මුලා වූ පෙම්වතී 01 – Lakshi Muhandiram
“ආ මෙයාද විරාජ් කිව්ව ගර්ල්”
“ඔව් මැඩම් මේ ඉන්නේ ලිහිණි. ලිහිණි විරංගා අපිනම් විරූ කියලයි කතා කරන්නේ..“
විරාජ් මාව අලුත් ජොබ් එකට එක්කන් ආවත් එතන හරිම වෙනස්. හෝටලයක් කිව්වට මටනම් පෙනුනේ ගෙයක් වගේ. ඒත් මගේ විරාජ් මට වරදක් නොකරන බව මට විශ්වාසයි. ඒ නිසා බය නැතුව හිටියා. අනික මෙතන නවතින්න පහසුකම් පවා දෙන නිසා මට ගමට යවන්න සල්ලිත් ඉතුරුයිනේ.
“විරූ.. මේ තමයි ලෝරා මැඩම්. මෙයා කියන විදියට තමයි ඔයා වැඩ කරන්න ඕනි. “
විරාජ් එහෙම කිව්වාම මම මැඩම් දිහා බලලා සුහද විදියට හිනා උනා.
“එහෙනම් මැඩම් මං ගිහින් එන්නම්”
“ඕකේ විරාජ් ඔයාගේ පේමන්ට් වෙලාවට ලැබිලා ඇති”
“අහ් ඒවා හරී එහෙනම් මං ගියා. විරූ මං යනවා”
මටත් යනවා කියාගෙනම විරාජ් යන්න හැරුනා. ඒත් දෙයියනේ මගේ බඩු සේරම බෝඩිමේනේ. අද මේ මෙතන බලන්න එනවා කියපු නිසා මං මොකුත් ගෙනාවේ නෑනේ.
“විරාජ්… ඉන්න.. “
“කොහෙද දූ යන්නේ.. ඉන්න ඔහොම.. විරාජ් ඒවි හෙට”
“අනේ මැඩම් මං අද නවතින්න නෙවේ ආවේ. මගේ බඩු සේරම බෝඩිමේ..”
“අහ්.. ඒකට මොකද දරුවෝ.. අඳින්න ඇඳුම්නම් දෙන්න බැරියෑ.”
මැඩම් හිනාවෙලා එහෙම කිව්වාම මාත් සංසුන් උනේ දැන් රෑ වෙලා කොහොමත් තනියම යන්න බැරි නිසයි.
“රිතූ… මේ දුවට රූම් එක පෙන්වන්න”
මැඩම් කෑගැහුවාම එතනට ආවේ කොට සායකුයි ස්කිනර් එකකුයි ඇඳගත්තු ගෑණු ළමයෙක්. මේකප් ගාලා නෙවේ මේකප් එකෙන් නාලා හිටියේ. ගමේ හැදුන මං ඔය ජරාව උලන්නනම් ආසම නෑ. ඕවට මා ළඟ කොහොමත් සල්ලිත් නෑ.
මං කොළඹ ගාමන්ට් ආවේ නැතිබැරි කම් නිසයි. සල්ලි නැති නිසා විශ්වවිද්‍යාලයට යන්න පුලුවන් උනත් ඒ හැමදේම අත් ඇරලා මං ගාමන්ට් ආවා. අප්පච්චිත් නැතුව අම්මා මෙච්චර කල් විඳපු දුක මං හොඳටම දැක්කා. දැන් මගේ වාරේ. නංගියි අම්මයි වෙනුවෙන් මං සල්ලි හොයන්න හිතුවේ ඒ නිසයි. මට බැරි උන තැනට නංගිව යවනවා මං කොහොම හරි. මට දැනුන අගහිඟකම් එයාට දැනෙන්න නොදී බලාගන්නයි මට ඕනි.
ගාමන්ට් එකේ සුපවයිසර් කෙනෙක් වෙච්චි විරාජ් මාස ගානක් ඉඳලා මගේ ආදරේ ඉල්ල ඉල්ල ආවා. අන්තිමට අපේ අම්මා එක්කත් එයාම ඇවිත් කතා කරාට පස්සෙයි මං කැමැත්ත දුන්නේ. ගාමන්ට් එකේ මහලා ලැබෙන පොඩි පඩිය බෝඩිමටත් ගෙවලා ගෙදරට යවන්න ගෑවෙන්නත් මදි. මගේ තත්වේ දන්න නිසයි විරාජ් මට අලුත් ජොබ් එකක් හෙව්වේ. ඔව් අද මේ ආවෙ අලුත් ජොබ් එක කරන තැනට. මෙතන වැඩ කරන අයට හොස්ටල් තියනවලු එතකොට මගේ වියදම අඩු නිසයි මාත් ආසාවෙන්ම ආවේ.
“නංගි යමු ඔයාගේ රූම් එක ලෑස්ති “
මං කල්පනාවෙන් මිදුනේ මැඩම් රිතූ කියලා කතා කරපු ඒ ගෑනු ළමයගේ හඬිනුයි. එයා ඉස්සරවෙලා යද්දි මං එයාගේ පස්සෙන්ම උඩට ආවා.
කාමරයක් ළඟ නතරවෙලා එයා කිව්වේ මට ඇතුළට යන්න කියලයි.
“අක්කත් මෙහේ වැඩ කරන කෙනෙක්ද.”
“ඔව්”
එයා ඔව් කිව්වේ අමුතු විදියට හිනාවෙලා. ඇයිද මංද මට මෙහේ හරිම අමුතුයි.
“නංගි එහෙනම් ටිකක් රෙස්ට් කරන්න ඔයාට ඇඳුම් එවන්නම් මං “
රිතු එහෙම කියලා කාමරේ දොරත් වහගෙන එළියට ගියා. මං එතකොටයි හරියටම කාමරේ දිහා බැලුවේ..
දෙයියනේ මේ හෝටලේ සේවකයන්ටත් දෙන්නේ මේ තරම් සැප කාමරද. ඒ කාමරේ ගමේ තියෙන අපේ පුංචි ගේම තරම් ලොකුයි. පුදුම තරම් ලස්සනයි. මං වටේම කැරකිලා කාමරේ ලස්සන බැලුවා.
ඇඳෙන් වාඩිවෙලා මං කල්පනා කලේ මට කරන්න ඇත්තේ මොනවගේ වැඩද කියලයි. දැන්නම් හිතට බයකුත් දැනෙනවා. අනික මෙහේ ඉන්න අය හරි වෙනස්. හැමෝම බාගෙට ඇඳගෙන මේකප් නාගෙන ඉන්නේ. හැමෝම කිව්වට මං තාම දැක්කේ මැඩම් රිතූ දෙන්නා විතරයි. ඒ දෙන්නම ඒ වගේනේ හිටියේ.
මගේ කල්පනා ලෝකේ බිඳුනේ දොරට කවුදෝ තට්ටු කරනවා ඇහුන නිසයි. රිතූ වෙන්න ඇති කියලා හිතාගෙන මං ඇවිත් දොර ඇරියා. ඒත් හිටියේ වෙන කෙනෙක්.
“නංගි මේ ඔයාට ඇඳුමක්.”
එහෙම කියලා එයා මට බෑග් එකක් දික් කරා.
“අහ් තැන්ක්ස් අක්කේ. ඔයත් මෙහේ වැඩ කරන කෙනෙක්ද”
“අහ් ඔව් නංගි. ලෑස්ති වෙන්න අද රෑට වැඩ තියෙයි”
“ආ.. රෑට… මෙහෙ නයිට් ඩියුටිත් තියෙනවද”
මං ඇහුවේ පුදුම වෙලා. මොකද දවල් ගාමන්ට් එකේ වැඩ කරලා මහන්සී දැනටත් ඉතින් රෑ වැඩ කරන්න පුලුවන්ද.
“හ්ම් ඔව් නංගි. පරිස්සමින් ඉන්න එහෙනම්. මාත් ඔයා වගේ තමයි මෙහෙට ආවේ. වෙලාවක විස්තර කියන්නම්කෝ”
එහෙම කියලා සුසුමක් හෙලලා එයා යන්න ගියා. ඒ හිතේ මොකද්දෝ දුකක් තියෙනවා කියලයි මට හිතුනේ.
“අයියෝ නමවත් අහගන්න බැරි උනානේ..”
එහෙම හිත හිතම මං ඇඳුම් බෑග් එකත් අරන් ඇඳෙන් වාඩිවෙලා ඒක ඇදලා බැලුවේ අඳින්න ඇඳුමක්.
“ඊ…”
මං අතට ගත්තු ඇඳුම් එහෙමම අත් ඇරියේ ඒවා අඳින්න පුලුවන්ද හිතලයි. කොටම කොට දුහුල් නයිට්ඩ්‍රස් එකක් ඒකේ තිබුනේ. තව ඒ වහේම දුහුල් කොට උඩින් දාන කෝට් එකකුත් තිබුනා.
“දෙයියනේ මේවා ඇඳගෙන ඉන්න පුලුවන්ද .. මීට හොඳයි ඇඳුම් නැතුව ඉන්නවා”
මං ඇඳෙන්ම ඉඳගෙන කල්පනා කලේ ඒ ඇඳුම් අඳිනවද කියලයි. වෙන ඇඳුමකුත් නෑ. උදේ ඉඳලා වැඩ කරලා නාගන්නේ නැතුව ඉන්නත් බෑ.
අන්තිමට ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසා මං ඒ ඇඳුමයි සාලුවයි අරන් බාත්රූම් එකට ගියා.
හිතේ හැටියට නාගෙන අර හිරිකිත ඇඳුමත් ඇඳන් මං කාමරේට ආවා. ඇවිත් කණ්නාඩියෙන් මාව දැක්කාම මටම ලැජ්ජයි. අම්මා එහෙම හිටියනම් මෙලහට මගේ කකුල් කැඩෙන්න කොස්සෙන් ගහලා. හෙට උදේම ගිහින් රෙදි ටික ගේන්න මං හිතාගත්තේ මේවගේ ඇඳුම් අඳින්න බැරි නිසයි.
එතකොටම දොරේ ලොක් එක කරකැවුන නිසයි මං ඒ පැත්ත බැලුවේ. මුලින්ම ඇතුලට ආවේ රිතූ. රිතූට පස්සෙන් හිටපු කෙනා දැක්කාම මට ඇති උනේ පුදුම ලැජ්ජාවක්. ඉක්මනට සාලුව අරන් ඇඟට දාගත්තේ ඒ නිසයි.
මොකද හිතන්නේ ළමයි අලුත් කතාව ගැන…
අදහස් කියාගෙන යමු බලන්න…