියද්දි මියුරංග ඒ දිහා බැලුවා.

“මෙයා දැන් කනවද අක්කෙ. මහන්සියි කියලා කන්න බෑ කියයි. දැන් කිරි එකවත් පොවාගෙන හවස් වෙලා බත් කවනවා.” මියුරංග කියද්දි සහස්‍රා බලන් හිටියෙ අයියා ගැන ඇති උන ලොකු ආඩම්බරයකින්.

“අපරාදෙ කියන්න බෑ අපේ සමී නම් හරිම ලකී.” මියුරංග කාමරේට යනකන් ඉඳලා සහස්‍රා කිව්වා.

“සමී වගේම මල්ලිත් ලකී. ඒ දෙන්නට දෙන්නා මාර මැචින්.” අපර්ණා කිව්වා.

“ආහ් අපි මැච් වෙන්නෙ නෑනෙ. වරෙන් මල්ලි යන්න.” උදම් අනුරාධ එක්ක උඩ සහස්‍රාගෙ කාමරේට ගියා බෑග් ටිකත් අරන්.

“ආ බබා… සුනේත්‍රා ආන්ටි මොකද කියන්නෙ?” අම්මා ඇහුවෙ දැන් අම්මා කිය කිය කතා කරනවා ඇහුන නිසා.

“මුකුත් විශේෂ දෙයක් නෑ අම්මා. අනේ මට නම් හරිම ආදරෙයි. හිමදි නැති එකට එයා හරි දුකින් ඉන්නෙ. කොහෙද හිමදි කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ.” සහස්‍රා දුකෙන් කිව්වා.

“ඒක කියද්දි මතක් උනේ යුවති කෝල් කරේ නැද්ද?” අපර්ණා ඇහුවෙ සහස්‍රාගෙ අතිනුත් අල්ලගෙන.

“නෑනෙ. මම කන්ටැක් කරගන්න ගොඩක් ට්‍රයි කරා. ඒත් විදියක් ඇත්තෙම නෑනෙ.” සහස්‍රා එහෙම කියලා නැගිට්ටා.

“බඩගිනියි අම්මා. මම වොශ් එකක් දාගෙන එන්නම්. ඒ මේ සෙල්ලම් බඩු ටික රූම් එකෙන් තියාගන්න.” සහස්‍රා එහෙම කියලා උඩට ගියා.

“මැණික මේ කිරි එක බොන්න.” මියුරංග විහංසා කාමරේට එද්දිම කිව්වා.

“නිවෙන්න තියන්න.” විහංසා කොණ්ඩෙ තෙමුනු ටික පිහදන ගමන් කිව්වා.

“කොණ්ඩෙ තෙමුනද? කෝ එන්න මම පිහිදාන්නම්.” මියුරංග ලඟට ගිහින් ටවල් එක අරන් විහංසාගෙ කොණ්ඩෙ තෙමුනු ටික පිස දැම්මා.

දින එක දෙක ගෙවිලා ගිහින් දැන් විහංසාට බබා ලැබෙන්න දිනත් ලඟයි. සහස්‍රා හැම තත්පරේකම විහංසාගෙ ලඟටම වෙලා හිටියේ මියුරංග ගෙදරින් එලියට යන්න කලින් සහස්‍රාට සේරම වැඩ පවරලා යන නිසා. ඒ නැතත් විහංසා ටිකක් දුර්වලවයි හිටියෙ. යුවති කෝල් නොකරන එක ගැන විහංසා හිටියෙ ලොකු සිත් තැවුලකින්. මියුරංගත් උපරිම ට්‍රයි කලා කන්ටැක් කරගන්න. ඒත් බැරි උනා.

වන්දනායි දයානුයි නිතරම ඇවිත් විහංසාගෙ දුක සැප හෙව්වෙ අම්මා තාත්තා තමන්ගෙ දුවෙක්ගෙ ගැන හොයනවා වගේ උවමනාවකින්.

“අම්මා… චූටි කෝල් කරාද?” විහංසා අහන්නෙ සුපුරුදු ප්‍රශ්නෙමයි.

“එයාට එහෙ ගියාට පස්සෙ අපිව අමතක වෙලානෙ දෝණි. මගෙ දුව ඕවා ගැන හිතන්න එපා. ඔයා සතුටින් හිත සැහැල්ලුවෙන් ඉන්න. නැත්නම් පැටියට බලපානවනෙ රත්තරං.” වන්දනා විහංසාගෙ හිස අත ගාමින් කියද්දි විහංසාට දුකයි.

“ඇයි අම්මා චූටිට අපිව අමතක උනේ? එයා ගැන කිසිම ආරංචියක් නැතුව හිත සතුටින් ඉන්නෙ කොහොමද?” විහංසා ඇඬුවා.

“දෝණි දැන් පුතා ආවොත් අපිටත් බැනුම් අහන්න වෙයි ඇවිත් ඔයාව අඬවනවා කියලා. මගෙ මැණික නාඬා ඉන්න. අංකල් ලබන සතියෙ චමත්ගෙ ගෙදර යන්නයි හිතන් ඉන්නෙ.” වන්දනා කිව්වා.

“එහෙට නම් කීප සැරයක්මෙ ඔයාලා ගියානෙ අම්මා. එහේ කවුරුවත් දන්නෙ නෑනෙ මුකුත්ම.” විහංසා සිත් තැවුලෙන් කිව්වෙ. වන්දනා දයාන් විහංසාගෙ කරදරෙන් බේරෙන්න බැරි නිසාම දවසක් චමත්ගෙ මහ ගෙදර යනවා කියලා මාතලේ ගිහින් ආවා. තේරුමක් නැති වැඩක් උනත් යුවතිගෙ කැමැත්‍ත අනුව ඒක කරන්න උනා.

“එහේ නෙමෙයි දෝණි. ඉන්ග්ලන්ඩ් වලට.” වන්දනා ඇස් හංගගෙන කිව්වා.

“ඇත්තමද අම්මා? අනේ මට පුලුවන් තත්වෙක හිටිය නම් මෙලහට ගිහින්.” විහංසා කිව්වා.

“දැන් ඒවා ගැන නොහිතා මගෙ දෝණි හිනාවෙලා ඉන්නකො.” වන්දනා කිව්වා.

“අපි යමු නේද වන්දනා.” දයාන් ඇවිත් ඇහුවා.

වන්දනා දයාන් යුවල ගියාට පස්සෙත් විහංසා හිටියෙ මූණ එල්ලගෙන.

“මොකද්ද බං.. මූණ එල්ලන් ඉන්නෙ හැම වෙලාවෙම. මතකද බඩී මට කෙල්ල ලැබෙන්න ඉන්න කාලෙ මෙයාගෙ තිබුන ලෙක්චර්ස් ගොඩ.” අපර්ණා දුවත් වඩාගෙන ඇවිත් විහංසාගෙ ඇඳෙන් වාඩි වෙන ගමන් කිව්වා. කෙල්ලට දැන් මාස අටක්. පූර්ණි රනුල්‍යා කියලයි නම තිව්වෙ. හැමෝම ආදරේට කිව්වෙ පූ කියලා. සහස්‍රා දුවගෙ අත් දෙකෙන් අල්ලන් සුරතල් කරා. සහස්‍රාට නම් දැන්ම අම්මා කෙනෙක් වෙන්න අදහසක් නෑ.

“චූටි කතා කලේ නෑනෙ අක්කා. මල්ලි ගෙදරටවත් කතා කරල නැද්ද? මේ කෙල්ලට මොනව උනාද දැන් මාස හතක්නෙ.” විහංසාගෙ චුරු චුරුව හැමදාම.

“සමී මේ දැන් එයාලා වෙනම පවුලක්. ඔයා ඇයි මෙහෙම විඳවන්නෙ. එයාට කතා කරන්න අවශ්‍ය නැති නිසා එහෙම ඉන්නවා. ඔයා මොකටද වොරි වෙන්නෙ.” සහස්‍රා හැම වෙලාවෙම හොඳින් කියල කියල ඇති වෙලා තරහෙන් කිව්වෙ.

“ඒක තමයි මාත් කියන්නෙ. කොහෙද මෙයා පණ්ඩිතයිනෙ.” අපර්ණාත් කිව්වා.

“සමී මේ කියන දේ අහපං. යුවති ගියේ මැරි කරලා. අනික කවුද දන්නෙ එයා මෙහෙන් ගියේ ආයෙ නොඑන්නමද කියලා.” සහස්‍රා කටට ආවට එහෙම කිව්වත් විහංසාගෙ මූණෙ ඉරියව් වෙනස් උන පාරට සහස්‍රාට බය හිතුනා.

“උඹ ඇයි එහෙම කිව්වෙ? චූටි එහෙම කිව්වද?” විහංසා සහස්‍රාගෙ අත් දෙකෙන් අල්ලන් ඇහුවා.

“නෑ බං. ඕකනෙ මුකුත් කියන්න බෑ මේ හොල්මන විකාර හිතනවනෙ.” සහස්‍රා විහංසාගෙ අත ගසලා දාලා..

“අක්කා මෙයා එක්ක ඉන්න. එන්න පූ අපි යමු සවුමක්.” සහස්‍රා දරුවත් වඩාගෙන කාමරෙන් ගියා. විහංසා බලන් හිටියෙ හිස් බැල්මකින්. අපර්ණා විහංසාගෙ හිස අත ගගා එක එක ඒවා කියලා ඇගේ හිත සනසන්න උත්සාහ කලා.

“හෙලෝ…” සහස්‍රා කාමරේට ඇවිත් දොරත් වහගෙන කෝල් එකක් ගත්තා.

“කොහොමද දැන් දෝණිට? හොඳින් ඉන්නවා නේද?” යුවති සුපුරුදු විදියටම ඇහුවා.

“ඔව්… එයා හොඳින් ඉන්නවා. නිතරම මතක් කරනවා.” සහස්‍රා හෙමිහිට කතා කලේ.

“මටත් එයාව මතක් වෙනවා ගොඩක්.” යුවති කිව්වා.

“හ්ම්ම්… අන්තිමට මොකද වෙන්නෙ යුවති?” සහස්‍රා ඇහුවෙ මේකෙ කෙළවරක් දකින්න ඕනෙ නිසා.

“ආයෙම මට කෝල් කරන්න එපා. ෆෝන් එක වැඩ කරන එකක් නෑ. දවසක අපි හමුවෙමු. හැබැයි කිසිම දවසක දෝණි මේ ගැන දැනගන්න බෑ. බුදු සරණයි.” යුවති කෝල් එක කට් කරා.

“සමී මේ කිසිම දෙයක් දැන ගන්නෙ නෑ. කවදාවත්ම. ප්‍රොමිස්.” සහස්‍රා මැසේජ් එකක් යැව්වා.

“ඕකේ.” යුවතිගෙන් රිප්ලයි එකක් ආවා.

“මම දන්නෙ නෑ මේ කලේ නිවැරදිම දේ ද කියලා. ඒත් මටත් කරන්න වෙන දෙයක් තිබුණෙ නෑ සමී.” සහස්‍රා ඇස් වල කඳුලු පුරවගෙන කියෙව්වා.

“බඩී පහළට එනවකො වදේ.. කාමරේ අස්සට රිංගන් මොනව කරනවද?” අපර්ණා පහළ ඉඳන් කෑගහනවට සහස්‍රා කඳුලු පිහිදාගෙන කාමරෙන් එලියට ආවා.

“මොකද බං කෑගහන්නෙ. අම්මයි අප්පච්චියි ගෙදර නැති උනාම මුන් දෙන්නට රජ මගුල් වගේ නේ.” සහස්‍රා එහෙම අහ අහ පහලට බැස්සා.

“මේ මෙයාව වඩාගෙන ඇවිද්දලා පුරුදු කරා නම් අරන් ගේ වටේ හරි ඇවිද්දනවා. ඉඳගෙන ඉන්න දෙන්නෙම නෑනෙ.” අපර්ණා මූණත් එල්ලන් කියද්දි විහංසා බංඩියත් උස්සගෙන සාලෙට ආවා.

“බොරුවට ගේ දෙක වෙනකන් කෑගහන්න එපා බං. මගේ කන් දෙකත් හිරිවැටිලා.” විහංසා හිනාවෙවි කිව්වා.

“හා හා ඔයා කොහෙද මේ ඇවිදින්නෙ. දැන් නම් මට බලන් ඉන්නත් බයයි සමී.” සහස්‍රා දුවගෙන ඇවිත් විහංසා අල්ලගෙන ගිහින් පුටුවකින් ඉන්දෙව්වා.

“ඇයි ඒ?” විහංසා ඇහුවා. හිටියට වඩා ඇය ගොඩක් මහත් වෙලා. හැමෝම හිටියෙ තිගැස්මෙන් උනත් විහංසාට ඒක දැන්නුවෙ නෑ. ඒත් හැමෝම හිටියෙ බයෙන්.

“නෑ නිකන්. කොහෙද උඹ ඉතිං ස්කෑන් කරන්න ගියෙත් නෑනෙ. අපරාදෙ. එහෙනම් මේ කුතුහලයක් නෑනෙ මේ තරමට.” අපර්ණාත් ඇවිත් ලඟින් ඉඳගත්තා.

“ඒකනෙ කියන්නෙ. කලින් ඉඳන් දැනගත්තම ඒ සර්ප්‍රයිස් එක නැති වෙනවනෙ බං. උඹලට මොලේ නෑ.” විහංසා හිනාවෙවී කිව්වා.

“උඹට හිනා. බලපං උඹේ මේ බඩ දැක්කම මගේ පපුව හෝස් ගාලා යනවා. බයට.” සහස්‍රා පපුවත් අල්ලන් කිව්වෙ.

“අනේ උඹ මේ කෙල්ලව බොරුවට බය නොකර ඉඳපං. මේ කෙල්ලව අරන් ටිකක් ඇවිදපන්කො වදේ. මට ආසාවට ඉඳගන්න දෙන්නෙ නෑනෙ බලපන්කො.” අපර්ණා චුරු චුරු ගාලා කොහොම හරි සහස්‍රාගෙ අතට කෙල්ලව දීලා විහංසා එක්ක කතාවට වැටුනා.

මියුරංග අද වේලාසනින් ගෙදර ආවෙ විහංසා ගැන මොකද්දෝ බයක් දැනුන නිසාමයි.

“අද කලින්ම ඇවිත්.” විහංසා පුටුවෙන් නැගිටින්න හැදුවා.

“ඔහොම ඉන්න ඔහොම ඉන්න. මම වේලාසනින් ආවා මගෙ මැණිකට පාලු ඇතිනෙ කියලා.” මියුරංග විහංසාගෙ නළල සිප ගෙන කිව්වා.

“මට පාලු කොහෙද මේ ඉන්නෙ දෙපැත්තෙ ඉඳන් කියවන්න දෙන්නෙක්ම.” විහංසා කිව්වා.

“අම්මයි අප්පච්චියි කෝ?” මියුරංග ඇහුවෙ පේන්න නැති නිසා.

“අම්මා භාවනා මධ්‍යස්ථානෙට ගිහින් අප්පච්චිත් පන්සලට යන්න ඕනෙ කිව්වා.” සහස්‍රා කිව්වා.

“අක්කා කෝ පූ?” මියුරංග ඇහුවෙ කෙල්ල පේන්න නැති නිසා.

“නිදි. අපෝ මේකි වගේමයි සුදු අයියා මට වධ දෙන්නමයි බලන් ඉන්නෙ.” සහස්‍රා අපර්ණාට ඇඟිල්ලකින් ඇනලා කියලා දෙන්නත් එක්ක පුටු කොට්ට වලින් ගහ ගත්තා.

“හෝව් හෝව් මම මෙයාව මෙතනින් අරන් ගියාට පස්සෙ කන්ටිනිව් කරන්න. හරිද?” මියුරංග විහංසාව නැගිට්ටගෙන කාමරේට එක්කන් ගියා.

“මරු අයියා.. නංගියි නෑනයි ගහගන්නවා. එයා වලිය කන්ටිනිව් කරන්න කියලා වයිෆ් අරන් යනවා. අනේ වාසනාවන් මෙහෙම අයියලා.” සහස්‍රා හයියෙන් කිව්වෙ මියුරංගට ඇහෙන්න. මියුරංග කාමරේට ගිහින් දොරත් වැහුවා.

“අමාරුයිද?” මියුරංග ඇහුවා.

“අනේ එහෙම අමාරුවක් නෑ.” විහංසා ඇඳේ හාන්සි උනා.

“කොල්ලෝ අම්මට ගහන්න එපා පුතේ අම්මා පව්නෙ.” මියුරංග විහංසාගෙ කුසට අතක් තියලා කිව්වා. ඒ එක්කම මියුරංගට දැනුනා පයින් ගහනවා. විහංසාට හයියෙන් හිනා ගියා.

“ඒ කියන්නෙ මම කියන දේ අහන එක්කෙනෙක් නෙමෙයි වගේ.” මියුරංග මූණත් ඇඹුල් කරන් කිව්වා. විහංසාට හිනයි.

“මගෙ පුතා මට ආදරෙයි. තාත්තා ඩර්ටි නේද පුතේ. ඔෆිස් ගිහින් ඇවිත් තාම වොශ් දැම්මෙත් නෑ.” විහංසා කුස අත ගාමින් කිව්වා.

“හරි හරි මම ගිහින් නාගෙන එන්නම්” මියුරංග විහංසාගෙ හිස අත ගාලා වොශ් රූම් එකට ගියා.
__________________________________
__________________________________

“මැණික… ඇයි?” රෑ නිදියන්න ලේස්ති වෙලා විහංසාට ටිකක් විතර අපහසුවක් දැනුනා. ඒ නිසාම ඇය හාන්සි උනා වේලාසනින්ම.

“නෑ මට දාඩියයි. ටිකක් අමාරුයි වගේ.” විහංසා අමාරුවෙන් වගේ කියද්දි මියුරංග ඉක්මණට අම්මට කතා කලා. ඉස්සෙල්ලම දුවගෙන ආවෙ උදම්නුයි අපර්ණායි.

“සමී… ඇයි කෙල්ලේ? අමාරුයිද?” අපර්ණා විහංසාගෙ හිස අත ගාලා ඇහුවා. විහංසා හිස වැනුවා.

“ඒ තරම් අමාරුවක් නෑ අක්කා.. ඒත් මං හිතන්නෙ…. හොස්පිට්ල් ගියා නම් හරි වගේ.” විහංසා අපහසුවෙන් කතා කලෙත්. උදම් ගිහින් වාහනේ ස්ටාර්ට් කරගත්තා මියුරංගයි අපර්ණායි විහංසාගෙ දෙපැත්තෙන් අල්ලගෙන වාහනේට නැග්ගුවා. සහස්‍රා විහංසාගෙ ඇඳුම් බෑග් එකත් වාහනේට දැම්මෙ දැන් හොස්පිට්ල් එකේ නවතින්න වෙයි වගේ හිතුන නිසා.

“අංකල්ට කෝල් එකක් දෙන්න බබා. අපිත් යමු අප්පච්චි.” අම්මා කලබලෙන් ඇඳුමක් මාරු කරන් ආවා.

“අනූ අපි අංකල්ව එක්කන් යමු. අම්මලා කෙලින්ම හොස්පිට්ල් යන්න.” සහස්‍රා එහෙම කියලා දුවල ගිහින් කාර් එකට නැග්ගා. සහස්‍රා ගෙදරින් පිටත් වෙද්දිම උදේනට කෝල් එකක් දුන්නා.

“අංකල්…” සහස්‍රා කාර් එක මිදුලෙ නවත්තනකොටම උදේන එලියට ආවා.

“යමු යමු දරුවනේ.” උදේන ඉක්මණින් කාර් එකට නැග්ගා.

හොස්පිට්ල් එකට යද්දි විහංසාට හොඳටම අමාරුයි ගිය ගමන්ම ලේබර් රූම් එකට ගත්තා. මියුරංග එළියට වෙලා බලන් හිටියෙ ඇස් වල කඳුලු පුරවගෙන. එනගමන් වාහනේදි විහංසා ඔහුගෙ අත අල්ලගෙන වේදනාව දරා ගත්ත හැටි මතක් වෙද්දි මියුරංගට ඉබේම ඇඬුනා.

“මල්ලා… මොකද බං මේ. පිස්සුද උඹට. අඬන්නෙ මොකටද? තව ටිකකින් උඹේ අතට උඹේ දරුවව ගෙනත් දෙයි. ඉවසන් ඉඳපංකො.” උදම් ඇවිත් කියද්දි මියුරංග උදම්ව බදාගෙන ඇඬුවා.

“මල්ලි එහෙම තමයි අමාරු වෙනවා බබා ලැබෙද්දි. ඉවසන් ඉන්න. බය වෙන්න එපා.” අපර්ණාත් මියුරංගගෙ හිස අත ගාමින් ඔහුව සනසන්න උත්සාහ කලා.

“ලොක්කා දෝණි කෝ.” අප්පච්චි ඉක්මණ් අඩි තියමින් උදම්ලා ඉන්න තැනට ආවා.

“ලේබර් රූම් ගත්තා අම්මා. සමීට ටිකක් අමාරුයි වගේ.” අපර්ණා ඉක්මන් ගමනින් අම්මගෙ ලඟට ගිහින් අම්මව වැළඳ ගත්තා.

“අනේ මගෙ කෙල්ලව පරිස්සම් කරල දෙන්න දෙවියනේ.” අම්මා ඇස් වල කඳුලු පුරවගෙන වැඳගෙන කිව්වා.

“දෝණි… මගෙ දෝණි කෝ.” උදේනත් ආවෙ එහෙම අහගෙනමයි. කට්ටියගෙ මූණු වලින් පෙනුනෙ විහංසා ගැන බයක් විතරයි.

“අංකල් බය වෙන්න දෙයක් නෑ.” අපර්ණා කිව්වා.

“පුතා අඬන්නෙ ඇයි?” උදේන ඇහුවා.

“මෙයා මේ බොරුවට බය වෙලානෙ. එනකන් දෝණි මෙයාගෙ අත බදාගෙන ආවෙ. ඒක කියව කියව අඬනවා.” උදම් කිව්වා.

“දෝණිව ලේබර් රූම් දාලා. බය වෙන්න දෙයක් නෑ.” අප්පච්චි ඇවිත් උදේනගෙ උරහිසට අත තියලා කිව්වා.

“අනූ පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න.” සහස්‍රා අනුරාධව යැව්වා.

“හ්ම්ම්…” ඊට පස්සෙ කාගෙවත් සද්දයක් ඇහුනෙ නෑ. පැයකට විතර පස්සෙ නර්ස් කෙනෙක් ලේබර් රූම් එකෙන් එලියට ආවා. කට්ටියම නර්ස් ලඟට ආවෙ තරඟෙට වගේ.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *