මා නොවේ ඈ නුඹේ 68 කොටස

දින දෙකකට පස්සෙ විහංසා ගෙදර එක්කන් ආවා. දරුවොන්ගෙ සද්දෙන් මුලු ගෙදරම පිරිලා වගෙයි හැමෝටම දැනුනේ. මියුරංග ඔෆිස් ගියේ නෑ සතියක්ම.

“අනේ මට යන්න බෑ වගේ.” මියුරංග යන්න ලේස්ති වෙලත් චුරු චුරු ගානවා.

“එහෙම කියල කොහොමද මහත්තයෝ. මේ දෙන්නට දේවල් ඉතුරු කරගන්න ඕනනෙ නේද?” විහංසා මියුරංගව උනන්දු කලා.

“හ්ම්ම්… මගේ පැටව් දෙන්නා අම්මත් එක්ක රණ්ඩු නොකර ඉන්න ඕනෙ හොඳද?” මියුරංග කොල්ලො දෙන්නගෙම නළල් තල සිපගෙන කිව්වා. දෙන්නම තාම සැප නින්දෙ. මේ කාලෙට ඉතින් නිදියනවා ඇහැරෙනවා අඬනවා කිරි බොනවා ආයෙම නිදියනවා. වෙන කරන්න දෙයක් තියෙනවා කියලද නෑනෙ.

“පරිස්සමෙන් ඉන්න මැණික.” මියුරංග විහංසාගෙ නලල සිප ගෙන කිව්වා.

“මගෙ මහත්තයත් පරිස්සමෙන් ගිහින් එන්න.” විහංසා මියුරංගට තුරුල් වෙලා කිව්වා. වෙනදට මියුරංගගෙ පස්සෙන් වාහනේ ගාවටම ගියාට දැන් දරුවො දෙන්නා දාලා කාමරෙන් එළියට යන්න බැරි නිසා ඇය කාමරේ දොර ලඟට ඇවිත් බලන් හිටියා.

විහංසා දරුවො දෙන්නා ඇහැරුනාම කිරි දීලා ආයෙම නිදි කරන ගමන් හිටියෙ.

“සමී… ඒ අනේ මේ බලපන්කෝ.” අපර්ණා ෆෝන් එක දිහා බලාගෙන ඇවිත් තව ටිකෙන් දොරෙත් වැදෙනවා.

“ඇයි?” විහංසා අපර්ණාගෙ දිහා නළල රැළි කරලා බලාගෙන ඇහුවා. හදිස්සියක් වගේ කතා කරපු නිසා විහංසාත් කලබල උනා. මේකි දැන් හිනා වෙවී ඉන්න නිසා විහංසාට තරහත් ගියා.

“මෙහෙ එන්නකෝ. මේ බලන්න.” අපර්ණා විහංසාගෙ ලඟින් ඇඳෙන් ඉඳගත්තා.

“මොකද්ද? එක්කෙනයි නිදිය ගත්තෙ. මෙයාව නිදි කරවන්න හැදුවෙ.” විහංසා අපර්ණාගෙ ෆෝන් එකට එබුනා.

“මේ බලනවකො හලෝ සිරාවටම සුද්දා වගේමයි නේ…” අපර්ණා පෙන්නපු ෆොටෝ එක දිහා විහංසා ඇස් ලොකු කරන් බැලුවෙ. චමත් බබෙක් උකුලෙ තියන් ඉඳගෙන ඉද්දි ෆොරින් ගර්ල් කෙනෙක් චමත්ගෙ කර වටේ අත දාගෙන ඉන්න ෆොටෝ එකක්.

“චමත්????” විහංසා ෆෝන් එක අතටත් අරන් බලන් හිටියා.

“මේ ඌ නෙමෙයි බං. මේ යාලුවෙක් චමත්ට ටැග් කරලා දාලා තියෙන්නෙ. මේ උඹ වගේමයි බං කියලා.” අපර්ණා පෙන්නුවා. විහංසාගෙ හිත කිව්වෙම ඒ චමත්මයි කියලා.

“මේ බබා….?” විහංසා බබා දිහා බලාගෙන කල්පනා කලා.

“ඇයි?” අපර්ණා ඇහුවේ විහංසාගෙ වෙනස දැනුන නිසා.

“මේ බබාව මම කොහෙදි හරි දැකලා තියෙනවා. කොහෙදිද ඒ?” විහංසා කල්පනා කලා.

“ආ මොකද මේ අක්කල නංගිල එකතු වෙලා.” සහස්‍රා කාමරේට ආවෙ කෙල්ලත් වඩාගෙන.

“අනේ මගෙ කෙල්ල වැඩේම ඇවිදින එක නේද?” අපර්ණා කිව්වා.

“මේ බලන්න මල්ලිලා. ඔයාගෙ මල්ලිලා දෙන්නා. ඔව් ඔව් ඔයා දැන් ලොකු අක්කෙක්.” සහස්‍රා කෙල්ලට කොල්ලො දෙන්නව පෙන්න පෙන්න කතා කරා. කවුරුහරි හිනාවෙලා මොනවා කිව්වත් කෙල්ල හයියෙන් හිනාවෙනවා. දැන් හිනාවෙන වයසනෙ.

“මොනවද මේ රස කර කර බලන්නෙ?” සහස්‍රා ෆෝන් එකට එබිලා ඇහුවා. ෆොටෝ එක දැකලා සහස්‍රාගෙ ඇස් නලලටම යද්දි විහංසා සහස්‍රා දිහා බැලුවෙ අමුතුවට.

“මේ….. මේ චමත් නේ” සහස්‍රා කටත් අතින් වහගෙන බබා වගේ කිව්වා.

“නෑ බං මේ වෙන කොල්ලෙක්. මේ බලපං උගේ යාලුවෙක් ඌට ටැග් කරලා දාල තියෙන්නෙ.” අපර්ණා පැහැදිලි කරා.

“හා… ඒකනෙ මම බය උනා.” සහස්‍රා හිතුවෙ විහංසාත් ඒක පිළිගනීවි කියලා.

“මට මේ බබාව දැකලා පුරුදුයි. අයියෝ කොහෙදිද දැක්කෙ.” විහංසා දරුවත් පැත්තකින් තියලා කල්පනා කරා.

“අනේ මේ වෙන මගුලවල් කල්පනා කරන්නෙ කොල්ලට කිරි දීපං.” සහස්‍රා බැන බැන කාමරෙන් ගියා.

“සමී… මේක ඔයාගෙ පවුල. ඔයා මේ පවුල එක්කයි ඉන්න ඕනෙ. යුවති ගියා. එයා එයාගෙ පවුලත් එක්ක ගියේ. එයා නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා අපිට කතා කරන්නෙ නෑ. මට හිතෙන්නෙ එහෙමයි.” අපර්ණා පුලුවන් විදියට විහංසාගෙ හිත සන්සුන් කරන්න උත්සාහ කලා.

“හ්ම්ම් ඒකත් ඇත්ත. එයා ඔහොම ඉඳලා දවසක එයිනෙ.” විහංසා පුතාව අතට ගත්තා.

“මම යනවා. උයන්න තියෙනවා. තනියම ඉන්න පුලුවන් නේද?” අපර්ණා ඇහුවා.

“බඩීට එන්න කියන්න අක්කා.” විහංසා කියද්දි අපර්ණාට දුක හිතුනා.

“ඒකිගෙ හැටි දන්නවනෙ. අපි හැමෝටම පණ වගේනෙ.” අපර්ණා එහෙම කියලා විහංසාගෙ අතේ ඉඳපු පුතාගෙ හිස සිඹලා ගියා.

“ආන්ටි… මේක හරියන්නෙ නෑ. සමීට සැකයි. මොකද්ද කරන්නෙ?” අපර්ණා විහංසාගෙ පණිවිඩය අරන් උඩට යද්දි ලාවට වගේ ඇහුනා සහස්‍රාගෙ කෝල් එකක්.

“මොකක් ගැනද මේ කියන්නෙ.” අපර්ණා කල්පනා කර කරම හිටියා.

“නෑ ආන්ටි අර බූරුවා වයිෆ්නුයි බබයි එක්ක ෆොටෝ එකක් දාලා. සේරම විනාසයිනෙ දැන්. අයියෝ මම දන්නෙ නෑ.” සහස්‍රා කතා කලේ කලබලෙන්. අපර්ණා කල්පනා කලේ මේ මොකද්ද වෙන්න යන්නෙ කියලා.

“ඕන දෙයක් වෙද්දෙන් මම ඇතුලට යනවා.” අපර්ණා එහෙම හිතලා කාමරේ ඇතුලට ගියා. සහස්‍රා උඩ ගියා අපර්ණා දැකලා.

“හ… හරි ආන්ටි මම බලන්නම් ඒ ගැන. තියන්නම් ආන්ටි. බායි.” සහස්‍රා කෝල් එක කට් කරලා ආයාසයෙන් හිනාවක් මූණට ගත්තා. ඒත් අපර්ණා බලාගෙන හිටියෙ සැකෙන්.

“හංගන්න දෙයක් නෑ බඩී. මට කියපං මොකද්ද ප්‍රශ්නෙ?” අපර්ණා සහස්‍රාගෙ ලඟින් ඉඳගෙන ආදරෙන් කිව්වා.

“ඇත්තටම අක්කා මේකයි. මම කතා කලේ වන්දනා ආන්ටිට. අයියෝ…. මම කොහෙන්ද මේක පටන් ගන්නෙ?” සහස්‍රා දෑතින්ම හිස බදාගෙන ඇහුවා.

“බඩී බඩී…. හරි… මෙහෙමයි මට මුලින්ම කියන්න චමත්ගෙ ප්‍රශ්නෙ මොකද්ද? ඒ ඇත්තටම චමත්ගෙ වයිෆ්නුයි බබයි නම් කොහෙන්ද චමත් යුවතිට පැටලුනේ?” අපර්ණා ඇහුවා.

“අක්කා චමත් කියන්නෙ මගෙත් හොඳ යාලුවෙක්.” සහස්‍රා කියද්දි අපර්ණාගෙ ඇස් ගැස්සුනා.

“ඔයාගෙ?” අපර්ණා ඇහුවා.

“ඒ කියන්නෙ මෙහෙමයි.. යුවතිගෙ හිතේ අපේ සුදු අයියා ගැන මහා ලොකු ආදරයක් තිබුනෙ නෑ. ප්‍රපෝසල් එක නිසා එයා එක්සයිට් වෙලා හිටියෙ. සුදු අයියා වගේම එයත් හිටියෙ ලොකු වැරදි වැටහීමක. ඒකයි ඇත්ත. දෙන්නට දෙන්නා හිතුවෙ ඒ දෙන්නා ගැලපෙනවා කියලා.” සහස්‍රා හෙමිහිට කතාව පටන් ගත්තා. අපර්ණා සද්ද නැතුව අහන් හිටියා.

“අපි නුවර එළියෙ ගිය දවස් වල තමයි යුවතිට චමත්ව හම්බ වෙන්නෙ. චමත් ලංකාවට ඇවිත් තිබුනෙ නිවාඩුවට.. යුවතිත් සුදු අයියයි සමීයි නැතුව පාලුවෙන්නෙ හිටියෙ. එයත් හිතේ හැටියට චමත්ට ලං උනා. චමත් ටිකක් සෙල්ලක්කාරයි. ඒත් ඒ වෙද්දි චමත් මැරි කරලා හිටියෙ. මැරි කරලා උනාට ඒක ලංකාවෙ කවුරුවත් දන්නෙ නෑනෙ. ඔයාල දන්නෙත් නෑනෙ එයා මැරි කරපු බව. කොහොම හරි මේ දෙන්නා එෆ් බී චැට් කරලා පස්සෙ මීට් උනා. චමත්ගෙ හැටි දන්නවනෙ ඔයාලා. ඌ කොහොම හරි යුවතිට ආදරෙයි වගේ කතා කරලා බැලුවා. යුවති එදා බැනලා ආවා. ඊට පස්සෙ යුවතිටම තේරුනා එයා චමත්‍ට කැමතියි කියලා. යුවති චමත්ට ආදරෙයි කියලා සමීට කිව්වා. අපේ සුදු අයියට කියන්න කිව්වා. ඊට පස්සෙ සුදු අයියා අපේ ගෙදරට කියලා ප්‍රපෝසල් එක කැන්සල් කරගත්තා. ඒ අතරෙ යුවති චමත්ට කෝල් කරත් චමත් ආන්ස් කලෙ නෑ. හේතුව ඒ වෙද්දි චමත්ට දුක හිතුනා යුවතිට වරදක් කරන්න. යුවති දඟකාර උනාට අහිංසක කෙල්ලෙක්නෙ. කොහොම හරි යුවති සෙකන්ඩ් ටයිම් චමත්ව මීට් වෙන්න යන්න කලින් සුදු අයියා කිව්වා එයා සමීට ආදරෙයි කියලා. ඒ නිසා යුවති චමත් මීට් වෙන්න ගියේ මුලු හිතින්ම සුදු අයියව අමතක කරලා.” සහස්‍රා කතාව මදකට නැවැත්තුවා.

“අපේ බූරුවා මොකද්ද එදා කලේ ඉතිං? බලන්න අර අසරණීගෙ ජීවිතේම කෑවනෙ.” අපර්ණා හිටියෙ හොඳටම තරහෙන්.

“අක්කා… බඩී… අනේ මේ දෙන්නම ඇහැරිලා… එක්කෙනෙක් එන්නකෝ.” විහංසා පහළ ඉඳන් කතා කලා.

“පස්සෙ ඉතුරු ටික කතා කරමු ඉතිං. දැන් දුවන්න දරුවගෙ ලඟට. ඒ මට උයන්නත් තියෙනවා බං.” අපර්ණා කෙල්ලත් වඩාගෙන පහළට බැස්සා. සහස්‍රා විහංසාගෙ කාමරේට ගියා.

“ලමයි හම්බ වෙන්න කලින් නම් මහ ලොකුවට කතාව කොහොමද? හොයනකොට පැත්ත පලාතක නෑ.” විහංසා බබාලා දෙන්නව අත් දෙකට අරන් නලව නලව සහස්‍රා ලඟට එනකන්ම බැන්නා.

“අපෝ කට විතරයි. ලමයි දෙන්නා ඇහැරුන ගමන් අපි ඕනෙ.” සහස්‍රා හිනාවෙවී ආවා.

“අනේ බඩී බලනවකො…. කට නවත්තන්නෙ නෑනෙ.” විහංසා මූණත් බෙරි කරන් කියද්දි සහස්‍රාට දුක හිතුනා.

“කෝ එන්න බලන්න නැන්දිගෙ චූටි පුතා..” සහස්‍රා එක්කෙනෙක්ව වඩාගත්තා.

“කෝ මේ අම්මල තාම නෑනෙ. මොනවද දන්නෙ නෑ ලැබුන අකුරු. නේද?” විහංසා මග බල බල හිටියෙ. අද අම්මලා පන්සලට ගියේ ලොකු හාමුදුරුවොන්ට කියලා වෙලාව බලාගෙන නම් තියන්න අකුරු අරන් එන්න.

“මට නම් මෙයා චූටි මෙයා සුදු…” සහස්‍රා හිනාවෙවී දරුවො දෙන්නගෙ දිහා බැලුවා.

අම්මලා ආවෙ ලමයි දෙන්නව නිදි කරපු ගමන්මයි. අම්මා කෙලින්ම ආවෙ විහංසාගෙ කාමරේට.

“ආ දෙන්නම නිදි නේද? මෙන්න දෝණි අකුරු ටික. ලොකු හාමුදුරුවො නම් දෙක තුනකුත් ලියල දුන්නා. සුදු පුතා ආවම දෙන්නම කතා වෙලා නම් දෙකක් තීරණය කරගන්නකො.” අම්මා විහංසාගෙ හිස අත ගාලා එලියට ගියා.

“කෝ බලන්න…” සහස්‍රා කොලේ අරන් බැලුවා.

“ඒ මම නම් මේ නම් දෙකට ආසයි. මුන් දෙන්නට තියෙන්නෙ එක ලඟින් යන අකුරු හලෝ.” සහස්‍රා නම් දෙකක් පෙන්නලා කිව්වා.

“ම්ම්ම්…. බිනුල මිනුල හොඳයි ඒ නම් දෙක. අයියා ආවම බලමු කෙල්ලෙ.” විහංසා එහෙම කියලා කොලය කබඩ් එකට දැම්මා.

“ඔන්න ආවා අප්පච්චි.” සහස්‍රා කිව්වෙ මියුරංගගෙ කාර් එකේ සද්දෙ ඇහිලා.

“අප්පච්චි නෙමෙයි තාත්තා. අහස් කැමති නෑ අප්පච්චි කියනවට.” විහංසා හිනාවෙලා කිව්වා.

“මොකද්ද අලුත්ම කතාව.” මියුරංග ආවෙ එහෙම අහගෙන.

“අලුත්ම කතාව නේද? බේබිලා දෙන්නට නම් ගෙනාවා.” සහස්‍රා කිව්වා.

“මොනාද අකුරු. කෝ බලමු.” මියුරංග ලැප් එකත් මේසෙ උඩින් තියලා ලේස්ති උනා නම් දාන්න.

“සේරටම කලින් වොශ් එකක් දාගෙන එන්න. ඊළඟට දරුවො ඇහැරුනොත් ඔයා ඉඹින්න ගනී දාඩිය පිටින්.” විහංසා මූණත් ඇඹුල් කරන් කිව්වා.

“හ්ම්ම්…” මියුරංග එහෙම්මම වොශ් රූම් එක පැත්තට හැරුනා.

“පව් බං… මහලොකු දාඩියක් නෑනෙ. උඹටත් පිස්සු.” සහස්‍රා කිව්වා.

“නෑ විසබීජ හොඳ නෑ දරුවොන්ට.” විහංසා කිව්වා.

“අනේ උඹෙයි මගෙයි විසබීජ. පලයන් යන්න.” සහස්‍රා හිනාවෙවී කාමරෙන් ගියා.

“කෝ මොනාද නම්?” මියුරංග ආවා.

“ඒ මෙච්චර ඉක්මණට නෑවද?”

“ඕ… නෑවා.” මියුරංග එහෙම කියලා ඇවිත් විහංසා ලඟින්ම ඇඳේ හාන්සි උනා.

“ආහ්… චුට්ටක් ඉන්න.” මියුරංග ආයෙම නැගිටලා ගිහින් කාමරේ දොර වහලා ආවා.

“ඇයි ඒ?” විහංසා ඇහුවා.

“නැත්නම් කිසිම වැඩක් කරගන්න පුලුවන්ද කවුරු හරි කඩාගෙන විඳගෙන එනවනෙ.” මියුරංග කියද්දි විහංසාට හිනයි.

“කෝ ගන්න බලන්න අකුරු ටික.” මියුරංග ඇඳෙන් හාන්සි උනා ආයෙම.

“බඩී මේ නම් දෙක සිලෙක්ට් කරා. බිනුල මිනුල.” විහංසා කිව්වා.

“අනේ හරි නෑ. මිනුල හොඳයි. අනිත් එක්කෙනාට….. විනුල හොඳයි. මිනුල සංදේශ් විනුල ආකාශ් ඒ දෙක කොහොමද? අපි දෙන්නගෙ නම් වල අකුරු.” මියුරංග කිව්වා. ඒ කියද්දි තමයි විහංසාටත් මතක් උනේ ඒක.

“ආහ් එහෙනම් ඒ නම් දෙක හොඳයි.” විහංසා හිනාවෙලා කිව්වා.

“මල්ලී කෑම කන්න.” අපර්ණා එළියෙ ඉඳන් කෑගහනවා. මියුරංග ගිහින් දොර ඇරලා හිනා උනා. අපර්ණා අත් දෙකත් ඉනට ගහන් කේන්තියෙන් බලන් හිටියා.

“මොකද යකෙක් වැහිලා වගේ.” මියුරංග හිනාවෙවී ඇහුවා.

“යකෙක්? මම කියන්නෑ ඉතිං.” අපර්ණා එහෙම කියලා ඇඳ උඩින් වාඩි උනා.

“ගිහින් කාලා එන්න. මම මේ දෙන්නගෙ ලඟ ඉන්නම්.” අපර්ණා විහංසාට කිව්වා.

“හා ඉතිං මොකද ඔච්චර සැර.” විහංසා හිනාවෙලා එහෙම අහලා නම් දෙක පෙන්නුවා.

“ආනේ… නම් දාලා. මම දන්නෙත් නෑ. අනේ මිනූ විනූ ශෝක් අපේ පූ වගෙ මේ දෙන්නටත් පෙට් නේම්ස් තියෙනවනෙ.” අපර්ණා සතුටින් කිව්වා. විහංසායි මියුරංගයි හිනාවෙවී බලන් හිටියා.

“දැන් සුදු පුතාට දාන්නෙ මොන නමද?” අපර්ණා ඇහුවෙ සුදු පුතා කියන්නෙ ලොකු එක්කෙනා. අනිත් එක්කෙනා චූටි පුතා.

“සුද්දා විනුල චූට්ටා මිනුල.” මියුරංග කිව්වා.

“ශෝක්… ” අපර්ණා කොල්ලො දෙන්නගෙම කම්මුල් සිප ගත්තා.

විහංසාට දරුවො දෙන්නගෙ වැඩත් එක්ක හැමදේම අමතක වෙලා. වෙන දෙයක් ගැන හිතන්න කාලයක් නැති තරම්.

ආයෙත් හමුවෙමු.

රහස එළි කරන්න පටන් ගත්තා. දැන් හරිනෙ. ඉතුරු ටික හෙට බලමු නේද ලමයි. දිගටම මාත් එක්ක ඉන්න..

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *